මුස්ලිම් විවාහ නීතිය පිලිබඳ පනත් සංශෝධනය මුස්ලිම් ජනයාට එරෙහි වාර්ගික උද්ඝෝෂනයේ කොටසක්

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2020 ජනවාරි 16

මුස්ලිම් විවාහ නීතිය ලමා විවාහවලට ඉඩ සලසන හා කාන්තාවන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් යටපත් කරන්නක් වුවද එම නීති සංශෝධනය සඳහා සිංහල බෞද්ධ අන්තවාදීන් විසින් කෙරෙන මැදිහත්වීම මුස්ලිම් ජනයාට එරෙහිව මුදා හැර ඇති වාර්ගික ප්‍රකෝපකරනයේ කොටසකි.

පත්කල පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන භික්ෂුව සහ එක්සත් ජාතික පක්ෂයේ (එජාප) කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුසිතා විජේමාන්න විසින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් විවාහ නීති සංශෝධනය කිරීමේ පනත් 5 ක් ජනවාරි 7 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

පුද්ගලික පනත් ලෙස ඉදිරිපත් කර ඇති මෙම පනත් මගින් 1907 අංක 19 දරන විවාහ (සාමාන්‍ය) විධිවිධාන පනත හා 1951 අංක 13 දරන මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීම, උඩරට විවාහ හා දික්කසාද පනත අහෝසි කිරීම, මුස්ලිම් විවාහ නීතියට අනුව කෙරෙන ලමා විවාහ නීති විරෝධී කිරීම, මුස්ලිම් විවාහ හා දික්කසාද නීතියේ කාන්තාවන් සම්බන්ධයෙන් පවතින කොන්දේසි ඉවත් කිරීම ආදිය යෝජනා කර ඇත.

විවාහ (සාමාන්‍ය) විධිවිධාන පනත අනුව විවාහවීමේ අවම වයස ලෙස සැලකෙන අවුරුදු 18, විවාහ වන දිනට පෙර උපන්දිනය වන විට සම්පූර්න වී තිබිය යුතුය. එහෙත් මුස්ලිම් නීතියට අනුව ගැහුනු දරුවෙකු වැඩිවියට පත් වී සිටීම ප්‍රමානවත් වන අතර වයස අවුරුදු 12 ට අඩුනම් කාති (මුස්ලිම් විවාහ රෙජිස්ට්‍රාර්) වරයාගේ අවසරය ලබා ගත යුතුය.

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත අනුව, යම් පුරුෂයෙකුට තම බිරිඳ දික්කසාද කිරීමට අවශ්‍ය නම් ඇය වෛවාහක වරදක් කල බවට කාතිවරයාට පැමිනිලි කිරීම සෑහේ. එහෙත් බිරිඳට සැමියාගෙන් වෙන්වීම අවශ්‍ය නම් ඒ සඳහා ඔහු කල වරද පිලිගත හැකි ස්වාධීන සාක්ෂි දෙකක් මගින් තහවුරු කල යුතුය. සත්තකින් ම මෙම නීති පුරුෂාධිපත්‍යය මත පදනම් වූ ද කාන්තාවන් පීඩාවට පත් කරන්නාවූ ද ප්‍රතිගාමී නීතිය. ඒවායින් අත්මිදීමේ සාධාරන උවමනාවක් සහ යුක්තිසහගත අයිතියක් මුස්ලිම් ලමුන්ට සහ කාන්තාවන්ට ඇත.

එහෙත්, ඇත්තවශයෙන් ම, මෙම පනත් ඉදිරිපත් කරන්නන්ගේ සැබෑ අරමුන මුස්ලිම් ලමුන් හා කාන්තාවන්ගේ කවර හෝ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ආරක්ෂා කිරීමක් නොවේ. ඊට විපරීතව, එය මුස්ලිම් ජනතාවට විරුද්ධව වාර්ගික ප්‍රකෝපකරනයන් අවුලුවන අතිශය ප්‍රතිගාමී උද්ඝෝෂනයේ කොටසකි. මෙම පනත්වල කතුවරුන්ට මුස්ලිම් ජනතාවගේ කෙසේ වෙතත් ඔවුන් ”‍ඇප-කැප වී”‍ පෙනී සිටින බව කියන සිංහල ජනයාගේ හෝ මොනම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වෙනුවෙන්වත් පෙනී සිටින්නෝ නොවෙති. ඔවුහු සිංහල-බෞද්ධ අධිපතිවාදී ඒකීය ධනේශ්වර රාජ්‍යයේ ආරක්ෂකයෝ වෙති.

විවාහවීමේ අවම වයස පිලිබඳ පනතට තුසිතා විජේමාන්න ඉදිරිපත් කර ඇති සංශෝධනයේ “‍වයස, ජාතිය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී, පුරුෂභාවය, දේශපාලන මතය, උපන් ස්ථානය වෙනත් ඕනෑම කරුනක් නොතකා සියලු දෙනාම සඳහා සමාන ආරක්ෂාව ශ්‍රී ලංකාව තහවුරු කර ඇති”‍ බව සඳහන් වේ. එය අමු මුසාවකි. ශ්‍රී ලංකාවේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව ම, සිංහල-බෞද්ධ ඒකීය රාජ්‍යය ආරක්ෂා කරන වාර්ගික හා ප්‍රජාතන්ත්‍ර-විරෝධී ව්‍යවස්ථාවකි.

ඊනියා නිදහසෙන් පසුව ශ්‍රී ලංකාව තුල තහවුරු කෙරුන ඒකීය වාර්ගික රාජ්‍යය යටතේ සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන් භේද කිරීමේ එල්ලය ඇතිව ආරම්භයේ සිටම දෙමල හා මුස්ලිම් ජනයාට ජාතිය, ආගම හා භාෂාව මත වෙනස්කම් කෙරුනි. වසර 30 ක යුද්ධය දෙමල ජනතාවට එරෙහි වාර්ගික වෙනස්කම් කිරීමේ කුලුගැන්වීම විය.

2009 දී යුද්ධය අවසන් වීමෙන් පසුව මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ ඍජු පිටු බලය සහිත අන්තවාදී සිංහල හා බෞද්ධ සංවිධාන විසින් මුස්ලිම් ජනයාට එරෙහිව රුදුරු ප්‍රකෝපකරනයක් ඉස්මත්තට ගත්තේය. මුස්ලිම් අන්තවාදී කන්ඩායමක් පසුගිය වසරේ අප්‍රේල් 21 පාස්කු ඉරිදා එල්ල කල ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයත් සමග මුස්ලිම් ජන විරෝධී උද්ඝෝෂනය උමතුවක මට්ටමට ඔසවනු ලැබීය. 2019 ජනාධිපතිවරනයේදී, විශේෂයෙන් ම ශ්‍රීලපොපෙ උද්ඝෝෂනය තුල, එය ප්‍රමුඛස්ථානයක් ගත්තේ ය.

රතන භික්ෂුවට ඇත්තේ දෙමල සහ මුස්ලිම් ජනයාට එරෙහිව නිරන්තරව ප්‍රකෝපකරනයන් නිර්මානය කිරීමේ කුප්‍රකට වාර්තාවකි. හෙතෙම, කාන්තාවන් බලහත්කාරයෙන් වන්ධ්‍යකරනයට ලක් කිරීමේ සාවද්‍ය චෝදනා පදනම් කරගෙන වෛද්‍ය ෂිහාබ්දීන් ෂාෆි ට එරෙහිව ගෙන යන වාර්ගික උද්ඝෝෂනයේ පෙරමුනේම සිටින්නෙකි. එමෙන් ම, මුස්ලිම් දේශපාලනඥයන්ට විරුද්ධව සිංහල බෞද්ධ ස්වෝත්තමවාදීන් විසින් ගෙනයන උද්ඝෝෂනයේ ද ඔහු කසකරුවෙකි.

2015 සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව බලයට ගෙන ඒමට දරදිය ඇදි ඔහු 2019 ජනාධිපතිවරනයේ දී ගෝඨාභය රාජපක්ෂට සහයෝගය දෙමින් ශ්‍රීලපොපෙ වර්ගවාදී උද්ඝෝෂනයත් සමග පෙල ගැසුනි.

රාජපක්ෂ ආන්ඩුව මැදී වී සිටින්නේ ආර්ථික-දේශපාලන ගිනිකන්දක් මතය. ජනාධිපතිවරනයේ දී දුන් ජනතාවාදී පොරොන්දු කුනු කූඩයට දමා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආර්ථික කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දැමීමට එයට බල කෙරී ඇත. රාජ්‍ය වියදම් කැපීම, රැකියාවලින් දොට්ට දැමීම, වැටුප් කප්පාදුව ආන්ඩුව විසින් දැනටමත් ක්‍රියාවට දමා ඇත.

ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව කම්කරු-පීඩිත ජනයා අතර කෝපය දැනටමත් වැඩෙමින් පවතී. වැඩකරන ජනතාව සහ රාජපක්ෂ ආන්ඩුව අතර තීව්‍ර ගැටුමක කොන්දේසි ඉස්මතුවෙමින් තිබේ. රාජපක්ෂ ආන්ඩුවට හා පොදුවේ ධනපති පන්ති පාලනයට එරෙහිව කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් වර්ධනය වීම කෙරෙහි පාලක පන්තිය තුල ඇත්තේ ඉමහත් භීතියකි. එවන් ඒකාබද්ධ අරගලයක් ඇතිවීම වැලැක්වීම සඳහා සිංහල, දෙමල සහ මුස්ලිම් කම්කරුවන් බෙදා වෙන්කිරීම අරමුනු කරගත් වාර්ගික ඇවිස්සීම් සහ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ජනාධිපති විධායක බලතල ශක්තිමත් කර ගැනීම හා මිලිටරීකරනය ඇතුලු පියවරයන් තුලින් ආඥාදායක පාලනයක් තහවුරුකර ගැනීමට රාජපක්ෂ ආන්ඩුව වැඩට බැසගෙන ඇත. අතුරලියේ රතන, තුසිතා විජේමාන්න ඇතුලු සිංහල බෞද්ධ අන්තවාදීන් පෙල ගැසී සිටින්නේ රාජපක්ෂ ආන්ඩුවේ මෙම ප්‍රතිගාමී සැලසුම් සමගය.

Share this article: