වැඩෙන පන්ති අරගල රැල්ලෙන් රාජපක්ෂ ආන්ඩුව තැති ගැන්වෙයි

සකුන ජයවර්ධන විසිනි, 2020 පෙබරවාරි 03

ජනවාරි 29 වන දා, ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මගින්, විවිධ ක්ෂේත්‍රයන් අලලා වැඩෙමින් පවතින පන්ති අරගල රැල්ල සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ ඔහුගේ ආන්ඩුවේ බලගතු උත්සුකය ප්‍රකාශයට පත්වෙයි. එම නිවේදනයේ මෙසේ සඳහන් වෙයි: “‍විරෝධතා නිසා ඇතිවන මාර්ග අවහිරතා ජනතාවට මහත් පීඩාවකි. එමගින් විරෝධතාකරුවන්ගේ ද කාලය, ශ්‍රමය සහ මුදල් අනවශ්‍ය ලෙස අපතේ යයි. මේ යතාර්ථය තේරුම්ගෙන රජයේ වැඩපිලිවෙල පිලිබඳව විශ්වාසය තබා එය සාර්ථක කර ගැනීමට සහාය වන්නැයි සියලු‍ උද්ඝෝෂන කන්ඩායම්වලින් රජය ඉල්ලා සිටි.”‍

තම දැවෙන ප්‍රශ්න වෙනුවෙන් අරගලයට අවතීර්න වන කම්කරුවන්, සිසුන් සහ අවශේෂ පීඩිතයන්ගෙන් කෙරෙන ඉල්ලීමක් ලෙසින් මෙම නිවේදනය නිකුත් කෙරුන ද, එය විරෝධතාකරුවන්ට එරෙහි තර්ජනයක් මෙන්ම, ඔවුනට එරෙහිව අන්ත දක්ෂිනාංශික නඩ මෙහෙයවා ගැනීමේ වියරු ප්‍රයත්නයකි. කෙසේ නමුත්, නිවේදනයෙන් ඉතා පැහැදිලිව ප්‍රකාශයට පත් වන්නේ, වැඩෙන විරෝධතා සම්බන්ධයෙන් ආන්ඩුවේ ඉමහත් තැතිගැනීමයි.

ජනවාරි 29 වන දා පමනක්, කන්ඩායම් 06 ක් ජනාධිපති කාර්යාලය අභියසට පැමින උද්ඝෝෂනයේ යෙදුනු බව නිවේදනය පවසයි. උසස් ගනකාධිකරන ඩිප්ලෝමාව (එච්එන්ඩීඒ) හදාරන සිසුන්, ඩෙංගු මර්දන සහායකයින්, සමසෞඛ්‍ය උපාධිධාරීන් සහ රැකියා විරහිත උපාධිධාරීන්, ආන්ඩුව බලයට පත්වීමෙන් පසු රැකියා වලින් නෙරපනු ලැබූ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවකයින් එම කන්ඩායම් අතර විය. රැකියා අහිමි වූ ප්‍රාදේශිය සංවර්ධන නිලධාරීන් පිරිසක් රැකියා වලින් අසාධාරන ලෙස ඉවත් කිරීමට එරෙහිව ජනවාරි 31 වන දා කොලඹ නගරයේ විරෝධතාවයක නිරත වූහ.

වැඩෙමින් පවතින විරැකියාව, සමාජ අසහනය පිලිබඳ සැලකිලිමත් වෙමින් නිවේදනය සඳහන් කෙරෙන්නේ “‍රාජ්‍යය, අර්ධ රාජ්‍ය සහ දෙපාර්තමේන්තුවල”‍ පවතින පුරප්පාඩු සඳහා උපාධියට සරිලන රැකියාවක් මාර්තු පලමුවෙනිදා සිට ලබාදෙන බවයි. එය යටතේ 53,000 කට ආසන්න උපාධිධාරීන් පිරිසකට රැකියා දීමට නියමිත බවත් ආන්ඩුව විරෝධතා වල නිරත වන සිසුන්ට ඒවාට අයදුම් කරන ලෙසත් එහි ඉල්ලා සිටී.

මීට අමතරව රාජ්‍ය ආයතන වල “‍තාවකාලික, අනියම් සහ කොන්ත්‍රාත්”‍ සේවයේ නියැලෙන දින 180 සම්පූර්න කල පිරිසගේ “‍රැකියා සුරක්ෂිතභාවය සහ ස්ථිරභාවය”‍ පිලිබඳ ආන්ඩුවේ “‍අවධානය”‍ යොමුවී ඇති බවත් සුදුසුකම් සහිත සියලු දෙනා ස්ථිර සේවයේ පිහිටුවන බවත් නිවේදනයේ සඳහන් වෙයි. විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතන පිලිබඳ සඳහන් කරමින් එම ගැටලු “‍අධ්‍යනය”‍ කල බව එහි සඳහන් ය. එමෙන්ම මේ “‍ගැටලු වලට හොඳම විසඳුම”‍ ලබාදීම රජයේ අපේක්ෂාව බවත් ඉන් “‍උද්ඝෝෂන සහ විරෝධතා ඇති වීමට මූලික වූ සාධක ඉවත් කිරීම”‍ ට බලාපොරොත්තු වන බවත් නිවේදනය සඳහන් කරයි.

රාජපක්ෂගේ මැතිවරන පොරොන්දු මෙන්ම, එහි දිගුවක් වන මෙම පොරොන්දු ද ව්‍යාජයන්ය. උග්‍ර වන ධනේශ්වර අර්බුදය මගින් ලෝකය පුරාම ධනපති පන්තීන්ට බල කෙරී ඇත්තේ මහජනතාවගේ ප්‍රශ්න විසඳීමට නොව කප්පාදු සහ පුද්ගලීකරන පිලිවෙත් ක්‍රියාවට දැමීම මගින් ඒවා උග්‍ර කිරීමටයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාන බලමින් සිටින්නේ, ඉදිරි මැතිවරනයේදී තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් තහවුරුකර ගනිමින්, ව්‍යවස්ථා සංශෝධනයක් හරහා ආඥාදායක පාලනයක් අටවා ගැනීමට සහ එමගින් ඉහත කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව මතුවන විරෝධය රුදුරු ලෙස තලා දැමීමටයි.

මැතිවරනය ආසන්නයේ මෙම විරෝධතා මර්දනය කිරීමට යාමෙන් අවශේෂ කම්කරුවන් සහ පීඩිතයන් ද අරගලයට ඇදී අවුත් තම මැතිවරන පදනමට හානි පමුනුවනු ඇතැයි රාජපක්ෂ ගනන් බලයි. මේ සම්බන්ධයෙන් උත්සුක ධනපති උපදේශකයන්ගෙන් කෙනෙකු වන හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්.ඒ. විජේවර්ධන “‍ගෝඨාගේ ආර්ථික යුද්ධය”‍ නමින් ලිපියක් සම්පාදනය කරමින් කියා සිටින්නේ පාර්ලිමේන්තු මැතිවරනය අවසන් වන තුරු “ආර්ථික යුද්ධය තාවකාලිකව පසෙක තැබිය යුතු”‍ බවයි.

දොට්ට දැමූ නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයින්ගේ උද්ඝෝෂනය

රැකියා ලබාදීමේ සහ ස්ථිර කිරීමේ පොරොන්දුවේ ප්‍රෝඩාව සහ නරුමත්වය හෙලිදරව් වන්නේ ජනවාරි මාසය තුල රාජ්‍ය ආයතන වලින් සේවකයින් දොට්ට දැමූ සංඛ්‍යාව සහ ස්වභාවය සම්බන්ධයෙන් සලකා බලන විටදී ය. රැකියාවලින් දොට්ට දැමූ මුලු ගනන පහලොස් දහසකට ආසන්නය. ඉන් ටෙලිකොම් ආයතනයේ 2000 කට ආසන්න පිරිසකගේ සේවය ජනවාරි 1 වෙනිදා අත් හිටවූයේ කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරවය. නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයින් 2500 ක් කිසිදු ලිඛිත ප්‍රකාශයකින් තොරව වාචික ප්‍රකාශයක් මගින් රැකියාවෙන් නෙරපා හරින ලදී. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු සහ පුනරුත්තාපන, උතුරු පලාත් සංවර්ධන හා තරුන කටයුතු අමාත්‍යංශ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කල කම්කරුවන්, සමෘද්ධි නිලධාරීන් සහ පාසල් සෞඛ්‍ය සේවකයින් මෙසේ රැකියාවෙන් දොට්ට දමා ඇත. සෞඛ්‍ය අමාත්‍යංශයේ ඩෙංගු මර්දන කටයුතු වල නිරත වූවන් 1,100 කගේ සේවය මාර්තු මාසයේදී අත් හිටුවන බව දැනුම් දී ඇත. මින් බහුතරය අඩු වැටුප් සහ දුෂ්කර රැකියා කොන්දේසි යටතේ සේවය කල තාවකාලික කම්කරුවන් ය. කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව සිදු කෙරුනු මෙම දොට්ට දැමීම් ආන්ඩුව සිදු කිරීමට සූදානම් වන රැකියා කප්පාදුවේ රුදුරු ස්වභාවය පිලිබඳ ඇඟවුමක් සපයයි.

මීට අමතරව රාජ්‍ය ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ස්ථිර සහ කොන්ත්‍රාත් සේවකයින් 2400 කට ආසන්න පිරිසකට ජනවාරි මස වැටුප 24 වනදා ගෙවන බවට චක්‍ර ලේඛයකින් දැනුම් දුන්නද තවම ලැබී නොමැති බව ජනවාරි 27 වනදා ලංකාදීප පුවත්පත වාර්තා කලේය. ලංකා ගමනාගමන මන්ඩලයේ පසුගිය වසරේ සුදුසුකම් මත උසස්වීම් ලැබූ 1500 කගේ උසස් වීම් අවලංගු කොට ඇත. පසුගිය සතිය පුරා ඔවුන් උද්ඝෝෂනයේ යෙදුනේ මෙම ක්ෂනික ප්‍රහාරයෙන් ඇති කෙරුනු බරපතල ආර්ථික දුෂ්කරතාවන්ට එරෙහිවයි. රැකියා ලබාදීමේ පොරොන්දුවට ප්‍රතිවිරුද්ධව ආන්ඩුවේ සැබෑ න්‍යාය පත්‍රය වනුයේ විශාල රැකියා කප්පාදුවකි.

ආන්ඩුවේ වැඩපිලිවෙල පිලිබඳ “විශ්වාසය”‍ තබා එය “සාර්ථක කරගැනීමට සහය”‍ වන ලෙස කරන ඉල්ලු‍මේ අර්ථය වනුයේ, විරෝධතා අත් හැර ආන්ඩුවේ කප්පාදු සහ පුද්ගලීකරන වැඩ පිලිවෙලවල ඉවසා දරා සිටිය යුතු බවයි. ජනවාරි 3 වනදා පාර්ලිමේන්තුව තුල සිය ප්‍රතිපත්ති ප්‍රකාශයට පත්කරමින් රාජපක්ෂ කල කතාවේදී “‍රට සංවර්ධනයට ඇප කැප විය යුතු”‍ බවට කල අවධාරනයේ අර්ථය එයයි.

නිවේදනයේ සඳහන් කරන්නේ විරෝධතාවල නියැලෙන්නන්ට මේ තරම් “‍නිදහසක්”‍ පසුගිය ආන්ඩු වලින් ලැබී නොමැති බවයි. මෙම පූච්චානම් වලට ප්‍රතිවිරුද්ධව, මහජන විරුද්ධත්වය වර්ධනය වන තතු යටතේ ආන්ඩුව තම පාලනය වඩ වඩාත් මිලිටරීකරනය කරමින් සිටී. රාජපක්ෂ බලයට පත් වූ විගසම ආරක්ෂක ලේකම් තනතුරට, යුද අපරාධ චෝදනා පවා එල්ල ව ඇති හිටපු මිලිටරි නිලධාරියෙකු වන කමල් ගුනරත්න පත් කෙරුනි. මෙලෙස රජයේ ආයතන බොහොමයක ඉහලම තනතුරු වලට පත් කෙරුනේ මිලිටරි නිලධාරීන් ය. මහජනතාව සම්බන්ධයෙන් සෙවිල්ලෙන් සිටීමට ඔත්තු සේවා ශක්තිමත් කරමින් සිටින ආන්ඩුව සූදානම් වන්නේ මැතිවරනය පැවැත්වුනු වහාම කම්කරුවන් හා පීඩිතයින් මතට රුදුරු ආකාරයෙන් කඩා පැන කප්පාදු සහ පුද්ගලීකරන පිලිවෙත් ක්‍රියාවට දැමීමටය.

මෙම සති කිහිපයේ පැවැත්වුනු විරෝධතාවලින් ප්‍රකාශයට පත් වූයේ කම්කරු සහ පීඩිත කොටස් වලට ආන්ඩුවේ කප්පාදු සහ පුද්ගලීකරන පිලිවෙත් වලට එරෙහිව සටන් කිරීමට ඇති උවමනාවයි. කෙසේ නමුත් මේවායේ නායකත්වයෙහි ලැග සිටින සංවිධාන මෙම විරුද්ධත්වය ආන්ඩුවට බලපෑම් දැමීමේ දිශාවට අපසරනය කරමින් සිටී. සඳුදා පැවති නිවාස සංවර්ධන අධිකාරියේ රැකියා අහිමි වූවන්ගේ විරෝධතාවයේදී එහි නායකයෙකු වන දුමින්ද කොඩිතුවක්කු කියා සිටියේ මෙම දොට්ට දැමීම්, ජනාධිපති ගේ සහ අගමැතිගේ අනුදැනුම ඇතිව සිදුවූවක් නොවන බවයි. ඔහු මෙලෙස ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් කොක්කෙන් ගලවා හැර වගකීම නිලධාරීන් මත පැටවීය. රැකියා අහිමි වූවන්ගේ විරෝධතාවයට පැමිනි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සඳහන් කලේ රැකියා ලබා නොදුනහොත් ආන්ඩුවට බලකිරීමට “‍විශාල විරෝධතා”‍ සංවිධානය කරන බවයි.

ජනතා විමුක්ති පෙරමුන සහ එක්සත් ජාතික පක්ෂය, ආන්ඩුවේ මෙම වැඩපිලිවෙලට කරබදු වී සිටින්නේ ”‍හොඳ”‍ වැඩවලට සහයෝගය දෙන බව පවසමිනි. කම්කරුවන් නියෝජනය කරනවා යැයි පවසන වෘත්තිය සමිති මෙම රැකියා වලින් දොට්ට දැමීම් සම්බන්ධයෙන් මුලුමනින්ම නිහඬ පිලිවෙතක් අනුගමනය කරයි. ව්‍යාජ-වාම සංවිධානයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මෙහෙයවන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය, ආන්ඩුවට බලපෑම් යෙදීමෙන් ඉල්ලීම් දිනාගත හැකිය යන මිථ්‍යාව තොරොම්බල් කරමින් ශිෂ්‍යයන් විරෝධතා දේශපාලනය තුල සිරකර තැබීමේ ප්‍රතිගාමී ව්‍යාපෘතියේ දිගටම නිරතව සිටී.

කම්කරු පන්තියේ සහ අනෙකුත් කොටස් වල ඉල්ලීම් අභිමුඛ වන්නේ හුදෙක් ලංකාවේ ආන්ඩුවට පමනක් නොවේ. ඒවා ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය ට සෘජුව අභිමුඛ වෙයි. එහි නියෝගයන් වනුයේ, අයවැය පරතරය පියවීම, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම, පුද්ගලීකරනය සහ රාජ්‍ය අංශයේ ශ්‍රම බලකාය කප්පාදු කිරීමයි. ආන්ඩුවේ රැකියා කප්පාදු කිරීමේ පිලිවෙත් සෘජුවම ගලාගෙන එන්නේ මෙම නියෝග තුලිනි. මෙම පිලිවෙත් වලට තිත තැබීම ධනපති ආන්ඩුවලට බලපෑම් දැමීම මගින් සිදුකල නොහැක. එයට අවශ්‍ය වන්නේ සමස්ත ධනපති ක්‍රමයම පෙරලා දැමීමේ දේශපාලන අරගලයකි.

කම්කරු පන්තිය සහ තරුනයින් මෙම නිවේදනයේ පවතින ඇඟවුම් ගැඹුරින් වටහා ගත යුතුය. ඔවුන්ට මෙම රැකියා කප්පාදුවට සහ අනෙකුත් ප්‍රහාර වලට එරෙහිව සටන් කිරීමට නව ඉදිරි දර්ශනයක් සහ සංවිධාන රූපයක් අවශ්‍ය ය. ආන්ඩුවේ වැඩපිලිවෙලට කරබදු වී සිටින එජාප, ජවිපෙ යන ධනපති පක්ෂ, වෘත්තීය සමිති සහ පෙසප වැනි ව්‍යාජ වාම සංවිධාන සමගින් ඔවුන්ට මෙම අරගල ඉදිරියට ගෙන යා නොහැක. මෙම අරගලය ඉදිරියට ගෙන යා හැක්කේ ධනපති සංවිධාන වලින් බිඳී තමාගේම ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගනිමින්, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනය මත පාදකව, ලෝක ධනපති ක්‍රමයටම එරෙහි ඒකාබද්ධ දේශපාලන අරගලයක් දියත් කිරීමෙන් පමනි.

Share this article: