සමාජ මාධ්‍ය සීමා කිරීමට නේපාල ආන්ඩුව ගෙන ඇති පියවරට විරුද්ධත්වය වර්ධනය වේ

Opposition grows to Nepal government’s move to curtail social media

රොහන්ත ද සිල්වා විසිනි, 2020 ජනවාරි 17

තොරතුරු තාක්ෂන පනතේ අපැහැදිලි භාෂාව ව්‍යාපාරික නායකයින්, දේශපාලඥයන් සහ නිලධරයන් විවේචනය කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් දැඩි අවදානමට පත් කරයි.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සමාජ මාධ්‍ය සීමා කරන, යෝජිත තොරතුරු තාක්ෂන පනත් කෙටුම්පතට (අයිටීබී) නේපාලය තුල ප්‍රතිරෝධය වැඩි වෙමින් පවතී. පාලක ස්ටැලින්වාදී නේපාල කොමියුනිස්ට් පක්ෂය (එන්සීපී) අත්තනෝමතික පාලනයක් දෙසට හැරීමේ කොටසක් වන මෙම පනතේ රුදුරු ස්වභාවයට, ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදීන්, ප්‍රමුඛ බුද්ධිමතුන් සහ නීති වෘත්තිකයන් විරෝධය පල කර තිබේ.

නේපාල මාධ්‍යවේදීන්ගේ සම්මේලනය, නේපාල නීතිඥ සංගමය, නේපාල රාජ්‍ය නොවන සංවිධාන සම්මේලනය සහ වෙනත් සංවිධාන කතා කිරීමේ නිදහසට එරෙහි මේ ප්‍රහාරය හෙලා දැක තිබේ. පසු ගිය සතියේ නේපාලයේ අගනුවර වන කත්මන්ඩු නුවර පැවති රැස්වීමක් අමතමින් ආන්ඩුක්‍රම ව්‍යවස්ථා පිලිබඳ විශේෂඥයකු වන භීමර්ජුන් ආචාර්යා කියා සිටියේ මෙම පනත මුලුමනින්ම අහෝසි කල යුතු බවයි.

පාර්ලිමේන්තු සංවර්ධන හා තාක්‍ෂන කමිටුව විසින් දෙසැම්බර් 29 වන දින සම්මත කරන ලද මෙම කෙටුම් පත, “නුසුදුසු” සමාජ මාධ්‍ය වාර්තා පල කිරීම මත පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා එන්සීපී රජය දැනට භාවිතා කරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත විස්ථාපනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

සමාජ මාධ්‍ය හරහා අන් අයට හිරිහැර කිරීම, අඩන්තේට්ටම් කිරීම හෝ අපහාස කිරීම සම්බන්ධයෙන් අයිටීබීට රුපියල් මිලියන 1.5 ක (ඇමරිකානු ඩොලර් 13,145) දඩයක් හෝ වසර 10 දක්වා සිර දඬුවමක් හෝ දෙකම නියම කල හැක. මෙය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධාවක් නොවන බව ආන්ඩුව ප්‍රකාශ කලද, පනතේ අපැහැදිලි භාෂාව ව්‍යාපාරික නායකයින්, දේශපාලඥයන් සහ නිලධරයන් විවේචනය කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් දැඩි අවදානමට පත් කරයි.

මෙම පනත යටතේ ෆේස්බුක්, වයිබර් සහ වට්ස්ඇප් ඇතුලු සමාජ මාධ්‍ය ජාල නේපාලයේ ලියාපදිංචි නොකර ඇත්නම්, ඒවා අවහිර කිරීමට ආන්ඩුවට හැකි වනු ඇත. අන්තර්ජාල සේවා සපයන්නන් (අයිඑස්පී) ද දැඩි පරීක්ෂාවට භාජනයවනු ඇත. කිසිදු අධිකරන තීන්දුවකින් තොරව “නුසුදුසු” අන්තර්ජාල තොරතුරු ඉල්ලා අස්කර ගන්නා ලෙස අයිඑස්පීයන්ට නියෝග කිරිීමට මෙම පනත මගින් නේපාලයේ මධ්‍යම, ප්‍රාන්ත සහ පලාත් පාලන ආයතනවලට බලය පවරයි. උපකරන සහ මෘදුකාංග ද “නීති විරෝධී” යැයි සැලකිය හැකිය.

තාක්ෂන හා වානිජ විශේෂඥයන් සාමාජිකත්වය දරන “නීති විශේෂඥයකුගේ” සභාපතිත්වයෙන් යුතු “තොරතුරු තාක්ෂන අධිකරනයක්” විසින් මෙම නඩු විභාග කරනු ලැබේ. ආචාර්යා කියා සිටියේ, මෙය, නේපාල ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින්, අධිකරනය මඟ හැරීම සඳහා නිර්මානය කර ඇති “කැන්ගරු උසාවියක්” බවයි

නේපාල පාලක ප්‍රභූවේ කොටසකගේ කනස්සල්ල ප්‍රකාශ කරමින් හිමාලයාන් ටයිම්ස් පුවත්පත දෙසැම්බර් 31 දා මෙසේ ලිවීය: “අදහස් ප්‍රකාශ කිරීමේ හෝ මතයක් ප්‍රකාශ කිරීමේ නිදහසක් නොමැති විට ප්‍රජාතන්ත්‍රවාදය මිය යනු ඇත.” කත්මන්ඩු පෝස්ට්හි අදහස් පලකිරීමක දැක්වුනේ, “අන්තර්ජාල නිදහස සීමා කිරීම මෙන්ම පුද්ගලික දත්ත ගැන ඔත්තු බැලීම වැඩි කිරීමේ තර්ජනය” ද සමඟ, බලධාරීන්ට සමාජ මාධ්‍ය අවහිර කල හැකි බව ය.

පැතිර ඇති මහජන විරෝධයට ප්‍රතිචාරයක් ලෙස, රටේ ප්‍රධාන විරුද්ධ පක්ෂය වන නේපාල කොන්ග්‍රසයට (එන්සී), ආන්ඩුව විසින් පනතේ “ප්‍රතිගාමී” විධිවිධාන සංශෝධනය කල යුතු යයි කියා සිටීමට බල කෙරුනි. කෙසේ වෙතත්, පැවති එන්සී ආන්ඩුව ද මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට පහර දුන් අතර එය 2017 දෙසැම්බරයේ පැවති මහ මැතිවරනයෙන් පරාජය වීමට පෙර පුලුල් ලෙස අපකීර්තියට පත් වී තිබුනි.

පාර්ලිමේන්තු කමිටුව මෙම පනත අනුමත කිරීමට දිනකට පෙර එන්සීපී සභාපති පුෂ්පා කමල් දහාල්, පුවත්පත් “ධනේශ්වර මාධ්‍යය” ලෙස හංවඩු ගැසීය. ධනේශ්වර පන්තියේ අවශ්‍යතාවන්ට සේවය කරන ආන්ඩුවක් විසින් මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහි ප්‍රහාරය සාධාරනීකරනය කිරීමේ නරුම උත්සාහයකි මෙය.

එන්සීපී ආන්ඩුව තේරී පත්වූ දා සිට නිදහස් අදහස් ප්‍රකාශනය සීමා කිරීමට වැඩ කරමින් සිටී. නේපාල ජාතිකයින් බහුතරයක් ජීවත් වන කත්මන්ඩු නිම්නයේ, පොලීසිය විසින් පසුගිය වසර තුන තුල සමාජ මාධ්‍යයන්හි “නුසුදුසු” තොරතුරු පල කිරීමට එරෙහිව නඩු 106 ක් පවරා තිබේ.

මාධ්‍ය නිදහසට පහර දීම සඳහා නේපාල ආන්ඩුව විසින් යෝජනා කරන ලද එකම පියවර අයිසීබීය පමනක් නොවේ. යමෙකුගේ කීර්ති නාමයට හානි කිරීමේ චෝදනාවට වරදකරු වුවහොත් මාධ්‍ය සභා පනත් කෙටුම්පත (එම්සීබී) යටතේ නේපාල පුවත්පත් මන්ඩලයට කතුවරුන්, ප්‍රකාශකයන් සහ මාධ්‍යවේදීන්ට රුපියල් මිලියනයක් දක්වා දඩ නියම කල හැකිය. වර්තමාන පනත යටතේ, මන්ඩලයට පැහැදිලි කිරීම් සහ සමාව ඉල්ලා සිටිය හැකි නමුත්, පුවත්පත් සංවිධාන අසාදු ලේඛනගත කල හැකි නමුදු වන්දි ගැනීම සඳහා උසාවියට යා යුතුය.

“ජාතික ආරක්ෂාවට, ස්වෛරීභාවයට හා අඛන්ඩතාවයට ඇති තර්ජන” මැඩපැවැත්වීමේ පදනම මත දුරකථන හා ඩිජිටල් සංවාදවලට සවන්දීමට නේපාලයේ බුද්ධි අංශවලට බලය පවරන විශේෂ සේවා පනත් කෙටුම්පත දෙසැම්බර් 30 වන දින ආන්ඩුව විසින් සභාගත කරන ලදී.

ලෝක ජනගහනයෙන් අඩකට වඩා දැන් අන්තර්ජාලය භාවිතා කරන හෙයින්, සෑම දෙසකම ආන්ඩු, කම්කරුවන්ගේ හා තරුනයින්ගේ අරගල සංවිධානය කිරීමට භාවිතා කරනු ඇතැයි යන බිය නිසා සමාජ මාධ්‍ය වේදිකා කප්පාදු කිරීමට වැඩි වැඩියෙන් පියවර ගනිමින් සිටිති. අවම වශයෙන් රටවල් 29 ක් පසු ගිය වසරේ හිතාමතාම අන්තර්ජාල වසා දැමීම් සිදු කරන ලදී.

නේපාල ආන්ඩුව විසින් ජනතාවට එරෙහිව කරන ඔත්තු බැලීම්වල කොටසක් ලෙස ඔක්තෝබර් මාසයේදී තවත් සීසීටීවී කැමරා 165 ක් පොලිසිය විසින් කත්මන්ඩු අගනුවර ස්ථාපනය කරන ලදී. මෙය, කත්මන්ඩු නිම්නයේ ඇති සමස්ත සීසීටීවී කැමරා සංඛ්‍යාව 1,414 ක් දක්වාත්, නේපාලය පුරාම 3,000 කට වැඩි සංඛ්‍යාවක් දක්වාත් ඉහල නංවා ඇත. කත්මන්ඩු හි පාසල් සහ විද්‍යාල ගනනාවක් සීසීටීවී නිරීක්ෂන යටතේ පවතී.

මෙම වර්ධනයන් අවධාරනය කරන්නේ, ආන්ඩුවට එරෙහි මහජන ව්‍යාපාරයක වර්ධනය වීම පිලිබඳව එන්සීපී යට පවතින භීතිය යි. පාර්ලිමේන්තුව සහ පලාත් සභා සඳහා නොවැම්බරයේ පැවති අතුරු මැතිවරනවලදී එන්සීපීය ආසන අහිමි කර ගත්තේය. අපකීර්තියෙන් ගැලවීමට දරන උත්සාහයකදී රාස්ත්‍රියා ජනතා පක්ෂය පසුගිය මාර්තු මාසයේ දී ආන්ඩුවට ලබා දුන් සහාය ඉවත් කර ගත්තේ ය.

නේපාලය යනු සමාජ කාල බෝම්බයකි. සාමාන්‍යයෙන්, ධනවත්ම සියයට 10 දෙනාට, දුප්පත්ම සියයට 40 ට වඩා 26 ගුනයකට වඩා දේපල තිබේ. ඉහලම සියයට 10, දුප්පත්ම සියයට 40 ට වඩා තුන් ගුනයකට වැඩි ආදායමක් උපදයි.

ගිනියම් කාන්තාරයේ එක දිගට පැය 12 වැඩ කිරීම සහ කර්මාන්තශාලාවල, කිසිදු දින නිවාඩුවක් නොමැතිව දුෂ්කර පැය ගනන් වැඩ කිරීමේ අති දුෂ්කර කොන්දේසි යටතේ, මැද පෙරදිග හා වෙනත් තැන්වල වැඩ කරන නේපාල සංක්‍රමනික කම්කරුවෝ, පසුගිය මූල්‍ය වර්ෂයේදී ඩොලර් බිලියන 7 කට අධික ප්‍රමානයක් තම පවුල් වෙත එවා ඇත. බොහෝ දෙනෙක්, ඇත්තටම වහලු‍න් වන, ගෘහස්ථ සහායකයන් ලෙස පෞද්ගලික නිවාසවල සිරවී සිටී. මෙම දරුනු කොන්දේසි නිසා සෑම වසරකම නේපාල සංක්‍රමනික ශ්‍රමිකයින් 1,000 ක් පමන ගල්ෆ් ප්‍රදේශයේ දී මිය යති.

පැවති නේපාල කොන්ග්‍රස් ආන්ඩුව යටතේ තිබූ දරිද්‍රතාවයට හා සමාජ ගැටලු‍ වලට පැවති මහජන විරෝධය, 2017 මැතිවරනයේ දී අගමැති කේ පී ෂර්මා ඔලිගේ ජයග්‍රහනයට හේතු විය. එහෙත් සමාජ විනාශය සහ දේශපාලන විරුද්ධත්වය තීව්‍ර කරන ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයේ වෙලඳපල ගැති එම වැඩපිලිවෙල ම එන්සීපී ය ද ක්‍රියාවට දමමින් සිටී.

Share this article: