විකිලීක්ස් සහ ශ‍්‍රී ලංකාව: සැබෑ අපරාධකාරයෝ කවරහු ද?

WikiLeaks and Sri Lanka: Who are the real criminals?

9 December 2010

විකිලීක්ස් වෙබ් අඩවිය මේ දක්වා මුදා හල රහස් රාජ්‍ය තාන්ත‍්‍රික කේබල් පනිවුඩ සිය ගනන අතර තිබෙන ශ‍්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් යවන ලද පනිවුඩයකින් ඔබාමා පාලනාධිකාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ සහචරයන් 2009 මුල දී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි යුද්ධයේ අවසන් අදියරවල දී සිදු කල යුද අපරාධ පිලිබඳව මැනවින් දැන සිටි බව තහවුරු වී ඇත. අපරාධකාරයෙකු යැයි සලකන්නේ කවුරුන් ද නොසලකන්නේ කවුරුන් ද යන්න මුලුමනින් ම තීරනය කරන්නේ තම ආර්ථික සහ මූලෝපායාත්මක අවශ්‍යතා අනුව යමින් එක්සත් ජනපදය සහ එහි මිත‍්‍ර පාක්ෂිකයන් ය යන කරුන ලියවිල්ලෙන් ඉස්මතු වේ.

”චුදිත අපරාධවලින් බොහොමයක වගකීම පැවරෙන්නේ ජනාධිපති රාජපක්ෂ සහ ඔහුගේ සොහොයුරන් සහ විරුද්ධ පක්ෂ අපේක්ෂක ජනරාල් ෆොන්සේකා ඇතුලු රටේ ජ්‍යෙෂ්ඨ සිවිල් සහ මිලිටරි නායකත්වයට ය යන කරුන නිසා” ශ‍්‍රී ලංකාව තුල සිදු කල යුද අපරාධ සම්බන්ධයෙන් මොන යම් හෝ පරීක්ෂනයක් පැවැත්වීම පිලිබඳව අපේක්ෂාවක් තබා ගැනීම ”දුෂ්කර” වී ඇති බව කොලඹ එක්සත් ජනපද තානාපතිනි පැටී‍්‍රෂියා ඒ. බුටෙනිස් මේ වසරේ ජනවාරියේ දී යැවූ කේබල් පනිවුඩයෙන් ප‍්‍රකාශ වේ.

ඔබාමා පාලනාධිකාරය සහ එහි මිත‍්‍ර පාක්ෂිකයන් විකිලීක්ස් වෙබ් අඩවිය නිර්දය ලෙස දඩයම් කරමින්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සිදු කල නින්දිත කුමන්ත‍්‍රන සහ අපරාධ ලොවට හෙලි කිරීමට උදව් කිරීමේ ”අපරාධය” පමනක් ම කල එහි නිර්මාතෘ ජූලියන් අසන්ගේ අපරාධකාරයෙකු බවට පත් කිරීමට උත්සාහ දරමින් සිටී. ඇෆ්ඝනිස්ථානයේ සහ පකිස්ථානයේ පටන් ශ‍්‍රී ලංකාව දක්වා ඉන්දියානු උපමහාද්වීපය පුරා ද ඇතුලුව වොෂින්ටනය සහ එහි හවුල්කාරයන් සිදු කරන රහස් රාජ්‍ය තාන්ත‍්‍රික ගනුදෙනුවලින් මඳක් දැක ගන්නට ජාත්‍යන්තර සාමාන්‍ය ජනතාවට අවස්ථාව සලසා දීම සඳහා විකිලීක්සය තීරනාත්මක සේවාවක් ඉටු කර ඇත.

එක්සත් ජනපදය යොදන පීඩනයේ ප‍්‍රතිඵලයක් ලෙස අසන්ගේ දැන් බොරු චෝදනා මත ස්වීඩනයට පිටුවහල් කිරීමට එරෙහිව සටන් වදිමින් බි‍්‍රතාන්‍යය තුල බන්ධනාගාරගතව සිටී. එහෙත් යුද අපරාධ සම්බන්ධයෙන් ඍජුව වගකිව යුතු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිදහසේ ලොව පුරා කරක් ගසමින් සිටින අතර, ගිය සතියේ බි‍්‍රතාන්‍ය ආන්ඩුව ලන්ඩනයේ දී ඔහු සාදරයෙන් පිලිගත්තේ ය. සාක්ෂි කන්දරාවක් එලිමහනට පැමින ඇතත් ශ‍්‍රී ලංකාව තුල සිදු කල ක‍්‍රෑර ක‍්‍රියාවන් සම්බන්ධයෙන් රාජපක්ෂ, ඔහුගේ සොහොයුරන් හෝ හිටපු හමුදාපති ෆොන්සේකා වගකිව යුතු බවට වොෂින්ටනය කිසි විටෙකත් ප‍්‍රසිද්ධියේ නම් කිරීමක් කර නැත.

ආන්ඩුවට අයත් ”යුද මුක්ත කලාප” තුල කොටු වී සිටි සිවිල් වැසියන්ට ආරක්ෂක හමුදා යලි යලිත් ප‍්‍රහාර එල්ල කල තතු යටතේ 2009 ජනවාරි සහ මැයි අතරතුර දී අඩු ගනනේ දෙමල සිවිල් වැසියන් 7,000ක් පමන ඝාතනයට ලක් වූ බවට එක්සත් ජාතීන් තක්සේරු කර ඇත. හිතමතා ඉලක්ක කොට රෝහල්වලට බෝම්බ හෙලීමත් සමග සිවිල් වැසියන් 30,000ත් 75,000ත් අතර සංඛ්‍යාවක් ඝාතනයට ලක් වූ බවට ජාත්‍යන්තර අර්බුද කන්ඩායම සාක්ෂ්‍ය රැස් කර ඇත. දඬුවම් නොලබා ක‍්‍රියාකාරී වන ආන්ඩුවට හිතවත් ඝාතක කල්ලි අතින් ශ‍්‍රී ලංකාව පුරා පුවත්පත් කලාවේදීන් සහ දේශපාලනඥයන් ඇතුලු තවත් සිය ගනනක් ජනයා අතුරුදන්ව ඇති බව ප‍්‍රකට ය.

එක්සත් ජනපදය මෙම අපරාධවලට සහාය දුන් අතර, ඒවාට වගකිව යුත්තන් වසං කිරීමට උදව් කලේ ය. 2006 දී එල්ටීටීඊයට එරෙහි යුද්ධය යලි ආරම්භ කිරීමෙන් රාජපක්ෂ කලේ 2002 සටන් විරාමය නිර්ලජ්ජිත ලෙස උල්ලංඝනය කිරීමක් වුවත් එක්සත් ජනපදය සහ ප‍්‍රධාන බලවත්තු රාජපක්ෂ ආන්ඩුවට සහාය දුන්හ. ”මානව හිමිකම් උල්ලංඝනය කිරීම්” පිලිබඳව සීමා පනවමින් වොෂින්ටනය හඬ නොනැගුවේ නම් එල්ටීටීඊය පරාජයට පත් වනු ඇති බව පැහැදිලිව පෙනී ගියේ වරක් පමනක් නමුත් එවර ද එය එසේ කලේ වොෂින්ටනය සමග පෙල ගැසීමට රාජපක්ෂට පීඩනය යෙදීමේ උපාමාරුවක් ලෙස පමනකි.

මූලෝපායාත්මක වැදගත්කමකින් යුතු තැනක ස්ථානගතව තිබෙන දිවයින මත ආනුභාවය පතුරවා ගැනීම පිලිබඳ පශ්චාත් යුද ආකල්පය ඇති කර ගැනීමේ දී ඔබාමා පාලනාධිකාරයේ මූලික උත්සුකතාව වූයේ කොලඹ සමග සමීප සම්බන්ධතා ගොඩ නගා ගැනීමට චීනය යුද්ධය යොදා ගෙන තිබෙන්නේ ය යන කරුන යි. හම්බන්තොට ඉදි කෙරෙන නව දක්ෂින වරාය වෙත නාවික ප‍්‍රවේශය ලබා දීම ඇතුලු ආර්ථික සහ මූලෝපායාත්මක සහනවලට හුවමාරුවක් වශයෙන් බීජිනය යුද්ධය කර ගෙන යාමට රාජපක්ෂ තන්ත‍්‍රයට ආයුධ සහ අරමුදල් සැපයුවේ ය.

ක‍්‍රෑර ක‍්‍රියාවන් සම්බන්ධයෙන් එල්ටීටීඊයට ද දෝෂාරෝපනය කරන ගමන්-අපරාධ සිදු කලේ තනි තනි සොල්දාදුවන් හෝ මධ්‍යම ශ්‍රේනිවල මිලිටරි නිලධාරීන් යැයි සලකා ගෙන මෙන්-”මානව හිමිකම් උල්ලංඝනය කිරීම්” පිලිබඳව ජාත්‍යන්තර පරීක්ෂනයක් පවත්වන ලෙස රාජ්‍ය දෙපාර්තමේන්තුව ගිය අවුරුද්දේ නොපැහැදිලි කැඳවුමක් නිකුත් කලේ ය. ප‍්‍රධාන අපරාධ සිදු වූයේ ජනාධිපතිවරයා පමනක් නො ව ආරක්ෂක ඇමතිවරයා සහ සන්නද්ධ හමුදාවල ප‍්‍රධාන අන දෙන නිලධාරියා ද වන රාජපක්ෂ යටතේ ය යන්න වොෂින්ටනය මුලුමනින් ම දැන සිටි බව දැන් ලේඛනගතව ඇත.

රාජපක්ෂ නම්මා ගැනීම හෝ ඒත්තු ගන්වා ගැනීම සඳහා දරන ප‍්‍රයත්නයට සහායක් නොවන බව පැහැදිලි වූ විට එක්සත් ජනපදය ”මානව හිමිකම්” ව්‍යාජය ඉවත ලූවා සේ පෙනී ගිය නමුත් එය එසේ නොවූ බව ඔප්පු විය. බුටෙනිස්ගේ කේබල් පනිවුඩය වැලඳ ගත්තේ ද කොලඹ තුල චීන ආනුභාවය වැඩීමෙන් එක්සත් ජනපද මූලෝපායාත්මක අවශ්‍යතාවන්ට මතු වන අනතුර ඉස්මතු කර දක්වමින් පසු ගිය දෙසැම්බරයේ එක්සත් ජනපද සෙනෙට් මන්ඩල විදේශ සම්බන්ධතා කමිටුව ඉදිරිපත් කල වාර්තාව වැලඳ ගත් ප‍්‍රවිෂ්ටය ම ය. එක්සත් ජනපදයට ”ශ‍්‍රී ලංකාව අහිමි කර ගැනීමේ” ආස්ථානයක් ගත නොහැකි බව වාර්තාව කියා සිටියේ ය. ”මානව හිමිකම්” කෙරෙහි සිත යොමු කිරීමෙන් ”කලාපය තුල එක්සත් ජනපදයට පවතින භූ-මූලෝපායාත්මක අවශ්‍යතා වසං වනු” ඇතැයි එය ප‍්‍රකාශ කලේ ය.

එතැන් පටන් ඔබාමා පාලනාධිකාරය ”උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධානය පිලිබඳ කොමිසම” නමින් රාජපක්ෂ ම පැනවූ ව්‍යාජ පරීක්ෂනයට සහාය දී ඇත. මිලිටරිය සහ ආන්ඩුවට හිතවත් ඝාතක කල්ලි සිදු කල ක‍්‍රෑර ක‍්‍රියාවන් සම්බන්ධයෙන් රාජපක්ෂ කලින් නියම කල පරීක්ෂනවල මෙන් ම මෙහි ද අරමුන වන්නේ යුද අපරාධ යට ගසා, ආන්ඩුව ඉටු කල ක‍්‍රියා කලාපයට සුදු හුනු ගා, යුද්ධය යුක්ති සහගත කිරීම යි. රාජපක්ෂගේ කොමිසම ”පෙර නිමිති පහල කර ඇතැ”යි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ජූනි මාසයේ වොෂින්ටනයේ දී පවසා සිටියා ය.

ඔබාමා පාලනාධිකාරය තමන් සමග යලි සම්බන්ධතා ගොඩ නගා ගනිමින් සිටින නිසා අසන්ගෙට මෙන් නො ව රාජපක්ෂට ලෝක කරලිය මත නිදැල්ලේ උඩඟු ලීලාවෙන් ඔබ මොබ යා හැකි ය. පසු ගිය සතියේ ඔහු විශාල පිරිවරක් සමග ලන්ඩනයට චාරිකා කලේ ය. අවසානයේ දී දෙමල විරෝධතා නිසා සැලසුම් කර තිබූ කතාව අවලංගු කිරීමට ඔක්ස්ෆර්ඩ් සාංගමික විවාද සමාජයට බල කෙරුන ද රාජපක්ෂ එක්සත් රාජධානියේ ආරක්ෂක ඇමති ලියාම් ෆොක්ස් හමු වීමට අවස්ථාවක් ලැබින. මාධ්‍ය වාර්තාවලට අනුව නායක දෙපල ශ‍්‍රී ලංකාවට සැපයෙන බි‍්‍රතාන්‍ය සහාය පිලිබඳව, විශේෂයෙන් ම කලින් එල්ටීටීඊ පාලනය යටතේ පැවති උතුර තුල ක‍්‍රියාත්මක කෙරෙන යටිතල පහසුකම් ව්‍යාපෘති පිලිබඳව සහ බි‍්‍රතාන්‍ය ආයෝජනවලට රට තුල පවතින අවස්ථා පිලිබඳව සාකච්ඡා කලහ.

එහෙත් බි‍්‍රතාන්‍ය ආන්ඩුව හැකි ඉක්මනින් අසන්ගේ අත් අඩංගුවට ගැනීමට පියවර ගත්තේ ය. බි‍්‍රතාන්‍ය පොලීසිය අසන්ගේ රඳවා ගැනීමට සූදානම් වෙද්දී අගමැති ඩේවිඩ් කැමරන්ගේ ප‍්‍රකාශකයා මෙසේ කියා සිටියේ ය: ”නිල අනුමැතියකින් තොරව රහසිගත තොරතුරු මුදා හැරීම අප ඉතා පැහැදිලි ලෙස ම හෙලා දකිනවා. මේ කාන්දු වීම් සහ ඒවා ප‍්‍රසිද්ධ කිරීම නිසා එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍යය සහ අන් තැන්වල ජාතික ආරක්ෂාවට හානි සිදු වෙමින් පවතිනවා.”

මෙම ”ජාතික ආරක්ෂාවට” සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව හෝ සුරක්ෂිතතාව සමග මෙලොව සම්බන්ධයක් නැත. ඒ වෙනුවට ඒ තුල ගැබ් වන්නේ එක්සත් ජනපදය සහ එහි මිත‍්‍ර පාක්ෂිකයන් තම මූලෝපායාත්මක සහ සංගත අවශ්‍යතා හඹා යාමේ දී ක‍්‍රියාත්මක කරන මරන, ඝාතන, කුමන්ත‍්‍රන සහ වෙනත් අධිරාජ්‍යවාදී කූටෝපායන් සාමාන්‍ය ජනයාගෙන් වසං කිරීමකි. ඔබාමා ඇෆ්ඝනිස්ථානය සහ පකිස්ථානය තුල තව තවත් තීව‍්‍ර කරන ආක‍්‍රමනය සඳහා එක්සත් ජනපදය පසෙකින් හිඳිමින් සහාය දෙන දෙවන විශාලතම දායකයා බි‍්‍රතාන්‍යය යි. ඇෆ්ඝනිස්ථානය තුල සිදු කෙරෙමින් පවතින නව විජිතවාදි වාඩි ලා ගැනීමට එරෙහිව පාන ප‍්‍රතිරෝධය කුඩු කර දැමීමට දරන ප‍්‍රයත්නවල දී ක‍්‍රියාත්මක කෙරෙන එකලා ඝාතන, ගුවනින් බෝම්බ හෙලීම් සහ මිලිටරි ඝාතක කල්ලි ඇතුලු යුද අපරාධ සම්බන්ධයෙන් ආන්ඩු දෙක ම වගකිව යුතු ය.

විකිලීක්ස් කල හෙලිදරව් කිරීම් හේතුවෙන් සැබෑ අපරාධකරුවන් මතට ආලෝක ධාරාව වැටුනු නිසා ඔබාමා පාලනාධිකාරය වේදනාවෙන් පුපුරු ගසමින් සිටී. මෙම අපරාධකරුවෝ වනාහි ඇමරිකානු කම්කරු පන්තියට හොරෙන් දශක ගනනාවක් තිස්සේ කර ගෙන ගිය ආක‍්‍රමනකාරී යුද්ධවල පටන් ආන්ඩු පෙරලා දැමීම්, වධහිංසා කිරීම් සහ වෙනත් ජාත්‍යන්තර ත‍්‍රස්ත ක‍්‍රියාවන් දක්වා වූ නීති විරෝධී ක‍්‍රියාවන් සම්බන්ධයෙන් වගකිව යුතු පාලක ප‍්‍රභූවක කොටසකි. ශ‍්‍රී ලාංකික එලිදරව් වීම්වලින් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තිය නැගී සිට මෙම නීච අධිරාජ්‍යවාදී කූටෝපායන් සහ යුද්ධ උපදවන මුලු මහත් සමාජ-ආර්ථික පටිපාටිය ම පෙරලා දැමීමේ අවශ්‍යතාව යි.

කේ. රත්නායක