කොරෝනා වෛරසය “ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ” ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි

World Health Organisation officially declares coronavirus a “global health emergency”

ජේම්ස් කොගන් විසිනි, 2020 ජනවාරි 31

ලෝක සෞඛ්‍ය සංවිධානය (ඩබ්ලිව්එච්ඕ) ඊයේ තීරනය කලේ, 2019දී වූහාන් යන චීන නගරය පසුබිම් කරගෙන බෝවන බවට ප්‍රථම වරට හඳුනාගත් කොරෝනා වෛරසය “ජාත්‍යන්තර සෞඛ්‍ය පිලිබඳ හදිසි අවස්ථාවක්” (ඡ්‍යෑෂක්‍) ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට ය. එම වර්ගීකරනය 2002-03 අතර (ි්රි - ිැඩැරු ්ජමඑැ රුිචසර්එදරහ ිහබාරදපැ) සාස් වෛරසය පැතිර යාමෙන් පසුව ඩබ්එච්ඕව විසින් 2005 දී ස්ථාපිත කරන ලදී. එතැන් සිට, 2009 සූකර උන, 2014 දී ඉබෝලා සහ පෝලියෝ පැතිරීම, 2016 සිකා වෛරසය සහ 2019 මධ්‍යම අප්‍රිකාවේ ඉබෝලා නැවත පැනනැඟීම යන අවස්ථා පහකදී එය ප්‍රකාශයට පත් කර ඇත.

චීන බලධාරීන් ඊයේ රාත්‍රියේ වාර්තා කලේ, ආසාදනය වූ බවට තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව අවම වශයෙන් 8,100 ක් දක්වා ඉහල ගොස් ඇති බවයි. මෙම වෛරසය එහි ප්‍රභවය වන වුහාන් හි සිට චීන භූමිය පුරා ද දැන් ලොව පුරා ද පැතිරී ඇත. තායිවානය, හොංකොං, මැකාවෝ, සිංගප්පූරුව, නේපාලය, ඉන්දියාව, ශ්‍රී ලංකාව, තායිලන්තය, වියට්නාමය, කාම්බෝජය, මැලේසියාව, පිලිපීනය, ඕස්ටේ්‍රලියාව, දකුනු කොරියාව, ජපානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජර්මනිය, ප්‍රන්සය, ෆින්ලන්තය, එක්සත් ජනපදය සහ කැනඩාව යන රටවල අවම වශයෙන් රෝගීන් 100 ක් පමන හඳුනාගෙන තිබේ. ඔවුන් ප්‍රධානකොටම වූහාන්හි සිට පැමිනි හෝ එහි ගිය අයයි. සැක සහිත ආසාදනයන් දුසිම් ගනනක් වෙනත් රටවල විමර්ශනය කෙරෙමින් පවතී.

කාම්බෝජයේ නොම් පෙන්හි උසස් පාසලක උදේ පන්තියට පෙර කොරෝනා වයිරසය ස්පර්ශ වීම වලක්වා ගැනීම සඳහා සිසුන් තම දෑත් සනීපාරක්ෂාව සඳහා පෙල ගැසී සිටිති. 2020 ජනවාරි 28 අඟහරුවාදා . [ඒපී ඡායාරූපය/ අනුග්‍රහය: හෙන්ග් සිනිත්]

ප්‍රතිජීවක හෝ පවතින ප්‍රතිවෛරස් ඖෂධ වලින් ප්‍රතිකාර කල නොහැකි හා දරුනු නියුමෝනියාවට තුඩු දිය හැකි, කොරොනෝ වෛරස් ආසාදනයට සෘජුවම සම්බන්ධ මරන සංඛ්‍යාව දැනට 171 ක් වේ. සියලු‍ මරන චීනයේ සිදු වූ අතර චීන බලධාරීන් පවසන පරිදි ඒ අය, ප්‍රධාන වශයෙන් විවිධ රෝග සඳහා දැනටමත් වෛද්‍ය ප්‍රතිකාර ලබන වයස්ගත පුද්ගලයින්ය. සාස් සහ මැදපෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය (මර්ස්) වැනි අනෙකුත් වෛරස් රෝග වලට සාපේක්ෂව මරන අනුපාතය සියයට 2.7 ක පමන අඩු මට්ටමක පවතී. අන් ඕනෑම වෛරසයක් මෙන් එයට ද පැතිර යන විට වඩාත් මාරාන්තික ප්‍රතිවිපාක ඇති කිරීමේ හැකියාව ඇත.

සාස් හා මර්ස් මෙන්ම 2019 කොරෝනා වෛරසය ද බොහෝ විට වව්ලන් හෝ නයින් ගෙන් හටගෙන මිනිසුන්ට ආසාදනය වී ඇති සත්ව වෛරසයකි. වර්තමානයේ විද්‍යාඥයින්ගේ මතය වන්නේ එය කැස්ස මගින් පැතිරෙන ශ්වසන “ජල බිඳිති” හරහා මිනිසුන් අතර සම්ප්‍රේෂනය වන බවයි. එබැවින් බොහෝ විට යමෙකු ආසාදිත පුද්ගලයෙකුට සමීපව හා අසල ස්ථානයක රැඳී සිටියේ නම් පමනක් එය බෝවිය හැකි බවයි. සංසන්දනය කිරීමේදී, අවම වශයෙන් ඇමරිකානුවන් මිලියන 15 කට පමන ආසාදනය වූ, 2019-2020 උන සමයේදී 8200 ක් මියගිය, පොදු ඉන්ෆ්ලු‍වෙන්සා වෛරසය, මිනිසුන් අතර වඩාත් පහසුවෙන් පැතිරෙන වෛරසයකි.

ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස නම් කිරීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීහු, 2019 කොරෝනා වෛරසය චීනයෙන් පිටත මිනිසකුගෙන් තවත් මිනිසෙකුට සම්ප්‍රේෂනය වීම ඉහල නඟිමින් ඇති බවට වන සාක්ෂි සැලකිල්ලට ගත්හ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ඊයේ රාත්‍රියේ පැවති මාධ්‍ය හමුවකදී මෙසේ පැවසීය. “මෙම ප්‍රකාශයට ප්‍රධාන හේතුව චීනයේ සිදුවෙමින් පවතින දේ නොව, වෙනත් රටවල සිදුවෙමින් පවතින දේය. අපගේ ලොකුම කනස්සල්ල වන්නේ, දුර්වල සෞඛ්‍ය පද්ධතියක් ඇති රටවලට වෛරසය පැතිරීමේ හැකියාව සහ එය සමඟ කටයුතු කිරීමට පවතින නොහැකියාවයි.”

ජනමාධ්‍ය සාමාන්‍යයෙන් මෙම ප්‍රකාශය අර්ථකථනය කර ඇත්තේ, ඊනියා ඌන සංවර්ධිත හෝ “තුන්වන ලෝකයේ” රටවල් වෙත ඇඟිල්ල දික් කිරීමක් වශයෙනි. ඇත්ත වශයෙන්ම, මිනිසෙකුගෙන් මිනිසෙකුට බෝවන වන බවට දැන් චිකාගෝවේ වාර්තා වී ඇති සිද්ධියක් එක්සත් ජනපදය සැලකිලිමත් වන ලැයිස්තුවේ ඉහලම තැනට පත්ව තිබේ. මිලියන සංඛ්‍යාත ජනතාවක් දරිද්‍රතාවයෙන් පෙලෙන අතර කිසිදු සෞඛ්‍ය රක්‍ෂනයක් නොමැති අතර මහජන සෞඛ්‍ය පද්ධතිය දැඩි සම්පත් හිඟයකට මුහුනපා ඇත. ප්‍රධාන ඇමරිකානු නගරයක, දරුනු ශ්වසන රෝග සඳහා රෝගීන් දහස් ගනනක් එකවර ප්‍රතිකාර ලබා ගන්නට පැමිනියහොත්, එය වෛද්‍ය පද්ධතිය මුලුමනින්ම යටකරගනු ඇත. සෑම ඊනියා “දියුනු” ධනවාදී රටකම පාහේ පවතින්නේ ඊට නොවෙනස් තත්වයකි.

2019 කොරොනා වෛරසය සඳහා එන්නතක් අවම වශයෙන් මාස හතරකදීවත් නිෂ්පාදනය කර වසරක් තුලවත් සාමාන්‍ය ජනතාවට ලබා දීමට නොහැකි වීමේ කාරනය නිසා අන්තරාය උග්‍ර වන්නේය. කාලයත් සමඟ සලකා බලන කල ඊට බලපා ඇති එක් සාධකයක් වන්නේ, බෙහෙත අලෙවි කිරීමෙන් තම ව්‍යාපාර හිමියන්ට වැඩි ලාභ ලබාගත හැකි පරිදි, පේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීමට ජාත්‍යන්තරව ප්‍රතිවිරුද්ධ වෛද්‍ය නිෂ්පාදකයින් දුසිම් ගනනක් අතර ඇතිව තිබෙන තරඟයයි.

වෛද්‍ය පහසුකම්, කැපවූ නිරෝධායන වාට්ටු සහ සම්බන්ධීකරන පර්යේෂන කන්ඩායම් යෙදවීම වැනි, බරපතල වසංගත රෝග සඳහා වන ජාත්‍යන්තර නොසූදානම ලොව පුරා ප්‍රකාශයට පත් වන්නේ, වෛරසයට බියපත්ව ප්‍රතිචාර දැක්වීම තුලිනි.

චීනයේ සෞඛ්‍ය සේවකයින්ට, ඔවුන්ගේම ආරක්ෂාව සහතික කරන ආරක්ෂිත ඇඳුම් කට්ටල හිඟය හා වෛරස් ආසාදනය හඳුනා ගැනීම සඳහා පරීක්ෂන කට්ටල ප්‍රමානවත් පරිදි නොලැබෙන බවට වාර්තා වේ. එක් වුහාන් රෝහලක හෙදියක් සීඑන්එන් වෙත පැවසුවේ, කාර්ය මන්ඩලයේ 500 න් අවම වශයෙන් 30ට වත් දැන් වෛරසය ආසාදනය වී ඇති බවයි. රෝහල්වල ඇඳන් පිරී ඇති අතර දරුනු රෝග ලක්ෂන නොපෙන්වන්නේ නම් ගෙදර යන ලෙස මිනිසුන්ට පවසන්නේය. චීන බලධාරීන් විසින් අතිරේක වෛද්‍යවරුන් සහ විශේෂඥයින් 1800 ක් හුබෙයි පලාත වෙත ගෙන ගොස් ඇති අතර, රෝගීන් සංඛ්‍යාව සමඟ සාර්ථකව කටයුතු කිරීම සඳහා ඇඳන් 2,300 ක් සහිත තාවකාලික රෝහල් දෙකක් වේගයෙන් ඉදිවෙමින් පවතී.

චීන ආන්ඩුව විසින් ජනවාරි 22දා සිට හුබෙයි පලාතේ වුහාන් සහ අනෙකුත් නගර මුද්‍රා තබා වෛරසය පැතිරීම වැලැක්වීමට උත්සාහ කර ඇත. සමස්තයක් වශයෙන් ගත් කල, මිලියන 50 ක පමන ජනතාවක්, සංචාරක තහනම යටතේ ජීවත් වෙති. කෙසේ වෙතත් ධනය හා බලය ඇති අය, එවැනි සියලු‍ ක්‍රියාමාර්ග පහසුවෙන් මඟ හැර යති. එපමනක් නොව, කොරෝනා ප්‍රථම වරට හඳුනාගනු ලැබුවේ දෙසැම්බර් අග දී ය. නිරෝධායනය ප්‍රකාශයට පත් කරන විට, මිලියන පහක පමන ජනතාවක් මධ්‍යම චීනයේ විශාලතම නගරය වන වුහාන් වලින් පිටතට ගොස් ඇත. වෛරසය පැතිරීමට බලපාන සාධකයක් වූයේ, නගරයේදී අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි වීම නිසා මිනිසුන් චීනයේ වෙනත් ප්‍රදේශ කරා ඇදී යාම යි.

වෛරසය හොඳින් හා සැබවින්ම ගෝලීය වී සෑහෙන කලකට පසුවය, බොහෝ ගුවන් සමාගම් චීනය තුලට සහ ඉන් පිටතට කෙරෙන සිය ගුවන් ගමන් අත්හිටුවා හෝ අඩු කර ඇත්තේ. ජාත්‍යන්තර ගුවන් තොටුපලවල් වෛරසයේ විභව වාහකයන් හඳුනා ගැනීමට උත්සාහ කිරීම සහ පරීක්ෂා කිරීම සඳහා සවිස්තරාත්මක පරීක්ෂන පියවරයන් සකස් කර ඇත ද ආසාදිත පුද්ගලයින් දින හතක් හෝ 10 ක් දක්වා කිසිදු රෝග ලක්ෂනයක් පෙන්වන්නේ නැත. රුසියාව සහ උතුරු කොරියාව, චීනය දිගේ සිය දේශසීමා මුද්‍රා තබා තිබේ. ඉතාලියේදී, මගීන් දෙදෙනෙකු වෛරසය ආසාදනය වී ඇති බවට සැක කිරීම නිසා භීතියට පත් බලධාරීන්, මගී නෞකාවක සිටි දහස් ගනනකට පිටතට යාමට ඉඩ දීම ප්‍රතික්ෂේප කලහ. පරීක්ෂන ප්‍රතිපල සෘනාත්මක විය.

රටවල් ගනනාවක් තම පුරවැසියන් වුහාන් කලාපයෙන් ඉවත් කිරීම සඳහා ගුවන් ගමන් සංවිධානය කර ඇති නමුත්, බොහෝ විට ප්‍රමිතියෙන් තොර තත්වයන් යටතේ ඔවුන් නිරෝධායනයෙහි තබා ඇත. ඕස්ටේ්‍රලියානු ආන්ඩුව, නොසැලකිලිමත් භාවය පිලිබඳව කැපී පෙනේ. සිය ගනනක් ඕස්ටේ්‍රලියානු ජාතිකයන් ඉවත් කිරීම සඳහා එක් අයෙකුගෙන් ඩොලර් 1,000 ක් අය කිරීමට උත්සාහ කරන අතර, ඉන්දියානු සාගරයේ නත්තල් දූපත තුල ඔවුන් හුදෙකලා කොට ඊනියා නීතිවිරෝධී සරනාගතයින් සිරගත කිරීම සඳහා ඉදිකර ඇති පහසුකම් රහිත අඳුරුකුටිවල ඔවුන් රඳවා තැබීමට ආන්ඩුව අදහස් කරයි.

එක්සත් ජනපදය සහ චීනය ද එරට සමඟ පෙල ගැසී සිටින එහි සගයන් අතර ද ඇති භූ-මූලෝපායික හා ආර්ථික ආතතීන් මධ්‍යයේ, වෛරසය පැතිරීම මගින් නිර්මානය වී ඇති තත්වය විවිධ වාචාලයින් විසින් ගසාකනු ලබන්නේ, චීන විරෝධී භීතිකාව ඇවිස්සීමටත්, තමන්ගේ රටවල් හුවාදැක්වීමේ ජාතිකවාදය ගායනා කිරීමටත් ය.

වෛරසය හඳුනා ගැනීම සහ සෞඛ්‍ය අනතුරු ඇඟවීම් සහ දැඩි නිරෝධායන ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කිරීම අතර ඇති වූ ප්‍රමාදය හේතුවෙන් “සියල්ලන්ම අවදානමට ලක් කර ඇති” බවට චීන ආන්ඩුවට දොස් පවරමින් වොෂිංටන් පෝස්ට් ඊයේ කතුවැකියක සිරස්තලය පල කලේය. එක්සත් ජනපදයේ “නිදහස් මාධ්‍ය” මගින් තොරතුරු වඩාත් ඉක්මනින් හෙලි කරන බවට සහතික විය හැකි යයි පෝස්ට් පත්‍රය ඇඟවුම් කලේය. ඇත්ත වශයෙන්ම වරින් වර මතුවී ඇති පරිදි, ප්‍රධාන ඇමරිකානු පුවත්පත් සහ මාධ්‍ය ජාලයන් සිය චීන සගයන් මෙන්ම, ආන්ඩුව හා ව්‍යාපාරික පාලක පන්තිය වෙනුවෙන් තොරතුරු වාරනය කිරීම සඳහා සමීප සහයෝගයෙන් කටයුතු කරයි.

රුපර්ට් මර්ඩොක්ට අයත් ඕස්ටේ්‍රලියානු ජාතිකයා පුවත්පත, දක්ෂිනාංශික ශාස්ත්‍රාලිකයෙකු වන සැල්වෝටෝර් බාබෝන්ස් විසින් කල, විශේෂයෙන් අසභ්‍ය අදහසක් ප්‍රකාශයට පත් කලේය. සතුන්ගෙන් මිනිසුන්ට වෛරස් බෝවීමට හේතුව, ඕස්ටේ්‍රලියාවේ මෙන් නොව චීනයේ, කොන්ෆියුසියානුවාදය සහ “කොමියුනිස්ට්වාදය” හේතුකරගෙන රජය මත රඳා පැවතීම සහ සනීපාරක්ෂාව සහ මහජන සෞඛ්‍යය සහතික කිරීම සඳහා “ස්වයං-සංවිධාන” ඇතිකරගෙන නොතිබීම බව ඔහු ඇඟවුම් කලේය.

බබෝන් මෙසේ ලිවීය: “ඕස්ටේ්‍රලියානු සිවිල් සමාජය, නිලධරයන් මිලියන 100 කට කල නොහැකි දේ ඉටු කරයි. එය ආර්ථිකයේ සෑම ස්ථානයකම, සෑම විටම පාහේ ආරක්ෂිත පිලිවෙත් පුලුල් ලෙස ප්‍රවර්ධනය කිරීමෙන් යහපත් මහජන සෞඛ්‍යයක් සහතික කරයි.”

දශක ගනනාවක් තිස්සේ ඕස්ටේ්‍රලියාවේ පැවති ආන්ඩුවල උදාසීනත්වය සහ අකාර්යක්ෂමතාව තුලින්, දේශගුනික විපර්යාස හා බැඳුනු නියඟය, ලැව්ගිනි හා ජලගැලීම් වැනි ස්වාභාවික විපත්වල ව්‍යසනකාරී බලපෑම් වලට සමස්ත ජනගහනයම අතහැර දමනු ලැබීමේ කාරනය සැලකිල්ලට ගන්නා කල, එවැනි ජාතිකවාදී ප්‍රකාශයන්ගේ පරිපූර්න මුග්ධත්වය එලිමහනට පැමිනේ. හදිසි සේවා සහ සමාජ ආධාරක ජාලයන් සම්පත් හිඟයකට මුහුනපා ඇති හෙයින් අවශ්‍ය ආධාර සැපයීමට අපොහොසත් වී ඇති අතර, මෑත සතිවල දී ගින්නෙන් පීඩාවට පත් නගරවල සහ ප්‍රදේශවල ජනතාවට “ස්වයං සංවිධානය” කරා යොමු වීමට සිදුවිය.

මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවිතවලට හානි පමුනුවන, දේශගුනික විපර්යාසයන්ට බැඳුනු ව්‍යසනයන් සේම වෛරස් පැතිරීම ද, ජාත්‍යන්තර විද්‍යාත්මක සැලසුම්කරනයේ හා සංවිධානයේ ද සෞඛ්‍ය හා ආරක්‍ෂිත යටිතල පහසුකම්, හදිසි සේවා, රෝග පැතිරයාම වැලැක්වීමේ පියවර සඳහා ඩොලර් බිලියන සිය ගනනක් ආයෝජනය කිරීමේ අවශ්‍යතාවය කෙලින්ම මතු කරයි. බාධකය වන්නේ, සුලුතරයකගේ පුද්ගලික ලාභ සමුච්චය සඳහා ආර්ථික හා සමාජ ජීවිතය යටත් කරන හා, ඒකාබද්ධ හා අන්තර් රඳා පැවැත්මක් සහිත ගෝලීය ආර්ථිකය, තරඟකාරී ජාතික රාජ්‍යයන් ලෙස බෙදා පවත්වා ගෙන යන, ධනවාදී ක්‍රමයයි.

Share this article: