සේවය ස්ථීර කරන ලෙස ඉල්ලා දුම්රිය කම්කරුවෝ උද්ඝෝෂනයේ යෙදෙති

සුජීව අමරනාත් විසිනි, 2020 පෙබරවාරි 18

තම සේවය ස්ථීර කරන ලෙස ඉල්ලා, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අනියම් හා ආදේශක කම්කරුවන් පෙබරවාරි 10 සහ 11 දෙදින වර්ජනයක යෙදුනි. වර්ජිත කම්කරුවෝ මරදාන දුම්රිය මූලස්ථානය ඉදිරිපිට හා රත්මලාන ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු කාර්යාලය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂනවල නිරත වූහ. මරදානෙදී 200 ක් සහ රත්මලානෙදී 600 ක් පමන කම්කරුවෝ උද්ඝෝෂන වලට සහභාගිවූහ. පසුව 12 සහ 13 දිනවල ද කෑම පැයේ දී ඔවුන් මරදාන දුම්රිය ප්‍රධාන කාර්යාලය ඉදිපිට පිකට් උද්ඝෝෂනවල යෙදුනි.

අනියම් සහ කොන්ත්‍රාත් දුම්රිය කම්කරුවන්ගේ වර්ජනය රාජපක්ෂ ආන්ඩුවට විරුද්ධව වැඩෙන කම්කරු පන්තියේ අරගල රැල්ලක කොටසකි. රාජපක්ෂ ආන්ඩුව බලයට පත් වී තෙමසක් ගත වීමටත් පෙර කම්කරු පන්තියේ රැකියා හා ජීවන තත්වයන්ට එරෙහිව රුදුරු ප්‍රහාර මාලාවකට මුල පුරා ඇත.

ලංකා ඛනිජ ඛනිජ තෙල් සංස්ථාවේ, ආර්ථික කටයුතු හා පුනරුත්ථාපන, උතුරු පලාත් සංවර්ධන හා තරුන කටයුතු අමාත්‍යංශ වල, නිවාස සංවර්ධන අධිකාරියේ, මහජන බැංකුවේ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පාසල් සෞඛ්‍ය සහායකයින් හා ඩෙංගු මර්දන සේවකයන් ඇතුලු අනියම් සහ කොන්ත්‍රාත් කම්කරුවන් 15,000 ක් පමන රැකියාවලින් නෙරපා දැමුනි. එලෙස රැකියා අහිමි වූ කම්කරුවෝ දහස් ගනනක් පසුගිය සති කිහිපය තුල ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂන වල නිරත වුහ.

සේවා කොන්දේසි සහ වැටුප් ඉල්ලීම් මත 1000 ක් පමන ගුරුවරු පෙබරවාරි 14 වෙනිදා උද්ඝෝෂනයක යෙදී ගත්හ. කම්කරු පන්තියේ මෙම අරගලවලට සමගාමීව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ සහ රැකියා විරහිත තරුනයන්ගේ අරගල ද වර්ධනය වෙමින් ඇත. මෙම පන්ති සටන් සහ සමාජ අරගල ධනපති පාලක පන්තීන්ගේ ප්‍රහාර වලට එරෙහිව වැඩෙන ගෝලීය පන්ති අරගලයේ කොටසකි.

වර්ජනය හා උද්ඝෝෂන සංවිධානය කර තිබුනේ ආන්ඩු පක්ෂයට අයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) විසින් පාලනය කරනු ලබන ලංකා පොදුජන දුම්රිය සේවක සමිතිය (ශ්‍රීපොදුසේස) විසිනි. ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිතියකට වර්ජනයක් කැඳවීමට සිදුවීම ම පෙන්නුම් කරන්නේ තම සේවය ස්ථීර නොකිරීම සහ දුෂ්කර සේවා කොන්දේසි වලට විරුද්ධව දුම්රිය කම්කරුවන් අතර පවතින කැකෑරීම සහ කෝපයයි.

වර්ජනයට සහ උද්ඝෝෂනයට දුම්රිය ස්ථීර කම්කරුවන්ගේ සහයෝගය ප්‍රකාශ කර ඇතත්, වර්ජනය කැඳවුම් කල සමිති හෝ ස්ථීර කම්කරුවන් නියෝජනය කරන කිසිදු දුම්රිය වෘත්තීය සමිතියක් අනියම් සහ කොන්ත්‍රාත් කම්කරුවන්ගේ මෙම වර්ජනයට ස්ථීර කම්කරුවන්ගේ සහයෝගය ක්‍රියාශීලීව බලමුලු ගැන්වීමට කිසිදු පියවරක් ගෙන නැත. ධනපති ආන්ඩුවල පොලිස්කාර ඒජන්තයන් ලෙස සේවය කරන මෙම සමිති ක්‍රියාත්මක වන්නේ ශ්‍රේනිවාදී සහ කට්ටිවාදී පදනමක කම්කරුවන් බෙදීමට සහ ධනේශ්වර රාජ්‍යයේ ප්‍රහාරවලට කම්කරුවන් යටත් කිරීමටය.

සේවය ස්ථීර නොකල මෙම කම්කරුවන්ගේ සේවා කාලය වසර 5-6 පමන වේ. වසර 6 කට පමන පෙර අනියම් හා කොන්ත්‍රාත් කම්කරුවන් කොටසක් ස්ථීර කිරීමෙන් පසු කිසිදු කම්කරුවෙකු ස්ථීර නොකල බව වර්ජිත කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන්ට පැවසුහ. ශ්‍රී ලංකාවේ කම්කරු නීතිවලට අනුව දින 180 ක් සේවය කල කම්කරුවෙකුගේ සේවය ස්ථීර කල යුතු නමුත් එය මුලුමනින් ම නොතකා හැර තිබේ. කම්කරුවන් සඳහන් කල පරිදි අවසන් වරට අනියම් කම්කරුවන් කොටසක් ස්ථීර කරනු ලබා ඇත්තේ 2014 වසරේ දී ය.

මෙලෙස අනියම් හා ආදේශක පදනමින් සේවය කරන කම්කරුවෝ 1400කට අධික පිරිසක් දුම්රිය කර්මාන්තශාලාවල, දුම්රිය මාර්ග නඩත්තු කිරීමේ කටයුතුවල සහ දුම්රිය ස්ථානවල සේවයේ යොදවා සිටිති. දුම්රිය ස්ථානවල සේවයේ යොදවා සිටින කම්කරුවන් සනීපාරක්ෂක කටයුතු ඇතුලු දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් පවරනු ලබන සියලුම කාර්යයන් කල යුතුය. රුපියල් 725 ක දෛනික වැටුපට සේවයේ යොදවා ඇති මෙම කම්කරුවන්ට අතිකාල පැයකට ගෙවන්නේ රුපියල් 80 කි. පඩි සහිත නිවාඩු හෝ වෙනත් සේවා පහසුකම් ඔවුන්ට නැත. බොහෝ විට නිවාඩුවක් නැතිව දින ගනන් එක දිගට සේවය කිරීමට සිදු වේ.

රාජපක්ෂ ආන්ඩුවට විරුද්ධව අරගල රැල්ලක් වැඩෙන කොන්දේසි යටතේ දුම්රිය අනියම් සහ කොන්ත්‍රාත් කම්කරුවන්ගේ අරගලය සෙසු දුම්රිය කම්කරුවන් අතරට හා කම්කරු පන්තියේ අවශේෂ කොටස් අතරට පැතිර යතැයි භීතියට පත් වූ රාජපක්ෂ ආන්ඩුව ප්‍රවාහන ඇමති මහින්ද අමරවීර සහ දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු හරහා වෘත්තීය සමිති වල ද සහාය ඇතිව දුම්රිය කම්කරුවන් ගේ අරගලය නතර කිරීමට ක්‍රියාත්මක විය.

අමරවීර සහ ප්‍රනාන්දු, වෘත්තීය සමිති සමග පැවැත්වූ සාකච්චාවේ දී ස්ථීර නොකල සේවකයන් ස්ථීර කිරීම සඳහා ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව දින දෙකක් ඇතුලත අනුමත වන බවත්, ඒ අනුව ඉන් පැය 24 ක් ඇතුලත ඔවුන්ව ස්ථීර කරන බවට පොරොන්දු වී ඇතයි කම්කරුවෝ පැවසූහ. කෙසේ නමුත් සමහර විද්‍යුත් මාධ්‍ය වාර්තාවලට අනුව, වෘත්තීය සමිති, ඇමති හා සාමාන්‍යාධිකාරී අතර සාකච්චාව අසාර්ථක වී ඇත.

තමන් අමාත්‍යාංශ කිහිපයක ඇමතිකම් කර ඇති බවත්, කිසිදු ගැටලුවක් මෙවන් වර්ජන හා උද්ඝෝෂන වලින් විසඳාගත නො හැකි බවත් කියමින් අමරවීර රත්මලානේ දී වර්ජිත කම්කරුවන්ට සියුම් තර්ජනයක් ද කර ඇත.

ජනවාරි 28 දා කොලඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති දුම්රිය දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති උත්සවයක් අමතමින් අමරවීර, අනියම් සහ කොන්ත්‍රාත් කම්කරුවන් දේශපාලන හිතවත්කම් මත සේවයට බඳවා ගත් අය බවත්, ඔවුන්ගේ රැකියා අහෝසි කෙරෙන බවත් ඇඟවෙන ප්‍රකාශයක් කලේ ය. “මීට කලින් හිටපු ප්‍රවාහන ඇමතිවරු ඔවුන්ගේ දිස්ත්‍රික්කවල ජනයාගෙන් දුම්රිය දෙපාර්තමේන්තුව පිරවූවා. මටත් පුලුවන් හම්බන්තොට කට්ටිය ගෙනල්ල එහෙම කරන්න. ඒත් මම එහෙම කරන්නේ නැහැ. තමන්ගේ දිස්ත්‍රික්කයෙන් බොහෝ ඈත ගොස් වැඩකරනකොට සේවක කාර්යක්ෂමතාව අඩු වෙනවා. ඒක අපේ ඉලක්කයන්ට බලපානවා.” යැයි ඔහු එහිදී සඳහන් කලේ ය.

රාජ්‍ය අංශයේ 15,000 ක් පමන රැකියා අහිමි කිරීමේ දී රාජපක්ෂ ආන්ඩුව එය සාධාරනීකරනය කලේද ඔවුන් ”දේශපාලන හිතවත්කම් මත” නිසි පරිපාටියකට තොරව රැකියාවට බඳවා ගත්තවුන් බවට චෝදනා කරමිනි.

සේවක ”කාර්යක්ෂමතාව” අඩුවීම සහ ”ඉලක්කයන්” ජය ගැනීම ගැන අමරවීර කරන ප්‍රකාශයන්, කම්කරු පන්තියේ වැඩ වේගවත් කිරීම ඇතුලු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (ජාමුඅ) විධානයන් ක්‍රියාත්මක කිරීමට ආන්ඩුව ගෙනයන සැලසුම් ඇඟවුම් කරයි. ජාමුඅ හි ආර්ථික ප්‍රතිසංස්කරන යටතේ දුම්රිය දෙපාර්තමේන්තුව ලාභ ලබන වානිජ ව්‍යාපාරයක් බවට පරිවර්තනය කිරීමේ සහ ක්‍රමානුකුලව එය පුද්ගලීකරනය කිරීමේ සැලසුම් ආන්ඩුව අතේ පවතී. පුරප්පාඩු සඳහා ස්ථීර සේවකයන් වෙනුවට, සමාජ ප්‍රතිලාභ ලබානොදී අඩු වැටුපකට සේවය ලබාගතහැකි අනියම් සහ කොන්ත්‍රාත් කම්කරුවන් බඳවා ගැනීම ද එහි කොටසකි.

දැනට දුම්රිය දෙපාර්තමේන්තුවේ පමනක් සේවක පුරප්පාඩු 7,000 කට අධික සංඛ්‍යාවක් තිබේ. කර්මාන්තශාලා ද ඇතුලු ව සියලු ම ස්ථානවල අනියම් සේවක සංඛ්‍යාව ඉහල යාමට මෙය තුඩු දෙනු ඇත.

රැකියා ස්ථීර නොකිරීම නිසා තමන් දැඩි අසහනයට පත්ව සිටින බව කම්කරුවෝ පැවසූහ.

නම හෙලිකිරීමට අකමැති වූ එක් කම්කරු කාන්තාවක් මෙසේ පැවසුවාය: “මම දැනට අනියම් සේවිකාවක් වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයට බැඳිලා අවුරුදු හයකට කිට්ටු යි. සේවය ස්ථීර නො කිරීම නිසා මට මගේ අනාගතය ගැන හරි බය යි. වයස්ගත ව අසනීප වෙලා ඉන්න අම්ම ගැන බලන්නෙත් මම. දෙපාර්තමේන්තුව මගේ සේවය මාස තුනකට වතාවක් අත්හිටුවා, දින තුනක් ගෙදර තියල නැවත සේවයට බඳවා ගන්නවා. දවස් පඩි නිසා මට හදිසි අවශ්‍යතාවයකට වත් නිවාඩුවක් ගන්න බැහැ.”

දුෂ්කර සේවා කොන්දේසි විස්තර කරමින් හලාවත-මීගමුව දුම්රිය මාර්ගයේ සේවය කරන අනියම් කම්කරුවෙක් මෙසේ ප්‍රකාශ කලේ ය: “මම දැන් මේ ස්ථීර නැති රැකියාවෙන් හෙම්බත් වෙලා ඉන්නේ. ඊලඟ වැඩ මුරයට අදාල කෙනෙක් නො පැමිනීම නිසා මට එක දිගට දවස් 10 ක් වැඩකිරීමට සිදු වුනා. බැරි ම තැන මම ගෙදර ගියා. ආයෙ එනකොට රැකියාවෙන් ඉවත් කරල තිබුනා. නැවත රස්සාව ඉල්ලගෙන මරදානට ගියා ම ප්‍රවාහන අධිකාරීවරයා මට දොස් පැවරුවා. ඔහු ප්‍රකාශ කලේ එහෙම මට ඕනෑ ආකාරයට ගෙදර යා නො හැකි බව යි.”

පසුව ඔහුට නැවත රැකියාව ලැබී ඇතත් මෙවන් සිදුවීම්වලට ඔහු කිහිප විටක් ම මුහුන දී තිබේ. නැවතත් එක දිගට දවස් 8ක් අඛන්ඩ ව වැඩකිරීමට සිදු වී ඇත්තේ සේවා මුරවලට කම්කරුවන් නො පැමිනීම නිස යි.

”කිසිම ආන්ඩුවකින් අපට සාධාරනයක් ඉටු වුනේ නැහැ. ආන්ඩුවට මුදල් නැහැයි කියල ඇමතිම කියන තත්වය තුල අපේ රැකියා ස්ථීර කරයි කියලා විශ්වාසයක් නැහැ. සියලුම වෘත්තීය සමිති අනියම් සහ කොන්ත්‍රාත් කම්කරුවන්ගේ ප්‍රශ්න ගැන නිහඬ” යැයි ඔහු පැවසීය .

Share this article: