ටෙහෙරානයේ මාර්ග මිලියන ගනනක් ජනතාවගෙන් පිරී ඉතිරෙද්දී එක්සත් ජනපදය, ඉරානයට එරෙහි මිලිටරි තරකිරීම් වේගවත් කරයි

As millions march in Tehran, US steps up military build-up against Iran

පැට්‍රික් මාටින් විසිනි, 2020 ජනවාරි 7

ජෙනරාල් කසෙම් සුලෙයිමානි ඝාතනය කිරීමත් සමඟ ට්‍රම්ප් පරිපාලනය, එක්සත් ජනපදයේ පැරෂුට් සහ මැරීන් භටයන් ඉරානයේ තෝරාගත් ඉලක්ක වෙත පහර දියහැකි මධ්‍යස්ථාන වෙත යොමුකරමින් නව හා විශාල අධිරාජ්‍යවාදී යුද අපරාධ සඳහා සූදානම් වේ.

එක්සත් ජනපදයේ මිලිටරි ගොඩනැගීම සිදුවන්නේ, ඉරානයේ පමනක් නොව මැදපෙරදිග විශාල ෂියා ජනගහනයක් සහිත, ටෙහෙරානයට ආගමික හා දේශපාලන සම්බන්ධතා ඇති මැද පෙරදිග තවත් රටවල් ගනනාවක මහා කෝපයේ හා වෛරයේ අසාමාන්‍ය දර්ශන මධ්‍යයේ ය.

පසුගිය වසර 20 ක කාලය තුල, ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ කුඞ්ස් බලකායේ අනදෙන නිලධාරි සහ සුන්නි ත්‍රස්තවාදී කන්ඩායම වන අයිසිස් සමඟ සටන් වැදුන ඉරාන ව්‍යාපෘතියේ මෙන්ම ලෙබනනයේ හිස්බුල්ලා ව්‍යාපාරයටත් ජනාධිපති බෂර් අල් අසාද්ගේ සිරියානු ආන්ඩුවට සහාය දුන් ප්‍රමුඛ චරිතයක් වූ සුලෙයිමානිට උපහාර දැක්වීම සඳහා මිලියන ගනනක් ඉරාන අගනුවරට පැමිනියහ.

ඉරාකයේ සිට එල්ල කල එක්සත් ජනපද ඩ්‍රෝන් ප්‍රහාරයකින් මියගිය ජෙනරාල් කස්සෙම් සොලෙයිමානි සහ තවත් අයගේ දේහයන් වැලපෙන්නන් විසින් වට කරන ලද ට්‍රක් රථයකින් ඉරානයේ, ටෙහෙරානයේ ඉන්ක්විලාබ්-ඊ-ඉස්ලාමි (ඉස්ලාමීය විප්ලවය) චතුරශ්‍රය වෙත ගෙන යන අවමංගල්‍ය පෙරහැර. ජනවාරි 6, සඳුදා, 2020. (ඒපී ඡායාරූපය / ඊබ්‍රාහිම් නොරූසි)

1989 දී ඉස්ලාමීය ජනරජයේ නිර්මාතෘ අයතුල්ලා රුහල්ලා කොමේනිගේ අවමඟු‍ලෙන් පසු විශාලතම ජනකායක් ටෙහෙරානයේ වීදි වලට පැමිනි අවස්ථාව මෙය බව නිරීක්ෂකයෝ පැවසූහ. ඉස්ෆාහාන්, අහ්වාස් සහ අනෙකුත් ඉරාන නගරවල තවත් ලක්ෂ ගනනක් රැස්වුනහ. සුලෙයිමානි අඟහරුවාදා ඔහුගේ උපන් නගරය වන කර්මන් හිදී භූමදාන කිරීමට නියමිතය.

75 වන රේන්ජර් රෙජිමේන්තුවේ බලඇනියක් වන විශේෂ පුහුනුවක් ලත් යුද හමුදා රේන්ජර්ස් ඒකකයක් ද, යොදවා ඇති එක්සත් ජනපද හමුදාවට අයත්ය. හිල් මාධ්‍ය වාර්තාවකට අනුව, “රේන්ජර්ස් යනු හමුදාවේ ප්‍රභූ සැහැල්ලු‍ පාබල බලකාය වන අතර, සතුරු නායකයින් ඝාතනය කිරීම හෝ අල්ලා ගැනීම සඳහා වැටලීම් සිදු කිරීම පිලිබඳ විශේෂ පුහුනුවකින් යුක්ත සේනාංකයකි. ඉරාක යුද්ධයේ උච්චතම අවස්ථාවේ දී, රේන්ජර්ස් විසින් ඉරාන ක්‍රියාකාරීන් සහ ඉරාන පිටුබලය ලබන ඉරාක ෂියා සටන්කාමීන්ගේ නායකයින් දඩයම් කිරීම සඳහා වගකිව යුතු, 17 වන කාර්ය බලකාය ලෙස හඳුන්වන රහසිගත ඒකකයක් මෙහෙයවන ලදී.”‍

මිලිටරි වෙබ් අඩවියක් වන ආමි ටයිම්ස් තවදුරටත් මෙසේ පැවසීය, “ගුවන් තොටුපලවල් අල්ලා ගැනීම සහ සෘජු ක්‍රියාකාරී වැටලීම් සඳහා රේන්ජර්ස් ප්‍රසිද්ධයි. බලහත්කාරයෙන් ඇතුලුවීමේ ඒකාබද්ධ මෙහෙයුම් වලදී රේන්ජර්ස්, පසු විපරම් මෙහෙයුම්, ගුවන් තොටුපලවල් සහ පර්යන්තයන්ට පහරදීම හා සුරක්ෂිත කර ගැනීම ද විශාල වශයෙන් පැරෂුට් භටයන් සහ උපකරන ගොඩබෑමට හැකිවන පරිදි ගුවන් යානාවලට ඇතුලුවීම සඳහා පසුබිම සැකසීම ද සිදු කරයි. 75 වන රේන්ජර් රෙජිමේන්තුව, ඉහල වටිනාකමින් යුත් ඉලක්ක අල්ලා ගැනීමට හෝ පුද්ගලයින් ඝාතනය කිරීම සඳහා සෘජු ක්‍රියාකාරී වැටලීම් කිරීම ගැන ද ප්‍රසිද්ධයි.”

කාසෙම් සුලෙයිමානි එවැනි “ඉහල වටිනාකමක්” ඇති ඉලක්කයක් විය. ඔහුගේ වාහනයට ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ ඩ්‍රෝන් ප්‍රහාරක මිසයිලයකිනි. එහෙත් මැද පෙරදිගට යොදවා ඇති භට පිරිස්, ඉරාකයේ, සිරියාවේ සහ ලෙබනනයේ ඉරානයට පක්ෂපාතී සටන්කරුවන් අල්ලා ගැනීමට, ඝාතනය කිරීමට හෝ ඉරානය තුලට දේශසීමා මෙහෙයුම් දියත් කිරීමට පවා යොදා ගත හැකිය.

එක්සත් ජනපද මිලිටරිය ඉලක්ක කරගත් අවසන් ඉරාන නායකයා සුලෙයිමානි නොවිය හැකි බවට සෘජුවම තර්ජනය කරමින්, ඉරිදා රූපවාහිනී සම්මුඛ සාකච්ඡා මාලාවක දී රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ කල ප්‍රකාශ හා යුද හමුදා රේන්ජර්ස් බලමුලු‍ ගැන්වීම වැදගත් වේ. සුලෙයිමානි ඝාතනය සම්බන්ධ ඉරානයේ ඕනෑම පලිගැනීමේ ක්‍රියාවකට එක්සත් ජනපදය ප්‍රතිචාර දක්වනු ඇති අතර එය “ඉරානය සහ එහි නායකත්වය විසින්ම දරාගත යුතුව ඇත” යනුවෙන් ඔහු පැවසීය.

මෑත දිනවල පිටත් කර හරින ලද අනෙකුත් මිලිටරි කොටස් අතර, කුවේටයට යවා ඇති 82 වන ගුවන් බලඇනියේ පැරෂුට් භටයන් 4,000 ක්, යූඑස්එස් බටාන් නෞකාවේ සිටින නාවික භටයන් 2,000 ක් ද වේ. එම නැව පර්සියානු ගල්ෆ් කලාපයේ රැඳවීම සඳහා අප්‍රිකානු වෙරලට ඔබ්බෙන් වූ සැලසුම්ගත යුද අභ්‍යාස වලින් ඉවතට හරවා යවන ලදී. ඉතාලියේ ස්ථානගත කර ඇති හමුදා ඒකකයක් වෙත, මැද පෙරදිගට යැවිය හැකි යයි දැනුම්දී ඇත.

පෙන්ටගනය විසින් කෙන්යාවට යෙදවීම සඳහා අනාවරනය නොකල සොල්දාදුවන් සංඛ්‍යාවක් ද බලමුලු‍ ගැන්වූ අතර, සෝමාලියානු ඉස්ලාමීය කන්ඩායමක් වන අල්-ෂබාබ් පසුගිය සතියේ එක්සත් ජනපද හමුදා ඉලක්ක වෙත ප්‍රහාර දෙකක් එල්ල කර තිබේ.

සුලෙයිමානිගේ ඝාතනය සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය කෙරෙහි වෛරය හා මහජන කෝපය විශාල වශයෙන් ගලා ඒම, සමාජ අසමානතාව, යුද්ධය සහ මර්දනයට එරෙහිව ලොව පුරා කම්කරුවන් හා තරුනයින්ගේ වැඩ වර්ජන හා විරෝධතා රැල්ලක් සමඟ සම්පාත වේ.

සුලෙයිමානිගේ අවමංගල්‍ය පෙරහැර, නැගෙනහිර ඉරානයේ කුසෙස්තාන් හා පසුව උතුරු ටෙහෙරානයට ද යාමට කලින් බැග්ඩෑඞ් සිට දකුනු ඉරාකය හරහා ගමන් කල අතර, ෂියා ඉස්ලාමයේ ශුද්ධ නගර වන නජාෆ් සහ කර්බාලාහි නතර විය. ජනවාරි 3 වන දින එක්සත් ජනපද ඩ්‍රෝන් මිසයිල ප්‍රහාරයේ තවත් ගොදුරක් වූ ඉරාක මිලීෂියා නායක අබු මහඩි අල්-මුහන්දිස්ගේ හා සුලෙයිමානිගේ මිනී පෙට්ටි, ශෝකයට පත් විශාල පිරිසකගේ හිස් මතින් යවනු ලැබීය.

ෂියා ආගමේ සයිඩි ශාඛාවට අනුබද්ධව හූති ව්‍යාපාරය විසින් පාලනය කරනු ලබන යේමනයේ සාඩා නගරයේ මිලියනයකට අධික ජනතාවක් රැස්ව සිටියහ. ලෙබනනයේ හිස්බුල්ලා ව්‍යාපාරය විසින් ලක්ෂ ගනනක් බලමුලු‍ ගන්වමින් සුලෙයිමානි වෙනුවෙන් ගෞරවනීය අවමංගල්‍යයක් ද ඉරිදා පවත්වන ලදී.

ඉරාන රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ විකාශය කරන ලද සුලෙයිමානිගේ දියනිය සීනබ්ගේ ප්‍රකාශය උපුටා දක්වමින් මාධ්‍ය වාර්තාකලේ, මෙම ඝාතනය එක්සත් ජනපදයට “අඳුරු දිනයක්” ගෙනෙනු ඇතැයි ඇය අනතුරු අඟවා ඇති බවය. “පිස්සු ට්‍රම්ප්, මගේ පියාගේ ජීවිත පරිත්‍යාගයෙන් සියල්ල අවසන් යැයි නොසිතන්න,” ඇය පැවසුවාය.

තම රටට එරෙහි ට්‍රම්ප්ගේ තර්ජනයන්ට පිලිතුරක් ලෙස ඉරාන නායකයෝ, වීදි උතුරා ගිය ජනතාව පෙන්වූහ. ඉරාන විදේශ ඇමති මොහොමඞ් ජාවඞ් සරීෆ් ට්විටර් පනිවුඩයක් මඟින් එක්සත් ජනපද ජනාධිපතිවරයා වෙත පවසා ඇත්තේ, “ඔබේ ජීවිත කාලය තුල මෙතරම් මිනිස් ගංඟාවක් ඔබ දැක තිබේද? මේ ශ්‍රේෂ්ඨ ජාතියේ හා ජනතාවගේ අධිෂ්ඨානය බිඳ දැමිය හැකි යැයි ඔබ තවමත් සිතනවාද?”

“ඇමරිකානුවන් සුලෙයිමානි ඝාතනය කිරීම මෝඩ ක්‍රියාවකි. ඔවුන් කලාපයෙන් ඉවත් විය යුතුය” යනුවෙන් උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ උපදේශකයෙකු වන අලි අක්බර් වේලායාති ප්‍රකාශ කල බව ෆාර්ස යන ඉරාන ප්‍රවෘත්ති සේවය වාර්තා කලේය. “ඔවුන් කලාපයෙන් ඉවත් නොවන්නේ නම්, ඔවුන් තවත් වියට්නාමයකට මුහුන දෙනු ඇත, මෙවර ඒ මැද පෙරදිග වනු” ඇතැයි වේලායාති පැවසීය.

චීනය, රුසියාව, ජර්මනිය, ප්‍රන්සය, බි්‍රතාන්‍යය සහ එක්සත් ජනපදය යන ලෝක බලවතුන් හය දෙනා සමඟ 2015 දී අත්සන් තැබූ න්‍යෂ්ටික ගිවිසුම යටතේ ඉතිරිව ඇති බැඳීම් අත්හිටුවන බව ඉරාන ආන්ඩුව ඉරිදා නිවේදනය කලේය. ට්‍රම්ප් 2018 දී එක්සත් ජනපදය ගිවිසුමෙන් ඉවත් කරගත් අතර ඉරාන ආර්ථිකය අඩපන කර ඇති ආර්ථික යුද්ධයට සමාන නීති විරෝධී මූල්‍ය හා වෙලඳ සම්බාධක ඒකපාර්ශ්විකව යලි පනගැන්වීය. ඉරානය සිය න්‍යෂ්ටික බල ශක්ති ගිවිසුම් සීමාවන් සමහරක් දිගින් දිගටම පිලිපැදි නමුත් යුරෝපීය බලවතුන් එක්සත් ජනපද තර්ජන ප්‍රතික්ෂේප කිරීම සහ වෙලඳ හා ආයෝජන සබඳතා පවත්වා ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

සුලෙයිමානි ඝාතනය පිලිබඳ රාජ්‍ය තාන්ත්‍රික හා මිලිටරි සාකච්ඡා මැද පෙරදිග පමනක් නොව ලොව පුරා ද දිගටම කෙරීගෙන යයි.

එක්සත් ජනපදය අපරාධය සිදු කල ඉරාකයේ එක්සත් ජනපද හමුදා නිලධාරීන් අතර ව්‍යාකූලතාවයක් පැවති අතර ඉරාකයේ එක්සත් ජනපද හමුදා ප්‍රධානියා ඉරාක ආන්ඩුව වෙත සටහනක් යවමින්, සියලු‍ එක්සත් ජනපද හමුදා ඉවත්කරගත යුතු බවට ඉරිදා ඉරාක පාර්ලිමේන්තුවේ පැවති ඡන්දය පිලිගන්නා බව දන්වා සිටියේය. නිලධාරියා කියා සිටියේ, සැබවින්ම එක්සත් ජනපද හමුදා ඉවත් කර ගැනීම සඳහා සූදානම් වෙමින් රට තුල සිය ස්ථාන මාරු කරන බවයි. මෙම සටහන පුවත්පත්වල වාර්තා වී පැය කිහිපයක් ඇතුලත පෙන්ටගනය, එක්සත් ජනපද හමුදා ඉරාකයෙන් ඉවත් කිරීමේ කිසිදු අදහසක් නැති බව ප්‍රකාශ කරමින් නිවේදනයක් නිකුත් කලේය.

ෆ්ලොරිඩාවේ නිවාඩු නිකේතනයේ සිට නැවත ධවල මන්දිරය කරා යමින් සිටියදී එයාර් ෆෝස් වන් හි මාධ්‍යවේදීන් අමතමින් ජනාධිපති ට්‍රම්ප්, එක්සත් ජනපදයට ඉවත් වන ලෙස බල කරමින් තර්ජනය කිරීම සම්බන්ධව ඉරාක ආන්ඩුව තදින් සිටියොත් “ඉරාකයට දැවැන්ත සම්බාධක” එල්ල කරන බවට තර්ජනය කලේය (පාර්ලිමේන්තුව විසින් යෝජනාව සම්මත කලේ, කිසිදු බැඳීමක් නොමැතිවය). ඉරානයට අඩන්තේට්ටම් කිරීමට උත්සාහ කල ආකාරයටම ඉරාකයට ද එසේ කරමින් ඔහු කියා සිටියේ, කලාපයේ එක්සත් ජනපද හමුදා මෙහෙයුම්වල කේන්ද්‍රස්ථානය වී ඇති අල් අසාද් හි එක්සත් ජනපද ගුවන් කඳවුරේ පිරිවැය ආපසු ගෙවීමට ඉරාකය ඩොලර් බිලියන ගනනක් වැය කල යුතු බවයි. ඒ සඳහා දශකයකට වඩා ගතවනු ඇති බවයි.

සෞදි ආරක්ෂක ඇමතිවරයා පෙන්ටගනය සමඟ හදිසි සාකච්ඡා සඳහා සඳුදා වොෂිංටන් බලා ගුවන්ගත විය. සෞදි අරාබිය යනු ඇමරිකාවේ නිෂ්පාදිත අවි ආයුධ විශාලවශයෙන් මිලදී ගන්නා රට වන අතර, ඒවා වැඩි වශයෙන් මිලට ගන්නේ ඉරානය සමඟ යුද්ධයක් සඳහාය. ලෝකයේ දරුනුතම මානුෂීය අර්බුදයන්ගෙන් එකක් බිහි කල යේමනයේ ජනතාවට එරෙහි දිග්ගැස්සුනු සෞදි යුද්ධයට පලිගැනීමේ ක්‍රියාවක් වන යේමනයේ හූතිවරුන් විසින් සිදු කරන ලද ඩ්‍රෝන් ප්‍රහාරවල ඉලක්කය වූයේ සෞදි තෙල් බිම් ය.

ඉරාකයේ හා ඉරානයේ අර්බුදය පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා නේටෝ සන්ධානය සඳුදා බ්‍රසල්ස් හි තානාපතිවරුන්ගේ හදිසි රැස්වීමක් පැවැත්වීය. සුලෙයිමානි ඝාතනය සම්බන්ධයෙන් එක්සත් ජනපද නිලධාරීන් ඉදිරිපත් කල වීඩියෝ දර්ශනයෙන් පසුව නේටෝ නිලධාරීන් ඔවුන්ගේ පූර්න සහයෝගය ප්‍රකාශ කලහ.

“විවිධ ත්‍රස්තවාදී කන්ඩායම්වලට ඉරානය දක්වන සහයෝගය හෙලා දකිමින් අපි එක්සත් වී සිටිමු” යැයි නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටොල්ටන්බර්ග් පැවසීය. “අද රැස්වීමේදී මිත්‍ර පාක්ෂිකයින්, සංයමයෙන් කටයුතු කරන ලෙසත් ආතතිය අඩුකරන ලෙසත් ඉල්ලා සිටියේය. නව ගැටුමක් කිසිවෙකුගේ අවශ්‍යතාව පරිදි නොවනු ඇත. එබැවින් ඉරානය තවදුරටත් ප්‍රචන්ඩත්වයෙන් හා ප්‍රකෝප කිරීම් වලින් වැලකී සිටිය යුතුය.”

අධිරාජ්‍යවාදී කුහකකම පුදුමාකාරය. “සංයමය” ඉල්ලා සිටින්නේ එක්සත් ජනපද මිලිටරි ප්‍රචන්ඩත්වයට ගොදුරු වූ ඉරානයට එරෙහිව ය. එක්සත් ජනපදය ඉරානයේ ප්‍රමුඛතම හමුදා නිලධාරියා ඝාතනය කිරීම සඳහා වාරනයකට වඩා සහාය පලකිරීමකි ඒ. මෙම රැස්වීමට සහභාගී වූ නිලධාරීන් පැවසුවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ පෙන්ටගනයේ නිලධාරීන් විසින් පවත්වන ලද සාකච්ඡාවේදී ඩ්‍රෝන් මිසයිල ඝාතනය සම්බන්ධයෙන් කිසිදු තානාපතිවරයකු විරෝධය පල නොකල බවයි. සුලෙයිමානි ඝාතනයට ඉරාන පලි ගැනීමක් සිදු වුවහොත් සංස්කෘතික මධ්‍යස්ථාන ද ඇතුලුව ඉරානයේ තැන් 52 ක් විනාශ කරන බවට ට්‍රම්ප් කරන තර්ජන ගැන විවේචන කෙසේ වෙතත් කිසිදු සාකච්ඡාවක් පවානොතිබුනි.

කෙසේ වෙතත්, ජර්මනිය සහ ප්‍රන්සය ඇතුලු සමහර ප්‍රමුඛ නේටෝ සාමාජිකයන් අතර ඇති නොසන්සුන්තාව පැහැදිලිය. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ අර්බුදය පිලිබඳ සාකච්ඡා කිරීම සඳහා ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් විදේශ අමාත්‍ය හයිකෝ මාස් සමඟ සෙනසුරාදා මොස්කව් බලා යාමට නියමිතය. මෙය සිදුවන්නේ බදාදා ඉස්තාන්බුල්හිදී පුටින් සහ තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩෝ අතර හමුවීමෙන් අනතුරුව ය.

විධිමත් කොන්ග්‍රස් අවසරයක් ලබා නොගතහොත්, ඉරානය සමඟ එක්සත් ජනපද මිලිටරි සතුරුකම් දින 30 කට සීමා කරන “යුද්ධයට බලය පවරන යෝජනාවක්” හඳුන්වාදීමට සහාය දෙන බව වොෂිංටනයේ දී කථානායක නැන්සි පෙලෝසි ඩිමොක්‍රටික් සාමාජිකයින්ට පැවසුවාය. මෙය අවම වශයෙන් හේතු දෙකක් මත මුලුමනින්ම නරුම හා දත් නැති ලොඹු පියවරකි.

පලමුව, එය කොන්ග්‍රසයෙන් සම්මත කලත්, රිපබ්ලිකන් පාලනය යටතේ ඇති සෙනෙට් සභාව එය භාර නොගන්නා අතර ට්‍රම්ප් එය නොසලකා හරිනු ඇත.

දෙවනුව, මිලිටරි ක්‍රියාමාර්ග සඳහා දින 30 ක සීමාවක් යනු, න්‍යෂ්ටික අවි භාවිතය ඇතුලු දැවැන්ත බෝම්බ සහ මිසයිල ප්‍රහාර සඳහා ට්‍රම්ප්ට දිරිගැන්වීමක් ලබා දීමයි. සුලෙයිමානි ඝාතනය සම්බන්ධයෙන් ඉරානයෙන් කිසියම් පලිගැනීමක් සිදුවුවහොත්, “එක්සත් ජනපදය ඉක්මනින් හා සම්පූර්නයෙන් ආපසු පහර දෙනු ඇත, සමහර විට අසාමාන්‍ය ලෙස” යන තර්ජනය ඔහු දැනටමත් ට්වීට් කර තිබේ.

පසුගිය ගිම්හානයේදී ට්‍රම්ප් ඇෆ්ගනිස්ථානයේ යුද්ධය ඉක්මන් මිලිටරි ජයග්‍රහනයකින් අවසන් කිරීමේ අභිලාෂය ප්‍රකාශ කල බව සිහිපත් කල යුතුය. “මට සතියකින් එම යුද්ධය ජය ගත හැකිය, නිකම්ම මිනිසුන් මිලියන 10 ක් ඝාතනය කිරීමට මට අවශ්‍ය නැත.”‍ ඔහු තවදුරටත් පැවසුවේ “‍ඇෆ්ගනිස්ථානය පෘථිවියෙන් අතුගා දමනු ඇත.” යනුවෙනි. ඒ හා සමාන අන්තරායන් දැන් ඉරානයේ ජනතාවට සහ මුලු ලෝකයටම එල්ල වී ඇත.

Share this article: