රුසියානු විප්ලවයේ මේ සතිය

අප්‍රේල් 3-9: ඇමරිකාව ජර්මනියට විරුද්ධව යුද ප්‍රකාශ කරයි

2017 අප්‍රේල් 3

ලොව වටා කම්කරු ව්‍යාපාරය යුරෝපය තුල අධිරාජ්‍යවාදී මනුෂ්‍ය සංහාරය අවසන් කරන ලෙස ඉල්ලද්දී ධනපති පාලක පන්තිය තව තවත් ලේ ඉල්ලා බෙරිහන් දෙයි. ඇමරිකාව ජර්මනියට විරුද්ධව යුද ප්‍රකාශ කරමින් වෙඩි උන්ඩ ලෙස යොදා ගැනීමට ලක්ෂ ගනන් තරුනයින් බලමුලු ගන්වයි. මෙන්ෂෙවිකයින් විසින් සහාය දෙනු ලබන රුසියාවේ ධනපති තාවකාලික ආන්ඩුව, යුද්ධය අඛන්ඩව ගෙනයන බවට පොරොන්දු වෙමින්, යුද අරමුනු පිලිබඳ ප්‍රකාශයක් නිකුත් කරයි. යුද අගල්, කටු කම්බි වැටවල්, විස වායු, මැෂින් තුවක්කු, මඩ, වසංගත හා කාලතුවක්කු වෙඩි මුර හමුවේ දැනටමත් මිලියන ගනනාවකගේ ජීවිත වනසා දමා ඇති භීෂනයේ අවසානයක්, පේනතෙක් මානයකවත් නැත. මේ අතර ආහාර මිල ගනන් ඉහල නගිමින් ද වෙලඳපොලේ භාන්ඩ වඩ වඩාත් හිඟ වෙමින් ද ඇත.

ඔස්ලෝ හරහා රුසියාව බලා යමින් සිටින ට්‍රොට්ස්කි, බ්‍රිතාන්‍ය බලධාරීන් විසින් ඔහු ගමන් ගත් නැවෙන් බලහත්කාරයෙන් ඉවත්කර සිරගත කර ඇත. රුසියාව බලා ස්විට්සර්ලන්තයෙන් පිටත් වීමට සූදානම් වෙමින් ලෙනින්, ජනතා ඉල්ලීම් ඉටුකිරීමටත්, අධිරාජ්‍යවාදී රුධිර ස්නානය නතර කිරීමටත් කම්කරු පන්තිය විසින් බලය අල්ලා ගැනීම අවශ්‍ය බව අවධාරනය කලේය. කලින් ට්‍රොට්ස්කි විසින් දරන ලද ආස්ථානයන් සමග පෙල ගැසෙමින් ලෙනින්, පැරනි සාර් අධිරාජ්‍ය තුල පමනක් සමාජවාදය ක්ෂනිකව සාක්ෂාත් කල නොහැකි බව කියා සිටියේය. ඒ වෙනුවට ඔහු, රුසියාව තුල කම්කරු පන්තිය විසින් බලය සියතට ගැනීම පුලූල් ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයක පලමු වෙඩි මුරය වන බව වටහා ගත්තේය. ලෙනින් මෙසේ පැවසීය: යුරෝපය තුල ආරම්භ වන නිර්ධන පන්ති විප්ලවය දිගු කල් දිනේවා!

අප්‍රේල් 3 නෝවා ස්කොෂියාවේ හැලිෆැක්ස්: ට්‍රොට්ස්කි බලහත්කාරයෙන් නැවෙන් ඉවත් කරයි

1917 දී පමන හැලිෆැක්ස්

බ්‍රිතාන්‍ය බලධාරීන් දින ගනනාවක් තිස්සේ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නාවික නිලධාරීන් විසින්, නෝර්වේහි ඔස්ලෝ බලා යන අතරතුර හැලිෆැක්ස් යන කැනඩා වරායේ නවතා තිබූ ක්‍රිස්ටියානි ජොර්ඩ් දුම්නැවෙන් ට්‍රොට්ස්කි බලහත්කාරයෙන් ඉවත් කරන ලදී. නැව නතර කරන ලෙසට බ්‍රිතාන්‍ය ඔත්තුකරුවෙකු දුන් පනිවිඩයකින් පසුව බ්‍රිතාන්‍ය නිලධාරීහු ට්‍රොට්ස්කි, ඔහුගේ පවුලේ උදවිය හා අනෙකුත් රුසියානු මගීන් අල්ලාගත් අතර පසුව ට්‍රොට්ස්කි සිය චරිතාපදානයේ සිහිපත් කරන පරිදි “පූර්න හරස් ප්‍රශ්න” ඇසීමකට ලක් කලේය. එසේ කලේ ඔවුන් සතුව අවශ්‍ය සෑම සංචාරක ලියවිල්ලක්ම තිබියදීය. ට්‍රොට්ස්කි තවදුරටත් පවසන පරිදි නිලධාරීන් “අපගේ කැපවීම්, අපගේ දේශපාලන සැලසුම් යනාදිය ගැන අපෙන් විමසන” ලදී. “මම එවන් ප්‍රශ්න ගැන ඔවුන් සමග කිසිදු සාකච්ඡාවකට එක්වීම ප්‍රතික්ෂේප කලෙමි. ඔබට මගේ අනන්‍යතාව ගැන සියලු තොරතුරු දිය හැකිය, එපමනකි. රුසියානු දේශපාලනය තවමත් බ්‍රිතාන්‍ය නාවික පොලිසියේ පාලනයට යටත්ව නැත.”

නාවික නිලධාරීහු ට්‍රොට්ස්කිට, ඔහුගේ පවුලේ අයට හා තවත් රුසියානුවන් පස් දෙනෙකුට බෝට්ටුවෙන් ඉවත්වන ලෙසට අන කලහ. එම නියෝගය නීති විරෝධී බව කියමින් ට්‍රොට්ස්කිගේ පවුල එය ප්‍රතික්ෂේප කලහ. ට්‍රොට්ස්කි එය මෙසේ සිහිපත් කරයි. ”මගීන් බොහොමයක් ‘ලැජ්ජයි’ යනුවෙන් කෑගසද්දී සන්නද්ධ නිල් කබා කාරයෝ අප වෙත කඩාපැන්නෝය. හැලිෆැක්ස්හි සිට යුද නැව් සමූහයක් සමග අප ශාරීරිකව නාවික කටර් යාත්‍රාවක් වෙත රැගෙන ආවේය. නාවිකයින් කිහිප දෙනෙක් මා තදින් අල්ලාගෙන සිටියදී මගේ උදව්වට පැමිනි වැඩිමහලූ ලමයා සිය කුඩා අත්වලින් නිලදරුවෙකුට පහර දුන්නේය. “තාත්තේ මම එයාට ආයෙත් ගහන්ටදැයි” ඔහු කෑගැසීය. ඒ වන විට ඔහුට වයස අවුරුදු 11කි. ඒ බ්‍රිතාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඔහු ඉගෙනගත් පලමුවෙනි පාඩමයි.”

ජර්මානු සෙබලු 850ක් රඳවා සිටි, ජර්මානුවන් වෙනුවෙන් සූදානම් කර තිබූ ඇම්හර්ස්ට්හි කඳවුරකට ට්‍රොට්ස්කි යුද සිර කරුවෙක් ලෙස ගෙන ගිය අතර ඔහුගේ බිරිඳ නටාලියා හා වයස 9 හා 11 සිටි ලමුන් දෙදෙනා ද අත්අඩංගුවට ගෙන තිබූ නමුත් හැලිෆැක්ස්හි රැඳී සිටීමට ඉඩ හැර තිබුනි. ඔවුන් රඳවා තබන ලද නිල හේතුව ඔහු වෙත දැනුම් දුන්නේ දිනකට පසුව කඳවුරේ අනදෙන නිලධාරී කර්නල් මොරිස් විසින්ය. “ඔබලා වත්මන් රුසියානු ආන්ඩුවට අන්තරායකාරීයයි” ඔහු පැවසීය.

අප්‍රේල් 3-4 (පැරනි මාර්තු 21-22) පෙට්‍රොග්‍රෑඩය: ලෙනින්ගේ “ඈත සිට එවූ” සංස්කරනය කල පලමු ලිපිය ප්‍රව්ඩා පුවත්පතේ පල කෙරේ

ප්‍රව්ඩා පත්‍රය අත දරා සිටින කමනෙව්

ප්‍රව්ඩා කතෘ මන්ඩලය බෙහෙවින් සංස්කරනය කරන ලද ලෙනින්ගේ පලමු “ඈත සිට එවූ” ලිපිය පල කරයි.

පෙබරවාරි නැගිටීම් වලින් පසුව රුසියානු විප්ලවය පිලිබඳ ලෙනින්ගේම න්‍යායික සංකල්පය වර්ධනය වූ ආකාරය ලිපිය පිලිබිඹු කලේය. නොනවතින විප්ලවය පිලිබඳ න්‍යාය නමෙන් සඳහන් නොකර ලෙනින් ලියොන් ට්‍රොට්ස්කි සමග ඓතිහාසිකව අනන්‍ය වන ආස්ථානයන් ගෙනහැර දැක්වීය.

ලෙනින් මෙසේ ලියයි, “අප කිසියම්ම හෝ මිත්‍යාවන්ට ඉඩ නොතබමු.” සාර්වාදී ප්‍රතිගාමිත්වයේ හා ධනේශ්වර ලිබරලුන්ගේ බලවේග අතර මතභේද “ප්‍රගාඪ නැත, ඒවා තාවකාලිකය, වත්මන් සිදුවීම් පිලිබඳ ප්‍රශ්න මුලුමනින්ම අධිරාජ්‍යවාදී යුද්ධයේ සිදුවීම් හදිසියේ මාරුවීමේ ප්‍රතිපලයයි.” තාවකාලික ආන්ඩුව ජනතාව ඉල්ලා සිටින සාමය හා රැඩිකල් සමාජ වෙනස අත්කර දීමට අසමත්වන විට ධනේශ්වරය, දුගී ගොවීන් හා කම්කරුවන් මැඞීම සඳහා පැරනි රාජාන්ඩුවේ බලවේග සමග පෙලගැසෙනු ඇතැයි ලෙනින් අනාවැකි පල කලේය.

ලෙනින් මෙසේ ලියයි, තාවකාලික ආන්ඩුවට, “ජනතාවට සාමය, පාන් හෝ නිදහස ලබාදීමට අවංක උවමනාවක් තිබුන ද (ගුච්කොව් හා ල්වොව් අවංක යයි සිතිය හැක්කේ ලදරුවන්ට පමනි) ඒවා ඉටුකල නොහැකිය.” අර්ධ නිර්ධනීන්, සුලු ගොවි ජනතාව ඇතුලු රුසියානු නිර්ධන පන්තිය, ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග සන්ධානයේ පදනම මත, “වත්මන් සංක්‍රමන තත්වයේ විශේෂත්වයන් ප්‍රයෝජනයට ගනිමින්, ගුච්කොව්-මිලියුකොව් අර්ධ රාජාන්ඩුව වෙනුවට, පලමුව ප්‍රජාතන්ත්‍රික සමූහාන්ඩුවක් ද ඉඩම් හිමියන්ට එරෙහිව ගොවිජනතාවගේ පූර්න ජයග්‍රහනය ද අත්කර ගැනීම සඳහා හා ඉන් පසුව යුද්ධයෙන් හෙම්බත්ව සිටින ජනතාවට සාමය, පාන් හා නිදහස ලබාදිය හැකි එකම තත්වය, එනම් සමාජවාදය කරා ද පෙරට යනු ඇත, යා හැකිය.”

ලෙනින් නොසිටියදී කමනෙව්, ස්ටැලින් හා මුරනොව් විසින් නායකත්වය දෙන ලද දක්ෂිනාංශික සුලුතරය, පක්ෂය තුල ගැඹුරු කැලඹීමක් ඇති කරමින් ආන්ඩු ගැති හා යුදවාදී පිලිවෙතක් ප්‍රචාරය කිරීම පිනිස බොල්ශෙවික් පුවත්පත යොදාගත්හ. ප්‍රව්ඩා කතෘ මන්ඩලය, ලිපියෙන් සියයට 20ක් පමන කපාහැර, සමහර ඡේද මුලුමනින්ම යලි ලියන ලදී. එම සංස්කරනයේ බලපෑම එල්ල වුනේ, මෙන්ෂෙවික් හා සමාජ විප්ලවවාදී නායකයින්ගේ ද තාවකාලික ආන්ඩුවේ ද විවේචනවල සැර බාලකිරීම හා ඉවත්කිරීම සඳහාය.

අප්‍රේල් 6 වොෂින්ටනය: ඇමරිකාව ජර්මනියට එරෙහිව යුද ප්‍රකාශ කරයි

ඇමරිකාවට ජයවේවා, ලේ හොඳයි! එම්. ඒ. කෙම්ෆ්ගේ ලිපිය මාසස් හි 1917 ජූනි පලමු වරට පලකරන ලදි

ඇමරිකාව ජර්මනියට විරුද්ධව යුද ප්‍රකාශ කිරීම, ඉතිහාසයේ සන්ධිස්ථානයක් සලකුනු කරයි. එය වනාහි ලෝකය පුරා ඇමරිකානු පාලක පන්තියේ අධිරාජ්‍යවාදී අභිලාෂයන් ප්‍රචන්ඩ ලෙස අවධාරනය කරන ගුනාත්මක වර්ධනයක් සලකුනු කිරීමකි. එය, ඊලඟ සියවසේ මානව ඉතිහාසය හැඩගන්වනු ඇති ගෝලීය ආධිපත්‍යද සඳහා වන වොෂින්ටනයේ වඩාත් ඉවබව නැති හා දරුනු ව්‍යායාමයකි.

කොන්ග්‍රසය යුද ප්‍රකාශ කල යුතු බව දන්වමින් ජනාධිපති වුඩ්රෝ විල්සන් විසින් කරන ලද ඉල්ලීම තුල ඔහු, උතුරු අත්ලාන්තික් කලාපයේ, මධ්‍යධරනී ප්‍රදේශයේ වෙලඳාමට ජර්මානු සබ්මැරීන් වලින් එල්ල වන තර්ජනය මෙන්ම මෙක්සිකෝව සමග ඇමරිකාවේ රාජ්‍ය තාන්ත්‍රික උපාමාරු ගැන ද සඳහන් කරයි. නිල වශයෙන් යුද්ධ ප්‍රකාශ කරන අවස්ථාව වන විට ඇමරිකානු අධිරාජ්‍යවාදය, යුදවාදී රටවල් සමග සිදුවන ඇමරිකානු නිර්යාත 1913 ඩොලර් මිලියන 824.8 සිට 1917 වන විට බිලියන 2.25 ක්වා ඉහල යද්දී නොවැලැක්වියහැකි පරිද්දෙන් ගැටුමේ පැටලෙමින් සිටියේය. ඇමරිකාව යුද්ධයට සම්බන්ධ නොවන බවට විල්සන් කලින් දුන් සියලු පොරොන්දු කඩ කලේ, “ලෝකය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සුරක්ෂිත තැනක්” කිරීම පිනිස ඇමරිකාවේ මිලිටරි මැදිහත්වීම අවශ්‍ය බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමිනි.

නොවි මීර් පුවත්පතේ මාර්තු 22දා පල කල “යුද්ධය හා විප්ලවය” (War and the Revolution) නමැති ලිපිය තුල ට්‍රොට්ස්කි, ඇමරිකාව යුද්ධාවතීර්න වීමට යටින් පැවති ක්‍රියාවලිය විශ්ලේෂනය කලේය:

එක්සත් ජනපදයේ පාලක පන්තීන්ට නතර විය නොහැකිය. යුද කර්මාන්තය හා එහි නිවුන් සොහොයුරා වන මූල්‍ය ප්‍රාග්ධනය පාලකයින්ගේ අධිෂ්ඨානය මත පීඩනය යොදයි. ඒ අතර ඔවුන් පහතින් යෙදෙන උග්‍ර අර්බුදයෙන් යුද්ධයේ අගාධය තුලට තල්ලු කරයි. ඇමරිකාවේ “සාමවාදී” ආන්ඩුවට, තමන්ගේ පූර්ව නියමිත කර්තව්‍යයේ ඉටුකිරීමට බලකෙරී ඇත: අවසන් මහ බලවතා ද යුද්ධයේ ලේවැකි පාසැල තුලට ඇද දැමීමට. මෙම කාරනය අපට පෙන්වා දෙන්නේ, සිදුවීම් හා ජනතාවන් පාලනය කිරීමේ හැකියාව හා ශක්‍යතාව ධනේශ්වරය අතින් ගිලිහී ගොස් ඇති තරමයි. ධනවාදයේ සීමාන්තික බලවේග ස්වයංක්‍රීය රුදුරු භාවයකින් ක්‍රියා කරයි.

පොල්ගොඩි අකුරෙන් නිව් යෝර්ක් ටයිම්ස්හි පල කල සිරස්තලයකින් කයිවාරු ගසන්නේ ඇමරිකාව, පොර පිටියට යැවීම පිනිස සෙබලුන් පන් ලක්ෂයක නව හමුදාවක් ගොඩනගා ඇති බවයි. යුද්ධය අවසන් වන විට ඇමරිකානු හමුදා බලඇනි 116,000ක ජීවිත හානි හා 204,000 තුවාල ලබා ඇත.

අප්‍රේල් 6 (පැරනි මාර්තු 23) පෙට්‍රොග්‍රෑඩය: විප්ලවවාදී වීරයන්ගේ මහා අවමංගල්‍යයක් මාර්ස් පිටියේදී පවත්වයි

මාර්ස් පිටියේ අවමංගල්‍ය ය

පෙට්‍රොග්‍රෑඩයේ ලක්ෂ සංඛ්‍යාත කම්කරුවෝ, සෙබලුහා අනෙකුත් වාසීහු මාර්ස් පිටියට ගමන්ගනිමින් පෙබරවාරි විප්ලවයේ දින පහක් තුල මිය ගිය අයට ගෞරව දැක්වූහ. මිය ගිය 1,300ට වැඩි පිරිසක් සැමරීම පිනිස දිනය තුල වීරයන්ගේ සොහොන් බිම් පසුකර 800,000ක් ගමන් කර තිබුන බවට ගනන් බලනු ලැබින.

පෙබරවාරි විප්ලවය පසු කාලයකදී “ලේ හැලීමකින් තොර” යයි මිත්‍යාකරනය කල ද යථාර්තයේදී රාජාන්ඩුව ජනතාවගේ පෙලපාලි මගින් මතු කරන ලද තර්ජනයට, විප්ලවය ලේ වලින් නැහැවීමේ ආශාවකින් යුක්තව ප්‍රචන්ඩ ලෙස ප්‍රතිචාර දැක්වීය. පෙබරවාරි විප්ලවයේදී මිය ගිය වැඩි දෙනා පොලිසිය හා හමුදා ඒකක විසින් පෙබරවාරි 26දා ගොඩනැගිලිවල ඉහල මහල්වල සැඟවී වෙඩි තැබීමෙන් ඝාතනය කල පෙලපාලිකරුවන්ය.

කම්කරුවෝ සිය උරහිස් මතින් රතු මිනී පෙට්ටි ගෙන ගිය අතර ගමන් ගන්නා විට දේශපාලන බැනර් ද ඔසවාගෙන සිටියහ. ට්‍රොට්ස්කිගේ සටහන් වලට අනුව, විබෝග් දිස්ත්‍රික්කයේ කම්කරු බල ඇනිය, ඒවා මෙන්ෂෙවිකයන්ගේ බැනර් පසෙකින් ලෙල දුන්න ද බොහෝ බොල්ශෙවික් බැනර් රැගෙන ගියහ. පෙට්‍රොග්‍රෑඩ් සෝවියට් සභාවේ නායකත්වය විසින් පෙලපාලිකරුවන් මාර්ස් පිටියේදී පිලිගනු ලැබින. සිය රුසියානු විප්ලවයේ ඉතිහාසය තුල ට්‍රොට්ස්කි පසුව මෙසේ ලිවීය, “මිනී පෙට්ටි වලවල් තුලට බහාලද්දී, පීටර් හා පෝල් බලකොටු වලින් අවමංගල්‍යයේ පලමු වෙඩි මුරයේ හඬ නිකුත් විය. එය ජනතාවගේ නොගිනිය හැකි කොටසක් කලබලයට පත් කලේය. එම කාලතුවක්කු නව හඬක් නිකුත් කලේය; අපගේ කාලතුවක්කු අපගේ ආචාරය.” ට්‍රොට්ස්කි මෙසේ පවසයි, “ජීවිතයේ ප්‍රීතිය සමග ජයග්‍රාහී විලාසයකින් යුත් අවමංගල්‍යයක පෙරහැර, දින පහක අවසන් සංධ්වනියේ දැවැන්ත හුයපටක් විය.”

අප්‍රේල් 6-8 ගෝතා: ජර්මනියේ ස්වාධීන සමාජ ප්‍රජාතන්ත්‍ර පක්ෂයේ (යුඑස්පීඩී) ආරම්භක සමුලුව

යූඑස්පීඩීයේ ජාතික විධායක සභා සාමාජිකයින් පසෙකින්, 1919 දෙසැම්බරයේ පැවත්වූ ලිප්සිග් සමුලුවේ ඔස්ට්‍රියානු සමාජ ප්‍රජාතන්ත්‍ර පක්ෂයේ ආරාධිත නියෝජිතයින්. පෙනී සිටින අය අතර ෆ්‍රෙඩ්රික් ඇඩ්ලර් (වමේ සිට සිව්වැනියා) ආතර් ක්‍රිස්පියන්, විල්හෙල්ම් ඩිට්මන්, ලෝරි ඇග්නස්, රිචඩ් ලිපින්ස්කි, විලියම් බොක්, ඇල්ෆ්ර්ඩ් හෙන්කි, ෆ්‍රෙඩ්රික් ගෙයර්, කර්ට් ගෙයර්, ‍ෆ්‍රිට්ස් සුබේල්, ෆ්‍රිට්ස් කූනර්ට්,ජෝර්ජ් ලෙඩිබෝ, එමෑනුවෙල් වූර්ම්

කොන්ග්‍රසයෙන් සහභාගී වූ 143 දෙනා, ධනපතියන් හා ආන්ඩුව සමග “පක්ෂයේ සාමය” (Burgfrieden) පිලිබඳ ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කල, බොහොමයක් සමාජ ප්‍රජාතන්ත්‍ර පක්ෂයේ හිටපු සාමාජිකයන් වන ලක්ෂයක් දෙනා නියෝජනය කලහ. සමාරම්භකයෝ යූඑස්පීඩීය පිහිටුවීමට දේශපාලනිකව සූදානම්වීම කෙසේ වෙතත් එවැන්නක් අදහස් කර තිබුනේවත් නැත.සමාරම්භකයෝ යූඑස්පීඩීය පිහිටුවීමට දේශපාලනිකව සූදානම්වීම කෙසේ වෙතත් එවැන්නක් අදහස් කර තිබුනේවත් නැත. එයට මුල් වූයේ, එස්පීඩීයේ හා ජර්මානු පාර්ලිමේන්තුව (රයිස්ටෑගය) තුල එහි නියෝජිතයින්ගේ යුදගැති පිලිවෙත ප්‍රතික්ෂේප කල, 1917 ජනවාරි 7දා වන විට එස්පීඩීය තුල සිටි සියලු කන්ඩායම්වල හා ප්‍රවනතාවන්ගේ ජාතික සමුලුවයි.

ඔවුන්ගෙන් එක් කන්ඩායමක්, යුද්ධය කෙරෙහි සිය ප්‍රකාශිත විරුද්ධත්වය තිබුනේවී නමුත් නව පක්ෂයක් හැදීමට පක්ෂ නොවූ, මාධ්‍යමික සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරී කන්ඩායමයි. එහෙත් එස්පීඩී නායකත්වය දින 10ක් තුල මෙම සමුලුවට ප්‍රතිචාර දැක්වූයේ, මෙම කන්ඩායම් වලට අයත් සියලු සාමාජිකයින් හා ආධාරකරුවන් වහාම නෙරපා හැරීමෙනි. ඒ අනුව ඔවුන්ට යූඑස්පීඞීය හැදීමට බල කෙරුනි.

නව පක්ෂයට අති මූලිකව වෙනස්වූ ප්‍රවනතා දෙකක් ඇතුලත් විය.

පලමුවැන්නට, “ඇඳා ගැනීම් හා වන්දි ගෙවීමෙන් තොර සාමය” දේශනා කල කාල් කවුට්ස්කි, එඩුවාඩ් බර්න්ස්ටයින්, හියුගෝ හසි හා පෝල් ඩිට්මන් වැනි මාධ්‍යමික දේශපාලඥයෝ නායකත්වය දුන්හ. ඔවුන් තර්ක කලේ මේ සාමය, වැඩකරන ජනතාවගේ විරෝධතා මගින් සහාය ලත් පාර්ලිමේන්තු නියෝජිතයින් මගින් “අධිරාජ්‍ය ආන්ඩුවට බලපෑම්” කිරීමෙන් අත්කරගත හැකිය කියාය. මේ ක්‍රියාමාර්ගය මූලිකවම අරමුනු කලේ, යුද්ධය හා ආන්ඩුව කෙරේ වැඩකරන ජනතාවගේ වැඩෙන වෛරය පාලනය කිරීමටත්, කම්කරු පන්තිය බලමුලු ගැන්වීම හා ඔවුන් බලය අල්ලා ගැනීම වැලැක්වීමත්ය.

දෙවැන්න, රෝසා ලක්සම්බර්ග් හා කාල් ලිබ්නෙක්ට්ගේ ස්පාටකස් ලීගය විසින් නායකත්වය දෙන ලද විප්ලවකාරී ප්‍රවනතාවයි. ඔවුන් ආරම්භක සම්මේලනයේ නියෝජිතයින්ගෙන් සුලුතරයක් නියෝජනය කලේය. “ප්‍රධාන සතුරා රට තුලය” යන ලිබ්නෙක්ට්ගේ සටන් පාඨය යටතේ ඔවුහු, ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් යුද්ධය නිමා කිරීමටත්, අධිරාජ්‍ය ආන්ඩු පෙරලා දැමීමටත් සටන් වැද සිටියහ. එහෙත් රෝසා ලක්සම්බර්ග් මෙන්ම කාල් ලිබ්නෙක්ට් ද මාස ගනනක් තිස්සේ සිරගෙදර සිටියදීය ආරම්භක සමුුලුව පැවැත්වූයේ. මෙයම වුවත් පෙන්නුම් කලේ, ස්පාටකස් ලීගය ඒ වන විට කොන්ග්‍රසය තුල දැරවේ ප්‍රතිවිරුද්ධ ආස්ථානයක් බවය.

මාධ්‍යමික යූඑස්පීඩී නායකයින්ගේ “ඈඳාගැනීම් වලින් තොර සාමය” යන ඉල්ලීම එස්පීඩීයේ යුද ගැති සමාජ ස්වෝත්තමවාදී පිලිවෙත් සඳහා කඩතුරාවක් බව රෝසා ලක්සම්බර්ග් පැහැදිලි කලාය. එහෙත් සමුලුව අවසානයේදී කාල් කවුට්ස්කි විසින් කෙටුම්පත් කල ප්‍රකාශනය “හරියටම මේ සාම ක්‍රියාමාර්ගයම” අන්තර්ගත කර ගත්තේවී නමුත් එයට විරුද්ධව ඡන්දය දී තිබුනේ එක් අයෙක් පමනි. යූඑස්පීඩීය තුල ස්වාධීනව සිටීමේ ස්පාටකස් ලීගයේ ඉල්ලීමට ඉඩ ලැබුන ද එය තමන්ගේම ස්ථාවර සංවිධානය ගොඩ නැංවූයේ නැතුවාක් මෙන්ම එය යූඑස්පීඩීය තුල කන්ඩායමක් ලෙස පෙනී සිටියේ ද නැත. 1918 ජර්මනියේ නොවැම්බර් විප්ලවය ආරම්භ වන තෙක්ම ස්පාටකස් ලීගය යූඑස්පීඩීයෙන් කැඩී ගියේ නැත.

හජාජාක ජර්මානු ශාඛාවේ ඓතිහාසික පදනම් පිලිබඳව තවදුර කියවන්න.

අප්‍රේල් 7 (පැරනි මාර්තු 25) පෙට්‍රොග්‍රෑඩය: තාවකාලික ආන්ඩුව ධාන්‍ය පිලිබඳව රාජ්‍ය ඒකාධිකාරය පිහිටුවයි

1917 මුල පෙට්‍රොග්‍රෑඩයේ බඩු කඩයක් ඉදිරිපිට පෝලිමක්

දිග්ගැස්සෙන ආහාර අර්බුදය හමුවේ තාවකාලික ආන්ඩුවට “පාන් පිලිබඳ ගනුදෙනු රජයේ පාලනයට [vrasporiazhenie] ගෙන ඒමටල බල කෙරේ. නීතියට අනුව පාන් හා ධාන්‍ය අයිතිකරුවන් තමන් රජයට දිය යුතු ප්‍රමානය කෙතරම්දැයි වාර්තා කිරීම අවශ්‍යය. නියමිත සලාකයට අමතරව ඇති සියලු පාන් හා ධාන්‍ය ප්‍රාදේශීය ආහාර සලාක කමිටු හරහා රජයට බාරදිය යුතු විය. තමන්ගේ ධාන්‍ය හා පාන් බාර නොදුන් ගොවීන්ගේ බඩු තොග බලෙන් අත්පත්කර ගැනීමට නියමිත විය. මේ පියවර බලාපොරොත්තුවු ප්‍රතිපලයේ ප්‍රතිවිරුද්ධය සලකුනු කලේය. නීතිය ගැන කෝපයට පත් බොහෝ ගොවීන් තම ධාන්‍ය හා පාන් තමන් සන්තකයේම තබාගත් අතර පෙබරවාරි විප්ලවයට ප්‍රධාන හේතුව වූ ආහාර අර්බුදය තවත් ගැඹුරු විය.

අප්‍රේල් 9 (පැරනි මාර්තු 27) පෙට්‍රොගෑඩය: තාවකාලික ආන්ඩුව “යුද අරමුනු පිලිබඳ ප්‍රකාශනය” නිකුත් කරයි

මාර්තු 15 ( පැරනි මාර්තු 2) සිටි තාවකාලික ආන්ඩුවේ සාමාජිකයෝ විදෙස් කටයුතු ඇමති ලෙස පවෙල් මිලියුකොව්, අගමැති ලෙස ල්වොව් ආදිපාද, අධිකරන ඇමති ලෙස ඇලෙක්සැන්ඩර් කෙරන්ස්කි, ප්‍රවාහන ඇමති ලෙස නිකොලායි නෙක්රෙසෝව්, වෙලඳ හා කර්මාන්ත ඇමති ලෙස ඇලෙක්සැන්ඩර් කොනොවලොව්, ජනතා ප්‍රබෝධය පිලිබඳ ඇමති ලෙස ඇලෙක්සැන්ඩර් මනියුලොව්, යුද ඇමති ඇලෙක්සැන්ඩර් ගුච්කොව්, කෘෂිකර්ම ඇමති ලෙස ඇලෙක්සැන්ඩර් ෂින්ගරීව් හා මුදල් ඇමති ලෙස මිකායෙල් ටෙරෙෂෙන්කෝ

තාවකාලික ආන්ඩුව, අගමැති ල්වොව් විසින් අත්සන් තබන ලද “යුද අරමුනු පිලිබඳ ප්‍රකාශනය” නිකුත් කරයි. ප්‍රකාශනය, “නිදහස් රුසියාව” අනෙක් මිනිසුන් මැඬීමට උත්සාහ නොකරන අතර “ජනතාවගේ පූර්න ස්වයංතීරනයේ පදනම මත සම්පූර්න නිදහසට” සහයෝගය දක්වන බව නොපැහැදිලි ලෙස අවධාරනය කරමින්, යුද්ධයේ වගකීම සාර් තන්ත‍්‍රයේ කර පිට පැටවීය. ඒ අනුව “ඈඳාගැනීම් වලින් හා වන්දි වලින් තොර සාමයක්” පිලිබඳ සටන්පාඨය මගහරිමින් ප්‍රකාශනය, තාවකාලික ආන්ඩුව අනුගමනය කරන්නේ ආරක්ෂනවාදී යුද්ධයක් පමනක් ය යන මතය ඇති කලේය.

ප්‍රකාශනය, තාවකාලික ආන්ඩුව හා සෝවියට් සභා නායකත්වය අතර ඇතිවූ අභ්‍යන්තර ආරවුලේ ප්‍රතිපලයක් විය. රුසියානු ධනේශ්වරයේ යුද ව්‍යායාමය බෙහෙවින් දිරිමත් කරමින් ඇමරිකාව යුද්ධාවතීර්න වීමෙන් දිනකට පසුව, විදෙස් ඇමති පවෙල් මිලියුකොව්, ප්‍රෝඩාකාරී ලෙස “ජාතීන්ගේ ස්වයංනීර්න අයිතියට” ගරු කරන බව පෙන්වන අතර ප්‍රසිද්ධියේ කියා සිටියේ, රුසියානු ආන්ඩුව කොන්ස්තන්තිනෝපලය, ආර්මේනියාව, උතුරු පර්සියාව අල්ලා ගැනීමටත්, ඔස්ට්‍රියාව හා තුර්කිය බෙදාගැනීමටත් සටන් කරන බවය. සියල්ලටත් වඩා මෙයින් තාවකාලික ආන්ඩුව අපකීර්තියට පත්වනු ඇතැයි බියවූ මෙන්ෂෙවික් සෙරටෙලි අවධාරනය කලේ, තමන් යුද්ධය ගෙන යන්නේ ආරක්ෂන අරමුනකින් පමනක් බවට ආන්ඩුව ප්‍රකාශයක් නිකුත් කල යුතු බවයි.

ට්‍රොට්ස්කිගේ වචන වලින් ප්‍රකාශනය “පුස්සක්” වූ නමුත් එයට, මෙන්ෂෙවිකයන් අතරින් පමනක් නොව, ප්‍රධානකොටම ස්ටැලින් හා කමනෙව් යන බොල්ශෙවික් දක්ෂිනාංශය අතරින් ද පල වුනේ සතුටුදායක ප්‍රතිචාරයකි. ලෙනින් රුසියාවට පෙරලා ඒමට සිව් දිනකට පෙර ප්‍රව්ඩා පත්‍රය, “තාවකාලික ආන්ඩුව පැහැදිලිව හා නිශ්චිත ලෙසම සමස්ත ජනතාව ඉදිරිපිට නිවේදනය කර ඇත්තේ, රුසියාවේ අරමුන අනෙකුත් ජාතීන් යටත්කර ගැනීම නොවන බවය” යන සිරස්තලය යටතේ කතුවැකියක් පල කලේය. ඊට සපුරා පටහැනි ලෙස ලෙනින්, ප්‍රකාශනය හෙලා දුටුවේය. අප්‍රේල් 13දා පල කල ඔහුගේ, යුද්ධය හා තාවකාලික ආන්ඩුව යන ලිපියෙන්, ප්‍රකාශනය තුල අන්තර්ගත වන්නේ, “සාමයේ කොන්දේසි නොව, පොදු මූලධර්ම පමනක් බවත්, සාම කොන්දේසි සකස් කල හැක්කේ අපගේ මිතුරන්ගේ අදහස් විමසා පමනක් බවත් මිලියුකොව් විසින් විවෘතව පවසා සිටි ප්‍රකාශය ගැන සඳහන් කරමින් ලෙනින් මෙසේ ලිවීය:

යුද්ධයේ ගිනිසිලු වලට පවන් ගැසූ මිනිසුන් රුසියාවේ නමින් කථා කරමින් සිටී. ඈඳාගැනීම් වලින් තොර සාමය පිලිබඳ වැදගැන්මකට නැති කථාවලින් කම්කරුවන් හා සෙබලුන් හෙම්බත්ව සිටින අතර යුද්ධයෙන් තරවූ මිලියනපතියන් කුඩා කල්ලියකට පමනක් වාසි සලසන පිලිවෙතක් නිහඬව අනුගමනය කරයි. සහෝදර වරුනි, කම්කරුවනි, සෙබලුනි! ඔබගේ සියලු රැස්වීම් වලදී මිලියුකොව්ගේ මේ ප්‍රකාශය කියවා හෙලිදරව් කරන්න! තවමත් මිලියුකොව්ට පූජනීය වූ, දෙවන නිකොලස් සාර් විසින් ඇතිකරගත් රහසිගත ගිවිසුම්වල නාමයෙන් මිය යාමට තමන් සූදානම් නැති බව පෙන්වා දෙන්න!

අප්‍රේල් 8 ස්විට්සර්ලන්තය (පැරනි මාර්තු 27 ) : ලෙනින් ස්විස් කම්කරුවන්ට සමුගැනීමේ ලිපිය ලියයි

ස්විට්සර්ලන්තයේදී ලෙනින් ඡායාරූපගත කරයි

ස්විට්සර්ලන්තයෙන් නික්ම යාමට පෙර ලෙනින්, “ස්විස් කම්කරුවන් වෙත සමුගැනීමේ ලිපිය” ලියයි. රුසියානු විප්ලවය ලෝක සමාජවාදී විප්ලවයේ ආරම්භක අදියරය යන සිය සංකල්පය ඉන් ගෙනහැර දැක්වේ. ලෙනින් මෙසේ ලිවීය:

අධිරාජ්‍යවාදී යුද්ධය විසින් වෛෂයික අනිවාර්යතාවක් බවට පත්කරන ලද විප්ලව මාලාවක් ආරම්භ කිරීමේ අසීමිත ගෞරවය රුසියානු නිර්ධනීන්ට හිමිවේ. එහෙත් ලෝක කම්කරුවන් අතරින් තෝරාගනු ලැබ ඇත්තේ රුසියානු විප්ලවවාදී නිර්ධනීන්ය යන අදහස අපට මුලුමනින්ම ආගන්තුකය. රුසියානු නිර්ධනීන් අනෙකුත් රටවල නිර්ධනීන්ට වඩා, අඩුවෙන් සංවිධානය වූ ද අඩුවෙන් සූදානම් වූ ද අඩු පන්ති විඥානයකින් යුතු වූ ද කොටස බව අපි හොඳින්ම දැන සිටිමු. එය ඔවුන්ගේ විශේෂ ගුනයක් නොවේ, ඓතිහාසික අවස්ථාවන්හි විශේෂ සිදුවීම් පිලිබඳ නිශ්චිත, සමහර විට ඉතා කෙටි කාලයකට රුසියානු නිර්ධනීන් සමස්ත ලෝකයේම නිර්ධන පන්තියේ පෙරටු බල ඇනිය බවට පත්කර තිබේ.

රුසියාව ගොවි රාජ්‍යයකි, එය යුරෝපීය රටවල් අතර අතිශයින්ම පසුගාමී රටකි. එරට සමාජවාදය සෘජුව හා වහාම ජයගත නොහැකිය. රුසියානු නිර්ධන පන්තියට තනි අතින් සමාජවාදී විප්ලවය ජයග්‍රාහී අවසානයකට ගෙන ආ නොහැකිය. එහෙත් ඔවුන්ට රුසියානු විප්ලවයට යෝධ තල්ලුවක් දිය හැකි අතර සමාජවාදී විප්ලවය සඳහා වඩාත්ම වාසිදායක කොන්දේසි නිර්මානය කල හැකිය. එසේම සැබෑ අර්ථයෙන් එය පටන් ගත හැකිය. එහි ප්‍රමුඛ, වඩාත්ම විශ්වාසවන්ත හා වඩාත්ම බලාපොරොත්තු තැබිය හැකි සහකරු, එනම් යුරෝපීය හා ඇමරිකානු සමාජවාදී කම්කරු පන්තිය තීරනාත්මක සටන් වලට සම්බන්ධ කල හැකි වාතාවරනයක් වැඩී ඒම සඳහා කොන්දේසි එයට සැකසිය හැකිය.

අප්‍රේල් 5 ලන්ඩනය: බ්‍රිතාන්‍ය ආන්ඩුව ආහාර තොග ගැසීම මත තහනමක් පනවයි.

බ්‍රිතාන්‍යයේ යුද පෝස්ටරයක්

ආන්ඩුවේ ආහාර පාලක ඩෙවන්පෝර්ට් සාමි නිකුත් කල නියෝගයකින් නිවාසවල ආහාර ද්‍රව්‍ය රැස්කර තබාගැනීම තහනම් කල අතර එවන් කටයුතුවල යෙදෙන බවට සැක කරන නිවාස ප්‍රදේශ සෝදිසියට ලක් කිරීමට අවසර ලබා දුන්නේය. එම පියවර පෙන්නුම් කලේ බ්‍රිතාන්‍යයේ වැඩෙන ආහාර හිඟයයි. ආන්ඩුව හා පාලක පන්තිය කනස්සල්ලට පත් වුනේ එමගින් සමාජ නොසංසුන්තා පැනනැගීම පිලිබඳවය.

ජර්මනිය වෙලඳ නැව් ඉලක්ක කිරීමට යූ බෝට්ටු වලට අවසර දෙමින් එහි සීමාවකින් තොර සබ්මැරීන යුද්ධයේ ප්‍රතිපත්තිය ඇරඹීමත් සමග, 1917 මුල පටන් ආහාර අර්බුදය උත්සන්න වෙමින් පැවතුනි. 1916 අස්වැන්න පහත වැටීම සමග අත්වැල් බැඳගත් මේ තත්වය ආහාර මිල ඉහල නැංවීය. 1914 ජූලි සිට 1916 ජූලි දක්වා කාලය තුල ආහාර මිල සියයට 61න් ඉහල නැගුනි. මන්දපෝෂනය දුගී ජනකොටස් අතර පැතිර යමින් තිබුනු අතර ග්ලාස්ගෝ, මැන්චෙස්ටර් හා නිව්කාසල් ප්‍රදේශවල විටමින් සී හිඟකම නිසා ඇතිවන සමේ හා විවිධ රෝග පැතිර ගිය බව වාර්තා විය.

පෙබරවාරි 1දා සිට ස්වේච්ඡා සලාක ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලදී. ඩෙවන්පෝර්ට් යෝජනා කලේ එක් අයෙකු සතියකට පාන් රාත්තල් 4ක්, මස් රාත්තල් දෙක හමාරක් හා සීනි රාත්තල් තුන්කාලක් ආහාරයට ගත යුතු බවයි. ඉන් ලැබෙන්නේ දිනකට කැලරි 1300ක් පමනි. අප්‍රේල් අග ආන්ඩුව, කේක් හා පිටි ආහාර අලෙවියත්, තේ කඩවල නිශ්චිත ද්‍රව්‍ය අලෙවියත් සීමාකරන අමතර නියෝග හා පිටි නිෂ්පාදනය සඳහා නව මාර්ගෝපදේශ පනවනු ඇත.

සමාජ ආතතීන් නැගෙමින් තිබුනි. මාර්තු 21දා, පහත් සේවා තත්වයන් හා බලහත්කාරී අතිකාල ක්‍රමයට විරුද්ධව තම උපකරන බිම තබමින් වැඩ වර්ජනය කල බරෝහි අවි නිෂ්පාදන කම්කරුවන්ට, කම්කරු ආරවුල් අවසන් කල යුතු බවට ආන්ඩුව පැනවූ නියෝගය පිලිගැනීමට බල කෙරුනි. අප්‍රේල් 4දා ආන්ඩුව සියලු වැඩ වර්ජකයින් පවුම් 5ක දඩයකට යටත් කරන බවටත් නායකයින් සියල්ලන්ට ජීවිත කාලීන වහල් භාවයේ දඬුවම් නියම කරන බවටත් ආන්ඩුව තර්ජනය කලේය.

අප්‍රේල් 9 ප්‍රන්සයේ අරාස්: බටහිර පෙරමුනේ අරාස්හි සටන ඇරඹෙයි

බටහිර පෙරමුනේ බ්‍රිතාන්‍ය හා මිත්‍ර පාක්ෂික හමුදා, 1914 පටන් තමන් කොටුකරගෙන සිටි, ජර්මානු ආරක්ෂක වලල්ල බිඳ, යුද්ධය අගල් තුලින් ඉවතට ගැනීම ඉලක්ක කල ප්‍රධාන මෙහෙයුමක් දියත් කලේය. ප්‍රන්ස ජෙනරාල් නෙවිල් විසින් යුද්ධයේ අවසානය යයි පම්පෝරි ගසන ලද සතියකට පසුව සිදුකිරීමට නියමිතව තිබූ ප්‍රන්ස ආක‍්‍රමනයට සම්පාත වන ලෙස එම මෙහෙයුම් සැලසුම් කර තිබුනි.

ආරම්භක නව ජයග්‍රහන තිබියේවී නමුත් ආක්‍රමනය බිහිසුනු රුධිර ස්නානයක් බවට පත්වනු ඇත. අප්‍රේල් 9 සිට මැයි 16 දක්වා සති පහක් තිස්සේ කරන ලද සටන් වලින් පසුව අරාස් සටන 160,000ක බ්‍රිතාන්‍ය හා මිත‍්‍ර පාක්ෂික ජීවිත හානි ද ජර්මානු පාර්ශවයෙන් 125,000ක ජීවිත හානි ද සිදු කලේය.

සටනේ එක් ආරම්භක ජයග්‍රහනයක් ලෙස පෙනී ගියේ කැනේඩියානු හමුදා, මූලෝපායික ස්ථානයක් වූ උතුරු අරාස්හි විමි හෙල අල්ලා ගැනීමයි. එහෙත් අප්‍රේල් 12 වන විට කැනේඩියානු හමුදා සේනාංකයන්ට 10,602ක ජීවිත හානි සිදුවිය. කෙසේ වුව ද කැනේඩියානු ජාතිකවාදීන්, අගල් යුද්ධයේ අමාරු අඩිය බිඳීමට කිසිදු ආධාරයක් නොවූ මෙම ව්‍යසනය පසුව අල්ලා ගනු ඇත්තේ, කැනඩාව “ස්වාධීන ජාතියක් ලෙස මතුව” ඒමේ අවස්ථාවක් ලෙසය.

අප්‍රේල් 9 උතුරු ප්‍රන්සය: එකම දිනකදී ඉංග්‍රීසි කවියන් දෙදෙනෙක් මිය ගියේය.

එඩ්වඩ් තෝමස්

සැතපුම් 20ත් වඩා අඩු පරතරයක් සහිත උතුරු ප්‍රන්සයේ සටන් වැදුනු ස්ථාන දෙකකදී ඉංග්‍රීසි කවියන් දෙදෙනෙකු මිය ගියේය. වඩාත් ප්‍රකට පුද්ගලයා වූ එඩ්වඩ් තෝමස්, බිහිසුනු අරාස් සටනේ පලමු දිනයේදීම මිය ගියේය. ආර්. ඊ. වර්නේඩ්, හව්රින්කෝට් අසල ඉදිරි පෙල මෙහෙයවද්දී මැෂින් තුවක්කු ප්‍රාහාරයකින් මිය ගියේය. වර්නේඩ් ඊට පෙර 1916 සොම් සටනේදී තුවාල ලබා තිබුනි. අද ඔහු වඩාත් ප්‍රකටව ඇත්තේ ඔහුගේ සංග්‍රාම කාව්‍ය හා අනෙකුත් කාව්‍ය නිසාය (1917 ).

තෝමස් ද සංග්‍රාම කවියෙකු ලෙස සිහිපත් කරයි. එහෙත් ඔහු සාහිත්‍ය විවේචකයෙකු ලෙස සාර්ථක පැවැත්මක් ගෙන ගිය අතර කාව්‍යකරනයට හැරී ඇත්තේ 1914 තරම් මෑතකදීය. එවක බ්‍රිතාන්‍යයේ ජීවත්වූ ඇමරිකානු රොබට් ෆ්‍රොස්ට් කවියා කවි ලිවීමට තෝමස් දිරිගන්වා ඇත. නොගන්නා ලද ප්‍රසිද්ධියේ මාවත (“The Road Not Taken”) යන නිර්මානය සඳහා ආවේෂය ලැබුවේ ඔහු තෝමස් සමග ඇවිදීමට ගිය අවස්ථාවල ඔහුගේ අතීරනාත්මක ස්වභාවයෙන් බව පෙනී යයි.

පලමූ වන ලෝක යුද්ධයේ ජනසංහාරයෙහි මේ අවධිය වන විට, ලේඛකයින් හා චිත්‍ර ශිල්පීන් විශාල සංඛ්‍යාවක් සටනේදී මියගොස් තිබුනි. ඒ අතර සාකි යන අන්වර්ථ නාමයෙන් වඩා ප්‍රකට බ්‍රිතාන්‍ය ලේඛක එච්. එච්. මුන්රෝ, බ්‍රිතාන්‍ය රූපට් බෲක් කවියා, පීට් සීගර්ගේ මාමන්ඩිය වූ ඇමරිකානු ඇලන් සීගර් කවියා, ඇලේන් ෆෝනියර් ලෙස වඩාත් ප්‍රකට ප්‍රන්ස නවකථාකරු හෙන්රි-ඇල්බන් ෆෝනියර්, චෙක් ජාතික ෆ්‍රන්ටිසෙක් ගෙල්නර් කවියා, ජර්මානු චිත්‍ර ශිල්පි ෆ්‍රාන්ස් මාර්ක් හා ඕගස්ට් මැකේ, ඉතාලියානු චිත්‍ර හා මූර්ති ශිල්පි උම්බර්ටෝ බොසියානි හා ප්‍රන්ස කලා හා මූර්ති ශිල්පී හෙන්රි ගෝඩියර්-බ්‍රෙතසෙස්කා වූහ. තවත් ලේඛකයින් හා චිත්‍ර ශිල්පීන් දුසිම් ගනනක් මිය යනු ඇත.