ආන්ඩුව විශ්‍රාම වැටුප් වැඩිකිරීම අත්හිටුවයි

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2020 පෙබරවාරි 05

”මුදල් හිඟකම” නිසා, 2017 න් පසු විශ්‍රාම ගිය රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප ඉහල දැමීමේ යෝජනාව අත්හිට වූ බව මහා භාන්ඩාගාරය නිවේදනය කර ඇත. වාර්ෂිකව රුපියල් බිලියන 130 ක අතිරේක වියදමක් ඒ සඳහා දැරිය යුතු බවත් එවන් මුදලක් වැය කිරීමට හැකියාවක් මහා භාන්ඩාගාරයට නැති බවත් එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පසුගිය ඉරිදා සන්ඬේ ටයිම්ස් පත්‍රයට පවසා ඇත.

2017 දෙසැම්බර් 31 වෙනිදායින් පසුව විශ්‍රාම ගත් රජයේ සේවකයන්, 2020 දක්වා සේවය කල බව සලකා ඔවුන්ගේ විශ්‍රාම වැටුප් ගනනය කරන බව කලින් පැවති එක්සත් ජාතික පෙරමුන (එජාපෙ) ආන්ඩුව නිවේදනය කර තිබුනි. ඒ අනුව 100,000 කගේ මාසික විශ්‍රාම වැටුප රුපියල් 3,000 ත් 10,000 ත් අතර ප්‍රමානයකින් ඉහල යාතුය.

එජාපෙ ආන්ඩුවේ ඉහත නිවේදනය, පිම්මේ ඉහල යන ජීවන වියදම හමුවේ, ජීවත්වීමට සරිලන වැටුපක් ඉල්ලා විශ්‍රාමිකයන් ගෙනගිය නිරන්තර විරෝධතා සහ අරගල සමනය කිරීමේ හා ජනාධිපතිවරනයේ දී චන්ද ගසා කෑමේ ප්‍රයත්නයකි. අනුප්‍රාප්තික ආන්ඩු විසින් කලේ මෙලෙස ඔවුන් ව යලි යලිත් රැවටීමයි.

රටෙහි සමස්ත විශ්‍රාමික සංඛ්‍යාව 640,000 ක් පමන වන අතර, එයට වාර්ෂිකව අලුතෙන් 25,000 ක් පමන එකතු වේ. මිලියන 3 ට ආසන්න සංඛ්‍යාවක් ඔවුනගේ වැටුපෙන් යැපෙති.

ආන්ඩුව දැනට විශ්‍රාමික වැටුප් සඳහා රුපියල් බිලියන 240 ක් වාර්ෂිකව වැය කරන බවත්, අදාල යෝජනාව ක්‍රියාත්මක කලහොත් එම මුදල රුපියල් බිලියන 370 දක්වා ඉහල යන බවත්, මහා භාන්ඩාගාර නිලධාරියා පවසා ඇත. “වැඩි කරනු ලබන ප්‍රමානය මහා භාන්ඩාගාරයට සුවිසාල බරක් වන හෙයින් යෝජනාව ක්‍රියාත්මක කල නොහැකි” බව ඔහු සඳහන් කර තිබේ.

මෙම කප්පාදුවට අමතරව, රාජ්‍ය ආයතනවල මාන්ඩලික නිලධාරීන් සඳහා යෝජිත රුපියල් 15,000 ක වැටුප් වැඩිවීම සහ රනුක් වැටුප් කොමිසමේ නිර්දේශයන්ට අනුව කැබිනට් මන්ඩලය අනුමත කල වැටුප් වැඩිවීම ක්‍රියාවට දැමීම නතර කර තිබේ. හිටපු ජනාධිපති සිරිසේන විසින් පසුගිය වසරේ රනුක් කොමිසම පත් කරන ලද්දේ, වැටුප් විෂමතාවන්ට එරෙහිව සහ සාධාරන වැටුප් ඉල්ලීම් මත ඇවිලී ගිය, දුම්රිය, තැපැල් හා ගුරුවරුන් ඇතුලු රාජ්‍ය අංශයේ සේවකයන්ගේ අරගල යටපත් කිරීමේ ප්‍රෝඩාවක් ලෙසය.

රජයට මුදල් නොමැති නිසා යෝජිත විශ්‍රාම වැටුප් හා සෙසු වැටුප් වැඩිවීම් නතර කල බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමති මහින්ද සමරසිංහ ජනවාරි 23 දා පාර්ලිමේන්තුවේ දී සඳහන් කලේ ය. වසරේ පලමු කාර්තුව සඳහා වන අතුරු සම්මත ගිනුමෙන් ඒ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කර නැති බව ද ඔහු එහි දී ප්‍රකාශ කලේ ය.

රජයේ සේවකයන්ගේ හා විශ්‍රාමිකයන්ගේ වැටුප් ඉහල දමන බවට පොරොන්දු වෙමින් බලයට පැමිනි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඔහුගේ ආන්ඩුවට යන්තම් දෙමසක් ගතවන තැන ක්‍රියාවට දමා ඇත්තේ බරපතල වැටුප් කප්පාදුවකි.

ඊට අමතරව “නාස්තිය සහ දුෂනය” පිටු දැකීමේ කඩතුරාව යටතේ අමාත්‍යංශ හා අර්ධ රාජ්‍ය ආයතනවල වියදම් උපරිම මට්ටමින් අඩු කිරීමේ පිලිවෙතක් ක්‍රියාවට දමන ලෙස ඔහු විසින් නියෝග කොට ඇත. එමෙන් ම, පසුගිය ආන්ඩුව විසින් “දේශපාලන අනුග්‍රහය” යටතේ බඳවා ගත්තවුන් ලෙස හංවඩු ගසමින් රාජ්‍ය සහ අනුබද්ධ ආයතනවල සේවය කල 15,000 කට අධික කොන්ත්‍රාත් සහ අනියම් කම්කරුවන්ගේ රැකියා අහිමි කරනු ලැබීය.

ඉදිරි මාස “හය හත ඇතුලත” ඉදිරිපත් කිරීමට නියමිත “නව වැටුප් සූත්‍රය” මගින් සියලුම විශ්‍රාමිකයන්ට “සමාන තත්වයෙන්” සලකන බව ඉහත සඳහන් ජ්‍යෙෂ්ඨ භාන්ඩාගාර නිලධාරියා පවසා ඇත. තව ද ජීවන වියදම ඉහලයාමට සමාන්තරව රාජ්‍ය සේවකයන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් වැඩිවන ක්‍රමයක් හඳුන්වා දෙන බව ජනවාරි 13 වෙනිදා පැවති විශ්‍රාමිකයන්ගේ වෘත්තීය සමිති රැස්වීමක දී රාජ්‍ය ඇමති සමරසිංහ සඳහන් කර තිබේ. මේවා විශ්‍රාමිකයන්ගේ සහ කම්කරු පන්තියේ ඇස්වලට වැලි ගසන පච පොරොන්දුය.

විශ්‍රාම වැටුප් වැඩි කිරීම කෙසේ වෙතත් පාලක පන්තියේ න්‍යාය පත්‍රයේ පවතින්නේ විශ්‍රාම වැටුප් ක්‍රමය මුලුමනින් ම අහෝසි කිරීමය. චන්ද්‍රිකා කුමාරතුංග ආන්ඩුව විසින් 2003 දී සහ මහින්ද රාජපක්ෂ ආන්ඩුව විසින් 2005 දී විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කිරීමේ පලමු අදියර ලෙස දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට උත්සාහ කරන ලදී. කම්කරුවන්ගෙන් මතු වූ බරපතල විරුද්ධත්වය නිසා එය හකුලා ගැනීමට සිදුවිය. ඉක්බිතිව සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් 2016 ජනවාරි 01 වෙනිදායින් පසුව රජයේ සේවයට බඳවා ගැනුනු කම්කරුවන්ට රජය විසින් සම්පූර්න විශ්‍රාම වැටුප් ගෙවීමේ ක්‍රමය අහෝසිකොට ඒ වෙනුවට දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දුනි.

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව මෙන් ම, රාජපක්ෂ පාලන තන්ත්‍රය ද මෙහෙය වෙන්නේ, ධනපති පන්ති පාලනය මුහුන දී ඇති ගැඹුරුවන වන ආර්ථික අර්බුදය මධ්‍යයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (ජාමුඅ) විසින් නියෝග කොට ඇති ආර්ථික කප්පාදු පිලිවෙත් වලිනි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ නියුතු කම්කරුවන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සඳහා දැරෙන උත්සාහය වනාහි, කම්කරු පන්තියේ විශ්‍රාම වැටුප් සහ සමාජ ප්‍රතිලාභ අහෝසිකිරීම සඳහා ලෝක පරිමානව ධනපති ආන්ඩු විසින් දියත් කර ඇති ව්‍යාපෘතියක කොටසකි. එය ලොව පුරා දසලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ගේ වෛරයට සහ අරගලවලට තුඩු දී තිබේ. විශ්‍රාම වැටුප් කප්පාදුව නතර කිරීම, පසුගිය දෙවසර තුල දසලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ගේ සහභාගිත්වයෙන් ග්‍රීසියේ පැන නැගුන අරගලයන් හි හා ප්‍රන්සයේ කහ කබා ව්‍යාපාරයේ මූලික සටන් පාඨයකි.

Share this article: