ඉරානයට එරෙහි ට්‍රම්ප්ගේ සාපරාධී යුද්ධයට විරුද්ධ වනු!

Oppose Trump’s criminal war against Iran!

2020 ජනවාරි 6

ජනවාරි 3වැනිදා බැග්ඩෑඩයේ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී ජනරාල් කසෙම් සුලෙයිමානි ඝාතනය කිරීම ලෝක සමාජවාදී වෙබ් අඩවිය තරයේ හෙලා දකී.

සාපරාධී නීති බලාත්මක කරන්නේ නම්, සුලෙයිමානි හා තවත් 9 දෙනෙකු ඝාතනය කල ඩ්‍රෝන් මිසයිල ප්‍රහාරය ජාත්‍යන්තර මෙන් ම එක්සත් ජනපද නීතිය යටතේ නඩු පැවරිය හැකි මිනීමරු ක්‍රියාවකි.

ඉරාන ආන්ඩුවේ දෙවන වැදගත්ම පුද්ගලයා ලෙස පුලුල් ලෙස සැලකෙන, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ කුඞ්ස් හමුදා ප්‍රධානී, සුලෙයිමානි ඝාතනය කිරීම ඉරාකය හා ඉරානය යන දෙරෙටේ ම දැවැන්ත උද්ඝෝෂනවලට මුහුන දී ඇති අතර මැද පෙරදිග පුලු‍ල් ලෙස දකිනු ලබන්නේ සමස්ත කලාපයට ම එරෙහිව එක්සත් ජනපද යුද ප්‍රකාශ කිරීමක් ලෙස ය.

ඉරාන ආන්ඩුව පලිගැනීමට සපථ කර තිබේ. ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි කියා සිටියේ රට “බලවත් පලිගැනීමක්” කරනු ඇති බව යි. මහජන කෝපයේ මට්ටම අනුව, වඩා අඩු දෙයක් කිරීම ඉරානය තුල ම පාලනය අහිමිවීමේ අවදානම ඇති කරනු ඇත.

ඉරාන ජාතිකයන් පස් දෙනෙකු හා ඉරාක ජාතිකයන් පස් දෙනෙකු ඝාතනය කෙරුනු, ඩ්‍රෝන් මිසයිල ප්‍රහාරයෙන් මියගිය සුලෙයිමානි හා අනෙක් පිරිසට ගෞරවය දැක්වීම සඳහා රැස්ව සිටි පිරිස, අවමංගල්‍ය පෙරහැර ආහ්වාස් හි සිට මාෂාඞ් හා අවසානයේ ටෙහෙරානය දක්වා තම ගමන යන විට මිලියන ගනනක් බව ඇස්තමේන්තු කෙරී ඇත.

බැග්ඩෑඩය තුල, 1958 දී රාජාන්ඩුව පෙරලා දැමීමෙන් පසු ඉරාකයේ සිදු වූ විශාලතම මහජන උද්ඝෝෂනය ලෙස විස්තර කෙරී ඇති, 100,000 කට අධික පිරිසක් “ඇමරිකාවට මරනය!” යනුවෙන් හඬ නඟමින් විරෝධතා පෙලපාලි ගියහ.

මහජන විරුද්ධත්වයේ මෙම දැවැන්ත උතුරායාමේ බර යටතේ, ඉරාක පාර්ලිමේන්තුව ඉරාකයෙන් එක්සත් ජනපද හමුදා ඉවත් කරන ලෙස ඉල්ලන යෝජනාවක් සඳහා ඉරිදා ඉතා ප්‍රබල ලෙස ඡන්දය ප්‍රකාශ කලේ ය. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ වොෂින්ටනය කිසිදු ඉවත් විමේ නියෝගයක් නො සලකා හරින බව ඇඟ වූ අතර, දැනට රඳවා සිටින එක්සත් ජනපද භටයන් 5,000 දෙනා ඉරාක ආරක්ෂක හමුදා පුහුනු කිරීමේ තම ප්‍ර‍සිද්ධ මෙහෙයුම අතහැර දමා ඇත්තේ, ඉරාක සොල්දාදුවන් තම තුවක්කු තමන්ගේ උපදේශකයන් දෙසට හරවනු ඇතිවාක් මෙන් ම ප්‍රහාර සඳහා සූදානම් වෙමින් සිටිති යි යන බියෙනි.

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, කමේනිගේ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වා ඇත්තේ ට්විටර් හරහා බෙදා හැරුනු වඩ වඩා උමතු තර්ජන මාලාවක් සමගිනි. “මීට වසර ගනනාවකට පෙර ඉරානය විසින් අල්ලා ගත් ඇමරිකානු ප්‍රාන ඇපකරුවන් 52 දෙනා නියෝජනය කරමින්,” ඉරානයේ ඉලක්ක 52 ක් තෝරා ගත් බව ඔහු පලමු ව කියා සිටියේ ය. මෙයට “ඉරාන සංස්කෘතියට” වැදගත් ස්ථාන ඇතුලත් වන බව ඔහු පැවසී ය. එවැනි ප්‍රහාරයක් එක්සත් ජනපද ආන්ඩුවේ නීතිවිරෝධී ක්‍රියා ලැයිස්තුවට එකතු වනු ඇත.

ඊට පසු ට්වීටර් පනිවුඩවල දී, “වෙන කවරදාටත් වඩා දරුනු ලෙස” ඉරානයට පහර දෙන බවට එක්සත් ජනපද ජනාධිපති ප්‍රතිඥා දුන් අතර තම ට්විටර් ප්‍රකාශ “ඉරානය ඕනෑම එක්සත් ජනපද පුද්ගලයෙකුට හෝ ඉලක්කයකට පහර දෙන්නේ නම්, එක්සත් ජනපදය ඉක්මනින් හා සම්පූර්නයෙන් මෙන් ම, සමහර විට විසමානුපාතික ලෙස පහර දෙනු ඇති බව එක්සත් ජනපද කොන්ග්‍රසයට දැනුම් දීමක්” ලෙස සඳහන් කරන බව හා “එවැනි නීතිමය දැනුම් දීමක් අවශ්‍ය නොවන නමුත් එය ලබා දුන්” බව ද ප්‍රකාශ කලේය.

ට්‍රම්ප්ගේ දරුනු තර්ජන සිතා මතා සැලැසුම් කෙරෙන්නේ තත්වය අවුලු‍වාලීමට හා දැඩි මහජන පීඩනය යටතේ, ප්‍රචන්ඩකාරී පලිගැනීමේ පියවර ගැනීම හැර වෙනත් විකල්පයක් නැති තැනකට ඉරාන ආන්ඩුව ඇද දැමීමට ය. ඉරානය සමග යුද්ධයක ප්‍රතිවිපාක දෙස බලන විට මෙය හුදු පිස්සුවක් සේ පෙනේ. නමුත් සුලෙයිමානිට එරෙහි ප්‍රහාරය ට්‍රම්ප් විසින් පුද්ගලික හදිසි කෝපයකින් යුතුව නියෝග කරනු ලැබූ බව විශ්වාස කිරීම දේශපාලන මුග්ධත්වයේ උච්චතම අවස්ථාව වනු ඇත.

ට්‍රම්ප් විසින් මෙම නියෝගය ලබා දී ඇත්තේ හිතාමතා ම යුද්ධය අවුලු‍වාලීමේ අරමුනින් ය. මෙම පිස්සුවට විධික්‍රමයක් තිබේ. එය ඇමරිකානු ධනවාදයේ ජාත්‍යන්තර මෙන් ම දේශීය වශයෙන් වඩ වඩාත් මංමුලා සහගත අර්බුදයෙන් ගැලවීමට ප්‍රචන්ඩත්වයේ විස්මිත ක්‍රියා තුලින් මගක් සෙවීමේ උත්සාහයකි.

සුලෙයිමානි ඝාතනය හුදෙකලා සිදුවීමක් නො ව, නමුත් ඊට වෙනස් ව යුද්ධයක ආරම්භය යි. එය මැද පෙරදිග පමනක් නොව ජාත්‍යන්තරව “ඉහතදී” හා “පසුව” අතර බෙදීම් රේඛාවක් සලකුනු කරයි. අනාගත ඉතිහාසඥයින් මෙම රාජ්‍ය අපරාධයට සලකනු ඇත්තේ 1914 දී සරයේවෝහි දී ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඞ් ආදිපාදවරයා ඝාතනය කිරීමට සමාන වැදගත්කමකින් යුක්තව ය.

කිසිවෙකුත් ඉරානය සමග යුද්ධයේ ප්‍රතිවිපාක අවතක්සේරු කිරීමේ වැරැද්ද නො කල යුතු ය. ගැටුමේ වර්ධනය වේගයෙන් ගෝලීය මානයන් අත්පත් කර ගනු ඇත. විශාල යුරේසියානු භූස්කන්ධයේ ගනන් කල නොහැකි රාජ්‍යයන්ගේ වැදගත් උත්සුකයන්ට බලපාන, ගැටුමේ තර්කනය රටවල් ගනනාවක් යුද්ධයේ සුලි සුලඟට ඇද දැමීම කාලය පිලිබඳ ප්‍රශ්නයක් පමනක් වනු ඇත. ඉරානය මත ඇමරිකානු පාලනය පිලිගැනීමට රුසියානු හෝ චීන ආන්ඩුවලට කල නො හැකි වනු ඇත. ඇමරිකානු-ඉරාන ගැටුමෙන් පාකිස්තානය මුලුමනින්ම අස්ථාවර වන අතර ඉන්දීය ආන්ඩුවට පසෙකට වී බලා සිටීමට නො හැකි වනු ඇත.

එපමනක් නොව, ඇමරිකානු මිලිටරිය, අවි ආයුධ මත නාස්ති කර ඇති ඩොලර් ට්‍රිලියන ගනනක් තිබියදීත්, එයට මුහුනදීමට සිදුවන මහජන ප්‍රතිරෝධය සඳහා සූදානම් නැත. දශක ගනනාවක යුද්ධයෙන් පසුව පවා, ඉරාකය හා ඇෆ්ගනිස්ථානය මත සිය කැමැත්ත පැටවීමට අපොහොසත් වන ලදු ව, ඉරානය සමග යුද්ධය මිලිටරි හා දේශපාලන ව්‍යසනයකට තුඩු දෙන බව එක්සත් ජනපදය නිගමනය කරනු ඇත.

එසේනම් ට්‍රම්ප් පාලනාධිකාරිය මෙම විනාශකාරී ක්‍රියාමාර්ගයට එලඹ ඇත්තේ ඇයි?

පලමුවෙන්ම, ඉරානයට එරෙහිව යුද්ධයක් දියත් කිරීමේ තීරනය බැඳී ඇත්තේ “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” සිට “මහා බලවතුන්ගේ තරඟයෙන්” පැන නගින යුද්ධ සඳහා සූදානම් වීමට මාරුවීමක් මත පාදක ව, 2018 දී නව මූලෝපායික මූලධර්මයක් එලිදැක්වීමත් සමග ය. ටෙහෙරානයේ යටත් විජිත විලාසිතාවේ රූකඩ පාලන තන්ත්‍රයක් ඇටවීම හා පර්සියානු ගල්ෆ් කලාපයේ බලශක්ති සැපයුම් පාලනය කිරීම රුසියාව හා චීනය සමග යුද්ධයට අත්‍යවශ්‍ය සූදානමක් ලෙස වොෂින්ටනය විසින් සලකනු ලබ යි. කැපී පෙනෙන ලෙස, ලෝක යුද්ධය සඳහා වන අයවැයක් වන, මෑත දී සම්මත කර ගැනුනු ඩොලර් ටි්‍රලියන ගනනක මිලිටරි අයවැය සම්මත කිරීමේ දී, ඩිමොක්‍රටිකයෝ හා රිපබ්ලිකානුවෝ, ඉරානයට එරෙහිව මිලිටරි ප්‍රහාරයක් දියත් කිරීමට එක්සත් ජනපද ජනාධිපතිවරයාට කොන්ග්‍රස් මනුඩලයේ අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වීමට ඉඩ තිබූ බස් වහර ඉවත් කලහ.

දෙවනු ව හා වැදගත්කමින් නො අඩු ලෙස, යුද්ධය සඳහා වූ සාහසික තීරනය පිලිබිඹු කරන්නේ එක්සත් ජනපදය තුල පන්ති ගැටුමේ වර්ධනය සම්බන්ධයෙන් ඇමරිකානු පාලක පන්තියේ මංමුලා සහගතභාවයයි. සමාජ කෝපය තීව්‍ර වීම හා ධනේශ්වර විරෝධී හැඟීම් ඉහල යාම පිලිබඳ එහි කනස්සල්ල තවත් උග්‍ර කෙරෙන්නේ, මූල්‍ය වෙලඳපොලේ පොදු කඩාවැටීමක් වැලැක්වීම සඳහා සිදු කරන ලද “ප්‍රමානාත්මක ලිහිල් කිරීම” ලෙස ප්‍රසිද්ධ අසීමිත මුදල් මුද්‍රනය මත සමස්ත ඇමරිකානු ආර්ථිකය රඳා පවති යි යන කාරනයෙනි.

ඇමරිකානු පාලක පන්තිය අර්බුදයේ විප්ලවීය ගම්‍යයන් හොඳින් දන්නා අතර එහි ක්‍රියාකාරිත්වයේ සාහසික ස්වභාවය යටින් පවතින්නේ මෙම අවසාන අන්තරාය පිලිබඳ හැඟීම යි. අන්තර්ක්‍රියාකාරී හා නො වැලැක්විය හැකි ආර්ථික, සමාජීය හා දේශපාලන අර්බුද රාශීභූත වීමට මුහුන දී සිටින ට්‍රම්ප් පාලනාධිකාරිය යුද්ධය පිලිබඳ සූදුවෙහි යෙදී සිටින්නේ, මහජනයා වෙනතකට හරවා අවමංගත කිරීමට පමනක් නොව, රාජ්‍ය මර්දනය තීව්‍ර කිරීම හා මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහි ප්‍රහාර නීත්‍යානුකූල කිරීම සඳහා ය.

සුලෙයිමානි ඝාතනය කර පැය කිහිපයක් ඇතුලත මිලිටරීකරනය කෙරුනු පොලිසියේ දැඩි ලෙස සන්නද්ධ පිරිස් ප්‍රධාන ඇමරිකානු නගරවල වීදිවල මුර සංචාරයේ යෙදීම අහම්බයක් නො වේ.

එක්සත් ජනපදයේ දැන් පවතින තත්වය හා, ඒ සම්බන්ධයෙන් ගත් විට, බටහිර යුරෝපයේ සියලු‍ම ප්‍රධාන ධනවාදී රටවල පවතින තත්වය, දෙවන ලෝක යුද්ධය ආසන්නයේ නාසි ජර්මනියේ පැවති තත්වයට සමාන ය. 1938 වන විට, හිට්ලර්ගේ තන්ත්‍රය, ආර්ථිකය ඉලිප්පෙමින් තබා ගැනීමට හා මිලිටරිය ශක්තිමත් කිරීමට මුදල් යෙදවීම සඳහා දැවැන්ත හා දැරිය නො හැකි වූ නය එකතු කර ගනු ලදු ව, ඉදිරියේ දී ඇතිවිය හැකි ව්‍යසනයෙන් මිදීමට ඇති එකම මාර්ගය ලෙස දුටුවේ යුද්ධය යි. එක් ඉතිහාසඥයෙක් හිට්ලර් මුහුන දුන් තත්වය පහත පරිදි විස්තර කලේ ය:

ආඥාදායකත්වය හා යලි සන්නද්ධ කිරීම මගින් ඇති කරන ලද ව්‍යුහාත්මක ආතතීන් හා අර්බුදයන්ගේ මෙම තන්ත්‍රයට විවෘත එකම “විසඳුම” වූයේ වඩ වඩා ආඥාදායකත්වය හා යලි සන්නද්ධ වීම, ඉක්බිති ප්‍ර‍සාරනය, ඉක්බිති යුද්ධය හා භීෂනය, ඉක්බිති කොල්ලය හා වහල්භාවය ඇතිකිරීමයි. පැහැදිලි හා දිගටම දිස් වූ විකල්පය වූයේ කඩාවැටීම හා ව්‍යකූලත්වය, හා එමෙන් ම සියලු විසඳුම් තාවකාලික, තදබදවූ, අතින් කටට කටයුතු මෙන් ම දුෂ්ඨ තේමාවක් වටා වඩ වඩාත් ම්ලේච්ඡ වේල පිරිමසා ගැනීම් ය. [ Nazism, Fascism and the Working Class, (නාසිවාදය, ෆැසිස්ට්වාදය සහ කම්කරු පන්තිය), ටිම් මේසන් විසිනි (කේම්බ්‍රිජ්, 1995), පි. 51]

ඇමරිකානු සාහසිකත්වය යුරෝපයේ බෙදීම් හා ව්‍යාකූලතා ඇති කර තිබේ. රාජ්‍ය නායකයින් හා සියලු විදේශ ඇමතිවරුන් “තීව්‍රතාව අඩු කිරීම” ගැන කතා කරන්නේ. තමන්ගේ ම ආන්ඩු තම සන්නද්ධ හමුදා ශක්තිමත් කරමින් සිටිය දී ය. මැරවර එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ යුරෝපීයයන් ඔහු “සිතන හැටියට ඔවුන්හට උදව් කිරීමට තිබූ හැකියාවේ තරමට උදව් නොකිරීම” හෙලා දුටුවේ, “බි්‍රතාන්‍යයන්, ප්‍රන්ස ජාතිකයින්, ජර්මානුවන්යන සියල්ලන්ම අප කල දේ කුමක් ද, ඇමරිකානුවන් කලේ කුමක් ද, යුරෝපයේ ජීවිත බේරා ගත් බව වටහා ගන්න ඕනෑ” යැයි පවසමිනි. ඇත්ත වශයෙන්ම, මෙය බොරුවක් බවත්, ප්‍රහාරයෙන් සිදුවිය හැක්කේ නව ලේ වැගිරීමක් පමනක් බවත් සියලු‍ දෙනා දනිති. එසේ වුවද, ඔවුන්ගේ සැක සංකා තිබිය දී, අර්බුදයක ගිලී සිටින යුරෝපීය ආන්ඩු ට්‍රම්ප් පාලනාධිකාරිය පිටුපස පෙල ගැසී සිටිති.

එක්සත් ජනපද මාධ්‍ය, සෑම විටම මෙන්, ඇමරිකානු මහජනතාව තුල යුද මනෝගතියක් නිර්මානය කිරීමට කටයුතු කරයි. ට්‍රම්ප්ගේ ක්‍රියාවෙහි ඇඟවුම් ගැන මනස්තාපය පල කරන අය පවා, වාර්තා කෙරෙන පරිදි සුලෙයිමානි එක්සත් ජනපද භටයන් සිය ගනනක් ඝාතනය කිරීම වෙනුවෙන් වග කිව යුතු “නරක ක්‍රියාකාරියෙකු” මෙන් ම “ත්‍රස්තවාදියෙකු” යැයි හෙලාදැකීමේ දී තම බියසුලු‍ විවේචන නො වෙනස් ව දොඩවති.

මේ සියල්ල බොරු පොදියකි. සුලෙයිමානි මෙහෙය වූ හමුදා සිරියාව තුල අල් කයිඩාවට අනුබද්ධ එක්සත් ජනපද අනුග්‍රහ ලත් කන්ඩායම් හා ඉරාකය තුල, වොෂිංටනයේ ෆ්‍රැන්කන්ස්ටයින්ගේ (වොෂින්ටනය විසින් තමන්ටම එරෙහිව නිර්මානය කරගත් - පරිවර්තක) යක්ෂයා වන අයිඑස්අයිඑස් යන සංවිධාන දෙකම පරාජය කලහ. මිලියනයකට අධික ජනතාවක් ඝාතනය කල හා ෆලූජා හි සමූල ඝාතනය හා අබු ග්‍රායිබ්හි වධකාගාර වැනි බිහිසුනුකම් ඇති කල ඉරාකයේ එක්සත් ජනපද ආක්‍රමන යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ඇති වූ අපරාධවලට ඔහු සම්බන්ධ නැත. ඉරාකයේ මියගිය ඇමරිකානු සොල්දාදුවන් සම්බන්ධයෙන් ගත් කල, ඔවුන්ගේ රුධිරය පවතින්නේ බුෂ් පාලනාධිකාරිය හා බොරු පදනම් කරගෙන “අභිමත යුද්ධයකට” යැවීමට සහාය දුන් ඩිමොක්‍රටිකයින්ගේ අත්වල ය.

සිය අලු‍ත් අවුරුදු ප්‍රකාශයේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙසේ ලිවී ය:

මනුෂ්‍ය වර්ගයා නෂ්ඨප්‍රාප්තවීමේ තර්ජනය ගෙන එන තුන්වැනි ලෝක යුද්ධයක් දෙසට වන සංචලනය මානවවාදී ආයාචනයන් මඟින් නැවැත්විය හැකි නොවේ. යුද්ධ පැන නැගෙන්නේ ධනේශ්වර ක්‍රමයේ අරාජකත්වයෙන් සහ ජාතික-රාජ්‍ය පර්යායේ ඇති යල් පැන ගිය ස්වභාවයෙනි. එබැවින් එය නැවැත්විය හැක්කේ සමාජවාදය සඳහා කම්කරු පන්තියේ ලෝක ගෝලීය අරගලය හරහා පමනෙකි.

නව දශකය සතියක්වත් පැරනි නැත, නමුත් දැනටමත් මෙම අනතුරු ඇඟවීම සනාථ කර ඇත.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලය

Share this article: