ස්ටැලින්වාදී නායකයා අස්ථාවර වන ආර්ථිකයේ බරපතල ප්‍රතිවිපාක ගැන ආන්ඩුවට අනතුරු අඟවයි

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2020 ජනවාරි 09

අස්ථාවර වෙමින් තිබෙන ආර්ථිකය “‍බරපතල ප්‍රතිවිපාක”‍ ජනනය කරනු ඇතැයි, ශ්‍රී ලංකාවේ ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ (ශ්‍රීලකොප) ප්‍රධාන ලේකම් ඩිව් ගුනසේකර, දෙසැම්බර් 31 ද අයිලන්ඞ් පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවක දී ආන්ඩුවට අනතුරු ඇඟවීය. “අස්ථාවර වෙමින් පවතින ජාතික ආර්ථිකය නගා සිටුවීමට නිසි පියවර නොගතහොත් බරපතල ප්‍රතිවිපාක ඇතිවිය හැකි”‍ බව ඔහු එහිදී සඳහන් කර ඇත. එහෙයින් 2020 වසර තුල ජාතික ආර්ථිකය යථා තත්වයට පත්කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ ඇති “‍දැවැන්ත අභියෝගය”‍ බව ඔහු පැවසීය. ඇටුවන් බැහැපු ස්ටැලින්වාදියෙකු වන ගුනසේකර ට සහ ඔහුගේ ශ්‍රීලකොප ට ශ්‍රී ලංකාවේ අධිරාජ්‍ය ගැති ධනේශ්වර රාජ්‍යය ආරක්ෂා කිරීම සඳහා කැප වී ගැනීම පිලිබඳව දසක ගනනාවක කුප්‍රකට වාර්තාවක් ඇත.

දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයට (එජාප) විරුද්ධවීමේ කඩතුරාව යටතේ “‍ලිබරල්”‍ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) යේ මඩ කූඩැල්ලෙකු මෙන් දිගටම එල්ලී සිටි ඔහු සහ ඔහුගේ පක්ෂය ශ්‍රීලනිප අපකීර්තියට පත්ව පිරිහී ඇති කොන්දේසි තුල, දැන් මහින්ද රාජපක්ෂ ඇතුලු ශ්‍රීලනිප යේ කන්ඩායමක් ඉන් ඉවත්ව පිහිටුවාගෙන තිබෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලපොපෙ) වන්දිභට්ටකම බාර ගෙන ඇත. ඔහු සහ ශ්‍රීලකොප ජනාධිපතිවරනයේ දී ශ්‍රීලපොපෙ සමග සංධාන ගත වෙමින් ගෝඨාභය රාජපක්ෂ ට සහයෝගය දුන්හ. ධනපති පන්තියේ සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනයේ අන්තේවාසිකයෙකු ලෙස ඉටු කල හා ඉටු කරන පක්කලි සේවය වෙනුවෙන් ඇමති පට්ටම් සහ දේශපාලන වරප්‍රරසාද බුක්ති විඳීමේ වාසනාව ද ඔහුට නොඅඩුව ලැබී ඇත.

ලෝක ධනවාදී ආර්ථිකය ඓතිහාසික බිඳ වැටීමක් කරා රූටා යන කොන්දේසි යටතේ ජීවන තත්වයන්ට හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට ධනපති පාලක පන්තීන් එල්ල කරන ප්‍රහාරවලට විරුද්ධව ගෝලීය පන්ති අරගලයේ ඉහල නැගීමක කොටසක් ලෙස පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල අනධ්‍යන, දුම්රිය, සෞඛ්‍යය, ජල සම්පාදන සහ වතු ක්ෂේත්‍රයන්හි කම්කරුවන් හා ගුරුවරුන් දස දහස් ගනනින් අරගලවලට අවතීර්න වූහ. ඊට සමගාමීව ගම්බද දුගී ගොවීන්, රැකියා විරහිත තරුනයන් හා ශිෂ්‍යයන් ගේ සමාජ අරගල පැන නැගුනි.

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව කෙරෙහි පැවති මහජන වෛරය ගසාකමින් හා ආර්ථික “සෞභාග්‍යය”‍ ඇතිකරන බවට පොරොන්දු දෙමින් ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව බලයට පත්වූ නමුත් අත්‍යවශ්‍ය භාන්ඩ මිල ඉහලයාම සහ රට මිලිටරීකරනය කිරීම ඇතුලු මර්දනකාරී පිලිවෙත් සම්බන්ධයෙන් ආන්ඩුව කෙරෙහි පෘථුල මහජන අප්‍රසාදයක් ලියලමින් ඇත.

“නාස්තිය දුෂනය නැති කොට රට විනය ගත කිරීමේ හා කාර්යක්ෂම රාජ්‍ය සේවයක්”‍ ඇති කිරීමේ ව්‍යාජ බැනරය යටතේ, සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් ක්‍රියාවට නැංවීමට යත්න දැරූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු විධානයන්, කම්කරු පන්තියේ බරපතල විරෝධය හේතුවෙන් බලාපොරොත්තුවූ වේගයෙන් ඉදිරියට ගෙනයාමට නොහැකි විය. එම ආර්ථික කප්පාදු පිලිවෙත් කඩිනමින් ක්‍රියාවට දැමීම රාජපක්ෂ ආන්ඩුව ආරම්භ කොට ඇත.

“‍විනයගරුක සමාජයක් තුල ශක්තිමත් වන සුරක්ෂිත රටක් ජනතාවගේ ප්‍රමුඛ අපේක්ෂාව”‍ බව ද එහෙයින් “ජනතා අපේක්ෂාවන්ට අකුල් හෙලන කුමන හෝ බලවේගයකට රට තුල අප ඉඩක් තබන්නේ නැති”‍ බව ද ජනාධිපති රාජපක්ෂ ඔහුගේ නව අවුරුදු සුබපැතුම් පනිවුඩයේ සඳහන් කර ඇත. එය වනාහි, ආර්ථික “සෞභාග්‍යය”‍ ඇති කිරීමේ නාමයෙන් ක්‍රියාවට දමන ජනතා විරෝධී පිලිවෙත් වලට එරෙහිව නැගී සිටින ජනතාව රුදුරු ලෙස මැඩලන බවට කරන තර්ජනයකි.

එලැඹෙන පාර්ලිමේන්තු මැතිවරනයේ දී තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගෙන 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය තුලින් සීමා කෙරුන යම් බලතල ද ඇතුලුව විධායක බලය මුලුමනින් ම සියතට ගැනීම මගින් පන්ති අරගල හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් තලා දැමීමට අවශ්‍ය ආඥාදායක පාලන තන්ත්‍රයකට මාරුවීමට ජනාධිපති රාජපක්ෂ ගනන් බලයි.

එහෙත් රාජපක්ෂ ආන්ඩුව කෙරෙහි දැනටමත් මහජන අප්‍රසාදය වැඩී ඒම ගැන තක්සේරු කරමින් ”‍ජනාධිපතිට පාර්ලිමේන්තු මැතිවරනයේ දී පහසුවෙන් සුලු බහුතරයකින් ජයග්‍රහනය කිරීමට හැකි වුවත් තුනෙන් දෙකක බහුතර බලයක් දිනා ගත නොහැකි”‍ බව ඔහු සඳහන් කරයි.

එජාපයට එරෙහිව සිංහල-බෞද්ධ ඡන්ද පදනම පුලුල් කර ගැනීමේ එල්ලය ඇතිව දෙමල හා මුස්ලිම් ජනයාට විරුද්ධව කෙරෙන වර්ගවාදී හඬ තැලීම් වලින් ඇතිවිය හැකි අවාසිය ගැන සැලකිලිමත් වෙමින් උතුරු-නැගෙනහිර දෙමල හා මුස්ලිම් සුලුතර ජනයාගේ ගැටලු සම්බන්ධයෙන් “‍ප්‍රවේසම්”‍ වියයුතු බවට ආන්ඩුවට උපදෙස් දෙන ගුනසේකර, “පාර්ලිමේන්තු මැතිවරනයට මාස දෙකක් තිබිය දී”‍, ජනාධිපතිවරනයේ දී ගෝඨාභය රාජපක්ෂට සහයෝගය දුන් දෙමල දේශපාලනඥයන්ට හානිකර මුලෝපායක් ආන්ඩුවට පවත්වාගෙන යා නොහැකි බව අවධාරනය කර ඇත.

ආන්ඩුවේ අත ශක්තිමත් කර ගැනීම පිනිස උපදෙස් දෙන ගුනසේකර, ජනාධිපති ලෙස රාජපක්ෂට පවතින “ධාරිතාව”‍ පාවිච්චි කරමින් පාර්ලිමේන්තුවේ සියලු‍ම පක්ෂ සමග සාකච්චා කල යුතු බවත්, දෙමල ජාතික සන්ධානය සහ ආන්ඩුව අතර සිදුවන ඍජු සාකච්චාවක් විශාලතම දෙමල දේශපාලන පක්ෂ සංධානය ට යටත්වීමක් ලෙස වැරදි අර්ථකතනයක් හෝ විස්තර කිරීමක් නොකල යුතු බවත් අවධාරනය කර ඇත.

ජනාධිපති සහ අගමැති අතර කේන්ද්‍ර දෙකක වීධායක බලතල නාභිගත වී තිබීම අහෝසි කිරීම සඳහා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීම පිනිස තව දුරටත් ප්‍රමාද නොකොට පාර්ලිමේන්තුව තුල සාකච්චා කල යුතු බව ද ඔහු පවසා ඇත.

මෙලෙස අනතුරු අඟවමින් ගුනසේකර උත්සුක වන්නේ, රටේ ආර්ථිකය වඩ වඩා අස්ථාවර වීම තුලින් එල්ල වන ප්‍රහාර ඉහල යාමත් සමග කම්කරු-පීඩිත ජනයාගේ දැවැන්ත සමාජ අරගල පුපුරායාමට ඇති හැකියාව කෙරෙහි හා ඊට එරෙහිව ගෝඨාභය රාජපක්ෂගේ අත ශක්තිමත් කිරීම කෙරෙහි මිස මහජනතාවගේ ජීවන තත්වයන් ඉහල දැමීම කෙරෙහි නොවේ.

Share this article: