1917 ට්‍රොට්ස්කිගේ ලියවිලි

දෙමුහුනුවර, (රුසියානු විප්ලවයේ අභ්‍යන්තර බලවේග)

ලියොන් ට්‍රොට්ස්කි විසිනි

මෙම ලිපිය නිව්යෝර්ක්හි රුසියානු භාෂාවෙන් ප්‍රකාශයට පත් කෙරුනු, 1917 මාර්තු 17 වන දින නොවි මීර් (නව ලෝකය) පුවත්පතේ මුල්වරට පල විය. 1923 දී එය ට්‍රොට්ස්කිගේ වොයිනා ඉ රෙවොලුශියා (යුද්ධය හා විප්ලවය) හි දෙවන වෙලුමේ 434-438 පිටුවල රුසියානු භාෂාවෙන් පල කෙරිනි. ඉංග්‍රීසි භාෂාවෙන් එය Trotsky Speaks හි පල කෙරිනි. පහත දැක්වෙන්නේ එහි මුල් රුසියානු පිටපතෙන් කෙරුනු ඉංග්‍රීසි පරිවර්තනයක සිංහල පරිවර්තනයයි. (පරිවර්තනය: ෆ්රෙඩ් විලියම්ස්; ප්‍රකාශන අයිතිය: ලෝසවෙඅ)

~~~

සිදුවෙමින් පවතින්නේ කුමක්දැයි අපි සමීපව විමසා බලමු.

නිකොලායි පලවා හැර ඇති අතර, ඇතැම් තොරතුරු මූලාශ්‍රයන්ට අනුව ඔහු නිවාස අඩස්සියේ පවා තබා ඇත. ප්‍රමුඛතම බ්ලැක් හන්ඩ්‍රඩ්වරුන් අත් අඩංගුවට පත් වී ඇති අතර වඩාත්ම වෛරයට පාත්‍ර වූ ඇතැම්හු මරා දමන ලදහ. ඔක්තෝබර්වාදීන්, ලිබරලුන් හා රැඩිකල් කෙරන්ස්කිගෙන් ද සමන්විත නව අමාත්‍ය මන්ඩලයක් රැස් වී ඇත. පොදු සමාවක් ප්‍රකාශයට පත් කෙරී ඇත.

මේ සියල්ල සිත් කාවදින සුලු කරුනුය. ප්‍රමුඛ කරුනුය. පරිබාහිර ලෝකයට වඩාත් විද්‍යමාන වන කරුනු මේවාය. යුරෝපයේ හා ඇමරිකාවේ ධනේශ්වරයෝ, ආන්ඩුවේ ඉහලම මට්ටම්වල සිදු වී ඇති මෙම වෙනස්කම්වල පදනමේ සිට මෙකී සිදුවීම්වල අරුත තක්සේරු කරමින්, විප්ලවය ජයග්‍රහනය කොට ඇති බවත් එය අවසානයට පත්ව ඇති බවත් නිවේදනය කරති.

සාර් හා ඔහුගේ බ්ලැක් හන්ඩ්‍රඩ්වරුන් සටන් කලේ හුදෙක් බලයේ රැඳී සිටීම සඳහාය. යුද්ධය විසින් රුසියානු ධනේශ්වරයේ අධිරාජ්‍යවාදී සැලසුම්, "මිත්‍ර පක්ෂයන්හි" උත්සුකයන් යන මේ සියල්ල පසුතලයට විසි කරනු ලැබිනි. සිය වඩාත්ම විශ්වාසදායී රෙජිමේන්තු නිදහස් කොට ගෙන ඒවා තමන්ගේම ජනයාට එරෙහිව මෙහෙයවනු වස්, ඕනෑම මොහොතක හොහැන්සොලාන්ලා හා හබ්ස්බර්ග්ලා සමඟ සාමයකට එලැඹීමට ඔවුහු සූදානම්ව සිටියෝය.

ඩූමාවේ ප්‍රගතිශීලී කන්ඩායම සාර් හා ඔහුගේ ඇමතිවරුන් විශ්වාස කලේ නැත. රුසියානු ධනේශ්වරයේ විවිධ පක්ෂවලින් මෙම කන්ඩායම සමන්විත විය. ඊට අරමුනු දෙකක් පැවතිනි: ප්‍රථම කොට යුද්ධය අවසානයක් කරා, ජයග්‍රහනය දක්වා, ගෙන යාම; දෙවනුව, රටේ අභ්‍යන්තර ප්‍රතිසංස්කරන සිදු කිරීම: නිසි පටිපාටි, පාලනය හා වගකීම්සහගත භාවය වඩාත් තහවුරු කිරීමය. වෙලඳපොලවල් අල්ලා ගැනීමට, ප්‍රදේශ අත්පත් කර ගැනීමට, පොහොසත් වීමට රුසියානු ධනේශ්වරයට ජයග්‍රහනය අවශ්‍යය. රුසියානු ධනපති පන්තියට ප්‍රතිසංස්කරන අවශ්‍ය වන්නේ ප්‍රමුඛ කොටම ජයග්‍රහනය සාක්ෂාත් කර ගැනීම සඳහාය.

එහෙත් ප්‍රගතිශීලී-අධිරාජ්‍යවාදී කන්ඩායමට අවශ්‍ය වූයේ සාමකාමී ප්‍රතිසංස්කරනයන්ය. ලිබරලුන් අපේක්ෂා කලේ රාජාන්ඩුව මත ඩූමාවේ පීඩනය යොදා, බ්‍රිතාන්‍ය හා ප්‍රන්ස ආන්ඩුවල සහයෝගයෙන් එය මට්ටු කර ගැනීමටය. ඔවුන්ට විප්ලවයක් අවශ්‍ය වූයේ නැත. කම්කරු පන්තිය ප්‍රමුඛස්ථානය දරනු ඇති විප්ලවයක් ඔවුන්ගේ ආධිපත්‍යයට එරෙහි අනතුරු හැඟවීමක් වනු ඇති බවත්, අන් සියල්ලටත් වඩා ඔවුන්ගේ අධිරාජ්‍යවාදී සැලසුම්වලට තර්ජනයක් වනු ඇති බවත් ඔවුහු දැන සිටියෝය. නගරවල, ගම්වල හා හමුදාව තුලම ද වැඩකරන මහජනයාට අවශ්‍ය සාමයයි. ලිබරල්ලු මෙය දනිති. එබැවින් ඔවුහු සෑම කල්හිම විප්ලවයට එරෙහිව සිටියෝය. මාස කිහිපයකට ඉහත දී මිලියුකොව් ඩුමාවේ දී මෙසේ නිවේදනය කලේය: "ඉදින් ජයග්‍රහනය ලැබීම සඳහා විප්ලවයක් අවශ්‍යවන්නේ නම්, මම ජයග්‍රහනයට විරුද්ධ වන්නෙමි."

එහෙත් විප්ලවයට පින් සිදුවන්නට ලිබරල්ලු දැන් බලයට පත්ව සිටිති. ධනේශ්වර මාධ්‍යවේදීහු මේ කරුනම විනා අන් කිසිවක් නොදකිති. විප්ලවය ගෙන යනු ලැබුවේ විදේශීය සතුරා ජය ගැනීමේ නාමයෙන් බව නව විදේශ ඇමති ලෙස මිලියුකොව් දැනටමත් නිවේදනය කොට ඇති අතර, යුද්ධය එහි පූර්න අවසානය කරා පවත්වා ගෙන යාමේ කර්තව්‍යය නව රජය තමන් වෙත පවරා ගෙන ඇත. නිව්යෝර්ක්හි වෙඩි බෙහෙත් ද්‍රව්‍ය වෙලඳපොල රුසියානු විප්ලවය පිලිබඳව ගනන් බැලුවේ හරියටම මෙපරිද්දෙනි: ලිබරල්ලු බලයට පත්ව සිටිති, ඒ අනුව ෂෙල් වෙඩි වැඩියෙන් අවශ්‍ය වනු ඇත.

විනිමය වෙලඳපොලෙහි බොහෝ දක්ෂයෝ සිටිති. පුවත්පත් කරුවන් අතර ද දක්ෂයෝ සිටිති. එහෙත් මහජන ව්‍යාපාර සම්බන්ධයෙන් ගනන් බැලීමෙහි දී ඒ සියල්ලෝම සිය පරිපූර්න මුග්ධභාවයම ප්‍රදර්ශනය කරති. ඔවුන්ට හැඟෙන්නේ තමන් තම බැංකු හෝ පුවත්පත් කාර්යාල පාලනය කරන පරිද්දෙන් මිලියුකොව් විප්ලවය පාලනය කරන සේ ය. ඔවුන් දකින්නේ ඓතිහාසික මහෝඝයේ මතුපිට හුදු පෙනපිඬු පමනෙකි. එනම්, දිග හැරෙන සිදුවීම්වල ලිබරල් ආන්ඩුවේ පිලිබිඹුව පමනකි.

දීර්ඝ කාලයක් පුරා මැඩ පවත්වන ලදුව පැවැති මහජන අසන්තෝෂය පුපුරා මතුපිටට පැමිනියේ බෙහෙවින් කල් පමා වී, යුද්ධයේ තිස් දෙවැනි මාසයේ දී ය. ඒ එය යුද කාල සීමාව තුල අතිශයින් දුර්වල වූ පොලිස් පවුරකට මුහුන දීමේ හේතුව නිසා නොව, සියලු ලිබරල් ආයතන හා සංවිධාන අවසානයේ එම පොලිස් පවුරේ සමාජ - දේශප්‍රේමී හෙන්චයියන් බවට පත්වෙමින්, "දේශප්‍රේමී" විනය හා අනුක්‍රමය පවත්වා ගැනීමේ අවශ්‍යතාව කම්කරු පන්තියේ අවම පන්ති විඥානයකින් යුත් ස්ථරයන් තුලට කාවැද්දීමට ඔවුන් මත යොදන ලද අතිමහත් පීඩනය නිසාය. මෑතකදී ලැබුනු විදුලි පනිවුඩවලට අනුව, අවසාන මොහොතේ හාමතින් පෙලුනු ස්ත්‍රීන් වීදි බට කල්හි හා කම්කරුවන් මහා වැඩ වර්ජනයක් මඟින් ඔවුන්ට සහාය දීමට සූදානම් වූ කල්හි ලිබරල් ධනපතීහු, නැඟී එන සයුරු රල කොස්සකින් නැවත්වීමට තැත් කල ඩිකන්ස්ගේ වීරවරිය සේ සිදුවීම්වල වර්ධනය නවතා ගැනීමට ප්‍රයත්න දැරූහ.

එහෙත් ව්‍යාපාරය එහි පතුලේ සිට - කම්කරු නිවහන්වල සිට - වර්ධනය වූයේය. අතීරනයෙන් ගත වූ පැය ගනන් හා දින ගනන්වලින් පසු වෙඩි හුවමාරු, සුලු සටන් ඇති විය. හමුදා සෙබල පිරිස්වල හොඳම කන්ඩායම් වලින් පටන් ගෙන භට කන්ඩායම් පහල මට්ටමින් කැරලිකරුවන් හා එක් වූහ. පැරනි තන්ත්‍රය හෙම්බත්ව, අඩපනව අතු ගෑවී ගොස් ඇති බැව් පෙනී ගියේය. බ්ලැක් හන්ඩ්‍රඩ් නිලධරයෝ කැරපොත්තන් මෙන් තම අහුමුලුවල සැඟව ගත්හ.

දැන් උදාවූයේ ඩූමාවේ වාරයයි. අන්තිම මොහොතේ එය විසුරුවා හැරීමට සාර් තැත් කලේය. ඉදින් අවස්ථාව තිබිනි නම් එය, "ඉහත වර්ෂවල උදාහරනය අනුයමින්" යටහත් පහත්ව තමා විසුරුවා හැරීමට ඉඩ හරිනු ඇත. එහෙත් නගරවල ආධිපත්යීය දැරුවේ විප්ලවවාදී ජනයාය, ලිබරල් ධනපතීන්ගේ අභිමතයට එරෙහිව යමින් සටන් කිරීම සඳහා වීදි බට ජනයාය. හමුදාව සිටියේ ජනතාවගේ පැත්තේය. තමන්ගේම තන්ත්‍රය සංවිධානය කිරීමට ධනේශ්වරය ප්‍රයත්න නොදරන්නේ නම් කැරලිකාරී කම්කරු පන්ති ජනයාගේ විප්ලවවාදී ආන්ඩුවක් බිහි වනු ඇත. සාර්වාදයේ හස්තයෙන් බලය උදුරා ගැනීමට ජූනි 3 ඩූමාව කිසිසේත් පෙරට එනු නැත; එහෙත් රාජාන්ඩුව තාවකාලිකව මිහිමතින් අතුරුදහන් වී තිබූ අතර විප්ලවවාදී තන්ත්‍රයක් තවමත් නිමැවී නොතිබින: නිර්මානය වී තිබූ මෙම අරාජක තත්වය භාවිතා නොකොට සිටීමට ඊට හැකි වූයේ නැත.

මෙම තතු යටතේ පවා මඟහැර මාරු වී යාමට රොඩ්සියාන්කෝලා තැත් කරන්නට ඉඩ තිබිනි, ඇත්තෙන්ම ඔවුන් නිසැකවම එසේ කරනු ඇත. එහෙත් බ්‍රිතාන්‍ය හා ප්‍රන්ස තානාපති කාර්යාලවල නිරන්තර විපරම්කාරී ඇස්වල සුපරීක්ෂාවට ඔවුහු භාජනය වී සිටියෝය. තාවකාලික ආන්ඩුව නිර්මානය කිරීමෙහි ලා "මිත්‍ර පාක්ෂිකයන්" සහභාගී වූ බව සැක නැත. නිකොලායි වෙතින් ඉදිරිපත් කෙරෙන වෙන් වූ හුදෙකලා සාමයක් හා කම්කරු මහජනයාගෙන් ඉදිරිපත් කෙරෙන විප්ලවවාදී සාමයක් ද අතර සිට ගෙන සිටි මිත්‍ර පාක්ෂික ආන්ඩු, සිය එකම ගැලවීම රැඳී පැවැත්තේ ප්‍රගතිශීලී - අධිරාජ්‍යවාදී කන්ඩායම අතට බලය මාරු කිරීම තුල යයි සලකා ගත්හ. රුසියානු ධනපති පන්තිය වර්තමානයේ දී මූල්‍යමය වශයෙන් ලන්ඩනය මත තදින්ම රඳා සිටින අතර, බ්‍රිතාන්‍ය රාජ දුතයාගේ "උපදෙස්" ඔවුන්ට ඇසුනේ නියෝගයක් සේය. තම ඉහත ඉතිහාසය නොතකා, තමාගේම ප්‍රතිපත්ති නොතකා, තමාගේම කැමැත්ත නොතකා තමන් බලයට පත්ව සිටින බැව් ලිබරල් ධනපතියන්ට පෙනී ගියේය.

යුද්ධය "අවසානය දක්වා" පවත්වා ගෙන යාම පිලිබඳව මිලියුකොව් දැන් කථා කරයි. මෙම වචන ඔහුගේ තොල්වලින් ගිලිහුනේ එතරම් පහසුවෙන් නොවේ: ඒවා නව තන්ත්‍රයට එරෙහිව පොදු මහජනතාවගේ කෝපය දැල්වීමට ක්‍රියා කරනු ඇති බව ඔහු දනියි. එහෙත් ලන්ඩනයේ, පැරීසියේ හා .......ඇමරිකානු විනිමය වෙලඳපොලවල් වෙනුවෙන් එම වචන පැවසීමට මිලියුකොව් බැඳී සිටියේය. සිය යුදවාදී ප්‍රකාශනය තමාගේම රටෙන් සඟවා ගෙන සිටින අතරතුර මිලියුකොව්, එය විදේශීය ජාතීන්ට ටෙලිග්‍රා ෆ් කරන ලදැයි සිතීමට හොඳටම ඉඩ ඇත. මක්නිසාදයත්, වත්මන් තතු යටතේ යුද්ධය දියත් කොට, ජර්මනිය කුඩුපට්ටම් කර දමා, ඔස්ට්‍රියාව උගුලුවා දමා, කොන්ස්තන්තිනෝපලය හා පෝලන්තය යන දෙකම අල්ලා ගැනීමට තමාට හැකිවනු නැති බැව් මිලියුකොව් හොඳාකාරවම දන්නා හෙයිනි.

මහජනයා කැරලි ගැසුවේ පාන් සහ සාමය ඉල්ලා සිටිමිනි. බලයට පත්ව සිටින්නන් අතර ලිබරලුන් කිහිප දෙනෙකු සිටීම මඟින් හාමතින් සිටින්නන්ගේ සා ගිනි නිවීයාමක් හෝ, කොයිකවරෙකුගේවත් තුවාල සුව වීමක් හෝ සිදු වී නැත. ජනයාගේ තීව්‍රතම වූ ද කල්දැමිය නොහැකි වූ ද අවශ්‍යතා සපුරා ලනු වස් සාමය අවශ්‍යය. එහෙත් ලිබරල්-අධිරාජ්‍යවාදී කන්ඩායම සාමය පිලිබඳ සඳහනක් හෝ කිරීමට එඩිතර නොවෙති. සියල්ලටම පලමුව ඒ මිත්‍ර පාක්ෂික අනුචරයන් නිසාය. දෙවනුව, ජනයාගේ ඇස් ඉදිරියේ, යුද්ධය පිලිබඳ වගකීමේ අතිමහත් කොටසක් රුසියානු ලිබරල් ධනපතීන්ට පැවරෙන නිසාය. මේ බියකරු අධිරාජ්‍යවාදී දුෂ්ප්‍රයත්නය තුල රට ගිල්වා දමනු ලැබුවේ රොමානොව් රජවරුන්ගේ පන්දම්කාරයන් හා ඔවුන් සමඟ කරටකර සිටි මිලියුකොව්ලා හා ගුච්කොව්ලා විසිනි. මේ කාලකන්නි යුද්ධය නවතා දැමීම හා පටන් ගත් තැනට පෙරලා යාම යනු මහජනයාට වග උත්තර බැඳීමට ඔවුන්ට සිදුවීමකි. මිලියුකොව්ලා ද ගුච්කොව්ලා ද විප්ලවය කෙරේ දක්වන භීතියට නොඅඩු භීතියක් යුද්ධය අවසන් කිරීම කෙරේ ද දක්වති.

බලය අතැතිව සිටියදී ඔවුන්ගේ හැටි මෙසේය: ඔවුන් යුද්ධය පවත්වා ගෙන යා යුතුය, එතෙකුදු ඔවුන්ට ජයග්‍රහනය පිලිබඳ බලාපොරොත්තු තැබිය නොහැකිය; ඔවුහු මහජනයා කෙරේ බියෙන් පසුවෙති, මහජනතාවෝ ඔවුන් විශ්වාස නොකරති.

"... තමන්ම ද පැරනි සමාජයට අයත් හෙයින්, පටන් ගැන්මේ සිටම මහජනයා පාවා දීමට හා පැරනි සමාජයේ ඔටුනුපලන් නියෝජිතයන් සමඟ සම්මුති ගැසීමට සූදානමින්; ..... මහජනයා තමන් පසුපස සිටින නිසා නොව, මහජනයා තමන් ඉදිරියට තල්ලු කල හෙයින් විප්ලවයේ මුදුනත අරා හිඳිමින්,... තමන් පිලිබඳ විශ්වාසයෙන් තොරව, මහජනයා පිලිබඳ විශ්වාසයෙන් තොරව, ඉහලින් සිටින්නන්ට එරෙහිව කන්කෙඳිරි ගාමින්, පහලින් සිටින්නන් ඉදිරියේ වෙවුලුම් කමින්; එම පෙරමුනු දෙකේදී ම ආත්මාර්ථකාමී වෙමින් හා තම ආත්මාර්ථකාමිත්වය පිලිබඳ යථාවබෝධයක පසුවෙමින්; ගතානුගතිකයන් කෙරේ විප්ලවවාදී වෙමින් හා විප්ලවවාදීන් කෙරේ ගතානුගතිකවාදී වෙමින්; තමන්ගේම සටන් පාඨ පිලිබඳ අවිශ්වාසයෙන් පසුවෙමින්, අදහස් වෙනුවට වාක්‍යාංශ භාවිත කරමින්; ලෝක සංක්ෂෝභයෙන් බියපත් වෙමින් හා ඒ අතරම එහි ඵලප්‍රයෝජන ද ගසා කමින්,- .... කිසිදු අපූර්වත්වයක් නොමැති හෙයින් නිසරු, නිසරු බවින් පමනක් ම අපූර්ව,- තමාගේම අභිරුචීන්ගෙන් ලාභ ගරා ගන්නා; ආරම්භකත්වයෙන් තොර, තමා කෙරේ විශ්වාසයෙන් තොර, මහජනයා පිලිබඳ විශ්වාසයෙන් තොර, ලෝක ඓතිහාසික මෙහෙවරකින් තොර,- ඔවුහු, බලගතු මහජනකායක ප්‍රථම නව යෞවන ව්‍යාපාරයට නායකත්වය දීමට හා එය දුෂ්භාවිත කිරීමට ඉරනම විසින් නියම වූ - ඇස් නැති, කන් නැති, දත් නැති, කිසිවක් හෝ නැති - සාපලත් මහල්ලෙකු වැනි වෙති,- මාර්තු විප්ලවයෙන් ඉක්බිති ප්‍රසියානු ධනපති පන්තිය ප්‍රසියානු රාජ්‍යයේ මුදුනත අරා සිටියේ එපරිද්දෙනි." (කාල් මාක්ස්, "ධනපති පන්තිය හා විප්ලවය," [1848]).

අපේ මාර්තු විප්ලවයෙන් ඉක්බිති රුසියානු ලිබරල් ධනපතීන් බලයේ මුදුනතට නැඟී අප ඉදිරියේ පෙනී සිටි ආකාරය පිලිබඳ පරිසමාප්ත ප්‍රතිමුර්තියක් මහා විශාරදයාගේ මෙම වචන තුල ගැබ්ව ඇත. "තමා කෙරේ විශ්වාසයෙන් තොර, මහජනයා පිලිබඳ විශ්වාසයෙන් තොර, ඇස් නැති, කන් නැති," - ඒ එහි දේශපාලන මුහුනුවරයි.

රුසියාවේ හා යුරෝපයේ වාසනාවට මෙන්, රුසියානු විප්ලවයට තවත් අව්‍යාජ මුහුනුවරක් ඇත: විදුලි පනිවුඩ මඟින් නිවේදනය වී ඇති පරිදි, තාවකාලික ආන්ඩුවට විපක්ෂව, විප්ලවය කොල්ල කා මහජනයා රාජාන්ඩුවට පාවා දීමේ ලිබරලුන්ගේ ප්‍රයත්නයට එරෙහිව දැනටමත් විරෝධයේ හඬ නංවා ඇති කම්කරු කමිටුවක් ඇත.

ඉදින් ලිබරල්වාදය ඉල්ලා සිටින පරිදි විප්ලවය අද දවසේ නවතින්නේ නම්, සාර්වාදී-වංශවත්-නිලධාරිවාදී ප්‍රතිගාමිත්වය ඊලඟ දවසේ ම එහි බලවේග ඒකරාශී කොට, ප්‍රසියානු ප්‍රතිවිප්ලවය තමන්ගේ වාරයේදී ප්‍රසියානු ලිබරල්වාදයේ නියෝජිතයන් කුනු කූඩයට හෙලූ පරිද්දෙන්ම, ගුච්කොව්ලා හා මිලියුකොව්ලා ඔවුන්ගේ අනාරක්ෂිත අමාත්‍යංශ යුද අගල්වලින් පන්නා දමනු ඇත. එහෙත් රුසියානු විප්ලවය නවතිනු නැත. තව ද එහි ඉදිරි වර්ධනය තුල එය, දැන් සාර්වාදී ප්‍රතිගාමිත්වය අතු ගා දමන පරිද්දෙන් ම, සිය මාවත අසුරා සිටින ධනපති ලිබරලුන් ද අතු ගා දමනු ඇත.

නොවි මීර්, 1917 මාර්තු 17