රුසියානු විප්ලවයේ මේ සතිය

මාර්තු 6-12: පෙට්‍රොග්‍රෑඩයේදී පෙබරවාරි විප්ලවය පුපුරා යයි

2017 මාර්තු 6

පෙට්‍රොග්‍රෑඩයේ හටගත් පෙබරවාරි විප්ලවය, පිටුවහලේ සිට රුසියානු සිදුවීම් සමීපව නිරීක්ෂනය කරමින්, ආපසු යාමේ අවස්ථාව එලඹෙනතෙක් ඉමහත් උනන්දුවෙන් පසුවූ, ව්ලැඩිමීර් ලෙනින් හා ලියොන් ට්‍රොට්ස්කි යන රුසියානු මාක්ස්වාදයේ ශ්‍රේෂ්ඨම චරිත දෙක, ඉස්මතු කලේය. බොල්ශෙවික් පක්ෂයේ නායක ලෙනින්, 1900 පටන් රුසියාවෙන් පිටුවහල්ව සිටියේ ස්විට්සර්ලන්තයේ සූරිච් නුවරය. 1905 විප්ලවයේ ප්‍රමුඛ චරිතය වූ ට්‍රොට්ස්කි, ඒ සම්බන්දයෙන් සිරගතකොට පසුව පිටුවහල් කරන ලදුව, පසුව ප්‍රන්සයෙන් ද ස්පාඤ්ඤයෙන් ද නෙරපා හැරීමෙන් අනතුරුව, ඒ වන විට නිව් යෝර්ක් නගරයේ බ්‍රොන්ක්ස් හි වාසය කලේය. එහිදී ඔහු නිව් යෝර්ක්හි වාසය කල රුසියානු සංක්‍රමනිකයන්ගේ නොවි මිර් පුවත්පතට ලිවීය. විශාල සංඛ්‍යාවක් තවත් දේශපාලන පිටුවහලුන් ද සමඟ ලෙනින් හා ට්‍රොට්ස්කි යන දෙදෙනා, රුසියානු සිදුවීම් සමීපව නිරීක්ෂනය කරමින් සිටි අතර, ආපසු යාමේ අවස්ථාව එලඹෙනතෙක් ඉමහත් උනන්දුවෙන් පසුවූහ.

මාර්තු 7, පෙට්‍රොග්‍රෑඩ් (පැරනි පෙබරවාරි 22) පුටිලොව් කරම්කරුවන් ලොකවුට් කිරීම

හර්මන් ඇක්සෙල්බෑන්ක් නිෂ්පාදනය කල මැක්ස් ඊස්ට්මන් හඬ කැවූ සාර් ටු ලෙනින් (සාර්ගේ සිට ලෙනින් දක්වා) චිත්‍රපටයෙන් රූප රාමුවක්.

ඩූමාව යලි විවෘත කරන අවස්ථාවේ පුටිලොව් කම්හලේ 30,000ක් පමන වූකම්කරුවෝ කලමනාකරනය විසින් ලොකවුට් කරන ලදී. කම්කරුවන් විරෝධතා පෙලපාලි දැක්වීමට දැරූ උත්සාහය පොලිසිය විසින් වලක්වන ලදී. කම්හලේ දොරගුලු වසා දැමීම නඟරයේ ආතතිය ඇවිලවීය. වැඩවර්ජනය පැවති කාලයේ පුටිලොව් කම්කරුවන් කන්ඬායමක් ඩූමාවේ මෙන්ෂෙවික් සභිකයන් දෙදෙනෙක් හමුවී තිබුනි. ඒ නිකොලායි චේයිඩ්සෙ හා ඇලෙක්සැන්ඩර් කෙරන්ස්කිය. කෙරන්ස්කි සමඟ පැවති රැස්වීමේදී ඔහු කම්කරුවන්ට අනතුරු අඟවා තිබුනේ, වැඩවර්ජනය ප්‍රධාන දේශපාලන ව්‍යපාරයක් අවුලුවනු ඇති බවට හා "යම් බැරෑරුම් දෙයක් සිදුවිය හැකි" බවටත්ය.

පුටිලොව් කම්හලේ කම්කරුවෝ, 1905 රුසියානු විප්ලවයේදී ද අධිෂ්ඨානශීලීව සටන් වැදුනහ. එම වසරේදී ෆාදර් ගැපෝන්ගේ නායකත්වයෙන් පුටිලොව් කම්හලේ කම්කරුවන් විසින් පවත්වන ලද පෙලපාලි දහස් ගනනක් මරා දමා හා තුවාල සිදුකරමින් පොලිසිය විසින් ප්‍රචන්ඩ ලෙස මැඩපවත්වනු ලැබීය. එම සිදුවීම් "ලේ වැකි ඉරිදාව" ලෙස හැඳින්වීමට පටන්ගෙන තිබුනි.

ඉහත රූප රාමුව සාර් ටු ලෙනින් (සාර්ගේ සිට ලෙනින් දක්වා) වාර්තාමය චිත්‍රපටයෙනි. මෙහ්රින්ග් බුක්ස් වෙතින් ඩීවීඩී පටය මිලදී ගත හැකිය.

මාර්තු 8 (පැරනි පෙබරවාරි 23) පෙට්‍රොග්‍රෑඩය: රුසියානු අගනුවර පාන් කැරලි වලින් ඇලලී යයි

පෙට්‍රොග්‍රෑඩයේ කාන්තා පෙලපාලි

ජාත්‍යන්තර කාන්තා දිනයේදී පාන් ලබාගැනීමට සීතලේ පෙලගැසී සිටි කාන්තාවන් අතර ඇතිවූ නොසංසුන්තාව, රාජාන්ඩුව පෙරලා දැමීම හා යුද්ධය නතර කිරීම සඳහා හඬ නැඟූ දැවැන්ත පෙලපාලි බවට හැරුනි. බොල්ශෙවික් හා මෙන්ෂෙවික් සංවිධාන වැඩ වර්ජනයක් කැඳවීම ප්‍රතික්ෂේප කල නමුත් 90,000ක් පමන කම්කරුවෝ වැඩවර්ජනය කලහ.

පසුව ට්‍රොට්ස්කි මෙසේ ලිවීය: "එනයින් ගත් කල, කාරනය නම්, කම්කරු පන්තියේ පරිපීඩිතම කොටස, එනම්, කාන්තා පෙහෙකම් කම්කරුවන්, තමන්ගේම් විප්ලවවාදී සංවිධානවල ප්‍රතිරෝධය බිඳගෙන, කිසිදු මෙහෙයවීමකින් තොරව තමන් විසින් ම මූලිකත්වය ගනු ලැබ, පෙබරවාරි විප්ලවය පහලින් ආරම්භ වීමයි. එම කාන්තා කම්කරුවන් අතර සොල්දාදුවන්ගේ බිරින්ඳෑවරු සිටියා නිසැකය. දිග්ගැස්සුන පාන් පෝලිම් අවසාන උත්තේජකය සපයනු ලැබින."

මාර්තු 8, නිව් යෝර්ක්: කූපර් සංඟමයේ දී ඩෙබ්ස් හා ට්‍රොට්ස්කි එකතුව

ඉයුජින් ඩෙබ්ස්

ඇමරිකානු සමාජවාදයේ ප්‍රමුඛ චරිතයක් වන ඉයුජින් ඩෙබ්ස්, නිව් යොර්ක්හි කූපර් සංඟමයේ යුද විරෝධී මහජන රැලියට තමන් සමඟ එක්වන ලෙසට ට්‍රොට්ස්කිට ආරාධනය කරයි. නිව් යෝර්ක්හි නතරව සිටි කෙටි කාලය තුල ට්‍රොට්ස්කි, සමාජවාදී පක්ෂය යුද්ධයට පක්ෂපාතී ආස්ථානයක පිහිටුවීමට උත්සාහ කල, නිව් යෝර්ක්හි සමාජවාදී පක්ෂයේ ප්‍රතිසංස්කරනවාදී නායකයෙකු වූ මොරිස් හිල්කුයිට් සමඟ විවෘත ගැටුමකට එලඹුනේය. ඩෙබ්ස් ට්‍රොට්ස්කිට සහාය දැක්වීය.

වසර 57ක් හා සතියකට පෙර ලින්කන්, "කූපර් සංඟමයේ" සුප්‍රසිද්ධ කථාව පැවැත්වූ එම ස්ථානයේදීම ඩෙබ්ස්, "මා ගැන කථාකරනවානම්" යනුවෙන් කූපර් සංඟමයේ ප්‍රේක්ෂකත්වය හමුවේ මෙසේ මහ හඬ නැංවීය. "මේ මහ පොලොව මත කිසිදු ධනපති ආන්ඩුවක් වෙනුවෙන් යුද්ධයට යාම මම පරම වශයෙන් ම ප්‍රතික්ෂේප කරන්නෙමි. මම මගේ තීන්දුව ගෙන ඇත්තෙමි. කම්කරු පන්තියට ද්‍රෝහී වූවෙක් ලෙස ජීවත් වීමට වඩා වෝල් වීදියට ද්‍රෝහිවීම නිසා බිත්තියට හේත්තු කර වෙඩි වෙඩි තබා මරා දැමීම....තෝරා ගනිමි."

සමාජවාදය පිලිබඳ ඩෙබ්ස්ගේ "නොනිවිය හැකි ඇතුලාන්තයේ ගිනිසිලුව" ගැන පසුව ට්‍රොට්ස්කි මගේ ජීවිතය (My Life) හි මෙසේ ලියයි. " අප හමුවූ ඕනෑම අවස්ථාවක ඔහු මා වැලඳගෙන සිපගත්තේය." ඩෙබ්ස් "අව්‍යාජ විප්ලවවාදියෙකි." හිල්කුයිට් එසේ නොවේ. ට්‍රොට්ස්කි ඔහු ගැන සඳහන් කරන්නේ, "පිලිස්තීනුවන්ගේත් පිලිස්තීනුවෙකි...සාර්ථක දත් වෙදුන් සඳහා සමාජවාදී නායකයෙකි."

මාර්තු 9 (පැරනි පෙබරවාරි 24) පෙට්‍රොග්‍රෑඩය: මහ වැඩවර්ජනය ඇරඹෙයි

1917 රුසියානු විප්ලවයන්හි පෙට්‍රොග්‍රෑඩයේ ප්‍රධාන මධ්‍යස්ථාන පෙන්වන සිතියම

කම්හල් 224ක 214,000ක් කම්කරුවෝ වර්ජනය කරති. නගරයේ ප්‍රධාන චතුරස්‍රවල සවස් වරුවේ පැවති මහජන රැස්වීම් වලට ලක්ෂ ගනන් දෙනා සහභාගී වෙති. නගර සභාපති ඇලෙක්සැන්ඩර් බෝක්, පෙට්‍රොග්‍රෑඩයේ මිලිටරි දිස්ත්‍රික් ආඥාපති සර්ගේ කබලොව් වෙත වාර්තා කලේ, "ජනතාව එක්රැස්වීම වැලැක්වීමට" පොලිසිය අසමත්ව ඇති බවයි. දුසිම් දෙකක් පමන පොලිස් භටයින් පහර කෑමට ලක් විය. දෙවන සාර් නිකොලායි හා ඔහුගේ පවුල පෙට්‍රොග්‍රෑඩ් කලබල අස්සේ පලා ගොස් දැන් මොගිලෙව්හි මිලිටරි මූලස්ථානයේ රැඳී සිටිති. පසුව ට්‍රොට්ස්කි සිය රුසියානු විප්ලවයේ ඉතිහාසය කෘතිය තුල මේ තත්වය පෙන්වාදෙමින් මෙසේ ලිවීය: "විප්ලවය එහි පලමු ගැටලු වලට මුහුනපෑමටත් පෙරාතුව රාජාන්ඩුව නරක්වූ පලතුරු ගෙඩියක් මෙන් වෙව්ලා ඇද වැටුනි."

මාර්තු 10 (පැරනි පෙබරවාරි 25) නිව් යෝර්ක්: ඩොලර් මිලියන 41ක බ්‍රිතාන්‍ය රත්රන් තොගය ජේපී මෝර්ගන් වෙත ලැබේ.

කැන්සන් හෙන්රි වොරල්ගේ 'ජේ.පී. මෝර්ගන් ලෝකය බදා ගනී'

බ්‍රිතාන්‍ය ආන්ඩුව කැනඩාවේ සිට ජේ.පී. මෝර්ගන් චේස් සහ සමාගම වෙත ඩොලර් මිලියන 41ක රත්රන් කුට්ටි යවයි. එය එක් දිනක් තුල නැව්ගත කරන ලද විශාලතම රන් තොගය විය. ඩොලර් මිලියන 25ක් වටිනා රත්රන් නිව් යෝර්ක් ඇසේ කාර්යාලයේ තැන්පත් කරන ලද අතර සෙස්ස ෆිලඩෙල්ෆියා මින්ට් වෙත යැවීය.

ඇමරිකාවේ යුද නය සඳහා ඇපයක් ලෙස සපයන ලද රන් තොගය, මිත්‍ර පාක්ෂිකයන් ඇමරිකාවේ සහයෝගය මත රඳාපැවැත්මේ තරම පෙන්වයි. එසේම සිය අයෝජන සුරැකීම සඳහා මිත්‍ර පාර්ශවයේ ජයග්‍රහනය වොෂින්ටනයට වඩ වඩාත් අවශ්‍ය කෙරේ. පවතින සංචිත අවශ්‍යතාවන්ගේ අනුපාතයට අනුව ඩොලර් මිලියන 41, ඩොලර් මිලියන 200ක් වන බ්‍රිතාන්‍යයට දී ඇති යුද නය සඳහා හිලව්වේ. සෑම අලුත් නය වාරිකයක්ම, ලංඩන් නගරයේ සිට ලෝක මූල්‍ය මධ්‍යස්ථානය වෝල් වීදිය වෙත මාරු කරයි.

මාර්තු 10 පෙට්‍රොග්‍රෑඩය: වැඩවර්ජන හා විරෝධතා පැතිර යයි

පෙබරවාරි විප්ලවය (පැරනි පෙබරවාරි 24) අවධියේ නිකොලායෙව්ස්කිහි සොල්දාදුවෝ

මේ වන විට කම්හල් 421 වැඩ වර්ජනය කල කම්කරුවන් සංඛ්‍යාව 305,000 දක්වා වැඩිවී ඇත. නගර මධ්‍යයේ මහජන පෙලපාලි දුසිම් ගනනක් පැවැත්වේ. සටන්පාඨ අතර "ආන්ඩුව පෙරලා දමනු!, යුද්ධය එපා!, පාන්, සාමය හා නිදහස!, සමූහාන්ඩුව දිගුකල් දිනේවා!" විය. පෙලපාලි බුද්ධිමතුන්ගේ හා ශිල්පීන්ගේ පුලුල් කොටස් ද ආකර්ශනය කර ගත්තේය. උසස් පාසැල්වල සිසුන් ද වර්ජනයන්ට එක්විය. කම්කරුවෝ, පිහියා, ප්‍රාථමික අවි හා ලෝහ කැබලි වලින් සන්නද්ධ වෙමින් පොලිසිය සමග ප්‍රචන්ඩ ගැටුම් සඳහා සූදානම් වූහ. පොලිසිය සෙනඟ වෙත වෙඩි තැබීමෙන් සමහර පෙලපාලිකරුවෝ මියගියහ. විප්ලවවාදී කැලඹීම් හමුදාව වෙත ද ලඟාවීමේ පලමු සලකුනු පෙන්නුම් කරමින්, පෙලපාලිකරුවන්ට විරුද්ධව මෙහෙයවා සිටි සමහර කොසැක් සෙබලු ඔවුන් වෙත සහෝදරත්වය පල කලහ.

එදින සවස දෙවන නිකොලායි සාර් විප්ලවය ගැන දැනගත් විට, අගනුවර නැඟිටීම වහාම නතර කරන ලෙස ජෙනරාල් කබලොව්ට නියම කලේය. එදින රාත්‍රීයේ පොලිසිය, පෙට්‍රොග්‍රෑඩයේ බොල්ශෙවික් කම්ටුවේ සාමාජිකයින් පස් දෙනෙක් ද ඇතුලු සමාජවාදී දේශපාලඥයින් තොග පිටින් අත්අඩංඟුවට ගැනීම ඇරඹීය.

පෙට්‍රොග්‍රෑඩයේ බොල්ශෙවික් වරුන්ගේ අනුහස පැතිරවූ බල මධ්‍යස්ථානයේ පිහිටි, බොල්ශෙවික් පක්ෂයේ වීබොග් ප්‍රාදේශීය කමිටුව, අගනුවර පක්ෂ කටයුතුවල නොනිල නායකත්වය බාරගත්තේය.

මාර්තු 11 ( පැරනි පෙබරවාරි 26) පෙට්‍රොග්‍රෑඩය: රුසියානු ආන්ඩුව ප්‍රචන්ඩ මර්දනයක් දියත් කරයි

දෙවන සාර් නිකොලස් කොසැක් භටයින් පිරික්සයි

කම්කරුවන්ට ඉරිදා දිනයේ වැඩ වර්ජනය කල නොහැකි නමුත් ඔවුහු දිගටම පෙලපාලි පවත්වති. ආන්ඩුව විප්ලවවාදී ව්‍යාපාරය මත ප්‍රචන්ඩ මර්දනයක් දියත් කරයි. පොලිසිය නිතරම වහලවල සිට හෝ ඉහලින් පැවති ජනේල වලින් සෙනඟ විසුරුවා හැරීම සඳහා දිගටම වෙඩි තැබීය. එදින එක් ප්‍රචන්ඩ සිදුවීමකදී මිලිටරි ආරක්ෂක භටයින්, මාලිගා චතුරස්‍රයේදී පෙලපාලිකරුවන් 40ක් මරා දැමීය. තවත් 40කට තුවාල සිදු කලේය. කෙසේ නමුත් ආන්ඩුවට මහජන ව්‍යාපාරය පාලනය කරගත නොහැකි විය. සෙබලු හමුදා අතහැර පෙලපාලිකරුවන්ට එක්වීම පිලිබඳ වඩ වඩාත් වාර්තා පල විය. එදින සවස සාර්, ඩූමාවේ කටයුතු දින නියමයක් නොමැතිව අත්හිටුවීමට නියෝග කලේය.

මාර්තු 11 බීජිනය: චීනය ජර්මනිය සමග බැඳීම් නතර කරයි

සුන් යත්-සෙන්

ජර්මානු හා ඔස්ට්‍රෝ-හන්ගේරියානු ආන්ඩු සමඟ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා බිඳ දැමීම සඳහා චීන පාර්ලිමේන්තුවේ සෙනේට් සභාව 158ට 37ක් ලෙස ද නියෝජිත මන්ත්‍රී මන්ඩලය 331කට 87ක් ලෙස ද ඡන්දය දෙයි. එම පියවර, පලමුවන ලෝක යුද්ධයේදී එදිරිවාදී අධිරාජ්‍යවාදී බලවතුන් අතර අගමැති ටුවාන් චී-ජූගේ ජාතිකවාදී ආන්ඩුව ගෙන ගිය උපාමාරු දැමීමේ උත්සාහයෙහි කොටසක් විය.

මිත්‍ර පාක්ෂිකයින්ගේ පැත්තෙන් චීනය, සෘජුවම ගැටුමට අවතීර්න වීම එමඟින් පෙර සලකුනු කරයි. 1914 යුද්ධය පුපුරා යන තෙක්ම චීනය මධ්‍යස්ථ ආස්ථානයක් පවත්වා ගත්තේය. එරට ජර්මනියෙන් ඉවතට හැරීමේ තීරනය දිරිගැන්වූයේ ටයෑන්ජින් හා හැන්කොව් තුල ජර්මනියට පිරිනමා ඇති අයිතීන් කටුගා දැමීම හා සියවස ආරම්භයේ බොක්සර් කැරැල්ල මුල්කරගෙන චීනයෙන් බර්ලිනයට ලැබෙමින් තිබූ වන්දියේ පංඟුව අහෝසි කිරීමට පැවති අභිලාශයයි. එසේම චීන නායකයෝ, එරට ආර් ථිකය මත පවත්වාගෙන ගිය මිත්‍ර පාක්ෂිකයින්ගේ ගල ග්‍රහනය හා වන්දි ඉල්ලීම, එම පියවර නිසා ලිහිල් කරනු ඇතැයි බලාපොරොත්තු වූහ. කෙසේ වුවත් බර් ලිනය සමග බැඳීම් සිඳලන ලෙස චීනයට බලපෑම් කල ඇමරිකානු ආන්ඩුව එයට ප්‍රතිචාර දැක්වූයේ, චීනය තුල ටෝකියෝවේ හිමිකම් හා මූල්‍ය අවශ්‍යතා සහතික කරමින් ජපාන ආන්ඩුව සමඟ රහස් ගිවිසුම් අත්සන් තබමිනි.

ජනාධිපති ලී යුආන් හං හා අනෙක් අය කෙලින්ම යුද්ධයට සහභාගී වීමට දැක්වූ විරුද්ධත්වය හමුවේ, පාර්ලිමේන්තු ඡන්දය, දේශපාලන අර්බුදයක් ඇති කලේය. 1911 විප්ලවයේදී වැදගත් ක්‍රියාකලාපයක් ඉටු කල හා ජර්මානු ආන්ඩුවත් සමග මූල්‍ය හා දේශපාලන බැඳීම් ඇතිකරගෙන තිබූ සුන් යත්-සෙන්, චීන ජනතාව අතර පැවති අධිරාජ්‍ය විරෝධී මනෝගතීන් පිලිබඳව අනතුරු ඇඟවීය. "චීන ජනතාව විවිධ ජාතිකත්වයන්ට අයත් විදේශිකයින් අතර වෙනස්කම් හඳුනා ගැනීමට අසමත් විය හැකිය. අව්‍යාජ හා අවංක ජනතාවට ස්වදේශික ජර්මානුවන් ඝාතනය කිරීමට ඉගැන්වුවහොත්, ඔවුන් රටේ සිටින සියලු සුදු මිනිසුන් මැරීමට යොමුවිය හැකිය."

මාර්තු 11 බැග්ඩෑඩ්: ඉපැරනි අගනුවර බ්‍රිතාන්‍යයන් අතට පත්වෙයි

බ්‍රිතාන්‍ය සෙබලු බැග්ඩෑඩයට ඇතුලු වෙමින්

කලිල් පාෂා යටතේ ඔටෝමන් බලඇනි වඩාත් උතුරට වන්නට, ඇනටෝලියන් අර්ධද්වීයේ එලිපත්තෙහි පිහිටි කර්කුක් හා මොසුල් කරා පසු බසිති. ඔටෝමන් අධිරාජ්‍යය, 16 සියවසේ පටන් බැග්ඩෑඩය, බස්රා, සිරියාව, ලෙබනනය හා පල්ස්තීනය ඇතුලු මැද පෙරදිග කලාපය පාලනය කර තිබුනි. පැරනි අරාබි අගනුවර තවදුරටත් ආරක්ෂා කල නොහැකි වන පරිදි සිදුවූ සාර්ථක බ්‍රිතාන්‍ය මෙහෙයුමකින් පසුව ඔටෝමන් අධිරාජ්‍ය හමුදා බැග්ඩෑඩය අතහැර ගියෝය.

ඉන්දියානු කාර්ය සාධක බල ඇනි වලට බලහත්කාරයෙන් බඳවා ගෙන සිටි යටත් විජිත සෙබලුන්ගෙන් ගහන 50,000ක පමන හමුදාවක් සහිතව නගරයට ඇතුලුවෙමින්, ලුතිනන් ජෙනරාල් ශ්‍රීමත් ෆ්‍රෙඩ්‍රික් ස්ටැන්ලි මවුඩි, "ඔබගේ නගර හා භූමිය වෙත අපගේ හමුදාවන් පැමිනෙන්නේ, ජයග්‍රාහකයින් හෝ සතුරන් ලෙස නොව විමුක්තිදායකයින් ලෙස" යයි පවසයි.

ප්‍රථම ලෝක සංග්‍රාමය පැනනැඟී ගැටුමට ප්‍රධාන හේතුවක් වුනේ, ජර්මනිය විසින් සැලසුම් කර තිබූ බැග්ඩෑඩ්-බර්ලින් දුම්රිය මාර්ගයෙන් සලකුනු කල පරිදි, කලාපය තුල වැඩෙමින් තිබුනු ජර්මානු ආනුභාවයයි. තව ද බ්‍රිතාන්‍ය හා ප්‍රන්ස අධිරාජ්‍යවාදය යුද්ධයේ වන්දි වශයෙන්, ඔටෝමන් අධිරාජ්‍යයේ මැද පෙරදිග කොටස බෙදාගැනීමේ රහස් ගිවිසුමකට එලඹ තිබුනි: ලන්ඩනය බැග්ඩෑඩ්, බස්රා හා පලස්තීනය හිමිකර ගනු ඇති අතර පැරිසිය, ලෙබනනය හා සිරියාව හිමිකරගනු ඇත. රුසියානු අධිරාජ්‍ය ය ගිවිසුමට එලඹුනේ, ඉස්තාන්බුල්, තුර්කි සමුද්‍ර සන්ධිය හා ආර්මේනියාව තමන්ට ලැබීමේ පොරොන්දුව මතය. ජර්මානු සන්ධානය බිඳිමින් මිත්‍ර පාර්ශවයට සම්බන්ධවීම වෙනුවෙන් ඉතාලියට, ගිනිකොනදිග ඇනටෝලියාව හා එයට අයත් දිවයින් හිමිවනු ඇත.

මාර්තු 11 මෙක්සිකෝ සිටි: කැරන්සා මෙක්සිකෝවේ ජනාධිපති ලෙස පත්කර ගැනේ

1914දී ආධාරකරුවන් විසින් වටලාගත්, විල්ලා හා උකුලෙහි තොප්පියක් සහිතව සැපටා වමේ

සර්ව ජන ඡන්ද අයිතිය සහිත විප්ලවයෙන් පසුව පැවැත්වූ පලමු මැතිවරනයේ ප්‍රතිපල වශයෙන් උතුරේ ඉඩම් හිමියෙකු වූ ව්‍යවස්ථාමය හමුදා ප්‍රධානී වෙනුස්ටිනෝ කැරන්සා ජයගත්තේය. විප්ලවය ඉඩම් හිමි පන්ති වලට එරෙහිව හැරෙනු ඇතැයි යන බිය නිසා, දක්ෂිනාංශික හියුටාර් ගේ ආන්ඩුවට විරුද්ධවූ ජාතිකවාදී කැරන්සාගේ මැතිවරන ජයග්‍රහනය, එමිලියානෝ සැපටා හා පැන්චෝ විල්ලා ගේ ගොවි හමුදා තලා දමමින් දේශපාලන ස්ථාවරත්වයේ ක්‍රියාවලිය ගැඹුරු කිරීමට මඟ හෙලි කලේය.

කැරන්සා, ඇමරිකානු අවශ්‍යතාවන්ට පටහැනිව යමින් 1917 ජනවාරියේදී බලගැන්වූ ව්‍යවස්ථාවේ මූලික පියවරයන් ඉටුකිරීමට පොරොන්දු වේ. (එජිඩෝ ජනවර්ගය හා ගොවීන් අතර සීමිත වශයෙන් ඉඩම් යලි බෙදාහැරීමටත්, තෙල් වැනි මූලික ඛනිජ සම්පත් ජනසතු කිරීම් ගෙනහැර දැක්වූ) 27 වන ලේඛනය හා (ශ්‍රමයේ හා සමාජ සහනවල ආරක්ෂාව ගැන සඳහන්) 123 ලේඛනය, විශේෂයෙන්ම ඩොහෙනි පෙට්‍රෝලියම් හා ගුගන්හෙයිම් උනුකිරීමේ හා පවිත්‍ර කිරීමේ සමාගම වැනි සමාගම්වල ධනපති ඇමරිකානු දේපොල අයිතියට තර්ජනයක් විය.

ඇමරිකානු ජනාධිපති විල්සන්ගේ යුද්ධාවතීර්න තල්ලුව හමුවේ ඔහු, ජර්මනිය හා මෙක්සිකෝව අතර හුවමාරුවූ, අතර මඟදී අල්ලා ගත් සිමර්මන් විදුලිපනිවිඩය, රට තුල යුද උන්මාදය ඇවිලවීම හා යුද්ධයට සැරසෙන කැරන්සා ආන්ඩුව ඇමරිකානු මූල්‍ය උත්සුකයන්ට වාසිදායක ලෙස නම්මා ගැනීම යන කරුනු දෙක වෙනුවෙන්ම යොදා ගති. ජෙනරාල් පර්ෂීන් යටතේ වාඩිලාගත් ඇමරිකානු හමුදා, විල්ලා තලා දැමීම සඳහා උතුරු මෙක්සිකෝව වාඩිලා ගැනීමෙන් ඉවත් වූයේ මෑතකදීය.

මාර් තු 12 (පැරනි පෙබරවාරි 27) පෙට්‍රොග්‍රෑඩය: සෝවියට් සභා පිහිටුවයි, සන්නද්ධ නැඟිටීම පැතිර යයි

පෙබරවාරි විප්ලවය දවස්වල පෙට්‍රොග්‍රෑඩ් මාලිගා චතුරස්‍රයේ රැස්කමින් සිටි සෙනඟ

සාර් වෙත යැවූ තැතිගැන්මෙන් යුත් විදුලි පනිවිඩයක, ඩූමාවේ නායක මිකායිල් රොඩ්සියැන්කෝ මෙසේ ලිවීය: "නොසංසුන්තාව මර්දනය කිරීමට ආන්ඩුව මුලුමනින්ම අපොහොසත්ව ඇත. හමුදා බල ඇනි මත විශ්වාසය තැබිය නොහැක. ආරක්ෂක රෙජිමේන්තුවල සංචිත බල ඇනි නැඟිටීමට සම්බන්ධවී සිටිති. නිලධාරීන් ඝාතනය කෙරෙමින් තිබේ. සිවිල් යුද්ධය ආරම්භවී උනුසුම් වෙමින් ඇත." පැහැදිලි බලාපොරොත්තු කඩවීම හමුවේ රොඩ්සියැන්කෝ සාර් ට කන්නලව් කලේ, ඩූමාව විසුරුවා නොහරින ලෙසය. සාර් ඔහුට කථා කලේ "බඩ තඩි රොඩ්සියැන්කෝ" කියාය. සාර් ඔහුගේ අනතුරු ඇඟවීම් නොතකා හැරියේය.

පෙර දිනයේ වෙනත් සේනාංකයක අසාර්ථකවූ කැරැල්ලෙන් පසුව, එදින සවස හමුදාවේ නැඟිටීම ඇරඹුනි. ඒ වොලින්ස්කි ආරක්ෂක භටකායේ පුහුනුවන සේනාංකය තුලයි. කැරැල්ල ඉක්මනින්ම අනෙකුත් සේනාංයන් වෙත ද පැතිර ගියේය. දුප්පත් ගොවීන් හා කම්කරුවන්ගෙන් බඳවාගත් බොහෝ සේනාංක, පූර්ව දින වලදී පෙලපාලිකරුවන් හා වැඩවර්ජකයින් සමඟ සාකච්ඡා කර තිබුනු අතර යුද්ධය අවසන් කිරීමේ ඔවුන්ගේ අභිලාශයන් බෙදාහදා ගත්හ. එම දිනවල කම්කරුවන් හා හමුදාව අතර පැවති සම්බන්ධය පහත දැක්වෙන වචන වලින් ට්‍රොට්ස්කි ප්‍රකාශ කලේය. "ජනතාව සමඟ හමුදාවේ සියුම් අන්තර් විනිවිදීම අඛන්ඩව සිදුවේගන ගියේය. කම්කරුවෝ හමුදාවේ උනුසුම නිරීක්ෂනය කරමින් එය තීරනාත්මක තැනකට පැමින ඇති බව ක්ෂනිකව වටහා ගත්හ. ජයග්‍රහනය පිලිබඳ විශ්වාසයෙන් යුතු ජනතා ප්‍රහාරයට එවන් අපරාජිත බලයක් හිමිකර දුන්නේ හරියටම මෙයින්ය."

පෙට්‍රොග්‍රෑඩය යුද නීතිය යටතේ තැබුනි. කෙසේ වෙතත් ට්‍රොට්ස්කි පසුව නිරීක්ෂනය කල පරිදි, "යුද නීති ප්‍රකාශනය නගරය තුල ප්‍රදර්ශනය කිරීමට පවා ඔවුන් සමත් වූයේ නැත: පුරපති බල්කාට පාප්ප හෝ බුරුසු සොයාගත නොහැකි විය. තවදුරටත් එම නිලධාරීන් වෙනුවෙන් කිසිවක් එකට පිහිටියේ නැත, ඔවුන් ඒ වන විටත් සෙවනැලි වල රජදහනට අයත් ව සිටයේය."

කලබලයට පත්ව සිටි ඩූමාවේ නායකයෝ, තවමත් කැරලි ගසා නැති මිලිටරි සේනාංක මත පාලනය තබා ගැනීමට වෑයම් කරමින් ඩූමා කමිටුවක් පිහිටුවති.

රාතී 9ට කම්කරුවන්, සෙබලුන් හා බුද්ධිමතුන් කන්ඩායමක් ටවුරයිඩ් මාලිගාවේදී පෙට්‍රොග්‍රෑඩ් සෝවියට් සභාව පිහිටුවන ලදී. විශේෂයෙන්ම පෙට්‍රොග්‍රෑඩ් සෝවියට් සභාවේ ආරම්භක මාසවලදී මෙන්ෂෙවික් බුද්ධිමතුන්ගේ අධිකාරය සලකුනු කරමින්, නිකොලායි චේයිඩ්සෙ යන මෙන්ෂෙවිකයා සභාපති ලෙස තෝරාගත් විධායක කමිටුවක් පිහිටුවීය.

මාර්තු 12 වොෂින්ටනය: ගොම්පර්ස්, ඒඑෆ්එල් සමිතිය යුද ව්‍යායාමයට සහාය පලකරති

ඒඑෆ්එල් සභාපති සැමුවෙල් ගොම්පර්ස්

රාත්‍රිය පුරා පැවති සැසියකින් පසුව, මිලියන 3ක පමන ඒකාබද්ධ සාමාජිකත්වයක් ඇති ඇමරිකානු කම්කරු හා දුම්රිය මාර්ග සමිති සංඟමයේ නායකයින්, ඇමරිකාව "යුරෝපීය ගැටුමේ වාසුලිය තුලට ඇදගත්" අවස්ථාවක, "ක්‍රියාකාරිත්වයේ සියලු ක්ෂේත්‍රයන්හිදී අපගේ රට" වෙනුවෙන් සිය සහාය දැක්වීමට ඒකමතිකව සපථ කලේය. සමාගම් හා ආන්ඩුව සමග සහයෝගිතාවකට ඒඑෆ්එල් සංවිධානය කැඳවීම මඟින් නොසංසුන්තාව මඟහරවා ගැනීම සඳහා යෝජනා කරමින්, වැඩ වර්ජන අත්හිටුවීමේ පොරොන්දුව යෝජනාවට ඇතුලත් කිරීමෙන් යාන්තමින් වැලකී සිටියේය. "වැටුප් උපයන්නන් සමග සහයෝගය ගොඩනංවා ගැනීම පිනිස කටයුතු කල යුතු ඒජන්සිය ලෙස ආන්ඩුව සංවිධිත කම්කරු ව්‍යාපාරය පිලිගත යුතුය." යෝජනාව ප්‍රකාශ කරයි.

ගොම්පර්ස්, අධිරාජ්‍යවාදී යුද්ධය තුල "ජාතික ආරක්ෂාව" පිලිබඳ කාරනයට ඇති සිය ස්වාමිභක්තිය ප්‍රකාශ කරමින් යුරෝපයේ සියලු කම්කරු ව්‍යාපාරයන්ගේ පා සලකුනු අනුගමනය කරයි. විල්සන් ආන්ඩුව විසින් ඒ වන විටත් ඔහුට, මිලිටරි වාදයට විරුද්ධත්වය ඉහවහා ගොස් තිබෙන ඇමරිකානු කම්කරු පන්තිය යුද්ධයට සූදානම් කිරීමට උදව් වීම සඳහා, අලුතෙන් පිහිටුවන ලද ජාතික ආරක්ෂක කමිටුවට ආරාධනා කර තිබුනි:

"මිලිටරිය කෙරෙහි විරුද්ධත්වය ගැඹුරෙන්ම ආවේනිකය, ආවේගශීලීය, ජනප්‍රවාදයේ කෙටසකි, ඓතිහාසික අත්දැකීම් මත පදනම්ව ඇත," ඉතිහාසඥ සිමියොන් ලාසන් ලියයි. "මිලිටරිය සියලු මිනිසුන් කෙරෙහි අපක්ෂපාතී නියෝජතයින් නොවේ, වැඩ වර්ජන බිඳීමේ කටයුත්ත සඳහා ප්‍රයෝජනයට ගන්නා මහ ව්‍යාපාරිකය විසින් පාවිච්චි කරන උපකරනයකි. ලුඩ්ලෝව් හා කැලුමෙට්ස් වැනි කාර්මික සටන් වලදී, මිලිටරිය විසින් මරන ලද වෘත්තීය සමිති පිරිමින් හා ගැහැනුන් පිලිබඳ මතකය වෘත්තීය සමිති මාධ්‍ය නිරතරයෙන් නංවාලූයේ, ඇමරිකාව ප්‍රතිසන්නද්ධ වීමේ අන්තරාය මතක්කිරීමටය."

මේ සතියේ: ගාන්ස්ගේ මාටර් ඩොලොරෝසා පැරිසියේදී දර්ශනය කරයි

මාටර් ඩොලරෝසා චිත්‍රපටයෙන් රූප රාමුවක්.

අබෙල් ගාන්ස් යන ප්‍රන්ස අධ්‍යක්ෂවරයා (J’Accuse, Napoleon) මාටර් ඩොලරෝසා දර්ශනය කරයි. තම ස්වාමි පුරුෂයාගේ තුරුලෙහි ආදරය සොයාගත් නොසලකා හරින ලද භාර්යාවක් වන මානන් බල්රියැක් (එමී ලින්) පිලිබඳ කථාව මනෝවිද්‍යාත්මක උද්වේගකර චිත්‍රපටයට පදනම් විය. එය පෙරට ගෙන ගියේ, ගාන්ස්ගේ සහකරුවෙකු වූ චියාරෙස්කියුරෝ සිනමැටොග්‍රෆි හි ලියොන්ස් හෙන්රි බුරෙල් විසිනි. ඇමරිකාවේ දී පෙන්වූ ටෝචර් ඔෆ් සයිලන්ස් (නිහඬත්වයේ වධය) මෙන් බෙහෙවින් සාර්ථකවූ එහි නග්න දර්ශන හා උප සිරැසි කපාහැර හෝ සංශෝධනය කර තිබුනි.

ප්‍රන්ස චිත්‍රපට විචාරක ජීන් මැට්‍රිය මාටර් ඩොලොරෝසා ගැන මෙසේ ලිවීය. "ආලෝකය හා සෙවනැලි යොදාගැනීමෙන් නාට්‍යමය දර්ශන උද්දීපනය කිරීම ගැන වැටහීමක් ඇතිව ආලෝකයේ මාධ්‍ය මගින් විශ්මයන්, පුදුමයන් දැක්වීම, අලංකරනයේ විශ්වාසනීය පරිපූර්නත්වය, සුවිශේෂ විස්තර ගෙනහැර දක්වමින් ප්‍රන්ස චිත්‍රපටය අසාමාන්‍ය ගුනයකින් යුක්ත විය. සැබවින්ම වසරේ සාර් ථකම ප්‍රන්ස චිත්‍රපටය එය විය."