එක්සත් ජනපද නිලධාරිනිය, ට්‍රම්ප් ගේ තර්ජනාත්මක පනිවිඩයක් ශ්‍රී ලංකා ජනාධිපතිට භාර දෙයි

US official delivers Trump’s threatening message to Sri Lankan president

කේ. රත්නායක විසිනි, 2020 ජනවාරි 20

දකුනු සහ මධ්‍යම ආසියානු කටයුතු පිලිබඳ එක්සත් ජනපද නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් ජී. වෙල්ස් පසුගිය 15දා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙමින්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ලිපියක් භාර දුන්නාය. මාධ්‍ය වාර්තාවන්ට අනුව, එම ලිපිය, “මෙරට සමඟ (සිය) හවුල්කාරිත්වය තවදුරටත් වර්ධනය කර ගැඹුරු කර ගැනීමට” ධවල මන්දිරයේ ඇති කැපවීම හා උනන්දුව අවධාරනය කලේය.

ජනාධිපති රාජපක්ෂ සහ ඔහුගේ සහෝදර අගමැති මහින්ද රාජපක්ෂ මෙන්ම විදේශ අමාත්‍ය දිනේෂ් ගුනවර්ධන, දෙමල ජාතික සන්ධානයේ නායකයන් වන ආර්. සම්බන්දන් සහ එම්.ඒ. සුමන්තිරන් සහ “සිවිල් සමාජ” නායකයින් සමඟ වෙල්ස් සාකච්ඡා කලාය. එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුනු හා මධ්‍යම ආසියාවේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂිකා ලීසා කර්ටිස් සහ කොලඹ එක්සත් ජනපද තානාපති ඇලියානා ටෙප්ලිට්ස් ද වෙල්ස් සමඟ එක්ව සිටියහ.

පසුගිය සඳුදා ආරම්භ වූ චීන විදේශ ඇමති වැන්ග් යි ගේ දින දෙකක ශ්‍රී ලංකා සංචාරයෙන් පසුව, දකුනු ආසියාවේ දින නවයක සංචාරයක කොටසක් ලෙස සිදුවූ වෙල්ස්ගේ ගමන, සැලකිය යුතු කාරනයකි. රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රොව් ද 15දා කොලඹට පැමින සිටියේය.

මෙම ඉහල පෙලේ සංචාරයන්ගෙන් මූලිකව පෙන්නුම් කෙරන්නේ, එක් අතකින් එක්සත් ජනපදය හා දකුනු ආසියාව තුල වොෂින්ටනයේ ප්‍රධාන සගයා වන ඉන්දියාව ද, අනෙක් පැත්තෙන් රුසියාවේ සහාය ලබන චීනය ද අතර ඉන්දියානු සාගර කලාපයේ ආධිපත්‍යය සඳහා තිබෙන, වැඩි වන එදිරිවාදිකම් ය. ඉන්දියානු සාගරයේ වැදගත් නාවික මාර්ග අරා ශ්‍රී ලංකාව පිහිටා ඇත. ලෝක ආධිපත්‍යය පවත්වාගැනීමේ සිය ව්‍යායාමයේ දී එක්සත් ජනපදය, චීනයට එරෙහි මිලිටරි තරකිරීම් සහ වෙලඳ යුද්ධයේ ක්‍රියාමාර්ග ගැඹුරු කරයි.

රාජපක්ෂ ජනාධිපති ලෙස පත්වීමත්, හිටපු ජනාධිපති වූ ඔහුගේ සහෝදරයා අගමැති ධුරයට පත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාව පිලිබඳ වොෂින්ටනයේ උත්සුකයන් ගැඹුරු වී තිබේ. එක්සත් ජනපදය සලකන්නේ, දෙදෙනාම චීනයට පක්ෂපාත වූවන් ලෙසය.

එක්සත් ජනපදය, මහින්ද රාජපක්ෂගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ආන්ඩුවට සහ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි කුරිරු යුද්ධයට සහාය දුන් නමුත්, චීනය සමඟ කොලඹ පාලනය ගෙනගිය සමීප සබඳතාවලට වොෂින්ටනය සතුරු විය. 2015 ජනවාරි මැතිවරනයේදී මහින්ද රාජපක්ෂ බලයෙන් පහකිරීමේ පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුමක් 2014 අගභාගයේදී ආරම්භ කල අතර වොෂින්ටනය ඔහු වෙනුවට එක්සත් ජනපද ගැති ජනාධිපතිවරයෙකු ලෙස මෛත්‍රිපාල සිරිසේන බලයට ගෙන ඒමට ක්‍රියා කලේය.

“පුලුල් හා ආරක්ෂිත ඉන්දු-පැසිෆික් කලාපයක්” සහ “අන්‍යෝන්‍ය අවශ්‍යතා සහිත අනෙකුත් කාරනා” පිලිබඳව ගෝඨාභය රාජපක්ෂ සමඟ සාකච්ඡා කල බව වෙල්ස් මාධ්‍යයට පැවසීය. එක්සත් ජනපදයට අවශ්‍ය ව ඇත්තේ, “ආර්ථිකය හා වෙලඳාම, ත්‍රස්තවාදය, ආරක්ෂාව, මිලිටරි සම්බන්ධතා, යුක්තිය සහ මානව හිමිකම් සවිමත් කිරීමයි.” මේවා කලාපය පුරා එක්සත් ජනපද මිලිටරි බලය වැඩි කිරීම යුක්ති සහගත කිරීම සඳහා භාවිතා කෙරෙන සංකේත වචන වේ.

මාධ්‍ය වාර්තා වලට අනුව, ශ්‍රී ලංකාව තුල බීජිනයේ බලපෑම කෙරෙහි වොෂින්ටනය දක්වන විරෝධය, වෙල්ස් යලිත් අවධාරනය කර ඇත. ඇය චීන ආයෝජන ගැන කනස්සල්ල පල කල අතර හම්බන්තොට වරාය ගිවිසුම “අසාර්ථකවූවක් සහ ශ්‍රී ලාංකික ජනතාවට අසාධාරනයක්” ලෙස හෙලා දුටුවාය. එම ව්‍යාපෘතියට පහසුකම් සැලසීම සඳහා චීන බැංකුවලින් දැවැන්ත නය ලබා ගැනීමට හිලව් වශයෙන් සිරිසේන ආන්ඩුව 2018 දී, 99 අවුරුද්දකට හම්බන්තොට වරාය චීන සමාගමට බදු දීමේ ගිවිසුමකට අත්සන් තැබීය.

ට්‍රම්ප් වෙනුවෙන් වෙල්ස් දුන් පනිවිඩය පැහැදිලිය. සිරිසේන යටතේ වසර හතරක් තිස්සේ ගොඩනගා ගත් මිලිටරි හා දේශපාලන සබඳතා දුර්වල වීම වොෂින්ටනය ඉවසන්නේ නැත.

එක්සත් ජනපද-ශ්‍රී ලංකා මිලිටරි සහයෝගීතාව ඉහල නැංවීම ගැන වෙල්ස් ප්‍රශංසා කල අතර, පසු ගිය වසරේ එක්සත් ජනපද නැව් 18ක් මෙරටට පැමිනීම සහ ශ්‍රී ලංකා මිලිටරිය එක්සත් ජනපද පැසිෆික් අනදෙන මධ්‍යස්ථානය සමඟ සමීපව ඒකාබද්ධ වීම අගය කලාය.

වොෂින්ටනය 1995 දී ශ්‍රී ලංකාව සමඟ ඇතිකරගත් හමුදා තත්ත්ව ගිවිසුම (සෝෆා) ප්‍රතිපාදන සහිතව අලු‍ත් කිරීමට බලකරයි. නව වගන්ති මගින් ඇමරිකානු හමුදා කඳවුරු වලට ඉඩ ලැබෙන අතර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සියලු‍ම එක්සත් ජනපද හමුදාවන්ට නිදහසේ ඇතුලුවීමට අවසරය ද සහ මුක්තිය ද ලැබෙනු ඇත. කොලඹ පාලනය විසින්, එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්ති ආධාර ගිවිසුමක් වන සහශ්‍රක අභියෝග සහයෝගිතා ගිවිසුම (මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන්- එම්සීසී) අත්සන් කිරීම ද ට්‍රම්ප් ආන්ඩුවට අවශ්‍යය.

මෑතදී පැවති ජනාධිපතිවරන උද්ඝෝෂනයේදී රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන, මහජනතාවගේ අධිරාජ්‍ය විරෝධී හැඟීම් ගසාකෑමේ උත්සාහයක යෙදෙමින්, එම්සී සී සහ සෝෆා විවේචනය කලේය. එහෙත් බලයට පත්වූ පසු රාජපක්ෂ එම්සීසී හි “ගුන අගුන” තක්සේරු කිරීම සඳහා විශේෂ මන්ඩලයක් පත් කලේය.

මෙම සමාලෝචන කමිටුව පිහිටුවීම ගැන වෙල්ස් රාජපක්ෂට ස්තූති කල නමුත් එහි සොයා ගැනීම් අනුව ඉක්මන් ප්‍රතිචාරයක් ඉල්ලා සිටියාය. මාස හතරකින් පමන පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරනයෙන් පසුව සෝෆා පිලිබඳ “ඕනෑම ගැටලුවක්” සාකච්ඡා කල හැකි බව ඇය පැවසුවාය.

එක්සත් ජනපදය “ශ්‍රී ලංකාවේ විශාලම අපනයන වෙලඳපොල වන අතර මෙය දෙරටටම වාසිදායක හවුල්කාරිත්වයක්” යයි වෙල්ස් ප්‍රකාශ කලේ අනතුරු ඇඟවීමක් ලෙස ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සඳහා කොලඹ තන්ත්‍රයේ කැපවීම අගය කරමින් ඇය, එල්ටීටීඊය සමඟ යුද්ධයේදී අත්පත් කරගත් ඉඩම් ආපසු ලබා දීම, අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ට තොරතුරු සැපයීම සහ වගවීම සම්බන්ධයෙන් දෙමල සහ අනෙකුත් සුලු ජාතික හා විරුද්ධ පක්ෂවල උත්සුකයන් පිලිබඳව සාකච්ඡා කල බව මාධ්‍යයට පැවසුවාය.

මෙය, එක්සත් ජනපද පිලිවෙත්වලට අනුව ක්‍රියා කිරීම සඳහා ශ්‍රී ලංකාවට බල කිරීමට යොදා ගතහැකි ප්‍රශ්න ගනනාවක් ගැන ඉඟි කෙරුනු තර්ජනයකි. බීජිනයෙන් ඈත්වීම සඳහා කොලඹට බලපෑම් කිරීමට ඔබාමා පාලනාධිකාරය, මහින්ද රාජපක්ෂ තන්ත්‍රය විසින් මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ කාරනය, නරුම ලෙස යොදා ගත්තේ ය.

ඊට දිනකට පෙර, චීන විදේශ ඇමති වැන්ග් ශ්‍රී ලංකා ජනාධිපති හමුවී, ශ්‍රී ලංකාව පිලිබඳ බීජිනයේ ආකල්පය සැමවිටම ස්ථාවර බවත්, චීනය දිගටම “විශ්වාසදායක” මිතුරෙකු ලෙස කටයුතු කරන බවත් පැවසීය.

“ශ්‍රී ලංකාවේ මූලෝපායික සහකරු වශයෙන් චීනය, මෙරට අවශ්‍යතා වෙනුවෙන් දිගටම පෙනී සිටිනු ඇත. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර උත්සුකයන් පිලිබඳ කාරනාවලට බාධා කිරීමට අපි බාහිර බලවේගයන්ට ඉඩ නොදෙමු” යයි වෑන්ග් පැවසීය. වැන්ග් “බාහිර බලවේග” නම් නොකල නමුත්, ඒ, චීනයට කොලඹ සමඟ ඇති සබඳතා බිඳීමට උත්සාහ කරන එක්සත් ජනපදය හා ඉන්දියාව ගැන කල සඳහන් කිරීමක් බව පැහැදිලිය.

දැවැන්ත නය ආපසු ගෙවීම් හා ගැඹුරු වන ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින ආන්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය ආධාර, විශේෂයෙන් චීන ආධාර අපේක්ෂා කර යි.

ලබන මස මුලදී චීනයේ සංචාරය කිරීමට නියමිත ජනාධිපති රාජපක්ෂ, වැන්ග්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්, තමා “ජනාධිපති ෂී ජින් පිං අගයකරන්නෙකු” බව ප්‍රකාශ කරමින් “ඔහුගේ කථා සහ ප්‍රකාශ ගැන සමීපව උනන්දුව දක්වන බව පැවසීය.”

නය ආපසු ගෙවීමේ කාල වකවානු වෙනස්කිරීම ඇතුලුව, මූල්‍ය ආධාර චීනය විසින් ලබා දෙනු ඇති බවත්, “තාක්‍ෂනය, සංචාරක, යටිතල පහසුකම් සහ වෙනත් ආශ්‍රිත ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාවට උපකාර කල හැකි වෙනත් පාර්ශවයන් හමුවන” බවත් වැන්ග් පැවසීය.

රුසියානු විදේශ ඇමති ලැව්රොව් ශ්‍රී ලංකා විදේශ ඇමති ගුනවර්ධන හමුවී මෙරට සමඟ සබඳතා ශක්තිමත් කිරීමට සූදානම් බව ප්‍රකාශ කලේය. රුසියාව, “ශ්‍රී ලංකා හමුදාවට ආරක්ෂාව සඳහා අවශ්‍ය සියලු‍ ආයුධ ලබා දෙන” බව ලැව්රොව් පැවසූ අතර වාර්ෂික ද්විපාර්ශ්වික වෙලඳාම දැනට පවතින ඇමරිකානු ඩොලර් මිලියන 400 සිට ඩොලර් මිලියන 700 දක්වා ඉහල නැංවීමට අවශ්‍ය බව පැවසීය.

ආක්‍රමනශීලී එක්සත් ජනපද හමුදා වටලෑමකට මුහුන දී සිටින රුසියාව පසුගිය වසරේ චීනය හා ඉරානය සමඟ ඒකාබද්ධ හමුදා අභ්‍යාස පැවැත්වීය. මෙම රටවල් තුනම, තෙල්වලින් පොහොසත් මැද පෙරදිග හා යුරේසියාව මත සිය ආධිපත්‍යය ගොඩනැඟීම සඳහා වන වොෂින්ටනය ගෙනයන සමස්ත මිලිටරි මූලෝපායේ ඉලක්කයන්ය.

මෙම වර්ධනයන් මධ්‍යයේ ඉන්දියාව, ශ්‍රී ලංකාව සිය මූලෝපායික ආධිපත්‍යය යටතේ තබා ගැනීමේ දැඩි උත්සාහයක නිරතව සිටී. රාජපක්ෂ ජනාධිපති ධුරයට තේරී පත්වී දින තුනකට පසු, ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් ශ්‍රී ලංකාවට පැමිනි අතර ඉන් පසු රාජපක්ෂ නවදිල්ලියට ගොස් අගමැති නරේන්ද්‍ර මෝදි හමුවිය.

විදේශ ඇමති ගුනවර්ධන පසුගිය සතියේ ඉන්දියානු විදේශ ඇමති සහ ව්‍යාපාරික නියෝජිතයින් හමුවීමට එහි ගියේය.

මෝදිගේ ආරාධනයෙන් අගමැති මහින්ද රාජපක්ෂ, පෙබරවාරි මස මුලදී ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිතය.

තම පාලනයට ප්‍රධාන මිලිටරි නිලධාරීන් ඇතුලු කරගත් ගෝඨාභය රාජපක්ෂ, “මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක්” පවත්වාගෙන යන බවට වාචාල කථා පවත්වයි. එහෙත් ලෝක බලයන් අතර එදිරිවාදිකම් තීව්‍ර වීමේ කොන්දේසි යටතේ, “න්‍යෂ්ටික බලයන්” වන එක්සත් ජනපදය හා චීනය අතර ව්‍යසනකාරී යුද්ධයක අන්තරාය මතු කරන භූදේශපාලනික වා සුලියකට, සමස්ත ඉන්දීය උප මහාද්වීපයම හසු වී තිබේ.

Share this article: