ජනාධිපතිවරනයෙන් පසු නසසප තවත් පාවාදීමකට සූදානම් වේ

වසන්ත රූපසිංහ සහ කේ. රත්නායක විසිනි, 2020 ජනවාරි 01

නොවැම්බර් 16 වන දින පැවති ජනාධිපතිවරනයේදී ශ්‍රී ලංකාවේ ව්‍යාජ වාම පක්ෂ දුෂ්ඨ භූමිකාවක් රඟ දක්වමින් ආඥාදායක හා වර්ගවාදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කිරීමට දායක විය.

මෙම කන්ඩායම් අතර නව සම සමාජ පක්ෂය (නසසප) ඉදිරියෙන් සිටී. එය එක්සත් ජනපද ගැති එක්සත් ජාතික පක්ෂයේ (එජාප) අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සෘජුවම සහාය දැක්වීය. නසසප නායක වික්‍රමාබාහු කරුනාරත්න “ෆැසිස්ට්” රාජපක්ෂට එරෙහිව නැගී සිටින “ප්‍රජාතන්ත්‍රවාදියෙකු” ලෙස ඔහු වර්නනා කලේය. මැතිවරනයෙන් පසු කරුනරත්න එජාප නායකත්වයෙන් යුත් පුලුල් පෙරමුනක් යෝජනා කරන්නේ, රාජපක්ෂගේ ෆැසිස්ට්වාදය වැලැක්වීමට ය.

මැතිවරනයෙන් පසු ඔහු ලියන ලද ලිපියක් තුල කරුනාරත්න මෙසේ කියයි. “ [රාජපක්ෂගේ] ෆැසිස්ට් ව්‍යාපාරයෙන් රට බෙදී යයි. එමගින් දේශප්‍රේමයට මඟ සලසන ‘සිංහල පමනක්‘ ඒකාධිකාරය ඇතිවේ. සිංහල-බෞද්ධයන්ගෙන් බහුතරයක් මෙම දේශපාලනය තම එකම නියෝජිතයා ලෙස නිදහසේ පිලිගෙන ඇත.”

දින කිහිපයකට පසු දෙසැම්බර් 7 වන දින ලියන ලද තවත් ලිපියක කරුනාරත්න ප්‍රකාශ කරන්නේ, “ ශ්‍රී ලාංකික ජනතාව ජාතිකත්වයන් කිහිපයකට බෙදී ඇති අතර, ‘එක් ලංකාවක්’ ලෙස එක්සත් වීමට දිගින් දිගටම අකමැතිවේ. ඉන් ඡන්දදායක පදනම තවදුරටත් ධ්‍රැවීකරනය වන අතර මෑත අතීතයේදී ජාතිය ගොඩනැඟීමේ උත්සාහයන් හා ප්‍රතිසන්ධානය ප්‍රශ්නයට බඳුන් කර ඇත.”

ජනතාව “ෆැසිස්ට් ව්‍යාපාරය මඟින් බෙදී” ඇති බවත් “සිංහල-බෞද්ධයන් මෙම දේශපාලනය නිදහසේ පිලිගෙන ඇති” බවත් පිලිබඳව ඔහු කරන ප්‍රකාශය රාජපක්ෂගේ මැතිවරන ජයග්‍රහනය ගැන කම්කරුවන්ට හා දුප්පතුන්ට දොස් පැවරීමේ නරුම ව්‍යායාමයකි.

කරුනාරත්නගේ ලෝකයේ ඇත්තේ ජනවාර්ගික වශයෙන් බෙදී ගිය මිනිසුන් සමූහයක් පමනි. ශ්‍රී ලංකාවේදී ඔවුන් සිංහල, දෙමල සහ මුස්ලිම් ය. මෙම ජනතාව හෝ ජනවාර්ගික කොටස් නිෂ්ක්‍රීය ස්ථරයක් නොව පන්ති වලින් සමන්විත වන අතර එම නිසා සමාජය පන්තිවලට බෙදී ඇතැයි යන සත්‍යය කරුනාරත්න ප්‍රතික්ෂේප කරයි.

ඔහුගේ ලිපියේ සමාජයේ පන්ති භේද සහ ධනේශ්වර පන්තිය, කම්කරු පන්තිය හෝ මධ්‍යම පන්තිය යන වචන කොතැනකවත් සඳහන් නොවීම පුදුමයක් නොවේ. මෙය ජනවාර්ගික, ආගමික, ස්ත්‍රී පුරුෂ භාවය හෝ වෙනත් වෙනස්කම් මත කම්කරුවන් බෙදීමට සහ සමාජ ආතතීන් සුරක්ෂිත ඇල මං ඔස්සේ හරවා යැවීමට ව්‍යාජ වාම කන්ඩායම් විසින් ජාත්‍යන්තරව යෙදී සිටින අනන්‍යතා දේශපාලනයේ කොටසකි.

නසසපයේ මෙම ප්‍රතිගාමී පිලිවෙත මඟින්, කම්කරු පන්තියේ ස්වාධීන විප්ලවවාදී භූමිකාව හා ධනේශ්වර පාලනයට එරෙහිව එය බලමුලු‍ ගැන්වීම ප්‍රතික්ෂේප කිරීම පෙන්නුම් කරයි.

පාලක පන්තියේ සෑම කන්ඩායමක්ම මෙන් ව්‍යාජ වාම කන්ඩායම් ද, පන්ති අරගලයේ ජාත්‍යන්තර නැඟීමේ කොටසක් ලෙස කම්කරු පන්තිය අතර වර්ධනය වන නොසන්සුන්තාවයට බිය වෙති. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩසටහන් නිර්දය ලෙස ක්‍රියාත්මක කල පසුගිය වසර දෙක තුල සමාජ හා ජීවන තත්වයන්ට එල්ල කල ප‍්‍රහාරයන්ට එරෙහිව පුපුරා ගිය සමාජ විරුද්ධත්වය පසුගිය ආන්ඩුවේ ගැඹුරු අර්බුදයක් නිර්මානය කලේය.

කම්කරුවන් සහ දුප්පතුන් මෙම ප්‍රහාරය කෙරෙහි විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට ඡන්දය දුන් බැවින් රාජපක්ෂ රටේ දකුනු ප්‍රදේශය තුල බහුතර ඡන්ද ප්‍රමානයක් දිනා ගත්තේය. කෙසේ වෙතත්, සිංහල වර්ගවාදයේ ගිලී ඇති එජාප හා ශ්‍රීලංපොපෙ නායකත්වයෙන් යුත් ප්‍රතිවාදී ධනේශ්වර කඳවුරුවල ජනතාව සිරව සිටීම, ව්‍යාජ වාම කන්ඩායම්, වෘත්තීය සමිති, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ), දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) සහ විද්වතුන් විසින් ඉෂ්ඨ කල දේශපාලන ක්‍රියාවලියේ ප්‍රතිඵලයයි.

මෙම කන්ඩායම්, කලින් පැවති මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ ආන්ඩුවේ එකම විපාර්ශ්වය ලෙස පෙනී සිටීමට ශ්‍රීලපොපෙ හා රාජපක්ෂට ඉඩ සලසා දුන්නේය.

සිරිසේන බලයට ගෙන ඒම සඳහා 2015 දී වොෂින්ටනය පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුමක් දියත් කලේය. වොෂින්ටනයට අවශ්‍ය වුනේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බීජිනය සමඟ ඇති සබඳතා බිඳ දමා චීනයට එරෙහි මිලිටරි, රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික ප්‍රහාරය පිටුපස මූලෝපායික පිහිටීමක් සහිත ශ්‍රී ලංකාව පෙලගස්වා ගැනීමයි.

මහින්ද රාජපක්ෂ ආන්ඩුවට එරෙහි පුපුරන සුලු‍ සමාජ විරෝධය මෙම පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුම පිටුපසට හරවා යැවීම පිනිස මෙම වාම කන්ඩායම්, ටීඑන්ඒ සහ ජවිපෙ පෙල ගැසුනහ.

එතැන් සිට ටීඑන්ඒ, ආන්ඩුවේ සැබෑ සහකරු ලෙස කටයුතු කලේය. ආර්ථික සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය යැයි කියමින් ජාමූඅ කප්පාදු පියවරයන්ට නසසපය පිටුබලය දුන්නේය. සාධාරන වැටුප් ඉල්ලා සිටි කම්කරු අරගලයන්ට ද, අධ්‍යාපන කප්පාදුවලට හා පුද්ගලීකරනයට එරෙහි සිසු විරෝධතාවන්ට ද නසසප නායකයා පහර දුන්නේ, “ෆැසිස්ට් මහින්ද රාජපක්ෂ කඳවුරට උදව් කරන”, ආන්ඩුවට එරෙහි කුමන්ත්‍රන ලෙස නම් කරමිනි.

එසප සහ පෙසප වැනි අනෙකුත් ව්‍යාජ වාමාංශික කන්ඩායම්, රජයට බලපෑම් යොදන නිරර්ථක විරෝධතා දක්වා කම්කරු අරගල ලඝු කිරීම සඳහා වෘත්තීය සමිතිවලට සහාය දුන්හ.

මැතිවරන ව්‍යාපාරය තුල, රාජපක්ෂගේ ප්‍රධාන ධනවාදී ප්‍රතිමල්ලවයා වූ එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාස “අඩු නපුර” ලෙස හුවා දැක්වීමේ මිත්‍යාව මෙම කන්ඩායම් විසින් කරගසා ගෙන ගියේය. නසසප ජනතාව ව්‍යාකූල කිරීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කල අතර එහි නායක කරුනාරත්න තවත් පියවරක් ඉදිරියට ගෙන ප්‍රේමදාස “ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියෙකු” බව ප්‍රකාශ කලේය. ”

රාජපක්ෂගේ “ෆැසිස්ට් උද්ඝෝෂනය” පිලිබඳ ප්‍රකාශය, ඔහුගේ ඒජාප ගැති පිලිවෙත ප්‍රවර්ධනය කිරීම සඳහා වූ තවත් අපසරනයකි. කරුනාරත්න “ෆැසිස්ට්” යන යෙදුම පුරුද්දක් ලෙස භාවිතා කරන්නේ කම්කරු පන්තියට අනතුරු ඇඟවීමට නොව, දක්ෂිනාංශික එජාපයට ජනතාව සහාය දිය යුතු යැයි අවධාරනය කිරීමට ය. මහජන ෆැසිස්ට් ව්‍යාපාරයක් ගොඩ නැගීමට රාජපක්ෂට සහ ශ්‍රීලපොපෙට තවමත් හැකි වී නැත. එහෙත් දෙදෙනාම බෞද්ධ හා සිංහල අන්තවාදී කන්ඩායම් පෝෂනය කරමින් ද කම්කරු පන්තියට එරෙහිව මුදා හැරීම සඳහා යුද වීරයන් ලෙස හමුදාවට ආයාචනා කරමින් ද එවැනි ෆැසිස්ට් බලවේගයන් වර්ධනය කරමින් සිටිති.

“ජාතිකත්වයන්” කෙරෙහි ජනතාව දක්වන විරුද්ධත්වය සහ “එක් ලංකාවක්” ලෙස එක්සත් වීමට දිගින් දිගටම අකමැති වීම පිලිබඳව ඔහුගේ ප්‍රකාශ, කම්කරු පන්තිය මත ජාතිවාදී ලේබලය අලවමින් එල්ල කරන තවත් ප්‍රහාරයකි. ජාතිවාදයේ ගිලී සිටින ධනේශ්වර කල්ලියකට සහාය දෙන අතරම කරුනාරත්න මෙම නරුම චෝදනාව නඟන්නේ, සිංහල, ද්‍රවිඩ හා මුස්ලිම් ජනතාව එකිනෙකාට එරෙහිව ගැටුම් ඇතිකරගෙන සිටින බව පෙන්වීමට ය.

‌ඓතිහාසිකව ගත් කල සිය යටත් විජිත ස්වාමියා විසින් රටේ පාලනය භාර දුන් 1948 පටන්, කම්කරු පන්තිය බෙදීමට හා ධනවාදී පන්ති පාලනය ආරක්ෂා කිරීමට බහුතර සිංහල ජනතාව දෙමල සහ මුස්ලිම්වරුන්ට එරෙහිව හිතාමතාම උසිගන්වනු ලැබුවේ ධනපති පන්තියයි.

ශ්‍රී ලංකාව, කල්පසු වූ ධනේශ්වර වර්ධනයක් ඇති රටකි. එවැනි සෑම රටකම මෙන් දිවයිනේ පාලක පන්තිය, අධිරාජ්‍යවාදයට බැඳී ඇති අතර කම්කරු පන්තියට බිය වේ. ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් විසඳීම සඳහා වාර්ගික රේඛා කපාගෙන යමින් ජනතාව එක්සත් කිරීමේ කිසිදු ප්‍රගතිශීලී කාර්යභාරයක් ඉටු කිරීමට එයට නොහැකි විය, නොහැකිය.

ධනවාදී පක්ෂ විසින් භාවිතා කරනු ලබන “එක් ලංකාවක්” හෝ “සෑම කෙනෙක්ම ශ්‍රී ලාංකිකයින් ලෙස සිතිය යුතුය” යන යෙදුම් දෙමල ජනයා ඇතුලු සුලුතර ජනතාවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ප්‍රතික්ෂේප කිරීමට සහ ඔවුන් ‘බහුතරයට’ යටත් විය යුතු බවට කෙරෙන අනතුරු ඇඟවීමකි.

නසසප නායකයා විසින් මේ සියලු‍ තර්ක ඉදිරිපත් කර ඇත්තේ ඔහුගේ නව උගුල පෝෂනය කිරීම සඳහා පමනි.

කරුනාරත්න සිය ලිපියෙන් ඉල්ලා සිටින්නේ “රාජපක්ෂ කඳවුර සහ ජනතාව අතර ඇති බැඳීම බිඳ දැමිය යුතු” බවයි. “එම බැඳීම බිඳ දැමිය හැක්කේ රාජපක්ෂලාගේ අතීත හා අනාගත අපරාධ හා වැරදි හෙලි කිරීමෙන් පමනි.”‍

මෙම ප්‍රකාශය දෙගුනයක් කුහක ය. පලමුවෙන්ම, පෙර රාජපක්ෂ ආන්ඩුව විසින් සිදු කරන ලද යුද අපරාධ විමර්ශනය මැඩපැවැත්වීම සඳහා සිරිසේන සහ වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් පැවති ආන්ඩුවට නසසප සහාය දැක්වීය. දෙවනුව, කලින් පැහැදිලි කල පරිදි, වැඩකරන ජනතාව සහ රාජපක්ෂ අතර ”‍බැඳීමක්”‍ නොමැති අතර ඔවුන් ඔහුට විරෝධතා ඡන්දයක් දුන්නේ මෙම කන්ඩායම් විසින් ජනතාව සිර කර සිටි බැවිනි.

කරුනාරත්න මෙසේ අවවාද කරයි: “ඊලඟ අරගලය ගැන සිතන්න. පාර්ලිමේන්තු මැතිවරනය තීරනාත්මක වැදගත්කමක් දරයි. එය දිනා ගත හැකිය. ශ්‍රීලපොපෙ ජයග්‍රහනය ආන්තික ජයග්‍රහනයක් දක්වා සිඳවිය හැකිය.

කෙසේද? නසසප නායකයා එජාපෙන් ඉල්ලා සිටින්නේ, “අභ්‍යන්තර හා සැඟවුනු සටන් වලින් වලකින්න” යනුවෙනි. “සුලු‍ සුලු‍ දේ සඳහා සටන් නොකරන ලෙස” ඔහු ඉල්ලා සිටින අතර “සෑම දෙයක්ම රඳා පවතින්නේ එජාප කැඩී නොයාම සහ ශ්‍රීලංපොපෙ නොවන බලවේග එකිනෙකාට විරුද්ධ නොවීම” මත ය. මෙම පෙරමුනට ජවිපෙ ද ඇතුලත් කරගත යුතු බව ඔහු අවධාරනයෙන් පවසයි.

ජනාධිපතිවරනය පරාජයට පත්වීමෙන් පසුව එජාප අර්බුදය ගැඹුරු වී තිබේ. පක්ෂයේ පූර්න පාලනය සඳහා ප්‍රේමදාස ගෙනයන උද්ඝෝෂනය සැලකිය යුතු කන්ඩායමකගේ සහාය ද ඇතිව තීව්‍ර කර තිබේ. පාලක පන්තියේ සහ පක්ෂයේ සාම්ප්‍රදායික කල්ලියක් නියෝජනය කරන වික්‍රමසිංහ සහ ඔහුගේ ආධාරකරුවන් ප්‍රේමදාස කන්ඩායමට යටත් වීමට මැලි වෙති.

දිගු කලක් තිස්සේ වික්‍රමසිංහගේ දැඩි ආධාරකරුවෙකු වන කරුනාරත්න, එජාපය කැඩී යාම ගැන බිය වන අතර “ෆැසිස්ට්වාදයට එරෙහිව සටන් කිරීම” යන නාමයෙන් සෑම කන්ඩායමකම එක්සත්කම ඉල්ලා සිටී. ඔහු ජවිපෙ ද ඇතුලු විශාල පෙරමුනක් සඳහා උද්ඝෝෂනය කරයි.

මෙය කම්කරු පන්තියට තවත් මාරාන්තික උගුලකි.

ගෝලීය පසුබෑම මධ්‍යයේ ඉහල යන නය හා අපනයන පහත වැටීමත් සමඟ ගැඹුරු ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින ජනාධිපති රාජපක්ෂ, කම්කරුවන්ගේ, දුප්පතුන්ගේ හා තරුනයින්ගේ ජීවන තත්වයන්ට එරෙහිව දැවැන්ත ප්‍රහාර එල්ල කල යුතුව තිබේ.

මෙම ප්‍රහාර ක්‍රියාවට නැඟීමේදී කම්කරු පන්තියේ තියුනු ප්‍රතිරෝධයකට මුහුන දීමට සිදුවන බව රාජපක්ෂ සහ ඔහුගේ ශ්‍රීලංපොපෙ හොඳින් දැන සිටී. ජනාධිපති රාජපක්ෂ සිය සොහොයුරා වන මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සුලුතර ආන්ඩුවක් පිහිටුවන ලද අතර, පාර්ලිමේන්තුව කල් දමා රාජ්‍යයේ වැදගත් තනතුරු මිත්‍ර හමුදා නිලධාරීන්ගෙන් පුරවා ගත්තේය.

ජනාධිපති යලි යලිත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත්තේ, ජනාධිපති බලතල සීමා කරන 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට තමාට අවශ්‍ය බවයි. “ශක්තිමත් ආන්ඩුවක්”‍ පිහිටුවීම සඳහා ව්‍යවස්ථාව යලි ලිවිය යුතුය. ඒකාධිපති පාලනයක් සඳහා වන කේත වචනය එයයි. මාර්තු මාසයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව පවත්වන මැතිවරනයේදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් සඳහා උද්ඝෝෂනයක ඔහු යෙදී සිටී.

නසසප සහ අනෙකුත් ව්‍යාජ වාම කන්ඩායම් විසින් යෝජනා කරනු ලබන උගුල ප්‍රතික්ෂේප කරමින් අනාගත අරගල සඳහා කම්කරු පන්තිය දේශපාලනිකව සූදානම් විය යුතුය.

කම්කරු පන්තියට සිය සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගත හැක්කේ ද ඒකාධිපති පාලනයේ තර්ජනයට එරෙහිව සටන් කල හැක්කේ ද ධනේශ්වර පන්තියේ සෑම කන්ඩායමකින්ම දේශපාලනිකව ස්වාධීන වීමෙන් සහ සමාජවාදය සඳහා අරගලය තුල ජාත්‍යන්තර පන්ති සහෝදර සහෝදරියන් සමඟ එක්වීමෙනි. ඔවුන් ග්‍රාමීය දුප්පතුන් හා තරුනයින් පෙලගැස්විය යුතු අතර දකුනු ආසියාවේ සහ ලෝක සමාජවාදී සමූහාන්ඩුවක කොටසක් ලෙස කම්කරු හා ගොවි ආන්ඩුවක් වෙනුවෙන් සටන් කල යුතුය.

අනෙකුත් ව්‍යාජ වාමාංශික කන්ඩායම්වල මෙන්ම නසසප දේශපාලන පිලිවෙතේ ද ලාංඡනය වන්නේ, කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය ඒ හෝ මේ ධනේශ්වර පක්ෂයට යටත් කිරීමයි. ව්‍යසනයන් කරා මග පෑදීමේදී මෙම ඉහල මධ්‍යම පන්තික කන්ඩායම්වල දේශපාලන භූමිකාව මෙයයි. කම්කරුවන්ට හා තරුනයින්ට විප්ලවවාදී පක්ෂයක් අවශ්‍ය ය. ඒ සමාජවාදී සමානතා පක්ෂයයි.

Share this article: