ඌව-හයිලන්ඞ් වත්තේ කම්කරුවන් වර්ගවාදී මැර ප්‍රහාරයට විරුද්ධව වර්ජනය කරයි

එස්.කේ. අයිරාංගනී සහ ආර්.එම්. ගුනතිලක විසිනි, 2020 ජනවාරි 07

මැරයන් ගැම්ම ලබාගෙන ඇත්තේ සිංහල ස්වෝත්තමවාදී ප්‍රතිගාමී බලවේග සහ ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවේ දෙමල සහ මුස්ලිම් ජනයාට එරෙහි වර්ගවාදී උද්ඝෝෂනය තුලිනි.

බන්ඩාරවෙල ආසන්නයේ පිහිටි ඌව-හයිලන්ඞ් වත්තේ කම්කරුවන්, එහි තරුනයන් සිව් දෙනෙකුට සිංහල වර්ගවාදී නඩයක් එල්ල අමානුෂික මැර ප්‍රහාරයකට එරෙහිව දෙසැම්බර් 30 වෙනිදා ක්‍ෂනික වර්ජනයක නිරත විය. පහරදීම සිදුවී ඇත්තේ දෙසැම්බර් 29 වෙනිදා සවස් 4.30 ට පමනය. ප්‍රහාරයට ලක් වූ තරුනයන් වත්තේ ඇල්වෙල කොටසේ පදිංචිකරුවන් වන අතර ඔවුහු අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍යපෙල සහ උසස්පෙල හදාරන සිසුහුය. වර්ජනයට කම්කරුවන් 250 ක් පමන සහභාගී වී ඇත.

සිසුන්ට පහර දී ඇත්තේ ඔවුන්ගෙන් එක් අයෙකුට කලිසමක් මිල දී ගැනීම සඳහා වත්තට නුදුරුව පිහිටි මාලිගාතැන්න කඩමන්ඩියට ගොස් ආපසු එමින් සිටිය දී ය. බිස්කට් පැකට් එකක රස විඳිමින් එකිනෙකා සමග කතාබස් කරමින් ආපසු නිවෙස් බලා එමින් සිටි ඔවුන් වෙත කඩා පැන්න බීමත් මැරයන් දෙදෙනෙකු මඟ හරස් කොට එකවරම ඔවුන්ට පහර දීමට පටන් ගෙන ඇත. පසුව තවත් 10 ක් පමන ප්‍රහාරයට එක් වී ඇත. ඉව බව නැතිව පහර දෙද්දී සිසුන් තුන් දෙනෙකු බේරී පලාගොස් තිබේ. තද බල ලෙස පහර දීමට ගොදුරු වූ අනෙක් සිසුවාට රෝහල් ගතව ප්‍රතිකාර ගැනීමට සිදුවිය.

“‍මට හොඳටම ගැහුවා. කලන්තෙ වගේ ආවා. වමනෙ යන්න ආව. ඔළුව රිදෙන්න පටන් ගත්ත. ඇටම්පිටියෙ ඉස්පිරිතාලෙ 31 වෙනි ද වෙනකල් හිටිය. මගේ අමාරුව කිව්වට දොස්තර මහත්තුරු එච්චර ගනන් ගත්තෙ නැහැ. අමාරුවක් නැහැ කිව්ව. ඒ වුනාට තාම මගෙ ඔළුව රිදෙනවා. තාත්තල මාව බදුල්ලෙ දොස්තර මහත්තුරුන්ට පෙන්නන්න හදන්නෙ. වත්තට සිංහල කට්ටිය ගෙනල්ල ලයින් කුඩු කරනව කියල තර්ජනය කලා. අපිට ගහපු කට්ටිය පොලිසියට ගිහිල්ල අපි ඒගොල්ලන්ගෙ රුපියල් 85,000 ක් හොරකම් කලා කියල තියනවා.

“පොලිසියෙ ඕඅයිසී මහත්තය අපි දෙගොල්ලන්ගෙන්ම කට උත්තර ගත්තා. එතැනදී කිව්වේ අපි 50,000 ක් ගත්ත කියල. ඒ චෝදනාව බොරුවක්. අපි හොරකම් කරල නැහැ. ඒ කට්ටිය බීල අපිට ගැහුව කියල තේරුම් ගත්ත”‍.

මැර ප්‍රහාරයට සෙසු වතු කම්කරුවන්ගේ විරුද්ධත්වය සහ පන්ති ක්‍රියාවන් මතුවීම වලක්වා ගැනීම සඳහා ප්‍රදේශයේ බෞද්ධ භික්ෂුවක් රෝහල් ගතව සිටි සිසුවා වෙත පැමින රුපියල් 5,000 ක් දී සාමදාන වන ලෙස ඔහුගෙන් ඉල්ලා ඇත. ඔහු මුදල් ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. පසුව වත්තට පැමිනි දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ (එජාප) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ එජාපය විසින් පාලනය කරනු ලබන ලංකා ජාතික වතු කම්කරු සංගමයේ (ලංජාවකස) ප්‍රධාන ලේකම් වඩිවේල් සුරේෂ් ද සාමදාන වන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා ඇත. ලංකා කම්කරු කොන්ග්‍රසය (සීඩබ්ලිව්සී) ජාතික කම්කරු සංගමය (එන්යුඩබ්ලිව්) හා කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්) ඇතුළු කිසිදු වෘත්තීය සමිතියක් මෙම වර්ගවාදී මැර ප්‍රහාරයට එරෙහිව වතු කම්කරුවන් බලමුළු ගැන්වීමට හෝ අවම වශයෙන් එම ප්‍රහාරය හෙලා දැකීමට වත් ඉදිරිපත් වී නැත.

පොලීසිය සහ වෘත්තීය සමිති ක්‍රියාත්මක වන්නේ වතු සමාගම්වල සහ ධනපති ආන්ඩුවේ ප්‍රහාර වතු කම්කරුවන් මත පැටවීමේ මර්දනකාරී උපකරන ලෙසය.

හයිලන්ඞ් වත්තේ තරුනයන්ට එල්ල වූ මැර ප්‍රහාරය අහම්බ සිද්ධියක් නොවේ. මීට පෙර ද ප්‍රදේශයේ සිංහල වර්ගවාදී මැරයන් හයිලන්ඞ් වත්තේ කම්කරුවන්ට විවිධ අඩම්තේට්ටම් කර ඇති අතර එය වතු කම්කරුවන් බිය ගන්වා, මර්දනය කර තබා ගැනීම පිනිස ධනපති ආන්ඩු විසින් පවත්වාගෙන යනු ලබන පොදු මර්දනයක කොටසකි. එමෙන් ම, එය සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන්ගේ එකමුතුව බිඳ ඔවුන්ව වාර්ගික හා ආගමික පදනම් මත භේද කිරීමේ පාලක පන්තියේ ප්‍රතිගාමී පිලිවෙත සමග අත්‍යන්තයෙන් බැදී තිබේ. දැන් එය වඩාත් උත්සන්න කෙරී ඇත. දෙමල වතු කම්කරුවන්ට එරෙහි ප්‍රහාර සඳහා වර්ගවාදී මැරයන් ගැම්ම ලබාගෙන ඇත්තේ ධනපති පාලක පන්තියේ මෙම දුෂ්ට වර්ගවාදී පිලිවෙත් වලිනි.

වතු සමාගම් සහ ධනපති ආන්ඩු විසින් වතු කම්කරුවන් ඇද දමා ඇත්තේ ආර්ථිකව හා සමාජීය වශයෙන් අතිශය පහල ජීවන මට්ටම්වලට ය. නිවාස , සෞඛ්‍ය හා අධ්‍යාපනය ඇතුළු මුලික පහසුකම් පවා ප්‍රමානවත් තරම් ඔවුන්ට නැත. සෙසු වතු වල මෙන් ම, හයිලන්ඞ් වත්තේ කම්කරුවන්ගෙන් බහුතරයක් තවමත් ජීවත් වන්නේ කුඩා ලයින් කාමර වලය. ප්‍රමානවත් තරම් ජලය සහ වැසිකිලි පහසුකම් නැත. ඇටම්පිටියේ පිහිටි ඌව හයිලන්ඞ් දෙමල මහා විද්‍යාලයේ අපොස උසස්පෙල දක්වා පන්ති ඇතත් අවශ්‍ය තරමට ගුරුවරු සහ සෙසු පහසුකම් නැති බව කම්කරුවෝ කීහ. යම් මට්ටමක පහසුකම් සහිත අධ්‍යාපනයක් ලැබීම සඳහා හැටන් නගරයට යායුතු බවත් තමන්ට එවන් වියදමක් දැරීමට තරම් වත්කමක් නැති බව ද ඔවුහු පැවසුහ.

අවශ්‍ය මූලික පහසුකම් පවා සැපයීම වෙනුවට වතු සමාගම් සහ ධනපති ආන්ඩු ක්‍රියාත්මක වන්නේ, ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ අර්බුදය, වෘත්තීය සමිතිවල සහයෝගය ඇතිව කම්කරුවන් මත පැටවීමටය. දෛනික වැටුප රුපියල් 1000 කරන ලෙස කම්කරුවන් පසුගිය වසරේ කල ඉල්ලීම වතු සමාගම් සහ සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් එකහෙලා ප්‍රතික්ෂේප කරනු ලැබීය. 2018 දෙසැම්බර් මාසයේ දින නවයක වර්ජනයක් ද සහිතව දෙලක්ෂයක් වතු කම්කරුවන්ගේ වැටුප් අරගලය සියලු‍ම වතු වෘත්තීය සමිති විසින් පාවාදුනි. අවසානයේ ඔවුන්ට ලැබුනේ රුපියල් 20 සොච්චම් වැටුප් වැඩිවීමක් පමනි.

දැන් ආදායම් බෙදීමේ ක්‍රමය, වැඩ ඉලක්කයන් ඉහල දැමීම, සහ ඩිජිටල් තාක්ෂනය සහිත කිරුම් තරාදී සහ වැඩ කාලය තුල කම්කරුවන් වැඩවල නිරතවන ආකාරය සහ වේගය සමීපව නිරීක්ෂනය කල හැකි ඩිජිටල් හැඳුනුම් පතක් හඳුන්වාදීම ඇතුළු ක්‍රම තුලින් කම්කරුවන් මත වඩ වඩා ශ්‍රම සුරාකැමේ කොන්දේසි පැටවීම වේගවත් කර තිබේ.

Share this article: