යුරෝපීය සංගමයේ සමුලුව බැංකු වෙනුවෙන් නව ගලවාගැනීමේ අරමුදලකට එකඟවෙයි

EU summit agrees to new rescue fund for the banks

18 December 2010

තියුනු ගැටුම් සහිත සති ගනනාවකට පසුව යුරෝපීය ආන්ඩු නායකයෝ පසුගිය 16දා බ‍්‍රසල්ස්හිදී මූල්‍ය අර්බුදයේ ස්ථාවර යාන්ත‍්‍රනයක් පිහිටුවීම සඳහා මූලික පියවර ගැනීමට එකඟත්වය පල කලහ. ස්ථාවරත්වයේ යුරෝපීය යාන්ත‍්‍රනය හෙවත් ඊඑස්එම්, දැනට එකඟත්වයකට පැමින තිබෙන 2013 ඇරඹීමට නියමිත යුරෝ ගලවාගැනීමේ යෝජනා ක‍්‍රමය විස්ථාපනය කරනු ඇත.

සමුලු තීන්දු දැනුම් දීමට සැම විටම භාවිතා කරන "යුරෝපීය සහයෝගිතාවය" පිලිබඳ ශුභවාදී වාංමාලාව පසෙකට දමමින් ඊඑස්එම් කරුනු දෙකක් සඳහා එකඟවෙයි:

පලමුව, සිය ආයෝජන අපතේ ගියහොත් ජාත්‍යන්තර සමපේක්ෂකයන්ට එය මහජන අරමුදලින් හිලව් කරන බවට දෙන සහතිකයයි. දෙවැනුව, එවන් ගලවාගැනීමේ මෙහෙයුම් වියදම දරුනු කප්පාදු වැඩ සටහන් තුලින් සාමාන්‍ය ජනතාවගේ කරමතට පාත්කරන බවට දෙන සහතිකයයි.

අන්‍යොන්‍ය මූල්‍ය ආධාර සැපයීම අඩාල කිරීමට එරෙහිව දැනට පවත්නා තහනම බල රහිත කරන වැකි දෙකකින් ලිස්බන් ගිවිසුම සංශෝධනය කිරීමට ද සමුලු සාමාජිකයෝ එකඟත්වයකට පැමිනියහ. ජර්මානු ආන්ඩුව එවන් සංශෝධනයක එල්බී ගත්තේ එසේ නොමැති වුවහොත් යුරෝ ගලවාගැනීමේ අරමුදල 2013න් ඔබ්බට දීර්ග කිරීම එරට මහාධිකරනය විසින් ප‍්‍රතික්ෂේප කරනු ඇත යන තර්කය ඉදිරිපත් කරමිනි.

පවතින තත්වය යටතේ සමාජික ජාතීන් 16න් සමන්විත යුරෝ කලාපය, 2013න් පසුව යම් රටක් ජාත්‍යන්තර සමපේක්ෂකයන්ට ගොදුරුවුන අවස්ථාවක අන්‍යොන්‍ය වශයෙන් එරටට මූල්‍යාධාර සපයනු ලැබේ. කෙසේ වෙතත් මෙය ද ඉතා දැඩි කොන්දේසිවලට යටත්ය. මූල්‍යාධාර දිය හැක්කේ දැඩි කොන්දේසි පිලිගන්නා අවස්ථාවක පමනක් බවත්, අර්බුද යාන්ත‍්‍රනය අදාල වන්නේ සමස්ත යුරෝ කලාපයම තර්ජනයට ලක්වන්නේ නම් පමනක් බවත් ජර්මානු ආන්ඩුව අවධාරනය කරයි. සමපේක්ෂනයේ ප‍්‍රහාරයට එරෙහිව ආරක්ෂාව ලබාගැනීම සඳහා කිසියම් රටක්, දැනටමත් ග‍්‍රීසිය හා අයර්ලන්තය කටයුතු කරඇති පරිදි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) ද යුරෝපීය මහ බැංකුවේ (යුමබැ) හා යුරෝපීය කොමිසමේ නියෝගවලට කොන්දේසි විරහිතව අනුගත විය යුතුය.

කිසියම් රාජ්‍යයක් නය ගෙවාගැනීමේ දුෂ්කරතාවන්ට මුහුනපෑ අවස්ථාවක නිරායාසයෙන්ම පෞද්ගලික බැඳුම්කර හිමියන්ගෙන් එම අමාරුවෙන් කොටසක් බාරගතයුතු යයි කෙරෙන ඉල්ලීම ඇතුලත් මුල් යෝජනාව, බ‍්‍රසල්ස් සමුලුවේදී වල දමනු ලැබිනි. මෙය දැන් සිදුවනු ඇත්තේ තනි තනි සිදුවීම්වලදී පමනි.

16දා වනවිට එහි පරිමාව ද ඇතුලත් අර්බුදයේ නව යාන්ත‍්‍රනය පිලිබඳ විස්තර තීරනයවී නොතිබුනි. මේ ප‍්‍රශ්න අනාගත සමුලුවකදී තීරනය කෙරෙනු ඇත.

යුරෝ කලාපීය රටවල ජාතික නයෙන් කොටසක් සඳහා අරමුදල් සැපයීමට යුරෝ බැඳුම්කර නිකුත්කල යුතුය යන ලක්සම්බර්ග් අගමැති ජීන් ක්ලවුඩි ජුන්කර් හා ඉතාලියානු මුදල් ඇමති ග්යුලියෝ ටෙ‍්‍රමොන්ටි ඉදිරිපත්කල ඒකාබද්ධ යෝජනාව පලමුව ජර්මනියත්, දෙවනුව ප‍්‍රංශයත් විසින් රලු ලෙස ප‍්‍රතික්ෂේප කරන ලදී.

ජුන්කර් හා ටෙ‍්‍රමොන්ටි බලාපොරොත්තු වූයේ මෙම යෝජනාව ක‍්‍රියාත්මක කලහොත්, යුරෝවට එල්ලවන සමපේක්ෂන ප‍්‍රහාරයකට එරෙහිව මනා ආරක්ෂාවක් සැපයෙනු ඇති බවට හා එහි ප‍්‍රතිපල වශයෙන් බෙහෙවින් නයගැති රටවලට පහත් පොලී අනුපාතයක් යටතේ නය සැපයෙනු ඇති බවටය. එහෙත් තමන්ගේ නය සඳහා පොලී අනුපාතිකයේ සුලු වැඩිවීමක් පිලිගැනීමට සිදුවන පොදු පෙරමුනක් වෙනුවෙන් පෙනී සිටීමට ජර්මානු ආන්ඩුව අකැමති විය. මෙම තත්වය, සමුලුවට පෙර ජර්මන් චාන්සලර් ඇන්ජිලා මර්කෙල් හා ජුන්කර් අතර ප‍්‍රසිද්ධියේම දැඩි වචන හුවමාරුවකට තුඩු දුන්නේය.

නව අර්බුදයේ යාන්ත‍්‍රනයෙහි අර්ථය, සමුලුව "සමස්තයක් ලෙසම යුරෝවේ ස්ථාවරත්වය සහතික කිරීමට" එකඟවීම බව පවසමින් මර්කෙල් "යුරෝව සඳහා හොඳ දවසක් උදාවූ" බව රැස්වීමෙන් පසුව ප‍්‍රකාශ කලාය.

සහතිකෙන්්ම යුරෝවේ අර්බුදය එක දිගට ඇදෙමින් තිබේ. සමුලුවට පසු දිනම එක්සත් ජනපද නය වර්ගීකරන ආයතනයක් වන මූඩීස් ස්පාඤ්ඤයේ නය වර්ගීකරනය පහත හෙලීමට තර්ජනය කලේය. මේ මඟින් 13 වසරක සිය නය සඳහා ඉහලම පොලිය ගෙවීමට එරටට සිදුවනු ඇත. දිනකට පසුව මූඩීස් ගී‍්‍රසියේ නය වර්ගීකරනය තවදුරටත් පහත හෙලීමට තර්ජනය කලේය.

2009 දෙසැම්බරයේදී වත්මන් යුරෝ අර්බුදය මුදාහරිමින් වර්ගීකරන ආයතන ගනනාවක් ග‍්‍රීසියේ තත්වය පහත දැමූ කල ද මෙම රටාව යලි යලිත් මතුවී ආවේය. පලමුව රටේ වර්ගීකරනය පහත දැමීම ද ඊලඟට ඕනෑම අලුත් නයක් සඳහා පොලී අනුපාතය වැඩිවීම ද සිදුවෙයි.

මහජන වියදම් පහත දැමීමට හැකි වේගයට වඩා වැඩි වේගයකින් පොලී බර වැඩී යාම නිසා රටක් නය සර්පිලයකට හසුවන්නේ නම් එවිට එරටට යුරෝපීය ගලවාගැනීමේ යාන්ත‍්‍රනය වෙත හැරීමට බලකෙරෙයි. මේ මඟින් බැංකුවලට තම ආයෝජන සම්පූර්නයෙන්ම ආපසු ලැබෙන බව සහතික කරන අතර ආන්ඩුවේ අවධානය දැඩි කප්පාදු වැඩසටහන් කි‍්‍රයාවට නැඟීම කෙරෙහි යොමුකරවයි.

මෙය බැංකු සඳහා හොඳ ගනුදෙනුවකි. ඒවා බැඳුම්කර වෙනුවෙන් ඉහල ප‍්‍රතිලාභ සහතික කරන අතර අවදානම යුරෝපීය ගලවාගැනීමේ අරමුදල විසින් දරනු ලබයි. තත්වය නරක අතට හැරුනොත් ඔවුන්ගේ මුදල් ආපසු ලැබෙන අතර ලාභ යුරෝපීය සංඟමය විසින් සුරක්ෂිත කරනු ලැබේ.

ආයෝජන සමාගමක් වන පිම්කෝහි ප‍්‍රධානියා වන මොහමඩ් එල් ඉරියන් මෑතකදී ෆිනෑන්ෂල් ටයිම්ස්හි ලිපියක මෙය නොසඟවා ඉදිරිපත් කර තිබුනි. "පර්යන්තයේ රටවලට ද්‍රවශීලතාව සැපයීම මඟින් කරන යලි සහතිකවීමකට වඩා, ගනුදෙනුවල නිරත තැන්පත් කරුවන් හා නය හිමියන් ගලවා ගැනීමේ අරමුදල් යොදාගනු ලබන්නේ තම දේපල ඉවත්කර ගැනීමටය."

එක රටකින් තවත් රටකට වශයෙන් බැංකු දැන් අනුගමනය කරන එම රටාව ග‍්‍රීක අර්බුදයෙන් එලිමහනට ආ එකකි. ඔවුන්, ආන්ඩුවල බැඳුම්කර සඳහා පොලී අනුපාතික ඉහලට තල්ලු කිරීම මඟින් අර්බුදයක් හටගන්වන අතර එම රටට ගලවාගැනීමේ පැකේජයක් ක‍්‍රියාත්මක කිරීමට හා කම්කරු පන්තියේ ජීවන තත්වයන් සමතලා කරන කප්පාදු ක‍්‍රියාමාර්ගයක් ගැනීමට බලකරයි. අයර්ලන්තය ග‍්‍රීසිය පසුපසින් පැමිනි අතර ඊලඟට පෘතුගාලය, ස්පාඤ්ඤය හා සමහර විට ඉතාලිය පැමිනෙනු ඇත.

මෙම පියවරයන්ගේ පන්ති ස්වභාවය එන්ට එන්ටම පැහැදිලි වෙමින් තිබේ. ග‍්‍රීසියේ ඉහල රාජ්‍ය නය පිලිබඳව දිගු හා සංකීර්න ඉතිහාසයක් තිබෙන අතර අයර්ලන්තයේදී එය බැංකුවල සමපේක්ෂන මධුපානොත්සවයේ සෘජු ප‍්‍රතිවිපාකය විය. ඩබ්ලින්හි ආන්ඩුව අයර්ලන්ත බැංකුවල පාඩු සඳහා පූර්න වගකීම බාරගැනීමට තීරනය කරන තෙක් එරට ජාතික නය සාපේක්ෂව පහල මට්ටමක තිබුනි. දැන් බැංකුවල නය ගෙවාදැමීම සඳහා රාජ්‍ය අංශයේ රැකියා, සමාජ වියදම්, ආදායම් හා විශ‍්‍රාම සහන කපා හරිමින් තිබේ.

කොන්සර්වේටිව්, ලිබරල් හෝ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී යන යුරෝපීය ආන්ඩු කවරක් හෝ ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රභූවේ නිර්දේශ නොතකා හැරීමට කැමැත්තක් නොදක්වති. සෑහීමකට පත් නොවන බඩජාරියෙකු මෙන් මූල්‍ය ප‍්‍රභූව දශක හයක කාලයක් තිස්සේ කම්කරු පන්තිය දිනාගත් සමාජ සහන අවසාන වශයෙන් වනසා දැමීම දක්වාම තව තවත් නව කැපකිරීම් ඉල්ලා සිටියි.

ඒ අතරම බැංකු, යුරෝපයේ ජාතික ආතතීන් උත්සන්න කරයි. ආන්ඩු ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රග්ධනය ඉදිරියේ වැඳ වැටෙන අතර අර්බුදයේ බර සිය අසල්වැසියන්ගේ කරමතට පැටවීමේ උත්සාහයක නිරත වෙති. මේ තත්වය, ආර්ථිකය කැබිලිතිවීමේ හා මහාද්වීපය කැබිලිතිවීමේ තර්ජනය එල්ල කරයි. ජාතිකවාදය ඇවිස්සීම හා විදේශිකයන් නොරිස්සීම, ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් මත එල්ල කරන ප‍්‍රහාර සමඟ අත්වැල් බැඳගෙන ගමන් කරයි.

ජර්මනියේදී යුරෝ විරෝධී පක්ෂයක් ගොඩනැඟීම පිලිබඳව කථාබහ කෙරෙයි. මේ සඳහා හාම්පුතුන්ගේ සම්මේලනයේ හිටපු සභාපති හෑන්ස්-ඔලාෆ් හැන්කල් හා තිලෝ සැරසින් වැනි සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ වර්ගවාදී සාමාජිකයන් මධ්‍ය වැඩසටහන් තුලින් හා පුවත්පත් වලින් පුම්බනු ලබයි.

ඔවුන්ට, ක‍්‍රිස්තියානි ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංගමයේ (සීඩීයූ) ද නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ හා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ සමහර කොටස්වල ද සහයෝගය ලැබේ. තමන්ගේම පක්ෂය කැබලිවී යාම පිලිබඳ භීතිය සීඩීයූ නායිකාව වන මර්කෙල් යුරෝපීය කරලිය තුල දරන සම්මුති විරහිත ආස්ථානය කෙරේ බලපාන්නේ සුලුපටු ලෙස නම් නොවේ.

ග‍්‍රීසියේදී දක්ෂිනාංශික මෙන්ම නව-වාමාංශික කටහැකරයන් පැපැන්ඩි‍්‍රයෝ ආන්ඩුවේ කප්පාදු වැඩසටහන් කෙරෙහි පවත්නා මහජන විරෝධය ජර්මන් විරෝධී ජාතිකවාදය තුලට හැරවීමට උත්සාහ කරයි.

ප‍්‍රසිද්ධියේම හෝ සමහරවිට තිරයට පිටුපසින් තම තමන්ගේ ආන්ඩු පිටුපස පෙලගැසී සිටිමින් සෑම තැනකදීම වෘත්තීය සමිති, ජාතිකවාදී භූමිකාවේ තීරනාත්මක ක‍්‍රියාකලාපය ඉටුකරති. ඔවුහු කප්පාදු වැඩසටහන්වලට සහාය දෙමින් කම්කරු පන්තියේ සමස්ත යුරෝපියානු ව්‍යාපාරයක් ගොඩනැඟීමේ කුමන හෝ උත්සාහයක් කඩාකප්පල් කරති.

1924දී ලියොන් ට්‍රොට්ස්කි යුරෝපය කැබිලිතිවීම පිලිබඳව මෙසේ ලිවීය:

"මේ දිනවල යුරෝපීය එක්සත් ජනපදයක් පිලිබඳව කථාකරන ධනේශ්වර අර්ථශාස්ත‍්‍රඥයින්ගෙන්, සාමවාදීන්ගෙන් ව්‍යාපාරික හොර තක්ඩියන්ගෙන්, දවල් හීන දකින්නන්ගෙන් හා හුදු ධනපති වාචාලයන්ගෙන් අඩුවක් නැත. එහෙත් එම කර්තව්‍යය, ප‍්‍රතිවිරෝධතාවන්ගෙන් තරයේම කාබාසීනියාවී සිටින යුරෝපීය ධනේශ්වරයේ ශක්තියට කිසිසේත්ම ඔරොත්තු දෙන්නේ නැත. විප්ලවය පුපුරා යන්නේ කොතැන්හි ද හා එහි සංවර්ධනයේ ගතිකය කුමක් ද යන්න නොතකා එහි සමාජවාදී ප‍්‍රතිනිර්මානය සඳහා දියකර දැමිය නොහැකි පලමු කොන්දේසිය වන්නේ, යුරෝපයේ ආර්ථික ඒකාබද්ධතාවයයි." (ලියොන් ට්‍රොට්ස්කි, "යුරෝපය හා ඇමරිකාව")

මෙය අදට ද එලෙසින්ම වලංගුය. යුරෝපය අතරමංව ඇත. විකල්පයන් ඇත්තේ දෙකක් පමනි. එක්කෝ අවපාතය, ආඥාදායකත්වය හා යුද්ධයයි. නැත්නම් සමාජවාදී යුරෝපීය එක්සත් ජනපදයක රූපාකාරයෙන් යුක්තව කම්කරුවන්ගේ ආන්ඩු හා සමාජයේ සමාජවාදී පරිවර්තනයක් වෙනුවෙන් සටන්වැදීම තුල යුරෝපීය කම්කරුවන්ගේ එකමුතුව ගොඩනැඟීමයි.

පීටර් ෂ්වාර්ස්

the WSWS | Contact Us |