පරමානුක විද්‍යාඥයින්ගේ ප්‍රකාශනය “ශිෂ්ටාචාරය අවසන් කරන න්‍යෂ්ටික යුද්ධය” පිලිබද අනතුරු අඟවයි

Bulletin of the Atomic Scientists warns of “civilization-ending nuclear war”

2020 ජනවාරි 24

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ දෝෂාභියෝගයේ දෙවන දිනයේ දී සෙනෙට් මන්ඩලයේ සිට කතා කරමින් කොන්ග්‍රස් සභික ඇඩම් ෂිෆ්, “එක්සත් ජනපදය යුක්‍රේනයටයි එහේ ජනතාවටයි ආධාර කරන නිසා අපිට එහෙදී රුසියාව එක්ක සටන් කරන්න පුලුවන්. අපිට මෙහේ රුසියාව එක්ක සටන් කරන්න ඕනෑ නෑ” යැයි පැවසුවේ ය.

ඇමරිකානු ජනගහනයෙන් බහුතරයකට, “අපි” රුසියාවට එරෙහිව සටන් කරන බවට කරන ප්‍රකාශය පුදුමයට කරුනක් වනු ඇත.

වසර ගනනාවක් තිස්සේ මාධ්‍ය එක්සත් ජනපදය හා රුසියාව හෝ චීනය අතර යුද්ධයක අන්තරායට “කුමන්ත්‍රන න්‍යායක්” ලෙස සිනාසී ඇත. එහෙත් ෂිෆ් එක්සත් ජනපදය රුසියාවට එරෙහිව සටන් කිරීම මතුකලේ හැකියාවක් ලෙස නොව, අධ්‍යතන තත්වය පිලිබඳ සත්‍ය ප්‍රකාශයක් ලෙස ය.

සොල්දාදුවන් නවීකරනය කරන ලද න්‍යෂ්ටික යුද ශීර්ෂයක් මිනුට්මන් III අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක මුදුනට සවි කරති. [අනුග්‍රහයය: ඒපී ඡායාරූප / එරික් ඩ්‍රැපර්] [Credit: AP Photo/Eric Draper]

එක්සත් ජනපදය හා රුසියාව සතු ව තමතමන්ට න්‍යෂ්ටික අවි 6,000 කට වඩා තිබේ. බිලියන ගනනක් මිනිසුන් මරා දමා මිනිස් සමාජය විනාශ කිරීමට මේවායින් ඉතා සුලු ප්‍රමානයක් පමනක් ප්‍රමානවත් වේ. මෙම රටවල් දෙක අතර යුද්ධයක්, වෙනත් වචනවලින් කිවහොත්, ව්‍යසනකාරී ව්‍යසනයක් වනු ඇත.

එහෙත්, තම රුසියානු විරෝධී උමතුවෙන් යුත් ඩිමොක්‍රටිකයින්ගේ සිට, මුලු ලෝකයටම එරෙහි තම තර්ජන ගර්ජන සහිත ට්‍රම්ප් දක්වා වූ සමස්ත දේශපාලන සංස්ථාපිතය, දෙවන ලෝක යුද්ධයෙන් පසු නො දුටු පරිමානයෙන් මිලිටරි ගැටුම් සඳහා සූදානම් වෙමින් සිටිති.

කියුබානු මිසයිල අර්බුදය ද ඇතුලුව ඉතිහාසයේ වෙනත් කිසිදු කාල පරිච්ඡේදයකට වඩා මානව ශිෂ්ඨාචාරය මධ්‍යම රාත්‍රියට ආසන්නව, එනම් සමස්ත විනාශයට ආසන්න බව දශක හතකට වැඩි කාලයක් තිස්සේ “ඩූම්ස්ඬේ ක්ලොක්” (ලෝක විනාශයේ හෝරා යන්ත්‍ර‍ය) යන සංකේත නාමයකින් මහා ව්‍යසනය පිලිබද අදහස පවත්වා ගෙන ගොස් ඇති ඇමරිකානු විද්‍යාඥයන්ගේ ප්‍රකාශනය (Bulletin of American Scientists) බ්‍රහස්පතින්දා අනතුරු ඇඟවී ය.

“එනම් හිතාමතා, වැරැදී හෝ සරල සන්නිවේදන දෝෂයක් මගින් ආරම්භ කලත්, ශිෂ්ඨාචාරය අවසන් කරන න්‍යෂ්ටික යුද්ධය, සැබෑ හැකියාවක්” යැයි එම කන්ඩායම සිය වාර්ෂික වාර්තාවේ සඳහන් කරයි. “න්‍යෂ්ටික යුද්ධයේ තර්ජනය මැඩපවත්වා ඇති බවට පවතින ඕනෑ ම විශ්වාසයක් මිරිඟු‍වකි.”

“සීතල යුද්ධයට වඩා අද ලෝකය විනාශකාරී දිනයට ආසන්න බව කීම... බරපතල පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින ගැඹුරු ප්‍රකාශයක් කිරීමකි” යනුවෙන් වාර්තාව තවදුරටත් පවසයි.

එය මෙසේද කියයි, “විද්‍යමාන වන අවදානම පාලනය කිරීම සඳහා වන ජාත්‍යන්තර දේශපාලන යටිතල ව්‍යුහය පිරිහෙමින් පවතින්නේ, ලෝකය ඉහල හා වැඩිවන්නා වූ තර්ජනාත්මක තත්වයකට ඇද දමමිනි. මෙම තර්ජනාත්මක මට්ටම අඩු කිරීමට සහ එය පහත හෙලීමට අපේක්ෂා කරන ජාත්‍යන්තර දේශපාලන ආයතන, සාකච්ඡා සහ ගිවිසුම් වලක්වාලීමට එරෙහිව ගෝලීය නායකයෝ නිසි ප්‍රතිචාර නො දක්වති. මෙහි ප්‍රතිඵලය වන්නේ අනතුරු අවදානම ඉහල යාම හා වැඩීම යි.”

කිලෝමීටර් 500 ත් 5,500 ත් අතර පරාසයක න්‍යෂ්ටික මිසයිල ඇතුලු ව‍, ගොඩබිම පදනම් කරගත් මිසයිල යෙදවීම තහනම් කල, මධ්‍ය-දුර න්‍යෂ්ටික බලවේග ගිවිසුමෙන් (අයිඑන්එෆ්) එක්සත් ජනපදය පසු ගිය වසරේ දී ඉවත් විය.

එක්සත් ජනපදය විසින් පෙරමුන ගනු ලබන, ලෝකයේ න්‍යෂ්ටික බලවත්හු ඔවුන්ගේ අවි ගබඩාව විශාල වශයෙන් පුලුල් කරමින් හා නවීකරනය කරමින් සිටිති. දෙසැම්බරයේ දී, එක්සත් ජනපදය ගිවිසුම උල්ලංඝනය කිරීමක් වීමට ඉඩ ඇති ලෙසින් බැලිස්ටික් මිසයිලයක් අත්හදා බැලී ය.

මෙම පියවර ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් හැඳින්වූ “රුසියාව හා චීනය වැනි තරඟකරුවන්ට එරෙහි ඉහල තීව්‍රතා ගැටුම්” සඳහා වන එක්සත් ජනපද සූදානමේ කොටසකි.

නවතම මිසයිල අත්හදා බැලීම සිදු වූයේ, එක්සත් ජනපද ඉතිහාසයේ විශාලතම මිලිටරි අයවැය ජනාධිපතිවරයාට භාර දෙන අතර, ට්‍රම්ප් පාලනාධිකාරියට නව න්‍යෂ්ටික අවි නිපදවීමට හා යෙදවීමට ඇති හැකියාව සීමා කරන භාෂාව ඉවත් කරන දැවැන්ත මිලිටරි වියදම් පනතක් සඳහා කොංග්‍රස් මන්ඩල ඩිමොක්‍රටිකයින් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් දින කීපයකට පසුව ය.

අගෝස්තු මාසයේ අයිඑන්එෆ් ගිවිසුමෙන් ඉවත් වීමෙන් පසුව, ට්‍රම්ප් ධවල මන්දිරය එක්සත් ජනපද න්‍යෂ්ටික අවි ගබඩාව පුලුල් කිරීම, “නවීකරනය කිරීම” හා ඉතා කුඩා ඒවා ලෙස නිෂ්පාදනය කිරීම සඳහා ඩොලර් ට්‍රිලියන 1 ක සැලැස්මක් සමඟ වේගයෙන් ඉදිරියට යමින් සිටින්නේ, එක්සත් ජනපද න්‍යෂ්ටික බලවේග ඇත්ත වශයෙන්ම නූලෙන් පුපුරා යාමේ අවදානමක තබමිනි.

රුසියාව හා චීනය සමග “මහ බල ගැටුම” සඳහා සූදානම් වීම මත ට්‍රම්ප් පාලනාධිකාරියේ නව ආකාරයක හැරීමට එක්සත් ජනපද න්‍යෂ්ටික බලවේග ව්‍යාප්ත කිරීම කේන්ද්‍රීය වන්නේ, “ත්‍රස්තවාදය නොව අන්තර් රාජ්‍ය මූලෝපායික තරඟය දැන් එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂාව පිලිබඳ මූලික අවධානය වන” බවට 2018දී නිවේදනය කෙරුනු එහි ප්‍රවාදයට අනුව යි.

පෙන්ටගනය විසින් ජනවාරි මාසයේ දී ප්‍රකාශයට පත් කරන ලද ජාතික ආරක්ෂක මූලෝපායේ ප්‍රධාන කතුවරයකු වන එල්බ්‍රිජ් ඒ. කෝල්බි ෆොරීන් ඇෆෙයාස් නම් සඟරාවට මෙසේ අදහස් දැක්වී ය:

අනාගත ඉතිහාසඥයින් විසිඑක්වන සියවසේ මුල් භාගයේ එක්සත් ජනපද ක්‍රියාමාර්ග දෙස ආපසු හැරී බලන විට, වඩාත්ම වැගත් කථාව වනු ඇත්තේ මහා බලවතුන්ගේ තරඟය කෙරෙහි වොෂින්ටනය වෙනස් ආකාරයකට යොමු වීම යි.

එය තිත්ත ඇත්ත කතා කල කාලය යි. ට්‍රම්ප් පාලනාධිකාරිය එහි පූර්වගාමීන්ට වඩා තාත්වික හා සෘජු ලෙස එය කලේ ය. 2018 දී හෙන්රි කිසිංගර් ෆිනෑන්ෂල් ටයිම්ස් හි පෙන්වා දුන් පරිදි, “ට්‍රම්ප් යනු, යුගයක අවසානය සනිටුහන් කිරීමටත්, එහි පැරනි මවාපෑම් අත්හැරීමට බල කිරීමටත් ඉතිහාසය තුල වරින් වර පෙනී සිටින පුද්ගලයන්ගෙන් කෙනෙක් විය හැකි ය.”

චීන හෝ රුසියානු ප්‍රහාරයකට එරෙහිව තායිවානය සහ බෝල්ටික් රාජ්‍යයන් ආරක්ෂා කර ගන්නේ කෙසේ ද යන්නට එක්සත් ජනපද හමුදාව අද සිය මූලික අවධානය යොමු කර ඇති බව පැහැදිලි කර තිබේ. එවැනි ඕනෑ ම ගැටුමක් න්‍යෂ්ටික යුද්ධයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් ඇති බව පැහැදිලි ය. පසුගිය වසරේ දී කෝල්බි ෆොරීන් ඇෆෙයාස් සඟරාවට, “ඔබට සාමය අවශ්‍ය නම්, න්‍යෂ්ටික යුද්ධයට සූදානම් වනු” නමින් ලිපියක් ලිවී ය.

න්‍යෂ්ටික අවදානම් සීමාවට යාමේ අවදානම අති විශාල විය හැකි නමුත් ප්‍රතිවාදියෙකුට වඩා න්‍යෂ්ටික වාසියක් අත් කර ගැනීමෙන් ලැබෙන විපාකය ද එසේ ම ය.

අනාගතයේ දී රුසියාව හෝ චීනය සමඟ ඇති වන ඕනෑම ගැටුමක් න්‍යෂ්ටික විය හැකි ය... වඩා දැඩි, වඩා අවිනිශ්චිත අරගලයක දී, සෑම සටන්කරුවෙකුම න්‍යෂ්ටික කෘපානය වෙත ලඟා වීමට පෙලඹවිය හැක්කේ, ඔට්ටුව ඉහල දැමීමට හා අනෙක් පැත්තේ අධිෂ්ඨානය පරීක්ෂා කිරීමට, හෝ හුදෙක් සටන පවත්වා ගෙන යාමට යි.

“න්‍යෂ්ටික යුද්ධයක් වලක්වා ගත හැකි හොඳම ක්‍රමය වන්නේ, සීමිත එකක් සටන් කිරීමට සූදානම් වීම යි” යනුවෙන් කෝල්බි ලියයි. මෙම අනතුරුදායක ලෝකය තුල, “එක්සත් ජනපදය සීමිත, ප්‍රබල න්‍යෂ්ටික මෙහෙයුම් පැවත්වීමට සූදානම් බව, එක්සත් ජනපද නිලධාරීන් පෙන්නුම් කල යුතු” බව කෝල්බි ලියයි.

මෙම ප්‍රතිපත්ති සියල්ල ම උමතු ඒවා වන අතර, ඒවා වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෝ අපරාධකරුවෝ ය. එහෙත් මෙම සැලසුම් වල විශ්වීයත්වය, එනම් සෑම ප්‍රධාන බලවතෙකු ම යලි සන්නද්ධ වෙමින් සිටීමේ කාරනය පැහදිලි කරන්නේ මෙය පුද්ගලයන්ගේ නොව, සමාජ පන්තියක හා සමාජ පර්යායක උමතුවක් බව යි. එය යුද්ධය හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත ප්‍රහාරයේ මූල හේතුව වන, අර්බුද ග්‍රස්ථ ධනේශ්වර පද්ධතියේ ලක්ෂනයකි.

එහෙත් ලොව පුරා ධනේශ්වර ම්ලේච්ඡත්වයේ යලිපැනනැග්ම නැවැත්විය හැකි එකම සමාජ බලවේගය වන කම්කරු පන්තිය වැඩ වර්ජන හා සමාජ නැගිටීම් රැල්ලක නිරතව සිටී. සමාජ අසමානතාවයට එරෙහි අරගලයකට අවතීර්න වෙමින් සිටින කම්කරුවන් සමාජවාදය සඳහා වන අරගලයේ තීරනාත්මක හා වෙන් කල නො හැකි කොටසක් ලෙස අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය බාර ගැනීම හදිසි අවශ්‍යතාවකි.

ආන්ද්‍රෙ ඩැමොන්

Share this article: