ශ්‍රී ලංකාව: ව්‍යාජ වම, රාජපක්ෂගේ මැතිවරන ජයග්‍රහනය සඳහා වැඩකරන ජනතාවට චෝදනා කරයි

Sri Lanka: Pseudo-left blames working people for Rajapakse’s election victory

වසන්ත රූපසිංහ සහ කේ. රත්නායක විසිනි, 2020 ජනවාරි 31

ව්‍යාජ වාම නව සම සමාජ පක්ෂය (නසසප), නොවැම්බර් 16 ජනාධිපතිවරනයෙන් ගෝඨාභය රාජපක්ෂ ලත් ජයග්‍රහනය ගැන කම්කරුවන්ට හා දුප්පතුන්ට නරුම ලෙස දොස් පවරනු ලැබේ.

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව ගෙන ගිය වාර්ගවාදී යුද්ධයේ අවසන් අදියරේදී, හිටපු හමුදා නිලධාරියෙකු වූ රාජපක්ෂ, එවකට ජනාධිපතිව සිටි ඔහුගේ සහෝදරයා වන මහින්ද රාජපක්ෂ යටතේ ආරක්ෂක ලේකම් ලෙස සේවය කල අතර, දස දහස් ගනනක් දෙමල සිවිල් වැසියන් ඝාතනය කිරීම හා වෙනත් කුරිරුකම් සම්බන්ධයෙන් දෙදෙනාම වගකිව යුතුය.

නසසප වරෙක මාක්ස්වාදී සහ ට්‍රොට්ස්කිවාදී යැයි කියා ගත්තේය. අද එය දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ (එජාප) දේශපාලන ක්ෂමාලාපකයෙකුට නොඅඩු ලෙස කටයුතු කරන අතර රාජපක්ෂලාගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොජපෙ) ට ප්‍රජාතන්ත්‍රවාදී විකල්පයක් ලෙස මැතිවරනයේදී එම ධනේශ්වර පක්ෂය ප්‍රවර්ධනය කලේය.

මැතිවරන ප්‍රතිපල ගැන ලියමින් නසසප නායක වික්‍රමාබාහු කරුනාරත්න මෙසේ ප්‍රකාශ කලේය. “[රාජපක්ෂගේ] ෆැසිස්ට් ව්‍යාපාරයෙන් රට බෙදී යයි. එම ‘සිංහල පමනක්‘ මගින් ඔවුන්ට, දේශප්‍රේමය පිලිබඳ ඒකාධිකාරයක් හිමිව ඇත. සිංහල-බෞද්ධයන්ගෙන් බහුතරයක් (ශ්‍රීලපොජපෙ) තම එකම නියෝජිතයා ලෙස මෙම දේශපාලනය නිදහසේ පිලිගෙන ඇත,”

රාජපක්ෂගේ සිංහල වර්ගවාදී දේශපාලනය ගැන ඡන්දදායකයාට දොස් පැවරූ කරුනාරත්න දෙසැම්බර 7 වන දින මෙසේ ලිවීය: “ශ්‍රී ලාංකික ජනතාව ජාතිකත්වයන් කිහිපයකට බෙදී ඇති අතර, “එක් ලංකාවක්” ලෙස එක්සත් වීමට අකමැති ය. එයින් සලකුනු කරන්නේ, ඡන්දදායකයින් තවදුරටත් ධ්‍රැවීකරනය වන බවයි.”

මැතිවරන ප්‍රතිපල තුලින්, වාර්ගික රේඛා ඔස්සේ යම් ධ්‍රැවීකරනයක් පිලිබිඹු වූ බවට සැකයක් නැත. සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 52 ක් ලබා ගැනීමට රාජපක්ෂයට හැකි විය. සියල්ලටත් වඩා දිවයිනේ සිංහල බහුතරයෙන්. රටේ දෙමල හා මුස්ලිම් සුලු ජාතීන්, එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාසට විශාල වශයෙන් ඡන්දය දුන්නේය.

කෙසේ වෙතත්, මෙම ප්‍රතිපලය සඳහා ප්‍රධාන වගකීම පැවරෙන්නේ ඡන්දදායකයින්ට නොව, ශ්‍රීලපොපෙ සහ එජාප යන පාලක පන්තියේ ප්‍රධාන පක්ෂ විසින් ආධිපත්‍යය දරන පාර්ලිමේන්තු රාමුවට ඡන්දදායකයින් කොටු කර තැබීමට උත්සාහ කල නසසප වැනි ව්‍යාජ වාම සංවිධානවලට ය.

අතිමහත් බහුතර ජනතාවක් රාජපක්ෂයට ඡන්දය දුන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (ශ්‍රීලනිප) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහ එජාප අගමැති රනිල් වික්‍රමසිංහගේ පෙර පැවති “එක්සත්” ආන්ඩුවට එරෙහි විරෝධතා ඡන්දයක් වශයෙනි. ඒ ආන්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) විසින් අනවන ලද කප්පාදු වැඩ සටහන නිර්දය ලෙස ක්‍රියාවට නැඟීය.

සිරිසේන 2015 ජනාධිපතිවරනයේදී මහින්ද රාජපක්ෂ පරදවනු ලැබුවේ, එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුමකිනි. 2009 දී ලේ වැකි අවසානයකට පැමිනි එල්ටීටීඊයට එරෙහි යුද්ධයේදී වොෂින්ටනය මහින්ද රාජපක්ෂට සහාය දුන්නේය.

එක්සත් ජනපදය මිලිටරියේ යුද අපරාධ දෙස ඇස් පියාගෙන සිටියේය. එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තු වලට අනුව, යුද්ධයේ අවසන් මාසවලදී අවම වශයෙන් දෙමල සිවිල් වැසියන් 40,000 ක් ඝාතනය කරන ලද අතර 300,000 ක් පමන වටකර රැඳවුම් කඳවුරුවල ගාල් කෙරුනි. මිලිටරියේ පිටුබලය ලත් ඝාතක කල්ලි විසින් ”‍අතුරුදහන් වූවන්”‍ ලෙස නම්කල දහස් ගනනක් පැහැරගෙන ගොස් මරා දමන ලදී.

කෙසේ වෙතත් ඔබාමා පාලනාධිකාරය, චීනය සමඟ සිය ආක්‍රමනශීලී ගැටුම වේගවත් කරද්දී, රාජපක්ෂ පාලන තන්ත්‍රය බීජිනය සමඟ වර්ධනය කර ගත් සමීප සබඳතා ඉවසා සිටීමට සූදානම් නොවීය. මැතිවරනය ප්‍රකාශයට පත් වූ විගසම, රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ලෙස සිටි සිරිසේන, එජාප මෙන්ම විවිධ වෘත්තීය සමිති, රාජ්‍ය නොවන සංවිධාන, ව්‍යාජ වාම සහ ටීඑන්ඒ වැනි දෙමල ධනේශ්වර පක්ෂවල පිටුබලය සහිතව මහින්ද රාජපක්ෂට එරෙහිව පෙනී සිටියේය.

නව ඊනියා “යහපාලන” ආන්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග පරිදි රැකියා, වැටුප්, සමාජ කොන්දේසි, අත්‍යවශ්‍ය සේවා සහ මිල සහනාධාර කප්පාදු නිර්දය ලෙස ක්‍රියාත්මක කල අතර ඒවාට එරෙහිව වැඩ වර්ජන හා පුලුල් විරෝධතා පැනනැඟු‍නි. මෙම පන්ති අරගලවලදී, සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් ඔවුන්ගේ පොදු පන්ති අවශ්‍යතා වෙනුවෙන් සටන් කිරීමට එක් වූ නමුත් එම වැඩ වර්ජන හා විරෝධතා වෘත්තීය සමිති විසින් කඩාකප්පල් කරන ලදී.

නසසප නායක කරුනාරත්න විශේෂයෙන් දුෂ්ඨ කාර්යභාරයක් ඉටු කලේය. ආන්ඩුවට එරෙහි කම්කරුවන්ගේ අරගල සහ ශිෂ්‍ය විරෝධතා, “‍ෆැසිස්ට් මහින්ද රාජපක්ෂ කඳවුරට උදව් කිරීම”‍ අරමුනු කරගත් කුමන්ත්‍රන ලෙස ඔහු හෙලා දුටුවේය. එක්සත් සමාජවාදී පක්ෂය (එසප) සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි වෙනත් ව්‍යාජ වාම කන්ඩායම්, සහන සඳහා ආන්ඩුවට බලපෑම් දැමීමේ නිරර්ථක විරෝධතා වලට එම අරගල සීමා කරන, වෘත්තීය සමිති වලට සහාය දැක්වූහ.

පසුගිය නොවැම්බරයේ පැවති ජනාධිපතිවරනයේදී නසසප, “ෆැසිස්ට්” රාජපක්ෂයට ඇති එකම විකල්පය, “ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී” එජාප අපේක්ෂකයාට ඡන්දය දීම බව ප්‍රකාශ කලේය. කරුනාරත්න යොදාගන්නා “ෆැසිස්ට්” යන හැඳින්වීම මාක්ස්වාදී ව්‍යාපාරය සමඟ කිසිදු සමාන කමක් නොදක්වයි. රාජපක්ෂගේ උද්ඝෝෂනය පදනම් වූනේ, දරුනු දෙමල විරෝධී හා මුස්ලිම් විරෝධී වර්ගවාදය සහ “ශක්තිමත්” ආන්ඩුවක් යන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගයක් සඳහා වූ කැඳවීමක් මත වුවත්, ජර්මනියේදී හිට්ලර්ට සහ ඉතාලියේදී මුසෝලිනීට මෙන්, සුලු‍ ධනේශ්වරය මත පදනම් වූ පුලු‍ල් ෆැසිස්ට් ව්‍යාපාරයක් ගොඩනැගීමට ඔහුට තවමත් නොහැකි වී තිබේ.

එපමනක් නොව, කම්කරු පන්තිය බෙදීම ඉලක්ක කරගෙන වරින් වර ගසාකනු ලැබූ වර්ගවාදී දේශපාලනය තුල, එජාප ඇතුලු සමස්ත කොලඹ දේශපාලන සංස්ථාපිතයම ගැඹුරින්ම ගිලී ඇත. සජිත් ප්‍රේමදාසගේ පියා වූ එවක ජනාධිපති රනසිංහ ප්‍රේමදාස, 1988-1990 කාලය තුල 60,000 ක් අමානුෂික ලෙස ඝාතනය කරමින්, සිංහල ග්‍රාමීය තරුන තරුනියන් මැඬි ආන්ඩුවක ප්‍රධානියා විය. ඒ 1988-90 කාලයේ එල්ටීටීඊ ට විරුද්ධව රුදුරු වර්ගවාදී යුද්ධය යලි ආරම්භ කල අවධියයි.

පසුගිය වසරේ අප්‍රේල් පාස්කු ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයෙන් පසු සිරිසේන-වික්‍රමසිංහ “එක්සත්” ආන්ඩුව, හමුදාව බලමුලු‍ ගැන්වූ අතර හදිසි හදිසි නීති පැනවීය. ආන්ඩුවේ ප්‍රමුඛයන් සහ හමුදා නිලධාරීන්ට පූර්ව අනතුරු ඇඟවීම් ලැබී තිබුන නමුත් කිසිවක් නොකල බවට පැවති සාක්ෂි නොසලකා හැර, ව්‍යාජ වම ඇතුලු සියලු‍ පාර්ශවයෝ, මෙම ක්‍රියාමාර්ග අනුමත කලහ. කරුනාරත්න සර්ව පාක්ෂික සමුලුවට සහභාගී වූ අතර ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට නිර්ලජ්ජිතව ප්‍රශංසා කලේය.

එවකට සමාජවාදී සමානතා පක්ෂය අනතුරු ඇඟවූ පරිදි, හදිසි පියවරවල ප්‍රධාන ඉලක්කය වූයේ, පාලක කවයන් තුල ගැඹුරු බියක් ජනිත කල, කම්කරු පන්තියේ අරගලයන් ය. බෝම්බ ප්‍රහාර ගසාකමින් “ශක්තිමත්” ආන්ඩුවක් සඳහාත් “ජාතික ආරක්ෂාව” යන නාමයෙන් ඊටත් වඩා දැඩි ක්‍රියාමාර්ග ගැනීම සඳහාත් ඉදිරිපත්වූ ගෝඨාභය රාජපක්ෂ, එහි ප්‍රධාන දේශපාලන ප්‍රතිලාභියා විය.

නොවැම්බරයේ පැවති ජනාධිපතිවරනයේදී නසසප සහ අනෙකුත් ව්‍යාජ වාම කන්ඩායම්වල කාර්යභාරය වුනේ, සියල්ලටත් වඩා, ශ්‍රීලපොපෙ සහ එජාප ඇතුලු‍ සියලු‍ ධනේශ්වර පක්ෂ වලින් කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය හා, සිංහල, දෙමල සහ මුස්ලිම් යන සියලු‍ කම්කරුවන්ගේ එක්සත් අරගලයක් තුලින්, සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන කම්කරු හා ගොවි ආන්ඩුවක් පිහිටුවීම සඳහා සසප ගෙනගිය උද්ඝෝෂන ව්‍යාපාය අවහිර කිරීමයි.

නව රාජපක්ෂ පාලන තන්ත්‍රය මතුවී ඒම, කම්කරු පන්තියේ විප්ලවීය නැගිටීමට ප්‍රතිචාර වශයෙන් සෑම රටකම පාලක පන්ති ආඥාදායකත්වය සහ ෆැසිස්ට්වාදය දෙසට හැරීම පිලිබඳ ප්‍රකාශනයකි. ෆැසිස්ට්වාදයේ අන්තරායට එරෙහිව සටන් කිරීමට ඇති එකම ක්‍රමය, යුද්ධයට තල්ලු‍වීමේ, කප්පාදුවේ සහ පොලිස් රාජ්‍ය පාලන ක්‍රමයේ ප්‍රභවය වන ධනවාදය අවසන් කිරීමේ ජනතා විප්ලවවාදී ව්‍යාපාරයක මූලිකයා වන කම්කරු පන්තිය බලමුලු‍ ගැන්වීමයි.

කෙසේවෙතත්, කම්කරු පන්තිය පාර්ලිමේන්තු ක්ෂේත්‍රයට කොටු කර, එජාපයට බැඳී තැබීමට නසසප අධිෂ්ඨාන කරගෙන සිටී. පාර්ලිමේන්තු මහමැතිවරනයක් පැවැත්වීමට නියමිතව තිබියදී කරුනාරත්න කම්කරුවන්ට සහ දුප්පතුන්ට මෙසේ උපදෙස් දෙයි: “ඊලඟ අරගලය ගැන සිතන්න. පාර්ලිමේන්තු මැතිවරණය තීරනාත්මක වැදගත්කමක් දරයි. එය දිනා ගත හැකිය. ශ්‍රීලපොපෙ ජයග්‍රහනය ආන්තික ජයග්‍රහනයක් දක්වා අඩු කල හැකිය.“

වෙනත් වචන වලින් කිවහොත්, එක්සත් ජාතික පක්ෂය ගැඹුරු අභ්‍යන්තර අර්බුදයකට ඇද වැටී තිබෙන තත්වයන් යටතේ, ශ්‍රීලපොපෙ ලබන ජයග්‍රහනය සුලු ග්‍රහනයක් බවට පත්කිරීම නසසප ලොකුම බලාපොරොත්තුව වන බවයි. ඔහු මෙසේ කියයි: “සියල්ල රැඳී ඇත්තේ, එජාප කැබලි නොවීම හා ශ්‍රීලපොපෙට විරුද්ධ බලවේග එකිනෙකා සමඟ කාකොටා නොගැනීම මතය. “සිංහල වර්ගවාදී ජවිපෙ ද මෙම පෙරමුනට ඇතුලත් කරගත යුතු යයි ඔහු අවධාරනය කරයි.

නසසප පාර්ලිමේන්තු මාධ්‍යමිකත්වය, කම්කරු පන්තිය, එජාප හෝ ශ්‍රීලපොපෙ යන ධනපති පක්ෂ වලට දෑත් දෙපා බැඳ බාර දෙයි.

මෙම බංකොලොත් දේශපාලන දෘෂ්ටිය ප්‍රතික්ෂේප කරන ලෙසත් පන්ති අරගලයේ ක්‍රමවේදයන් වෙත හැරෙන ලෙසත් සසප කම්කරුවන්, තරුනයින් සහ බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටී. ජීවන තත්වයන් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහි ප්‍රහාරයන්ට විරුද්ධ වීම සඳහා වැඩබිම්වල සහ වාසස්ථාන ප්‍රදේශවල සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන් එක්සත් කිරීමට ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙස අපි ඉල්ලා සිටිමු. කම්කරු පන්තියේ හා ග්‍රාමීය දුප්පතුන්ගේ අරගල එක්සත් කල හැක්කේ, දකුනු ආසියාවේ සහ ජාත්‍යන්තරව සමාජවාදී සමූහාන්ඩු සංගමයක් සඳහා වන අරගලයේ කොටසක් ලෙස කම්කරු හා ගොවි ආන්ඩුවක් සඳහා වන අරගලය තුල පමනි. සසප සටන් කරන ඉදිරිදර්ශනය මෙයයි.

Share this article: