රුසියානු විප්ලවයේ මේ සතිය

මාර්තු 27-අප්‍රේල් 2: ට්‍රොට්ස්කි පෙට්‍රොග්‍රෑඩය බලා ගමන් අරඹයි

2017 මාර්තු 27

නිව් යෝර්ක්හි ඔල්වරසන් දෙන සෙනඟට අත වනා ආචාර කල ට්‍රොට්ස්කි, තාවකාලික ආන්ඩුව පෙරලා දමා යුද්ධය අවසන් කරන බවට පොරොන්දු වෙමින්, නෝර්වීජියන් නැවක නැඟී ඔස්ලෝ හරහා, රුසියාව බලා ගමන් ගත් අතර ලෙනින්, ස්විට්සර්ලන්තයේ කොටුවී සිටියේය. එහි සිට ඔහු පෙට්‍රොග්‍රෑඩයේ බොල්ෂෙවිකයන්ගේ ප්‍රතිපත්තිය හැඩගැස්වීමට වෙහෙස නොබලා වැඩ කලේය.

පෙට්‍රොග්‍රෑඩයේ බොල්ශවික් පක්ෂය කැලඹීමට පත්ව තිබුනි. ලෙනින් නොමැතිව මුරනොව්, කමනෙව් හා ස්ටැලින් විසින් මෙහෙයවන ලද පක්ෂයේ ප්‍රමුඛ පුද්ගලයන්ගේ දක්ෂිනාංශික සුලුතරය, ආන්ඩු ගැති හා යුද ගැති පිලිවෙතක් ඔස්සේ පක්ෂය ප්‍රති දිශානුගත කිරීමට උත්සාහ කරමින් සිටියහ. කමනෙව්, තාවකාලික ආන්ඩුව විසින් යුද්ධය පෙරට ගෙන යාමට සහාය පලකරන ලිපියක් ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව බොල්ෂෙවික් පක්ෂයේ පසුපෙල, දැඩි ලෙස කෝපයට පත්ව ඔහු නෙරපන ලෙස කියා සිටියහ.

අධිරාජ්‍යවාදී සංහාරය යුරෝපය සිසාරා පෙරට යන අතර මේවන විටත් මිලියන ගනනකගේ ජීවිත විනාශවී ගොසින්ය. දැන් යුද්ධයට පැනීමට සැරසෙන ඇමරිකානු අධිරාජ්‍යවාදය, තවත් ලක්ෂ ගනන් මිනිසුන් ලේ ස්නානයට බිලිදීම පිනිස බලමුලු ගන්වයි. දිදුලන්නට පටන්ගෙන තිබෙන සාමය සඳහා වන එකම බලාපොරොත්තුව පවතින පැරනි සාර්වාදී අගනුවර වෙත සියලු දෑස් යොමුව ඇත.

මාර්තු 27 (පැරනි මාර්තු 14) නිව් යොර්ක්: ට්‍රොට්ස්කි යුරෝපය බලා නැව් නඟී

ට්‍රොට්ස්කි නිව් යෝර්ක් වෙත ලඟාවූ පසුව ඡායාරූප ගත කරයි

ට්‍රොට්ස්කි සිය බිරිඳ හා සහෝදරිය වූ නටාලියා ද සර්ජි හා ලියෝවා ද සමඟ නිව් යෝර්ක් නගරයෙන් පිටව නෝර්වීජියානු ක්රිතස්ටියානියාෆ්ජොර්ඩ්, නැවෙන් ඔස්ලෝ බලා පිටත් විය. එහි සිට ස්වීඩනය හා ෆින්ලන්තය හරහා දුම්රියෙන් පෙට්‍රොග්‍රෑඩයට යාමට ට්‍රොට්ස්කි බලපොරොත්තු විය.

සිය ගනනක් ආධාරකරුවෝ ට්‍රොට්ස්කි පිටව යනු දැකීමට ජැටියට පැමිනියහ. "කුනාටු සහිත අන්ධකාර රාත්‍රිය" ජර්මානු-ඇමරිකානු සමාජවාදියා ලුඩ්විග් ලෝර් සිහිපත් කලේය. "ට්‍රොට්ස්කි පැමිනි විට ඔහුගේ අනුගාමිකයෝ ඔහගේ දෙවුරෙන් ඔසවා විශාල බඩු පෙට්ටියක් මත තැබූ අතර සිය පොපියන මුහුනෙන් හා ප්‍රීතිමත් සිනහවෙන් යුතුව අවසන් වතාවට සමු ගත්තේය."

ට්‍රොට්ස්කි රුසියාවට සැපත් වීමෙන් නව විප්ලවකට මුල පුරනු ඇතැයි ද රුසියාව යුද්ධයෙන් ඉවත් කර ගනු ඇතැයි ද බියවූ බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ ඒජන්තයින් විසින් සති ගනනාවක් තිස්සේ ඔහු නිරීක්ෂනය කර තිබුනි. ලන්ඩනයට යැවූ ලිපිගොනුවල බ්‍රිතාන්‍ය ඒජන්තයෝ, ට්‍රොට්ස්කි ජර්මනියේ මුදල් ලබන්නෙකු හා යුදෙව් කුමන්ත්‍රනයක පාර්ශවකරුවෙක්ය යන බොරුව වගා කලහ. එම අදහස ගෙන ආවේ, බ්‍රිතාන්‍යයෙ ඒජන්තයෙකු වන හා සාර් තන්ත්‍රයේ ඔක්රානා රහස් පොලිසියේ හිටපු සාමාජිකයෙක් වන කැසිමි පිලෙනාස් හා ඔහුගේ සහචර බොරිස් බ්රා සොල් විසිනි. දැන් නිව් යෝර්ක්හි සිටින බ්‍රාසොල්, 1913දී කියෙව්හි යුදෙව් ජාතික කම්හල් හිමියෙකු වූ මෙනහෙම් මෙන්ඩල්ට එරෙහිව ක්‍රිස්තියානි ලමුන් බිලි පූජා කලේ යයි චෝදනා කල කුප්‍රකට නඩුව මෙහෙයවා තිබුනි. 1918 වසරේදී සියොන්වාදී වැඩිහිටියන්ගේ රැස්වීම්වල කෙටුම්පත සාර්වාදී යුදෙව් විරෝධී හොර කෙටුම්පතේ ඉංග්‍රීසි භාෂා පරිවර්තනය පිලෙනාස් හා බ්‍රාසොල් විසින් ප්‍රචාරය කරනු ඇත.

එවන් ගොතන ලද චෝදනා පදනම් කරගෙන බ්‍රිතාන්‍ය මිලිටරිය, නෝවා ස්කොෂියාවේ හැලිෆැක්ස්හි මාර්තු 30දා නැංඟුරම් ලෑමට නියමිත ට්‍රොට්ස්කි ඇතුලු පිරිස ගමන්ගත් නැව, ක්රිතස්ටියානියාෆ්ජොර්ඩ්, වරායෙන් නික්ම යාම නතර කලේය. ට්‍රොට්ස්කි හා ඔහුගේ රුසියානු අනුගාමිකයින්, කැප්ටන් ඕ එම් මැකින්ස් යටතේ බ්‍රිතාන්‍ය බලධාරීන් විසින් ප්‍රශ්න කරනු ලැබින. "වර්තමානයේ මගේ රුසියානු අභ්‍යන්තර දේශපාලන සම්බන්ධකම්, බ්‍රිතාන්‍ය නාවික පොලිසියේ පාලනය යටතේ නොපවතින්නේ යයි" ට්‍රොට්ස්කි ඊට ප්‍රතිචාර දැක්වීය.

මාර්තු 27 ජර්මනිය: ආන්ඩුව ආහාර සලාකයේ තියුනු කප්පාදු නිවේදනය කරයි

1917 අප්‍රේල් 9-15 කාලයේ බර්ලිනය හා යාබද ප්‍රදේශවල පාන් සලාක කාඩ්පත

ආන්ඩු බලධාරීහු, අප්‍රේල් 15 සිට ආහාර සලාකයේ තවදුර කැපීම් නිවේදනය කරයි. දිනක පාන් සලාකය ග්‍රෑම් 170 දක්වා අඩු කෙරේ. සතියක අර්තාපල් සලාකය ග්‍රෑම් 2500කි. ඊට අමතරව වැඩිහිටි අයෙකුට සතියකට හිමි වන්නේ බටර් ග්‍රෑම් 80, මස් ග්‍රෑම් 250, සීනි ග්‍රෑම් 180ක් හා බිත්තරයකින් අඩකි. තරුනයින්ට හා බර වැඩ කරන කම්කරුවන්ගේ අමතර දීමනා, මුලුමන්ම අහෝසි නොකෙරෙන්නේ නම් විශාල ලෙස කපා හැරේ. කෙසේ වුවත් නියමිත සලාකය පවා ලබාදීමට සෑහෙන ආහාර නොතිබුනි. යමක් ලැබුනත් ඒ සඳහා කාන්තාවන්ට පැය ගනන් පෝලිම්වල තැපීමට සිදුවිය.

බ්‍රිතාන්යෙ නාවික අවහිර කිරීම් නිසා යුද්ධයට පෙර ආනයන කර තිබූ කෘෂි නිෂ්පාදන වලින් තුනෙන් එකක් අතුරුදහන්වී ඇත. 1917 මුල ඇමරිකාව, මධ්‍යස්ථ රටවල් හරහා රහසින් ජර්මනිය කරන ලද වෙලඳාම අත්හිටුවීය. මේ අතර සපයාගත හැකි ජීවාන්තක සියල්ලම පාහේ, පොහොර වෙනුවට රසායනික කර්මාන්තය විසින් මූනිස්සම් නිෂ්පාදනය සඳහා යෙදවීම නිසා ජර්මනියේ අස්වැන්න ඉතා පහත මට්ටමක පැවතුනි.

රුසියාවේ විප්ලවවාදී වර්ධනයන් පිලිබඳ ආරංචි ද සමඟ ආහාර සලාකයේ මෙම කැපීම්, දින කිහිපයක් තුල, යුද්ධයේ ආරම්භයෙන් පසු, පලමු ප්‍රධාන වැඩවර්ජන ව්‍යාපාරය පනගන්වනු ඇත.

මාර්තු 27 ස්පාඤ්ඤය: යූජීටී හා සීඑන්ටී සමිති මහා වැඩවර්ජනයක් කැඳවයි

මැඩ්රිඩ්හි පැවති එක් දින මහා වැඩවර්ජනයක්

නිශ්චිත දිනයක් නොමැතිව, සමාජවාදී පක්ෂය සමඟ සන්ධානගතව සිටි ස්පාඤ්ඤයේ කම්කරුවන්ගේ පොදු සංඟමය (යූජීටී) හා අරාජක-සින්ඩිකල්වාදී කම්කරු ජාතික සම්මේලනය (සීඑන්ටී) "අනියමිත කාලයක මහා වැඩවර්ජනයක්" කැඳවන බවට ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කලේය. එදින පැවති කම්කරු සම්මේලනයේ ලියවිලි අනුව "සාගින්න හා ඛේදවාචක" පිලිබඳව වැඩෙමින් පැවති විරෝධතා පල කලේය. ඔවුන් "අභිමානවත් ජීවිතයක් ගත කල හැකිවන පරිදි ජනතාවට ජීවන තත්වයන් සහතික කරන පරිදි හා එහි විමුක්තිකාමී කටයුතු වර්ධනය වන පරිදි ක්‍රමය තුල මූලික වෙනස්කම්" ඉල්ලා සිටියේය.

දිනකට නිල නොවන අකාරයෙන් පැය 10ක් හෝ ඊටත් වැඩියෙන් වැඩ කල ද ප්‍රධානකොටම යුරෝපයේ යුද්ධයෙහි ප්‍රතිපලයක් වශයෙන් පිම්මේ ඉහල නඟින ආහාර හා ගෙවල් කුලී මඟින් කම්කරුවන්ගේ ජීවන තත්වයන් කාබාසීනියා විය. 1913 හා 17 අතර මිල දර්ශකය දෙගුනයකින් වැඩි විය. වැටුප් වැඩි වුනේ සියයට 25න් පමනි. 13වන අල්ෆොන්සෝ රජුගේ සහාය ලැබූ අගමැති රොමානොන්ස්හි සිටුවරයාගේ ආන්ඩුව ගැඹුරු අර්බුදයකට මුහුන පෑවේය. වැඩවර්ජන තලා දැමීමේ ව්‍යායාමය තුල හමුදාව විශ්වාසකටයුතු නොවනු ඇතැයි බියට පත් ආන්ඩුව, මිලිටරියේ කප්පාදුවක් කිරීමට උත්සාහ කලේය.

1916 වන විට ගොවීන් වතුපිටි වාඩිලා ගැනීමට පටන්ගත් අතර විරෝධය පලකිරීම්වස් භවභෝග පුලුස්සා දැමීය. අස්චූරියාවේ පතල් කම්කරුවන් හා බාසිලෝනාවේ ඉදිකිරීම් කම්කරුවන් ද ජාතික වශයෙන් දුම්රිය කම්කරුවන් ද වැඩවර්ජනය කලේය. රට පුරා දහස් ගනන් කම්කරුවන් විරෝධතා දක්වද්දී, කම්කරුවන්ගේ බලපෑම් නිසා යූජීටී හා සීඑන්ටී සමිති වලට වඩ වඩාත් ඒකාබද්ධ ක්‍රියාවන්ට යාමට සිදු වුනු අතර අවසානයේ 1916 දෙසැම්බර් 18දා, එක් දින මහා වැඩවර්ජනයක් කැඳවීමට සිදු විය.

මාර්තු 28 (පැරනි මාර්තු 15) පෙට්‍රොග්‍රෑඩය: බොල්ශෙවික් පක්ෂයේ දක්ෂිනාංශික සුලුතරය ආරක්ෂනවාදය ප්‍රචාරය කරති.

පක්ෂයේ සමස්ත රුසියානු සෝවියට් සභාවන්ගේ 10වන සමුලුවට සහභාගී වූ පීටර්ස්බර්ග් බොල්ෂෙවික් කමිටු සාමාජිකයින් 1922 ගන්නා ලද ඡායාරූපයක පෙනී සිටිමින්. වමේ සිට දකුනට : ඒ. ජී. ෂ්ලියාප්නිකොව්, එන්. එන්. ඇන්ටිපොව්, කේ. අයි. ෂුට්කෝ, පී. අයි. ස්ටුච්කා. වාඩිවී: එන්. එෆ්. ඇගඩ්ෂනෝවා, එම්. අයි. කලිනින්, වී. වී. ස්මිඩ්ට්, කේ. එන්. ඔර්ලොව්, වී. එන්. ෂලෙස්කි.

ලෙව් කමනෙව්, ජෝසෆ් ස්ටාලින් හා මැට්වේ මුරනොව් ඇතුලු බොල්ශෙවික් පෙට්‍රොග්‍රෑඩ් සංවිධානයේ දක්ෂිනාංශික සුලුතරය යුද්ධයට හා ආන්ඩුවට පක්ෂපාතී පිලිවෙතක් වර්ධනය කිරීම පිනිස ලෙනින් නොසිටීම වාසියට හරවා ගත්හ.

ප්‍රව්දා යන බොශෙවික් පුවත්පත තුල කමනෙව් විසින් සංස්කරනය කරන ලද ප්‍රධාන ලිපිය මාර්තු 28දා (පැරනි මාර්තු 15) පලවීමත් සමඟ දෙපැත්තකින් පක්ෂයේ විනය කඩ කෙරුනි. ලිපිය පක්ෂ පිලිවෙතින් ඉවතට හැරීමකට අමතරව, 1915දී ඩූමාවේ බොල්ශෙවික් නියෝජිතයන්ගේ නඩුවේදී ඔහු අධිකරනය සමඟ පෙලගැසීමට උත්සාහ කරමින් දුන් සාක්ෂියෙන් පසුව පුවත්පතේ කතුවැකි නාමය ලෙස කමනෙව්ගේ නම පල කිරීම තහනම් කර තිබුනි.

මාර්තු 28දා නිකුත්වූ ප්‍රව්දාවේ සඳහන් වුනේ, "ජර්මනියේ හා ඔස්ට්‍රියාවේ ප්‍රජාතන්ත්‍ර බලවේග අපගේ හඬට ඇහුන්කන් නොදෙන්නේ නම්, අපගේ අවසන් ලේ බිංඳුව හෙලා හෝ අප අපගේ පීතෘභූමිය ආරක්ෂා කල යුතුය" යනුවෙනි.

කමනෙව් මෙසේ ලිවීය: "එක් හමුදාවක් අනෙකට සතුරුව පිහිටා සිටින කල, එක් පාර්ශවයක් සිය අවි බිම තබා ගෙදර යා යුතු යයි යොජනා කිරීමේ පිලිවෙතට වඩා අභූතයක් තවත් නැත. මිනිසුන් නිර්භීත ලෙස තම ස්ථානයෙහි රැඳී සිට වෙඩි උන්ඩයට වෙඩි උන්ඩයෙන් ද ෂෙල් වෙඩිල්ලට ෂෙල් වෙඩිල්ලෙන් ද පිලිතුරු දෙනු ඇත. මේ ගැන විවාදයක් නැත. අප විප්ලවයේ සන්නද්ධ හමුදාවන් අසංවිධාන වීමට ඉඩ නොතැබිය යුතුය."

මුරනොව්-ස්ටැලින්-කමනෙව් කන්ඬායමේ හැසිරීම පක්ෂය තුල කලබැගෑනියක් ඇති කලේය. මාර්තු 28දා පෙට්‍රොග්‍රෑඩ්හි මධ්‍යම කමිටුවේ රුසියානු බියුරෝවේ රැස්වීමකදී, මොස්කෝවේ ප්‍රමුඛ බොල්ශෙවිකයෙක්, කමනෙව්ගේ නම කොහොමටවත් පුවත් පතෙහි පල කලේ ඇයිදැයි දැනගැනීමට අවශ්‍ය බව කියා සිටියේය. රැස්වීම තුල ඡන්දයේදී කමනෙව්ගේ ලිපිය ප්‍රතික්ෂේප කරන ලදී. ප්‍රව්දාවේ සමස්ත කතෘ මන්ඬලය වෙනත් අයගෙන් පුරවන ලදී.

මාර්තු 31දා කමනෙව්, තාවකාලික ආන්ඩුවට සහයෝගය දීමේ පිලිවෙතට පක්ෂයේ පීටර්ස්බර්ග් කමිටුව ඒත්තුගන්වා ගත්තේය. ඉන් පසුව එලඹි දිනවලදී පක්ෂය තුල කලබැගෑනිය උත්සන්න වෙමින් එලෙසම පැවතුනි. පසුපෙල බොල්ෂෙවිකයෝ කමනෙව් හා ඔහුගේ ලිපියට වගකිවයුතු සියල්ලෝම පක්ෂයෙන් නෙරපා හරින ලෙසට ඉල්ලූහ.

මාර්තු 29 ( පැරනි මාර්තු 16) පෙට්‍රොග්‍රෑඩය: තාවකාලික ආන්ඩුව පෝලන්තයේ නිදහස පිලිගත්තේය

පලමු ලෝක යුද්ධයේදී ජර්මනිය, ඔස්ට්‍රෝ-හංගේරියානු අධිරාජ්‍යය හා රුසියානු අධිරාජ්‍යය විසින් පෝලන්තය වාඩිලා ගැනීම

තාවකාලික ආන්ඩුව පෝලන්තයට නිදහස් වීමට ඇති අයිතිය අපැහැදිලි ලෙස නිකුත්කල ප්‍රකාශයකින් පිලිගනිමින් "නිදහස් පෝලන්තය" හා "නිදහස් රුසියාව" අතර "නිදහස්" මිලිටරි සන්ධානයක් වෙනුවෙන් කැඳවුම් කලේය. පෝලන්තය ජර්මානු අධිරාජ්‍යය, ඔස්ට්‍රෝ-හංගේරියානු අධිරාජ්‍යය හා රුසියානු අධිරාජ්‍යය අතර බෙදාගැනීම, ප්‍රංශ විප්ලවයෙන් පසුව ඇතිවූ යුරෝපයේ පුනස්ථාපන පර්යායේ මූලික අංඟයක් බවට පත් විය.

මාක්ස්වාදී ව්‍යාපාරය 1847 තරම් ඈතදීම පෝලන්ත නිදහස සඳහා ඉල්ලීම සිය ධජයේ සටහන් කරගෙන තිබුනි. 1905දී රුසියානු අධිරාජ්‍යයේ විප්ලවය තමන්ගේ අතිශයින්ම බලගතු කඳවුරු දෙක වෝර්සෝවේ හා ලෝඩ්ස්හි ද පෝලන්ත රාජාන්ඩුවේ රෝසා ලක්සම්බර්ග්ගේ සමාජ ප්‍රජාතන්ත්‍ර පක්ෂය තුලත් පිහිටුවා ගත්තේය. තාවකාලික ආන්ඩුව පෝලන්ත නිදහස පිලිගත් කල, දිගු කලක් පෑගීමට ලක්ව තිබූ පෝලන්ත කම්කරු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රික අභිලාෂයන් වෙනුවෙන් රුසියානු ජනතාව අතර පැවති අනුකම්පාවේ ගැඹුරු මූලයන් අල්ලා ගැනීමට එයට හැකි විය.

කෙසේ වෙතත්, අධිරාජ්‍යය තුල සිටි අනෙකුත් සියලු පීඩිත ජනතාවන්ගේම පාහේ ජාතික අභිලාෂයන් නොතකා හරින ලද තාවකාලික ආන්ඩුවේ දේශපාලන අරමුනු, ප්‍රජාතන්ත්‍රවාදී වූයේ නැත. පලමු ලෝක යුද්ධයේදී අධිරාජ්‍යවාදී බලවතුන් අතර යුරෝපයේ පාලනය පිලිබඳව ඇතිව තිබූ කාකොටාගැනීමේ වාද විෂයයක්ව තිබුනේ "පෝලන්ත ප්‍රශ්නය" යි.

පලවෙනි ලෝක යුද්ධයේදී පෝලන්තය බෙදාගෙන සිටි බලවතුන් සටන් කලේ, බැරිකේඩයේ දෙපැත්තෙහි සිටය. එමඟින් රට යුද්ධයේ ප්‍රධාන යුද පිටියක් බවට පත්කරනු ලැබින. පෝලන්තයේ සියලු කොටස්වල සමාජ ආර්ථික යටතල ව්‍යූහය විනාශ විය. මිලියන ගනනක් අවතැන් විය. නොඑසේ නම් තුවාල ලබා හෝ මියගොස් තිබුනි.

පෝලන්ත ජනතාවගේ දුක් පීඩා ගසාකමින් ඇමරිකානු ජනාධිපති වුඩ්රෝ විල්සන්, එරට ජනතාවට "සහන දිනයක්" සලසමින් 1915 දෙසැම්බරයේදී ආඥාවක් නිකුත් කලේය. 1916දී ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන උත්සුකයක් වූයේ පෝලන්තය සඳහා "සහන සැලසීමේ" ව්‍යායාමයයි. ඇමරිකානු ආන්ඩුවේ ව්‍යායාමය ගැන උත්සුකයෙන් ජර්මානු ආන්ඩුව හා ඔස්ට්‍රියාව, "පෝලන්ත නිදහස" සඳහා පලමු පියවර ගන්නා අය බවට පත්වීමට තදියම් වූහ: 1916 නොවැම්බරයේ ඊනියා "අධිරාජ්‍යයන් දෙදෙනාගේ ප්‍රකාශනයෙන්" ඔවුන්, "පෝලන්ත රාජ්‍යයේ නිදහස" පිලිගත්තේය. ජර්මානු ආඥාපතිත්වයේ පාලනය යටතේ තබන ලද පෝලන්ත හමුදාවක් ගොඩනැඟීමට ද ප්‍රකාශනයෙන් ඉඩ සලසනු ලැබින.

තාවකාලික ආන්ඩුවේ ප්‍රකාශනය අවශ්‍යයෙන්ම එල්ලව තිබුනේ, ඇමරිකානු හා ජර්මානු ප්‍රකාශනයන්ගෙන් සවිමත්වූ පෝලන්ත ප්‍රභූ පැලැන්තිය තුල ප්‍රධාන බලවතුන්ට සතුරු සහචරයෙකුගේ සහාය ලබාගැනීමයි. එහි මෙසේ සඳහන් වේ. "පෝලන්ත රාජ්‍යය රුසියාව සමඟ නිදහස් සංඟමයක් තුල එක්සත් වීම, ස්ලාව්රාජ්‍යයට එරෙහි ප්‍රධාන බලවතුන්ගේ පීඩනයට මුහුන දිය හැකි සවිමත් තාප්පයක් වනු ඇත." තව ද පෝලන්තයේ නාමික "නිදහස" හිස් බලපොරොත්තුවක් වනු ඇත. එය තවමත් රුසියාව තුල කැඳවා නැති ව්‍යවස්ථාදායක සභාවක් විසින් තීන්දු කල යුතුව ඇත.

මාර්තු 29 බර්ලිනය: මාධ්‍යමික කන්ඬායම ආන්ඩුවෙන් සාම ව්‍යායාමයක් ඉල්ලයි

රෝසා ලක්සම්බර්ග්

1916දී ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍ර" පක්ෂයේ (එස්පීඩී) දක්ෂිනාංශික නායකත්වය රයිස්ටෑග් හෙවත් පාර්ලිමේන්තුවෙන් නෙරපා හල කන්ඬායමක් වූ "සමාජ ප්‍රජාතන්ත්‍ර ක්‍රියාකාරී කන්ඬායම" (සැග්) සාම ව්‍යායාමයක් අරඹන ලෙස යෝජනාවක්, දෙවන විල්හෙල්ම් අධිරාජයාගේ අධිරාජ්‍යය ආන්ඩුවෙන් "බැගෑපත්ව" ඉල්ලා සිටිමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේය. එසේම එය, අනාගතයේ යුද්ධ හා සාම ගිවිසුම් ප්‍රකාශ කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය බව පැවසෙන පනතක් ඉදිරිපත් කරන ලෙසට ද බැගෑපත් විය. තවදුරටත් එම යොජනාව ඉල්ලා සිටියේ, නිශ්චිත ස්වදේශික ප්‍රතිසංස්කරන ඉටුකරන ලෙසය.

කාල් කවුට්ස්කි, එඩුවාඩ් බර්න්ස්ටයින්, පෝල් ඩිට්මාන, හියුගෝ හැසී හා ජිඕග් ලෙඩිබෝර් වැනි සැග්හි සාමවාදී නායකයින්, රට තුල මෙන්ම යුද අගල් තුල ද යුද්ධයෙන් හෙම්බත්ව සිටි වැඩකරන ජනතාව අතර වැඩෙමින් තිබුනු රැඩිකලීකරනය ගැන කනස්සල්ලට පත්ව සිටියේය. පාර්ලිමේන්තුවට ගෙනා යෝජනාව තෙමේම හඳුන්වාගත් පරිදි "ක්‍රියාකාරී වැඩසටහන" යුද්ධය කෙරේ විරුද්ධත්වය පාර්ලිමේන්තුව දෙසටම හරවා ගැනීමෙන් විප්ලවවාදී වර්ධනයක් වලක්වා ගැනීම පිනිස සැලසුම් කල එකකි.

1917 මැයි මස අංක 5 දරන ස්පාටකස් ලිපිය තුල රෝසා ලක්සම්බර්ග්, කන්ඬායමේ ප්‍රතිපත්ති තියුනු ලෙස විවේචනය කලාය: "සැග් (කන්ඬායම) රුසියානු විප්ලවයට ප්‍රතිචාර දක්වා ඇත්තේ, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඔවුන්ට අවශ්‍යව ඇති, බෙහෙවින් රැඩිකල් ඉල්ලීම්වල දිග ලැයිස්තුවක් ද ඇතුලු මුලුමනින්ම අලුත් 'ක්‍රියාකාරී වැඩසටහනක්' ඉදිරිපත් කරමිනි. ඔවුන් කිසිවක් අත්හැර නැත! සමස්ත පක්ෂ ක්රිනයාමාර්ගයම පාහේ ලියා ඇති එය දැන් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය...."

එහෙයින් මේ පැයේදී වැදගත්ම දේ එයයි: පාර්ලිමේන්තුවට ඉල්ලීම් ඉදිරිපත් කිරීම? මෙම අධිරාජ්‍යවාදී මැම්ලුක් ආරක්ෂක පාර්ලිමේන්තුවට!...

දශක ගනනාවක් තිස්සේ ටිකෙන් ටික සිය හිස මතට වක්කරන ලද නිල ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රයේ මාරක සම්මෝහනයෙන් අවසානයේ සිය ඔලුව බේරාගැනීමට උත්සාහ කරන ජර්මානු කම්කරු පන්තිය මත, සාමය හා ජාත්‍යන්තර සමාජවාදයේ මුලු මහත් අනාගතයම රඳාපවතින මෙහොතේම, කම්කරුවන්ට "විප්ලවය වෙනුවට පාර්ලිමේන්තුවාදී 'අරගලය' නමැති මෙම බඩදඟලවන ආධානග්‍රාහය දේශනා කරනු ලබයි. එනම් අනෙක් තැන්වලදී විප්ලවවාදී මඟ ගනිමින් දිනාගන්නා ලද සියල්ල, ජර්මනියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ කටමැත දෙඩවීම් තුලින් පාර්ලිමේන්තු සභා ගැබ තුල දිනාගත හැකිය යන අධානග්‍රාහයයි!"

මාර්තු 29 ස්ටොක්හෝම්: සවීඩ්නයේ අගමැති ඉල්ලා අස්වෙයි

1917 ස්ටොක්හෝම් නුවර කැරලි පෙන්වන චිත්‍රය

ස්වීඩනයේ අගමැති හල්මා හැමාස්ජෝල්ඩ් තම ඉල්ලා අස්වීම ඉදිරිපත් කිරීමේ ප්‍රතිපල වශයෙන් ඔහුගේ නිර්පාක්ෂික කොන්සවේටිව් ආන්ඩුව බිඳ වැටුනි. එය 1914 පෙබරවාරියේ පටන් රජුට හිතපක්ෂපාතීව සිටියේය. යුද්ධය අවධියේ හැමස්ජොල්ඩ්, මධ්‍යස්ථ පිලිවෙතක් අනුගමනය කල අතර ජර්මනිය සමඟ වෙලඳාම ද නොකඩවා පවත්වාගෙන ගියේය. මෙය ඔහුගේ ආස්ථානය ජර්මානු ගැති එකකැයි දැකගත් අයගේ විරුද්ධත්වය ඇවිලවීය. විශේෂයෙන්ම ඔහු, විදෙස් ඇමති නුට් වොලෙන්බර්ග්ගේ සොහොයුරා වූ මාකස් වොලෙන්බර්ග් විසින් බ්‍රිතාන්‍යය සමඟ ඇතිකරගන්නා ලද වෙලඳ ගිවිසුමට දායකත්වය සැපයීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව.

වෙලඳ ගිවිසුම ප්‍රතික්ෂේප කිරීම ආන්ඩුව බිඳවැටීමට තුඩු දුන් අතර එය සිදුවූයේ සමාජ ආතතීන් වැඩී යන කොන්දේසි යටතේය. ආනයන හිඟවීම නිසා මූලික ආහාර ද්‍රව්‍යවල මිල ගනන් සියයට 20න් ඉහල නැඟුනි. එය හැමාස්ජෝල්ඩ් පාලනය "හන්ගර්ජූල්ඩ්" (සාගත ජූල්ඩ්) ආන්ඩුවක් ලෙස හඳුන්වන ලද බොහොමයක් කම්කරුවන් අතර නොසංසුන්තාවක් ඇවිලවීය. හැමාස්ජෝල්ඩ්ගේ අස්වීමෙන් සති ගනනක් තුල නඟර ගනනාවක ආහාර කැරලි හටගත්තේය. ජූනි මාසයේදී විශාල සෙනඟක් ආහාර අර්බුදයට විරෝධය පෑම පිනිස ස්වීඩන් පාර්ලිමේන්තුව වැටලීමට නියමිතව තිබුනි.

මාර්තු 31 (පැරනි මාර්තු 18) කියෙල්: වැඩවර්ජනය කල නැව් තටාංකාංඟන කම්කරුවන් 26000ක් සාමය ඉල්ලා හඬ නඟයි

ප්‍රථම ලෝක සංග්‍රාමය ආසන්නව තිබියදී 1914 පෙබරවාරියේදී කියෙල් වරායේ නවතා ඇති ජර්මානු සබ්මැරීන් යාත්‍රා

උතුරු ජර්මනියේ පිහිටා තිබෙන විශාලතම නැව්තටාකාංඟන සහිත කියෙල් වරාය නඟරයේ කම්කරුවන් 26000ක් වැඩවර්ජනය කර නඟර මධ්‍යයට ගමන් ගනී. පෙලපාලිය මෙහෙයවූ කම්කරුවෝ වහාම සාමය යන ඉල්ලීම සිය බැනරයන්හි සටහන් කරගත්හ. මෙම දේශපාලන ඉල්ලීම මත අවධාරනය යෙදූ දහස් ගනන් කම්කරුවන්ගේ පලමු ප්‍රධාන පෙලේ වැඩවර්ජන පෙලපාලිය මෙය විය. නඟරයේ රඳවා සිටි 9 වන හමුදා ඛන්ඩයේ නියෝජ්‍ය ආඥාපති කෝපය හා මුසුවූ උත්සුකයකින් විරෝධතාව ගැන කරුනු දැක්වීය: "සුලඟ (රුසියාවේ සිට) මෙහාට තෘන ඇට ගෙනැවිත් තිබේ. එය බොහෝ නිශ්චිත සලකුනු වලින් පෙන්වන පරිදි දැනටමත් මල්පල ගැන්වීමට පටන්ගෙන ඇත!"

මාර්තු 31 කෝපන්හේගන්: ඩෙන්මාර්කය බටහිර ඉන්දීය කෙදෙව් දූපත් ඇමරිකාවට බාර දෙයි

බටහිර ඉන්දීය කොදෙව් ඇමරිකාවට බාරදීම පිලිබඳ ඇමරිකාවේ ප්‍රචාරක චිත්‍රපටයක්

ඇමරිකාව නෙදර්ලන්ත බටහිර ඉන්දීයා කොදෙව් දූපත්වල නිල අයිතිය රන් කාසි ඩොලර් මිලියන 25කට (2017 වටිනාකම අනුව ඩොලර් බිලියන 1.4කට) පවරා ගෙන ඒවා එක්සත් ජනපද වර්ජින් දූපත් ලෙස යලි නම්කලේය. ශාන්ත තෝමස්, ශාන්ත ජෝන් හා ශාන්ත ක්රොයයික්ස් දූපත් සඳහා ගනුදෙනුව පදනම් වුනේ, 1915-16 කාලයේ දෙරට අතර පැවති සාකච්ඡාවලදී ඇතිකරගත් ගිවිසුමක් මතය.

ඇමරිකාව එම දිවයින් අත්කර ගත්තේ, පැනමා ඇල ජර්මනිය විසින් අත්කර ගැනීමේ හැකියාව වලක්වා එහි ආරක්ෂාව සහතික කරන බව පවසමිනි. ඇමරිකානු අධිරාජ්‍යවාදය පලමුවන ලෝක යුද්ධයේදී එහි මිතුරු රටවලට ආයුධ සපයන්නා හා මූල්‍ය අරමුදල් සපයන්නා ලෙස ලබාගත් දැවැන්ත ලාභයට සාපේක්ෂව දිවයින් සඳහා ගෙවනු ලැබුවේ සුලු මුදලකි.

මේ සතියේම: ජර්මානු හා රුසියානු සෙබලු 1917 මාර්තු අග යුද අගල් තුල සහෝදරත්වය ප්‍රකාශකර ගනිති

ජර්මානු හා රුසියානු සෙබලු 1917 මාර්තු අග යුද අගල් තුල සහෝදරත්වය ප්‍රකාශකර ගනිති. මූලාශ්‍රය: Fritz Klein (Ed.): Deutschland im Ersten Weltkrieg (1 ලෝක යුද්ධයේදී ජර්මනිය) 1968 බර්ලිනය, 667 පිටුව

ජර්මානු හමුදාවට බලයෙන් බඳවාගත් ඩොමිනික් රිෂර්ට් සිය මතක සටහන්වල විස්තර කරන්නේ, එය පෙබරවාරි විප්ලවය සම්බන්ධයෙන් ජර්මානු-රුසියානු යුද පෙරමුනේදී දැක්වුනු ප්‍රතිචාරයක් වූ බවයි.

මුලු සේනාංකයම අනදෙන නිලධාරියා වටා කවයක් මෙන් සිටගෙන සිටියහ: ඔහු මෙසේ කියන්ට පටන්ගත්තේය: "සෙබලුනි, මේ පෙරමුනේ යුද්ධය මූලිකවම අවසන්ව තිබේ. රුසියාව තුල විප්ලයක් හටගෙන ඇත. සාර් පෙරලා දමා ඇත. මිනිසුන් 30,000න් යුත් ශාන්ත පීටර්ස්බර්ග් සේනාංකයම විප්ලවවාදීන්ට එකතුවී ඇත." කටවල් ඇරගෙන අප අසා සිටියෙමු, පසුව අපගේ නවාතැන් වෙත යාමට අවසර ලැබුනි. අපි සියලු ආකාරයේ විය හැකි හා නොවිය හැකි සිතාගැනීම් සාකච්ඡා කලෙමු. සියල්ලෝම පාහේ යුද අගල් තුල ජීවිතය දැන් ඉක්මනින්ම අවසන් වේ යයි කැලඹීමට පත්ව සිටියෝය.

මාර්තු මාසයේ අවසන් සතිය වන වට ජර්මානු-රුසියානු පෙරමුනේ දෙපැත්තේම මිලටරි විනය බිඳ වැටෙමින් තිබුනි. තනි තනි සෙබලු ද සමස්ත සේනාංකයන්ම ද දැන් නම් යුද්ධය නිමා විය යුතුය යන තීරනයට එලඹ සිටියහ. බොහෝ අවස්ථාවල රුසියානු හා ජර්මානු සෙබලු අගල් තුල සහෝදරත්වය ප්‍රකාශකර ගත්හ. මේ අතර රුසියානු හමුදාව තුල අතහැර යාමේ රැල්ලක් හටනෙ තිබුනි.

එසේම මේ සතිය තුල: නිව් යෝර්ක්හි "ඇමරිකානු චිත්‍ර ශිල්පී ග්‍රේ වර්ස්" ගේ ප්‍රදර්ශනයක් ආරම්භ විය

"සර්බියන් සරනාගතයෝ" බෝර්ඩ්මන් රොබින්සන් විසින්

ඇමරිකානු චිත්‍ර ශිල්පී ග්‍රේ වර්ස්ගේ පලමු වාර්ෂික ප්‍රදර්ශනයට, බෝරඩ්මන් රොබින්සන්, ඇනි ගෝල්ඩ්ත්වේට්, ජෙරොම් මයර්ස්, ඇල්බර්ට් ස්ටර්නර්, එඩ්වර්ඩ් හොපර්, චිල්ඩි හසන්, ජෝන් ස්ලෝන්, ජිඔජි බෙලොව්ස් වැනි සුප්‍රකට පුද්ගලයන්ගේ කෘතීන් ද ඉදිරිපත්කර තිබුනි.

නිව් යොර්ක් ටයිම්ස් විමසුමක සටහන් වුනේ, "එක්කාමරයක් විශේෂයෙන්ම වෙන්කර තිබුනේ, ලිතෝග්‍රාෆ් වෙනුවෙනි. මෙහිදී සමාජ විවේචකයෙකු ලෙස ජිඔජි බෙලොව්ස්ගේ ක්‍රියාකලාපය කැපී පෙනුනි. යමෙක් ඔහු හොග්‍රාත්ට සමාන කර තිබුනි. නාගරික ජීවිතය පිලිබඳ දසුන් සඳහා ඔහුගේ ලාලසාව මහා ලන්ඩන් වැසියෙකුට සමාන විය." බෙලොව්ස් බොහෝ චිත්‍ර හා මුද්‍රිත දෑ සමාජවාදී සඟරාවක් වන මාසස්ට ප්‍රදානය කලේය.

කැනඩාවේ උපත ලත් රොබින්සන් විසින් "සර්බියාවේ සරනාගතයෝ" යනුවෙන් නිර්මානය කරන ලද එක් ලිතෝග්‍රාෆයක් අවධානය දිනාගෙන තිබුනි. රොබින්සන් තවත් රැඩිකල් වාදියෙකු වූ මාධ්යයවේදී ජෝන් රීඩ් සමඟ 1915දී යුද්ධයේ ප්‍රතිවිපාක දැක ගැනීම පිනිස නැඟෙනහිර යුරෝපයේ සංචාරය කොට තිබුනි. දෙදෙනා නැඟෙනහිර යුරෝපයේ යුද්ධය (1916) සඳහා එකට වැඩ කලහ. පසුව යුද විරෝධී අදහස් නිසා රොබින්සන්ට නිව් යෝර්ක් ට්‍රිබියුන්හි රැකියාව අහිමි විය. කඩාකප්පල්කාරී පනත යටතේ ද මාසස් සඟරාව මර්දනය කිරීමෙන් අනතුරුව රොබින්සන්, සංස්කාරක මැක්ස් ඊට්ස්මන් සමඟ ද ලිබරේටර් හා නිව් මාසස් සමඟ වැඩකිරීමට පටන් ගත්තේය.

එසේම මේ සතිය: අප්‍රිකානු-ඇමෙරිකානු රචක, සංඟීතඥ ස්කොට් ජොප්ලින් වයස අවුරුදු 49දී මිය යයි

ජොසුවා රිෆිකින් විසින් මැපල් ලීෆ් රැග් (මැපල් කොලයේ තානය) වාදනය කරයි

තනු රචක හා පියානෝ වාදක ස්කොට් ජොප්ලින් වයස අවුරුදු 49දී නිව් යෝර්ක් නඟරයේදී මිය ගියේය. උපදංශයට ගොදුරු වීමේ ප්‍රතිපලයක් නිසා ඔහු පරාබ්‍රංශ විමනස්‍යය (dementia paralytica) රෝගයෙන් පීඩා වින්දේය. මිය යනවිට ඔහු දුප්පත්ව හා සාපේක්ෂව අප්‍රසිද්ධියේ පසුවූ නමුත් ඔපෙරා දෙකෙන් එකක් වන අද දක්වාමත් නොනැසී පවතින ට්රීවමොනිෂා ද එක් බැලේ රංඟනයක් ද මූලාරම්භක තනු රචනා 40කට වඩා ද ඉතිරි කර ගියේය.

නිරවද්‍යතාව අතින් සැක පැවතුන ද ජොප්ලින්ගේ උපන් දිනය නිරතුරුව පාහේ දැක්වෙන්නේ 1868 නොවැම්බර් 24දා ලෙසය. අනාගතයේ රචකයෙකු බවට පත්වීමට නියමිතව සිටි ඔහු හැදී වැඩුනේ ඊසානදිග ටෙක්සාස්හිය. ඔහුගේ පියා ගොවිපල කම්කරුවෙක් හා ගැමි සංගීතඥයෙකු විය. ඔහු උපත ලැබුවේ උතුරු කැරොලිනාහි වහලෙකු ලෙසයි. ස්වදේශික කම්කරු කාන්තාවක් වූ ඔහුගේ මව කෙන්ටුකිහි නිදහස් පුරවැසියෙකු ලෙස උපත ලැබීය.

සිය ගැටවර හා තරුන වියේදී ජොප්ලින්ට උපදෙස් දුන්නේ, ජර්මානු සංක්‍රමනිකයෙකු හා "සංගීතයේ මහාචාර්ය" ලෙස හැඳින්වූ ජුලියස් වීස් විසින්ය. වීස් වසර පහක් තිස්සේ තරුන ජොප්ලින්ට, සංගීත න්‍යාය හා පියානෝ වාදනය පිලිබඳව නොමිලේ ඉගැන්වීය. දෙදෙනා අතර යාව ජීව බැඳීමක් ඇති විය.

ජොප්ලින් විසින් වර්ධනය කල බෙහෙවින් තනුගත කරන ලද මෝස්තරය, ඇමරිකානු ජනතා සංගීතයට සුවිශේෂී තානමය අවබෝධය ගෙන දුන්නේය. ජෑස් හා බ්ලූස් සංගීතය වර්ධනය කිරීමේදී එය වැදගත් රසකාරකයක් විය. ස්කොට් ජොප්ලින්: පියානෝ තනු (1970) ලෙස නම් කර, පියානෝ වාදක ජොෂ්වා රිෆ්කින් විසින් වැදගත් ඇල්බමයක් එලිදැක්වීමත් සමඟ 1970 ගනන්වල ජොප්ලින්ගේ කෘති කැපී පෙනෙන පුනර්ජීවනයක් ලැබීය.