රාජපක්ෂ ආන්ඩුව අනියම් හා කොන්ත්‍රාත් සේවකයන් දහස් ගනනක් දොට්ට දමයි

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි, 2020 ජනවාරි 20

තරුනයනයන්ගේ “රැකියා ප්‍රශ්නය විසඳන” හා “සෞභාග්‍යමත් අනාගතයක් උදාකරන” බවට පොරොන්දු දෙමින් බලයට පත් වූ ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව රාජ්‍ය ආයතනවල කොන්ත්‍රාත් සහ අනියම් සේවකයන් දස දහස් ගනනින් රැකියා වලින් නෙරපීමට පටන්ගෙන ඇත. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනවාරි 8 වෙනිදා පාර්ලිමේන්තුවට කල විශේෂ ප්‍රකාශයක දී ආන්ඩුව දහස් ගනනකගේ සේවය අත්හිටුවා ඇති බව සඳහන් කලේය.

ලංකා ඛනිජ ඛනිජ තෙල් සංස්ථාවේ 167 ක්, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු හා පුනරුත්තාපන, උතුරු පලාත් සංවර්ධන හා තරුන කටයුතු අමාත්‍යංශ වල සේවයේ නියුක්තව සිටි 6,800 ක්, නිවාස සංවර්ධන අධිකාරියේ 2,500 කට වැඩි සංඛ්‍යාවක්, මහජන බැංකුවේ 80 ක්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 1800 ක්, සමෘධි නිලධාරීන් 1,600 ක් සහ පාසල් සෞඛ්‍ය සහායකයින් 100 ක් මේ වන විට සේවයෙන් නෙරපා ඇත.

ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මෙහෙයවන ඩෙංගු මර්දන වැඩ සටහන සඳහා 2017 මාර්තු මාසයේ බඳවා ගත් 1,100 කගේ සේවය මෙම වසරේ මාර්තු මාසයේ සිට අත්හිටුවන බව දැනුම් දී ඇති බවත් ලංකා ප්‍රවාහන මන්ඩලයේ පසුගිය වසරේ සුදුසුකම් මත උසස්වීම් ලැබූ 1,500 කගේ උසස්වීම් අවලංගු කර ඇති බවත් ඔහු එහි දී සඳහන් කර ඇත. රැකියා අහිමිවීමට ගොදුරුව සිටින කොන්ත්‍රාත් කම්කරුවන් අඩු වැටුප් සහ දුෂ්කර සේවා කොන්දේසි යටතේ සේවයේ යොදවනු ලැබූවන්ය.

එමෙන් ම, ජනාධිපතිවරයාගේ නියෝගයක් ලෙස දැනුම්දෙමින් පෞද්ගලික සමාගම් විසින් ලංකා ටෙලිකොම් ආයතනයේ සේවයේ යොදවා සිටි 2000 ක පමන කම්කරුවන්ගේ සේවය කිසිදු පුර්ව දැනුම්දීමකින් තොරව ජනවාරි 1 වෙනිදා සිට අත්හිටුවා ඇති බවද වාර්තා වේ. මෙම ගනන් හිලව් වලට අනුව මේ වන විට 15,000 ක පමන කම්කරුවන්ට තම රැකියා අහිමි වී ඇත. එමගින් ඔවුන් සහ ඔවුන්ගෙන් යැපෙන්නන් බරපතල ආර්ථික දුෂ්කරතාවයන්ට ඇදදමනු ලැබ ඇත.

මෙම රැකියා කප්පාදුව සම්බන්ධයෙන් ආන්ඩුව නිශ්චිත හේතු දැක්වීමක් කර නැත. එහෙත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂය (එජාප) එය තම පාක්ෂිකයන්ට එරෙහිව කරන දැනුවත් දේශපාලන පලි ගැනීමක් බවත් ආන්ඩුව තරුනයන් 100,000 කට රැකියා දෙන්නට සැලසුම් කර ඇත්තේ පවතින රැකියා කප්පාදු කිරීම තුලින් බවටත් චෝදානා කර ඇත. කෙසේ නමුත් එය රාජපක්ෂ ආන්ඩුව විසින් සැලසුම් කෙරෙන පලල් රැකියා කප්පාදුවක කොටසකි.

එලඹෙන පාර්ලිමේන්තු මැතිවරනයෙන් තුනෙන් දෙකක බහුතර බලයක් අපේක්ෂාවෙන් උපාධිධාරීන්ට මාර්තු මාසය වන විට රැකියා ලබා දීම, රාජ්‍ය ආයතනවලට බඳවාගෙන සිටින උපාධිධාරී සංවර්ධන නිලධාරීන් සියලු‍ දෙනා ස්ථීර කිරීම ඇතුලු විවිධාකාර පොරොන්දු දෙන නමුත් ආන්ඩුවේ සැබෑ ආර්ථික න්‍යාය පත්‍රය වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නියෝග කොට ඇති ආර්ථික ප්‍රතිසංස්කරන ක්‍රියාවට දැමීමය. ජාමුඅ විසින් නියෝග කරනු ලැබ ඇති ආර්ථික ප්‍රතිසංස්කරනවලට රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම, පුද්ගලීකරනය සහ රාජ්‍ය අංශයේ ශ්‍රම බලකාය කප්පාදු කිරීම ඇතුලත් ය.

ජනවාරි 3 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දී ශ්‍රී ලංකාව ”‍සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුදයකට”‍ මුහුන දී සිටින බවත් ”‍රට සංවර්ධනය කිරීම සඳහා අප කැප කල යුතු”‍ බවත් ජනාධිපති රාජපක්ෂ අවධාරනය කලේය.”‍කැප කිරීම”‍ යනු ලෝක ධනවාදය පද්ධතිගත අර්බුදයක් දිසාවට වේගයෙන් තල්ලු‍ වී යාමේ කොටසක් ලෙස ශ්‍රී ලංකාව මුහුන දී සිටින අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීම හැර අන්කිසිවක් නොවේ.

ආන්ඩුවේ රැකියා කප්පාදුව පිලිබඳව වෘත්තීය සමිති මුලුමනින් ම නිහඬය. එය අහම්බයක් නොවේ. ඒවා ක්‍රියාත්මක වන්නේ ධනපති රාජ්‍යයේ සහ හාම්පුතුන්ගේ ඒජන්තයන් ලෙස ය. කම්කරු පන්තිය ආන්ඩුවේ රැකියා කප්පාදුවට විරුද්ධ විය යුතුය. තම පන්ති සහෝදරයන්ගේ රැකියා අයිතිය ආරක්ෂා කිරීම සඳහා ඔවුන් පෙරට ආයුතුය. ඒ සඳහා ආයතන තුල සහ කම්කරු නිවහන් ප්‍රදේශ වල ක්‍රියා කමිටු ගොඩ නගා ගනිමින් රාජපක්ෂ ආන්ඩුවේ රැකියා කප්පාදුවට සහ සෙසු ප්‍රහාරවලට එරෙහිව එකාබද්ධ අරගලයක් සංවිධානය කිරීමට නොපමාව පියවර ගත යුතුය.

Share this article: