ජනමාධ්‍යවේදයට එරෙහි ගෝලීය යුද්ධය මධ්‍යයේ ශ්‍රී ලංකාවේ දෙමල ජනමාධ්‍යවේදීන්ට මරන තර්ජන එල්ලවෙයි

Amid global war on journalism, Tamil journalists sent death threats in Sri Lanka

නවීන් දේවගේ විසිනි, 2020 ජනවාරි 31

ශ්‍රී ලංකාවේ මිලිටරිය වාඩිලාගෙන සිටින නැගෙනහිර පලාතේ දෙමල ජනමාධ්‍යවේදීන් හත්දෙනෙකුට මරන තර්ජන එල්ල කර ඇත. මඩකලපුව දෙමල ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (බීටීජේඒ) විසින් පවත්වාගෙන යන මඩකලපුව මාධ්‍ය සමාජය නමැති සම්මන්ත්‍රන ශාලාවේ දොරට යටින් තල්ලු කර දමා තිබූ දෙමල භාෂාවෙන් යුත් පත්‍රිකා මගින් ජනවාරි 23දා මෙම තර්ජන නිකුත් කරන ලදී.

මඩකලපුව ජනමාධ්‍යවේදීන් ඉලක්ක කරගෙන නිකුත් කරන ලද මරන තර්ජන පත්‍රිකාව

එදින පස්වරුවේ සම්මන්ත්‍රන ශාලාව භාවිතා කිරීමට නියමිත ව සිටි සාමාජිකයන් සොයාගත් මෙම පත්‍රිකා, නොවැම්බර් මාසයේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස දිවුරුම් දුන් තැන් පටන් මාධ්‍යවලට එරෙහි ව යලි එල්ල කරන ප්‍රහාරයන්ගේ කොටසකි. “අවවාදයයි! අවවාදයයි!” යන සිරස්තලයෙන් යුක්ත වූ එම පත්‍රිකා තුල, ඝාතනය කරන ලද සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංගට ගෞරව දැක්වීම පිනිස පැවති අනුස්මරන රැස්වීමකට සහභාගි වූ ජනමාධ්‍යවේදීන් හත්දෙනෙකුගේ ඡායාරූපයක් තිබුනි.

පත්‍රිකාව මෙසේ ප්‍රකාශ කලේ ය: “මොවුන් ආන්ඩුවට විරුද්ධ ප්‍රවෘත්ති පලකරන විදේශීය-කොටින්ගේ අරමුදල් ලබන අය යි. වැඩිකල් නො යා අපි ඔවුන්ට මරන දඬුවම දෙන්නෙමු.”

ඉලක්කයට ලක්ව ඇති ජනමාධ්‍යවේදීන් වන්නේ, සෙල්වකුමාර් නිලන්තන් (ටැමිල් ගාඩියන්), පුන්නියමූර්ති සසීකරන් (සිරස ටීවී), කුනරාසා සුභෝජන් හා නල්ලතම්බි නිත්‍යනාදන් (ශක්ති ටීවි), ක්‍රිෂ්නකුමාර් (රජයට අයත් ස්වාධීන රූපවාහිනී ජාලය) සහ යාපනයේ පලවන පුවත්පතක් වන තිනක්කුරල්හි වඩිවේල් ශක්තිවේල් හා සුබ්‍රමනියම් ගුනලිංගම් ය.

2009 ජනවාරි 8දා කොලඹට ආසන්න ගල්කිස්සේ තම කර්තෘමන්ඩල කාර්යාලයට මෝටර් රථයෙන් යමින් සිටිය දී ගුවන් හමුදා මුරපොලකට යන්තම් මීටර 100ක් ඔබ්බෙන් හා අධි-ආරක්ෂිත කලාපයක් අසල දී, ගෞරවයට පාත්‍රවූ සන්ඬේ ලීඩර් කර්තෘ වික්‍රමතුංග ඝාතනය ඝාතනය කරන ලදී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි යුද්ධය පිලිබඳ ව වික්‍රමතුංග විවේචනාත්මක විය. එවකට ආරක්ෂක ලේකම් වූ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ කරමින්, ඔහු මිලිටරිය තුල දූෂන හෙලිදරවු කලේ ය. රාජපක්ෂ ඔහුට විරුද්ධ ව අපහාස නඩුවක් පැවරී ය.

ලසන්ත වික්‍රමතුංගගේ අවමගුලේ බැනරයන් (මූලාශ්‍රය: විකිමීඩියා කොමන්ස්) [Source: Wikimedia commons]

මෑතම තර්ජනවලට ප්‍රතිරෝධය දක්වමින්, ශ්‍රී ලංකාවේ මරා දමන ලද අනෙකුත් ජනමාධ්‍යවේදීන් සිහිපත් කිරීම සඳහා බිටීජේඒ විසින් තවත් අනුස්මරන රැස්වීමක් ජනවාරි 25දා පැවැත්වී ය. ජනවාරි 23 “මරන දඬුවම්” පත්‍රිකා, “අපගේ මිය ගිය සහෘදයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටීමෙන් අප ව වලක්වා බියවැද්දීමේ උත්සාහයක්” යි ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනමාධ්‍යවේදියෝ වෙත නම් සඳහන් නො කල මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් කියා සිටියේ ය.

ජනමාධ්‍යවේදීන් හත්දෙනා මඩකලපුව පොලීසියට පැමිනිල්ලක් දැමූ බව ජාත්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය (අයිඑෆ්ජේ) හා එහි ශ්‍රී ලංකාවේ අනුබද්ධ අංශය වන මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය (එෆ්එම්ඊටීයූ) වාර්තා කලේ ය. මෙම සංවිධාන දෙක මෙන් ම දේශසීමා රහිත වාර්තාකරුවෝ (ආර්එස්එෆ්) තර්ජනාත්මක පත්‍රිකා හෙලාදකිමින්, ජනමාධ්‍යවේදීන් සඳහා “සුදුසු පොලිස් ආරක්ෂාව” ලබා දෙන ලෙස ඉල්ලා සිටිය හ.

අතීත තර්ජන මෙන් නවතම තර්ජනය ද මිලිටරිය හෝ පොලීසිය සමග ක්‍රියාකාරී වන පැරාමිලිටරි කන්ඩායමක් විසින් මෙහෙයවූවා විය හැකි ය. ජනමාධ්‍යවේදීන් හා දේශපාලන විරුද්ධවාදීන් පැහැරගෙන යාමේ, ඔවුන්ට ප්‍රචන්ඩ ප්‍රහාර එල්ල කිරීමේ හා මරා දැමීමේ දීර්ඝ හා රුදුරු වාර්තාවක් මෙම කන්ඩායම්වලට තිබේ. විශේෂයෙන් ම උතුර හා නැගෙනහිර ඇතුලු ව ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් දුසිම් ගනනක් පසුගිය දශකය පුරා පැරාමිලිටරි කන්ඩායම් විසින් ඝාතනය කොට තිබේ.

නවතම තර්ජන හෙලාදැකීමට හා පැරාමිලිටරි කන්ඩායම් විසින් ඝාතනය කල, අතුරුදන් කල හා ශාරීරික ප්‍රහාරයන්ට ලක්වූ සියලු මාධ්‍ය කම්කරුවන් සිහිපත් කිරීමට, ක්‍රියාකාරී ජනමාධ්‍ය සංගමය හා එෆ්එම්ඊටීයූ ඇතුලු ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සංවිධාන කිහිපයක් ජනවාරි 30දා කොලඹ දී “කලු ජනවාරි” විරෝධතාවක් පැවැත්වී ය.

ජනවාරි 23දා මඩකලපුව ජනමාධ්‍යවේදීන්ට එරෙහි ව එල්ල කල තර්ජන, මේ මාසය තුල වාර්තා වූ ඒ හා සමාන සිද්ධි කිහිපයකින් එකක් පමනි.

තර්ජනාත්මක ආකාරයෙන් හැසිරුනු එරාවූර් පොලිස් ස්ථානයේ නිලධාරීන් කිහිප වතාවක් නිලන්ත ව බැලීමට පැමිනියේ ය. නිලන්ත තමන්ගේ රාජකාරිවලට බාධා කල බව ව්‍යාජ ලෙස කියාපෑ චෙන්කලඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධානී එන්. විල්වරත්නම් විසින් කරන ලද මාස 10ක් පැරනි පැමිනිල්ලක් පිලිබඳ ව පොලීසිය ක්‍රියාත්මක වූවා යයි විශ්වාස කෙරේ. එහෙත් නිලන්ත කරන ලද්දේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දූෂනයට එරෙහි ව ප්‍රදේශවාසීන් පැවැත්වූ විරෝධතාවක් වාර්තා කිරීම පමනි.

■ ලංකාදීප උසාවි වාර්තාකාරියක් වන නිමන්ති රනසිංහ, පාතාල මැරයෙක් විසින් කරන ලද මරන තර්ජනයක් පිලිබඳ ව පැමිනිල්ලක් කිරීමට ජනවාරි 10දා කොලඹට ආසන්න මුල්ලේරියාව පොලිස් ස්ථානයට ගියා ය. රනසිංහ ඇයගේ තොරතුරු මූලාශ්‍ර හෙලි කිරීම ප්‍රතික්ෂේප කල නිසා ඇයගේ පැමිනිල්ල සටහන් කරගැනීම ස්ථාන භාර නිලධාරියා (ඕඅයිසී) විසින් ප්‍රතික්ෂේප කලේ ය. ඕඅයිසී තමන්ට සැලකූ ආකාරය ගැන ඇය දැන් පැමිනිල්ලක් ගොනුකොට ඇත.

■ ජනවාරි 19දා, හඳුනා නො ගත් කන්ඩායමක් යාපනයේ පලවන වාලම්පුරී පුවත්පතේ ජනමාධ්‍යවේදී අයි. රාජේස්කරන්ගේ මනිපායිහි පිහිටි නිවසට හානි කලේ ය. දෙසැම්බර් මාසයේ දී මෙය සිදුකලේ තවත් ජනමාධ්‍යවේදියෙකුට අයත් අසල නිවසකට ද හානි කරමිනි.

පසුගිය වසරේ පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාර හා මේ ජනවාරිය අතර කාලය තුල, “මානව හිමිකම් හා මාධ්‍ය සංවිධාන වෙත කලින් දැනුම් නො දී, 12 වතාවකට වඩා බලධාරීන් පැමින තිබුනු” බව, ජනවාරි 16 දා “ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සංවිධාන, මාධ්‍ය සංවිධාන හා ජනමාධ්‍යවේදීන්ට එරෙහි ප්‍රහාර” යන හිසින් ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය නිකුත් කල විශේෂ වාර්තාවක් සඳහන් කලේ ය.

“අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත විමර්ශන අංශය ඇතුලු ශ්‍රී ලංකාවේ පොලීසියේ මෙන් ම රාජ්‍ය ඔත්තු සේවයේ සාමාජිකයන් විසින්, මානව හිමිකම් හා මාධ්‍ය සංවිධානවල පුද්ගලයන්ගෙන් ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය ගැන ප්‍රශ්න කරන ලදැ” යි වාර්තාව කියා සිටියේ ය.

දෙසැම්බරයේ සංස්ථාපිත මාධ්‍ය ප්‍රධානීන් හමු වූ ජනාධිපති රාජපක්ෂ ඔවුන්ගේ ප්‍රකාශන තම ආන්ඩුවේ පිලිවෙත සමග පෙලගස්වන ලෙස උපදෙස් දුන්නේ ය. “රටේ අභිමානය ඉහල නැංවීමට උපකාරී වන ජනමාධ්‍යවේදයක් හරහා මාධ්‍ය සංවිධාන රට වෙනුවෙන් තමන්ගේ කාර්යභාරය ඉටුකරනු ඇතැ යි මා අපේක්ෂා කරනවා” යි ඔහු ප්‍රකාශ කලේ ය.

2005 සිට 2015 දක්වා තම සහෝදර මහින්ද ගේ ජනාධිපතිත්වය යටතේ රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධුරය දැරූ කාලයේ දී ජනමාධ්‍යවේදීන්ට මරන තර්ජන කිරීම්, ඔවුන් ව ඝාතනය හා අතුරුදන් කිරීම් සුලභ දේවල් විය.

මාධ්‍ය කම්කරුවන්ට එරෙහි ප්‍රහාරවලට වගකිව යුත්තන් හෙලි කොට චෝදනා ඉදිරිපත් කරන බවට පොරොන්දු වෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ බලයට පැමිනියත් කිසිවක් වෙනස් නො වී ය. දේශපාලන විශ්ලේෂක හා කාටූන් ශිල්පී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම සහ රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන්, නේෂන් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ කීත් නොයාර් හා එහි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නාමල් පෙරේරා පැහැරගෙන ගොස් පහර දීම පිලිබඳ පොලිස් විමර්ශන, දේශපාලනික ව ප්‍රමාද කිරීමේ උපාමාරු වූ අතර ඉන් කිසිවක් සිදු නො වී ය.

යථාර්ථයේ දී මාධ්‍ය කම්කරුවන් බියවැද්දීම හා පීඩාවට පත්කිරීම සහ ප්‍රකාශනයේ නිදහස මත ප්‍රහාර, සිරිසේන-වික්‍රමසිංහ පාලනය යටතේ අඛන්ඩ ව සිදු විය. මෙයට සම්මාන ලාභී ලේඛක ශක්තික සත්කුමාර බන්ධනාගාරගත කිරීම හා කලාකරු මාලක දේවප්‍රියට පොලීසිය විසින් තර්ජනය කිරීම් ඇතුලත් ය. සිද්ධීන් දෙක ම ආරම්භ කරන ලද්දේ අන්ත-දක්ෂිනාංශික බෞද්ධ භික්ෂූන් විසින් පොලීසියට කරන ලද පැමිනිලිවලින් පසුව ය.

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් හා මාධ්‍ය නිදහස මත තීව්‍ර වන ප්‍රහාර ජාත්‍යන්තර ප්‍රපංචයකි. මෙහි තියුනු ම ප්‍රකාශනය වන්නේ විකිලීක්ස් ප්‍රකාශක ජූලියන් අසාන්ජ්ට චෝදනා නගා බි්‍රතාන්‍යයේ සිරගත කිරීම හා ඔත්තු බැලීමේ චෝදනා නැගීම සඳහා ඔහු ව එක්සත් ජනපදයට උදර්පනය කිරීමේ උත්සාහයන් ය.

රාජපක්ෂ ජනාධිපති ලෙස දිවුරුම් දුන් තැන් පටන් මාධ්‍ය කම්කරුවන්ට එරෙහි ව තීව්‍ර කරන බියවැද්දීම් නො තකා හැර ඇති ශ්‍රී ලංකාවේ සංගත මාධ්‍ය, මඩකලපුව ජනමාධ්‍යවේදීන්ට එරෙහි ව නිකුත් කර ඇති මරන තර්ජන ගැන වචනයක් වත් පලකොට නැත. වැඩ වර්ජන හා විරෝධතා පුපුරා යාම පිලිබඳ ව කාංසා සහගත වන නව ආන්ඩුව ආඥාදායක පාලන ක්‍රම කරා පියවර ගන්නා තතු තුල වැඩෙන බලහත්කාරය, කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍ර අයිතීන්වලට එරෙහි පලල් කඩාපැනීමක කොටසකි.

Share this article: