වතු කම්කරු මධ්‍යස්ථානය, “‍වතු කම්කරුවන්ට නිදහස කෝ?”‍ නමින් ව්‍යාජ උද්ඝෝෂනයක් පවත්වයි

ඩබ්ලිව්.ඒ.සුනිල් විසිනි, 2020 පෙබරවාරි 10

“‍වතු කම්කරුවන්ට නිදහස කෝ?”‍ යන තේමාව යටතේ වතු කම්කරු මධ්‍යස්ථානය ( වකම) විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂනයක් පෙබරවාරි 4 වෙනිදා කොලඹ දී පැවැත් වුනි. වකම යනු, ව්‍යාජ වාම පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) මූලිකත්වය සහිත එහි වෘත්තීය සමිති, කොමියුනිස්ට් කම්කරු සංගමය, දෙමල විමුක්ති සංගමය සහ ඊනියා බහුජන සංවිධාන වල එකතුවකි. උද්ඝෝෂනයට 200-300 පමන පිරිසක් සහභාගී වී සිටියහ.

ලංකා කොමියුනිස්ට් කම්කරු සංගමය, ඊ. තම්බයියාගේ මාඕවාදී ලංකා කොමියුනිස්ට් එකමුතු මධ්‍යස්ථානයට සම්බන්ධ වෘත්තීය සමිතියකි. දෙමල විමුක්ති සංගමය ගුරුවරයෙකු වන ප්‍රභාකරන් ඇතුලු‍ කන්ඩායම විසින් පිහිටුවාගෙන තිබෙන සංවිධානයයි. ඔහු කඳුරට දෙමල ජනයාට වෙනම පාලනයක් සඳහා ප්‍රතිගාමී උද්ඝෝෂනයක යෙදී සිටින්නෙකි.

ආන්ඩුවේ ඊනියා නිදහස් දින සැමරුමට සමගාමීව කොලඹ පැවැත්වූ උද්ඝෝෂනයෙන් අනතුරුව ඊට සහභාගී වූවන් ඇමතු වකම සංවිධායක ලේකම් වසන්ත කුමාර අබේනායක, “‍72 වන නිදහස සමරද්දී වතු කම්කරුවන් නූතන වහලු‍න් බවට පත් වී සිටින”‍ බව පැවසීය. ඔවුන්ට “ඉඩමක්, නිවසක්, ස්ථීර ලිපිනයක්, සිවිල් අයිතිවාසිකම් සහ රුපියල් 1000 දෛනික වැටුපක්”‍ ලබා දෙන ලෙස ආන්ඩුවට බලකිරීම සඳහා උද්ඝෝෂනය සංවිධානය කල බව ද ඔහු කීවේය. වතු කම්කරු ගම්මාන ඇති කිරීම ද මෙම සංවිධානයේ තවත් ඉල්ලීමකි.

ආන්ඩුව එම ඉල්ලීම් නො දුනහොත් “‍වතු කම්කරු ජනතාව සමග එක් වී මහ පාරට බහින”‍ බව ද පූච්චානමක් දෙඩවූයේය. මෙම “මහපාරේ සටන” කෙරෙන්නේ, පසු ගිය වසරේ පෙබරවාරි 4 වෙනිදා පැවැත්වූ වකම ආරම්භක සමුලුවේ සම්මත කල යෝජනාවේ සඳහන් පරිදි, “‍වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂ භේදයන්ගෙන් තොර බහුජන ව්‍යාපාරය”‍ හා “වතු ආශ්‍රිතව පොදු සමිති” ගොඩනැගීම තුලිනි.

වකම ආරම්භ කර ඇති මෙම උදඝෝෂනයේ අරමුන වතු කම්කරුවන්ට නිදහස ලබාදීම නොව, තම සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට වතු සමාගම් සහ ධනපති ආන්ඩු විසින් එල්ල කරන ප්‍රහාරවලට එරෙහිව, ඔවුන් අතර පැසවමින් තිබෙන වෛරය අවමන්ගත කොට වතු හාම්පුතුන්ගේ සහ ධනේශ්වර රාජ්‍යයේ සැලසුම් සහ ප්‍රෝඩාවන්ට යටත් කිරීමේ ව්‍යාපාරයක් තැනීමයි.

ව්‍යාජ වාම කන්ඩායම් සහ සමිති පතුරු එක්වී හදන එවන් ව්‍යාපාරයක් සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සඳහා සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන්ගේ ස්වාධීන ඒකාබද්ධ අරගලයක් වර්ධනය කිරීමට වල කපා ආන්ඩුවට බලපෑම් දැමීමේ උගුලක හිර කිරීමට ක්‍රියා කරනු ඇත.

පෙබරවාරි 3 වෙනිදා ටීටීවී.එල්කේ (TTV.lk ) සමග සම්මුඛ සාකච්චාවක යෙදුන වකම සම සංවිධායක මාර්ක් ප්‍රභාකර්, සිංහල හා දෙමල කතාකරන කම්කරුවන්ට එරෙහි ධනේශ්වර රාජ්‍යයේ මර්දනකාරී පිලිවෙත යට ගැසීමේ ප්‍රයත්නයක යෙදුනි. නිදහස සම්බන්ධයෙන් “‍ඒ ගොල්ලොයි අපියි (සිංහල -දෙමල කම්කරුවන්) අතර වෙනසක්, එහෙම නැත්නම් අපිට (වතු කම්කරුවන්ට ) කුඩම්මාගේ සැලකිල්ලක් තියෙන්නේ”‍ යනුවෙන් ඔහු එහිදී සඳහන් කලේ ය.

සිංහල දෙමල කම්කරුවන් අතර වෙනසක් ගැන කරන කතාව අන්ත ප්‍රතිගාමී එකකි. පසුගිය ආන්ඩුව අර්බුදයට යැවූ වතුකරයේ ද ඇතුලු‍ව වර්ධනය වූ අරගල වලදී දකින්ට ලැබුනු වැදගත් ලක්ෂනය වූයේ වාර්ගික භේද නොතකා එකමුතුව සටනට ඒමයි.

වතු කම්කරුවන්ට මෙන්ම අවශේෂ සිංහල කම්කරුවන්ට ද ධනපති ක්‍රමය තුල නාමිකව මිස ආර්ථික, සාමාජීය හා දේශපාලන නිදහසක් නැත. දෙවන ගනයේ පුරවැසියන් සේ සලකා වතු කම්කරුවන්ට වෙනස්කම්කිරීම් ධනපති පන්තිය දිගු කලක් තිස්සේ යොදා ගත්තේ ඔවුන් සූරාකෑම උග්‍රකිරීම සඳහා පමනක් නොවේ. එය අති මූලිකවම සිංහල -දෙමල කම්කරුවන් බෙදීම සඳහා එල්ල කල ප්‍රහාරයකි.

ඊට දායක වනසේ ව්‍යාජ වම්මු හා සමිති වතු කම්කරුවන්ගේ සුවිශ්ෂතාවාදය මතුකරති. මෙය වනාහි, පෙසප මෙන්ම, තම්බයියා ගේ හා ප්‍රභාකරන්ගේ සංවිධානයන් වතුකරය තුල අනන්‍යතා දේශපාලනය ගෙන යන ආකාරයකි. විසකුරු අනන්‍යතා දේශපාලනය ගෙන යන්නන් ජන කන්ඩායම් වාර්ගික, ආගමික, ලිංගික ආදී වසයෙන් වෙන්ව සංවිධානය කිරීමට තැත් කරන්නේ ඔවුන්ට ධනවාදය තුලම විශේෂිත විසඳුම් ඇති බව ප්‍රචාරය කරමිනි. මෙය ධනපති පන්තියට සේවාකම් කිරීමේ දේශපාලනයකි.

වතු කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ලකර ඇති ප්‍රහාර අහෝසි කල හැක්කේ එහි මූලය වන ධනවාදය පෙරලා දැමීමට සිංහල හා දෙමල කතා කරන කම්කරුවන් ගෙනයන ඒකාබද්ධ අරගලයක් තුලින් පමනකි.

වසර 200 ක් පුරා වතු කම්කරුවන්ට වහලු‍න්සේ සැලකීම ගැන වකම නායකයින් කඳුලු‍ හෙලයි. නමුත් ඊනියා නිදහසට පෙරම, 1940 ගනන් මුලසිට ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් අධිරාජ්‍යවාදී වියගස පෙරලා දැමීම සඳහා වතු කම්කරුවන් ඇතුලු‍ සමස්ත කම්කරු පන්තිය ඒකාබද්ධ කිරීමේ හා ගම්බද දුගීන් එය වටා රැලි කිරීමේ අරගලයක යෙදුනු බව වකම හා පෙසප යට ගසයි.

‘නිදහසට‘ පසු, කම්කරුවන් බෙදා පාලනය කිරීමට වර්ගවාදය උසිගන්වමින්, බෙලහීන ධනපති පන්තියේ එවක එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව, 1948 දී ඉන්දියානු සම්භවයක් ඇති කම්කරුවන්ගේ පුරවැසි අයිතිය අහෝසි කලේය. එහි දුෂ්ටත්වය හෙලි කරමින් කම්කරුවන් සමාජවාදී පදනමක් මත එකමුතු කිරීමේ අරගලයේ මුලිකත්වය ගත්තේ ට්‍රොස්ට්කිවාදී පක්ෂය වූ ඉන්දියානු බෝල්ෂෙවික් පක්ෂය (බීඑල්පී අයි) යි. වකම හා පෙසප එම අරගලය යට ගසති.

පසුව බීඑල්පීඅයි, ලංකා සම සමාජ පක්ෂය සමග එක්වීමෙන් පසුව එම අරගලය අත්හැර දැමුනි. එහෙත් එම අරගලයේ පාඩම් වතුකරය ඇතුලු‍ සමස්ත කම්කරු පන්තියට වත්මන් අරගලය වර්ධනය කිරීමට අවශ්‍ය ය.

ලංකා සම සමාජ පක්ෂය 1964 සිදු කල මහා පාවාදීමෙන් පසුව බීඑල්පීඅයි දරා සිටි ට්‍රොට්ස්කිවාදී මුලධර්ම සහ ක්‍රියාමාර්ගය මත පදනම්ව ගොඩනැගුන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) එම සටනට උරදුන් අතර අද එම අරගලයේ නිරතව සිටින්නේ විකොස අනුප්‍රාප්තික පක්ෂය වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) යි.

වකම මෙහෙයවන පෙසප නායකයන් සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය මත පදනම් වූ ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) තුල ලැග සිටි කන්ඩායමකි. ධනේශ්වර ඒකීය රාජ්‍යය ආරක්ෂා කල ජවිපෙ වතු කම්කරුවන්ට මෙන් ම, සමස්තයක් ලෙස කම්කරු පන්තියට හතුරු සංවිධානයකි. වතු කම්කරුවන් ඉන්දියානු ව්‍යාප්තවාදයේ ඒජන්තයන් ලෙස හංවඩු ගැසූ ජවිපෙ ඔවුන් නිවාස සහ සෙසු පහසුකම් නොමිලේම භුක්ති විඳිමින් සුව පහසු ජීවිතයක් ගෙන යන බවට චෝදනාකරමින් ඔවුන්ට එරෙහි අතිශය ප්‍රතිගාමී උද්ඝෝෂනයක නිරත වූ සංවිධානයකි. පෙසප නායකයන් 2012 ජවිපෙන් සංවිධානාත්මකව බිඳුන නමුත් ජවිපෙ ප්‍රතිගාමී දේශපාලනයෙන් බිදී නැත.

වතු කම්කරුවන් සඳහා කෙරෙන සමාජ වියදම් කප්පාදුව හා ඔවුන්ව තනි බලයක් ලෙස පැවතීම අහෝසි කොට අනුවලට කඩා විසිරුවීමේ අරමුන ඇතිව නිවසක් තනා ගැනීම සඳහා පර්චස් 7 ක ඉඩම් කැබැල්ලක් දී ඔවුන් වතු වලින් පිටමන් කිරීමට වතු සමාගම් සහ ආන්ඩුව සැලසුම් කර ඇත. ඒ සඳහා පිඹුරුපත් සකස් කෙරුනේ පසුගිය මහින්ද රාජපක්ෂ ආන්ඩුව විසිනි. එසේ ඉවත් කරන කම්කරුවන් පදිංචි කෙරෙන්නේ සිංහල ගම් මායිම් කර ගනිමින් වතු ආශ්‍රිතව පිහිටුවන “‍නව වතු ගම්මාන”‍ තුල ය.

ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී), ලංකා ජාතික වතු කම්කරු සංගමය, ජාතික කම්කරු සංගමය, ජාතික වතු කම්කරු සංගමය , ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු සංගමය සහ කඳුරට ජනතා පෙරමුන ද මෙම ඉල්ලීම කරමින් සමාගම් සමග භජනයේ යෙදෙයි. වතු කම්කරුවන්ට ”‍ඉඩමක්,”‍සහ”‍නිවසක්‘ පිලිබඳ වකම ඉල්ලීම් ඍජුව ම පෑහෙන්නේ වතු සමාගම් සහ වෘත්තීය සමිතිවල මෙම ප්‍රතිගාමී සැලසුම් සමගය.

රුපියල් 1000 ක දෛනික මූලික වැටුපක් ඉල්ලා වතු කම්කරුවන් 200,000 පමන පසුගිය වසරේ ගෙන ගිය අරගලය සීඩබ්ලිව්සී ඇතුලු‍ ඉහත කී සමිති විසින් නින්දිත ලෙස පාවා දෙනු ලැබීය. වැවිලි සමාගම් සහ ආන්ඩුව කම්කරුවන්ගේ ඉල්ලීම එකහෙලා ප්‍රතික්ෂේප කලහ. කම්කරුවන්ට ලැබුනේ රුපියල් 20 සොච්චම් වැටුප් වැඩිවීමක් පමනි. ඉන් කම්කරුවන් තුල වතු සමාගම්, ආන්ඩුව සහ වෘත්තීය සමිති කෙරෙහි ඇති වූ බරපතල කෝපය වාෂ්ප කිරීමේ ප්‍රමුඛ භූමිකාවක් පෙසප ඇතුලු මෙම ප්‍රතිගාමී නඩය විසින් ඉටු කරනු ලැබීය.

“‍දාහේ ව්‍යාපරය”‍ නමින් පෙනී සිටි මෙම කල්ලිය වැවිලි සමාගම් සහ ආන්ඩුවේ ප්‍රහාරවලට හා වෘත්තීය සමිතිවල පාවාදීමට විරුද්ධ වතු කම්කරුවන් තුලින් සටනක් ඉස්මතුවීම වලකමින් රුපියල් 1000 වැටුප් ඉල්ලීම ලබා දෙන ලෙස වතු හාම්පුතුන්ට සහ සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවට බලකිරීමේ නිරර්ථක ව්‍යයාමයකට ඔවුන්ව කොටු කලේය.

ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවට බලපෑම් දැමීම මගින් රුපියල් 1000 දෛනික වැටුප් ඉල්ලීම ලබා ගත හැකිය යන මිත්‍යාව විසින් යලිත් වැපිරීමට පටන් ගෙන ඇත්තේ අඩු වැටුප් හා දුෂ්කර වැඩ කොන්දේසි වලට එරෙහිව වතු කම්කරුවන් අතර අරගල මතුවන තතු තුලය.

රාජපක්ෂ ආන්ඩුව බලයට පත් වී දෙසතියක් ඉක්මීමටත් පෙරාතුව වැටුප් සහ වැඩ කොන්දේසි පිලිබඳ ඉල්ලීම් මත වතු කාර්ය මංඩලයේ හා කම්කරුවන්ගේ අරගල දෙකක් පැන නැගුනි. ඒවාට දහස් ගනනක් සම්බන්ධ වූහ. එම අරගල වතු කම්කරුවන් අතර පුලුල්ව පැතිර යතැයි ද, එලඹෙන පාර්ලිමේන්තු මැතිවරනයේ දී ඉන් තමන්ට අවාසියක් වෙතැයි ද තැති ගත් ජනාධිපති රාජපක්ෂ රුපියල් 1000 ක දෛනික වැටුප මාර්තු 01 වෙනිදා සිට ලබා දෙන බවට පොරොන්දු වි ඇත. එහෙත් වතු හාම්පුතුන් එයට තරයේ විරුද්ධවීමත්, ආන්ඩුවේ ආර්ථික අර්බුදය ගැඹුරුවීමත් මධ්‍යයේ එය කම්කරුවන් රැවටටීමේ තවත් පොරොන්දුවක් වනු ඇත.

වතු හාම්පුතුන් සමග මිස ආන්ඩුවේ පලාත් පාලන ආයතන සමග වතු කම්කරුවන්ට කිසිදු සම්බන්ධයක් නැති බවත් වතු පාලනාධිකාරයන් සහ වෘත්තීය සමිති විසින් වතු කම්කරුවන්ගේ සියලු‍ කටයුතු පාලනය කරන බවට චෝදනා කරන වකම වතු කම්කරුවන්ගේ සිවිල් අයිතීන් තහවුරු කල හැක්කේ පලාත්පාලන හා අනෙකුත් රාජ්‍ය ආයතන සමග ඍජුව කටයුතු කිරීමේ අවකාශයන් ඔවුන්ට ලබාදීමෙන් බව පවසයි. මිත්‍යාවක් වන එය ධනේශ්වර පරිපාලන රාමුව තුලට ඔවුන්ව කොටු කර තැබීමේ ව්‍යායාමයකි. හුදෙක් ධනේශ්වර රාජ්‍යයේ පරිපාලන ආයතන තුලින් වතු කම්කරුවන්ගේ හෝ සමස්තයක් ලෙස වැඩකරන ජනතාවගේ කිසිදු ප්‍රජාතන්ත්‍රීය අයිතියක් රැකෙන්නේ නැත.

වතු කාර්ය මන්ඩල සේවක වර්ජනය

වතු කම්කරුවන් ඇතුලු කම්කරු පන්තියට තම සිවිල් සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සාක්ෂාත් කර ගැනෙන සැබෑ නිදහස දිනා ගත හැක්කේ ධනවාදී සූරාකෑමෙන් හා පන්ති පාලනයෙන් විමුක්තවීමේ සමස්ත කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් තුලින් පමනි. එනම් ධනවාදී ලාබ පද්ධතිය අහෝසි කිරීමෙ සහ ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස වතු, බැංකු ඇතුලු මූලික ධනපති දේපොල කම්කරු පාලනය යටතේ ජනසතු කරන, වාර්ගික හා ආගමික වෙනස්කම් කිරීම් සහිත මර්දනකාරී ව්‍යවස්ථාව අහෝසි කර සියලු‍ ජන වර්ගයන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් රැකෙන ව්‍යවස්ථාවක් තහවුරු කරන කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා අරගලයක් තුලින් පමනි.

වකම යෝජනා කරන “වෘත්තීය සමිති සහ දේශපාලන පක්ෂ භේදයන්ගෙන් තොර බහුජන ව්‍යාපාරය”‍ සහ “වතු ආශ්‍රිත පොදු සමිති”‍ උගුල වතු කම්කරුවන් විසින් ප්‍රතික්ෂේප කල යුතුය. සියලු‍ ධනපති දේශපාලන පක්ෂ, ඔවුන්ට කත් අදින පෙසප ඇතුලු ව්‍යාජ වාම පක්ෂ හා වෘත්තීය සමිතිවලින් ස්වාධීන වූ ක්‍රියා කමිටු වතු හා වතු ආශ්‍රිත ප්‍රදේශවල පිහිටුවා ගනිමින් ඉහත වැඩපිලිවෙල මත සටන් කරන කම්කරු පන්තියේ නායකත්වය සහිත ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් බලමුලු ගන්වා ගැනීමට වතු කම්කරුවන් හා තරුනයන් මුලිකත්වය ගත යුතුය.

2018 දෙසැම්බරයේ වර්ජනයේ යෙදෙන ඇබොස්ලී වත්තේ කම්කරුවන්

සසප වතු කම්කරු අරගලය තුල ගෙනගිය උද්ඝෝෂනයේ දී ඇබොට්ස්ලී වත්තේ කම්කරුවෝ එවන් ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවා ගැනීමට මූලිකත්වය ගත්හ. කම්කරුවන්ගෙන් අප ඉල්ලා සිටින්නේ එවන් මූලිකත්වයක් ගන්නා ලෙසයි.

Share this article: