රුසියානු විප්ලවයේ මේ සතිය

අප්‍රේල් 17-23: ලෙනින් අප්‍රේල් ප්‍රවාද එලිදක්වයි

2017 අප්‍රේල් 17

වසර සීයකට පෙර මේ සතියේ, පෙර නොවූ විරූ ව්‍යසනයක් හා යුරෝපය පුරා කම්කරු පන්තියේ යන කැලඹීමක සලකුනු මධ්‍යයේ ලෙනින්, පෙට්‍රොග්‍රෑඩය කරා යලි පැමිනෙමින්, තවමත් සෝවියට් සභා තුල සුලුතරයක්ව සිටි තමන්ගේම නායකත්වයේ කොටසකට එරෙහිව අනපේක්ෂිත අයුරින් යුද ප්‍රකාශ කලේය. අප්‍රේල් ප්‍රවාද ප්‍රසිද්ධියට පත්කිරීමත් සමග පක්ෂය තුල ලෙනින් ගෙන ගිය උද්ඝෝෂනය ගැන ට්‍රොට්ස්කි පසුව මෙසේ සඳහන් කලේය. එය “බොල්ශෙවික් සාමාජිකත්වය යලි සන්නද්ධ කිරීම සඳහා ගෙන ගිය අරගලයකි.”

රුසියාවේදී ලෙනින් කථා කරයි

නොනවතින විප්ලවය පිලිබඳ ට්‍රොට්ස්කිගේ සංකල්පයේ හරය පිලිගනිමින්, බොල්ශෙවික් පක්ෂයේ මූලෝපායික දිශානතිය මූලික වශයෙන් වෙනස් කිරීමෙන් තොරව ඔක්තෝබරයේදී කම්කරු පන්තිය බලය අල්ලා ගැනීම සිදු නොවිය හැකිව තිබුනි. මෙම මූලෝපායික යලි සන්ධානගත වීම ලෙනින් පුද්ගලිකව මැදිහත් වෙමින් කල අරගලයකින් තොරව සිදු විය නොහැකිය. ඔහු දීප්තිමත් බුද්ධියක් ද කම්කරු ව්‍යාපාරය තුල හිමිකරගෙන සිටි අධිකාරය හා කීර්තියක් ද වෙහෙස නොබලන අධිෂ්ඨානයකින්ද යුතු අයෙක් විය. ලොව පුරා ඉදිරි පරම්පරාවන්ගේ ජීවිත කෙරෙහි බලපානු ඇති විප්ලවයේ ජයග්‍රහනය සහතික කිරීමට, එවන් ප්‍රගාඪ හා දුරදිග යන බලපෑමක් තනි පුද්ගලයෙකුගේ මැදිහත්වීමෙන් සිදුකල අවස්ථාවක් ඉතිහාසය තුලින් සොයාගැනීම දුෂ්කරය.

1935 මාර්තු 25දා සිය දිනපොතෙහි ට්‍රොට්ස්කි මෙසේ ලිවීය: “මා 1917දී පීටර්ස්බර්ග්හි නොසිටිය ද ඔක්තෝබර් විප්ලවය සිදුවනු ඇත. ඒ ලෙනින් සිටි නිසා ද ඔහු අධිකාරය දැරූ නිසා ද ය. ලෙනින් හෝ මා පීටර්ස්බර්ග්හි නොසිටියා නම් ඔක්තෝබර් විප්ලවය සිදු නොවනු ඇත: එය සිදුවීම බොල්ශෙවික් පක්ෂයේ නායකත්වය විසින් වලක්වනු ලබනවා ඇත, මේ පිලිබඳව මට කිසිදු සැකයක් ඇත්තේ නැත!, ලෙනින් පීටර්ස්බර්ග්හි නොසිටියා නම්, බොල්ශෙවික් නායකත්වයේ ප්‍රතිරෝධය ජය ගැනීමට මට හැකිවනු ඇද්ද යන්න ගැන මට සැකය. ‘ට්‍රොට්ස්කිවාදය’ සමග අරගලය, එනම් නිර්ධන පන්තියේ විප්ලවය සමග, ආරම්භ වනු ඇත්තේ 1917 මැයි මාසයේය, විප්ලවයේ ජයග්‍රහනය ප්‍රශ්නාර්ථයක් වීමට තිබුනි. එහෙත් මා යලි කියන්නේ, ලෙනින් පෙනී සිටි තතු හමුවේ ඔක්තෝබර් විප්ලවය කෙසේ වෙතත් ජයග්‍රාහී වනු ඇති බවයි.”

අප්‍රේල් 17 (පැරනි අප්‍රේල් 4) පෙට්‍රොග්‍රෑඩ්: ලෙනින්ගේ අප්‍රේල් ප්‍රවාද පල කෙරේ

ලෙනින්ගේ අතින් ලියන ලද අප්‍රේල් ප්‍රවාදයන්හි සටහන්

පෙට්‍රොග්‍රෑඩයට යලි පැමිනි වහාම ලෙනින්, ධනේශ්වර තාවකාලික ආන්ඩුවට එරෙහිව නිර්ධන පන්ති විප්ලවය සඳහා අරගලයේ පදනම මත බොල්ශෙවික් පක්ෂය මූලෝපායිකව යලි සන්ධානගත කිරීම සඳහා පක්ෂය තුල අධිෂ්ඨාශීලී අරගලයක් දියත් කලේය.

පෙබරවාරි නැගිටීම් හා ලෙනින්ගේ සම්ප්‍රාප්තිය අතරතුර සතිවල, “විප්ලවය ආරක්ෂා කිරීමේ” නාමයෙන්, කමනෙව්, ස්ටැලින් වැනි පෙට්‍රොග්‍රෑඩයේ ජ්‍යෙෂ්ඨයින් ඇතුලුව බොල්ශෙවික් පක්ෂයේ දක්ෂිනාංශය, පක්ෂ පිලිවෙත තාවකාලික ආන්ඩුවට සහාය දීමට හා යුද්ධය දිගටම ගෙනයාමට යටත් කර තිබුනි.

අප්‍රේල් ප්‍රවාද තුල ලෙනින්, යුද්ධය “කොල්ලකාරී” හා “අධිරාජ්‍යවාදී” යයි පැහැදිලිවම අංගලක්ෂනය කරමින් සිය සහාය, යුදවැදී සිටින හමුදාවන් අතර සහෝදරත්වය ඇතිකිරීම වෙනුවෙන් නොවන බව පැවසීය. තාවකාලික ආන්ඩුව සම්බන්ධ ප්‍රශ්නයේදී ලෙනින්, කම්කරු රාජ්‍යයක් මගින් විස්ථාපනය කල යුතු, පෙබරවාරි විප්ලවයෙන් බිහිවූ යුදවාදී, ධනේශ්වර ගැති තාවකාලික ආන්ඩුවට “කිසිදු සහායක් නොදිය යුතු” බව පැවසීය.

බොල්ශෙවිකයින් පාර්ලිමේන්තුවාදී සමූහාන්ඩුවක් ඉල්ලා නොසිටිය යුතු යයි ඔහු ලිවීය. සෝවියට් සභා දැනටමත් පිහිටුවා තිබීමේ කාරනය සැලකිල්ලට ගන්නා විට, එය ඉදිරියට ගත් “පියවර ආපස්සට ගැනීමක්” වනු ඇත. ඒ වෙනුවට ලෙනින් අවධාරනය කලේ ඉල්ලීම, “වියහැකි එකම විප්ලවවාදී ආන්ඩු රූපය” ලෙස ඔහු අංගලක්ෂනය කල, “ඉහල සිට පහලටම, රට පුරාම, සෝවියට් කම්කරුවන්ගේ, කෘෂිකාර්මික කම්කරුවන්ගේ හා ගොවි නියෝජිතයින්ගේ සමූහාන්ඩුවක් විය යුතු බවය. ‘සියලූ බලය සෝවියට් සභාවන්ට’ යන ස්මරනීය සටන් පාඨය තුල මෙම සංකල්පය පිලිබිඹු විය.

පක්ෂය යලි නම් කිරීමට හා යුද්ධයට සහාය දැක්වීම නිසා නින්දාවට ලක්ව ඇති දෙවන ජාත්‍යන්තරය විස්ථාපනය කරන නව “විප්ලවවාදී ජාත්‍යන්තරයක්” ගොඩනැගීමට ලෙනින් යෝජනා කලේය. මෙන්ෂෙවිකයින් හා සමාජ විප්ලවවාදීන් ද ඇතුලු සුලු ධනපති සියලු බලවේග සමූහයට එරෙහිව පිහිටාගත්, පෙට්‍රොග්‍රෑඞ් සෝවියට් සභාව තුල පක්ෂය “කුඩා සුලුතරයක්” වනු ඇතැයි යන කාරනය ලෙනින් විවෘතවම පිලිගත්තේය. මෙන්ෂෙවිකයින් සමග එක්වීමට අදහස් කිරීම තරම් දුර ගිය පක්ෂයේ දක්ෂිනාංශික සාමාජිකයින්ගෙන් සමහරෙක්, ලෙනින්ගේ ප්‍රවාද “ට්‍රොට්ස්කිවාදය” සමග අනන්‍ය කරමින් හෙලා දුටුවෝය.

1905න් මෙපිට කාලය තුල බොල්ශෙවික් පක්ෂය පෙරට ගෙන ගියේ “නිර්ධන පන්තියේ හා ගොවි ජනතාවගේ ප්‍රජාතන්ත‍්‍රවාදී ආඥාදායකත්වයක්” පිලිබඳ සටන් පාඨයයි. මෙම සටන් පාඨය, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවය පිලිබඳ න්‍යාය හා අවශ්‍යයෙන්ම ධනේශ්වර වූ රුසියානු විප්ලව පිලිබඳ මෙන්ෂෙවික් සංකල්පය අතර මැද පිහිටියේය. ධනේශ්වරය නොමැතිව ධනේශ්වර විප්ලවය සාක්ෂාත් කල හැකියයි අවධාරනය කිරීම මත ප්ලෙඛානොව් හා මෙන්ෂෙවිකයෝ ලෙනින් හෙලා දුටහ. මේ අතර ට්‍රොට්ස්කි, රුසියානු ධනේශ්වරයට විප්ලවකාරී භූමිකාවක් ඉටුකල නොහැකිය යන්න සම්බන්ධයෙන් ලෙනින් සමග එකඟ වුවත්, ගොවිජනතාව සමග සන්ධානය සුරක්ෂිත කිරීම අවධාරනය කිරීම මගින්, විප්ලවය ධනේශ්වර ප්‍රජාතන්ත්‍රීය සීමාවන් තුලට කොටුකර, සමාජවාදී පියවර ගැනීමෙන් කම්කරු පන්තිය වැලකී සිටිය යුතුය යන්න ගම්‍යවන බැවින් ඔහු විවේචනය කලේය. තවදුරටත් ට්‍රොට්ස්කි නිරීක්ෂනය කලේ, “විසිවන සියවසේ ධනේශ්වර රුසියාව තුල, විප්ලවකාරී ගොවි ජනතාව විසින් බලය අල්ලා ගැනීම ගැන කථාවක්වත් නොතිබිය හැකි බවය.”

බොහෝ බොල්ශෙවික් නායකයින් පවා තිගැස්මට පත් කරමින් ලෙනින්, අප්‍රේල් ප්‍රවාද සමගින්, රුසියාවේ විප්ලවවාදී පන්ති දෙකේ “ප්‍රරජාතන්ත‍්‍රවාදී ආඥාදායකත්වය” පිලිබඳ සංකල්පය අතහැර දැමූ අතර ඒ වෙනුවට, කම්කරු පන්තිය විසින් ජාත්‍යන්තරව විප්ලවය පතුරුවා හැරීම මත වාරු වෙමින් රුසියානු කම්කරු පන්තිය බලය අල්ලා ගැනීමේ අවශ්‍යතාව පූර්වයෙන් බැඳී තිබුනු ට්‍රොට්ස්කිගේ තක්සේරුව පිලි ගත්තේය.

මෙම මූලෝපායික යලි සන්ධානගතවීම සාක්ෂාත් කර ගැනීම පිනිස ලෙනින්ට, සහයෝගය සඳහා, මෙන්ෂෙවිකයන්ට එරෙහිව ද අවස්ථාවාදයේ හා සංශෝධනවාදයේ සියලු රූපාකාරයන්ට එරෙහිව ද මාක්ස්වාදයේ ආරක්ෂාව සඳහා ද කල අරගල තුලින් ඔහු පූර්ව දශකයන් පුරාවට අඛන්ඩව සටන් වැද තිබුනු ජාත්‍යන්තර නිර්ධන පන්තික සම්ප්‍රධායන්ගෙන් උගන්වාගත් පක්ෂ නායකත්වයේ පසු පෙල ද පක්ෂ සාමාජිකත්වය ද ඇමතීමට හැකියාව තිබුනි. පසුව ට්‍රොට්ස්කි මෙසේ ලිවීය:

“ඔහුගේ මේ සා පරස්වාචක යයි පෙනී ගිය අප්‍රේල් ප්‍රවාදයන්හි ලෙනින්, පක්ෂයේ ජීවමාන සම්ප්‍රධාය බවට පත්ව තිබූ පැරනි සූත‍්‍රයට එරෙහි ආස්ථානයක පිහිටියේය. තවමත් නවමු වූ නමුත් දැනටමත් පන්ති අරගලයේ සංයුක්ත වර්ධනය පිලිබඳ මතකය යල් පැන ඇති “පැරනි බොල්ශෙවිකයෝ” පක්ෂය පාලක පන්තීන් කෙරෙහි දැක්වූ නොනැමෙන ආකල්පයටත් සියලු අර්ධ පියවරයන් කෙරෙහි පෑ විරුද්ධත්වයටත් එරෙහි විය. එහෙත් මෙන්ෂෙවිකයන්ට එරෙහිව බොල්ශෙවිකයන්ගේ සමස්ත ඓතිහාසික අරගලය මගින් සූදානම් කල ලෙනින්ගේ සහාය අතිශය දැඩි විය....”

“ලෙනින් වනාහි ඓතිහාසික වර්ධනයේ අහඹු චරිතයක් නොව, රුසියානු ඉතිහාසයේ සමස්ත අතීතයේම නිර්මානයක් විය. එහිදී ඔහු ගැඹුරු මූලයන් ගැබ් කර ගත්තේය. කම්කරුවන්ගේ පෙරමුනු බල ඇනිය සමග ඔහු, පෙර සියවස් කාල පුරාම ඔවුන්ගේ අරගල සමග පැවතුනේය. ලෙනින් පක්ෂයට විරුද්ධ වුනේ පිටත සිට නොවේ. ඔහුම එහි වඩාත්ම පරිපූර්න ප්‍රකාශනය විය. කම්කරුවන් උගන්වා ගැනීමේදී ඔහු, ඒ තුලින් තෙමේම උගත්තේය. බොල්ශෙවිකයන්ගේ පාලක කවයන්ගෙන් ඔහුගේ විතැන්වීමේ අර්ථය, පක්ෂයේ අනාගත අරගලයෙහි තේරුම තමන්ගේම අතීතයට එරෙහි අරගලය යන්නයි. පිටුවහල හා යුද්ධයේ කොන්දේසි හමුවේ ලෙනින් කෘතීම ලෙස පක්ෂයෙන් වෙන් නොවුනේ නම්, අර්බුදයේ බාහිර යාන්ත්‍රනය එතරම් නාටකාකාර නොවීමට තිබුනි. පක්ෂ වර්ධනයේ අභ්ය න්තර අඛන්ඩතාව ඒසා පරිමාවකින් වසාගෙන නොපවතිනු ඇත.”

වැඩිදුර කියවීම:

ඬේවිඞ් නෝර්ත්, “20 සියවසේ ඉතිහාසය තුල ට්‍රොට්ස්කි දරන තැන හා ඔහුගේ උරුමය පිලිබඳ යලි සිතාබැලීමට.”

ලියොන් ට්‍රොට්ස්කි, “රුසියානු විප්ලවයේ සංකල්ප තුන.”

අප්‍රේල් 17, ලන්ඩනය: ජර්මනියේ මල මිනී කම්හලක් පිලිබඳව බ්‍රිතාන්‍යය පුවත්පත් කතාවක් පතුරුවා හරියි

පන්ච්, 1917 අප්‍රේල් 25,-1917 බඳවාගත් අයෙකුට කයිසර් මෙසේ පවසයි: “පනපිටින් හෝ මැරුන පසු ඔබ ප්‍රයෝජනයට ගන්නා සැටි කයිසර් දන්නා බව අමතක නොකරන්න.”

නෝර්ත් ක්ලිෆි සාමි වරයාට අයත් ටයිම්ස් හා ඩේලි මේල් පුවත්පත්, ජර්මානු පෙරමුනු වලට පිටුපසින් (Kadaververwertungsanstalt) හෙවත් “මලමිනී උපයෝගී කර ගන්නා කම්හලක්" පවතින බවට චෝදනා කරමින් අතිශයෝක්තියට නැංවූ පුවත් පල කලේය. ඒ අනුව ජර්මානු හමුදාව, සබන් හෝ ඉටිපන්දම් සෑදීමට යොදාගත් තෙල් නිපදවීම පිනිස ජර්මානු හමුදාව විසින් සපයන ලද සෙබලුන්ගේ මලමිනී යොදාගත්තේය. කලක් තිස්සේ මේ කථාව කටකථාවක් ලෙස පතුරුවා හැර තිබුනි. එහෙත් බ්‍රිතාන්‍යයම පුවත්පත් එම කථාව පල කල පලමු වතාව මෙයයි.

මෙහි මූලාරම්භය නෙදර්ලන්තයේ පල කෙරෙන ලා බෙල්ගිකි නමැති බෙල්ජියම් පුවත්පතය. “ජර්මානුවෝ හා ඔවුන්ගේ මලමිනී” යන සිරස්තලය යටතේ ටයිම්ස් පත්‍රය පල කල වාර්තාව, සතුන්ගේ මලකුනු වලින් තෙල් හා අනෙකුත් දෑ වෙන් කර ගන්නා කම්හලකින් නිකුත්වන දුගඳක් ගැන කෙටි කථාවක් පල කල ජර්මානු පුවත්පතක් ආශ්‍රයෙන් ගොතා තිබේ. ජර්මානු විරෝධී මනෝභාවයන් ඇවිස්සීමේ උත්සාහයක් මේ ප්‍රචාර පිටුපස පැවතියේය. චිත්‍ර උපයෝගී කරගෙන උපහාසාත්මක කථාන්තර පල කරන ජනප්‍රිය සඟරාවක් වූ පන්ච්, “කාලතුවක්කු වෙඩිල්ල හා ඉන් පසුව” යන සිරස්තලය සහිතව අප්‍රේල් 25දා විකට චිත්‍රයක් පල කලේය.

මෙම කතන්දරය ජර්මන් විරෝධී ප්‍රචාරක ව්‍යාපාරයේදී බ්‍රිතාන්‍ය පුවත්පත් විසින් යොදාගනු ලැබූ අලුත්ම එක පමනි. බෙල්ජියම තුල ජර්මානු හමුදාවේ ප්‍රචන්ඩ ක්‍රියා අතිශයෝක්තියට නැංවූයේ 1914 දීමය. ඒ ජර්මනියට එරෙහි මහජන මතයක් ඇවිස්සීමට දරූ උත්සාහයක් ලෙසය.

අප්‍රේල් 17, බර්ලිනයේ රෙක්ලින්හෝසන්: ජර්මනිය තුල අඛන්ඩ වැඩ වර්ජන රැල්ල

අල්වින් කෝස්ටන්, ජර්මනියේ වෘත්තීය සමිති හා සමාජ ප්‍රජාතන්ත‍්‍ර පක්ෂයේ නායකයෙක්

වයඹ දිග ජර්මනියේ නගරයක් වන රෙක්ලින්හෝසන් හා හාපිනර් පතලේ කම්කරුවන් 500ට වැඩි පිරිසක් වැඩ වර්ජනය කලේය. එසේම මැග්ඩබර්ග්, හාලි, හැම්බර්ග්, කියෙල්, නර්න්බර්ග්, බාමන් ලිප්සිග් හා බ්‍රෝමන්ස්වෙග් ද ඇතුලු රට පුරා කාර්මික නගරවල ද රූර් ප්‍රදේශයේ කම්හල්වල ද වර්ජන හටගත්තේය. අනාගතයේ ඇතිවිය හැකි වර්ජන මැඩ පැවැත්වීමේ අටියෙන් මැග්ඩබර්ග්හි යුද නීතිය පනවා ඇත. වර්ජන වලට සහභාගී වන අයට දරුනු දඬුවම් පනවන බව ද බලහත්කාරයෙන් හමුදාවට බඳවාගන්නා බවට ද තර්ජනය කරන පෝස්ටර් මිලියටරිය විසින් රටපුරා අලවා ඇත. බර්ලිනයේදී ප්‍රමුඛ සමාජ ප්‍රජාතන්ත‍්‍රවාදීන් වන ගුස්ටාව් බවර් හා ෆිලිප් ස්කීඩ්මන් රාජ්‍ය ලේකම් කාල් හෙල්ෆරිච්ගෙන් හා ලුතිනන් ජෙනරාල් විල්හෙල්ම් ග්‍රෝඩනර්ගෙන් ඉල්ලා සිටියේ, ලිප්සිග්හි වර්ජිත කම්හල් වලින් එන නියෝජිතයන් පිලිගන්නා ලෙසය. ඔවුන් තර්ක කලේ, නියෝජිතයින් පිලිගැනීමට සතයක් වත් වියදම් නොවන බව හා ඔවුන් නොපිලිගැනීම, ලෙහෙසියෙන්ම තත්වය පාලනයෙන් පිටපැන “නිරර්තක ලේහැලීමකට” තුඩුදිය හැකි බවටය.

අල්වින් කෝස්ටන්, ඇල්ෆ්‍රඞ් කොහෙන් හා විල්හෙල්ම් සීරිංග් යන සමිති නායකයින් මිලිටරි ආඥාපතිත්වය විසින් බර්ලිනයේදී පිලිගන්නා ලදුව, අත්අඩංගුවේ සිටින රිචඞ් මුලර් යන විප්ලවවාදී කම්කරු නායකයා නිදහස් කරනු ඇති බවට ඔවුන්ට පොරොන්දු විය. ඈඳාගැනීම් වලින් තොර සාමය, යුද්ධ නීතිය අවසන් කිරීම හා සර්වජන ඡන්දය ඇතුලු ලිප්සිග් රැස්වීමේදී මතු කල දේශපාලන ඉල්ලීම් අත්හල යුතු බවටත් වැඩ වර්ජනය නතර කල යුතු බවටත් නොඑසේ නම් ඔවුන් අත්කරගෙන තිබෙන සියලූ ජයග්‍රහන අහිමි වනු ඇති බවට සමිති නායකයෝ තර්ජනය කලහ. වර්ජන කමිටුව මෙම ඉල්ලීම් අතහැර දමමින් කම්කරුවන් වැඩට යා යුතු යයි අප්‍රේල් 18දා තීරනය කලේය. බර්ලිනයේ සිට ආපසු පැමිනෙන අතරතුර ලිප්සිග් නියෝජිතයෝ මේ නිගමනයට පැමින සිටියහ. මේ අනුව වර්ජනය නතර වනු ඇතැයි බලාපොරොත්තු වුව ද එය එසේ නොවීය.

ස්වාධීන සමාජ ප්‍රජාතන්ත්‍ර පක්ෂයේ හා විප්ලවවාදී ස්පාටකස් ලීගයේ සාමාජිකයින් ද සහභාගී වූ කම්කරු රැස්වීම් අප්‍රේල් 17දා බර්ලින්හි විවිධ කම්හල්වල පැවැත්වින. ලිප්සිග්හිදී ඉදිරිපත් කල ඉල්ලීම් මත පදනම් වෙමින් ඔවුහු වැඩවර්ජනය දිගටම ගෙනයායුතු බව කියා සිටියහ. විවිධ ගනන් බැලීම් වලට අනුව කම්කරුවන් 25,000-50,000 අතර සංඛ්‍යාවක් වෘත්තීය සමිති නායකත්වයේ පාවාදීම හෙලාදකිමින් වර්ජනය අඛන්ඩව ගෙනයාමට ඇති සිය සූදානම ප්‍රකාශ කලේය. බර්ලින්හි නෝර් බ්‍රෙනම්සි කම්හලේ කම්කරුවෝ, ප්‍රමුඛ විප්ලවවාදියෙක් වන කාල් ලිබ්නෙක්ට් නිදහස් කිරීම පිලිබඳ ඉල්ලීම මතු කලහ. ඔවුන් විප්ලවවාදී කම්කරු නායකයෙක් වන පැල් ස්කොල්සි තම කම්කරු කමිටුවේ නායකයා ලෙස පත්කරගත් අතර ඔහු අනෙකුත් කම්කරුවන්ගෙන් ද ඉල්ලා සිටියේ තමන් ගත් මාවත අනුගමනය කරන ලෙසයි.

දිනකට පසුව මිලිටරිය වැඩවර්ජන ව්‍යාපාරය මත කඩා පැන ස්කෝල්සි ද ඇතුලු වැඩවර්ජන නායකයින් තොගයක් අත්අඩංගුවට ගත්තේය. වර්ජනයේ කොටස්කරුවන් බවට පත්වූ කම්හල් මිලිටරි පාලනයට යටත් කලේය.

අප්‍රේල් 19 ගාසාව: ගාසාව අරබයා සිදුවූ දෙවන සටන අවසන් වුනේ දරුනු ජීවිත හානි සමගය

අප්‍රේල් 17 ගාසාව- හානියට පත් බ්‍රිතාන්‍යයේ මාර්ක් 1 යුද ටැංකියක්

තුර්කිය විසින් පාලනය කරන ලද පලස්තීන භූමිභාගයන්හි පිහිටි ගාසාව අල්ලා ගැනීමට, උතුරු ඊජිප්තුවේ සිට ඊසාන දෙසට ගමන් ගනිමින් සති තුනක් ඇතුලත බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියානු හා නවසීලන්ත හමුදාවන් දැරූ දෙවන උත්සාහය අවසන් වුනේ මහත් ව්‍යසනයකිනි. දින තුනක සටනකින් පසුව මිත‍්‍ර පාර්ශවයේ නිල ජීවිත හානි 6,400ට වැඩි වන නමුත් නිල නොවන සංඛ්‍යාවලට අනුව එය 14,000ක් තරම් විය.

මාර්තු 26දා පලමු සටන ද අප්‍රේල් 17දා පටන්ගත් දෙවන සටන ද සලකුනු වුනේ ඉහල නිලධාරීන්ගේ පැත්තෙන් පෙන්වූ බෙලහීනත්වයෙනි. පලමු සටනේදී 2,400ක් වූ තුර්කි ජීවිත හානි සමග සසඳන කල, 4,000ගේ ජීවිත අහිමිවීමෙන් පසුව, තමන්ගේ තැන රැකගැනීම පිනිස ජෙනරාල් ආකිබෝල්ඩ් මරේ ලංඩනයට දන්වා යැවුවේ, බ්‍රිතාන්‍යයම හමුදා ජයග්‍රාහී ලෙස පෙරට යන බවය. සිය හමුදා ප්‍රතිරෝධය බිඳ දැමීමේ අද්දරට පැමින සිටින බව විශ්වාස කරමින් ලන්ඩනය, ඉක්මනින්ම දෙවන ප්‍රහාරයට උත්සාහ කරන ලෙස මරේට දැන්වීය.

පලමු දෙදින තුල තම හමුදා අත්කරගත් සුලු ප්‍රගතියෙන් පසුව අනදෙන නිලධාරී චාල්ස් ඩොබෙල්, මනාව ආරක්ෂා කරන ලද තුර්කි මධ්‍යස්ථාන වලට පෙරමුනු ප්‍රහාරයක් එල්ල කිරීමට තීරනය කරයි. මෙය බරපතල හානි සිදුකල අතර නැගෙනහිර ඇන්ග්ලියන් 54වන සේනාංකයේ පමනක් ජීවිත හානි 2,800ක් විය. වියලි කාන්තාරයේ යුද ටැංකි යෙදවීමේ ව්‍යායාමය ව්‍යර්ත විය.

දෙවැනි පරාජයෙන් ඉක්බිතිව මරේ හා ඩොබෙල් ධුර වලින් ඉවත්කොට එංගලන්තයේ ඔවුන්ගේ ගම්බිම් වෙත ආපසු යැවුනි. ඊලඟ ශීත කාලය තුල තම ආක්‍රමනයට පෙර ඉතාලියෙන් හා ප්‍රන්සයෙන් අතිරේක බල ඇනි ගෙන්වා ගැනීමට මිත්‍ර පක්ෂයේ හමුදාවන්ට සිදු විය.

අප්‍රේල් 23 ක්‍රිහව්ස්නාක්: ජර්මානු හමුදා නායකත්වය ඇඳා ගැනීමේ සවිස්තර සැලසුම් ගෙනහැර දක්වයි

ල්‍යුඩෙන්ඩොෆ් හා හින්ඩන්බර්ග් ජෙනරාල්වරු 1917දී ක්‍රිහව්ස්නාක් මිලිටරි මූලස්ථානයේ

ජර්මන් උත්තරීතර හමුදා ආඥාපතිත්වය හා පාර්ලිමේන්තුවේ චාන්සලර් තියඩොර් වොන් බෙත්මන් හොල්වෙග්, ජර්මනියේ යුද අරමුනු සාකච්ඡා කිරීමට සමලුවක් කැඳවීම සඳහා ක්‍රිහව්ස්නාක්හිදී මුන ගැසෙයි. පෙබරවාරි විප්ලවය, රුසියාව සමග වෙනම සාමයක් අතිකරගත හැකියයි ජර්මානු හමුදා නායකත්වය තුල බලාපොරොත්තු දිරිමත් කලේය.

එනමුත් ක්‍රිහව්ස්නාක් වැඩපිලිවෙල ගෙනහැර දක්වන්නේ වඩාත්ම දුරදිග යන ඈඳාගැනීමේ සැලසුමකි. එය පදනම් වූයේ නැගෙනහිර මෙන්ම බටහිර පෙරමුනේ ද සාම කොන්දේසි පැනවීමට ජර්මනියට හැකිවේය යන සිතාගැනීම මතය. නැගෙනහිරදී, දල වශයෙන් වර්තමානයේ බෝල්ටික් ලෙස හඳුන්වන ප්‍රදේශ වන කුර්ලන්ඩ් හා ලිතුවේනියාව ද පෝලන්තයේ සැලකිය යුතු කොටසක් ද ඈඳා ගැනේ. ජර්මානු හමුදාවට අවශ්‍ය වන්නේ රුමේනියා රාජධානිය හැකිතාක් විශාල ප්‍රදේශයක් ලෙස තබාගැනීමය. ඒ එය පවතින ජර්මානු ආධිපත්‍යය යටතේ තබාගනිමින්ය.

එයට හිලව් වශයෙන් රුසියාවට, නැගෙනහිර ගැලීසියාව හා මොල්ඩෝවාහි කොටස් අයිතිවේ. ඔස්ට්‍රෝ-හංගේරියාවට සර්බියාව, මොන්ටිනිග්‍රෝ හා ඇල්බේනියාව අයත්වේ යයි සැලකේ. හමුදාවේ උත්තරීතර ආඥාපතිත්වය, බටහිර සම්බන්ධ පූර්ව ජර්මානු ඈඳාගැනීමේ සැලසුම් යලි තහවුරු කලේය. ඊට බෙල්ජියම ගැත්තර රාජ්‍යයක් ලෙස පිහිටුවීම ද ලක්සම්බර්ගය, ලොන්ග්වි-බ්රිඊයේ ඈඳාගැනීම ද ඇල්සස්-ලොරේන්හි පවතින පාලනය තබාගැනීම ද ඇතුලත්ය.

සමුලුවේදී සාකච්ඡා කල ඈඳාගැනීමේ සැලසුම්, “බටහිර මෙන්ම නැගෙනහිර සම්බන්ධයෙන් මුලුමනින්ම කල අව තක්සේරුවකට” සාක්ෂි දරන බව ජර්මානු නාවික හමුදා ප්‍රධානී ජෙනරාල් ඇල්ෆ්‍රඩ් මුලර් පසුව ලියා ඇත. ඉතිහාසඥ ජෝර්ජ් ඩබ්ලිව් එෆ් හෝල්ගාට්න් සමුලු ප්‍රතිපල අංගලක්ෂනය කරන්නේ, “ලුඩෙන්ඩෝෆ්ගේ මිලිටරිවාදී නාඩගමක්” ලෙසය. එසේම ”අධිරාජ්‍ය කිරුල තමන් සතු යයි සලකන රසිකත්වයකින් යුත්” ජර්මානු කර්මාන්තයේ හා බැංකුවල අරාජකවාදී ආර්ථික අවශ්‍යතාවන්ගේ සමස්තය ලෙසය.

අප්‍රේල් 23 බර්ලිනය: යුද්ධය පැතිර යද්දී ජර්මානු වෘත්තීය සමිති හා ආන්ඩුව අනාගත කඩා පැනීම් සඳහා සූදානම්වේ.

වැඩවර්ජනය අවසන් වීමෙන් පසුව ජර්මානු වෘත්තීය සමිතිවල පොදු කොමිසම හා ආන්ඩුව කම්කරු පන්තියේ අනාගත වැඩකටයුතු වලට මුහුන දීමට සූදානම් වෙයි.

“ජර්මනිය යනු රුසියාව නොවේ” යයි සඳහන් චක්‍ර ලේඛයක් වෘත්තීය සමිති පොදු කොමිසම විසින් කම්හල් කලමනාකාරිත්වය වෙත නිකුත්කර ඇත. “විප්ලවය සමග සෙල්ලම් කරන වැඩකරන සමාජය (මින් අදහස් කරන්නේ විප්ලවවාදී කම්කරු නායකයින්) හා ස්පාටකස් කන්ඩායම ජර්මානු කම්කරු ව්‍යාපාරයට තර්ජනයක් වනවා පමනි. විශේෂයෙන්ම එහි වෘත්තීය සමිති සංවිධාන හා රටේ ආරක්ෂක හමුදාවන්ට. අදාල පාර්ශවයන් තියුනු පියවර ගැනීම මේතාක් දුරට අපට වලක්වාගත හැකිව තිබේ. එහෙත් ක්‍රියාකාරී කන්ඩායම ක්ෂනික වැඩවර්ජන ඇවිලවීමට සමත්වී ඇත. එවිට ඉහතකී පියවර නොවැලැක්විය හැකිය.”

අප්‍රේල් 25දා රීකයේ චාන්සලර් තියඩෝර් වොන් බෙත්මන්-හොල්වෙග්, යුද ව්‍යායාමය සඳහා වැදගත් කම්හල්වල කුමන ආකාරයකින් හෝ වැඩවර්ජන කැඳවුම් කිරීමක් හෝ ඒ සඳහා දරන උත්සාහයක් මෙන්ම, හොරිකඩයින් ඔවුන්ගේ රාජකාරියෙහි යෙදීම වැලැක්වීමේ උත්සාහයන්, ජර්මනිය සන්නද්ධ කිරීම හිතාමාතාම කඩාකප්පල් කරන සතුරු බලවේගයන්ට උදව් කිරීමක් ලෙස සැලකිය යුතු බවට නියෝගයක් නිකුත් කරයි. මෙවන් “අපරාධයන්ට” චෝදනා ලබන අයට රාජ ද්‍රෝහීන් ලෙස සලකා දඬුවම් කල යුතුය.

මෙන්ෂෙවික් නායකයාට අනුව ලෙනින්, “ආධාරකරුවන් නොමැතිව හුදෙකලාවේ”

නිව් යෝර්ක් ටයිම්ස් හි සිරස්තලයක්

ලන්ඩනයේ ඩේලි ක්‍රොනිකල් පුවත්පතට ලැබුනු කේබල් පනිවිඩයක් නිව් යෝර්ක් ටයිම්ස් යලි පල කරයි. එය ලෙනින් යලි රුසියාවට ඒමේ වැදගත්කම නොතකා හැරියේය. “වහාම හා කොන්දේසි විරහිතව සාමය ඇතිකිරීම, හමුදාවට හා ආන්ඩුවට එරෙහිව සිවිල් යුද්ධය හා ජාත්‍යන්තර සමාජවාදය සඳහා ගමනේ ද්‍රෝහීන් ලෙස ඔහු විස්තර කරන, කෙරෙන්ස්කි හා චෙඩ්සිට එරෙහි පලිගැනීම (උසිගැන්වීමකි) යන ලෙනින්ගේ ඉල්ලීම්” ගැන සඳහන් කිරීමෙන් පසුව වාර්තාව, “රුසියානු විප්ලවය ලෙනින් (උසිගැන්වීමකි) උරාගනු ඇත.” අනෙක් අතට “ඔහු පිටස්තරව සිටිනු ඇත, එය දැවැන්ත පාඩුවක් නොවේ.” මක්නිසා ද යත් ඔහු “ආධාරකරුවන්ගෙන් මුලුමනින්ම වියෝවී සිටින නිසා” යයි තෘප්තිමත් විලාසයකින් සඳහන් කරන්නේ, මෙන්ෂෙවික් චෙකෙයිඩ්ස්කි පුරුච්ඡාරනය කරමිනි.

බ්‍රිතාන්‍ය පුවත්පත් වාර්තාකරුවෙක් මෙසේ ලියයි, “මේ ගිනි සිලුව (මතය) තියුනු ලෙස ප්‍රතික්ෂේප කිරීම සමාජවාදී කන්ඩායමේ ප්‍රායෝගික අවබෝධයේ වර්ධනය පිලිබඳ සෞඛ්‍ය සම්පන්න සලකුනකි.”