“අව්‍යාජ සමාජවාදය සහ ධනේශ්වර සූරාකෑමේ අවසානයක් සඳහා සටන් කිරීමට දැන් කාලය පැමින තිබේ ”
සසප ජනාධිපති අපේක්ෂක ජෝශප් කිෂෝර් මිචිගන් හි සිසුන් සහ ආධාරකරුවන් අමතමින් 2020 උද්ඝෝෂනය අරඹයි

"The time is now to fight for genuine socialism and an end to capitalist exploitation" - SEP presidential candidate Joseph Kishore opens 2020 campaign with address to students and supporters in Michigan

අපගේ වාර්තාකරුවන් විසිනි, 2020 ජනවාරි 29

ඇමරිකානු සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය මුහුන දෙන පැහැදිලි විකල්පයක් පවතින බව රැස්වීමේදී කියා සිටි කිෂෝර් ඒ ධනවාදී ම්ලේච්ඡත්වය හෝ ජාත්‍යන්තර සමාජවාදයයි.

සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් හා 2020 ජනාධිපතිවරනයේ දී අලුතින් නිවේදනය කල එහි අපේක්ෂක ජෝසෆ් කිෂෝර්, සඳුදා සවස මිචිගන්හි ඇන් ආබර් විශ්ව විද්‍යාලයේ පැවති රැස්වීමත් සමඟ සිය මැතිවරන ව්‍යාපාරය ඇරඹීය.

ජෝසෆ් කිෂෝර්, සඳුදා සවස මිචිගන්හි ඇන් ආබර් විශ්ව විද්‍යාලයේ පැවති රැස්වීම අමතයි

“පන්ති අරගලයේ පිබිදීම හා 2020 දී සමාජවාදය සඳහා සටන” මැයෙන් යුත් කිෂෝර්ගේ කථාවේදී, වැඩෙන අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාර උත්සන්න වීම, පාලක පන්තිය ෆැසිස්ට්වාදයට හා ආඥාදායකත්වයට යොමු වීමේ කොන්දේසි යටතේ, 2019 සහ 2020 දී වැඩ වර්ජන හා විරෝධතා වර්ධනය වීම කෙරේ අවධානය යොමු විය. මෙම අවස්ථාවට, මිචිගන් විශ්වවිද්‍යාලයේ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ විසින් අනුග්‍රහය දක්වන ලදී.

ඇමරිකානු සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය මුහුන දෙන පැහැදිලි විකල්පයක් තිබේ යැයි කිෂෝර් පැවසීය. ඒ, ධනවාදී ම්ලේච්ඡත්වය හෝ ජාත්‍යන්තර සමාජවාදයයි. පරපෝෂිත පාලක ප්‍රභූවක් පොහොසත් කිරීම, මුලු ලෝකයටම තර්ජනයක් වන නොනවතින යුද්ධය සමග සමපාත වේ. “අතීතයේ සියලු කැලි කසල යලි මතුව ඇත ” කිෂෝර් ප්‍රකාශ කලේය. “ෆැසිස්ට්වාදය, යුදෙව් විරෝධය, සංක්‍රමනිකයන් හා සරනාගතයින් මහා පරිමානයෙන් සිරගත කිරීම... සමාජ ක්‍රමයේ විප්ලවීය වෙනසක් නොකලහොත්, මානව සමාජයම බිඳ වැටීමකට මුහුන දෙයි.”

“කෙසේ වෙතත්, කම්කරු පන්තිය, ප්‍රතිප්‍රහාරය ආරම්භ කර ඇත.” පසුගිය වසරේ දී, මැද පෙරදිග, උතුරු අප්‍රිකාව, යුරෝපය, දකුනු ඇමරිකාව, සහ ජෙනරල් මෝටර්ස් කම්කරුවන්ගේ දින 40 ක වැඩ වර්ජනය ද ඇතුලු ඇමරිකා එක්සත් ජනපදය තුල මහජන පෙලපාලි හා වැඩ වර්ජන ඇතිවූ බව කිෂෝර් පැවසීය.

ෆිනෑන්ෂල් ටයිම්ස් විසින් 1848, 1917 සහ 1968 විප්ලවීය වසරවල් සමඟ 2019 සසඳන අතර, 2020 ඊටත් වඩා පුපුරන සුලු බවක් පෙන්නුම් කරන බව පාලක පන්තියේ මූලෝපායඥයින් සැලකිල්ලට ගෙන තිබේ. තවත් වාර්තාවකට අනුව, “අප කවදාවත් නොදුටු ආකාරයේ” පුලුල්ව පැතිර යන විප්ලව වසරක් එලඹ තිබේ. මෙම රචකයන්ගේ සැනසිල්ලට හේතුවී ඇත්තේ, පසුගිය වසරේ නැගිටීම් වල නායකත්වයක්” පෙනෙන්නට නොතිබීමයි.

“නායකත්වය පිලිබඳ ප්‍රශ්නය ඇත්තෙන්ම තීරනාත්මක ය,” කිෂෝර් පැවසීය. “කම්කරුවන් නැගිටිමින් සිටිනවා. කෙසේ වෙතත්, කම්කරු පන්තියේ අරගල සාර්ථක වීමට නම් ඔවුන්ට දේශපාලන වැඩපිලිවෙලක් හා පක්ෂයක්, එනම් නායකත්වයක් අවශ්‍ය ය.”

සමාජවාදය කෙරෙහි පුලුල් උනන්දුවක් ඇති වීමට හේතුවන අසමානතාවයේ දැවැන්ත වර්ධනයෙහි වැදගත්කම කිෂෝර් අවධාරනය කලේය. 2019 දී ධනවත්ම පුද්ගලයින් 500 දෙනා ඩොලර් ටි්‍රලියන 1.2 කින් සිය ධනය වැඩි කර ගත් අතර එය ඩොලර් ටි්‍රලියන 1.5 වන එක්සත් ජනපදයේ සියලුම ශිෂ්‍ය නය අහෝසි කිරීමට තරම් ප්‍රමානවත් වන අතර ඩොලර් බිලියන 700 ක් වන එක්සත් ජනපදයේ පොදු අධ්‍යාපනය සඳහා වන මුලු වියදම මෙන් දෙගුනයකි. නැතහොත් පුඑර්තෝ රිකෝවේ හුස්ම හිරකරන ඩොලර් බිලියන 74 ක නය මෙන් විසි ගුනයක් තරම්ය.

පෙර නොවූ විරූ මට්ටමේ අසමානතාව ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් යන දෙපක්ෂයම විසින් පනවන ලද ප්‍රතිපත්තිවල ප්‍රතිපලයකි. එහි අර්ථය, රැකියා කප්පාදුව, වැටුප් කැපීම, සමාජ වැඩසටහන් අහෝසි කිරීම හා කාර්මිකහරනය මඟින් නාඟරිකයන් පාලුවට ඇද දැමෙන, කම්කරු පන්තිය විසින් දැරිය යුතු “සමාජ ව්‍යසනයක් ” බවයි.

ඩොලර් බිලියන 738 වන දැවැන්ත එක්සත් ජනපද මිලිටරි අයවැය යනු, සමාජ සම්පත් අති විශාල වශයෙන් ඛාදනය කිරීමක් මෙන්ම, මුලු ලෝකයටම භයානක අනතුරක් බව කිෂෝර් පැවසීය. විශේෂයෙන් මිලියන ගනනක් ජීවිත විනාශ කල, ඉරාකයට හා ඇෆ්ගනිස්ථානයට එරෙහිව දියත් කල යුද්ධ ඇතුලු පසුගිය වසර 25 ක අඛන්ඩ යුද්ධයේ එක්සත් ජනපද වාර්තාව කිෂෝර් අවධානයට ලක් කලේය.

ඩිමොක්‍රටිකයින් විසින් ට්‍රම්ප්ට එරෙහිව ගෙන යන දෝෂාභියෝගය මධ්‍යයේ සඳුදා රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙමින් ඇති නඩු විභාගය, වඩාත් දක්ෂිනාංශික පදනමක් මත පවත්වනු ලබන අතර එය යුද්ධයේ අන්තරාය අඩු කරනවාට වඩා ඉහල දමා තිබේ. නියෝජිත මන්ත්‍රී මන්ඬලයේ ප්‍රධාන ඩිමොක්‍රටික් දෝෂාභියෝග කලමනාකරු ඇඩම් ෂිෆ්ගේ අදහස් ගැන සඳහන් කරමින් කිෂෝර්, රුසියාවට එරෙහිව සටන් කිරීමට එරටට හැකි වන පරිදි යුක්රේනයට අරමුදල් සැපයීමෙන්, “එතැන මිස අපට ඔවුන් සමඟ මෙහි සටන් කිරීමට සිදුවන්නේ නැත” යන අදහස් උපුටා දැක්වීය.

එයට පිලිතුරු දෙමින් කිෂෝර්, “එහිදී හෝ මෙහිදී රුසියාව සමඟ යුද්ධයක් අවශ්‍යදැයි ඇමරිකානු ජනතාවගෙන් ඇසුවේ කවුද? යන ප්‍රශ්නය නැඟීය.

කම්කරු පන්තියේ දේශපාලන නායකත්වය ගොඩනැඟීමේ අවශ්‍යතාව කිෂෝර් යලි අවධාරනය කලේය. කෙතරම් තීරනාත්මක වුවත් මෙය, වැඩෙන අසමානතාවය හෝ මිලිටරිවාදයේ වර්ධනය කෙරෙහි කම්කරුවන්ගේ අවධානය යොමුකිරීම පිලිබඳ සරල කාරනයක් නොවන බව ඔහු පැවසීය. කම්කරු පන්තියේ මඟ අවහිර කොට එය දේශපාලනිකව පාලක පන්තියට ගැටගැසීමට උත්සාහ කරන අයගේ ක්‍රමවේදයන් සහ අරමුනු පැහැදිලි කල යුතු බව ඔහු පැවසීය.

වාර්තාවේ සැලකිය යුතු කොටසක් නිව්යෝක් ටයිම්ස් හි 1619 ව්‍යාපෘතිය විශ්ලේෂනය කිරීම සඳහා වෙන් විය. ව්‍යාපෘතියේ ප්‍රධාන කතුවරයා වන නිකොල් හැනා ජෝන්ස් ඊයේ මිචිගන් විශ්ව විද්‍යාලයේ දී කතා කලාය. ඉතිහාසය නැවත ලිවීම සඳහා ඩිමොක්‍රටික් පක්ෂයේ මාධ්‍ය ආයතනයක් වන ටයිම්ස් විසින් දරන ලද ප්‍රයත්නයට සම්බන්ධ ඓතිහාසික මුසාකරන හා දේශපාලන අභිප්‍රේරන හෙලිදරව් කිරීමේ දී ලෝක සමාජවාදී වෙබ් අඩවිය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇති බව කිෂෝර් පැහැදිලි කලේය.

වර්ගය හා වාර්ගික ගැටුම් ඇමරිකානු ඉතිහාසයේ හා සමකාලීන දේශපාලනයේ කේන්ද්‍රයෙහි තබන නව ආඛ්‍යානයක් ස්ථාපිත කිරීම මෙහි අරමුන බව කිෂෝර් පැවසීය. “ලොව පුරා සිටින කම්කරුවන් හා තරුනයින් විශාල පිරිසක් පන්ති ප්‍රශ්න මුල්කරගෙන අරගලයට අවතීර්න වන මොහොතේම, වාර්ගික ගැටුම් ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුනයි.” වර්ගය “පන්තිය තරම්ම ද්‍රව්‍යමය” බවට හැනා-ජෝන්ස් කර ඇති ප්‍රකාශයේ අර්ථය, වෛෂයිකව, වාර්ගික අවශ්‍යතා පවතින බවයි.

කිෂෝර්ගේ වාර්තාවේ ඉතිරි කොටස සහ ප්‍රේක්ෂකයන් නැඟූ ප්‍රශ්න ගනනාවක්, බර්නි සැන්ඩර්ස්ගේ භූමිකාව ගැනය. වර්මොන්ට් සෙනෙට් සභිකයා, විශේෂයෙන් අයෝවා සහ නිව් හැම්ප්ෂයර් හි මත විමසුම් වලදී ඉදිරියට පැමින ඇත. ඒවායේ මූලික තරඟ ඉදිරි සති දෙක තුල පැවැත්වෙයි. එහිදී ඔහු පදනම් වන, සමාජ අසමානතාවයට හා යුද්ධයට එරෙහි ආයාචනය මත විවාදය පැවැත්වෙනු ඇත. 2016 දී සැන්ඩර්ස්ගේ නාමයෝජනාවට විරුද්ධ වීමේ දී ඩිමොක්‍රටික් පක්ෂ සංස්ථාපිතයේ කාර්යභාරය සහ සැන්ඩර්ස් පරිපාලනය විසින් සමාජවාදී අපේක්ෂකයින් සඳහා වැඩි ඉඩක් නිර්මානය කරනු ඇත්ද යන ප්‍රශ්න විමසා බැලිය යුතුය.

ඊට පිලිතුරු වශයෙන් කිෂෝර් පැහැදිලි කලේ, සැන්ඩර්ස්ගේ කාර්යභාරය ඩිමොක්‍රටික් පක්ෂය පිටුපස සමාජ විරෝධය ගැටගැසීම සහ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ඇතිවීම වලක්වාලීමය. ජනාධිපති වීමට නම්, ග්‍රීසියේ සිරිසාව (“රැඩිකල් වමේ සන්ධානය”) ට සමාන කාර්යභාරයක් සැන්ඩර්ස් විසින් ඉටු කල යුතු ය. සිරිසාව, බැංකුවල නියෝග ක්‍රියාත්මක කර යුරෝපා සංගමයේ සරනාගත විරෝධී ප්‍රතිපත්තියේ පෙරටුගාමියෙකු ලෙස සේවය කර ඇත.

අවසාන වශයෙන්, කිෂෝර් 2020 දී කම්කරුවන් හා තරුනයින් විසින් ඉටු කල යුතු කාර්යභාරය කෙරෙහි යලි අවධානය යොමු කලේය. “අව්‍යාජ සමාජවාදය සඳහා සටන් කිරීමට හා ධනවාදී සූරාකෑම අවසන් කිරීමට දැන් කාලය එලඹ තිබේ.“ සසප මැතිවරන ව්‍යාපාරයට සහයෝගය දෙන ලෙස ඔහු සහභාගී වූ සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.

කථාව හා ප්‍රශ්න ඇසීමේ කාලයෙන් පසුව, අපේක්ෂකයා සමඟ කථා කිරීමට සිසුන් පිරසක් එහි රැඳී සිටියහ.

මීට පෙර රැස්වීම්වලට ද පැමින ඇති චීනයේ ෂෙහාඕ නම් සිසුවෙක් 1619 ව්‍යාපෘතියට එරෙහිව සසප ප්‍රතිපත්තිමය ස්ථාවරය කෙරෙහි විශේෂයෙන් සාවධාන විය. කෙසේ වෙතත් ඔහු, වැටුප්, සේවා කොන්දේසි සහ ශිෂ්‍ය නය වැනි “පාන් සහ බටර්” කාරනා වලට සාපේක්ෂව දේශපාලන න්‍යායික කරුනු කෙරෙහි සසප එවැනි බරක් තැබීම ගැන කනස්සල්ල පල කලේය. ඔහු සසප ආධාරකරුවෙකු සමඟ පුලුල් සාකච්ඡාවක් ගෙන ගියේය.

සිල්ලර වෙලඳ සේවකයෙකු වන රෝමන්, වාර්තාවේ කිෂෝර් විසින් සඳහන් කරන ලද, කම්කරු පන්තියේ අරගල හා එහි ජාත්‍යන්තර එක්සත් කම කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වීය. “වැඩකරන ජනතාව සැබවින්ම එකට සම්බන්ධ වන හා එසේ විය යුතු බව මට වැටහී ඇත,” ඔහු පැවසීය. ”නමුත් මේ වන විටත් අපේ දේශසීමා ඇතුලත එවැන්නක් නොපවතින්නේ නම් අපට එවන් ජාත්‍යන්තරවාදයක් අත්කර ගත හැක්කේ කෙසේදැයි දැන ගැනීමට මට අවශ්‍යය.”

කම්කරුවන්ගේ අරගල හුදකලා කිරීමට කටයුතු කරන වෘත්තීය සමිති විසින් වගා කරනු ලබන ජාතිකවාදී වස විස මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය වන දේශපාලන මූලිකත්වය පිලිබඳව සසප ආධාරකරුවෝ සාකච්ඡා කලහ. රෝමන්ට වැඩිදුර දැනගැනීමට අවශ්‍ය වූ අතර, “හැකි සෑම සසප රැස්වීමකටම පැමිනීමට මම අදහස් කරමි. මම නිසැකවම මෙම උද්ඝෝෂනය ගැන උනන්දු වෙමි.”

රැස්වීමෙන් පසුව සසප ආධාරකරුවන් සමඟ කතා කරමින් වැනේසා නම් කම්කරුවෙකු සහ මාකයිලා නම් සිසුවිය සසප ව්‍යාපාරයට සහයෝගය පල කලේය. සැන්ඩර්ස් ව්‍යාපාරය කෙරෙහි තමා දක්වන උනන්දුව ගැන කියමින්ම වැනේසා සඳහන් කලේ, රැස්වීම ඇයට සිතන්නට දෙයක් ලබාදී ඇති බවයි. “මිනිසුන් මගේ වම් පසින් සිටින බව මට වැටහී ඇති අතර සැන්ඩර්ස් ගැන වඩාත් විවේචනාත්මකව සිතා බැලිය යුතු යැයි මම සිතමි”. 2020 දී නම් “දෙකෙන් අඩු නපුර ” තෝරා ගැනීමේ පීඩනයට අනුගත වීමට ඇයට අවශ්‍ය නොවීය.

මාකයිලා ද සැන්ඩර්ස් ව්‍යාපාරයට ආකර්ෂනය වී ඇති නමුත්, ගෝලීය සන්දර්භය තුල දේශපාලන තත්වය දෙස පුලුල් ලෙස සොයා බලමින් සිටියාය. “සැබෑ විප්ලවය සිදුවන්නේ කෙසේ ද, විරෝධතා හරහා බලමුලු ගැන්වීම සහ චිලියේ අප දකින දේ වැනි දේ ගැන මම සැබවින්ම උනන්දු වෙමි. ඇමරිකානු විශ්ව විද්‍යාල වලදී අපට එය කල හැක්කේ කෙසේද? ”

සසප ජනාධිපතිවරන ව්‍යාපාරය පිලිබඳ වැඩි විස්තර සහ සම්බන්ධ වීමට socialism2020.org වෙබ් අඩවියට පිවිසෙන්න.

Share this article: