කාසිම් සුලෙයිමානි ඝාතනය කිරීම හා එක්සත් ජනපද රාජ්‍ය ප්‍රතිපත්තිය සාපරාධීකරනය

The assassination of Qassem Suleimani and the criminalization of US state policy

2020 ජනවාරි 13

නීති විරෝධී මිනීමැරුම් සාමාන්‍යකරනය කිරීම “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” හා දශක ගනනාවක අඛන්ඩ යුද්ධයේ ප්‍රතිඵලයකි.

ඉරිදා, නිව් යෝක් ටයිම්ස් පත්‍රය 2020 ජනවාරි 3 වන දින ඉරාන ජනරාල් කාසිම් සුලෙයිමානි ඝාතනය කිරීමට ට්‍රම්ප් පරිපාලනය ගත් තීරනය පිලිබඳ ව, එක්සත් ජනපද ආන්ඩුව අභ්‍යන්තරයේ ඉහල මට්ටමේ මූලාශ්‍ර මත පදනම්ව සවිස්තරාත්මක වාර්තාවක් ප්‍රකාශයට පත් කලේ ය.

ටයිම්ස් වාර්තාව පැහැදිලි කරන්නේ, ට්‍රම්ප්ට ක්ෂනික තීන්දුවක් ගැනීමට සිදුවීය යන්නට වෙනස් ව, සුලෙයිමානි ඝාතනයට විධායක අංශය හා ඔත්තුසේවා තුල පුලුල් සහයෝගයක් තිබූ බව හා පසුගිය මාස 18 පුරා මෙම අපරාධය සැලසුම් කල බව ය. හිටපු ජාතික ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන්, රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ හා සීඅයිඒ අධ්‍යක්ෂ ජිනා හැස්පෙල් මෙම ඝාතනය සඳහා උපදෙස් දෙමින් හා කුමන්ත්‍රනය කරමින් සිටි බව මෙම වාර්තාවෙන් පැහදිලි වේ.

ටයිම්ස් වාර්තාව, එය තුල වඩාත් දරුනු නීති උල්ලංඝනය කිරීම් සාමාන්‍ය දෙයක් ලෙස සලකනු ලබන සාපරාධී රාජ්‍යයක පින්තූරයක් ඉදිරිපත් කරයි. දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ පැවති “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයෙන්” පසු එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය කොතරම් දුරට සාපරාධීකරනය කර ඇත්තේ ද යන්නට එය සාක්ෂියකි.

ධවල මන්දිරයේ නිලධාරීන් පවසන පරිදි සුලෙයිමානි ඝාතනය කිරීමේ ට්‍රම්ප් පාලනාධිකාරයේ පෙලඹවීම් වලට “අත්‍යසන්න” තර්ජනයක සම්බන්ධයක් නැති බව ලිපිය පැහැදිලි කරයි. ඒ වෙනුවට, එක්සත් ජනපදයට අවශ්‍ය වූයේ ඇමරිකානු රජය විසින් මුහුන දුන් එක්සත් ජනපද ප්‍රතිපත්ති පසුබෑම් සම්බන්ධයෙන් සුලෙයිමානි වග කිව යුතු බව සඳහන් කර ඔහුගෙන් පලිගැනීමට ය.

ටයිම්ස් මෙසේ ලියයි.

2019 අවසානය වන විට ජනරාල් සුලෙයිමානිට ඉරාන ජයග්‍රහන ගනනාවක් ගැන පුරසාරම් දෙඩීමට හැකි විය: දිගු කලක් ඉරාන සගයෙකු වූ [සිරියානු ජනාධිපති] අසාද් මහතා, ලේවැකි, පෙරමුනු ගනනාවක හා වර්ෂ ගනනාවක් දීර්ග සිවිල් යුද්ධයක් පැතිර පවත්නා, සිරියාවේ අගනුවර වන දමස්කස්හි ආරක්ෂිතව බලයේ සිටි අතර කුඞ්ස් බලකාය ඊස්රායලයේ මායිමේ ස්ථිර ව රැඳී සිටියේ ය. ඒවායේ වැඩීමට ජනරාල් සුලෙයිමානි උදව් කර තිබූ මිලීෂියා හමුදාවන් ගනනාවක් ඉරාක රජයෙන් වැටුප් ලබා ගනිමින් හා ඉරාකයේ දේශපාලන පද්ධතිය තුල බලය යොදවමින් සිටියෝ ය.

“පසුගිය මාස 18 ක කාලය තුල ජනරාල් සුලෙයිමානි ඉලක්ක කර ගත යුතු ද යන්න පිලිබඳ ව සාකච්ඡා පැවති බව නිලධාරීන් පැවසූ” බව ටයිම්ස් තවදුරටත් ලියයි.

එහි මෙසේ සඳහන් වේ:

තෙල් නැව් හතරකට පහර දීමත් සමග මැයි මාසයේදී ඉරානය සමග ආතතීන් උත්සන්න වූ විට, එවකට ජනාධිපතිගේ ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කල ජෝන් ආර්. බෝල්ටන් ඉරාන ආක්‍රමනය වැලැක්වීම සඳහා නව විකල්ප ඉදිරිපත් කරන ලෙස මිලිටරි හා බුද්ධි අංශවලින් ඉල්ලා සිටියේ ය. බෝල්ටන් මහතා වෙත ඉදිරිපත් කල ඒවා අතර ජනරාල් සුලෙයිමානි සහ විප්ලවවාදී රැකවලු‍න්ගේ නායකයින් ඝාතනය කිරීම ද විය. එම අවස්ථාවේ දී, ජනරාල් සුලෙයිමානිගේ ගමන් නිරීක්ෂනය කිරීමේ කටයුතු වඩාත් තීව්‍ර විය.

සැප්තැම්බර් මාසය වන විට, ශඛ්‍ය මෙහෙයුම් සැලසුම් කිරීම සඳහා එක්සත් ජනපද මධ්‍යම බලඇනිය හා ඒකාබද්ධ විශේෂ මෙහෙයුම් බලඇනිය ක්‍රියා සන්තතිය තුලට ගෙන එන ලදී.

ඔහු ඝාතනය කිරීමට දින කිහිපයකට පෙර, සුලෙයිමානි ලෙබනනයේ දී හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා හමුවිය. ටයිම්ස් පුවත්පතට අනුව, “ඇමරිකානු ප්‍රවෘත්ති මාධ්‍ය ඔහු කෙරෙහි අවධානය යොමු කර ඔහුගේ ඡායාරූපය ප්‍රකාශයට පත් කරන බව” නස්රල්ලා ඔහුට අනතුරු ඇඟවූයේ ය. පුවත්පත නස්රල්ලා මෙලෙස පැවසීම උපුටා දක්වයි, “මෙය ඔහුගේ ඝාතනය සඳහා මාධ්‍ය හා දේශපාලන සූදානම විය.”

ටයිම්ස් පුවත්පතට අනුව, ප්‍රහාරයට පෙර දිනවල සීඅයිඒ අධ්‍යක්ෂිකා ජිනා හැස්පෙල් ඝාතනයට උපදෙස් දුන්නේ, “ජනරාල් සුලෙයිමානිට පහර නොදීමේ ප්‍රතිවිපාක බලා සිටීම වඩා භයානක ය” යි තර්ක කරමිනි. හැස්පෙල් ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් යටතේ වූ ‘බ්ලැක් සයිට්’ නම් සීඅයිඒ වධකාගාර පහසුකම් පිලිබඳ සභාපති වූ අතර රැඳවියන් ජලයේ ගිල්වීමට සමාන ලෙස වදදීම (වෝටර්බෝඩින්) පිලිබඳ සීඅයිඒ පටි විනාශ කිරීමට සම්බන්ධ බවට ගම්‍ය කෙරුනි.

වාර්තාවේ වඩාත්ම හෙලිදරව්කාරී අංග අතර පහත දැක්වෙන වාක්‍ය ඇත: “ඔහු [ට්‍රම්ප්] සමහර සහචරයින්ට පැවසුවේ ඉදිරි දෝෂාභියෝග නඩු විභාගයේ දී සෙනෙට් සභාවේ රිපබ්ලිකන් උකුස්සන්ගේ සහයෝගය ආරක්ෂා කර ගැනීමට තමාට අවශ්‍ය බව ය.” වෙනත් වචන වලින් කිවහොත්, ටයිම්ස් වාර්තාව සත්‍ය නම්, දේශීය දේශපාලන ගනන් බැලීම් මෙම අපරාධය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කලේ ය.

මෙම ඝාතනය එක්සත් ජනපද ව්‍යවස්ථාව හා එක්සත් ජනපද නීතිය මෙන් ම ජාත්‍යන්තර නීතිය ද උල්ලංඝනය කරයි. අයිතිවාසිකම් පනත් කෙටුම්පතේ විශේෂයෙන් සඳහන් කරන්නේ, “නිසි නීති ක්‍රියාවලියකින් තොරව කිසිම පුද්ගලයෙකුගේ ජීවිතය, නිදහස හෝ දේපල අහිමි නො විය යුතු” බව යි.

1975 දී ඉඩාහෝ හි ෆ්‍රෑන්ක් පල්ලිය යටතේ පැවති සෙනෙට් කමිටුවක් විසින් විදේශීය නායකයින් කිහිප දෙනෙකුට එරෙහිව සීඅයිඒ ඝාතන කුමන්ත්‍රන හෙලි කලේ, “එක්සත් ජනපද ආන්ඩුවේ කිසිදු සේවකයෙකු දේශපාලන ඝාතනයේ නිරත වීම හෝ නිරත වීමට කුමන්ත්‍රනය කිරීම නො කල යුතු” බව ප්‍රකාශ කරන 11905 විධායක නියෝගයට අත්සන් කිරීමට ජනාධිපති ජෙරල්ඞ් ෆෝඞ්ට බල කරමිනි.

සුලෙයිමානි ස්වෛරී රාජ්‍යයක ඉහල රජයේ නිලධාරියෙකි. ජෙනරාල්වරයකු ලෙස ඔහු අයිසිස් සංවිධානයට ට එරෙහි සටනේදී ඇමරිකානු හමුදා නායකයින්ගේ සමානයෙක් විය. ඉරාක අගමැතිවරයා හමුවීමට නිල වශයෙන් කටයුතු කරමින් සිටියදී ඔහු තුන්වැනි රටක් වන ඉරාකයේ දී ඝාතනය කරන ලදී. මෙය යුද අපරාධයක් මෙන් ම යුදවාදී ක්‍රියාවකි.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් හා ජාත්‍යන්තර නීතියට එරෙහිව පූර්න පරිමානයේ ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා බුෂ් පරිපාලනය තවමත් පැහැදිලි කල නො හැකි, 2001 සැප්තැම්බර් 11 වන දින ප්‍රහාර යොදා ගත්තේ ය. එය ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිව්වන ව්‍යවස්ථා සංශෝධනය උල්ලංඝනය කරමින් මහා පරිමාන වරෙන්තු රහිත දේශීය සෝදිසි කිරීමක් නිර්මානය කල අතර, අටවන ව්‍යවස්ථා සංශෝධනය උල්ලංඝනය කරමින්, දහස් ගනනක් පුද්ගලයන්ට වධහිංසා පමුනුවා ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට පටහැනිව එක්සත් ජනපදය නීතිවිරෝධී ලෙස ඉරාකය ආක්‍රමනය කල අතර එක්සත් ජාතීන්ගේ මහලේකම් කොෆි අන්නන් ප්‍රකාශ කලේ “අපගේ දෘෂ්ටි කෝනයෙන් මෙන් ම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ දෘෂ්ටි කෝනයෙන් එය නීති විරෝධී” බව යි.

ඔබාමා පාලනාධිකාරිය බුෂ් පාලනාධිකාරියේ අපරාධ පුලු‍ල් කලේ ය. එය මැද පෙරදිග හා උතුරු අප්‍රිකාව පුරා ඩ්‍රෝන් ප්‍රහාර 500 කට වඩා සිදු කර ඇති අතර, මෘතදේහ ගනන දහස් ගනනක් හෝ දස දහස් ගනනක් විය. “ත්‍රස්ත අඟහරුවාදා” නමින් හැඳින්වෙන පිලිවෙතේ දී, ඩ්‍රෝන් මගින් දියත් කෙරුනු මිසයිල මගින් කෑලිවලට පුපුරුවා හල යුතු පුද්ගලයන් ඔබාමා විසින් පුද්ගලික ව තෝරා ගැනුනි.

ඔබාමා ඇමරිකානු පුරවැසියෙකු වන අන්වර් අල් අව්ලාකි ඝාතනය කිරීමේ අසාමාන්‍ය පියවර ගත් අතර සති දෙකකට පසු එක්සත් ජනපද පුරවැසියෙකු වූ ඔහුගේ 16 හැවිරිදි පුතාට ද එයම අනුගමනය කලේ ය. එවකට ඔබාමාගේ අධිකරන දෙපාර්තමේන්තුව එක්සත් ජනපද දේශසීමාවේ ද ඇතුලුව එක්සත් ජනපද පුරවැසියන් ඝාතනය කිරීමේ අයිතිය තහවුරු කලේ ය.

සෑම ඝාතනයක් සමගම, හිමිකම ඉහලට දමා ඇත්තේ, එක්සත් ජනපදයේ දේශපාලන ජීවිතය තුල රාජ්‍ය ඝාතනය වඩ වඩා විශාල කාර්යභාරයක් ඉටු කිරීමත් සමගිනි.

සමකාලීන “ඉලක්කගත ඝාතනය” රූපාකාරයට පුරෝගාමී වූයේ ඊස්රායලය යි. ඊස්රායල් මාධ්‍යවේදී රොනන් බර්ග්මන්ගේ වචනවලින් කියතොත්, “දෙවන ලෝක සංග්‍රාමයට පසු, බටහිර වෙනත් කිසිම රටකට වඩා ඊස්රායලය මිනීමැරීම් හා ඉලක්ක ගත ඝාතන යොදා ගෙන ඇත”.

2000 දශකයේ මුල් භාගයේ දෙවන පලස්තීන නැගිටීම් අතරතුර, ඊස්රායල් ආන්ඩුව පලස්තීන ක්‍රියාකාරීන් හා දේශපාලන නායකයින් ඝාතනය කිරීම සඳහා ඝාතක කන්ඩායම් හෝ හෙලිකොප්ටර් යුද ගුවන්යානා යවා ඇත.

එක්සත් ජාතීන්ගේ කරුනු සෙවීමේ කොමිසම නිගමනය කලේ මෙම ඝාතන “හතරවන ජිනීවා සම්මුතියේ, 147 වන වගන්තිය හා ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීමක්” බව යි. එකල එක්සත් ජනපදය සහ එහි යුරෝපීය සහචරයෝ ඊස්රායල් මිනීමැරුම් ප්‍රතිපත්තියෙන් ඈත් වී සිටියහ.

“සමහර බුෂ් පරිපාලන නිලධාරීන් ඝාතක කල්ලි විවේචනය කර ඇති අතර,“ඩිමොක්‍රටිකයන්ගේ ප්‍රධාන විදේශ ප්‍රතිපත්ති ප්‍රකාශක ජෝ බිඩෙන්, ඊස්රායලය විසින් මෙම නීති විරෝධී ඝාතන භාවිතා කිරීම නිසැකව ම ආරක්ෂා කර තිබේ” යැයි මැද පෙරදිග ප්‍රතිපත්ති කවුන්සිලය සඳහන් කලේ ය.

දැන්, ජාත්‍යන්තර නීතියේ දෘෂ්ටි කෝනයෙන් බලන විට නීච රාජ්‍යයක් වන, ඊස්රායලයේ භාවිතයන් ලෝකයේ ප්‍රමුඛ “බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල්” විසින් අනුගමනය කර ඇත. එක්සත් ජනපදයට අමතරව, ප්‍රන්සය හා බි්‍රතාන්‍යය ද තමන්ගේ ම “ඝාතන ලැයිස්තු” ක්‍රියාත්මක කරති.

බර්නි සැන්ඩර්ස්, එලිසබෙත් වොරන් හා වෙනත් අය විසින් සුලෙයිමානි ඝාතනය කිරීමේ අවස්ථානුකූලත්වය පිලිබඳ විවේචන කර තිබිය දී වුවත්, කිසිදු රිපබ්ලිකානුවෙකු හෝ ඩිමොක්‍ර‍ටිකයෙකු ප්‍රසිද්ධියේ ඝාතනය අපරාධයක් ලෙස හැඳින්වූයේ හෝ එසේ නැතහොත් ඇමරිකානු ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ට දෝෂාභියෝගයක් හෝ නඩු පැවරීමක් කරන ලෙස ඉල්ලා නොමැත.

නීති විරෝධී රාජ්‍ය ඝාතන විවෘත ව භාවිතා කිරීම එක්සත් ජනපදයේ දේශ සීමාවෙන් පිටත ප්‍රදේශවලට පමනක් සීමා වනු ඇතැ යි කිසිවෙකු විශ්වාස නො කල යුතු ය. කල් පසුව හෝ ඉක්මනට එක්සත් ජනපදය තම දේශ සීමාවන් තුල සිටින තමන්ගේ ම පුරවැසියෙකු ඝාතනය කිරීමට “අත්‍යසන්න තර්ජනයක්” ප්‍රකාශ කරනු ඇත.

ආර්ථික අස්ථාවරත්වය, ඉහල යන සමාජ අසමානතාවය හා පන්ති අරගලයේ වර්ධනය සමග සංයෝජනය වී ඇති එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ගෝලීය තත්ත්වය පහත වැටීම ආපසු හැරවීමට අපොහොසත් වූ නිමක් නැති විනාශකාරී යුද්ධවල පීඩනය යටතේ පාලක පන්තිය විවෘත සාපරාධීත්වය දෙසට හැරීමේ අර්ථය වන්නේ එහි සමාජ හා ආර්ථික අවශ්‍යතා සුරක්ෂිත කර ගැනීමේ එකම මාවත ලෙස පමනි. එය වඩාත් ම බිය වන්නේ මහජන විරෝධයේ වර්ධනයට වන අතර, එයට ප්‍රචන්ඩත්වයෙන් ප්‍රතිචාර දක්වනු ඇත.

කාසෙම් සුලෙයිමානි ඝාතනය නැවත වරක් පෙන්නුම් කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන ඩෙමොක්‍රටික් හෝ රිපබ්ලිකන් පක්ෂවල කන්ඩායමක් නො මැති බව යි. ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති අතිමූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා යුද්ධය හා ආඥාදායකත්වය වෙත පාලක පන්තියේ තල්ලු‍ව පරාජය කිරීම සඳහා ට්‍රම්ප් පාලනාධිකාරිය පුද්ගලාරෝපනය කරන ධනේශ්වර පද්ධතියට එරෙහිව කම්කරු පන්තිය දැවන්ත ලෙස බලමුලු‍ ගැන්වීම අවශ්‍ය වේ.

ආන්ද්‍රේ ඩැමොන්

Share this article: