ඕස්ට්‍රේලියානු ලැව්ගිනි ව්‍යසනය හෙලිදරව් කරන්නේ පාලක ප්‍රභූව වැඩ කරන ජනතාව කෙරෙහි දක්වන අවඥාව යි

Australian bushfire catastrophe exposes the contempt of the ruling elites for working people

2020 ජනවාරි 8

ඕස්ට්‍රේලියාව පුරා පැතිරෙන ගින්නෙහි කාලසීමාව හා පරිමානය රට තුල පමනක් නොව ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් කම්පනයට පත් කර තිබේ.

අගෝස්තු මස අග සිට, පෙර නොවූ විරූ පරිදි හෙක්ටයාර් මිලියන 8.4ක වනාන්තර හා අගනා කෘෂිකාර්මික ඉඩම් ගිනිගෙන ඇත. නිවාස 1,600 ක් පමන විනාශ වී ඇති අතර අවම වශයෙන් ජීවිත 25 ක් අහිමි වී ඇත. මිලියන සිය ගනනක් වන සතුන් මරා දමා ඇති අතර ගනනය කල නොහැකි පාරිසරික විනාශයක් සිදු වී තිබේ. ඓතිහාසිකව දරුනුතම හා වඩාත්ම විනාශකාරී ගිනි හටගත් ගිනි සමයේ ජනවාරි-මාර්තු කාලය ආරම්භ වී ඇතිවා පමනි.

සති ගනනාවක් තිස්සේ, ජනගහනයෙන් විශාල කොටසකට ඔවුන්ගේ දෛනික ජීවිතය ගත කිරීමට බල කෙරී ඇත්තේ අන්තරායකාරී විෂ සහිත අංශු අඩංගු දුමාරයේ උග්‍ර දුර්ගන්ධය සමගිනි. සිඞ්නි, මෙල්බර්න්, ඇඩිලේඞ් මෙන්ම ජාතික අගනගරය වන කැන්බරා වැනි නගර නිරන්තරයෙන් පෘථිවියේ දූෂිත ම නාගරික මධ්‍යස්ථාන බවට පත්වී තිබේ. දැවැන්ත ඕස්ට්‍රේලියානු ගින්නේ දුමාරය නවසීලන්තයේ නගර වසා දමමින් තිබෙන අතර දකුනු ඇමරිකාවට ද ලඟා වී තිබේ.

කෙසේ වෙතත්, දේශපාලනික වශයෙන්, 2019-2020 ගිනි අර්බුදයේ කැපී පෙනෙන හා කල් පවතින පැත්ත වන්නේ, එය කම්කරු පන්තියේ බහුතරය සහ නිෂ්පාදෙන බලවේග පාලනය කරන හා රජයේ ප්‍රතිපත්ති නියම කරන තුනී මූල්‍ය හා ආයතනික කතිපයාධිකාරය අතර අගාධය හෙලිදරව් කර තිබීම යි.

1789 විප්ලවය ආසන්නයේ කුසගින්නෙන් පෙලු‍නු හා කැරලිකාර ජනතාවකට කේක් කෑමට උපදෙස් දී තිබීම සම්බන්ධයෙන් ප්‍රන්ස ප්‍රභූ පැලන්තියේ නියෝජිතයෝ සිහිපත් කෙරෙති. රට ගිනි ගන්නා අතරතුර රහසිගත ව හවායි වෙත ගිය දේශපාලන නායකයා ලෙස ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් ඉතිහාසය තුලට යනු ඇත.

මොරිසන් නිරූපනය කරන්නේ ධනේශ්වර කතිපයාධිකාරීන්ගේ නියෝග පැනවීම සඳහා මතුව ඇති දේශපාලන රූපාකාරය යි. ඩොනල්ඞ් ට්‍රම්ප්, බොරිස් ජොන්සන් හා ෂින්සෝ අබේගේ සිට ෂී ජින් පිං, ව්ලැඩිමීර් පුටින් හා නරේන්ද්‍ර මෝදි දක්වා ජාත්‍යන්තර වශයෙන් ඔහුගේ සගයන් මෙන් ඔහු තමන් විසින් ම මහජනයාගේ මිනිසා ලෙස තමන්ව පින්තාරු කිරීමට උත්සාහ ගන්නේ, ධනවත් ස්වල්ප දෙනෙකු දිගින් දිගටම තම අශිෂ්ට ධනය රැස්කර ගැනීම තහවුරු කරමින් සිටින අතර ය.

සංගත හා පුද්ගලික ආදායම් බදු කප්පාදු කිරීම, සමාජ වැඩසටහන් අහෝසි කිරීම මෙන් ම වැටුප් හා සේවා කොන්දේසි කප්පාදු කිරීම සඳහා වූ දක්ෂිනාංශික ඉල්ලීම් හරහා මොරිසන් ඕස්ට්‍රේලියානු පාලක ප්‍රභූව සමග සිය දේශපාලන අක්තපත්‍ර ගොඩනගා ගෙන තිබේ.

අවම වශයෙන් දශක තුනක් තිස්සේ දේශගුන විද්‍යාඥයින් වැඩි වැඩියෙන් අනතුරු අඟවමින් මානව හරිතාගාර වායු විමෝචනය හේතුවෙන් ගෝලීය උෂ්නත්වය ඉහල යාම ලෝක කාලගුනික රටා මූලික වශයෙන් වෙනස් කරන්නේ කෙසේ දැ යි ලේඛනගත කර ඇත. ඕස්ට්‍රේලියාව සම්බන්ධයෙන්ගත් විට, දැනටමත් වියලිම මහාද්වීපයේ ඇති විශාල කර්කෂ යායවල් තවදුරටත් වියලීම ගිනි සිදුවීම්වල නිත්‍යතාව, අවකාශය හා තීව්‍රතාව විශාල ලෙස වැඩි කරන බවට නිරන්තරයෙන් අනතුරු අඟවා තිබේ.

මෙම උත්සුකයන් නො සලකා හැරීම සහ ගල් අඟු‍රු හා ඒ ආශ්‍රිත බලශක්ති කර්මාන්තවල සංගත අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීමේ අවශ්‍යතාවය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් මොරිසන් කුප්‍රකටය. මාස ගනනාවක් තිස්සේ ඔහු දිගටම ගිනි නො සලකා හැරියේ, එය ගෝලීය උනුසුම්වීමට සම්බන්ධයක් නැති ඕස්ට්‍රේලියාවේ ස්වාභාවික චක්‍රය බව පවසමිනි.

හවායි හි නිවාඩුවෙන් ආපසු පැමිනි මොරිසන්, වඩා වැඩි වායු විමෝචන අඩු කිරීමක් ඉල්ලා සිටි නව යොවුන් වියේ පසුවන ග්‍රේටා තුන්බර්ග්ගේ ට්විටර් පනිවිඩයක් හෙලා දුටුවේ, “ඔලමොට්ටල” වනවා මිස ඕස්ට්‍රේලියාවේ ආර්ථික අවශ්‍යතා සඳහා (එනම් පතල් සමාගම්වල හා ඔවුන්ගේ විශාල මෙහෙයුම්වලට යටත් වන බැංකුවල අවශ්‍යතා සඳහා) නො වේ යැයි පවසමිනි.

කෙසේවෙතත්, ජනවාරි 2 වන දින මොරිසන් මුහුනට මුහුන ලා සිටියේ ඔහුගේ රජයේ අකාර්යක්ෂමතාව මෙන් ම උදාසීනත්වය හා ලැව්ගිනි ව්‍යසනය කෙරෙහි සමස්ත දේශපාලන සංස්ථාපිතය තුල මතුවෙමින් පවතින මහජන කෝපය සමගිනි. ගින්නෙන් විනාශ වූ කොබාර්ගෝ නගරයේ කම්කරු පන්තියේ පදිංචිකරුවෝ ඔහුට අතට අත දීම ප්‍රතික්ෂේප කර, දොස් පවරා ඔහු ඉවත්ව යා යුතු යැයි බල කලහ.

කොබාර්ගෝ හි ඇති වූ ගැටුමෙන් ඕස්ට්‍රේලියාවේ පන්ති සබඳතාවල තතු අනාවරනය විය. ආන්ඩු ඉවත් කිරීම හා කම්කරු පන්තියේ සමාජ තත්වය මත කුරිරු ප්‍රහාර අවසන් කිරීමට බල කරමින්, ප්‍රන්සය හා උතුරු අප්‍රිකාවේ සිටි චිලී හා ඉන්දියාව දක්වා රටින් රට මහජන අරගල හා විරෝධතාවලට මග පාදා ඇති මහජන විඥානයේ වෙනසක් ගිනි අර්බුදය විසින් අවුලුවනු ලබමින් තිබේ. නිල සංස්ථාපිතය කෙරෙහි ඇති විශ්වාසය බිඳ වැටෙමින් තිබේ.

කොබාර්ගෝ සිට මේ දක්වා කාලය තුල මොරිසන් හානිය පාලනය කිරීමට ගොස් සිටින්නේ ආන්ඩුවේ විශ්වසනීයත්වය ඔසවා තැබීමට උත්සාහ කිරීමට ය. දේශගුනික විපර්යාස පිලිබඳ තර්ජනය බැරෑරුම් ලෙස සලකන බව ඔහු දැන් කියා සිටින අතර විනාශ වූ ප්‍රජාවන්ට උපකාර කිරීම සඳහා “අපට අවශ්‍ය ඕනෑම පිරිවැයක්” දැරීමට පොරොන්දු වී ඇත. වඩාත් නින්දිත ලෙස, ඔහුගේ අපකීර්තියට පත් ආන්ඩුව වඩාත් බලපෑමට ලක් වූ ප්‍රදේශවල ආපදා සහන අත්හදා බැලීමට හා පාලනය කිරීමට දහස්ගනන් හමුදාව යෙදවීමට උත්සාහ කර ඇත්තේ, කෝපය බලවත් ම වන අතර තමන් ම සංවිධානය වීම අවශ්‍ය බව මහජනයා නිගමනය කර ඇති තැන්වල ය.

කෙසේ වෙතත්, දේශපාලන තත්වය ස්ථිරව ම වෙනස් වී ඇත. මිලියන සංඛ්‍යාත කම්කරුවන්ගේ හා තරුනයින්ගේ දැක්ම අනුව මොරිසන් හා ඔහුගේ ආන්ඩුව පාලනය ගෙන යාමට සුදුසු නැත. විපක්ෂ ලේබර් පක්ෂය පසුගිය අවුරුදු 37 න් 19ක් ම බලයේ රැඳී සිටි අතර එය සන්ධානයක් ලෙස සංගත ලාභ උත්සුකතා වෙනුවෙන් වන අතකොලු‍වක් බව ඔප්පු කර තිබේ. දේශගුනික විපර්යාස සම්බන්ධයෙන් කිසිදු බැරෑරුම් ක්‍රියාමාර්ගයක් නො ගැනීම හා ගිනි නිවීමේ කටයුතුවලට සම්බන්ධ ඒවා ඇතුලු අත්‍යවශ්‍ය සේවා හිඟය සම්බන්ධයෙන් ද එය වැරදිකරුවෙකි. සති ගනනාවක් තිස්සේ විපක්ෂ නායක ඇන්තනි ඇල්බේනිස් ජාතික සමගිය නාමයෙන් ලැව්ගිනි හදිසි තත්වයන් හැසිරවීම සම්බන්ධයෙන් ආන්ඩුවට මෘදු විවේචන පමනක් එල්ල කර ඇත.

අර්බුදයක් සෑම විටම පන්ති සබඳතාවල සාරභූත ස්වභාවය හෙලි කරයි. ගිනිදැල් සමස්ත ප්‍රජාවම ගිලගනිමින් තිබීම මධ්‍යයේ සාමාන්‍ය වැඩකරන ජනතාවගේ ජීවිත හා යහපැවැත්ම කෙරෙහි ඕස්ට්‍රේලියානු දේශපාලන සංස්ථාව දක්වන අප්‍රසාදය හා උදාසීනත්වය තුල ලොව පුරා තම පිලිබිඹු ව සොයා ගනී. එය සිහිපත් කරන්නේ 2017 සුලි කුනාටුවෙන් පීඩා විඳි පුඑර්තෝ රිකෝව වෙත ජනාධිපති ට්‍රම්ප්ගේ ආකල්පය යි, ඡායාරූපයක් සඳහා පෙනී සිටීමට පියාසර කර, මංමුලාසහගතව එහි බලාසිටි ජනතාව වෙත ඔහු සඳහන් කල ලෙස “ලස්සන, මෘදු කඩදාසි තුවා” විසි කිරීමට පෙර, ඔහු එය සැබෑ ව්‍යසනයක් නො වේ යැයි මුලින් බැහැර කලේ ය.

ඉතිහාසය පුරාම යල්පැනගිය හා ප්‍රතිගාමී පාලක පන්තිවල කෙටිකාලීන දැක්ම හා උදාසීනත්වය සමග සෑම තැනක ම ධනේශ්වර ප්‍රභූව අවධාරනය කර ඇත්තේ ඔවුන්ගේ පටු ජාතික ලාභ අරමුනු සමස්තයක් ලෙස සමාජයේ අවශ්‍යතාවන්ට වඩා ප්‍රමුඛතාව ගත යුතු බව යි.

ඕස්ට්‍රේලියාව හා ලොව පුරා ප්‍රධාන දේශපාලන කර්තව්‍යය වන්නේ කම්කරු පන්තියේ ජාත්‍යන්තරවාදී මෙන් ම සමාජවාදී ව්‍යාපාරයක් හා නායකත්වයක් වර්ධනය කිරීම යි. කම්කරු පන්තිය මුහුන දෙන විශාල තර්ජන හා අභියෝග, එනම් සමාජ අසමානතාව, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් විනාශ කිරීම, ගෝලීය උනුසුම හා එහි ප්‍රතිවිපාක සහ යුද්ධයේ දැවැන්ත අන්තරාය සඳහා ධනේශ්වර ලාභ පද්ධතිය හා ජාතික රාජ්‍ය බෙදීම් හා සතුරුකම් අවසන් නො කර විසඳීම ආරම්භ කිරීමටවත් නො හැක.

කම්කරු පන්තිය, කාරනා තම අතට ගෙන, බැංකු හා ප්‍රධාන සංගත මහජන අයිතියට පවරා ගැනීම හා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කිරීම මෙන් ම විශාල වශයෙන් ධනය යලි බෙදාහැරීම ඇතුලු ව, ගෝලීය ආර්ථික හා සමාජ ජීවිතය පරිවර්තනය කිරීම සඳහා සවිඥානික විප්ලවවාදී අරගලයක් ආරම්භ කල යුතු ය, කල හැකි ය.

ජනවාරි 3වැනිදා ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් “සමාජවාදී විප්ලවයේ දශකය ඇරඹෙයි” යනුවෙන් ප්‍රසිද්ධ කර ඇති අලු‍ත් අවුරුදු ප්‍රකාශනය තුල මෙම ඉදිරිදර්ශනය සාරාංශ කර දක්වා ඇත. සමාජවාදී අනාගතයක් සඳහා වන අරගලයට එකඟ වන සියලු‍ දෙනාට ම හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට හා ලොව පුරා සමාජවාදී සමානතා පක්ෂවලට සම්බන්ධ වීමට තීරනයක් ගැනීමේ කාලය දැන් එලඹ ඇත.

ජේම්ස් කොගන්

Share this article: