බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවෙකු මියයයි

එම්. දේවරාජා විසිනි, 2020 පෙබරවාරි 20

කොටගල වතු සමාගම විසින් පාලනය කරනු ලබන පතන කෙලී වත්තේ කම්කරුවෙකු වන 56 හැවිරිදි එම්. ඊශ්වරන් බඹර ප්‍රහාරයකින් පසුගිය ජනවාරි 23 වෙනිදා මියගියේය. ඔහු සිවු දරු පියෙකි. ඊශ්වරන් මෙම ඛේදජනක සිද්ධියට මුහුන දුන්නේ කෙලී වත්ත ආසන්නයේ පිහිටි දිඹුල වත්තේ වැඩ කරමින් සිටියදීය. අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගත කල තවත් කම්කරුවන් හතර දෙනෙකුට දින ගනනාවක් නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සිදුවිය.

එදිනම තවත් බඹර ප්‍රහාරයක් තලවකැලේ වටගොඩ වත්තේ ඉහල කොටසෙහි සිදුවී තිබේ. කාන්තා කම්කරුවෝ 27 ක් සහ පිරිමි කම්කරුවෝ 3 දෙනෙක් ඊට ගොදුරු වූහ. ඉන් කම්කරුවන් 13 දෙනෙකු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන ඇත. බඹර පහරදීම් වතුකරය තුල අතිශය සුලබය. ඊස්වරන්ගේ මරනය ආසන්නතම සිද්ධිය වේ. වසර පහකට පෙර එම වත්තේම කම්කරුවෙකු වන කේ.සිවප්‍රහසන් බඹර පහරදීමකින් මිය ගොස් ඇත.

බොහෝ වතුවල සමහර කොටස්වල තේ වගාව අතහැර දැමීම සහ ඒවා වල්වැදීම වතු කම්කරුවන් මුහුන දෙන මෙම මරනීය අන්තරායන්ට එක මූලික හේතුවකි. කොටගල වතු සමාගම මගින් පාලනය කරනු ලබන වතුවල තේ වගාව අතහැර දැමූ කොටස්වල වානිජ දැව වගාවක් ලෙස ටර්පන්ටයින් වගා කොට තිබේ. එම කොටස්වල බඹරු, දෙබරු, මීමැස්සන්, විසකුරු සර්පයින්, කැලෑ බලලුන් සහ අනෙකුත් අන්තරායකාරී සත්තු බෝවී සිටිති. එහෙත් මෙම සතුන්ගේ පාහරදීම්වලින් ඔවුන්ව ආරක්ෂා කිරීම සඳහා වතු පාලකයන් කිසිදු පියවරක් නොගන්නා බවට කම්කරුවෝ චෝදනා කරති. කම්කරුවන් මුහුන දෙන අනෙක් සියලු ප්‍රශ්න වල දී මෙන් ම, මෙහි දී ද වතු සමාගම්වල ඒජන්තයන් ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිති ද කම්කරුවන් මුහුන දෙන මෙම තත්වය ගැන කිසිදු සැලකිල්ලක් දක්වනේ නැත.

කෙලී වත්ත වත්ත, සමාගම වෙත පැවරීමට පෙර එහි හෙක්ටයාර් 175 ක තේ වගා කර තිබුන බවත්, දැන් එම ප්‍රමානය හෙක්ටයාර් 90 දක්වා අඩු වී ඇති බවත් කම්කරුවෝ කීහ. තේ වගාව අතහැර දමා ඇති විශාල ප්‍රදේශයක ටර්පන්ටයින් වගාකර තිබේ. ඉන් තමන්ගේ රැකියා අහිමි වන අතර දැව අලවියෙන් සමාගම රුපියල් මිලියන ගනන් සුවිශාල ලාභයක් ලබා ගන්නා බව ද කම්කරුවෝ කියති. කම්කරුවන්ට අනුව ටර්පන්ටයින් දැව විකිනීමෙන් 2017 සහ 2018 වසර වල දී කෙලී වත්තේ පාලකයන් රුපියල් මිලියන 255 ක් උපයාගෙන ඇත.

එහි වැඩ නැති නිසා අනියම් පදනමේ අසල්වැසි වතුවල වැඩට යාමට කම්කරුවන්ට බල කෙරී ඇත. කෙලී වත්තෙන් විශ්‍රාම ගෙන සිටි ඊශ්වරන් බඹරු විදීමෙන් මිය යන විට වැඩ කරමින් සිටියේ අසල පිහිටි දිඹුල වත්තේය.

කෙලී වත්ත පිහිටා ඇත්තේ දුෂ්කර හා දුරස්ත ප්‍රදේශයකය. එහි රෝහලක් නැත. රෝහලක් තිබෙන්නේ එහි සිට කිලෝමීටර් 8 ක් දුරින් පිහිටි කොටගල නගරයේ ය. එහෙත් බරපතල රෝගීන් කිලෝමීටර් 15 ක් පමන දික්ඔය හෝ නාවලපිටිය රෝහල් වෙත ගෙන යා යුතුය. රෝගීන් ප්‍රවාහනය සඳහා ගිලන් රථයක් හෝ වෙනත් සුදුසු වාහනයක් වත්තේ නැත. ඊශ්වරන් රෝහලට ගෙන ගොස් ඇත්තේ ත්‍රිරෝද රථයකිනි. වත්තේ පාරවල් ද බෙහෙවින් අබලන් වී ඇත.

"කල් ඇතිව රෝහලට ගෙන ගියානම් ඔහුගේ ජීවිතය රැකගත හැකිව තිබුනා. වත්තේ ප්‍රවාහන පහසුකම් නැති නිසා කලකට ඉහත දී ගැබිනි කාන්තාවක් මියගියා" යැයි වත්තේ කම්කරුවෝ පැවසුහ.

කෙලී වත්තේ කම්කරුවෙකු වන 32 හැවිරිදි තමිලරාසන් මෙසේ පැවසීය: “සමාගම් ඔවුන්ගේ ලාභය වැඩිකර ගැනීමට උනන්දු වෙනවා මිස කම්කරුවන්ගේ සුබසාධනය ගැන කිසිම සැලකිල්ලක් නැහැ. ඔවුන් වතු හොඳින් නඩත්තු කරන්නේ නැහැ. ඔවුන් වතු එලිපෙහෙලි කරන්නේ නැහැ. ගස්වල සහ තේ පඳුරුවල වත්ත හැමතැනම වගේ බඹරු ඉන්නවා. ඔවුන්ව ඉවත් කරන්න පාලකයන් කිසි දෙයක් කරන්නේ නැහැ.ඊශ්වරන් මැරුනෙ ඒ නිසයි. සත්ව ප්‍රහාරයකින් කම්කරුවෙකු මැරුනම සමාගම කිසිම වන්දියක් ගෙවන්නෙත් නැහැ."

අතට ලැබෙන සොච්චම් වැටුප අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීමටවත් ප්‍රමානවත් නොවන බව ඔහු පැවසීය. " ඒ නිසා බොහොමයක් තරුනයන් වත්තේ වැඩ කරන්න අකමැති යි. මේ වත්තේ තරුනයන් 100 ක් පමන රැකියාවලට කොලඹට ගිහිල්ල" යැයි ඔහු වැඩි දුරටත් සඳහන් කලේ ය.

අලුතෙන් බඳවා ගැනීම් කෙරෙන්නේ අනියම් පදනමේ බවත්, වසර 3 ක් හෝ හතරක් යන තුරු ඔවුන්ව ස්ථීර නොකරන බවත් ඔහු පැවසීය. වත්තේ තේ කම්හල වැසීම නිසා කම්කරුවන් 50 කට රැකියා අහිමි වී ඇත.

තමිලරාසන්, වෘත්තීය සමිති කෙරෙහි තම කෝපය ප්‍රකාශ කලේ ය. එහි වෘත්තීය සමිති දෙකක්- ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) සහ ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්) තිබෙන බව ඔහු පැවසුවේ ය. " ඔවුන් අපේ අයිතීන් වෙනුවෙන් සටන් කරන්නේ නැහැ. අපි හැම මාසයකම රුපියල් 150 ක සාමාජික මුදල් ගෙවන්න ඕන. නමුත් වැඩක් නැහැ. ඔවුන් මැතිවරන කාලෙට විතරක් එනවා චන්දෙ ඉල්ලන්න". ඔහු කීවේ ය.

සීඩබ්ලිව්සී ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවට හේත්තු වී සිටින අතර, එහි නායක ආරුමුගම් තොන්ඩමන් එහි ප්‍රධාන ඇමැතියෙකි. එන්යූඩබ්ලිව් දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) මූලිකත්වය දරන ජාතික ප්‍රජාත්නත්‍රවාදී පෙරමුනේ (එන්ඩීඑෆ්) හි පාර්ශව කරුවෙකු වෙයි. එහි නායක පි. දිගම්බරම් එම ආන්ඩුවේ හිටපු ඇමැතියෙකි. කම්කරුවන්ගේ සමාජ හෝ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ගැන මොනම උනන්දුවක් වත් නොදක්වන ඔවුහු වතු සමාගම්වල සහ ධනපති ආන්ඩුවේ සුවච කීකරු සේවකයෝ වෙති. ඒ සඳහා ඔවුන්ට දේශපාලන සහ සමාජ වරප්‍රසාද යහමින් ලැබේ. සෙසු වතු වෘත්තීය සමිති සමග එකාබද්ධව පසුගිය වසරේ වතු කම්කරුවන්ගේ වැටුප් අරගලය නින්දිත ලෙස පාවාදුන් මෙම සමිති දෙක, නිෂ්පාදන ඵලදායිතාවය ඉහල දැමීමේ සමාගම්වල සහ ආන්ඩුවේ සැලසුම් වලට කම්කරුවන් යටත් කලහ.

වෘත්තීය සමිතිවල සහයෝගය ඇතිව නිෂ්පාදන ඵලදායිතාවය ඉහල දමන සහ කම්කරුවන් දැනට භුක්ති විදින සේවක අර්ථ සාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදල් වැනි සීමිත සමාජ සහන පවා අහෝසි කෙරෙන ආදායම් බෙදීමේ ක්‍රමය මුලුමනින් ම ක්‍රියාවට දැමීමට වතුසමාගම් සහ ආන්ඩුව සැලසුම්කරමින් සිටිති.

එම වත්තේම කම්කරු කාන්තාවක් කම්කරුවන් මුහුන දෙන දුෂ්කර සේවා කොන්දේසි විස්තර කලා ය. දවසේ සම්පූර්න පඩිය ගන්න දලු කිලෝ 18 ක් කඩන්න ඕන. හැම මාසයකම අපට ඒ ඉලක්කය සම්පූර්න කරන්න බැහැ. ඊට අමතරව ඔවුන් අපව රවට්ටනවා. අපි කඩන තේ දලු දවසකට තුන් වරක් කිරනවා. එක් වරකට කිලෝ 2ක් හෝ 3 ක් කපනවා දලු දමන මල්ලේ බරට කියලා. වැඩිම වුනොත් මල්ල ග්‍රෑම් 200 ක් බර ඇති. දවසකට කිලෝ 9 ක් විතර එහෙම කපනවා. දලු කිලෝ 14 ට අඩුවෙන් කැඩුවොත් ගෙවන්නේ දවස් බාගේ පඩිය. ඉතුරු කිලෝ 5 ට කිලෝවකට රුපියල් 40 යි ගෙවන්නේ. එතකොට දවස් බාගෙට රුපියල් 350 යි අමතර කිලෝ 5 ට 200 යි එකතු වුනාම අපට දවසටම ලැබෙන්නේ රුපියල් 550 යි. රුපියල් 200 ක් බලහත්කාරෙන් උදුරා ගන්නවා. අපි අපේ ජීවිත පරදුවට තියල වැඩකලත් නිසි වැටුපක් ලැබෙන්නේ නැහැ". ඇය පැවසීය.

Share this article: