එක්සත් ජනපද සංගත විධායකයෝ කෑම ඔරුව වටා යලි රොක්වෙති

US corporate executives back at the trough

16 November 2010

එක්සත් ජනපදයේ කෝටි සංඛ්‍යාත කම්කරුවන් මහා අවපාතයෙන් මෙපිට පෙර නුවූ විරූ පරිමානයක සමාජ කාලකන්නි භාවයක් අත් දකිද්දී ඇමරිකාවේ සංගත විධායකයින් කෑම ඔරුව කරා ආපසු පැමින ඉහල වැටුප් සහ ප‍්‍රසාද දීමනා ලබා ගනිමින් සිටී.

වෝල් ස්ටී‍්‍රට් ජර්නල් මගින් ප‍්‍රසිද්ධ කරන ලද නව සමීක්ෂනයකට අනුව පසුගිය මූල්‍ය වර්ෂය තුල එක්සත් ජනපදයේ විශාලතම සංගත 450හි විධායකයන්ගේ වාර්ෂික ප‍්‍රසාද දීමනා සියයට 11කින් නැගුනි. සමස්තයක් ලෙස වැටුප්, ප‍්‍රසාද දීමනා, කොටස්, විකල්ප ගෙවීම් හා අනෙකුත් දිරි දීමනා ඇතුලත් මධ්‍යම ගෙවීම් 2009 වසර තුල දී සියයට තුනකින් ඩොලර් මිලියන 7.3 කරා ඉහල ගියේ ය.

ඉහල ගිය ගෙවීම් වනාහි වසරකට පෙර මට්ටම මෙන් දෙගුනයකට නැගෙමින් සමස්ත කොටස්හිමි ප‍්‍රතිලාභ සියයට 29කින් නැගීමට හේතු වූ ප‍්‍රධාන සමාගම්වල ඉහල නගින ලාභවල ප‍්‍රතිඵලය විය. මෙය ඔබාමා පරිපාලනයේ සහ මහ ව්‍යාපාරික පක්ෂ දෙකේ පූර්න පිටුබලය සහිතව සංගත ඇමරිකාව කම්කරු පන්තියට එරෙහිව දියත් කොට ඇති ප‍්‍රහාරයේ ඍජු ප‍්‍රතිඵලය වේ. පසුගිය වසර දෙක පුරා, සමාගම් පඩිලැයිස්තු, වැටුප් සහ දීමනා කපාහරිමින් දරිද්‍රතා මට්ටමේ වැටුප් ලබන තාවකාලික සහ අනියම් කම්කරුවන් මගින් පූර්න-කාලීන කම්කරුවන් විස්ථාපනය කොට ඵලදායිතාව ඉහල දමා ගැනීමේ ප‍්‍රතිඵලයකි.

පසුගිය වසරේ විශාල පඩි පැකේජයන් ලැබූ සියලු ප‍්‍රධාන විධායක නිලධාරීන්ගේ ප‍්‍රධාන ලුහුබැඳීම් වූයේ ”වියදම් කප්පාදුව” සහ ”කාර්යක්ෂමතාව” යි. ඔවුන්ගෙන් ඉහල ම පස්දෙනා වන්නේ: (1) සිය 2008 ගෙවීම් මෙන් හතර ගුනයක් ලබාගනිමින් පසුගිය වසරේ ඩොලර් මිලියන 87.1ක ගෙවීමක් ලබාගත් ලිබර්ටි මීඩියා සමාගමේ ග්‍රෙගරි බී. මැෆේ, (2) ඔරැකල් සමාගමේ සමාරම්භක ප‍්‍රකෝටිපතියා වන ඩොලර් මිලියන 68.6ක් ලැබූ ලැරී එලිසන්, (3) ඩොලර් මිලියන 52.2ක් ලැබූ ඔක්සිඩන්ටල් පෙට්රෝලියම් සංගතයේ රේ ආර්. ඉරානි, (4) ඩොලර් මිලියන 44.6ක් ලැබූ යාහූ සමාගමේ කැරොල් බාට්ස්, සහ (5) ඩොලර් මිලියන 39ක් ලැබූ සීබීඑස් සංගතයේ ලෙස්ලි මූන්වුස් යන අයයි.

මේ වසරේ මේ දක්වා එස් ඇන්ඩ් පී 500 දර්ශකය සියයට 7.5කින් නැග ඇති තතු යටතේ ප‍්‍රධාන විධායකයන් 2010 දී වඩා විශාල වන්දි පැකේජ දැකගැනීමට නියමිත ය. ”බොහෝ සමාගම් අපේක්ෂා කල ඉපැයීම් ඉක්මවා යමින් කොටස් මිල ඉහල ගොස් ඵලදායිතාව යහපත් මට්ටම්වල තිබෙන බැවින් ප‍්‍රසාද ගෙවීම් හොඳ වනු ඇත” යි චිකාගෝ පදනම් කරගත් වන්දි ගෙවීම් සම්බන්ධ උපදේශක සංවිධානයක් වන එල්එල්සීහි කොටස් කරුවෙක් වන මාක් රේලි ජර්නලයට පැවසී ය.

එහෙත් වෝල් වීදිය සිය වසර අවසාන ප‍්‍රසාද දීමනා නිවේදනය කරන විට සැපයුම් අරමුදල් කලමනාකරුවන් සහ පුද්ගලික ව්‍යපාර වස්තු වෙලෙන්දන් වෙත ගෙවනු ලබනු ඇත්තා වූ දැවැන්ත ගෙවීම් මධ්‍යයේ මාධ්‍ය, බලශක්ති සහ අන්තර්ජාල සමාගම්වල ප‍්‍රධානීන් වෙත කරනු ලබන ගෙවීම් සන්සන්දනාත්මකව අඩු වනු ඇත. නිව් යෝක් ටයිම්ස් පුවත්පතේ උපුටා දැක්වූ සමීක්ෂනයකට අනුව වත්කම් කලමනාකරනය වැනි සමහර ව්‍යාපාරවල සේවකයන් සියයට 15 වැටුප් වැඩිවීමක් ලැබීමත් සමග මූල්‍ය සේවාවන්වල සමස්ත වන්දි ගෙවීම් 2010 දී සියයට 5කින් ඉහල යනු ඇත. වාර්තා වන පරිදි ගෝල්ඞ්මන් සැක්ස්, මෝර්ගන් ස්ටැන්ලි, සිටිගෲප්, ඇමරිකානු බැංකුව සහ ජේපී මෝර්ගන් චේස් යන සමාගම් වසර අවසාන ප‍්‍රසාද දීමනා සඳහා ඩොලර් බිලියන 89.54ක් වෙන්කොට තිබේ.

”වෝල් වීදිය සිය විනෝදය මෙන් ම ඉහල ගෙවීම් ද යලි ලබාගනී” යන හිසින් යුතුව ටයිම්ස් පුවත්පතේ පලකල ලිපියක අවධානයට ගන්නා පරිදි මැන්හැටන් නගර මධ්‍යයේ පිහිටි ඉහලපෙලේ තැබෑරුම් නිදහසේ වියදම් කරන වෙලෙන්දන්ගෙන් සහ බැංකු ආයෝජකයන්ගෙන් පිරීගොස් තිබිනි. ”ගී‍්‍රන්විච් ගම්මානයේ මිනිසුන් වඩාත් ගැවසෙන ස්ථානයන්ගෙන් එකක්” වන ද ලයන් අවන්හලේ ප‍්‍රධාන අරක්කැමියා සහ එහි හිමිකරුවන්ගෙන් එක් අයෙක් වන ජෝන් ඩිලුසී පුවත්පතට කියා සිටියේ පාරිභෝගිකයන් මෑත දී ඩොලර් 3,950ට විකුනන ලද 1982 චොටේ මවුටන් රොත්ස්චයිල්ඞ් නමැති බීම වර්ගය ද ඇතුලුව මිදි වයින් බෝතල් මිලට ගනිමින් සිටින බවයි. ”වසර ගනනාවක් පුරා හොඳින් අලෙවි වීම දැක නොගත් මිදිබෝඩියුක්ස් වැනි සුඛෝපභෝගී භාන්ඩ මිල දී ගැනීම් බොහොමයක් අප අත්දකිනවා” යයි ඩිලුසී ටයිම්ස් වෙත කීවේ ය.

ඇමරිකානු සහ ලෝක ධනවාදය බිඳවැටීමේ අද්දරට ගෙන ආ මූල්‍ය බිඳවැටීමෙන් වසර දෙකකට පසු ලෝකයේ සෑම කොටසක ම පාලක පන්තිය කම්කරු පන්තියට එරෙහි ප‍්‍රහාරයක නිරතව සිටී. සංගතවල සහ මූල්‍ය වෙලඳපොලවල ”තරඟකාරීත්වය” සහ ”ලාභදායකත්වය”ට වලකැපෙන කිසිදු පියවරක් ගත නො හැකි යයි තර්ක කරමින් සෑම රටක ම ධනේශ්වර ආන්ඩු කප්පාදු, වියදම් කැපීම් සහ ”පරිභෝජනය අවම කිරීම” ඉල්ලා සිටිති.

”ප‍්‍රධාන විධායකයන්ගේ ගෙවීම් හැසිරවීම” සහ ”බැංකු පාලනය කිරීම” පිලිබඳ සියලු ව්‍යාජ කතා පසෙක තිබියදී ඔබාමා පරිපාලනය බලයට පත් තැන් පටන් කටයුතු කොට ඇත්තේ 2008 අර්බුදය ජනනය කිරීමට හේතු වූ අප‍්‍රවේසම් සහිත මූල්‍ය ප‍්‍රභූවේ අවශ්‍යතා සුරක්ෂිත කිරීමට තමන්ට හැකි සියල්ල කිරීමට ය. වෝල් වීදිය වෙත ටි‍්‍රලියන ගනනක් ලබාදීමෙන් පසු රට පුරා ව්‍යාප්ත වී තිබෙන වැටුප් සහ ප‍්‍රතිලාභ කප්පාදු මාලාවක් ජනනය කරමින් ධවල මන්දිරය ජෙනරල් මෝටර්ස් සහ ක‍්‍රයිස්ලර් සමාගම්වල බලහත්කාරී බංකොලොත් භාවය ප‍්‍රකාශ කිරීමක් හැසිරවීය. රැකියා විරහිතයන් සේවයේ යොදවා ගැනීමට ආන්ඩුව පැත්තෙන් ගතහැකි කිසිදු පියවරක් ප‍්‍රතික්ෂේප කරමින් පරිපාලනය කම්කරුවන්ට අඩු වැටුප් පිලිගැනීමට බලකෙරෙන ඉහල විරැකියා මට්ටම් හිතාමතාම පවත්වාගෙන ගොස් තිබේ.

මුදල් කන්දක් මත ලැග සිටින එක්සත් ජනපද සංගත, කම්කරුවන් සිය ජීවන තත්වයන්ගේ අනවරත කඩාවැටීමක් පිලිගන්නේ නැත්නම් තමන් ඔවුන්ව සේවයේ යොදවාගන්නේ නැතැයි අවධාරනය කරමින් සිටිති. පසුගිය සිකුරාදා ඇට්ලන්ටාහි ෆෙඩරල් රිසර්ව් බැංකු රැස්වීමට පති‍්‍රකාවක් ඉදිරිපත් කරමින් චිකාගෝ සරසවියේ ආර්ථික විද්‍යාඥ රොබට් ෂිමර් වැටුප් ඇතිතරම් වේගයකින් පහත නො වැටෙන බවත් ”රැකියා නියුක්තියේ අර්ථභාරී වර්ධනයක්” ප‍්‍රතිඵල වනු ඇත්තේ සියයට 3 සිට 5 දක්වා වූ වැටුප් අඩුවීමක් බවටත් මැසිවිලි නැගුවේ ය.

ජනාධිපති ඔබාමාගේ ලිබරල් සහායකයෙකු වන වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ ව්‍යාපාරික තීරුලිපි රචක ස්ටීවන් පර්ල්ස්ටයින් පසුගිය මාසයේ ලියූ අදහස් දැක්වීමේ කතුවැකියක මෙය ම ප‍්‍රතිරාවය කලේ ය: ”වැටුප් කප්පාදු රිදුම් දෙනවා තමයි, එහෙත් ඇමරිකානුවන් ආපසු වැඩට ගෙන්වා ගැනීමේ එකම මාවත එය පමනයි” යයි ලියමින් ඔහු මිචිගන්හි ලේක් ඔරියන් ජෙනරල් මෝටර්ස් කර්මාන්තශාලාවේ ශ‍්‍රම බලකායෙන් අඩක් මත එක්සත් මෝටර් කම්කරු සමිතිය පැටවූ සියයට 50 වැටුප් කප්පාදුව උත්කර්ෂයට නැංවීය.

”එක්සත් ජනපදය මුහුන දෙන අතිමූලික ආර්ථික අභියෝගය වන්නේ වසර ගනනාවක් අපට හැකි ප‍්‍රමානයට වඩා පරිභෝජන කරමින් ජීවත් වෙමින් සිට අප පරිභෝජනය කරන දෙය අප නිෂ්පාදනය කරන දෑ සමග ගැලැප්පීම” යයි පර්ල්ස්ටයින් ලිවී ය. ”ගෝලීය මට්ටමෙන් තරඟකාරී වීමට අපගේ ශ‍්‍රම වියදම් වඩා අධික වන අතර එක්සත් ජනපද ආර්ථිකය යලි සමතුලිතතාවට ගෙන ඒමට පරිභෝජනයේ සහ ජීවන කොන්දේසිවල වැඩිදුර අවප‍්‍රමානය කිරීමක් අවශ්‍ය වේ” යයි පර්ල්ස්ටයින් අවධාරනය කලේ ය.

ඉන්දියානාපොලිස්හි ජෙනරල් මෝටර්ස් කම්කරුවන් එක්සත් මෝටර් කම්කරු සමිතිය නො තකමින් වැටුප් කප්පාදු ගිවිසුමක් අතිමහත් බහුතරයක් විසින් ප‍්‍රතික්ෂේප කිරීම වෙත අවධානය යොමු කරමින් පෝස්ට් තීරුලිපි රචකයා කම්කරුවන් තමන්ගේ උපදේශයට විරුද්ධ වෙතියි පෘථුල කෝපය පලකලේ ය. ධනවාදය කම්කරුවන්ට එක්කෝ අඩු පඩියට වැඩකරනු නැතහොත් කොහෙත් ම රැකියා නොමැතිව සිටිනු යන තෝරාගැනීම හැර වෙනත් දෙයක් ඉතිරි නො කරන බව ඔහු අවධාරනය කලේ ය.

”ඔබගෙන් බොහෝ දෙනෙක් මෙය කියවන බවත් ආර්ථිකය යලි සමතුලිත කිරීම සඳහා යමෙකුට වැටුප් කප්පාදු පිලිගැනීමට බලකෙරෙන්නේ නම් ඒ වනාහි ඕනෑවටත් වැඩියෙන් ගෙවීම් ලබන බැංකු ආයෝජකයන්, සංගත විධායකයන් සහ පුවත්පත් තීරුලිපි රචකයන් යයි සිතන බවත් මට හොඳට ම විශ්වාස ය. සමාජවාදී පාරාදීසයක කටයුතු එසේ සිදුවනු ඇති වුවත් සාධාරනත්වයට වඩා කාර්යක්ෂමතාව නිපදවීමේ වඩා සමර්ථ වෙලඳපොල ආර්ථිකයන් සම්බන්ධයෙන් තත්වය එසේ නො වේ” යයි එලිදරව්කාරී අටුවාවක් පලකරමින් පර්ල්ස්ටයින් කියයි.

සත්‍ය වසයෙන් ම ධනවාදය කි‍්‍රයාත්මක වන්නේ එලෙසින් වුවත් එයට ”කාර්යක්ෂමතාව” සමග මොන ම හෝ සම්බන්ධයක් නැත. මිලියන ගනන් දෙනා විරැකියාවට හා දරිද්‍රතාවට ඇදහෙලන අතර ශිෂ්ට සම්පන්න නිවාස, සෞඛ්‍යාරක්ෂනය, අධ්‍යාපනය සහ යටිතල පහසුකම් ප‍්‍රතිසංස්කරනය යනා දී සමාජයේ අත්‍යවශ්‍ය මූලික අවශ්‍යතා ඉටු නො කර සිටීමේ කාර්යක්ෂමතාව කුමක් ද?

”අධික පරිභෝජනය” පිලිබඳ සියලු කතාවල දී කිසිවිටෙක යෝජනා නො කරන එක් දෙයක් වන්නේ ලෝකයේ ජනගහනයෙන් අතිමහත් බහුතරය මුහුන දෙන ඛේදජනක තත්වයන් නිර්මානය කල බංකොලොත් ධනේශ්වර පද්ධතිය සහ අපරාධකාරී කි‍්‍රයාවන් පිලිබඳව වගකිව යුතු පාලක පන්තියේ පරිභෝජනය අඩු කිරීම යි.

නවීන සංගත සහ මූල්‍ය ප‍්‍රභූ තන්ත‍්‍රයේ ග‍්‍රහනය බිඳිය හැකි එක ම ක‍්‍රමය වන්නේ අව්‍යාජ සමාජ සමානතාවේ මූලධර්මය මත ආර්ථික ජීවිතය ප‍්‍රතිසංවිධානය සඳහා කරන අරගලය යි. මෙය ආරම්භ කලහැකි එකම මාවත වන්නේ කම්කරු පන්තිය ඩිමොක‍්‍රටිකයන්ගෙන් සහ රිපබ්ලිකානුවන්ගෙන් බිඳෙමින් තමන්ගේ ම ස්වාධීන සමාජවාදී පක්ෂය ගොඩනැගීමෙන් පමනි.

ජෙරී වයිට්