නොබෙල් සාම ත්‍යාගය: දේශපාලනික නරුමත්වයේ තවත් අභ්‍යාසයක්

Nobel Peace Prize: Another exercise in political cynicism

12 October 2010

සිරගත කොට සිටින චීන පාලනයේ විරුද්ධවාදියෙකු වන ලියු ක්ෂියා ඕබෝට නොබෙල් සාම ත්‍යාගය පිරිනමන බවට පසුගිය සිකුරාදා කල නිවේදනය, එක්සත් ජනපද සහ යුරෝපීය බලවතුන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන්, චීනය තුල ''මානව හිමිකම්” පිලිබඳ කාරනය ඇවිස්සීම සඳහා සැලසුම් කරන ලද අතිශයින්ම දේශපාලනික වූ තීරනයකි.

මෙයින් අපට, ''ආර්ථීක ප‍්‍රසාරනය සමග සමගාමීව දේශපාලනික ප‍්‍රතිසංස්කරනය සිදු වී නොමැති බවත් සෑම මිනිසකු, ගැහැනියක සහ දරුවකුගේ ම මූලික මිනිස් අයිතිවාසිකම්වලට ගරු කලයුතු යයි අපට මතක් කර දෙන” බව ප‍්‍රකාශ කල එක්සත් ජනපද ජනාධිපති ඔබාමා ක්ෂනිකව ලියු නිදහස් කරන ලෙස ඉල්ලීම සඳහා එම අවස්ථාව ඩැහැගත්තේ ය.

මේ වසරේ ලියූට ත්‍යාගය ලබාදීම, ගිය වසරේ එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස ඇෆ්ගනිස්ථානය හා පාකිස්තානය තුල නව විජිතවාදී යුද්ධය තීව‍්‍ර කරද්දී පවා ඔබාමාට එය ප‍්‍රදානය කිරීම සමග පෑහේ. ඔවුන් දෙදෙනාගෙන් කවරෙකුටවත් ''සාමය” හෝ ''ප‍්‍රජාතන්ත‍්‍රවාදය” සමග මොන ම සම්බන්ධයක්වත් නැත.

2009 වසරේ ත්‍යාගය, ජනාධිපති බුෂ් යටතේ ආතති සහගතව තිබූ වොෂින්ටනය සමග සබඳතා, යුරෝපීය තන්ත‍්‍රයන් විසින් යලි පුරුද්දාගන්නා බවට සංඥාවක් වූවා සේම, 2010 ත්‍යාගය, මුදල අධිප‍්‍රමානය කිරීමේ පටන් චීනය ආසන්න මුහුදේ එක්සත් ජනපද යුද නැව්වලට ''යාත‍්‍රා කිරීමේ නිදහස” දක්වා වන කරුනු මාලාවක් අරභයා ඔබාමා, බීජිනය මත යොදන පීඩනය සමග ඇතිවන යුරෝපීය පෙලගැසීම පිලිබඳ සංඥාවකි.

''චීන නීතිය උල්ලංඝනය කිරීම පිලිබඳව චීන අධිකරන බලධාරීන් විසින් දඬුවම් පමුනුවන ලද අපරාධකාරයෙකුට” ගෞරව කිරීම මගින් නෝර්වීජියානු නොබෙල් සාම ත්‍යාග කමිටුව ''අශ්ශීල” තෝරාගැනීමක් කර ඇතැයි එම කමිටුව හෙලා දකිමින්, කලින් කිව හැකි ලෙසම චීන තන්ත‍්‍රය කෝපයෙන් යුතුව ප‍්‍රතිචාර දැක්වීය. දොස් පැවරීම සඳහා නොර්වීජියානු තානාපතිවරයා කැඳවූ චීන අධිකාරීන්, චීන-නෝර්වීජියානු සබඳතාවලට මෙයින් හානි සිදුවනු ඇතැයි අනතුරු ඇඟවීය.

''චාටර් 08” හිමිකම් උද්ඝෝෂනය ආරම්භ කිරීම පිලිබඳව පසුගිය වසරේ අත්අඩංගුවට ගන්නා ලද ලියු ''කඩාකප්පල් ක‍්‍රියා ඇවිස්සීමේ” චෝදනාව යටතේ ජනවාරියේ දී වසර 11කට සිරගත කරන ලදී. සමාජීය කලබැගෑනියක් වැලැක්වීමේ උපායක් ලෙස සීමිත ප‍්‍රජාතාන්ති‍්‍රක අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින චීන පාලක ප‍්‍රභූවේ එක ස්ථරයක් වෙනුවෙන් ඔහු කතා කලේය. ඔහු සිය චාටර් 08 උද්ඝෝෂනය තුලින් අනතුරු ඇඟවීම් කලේ, විරෝධතා සහ වැඩවර්ජන ''වඩ වඩාත් සටන්කාමී සහ ව්‍යසනකාරී මට්ටම්වල ප‍්‍රචන්ඩ ගැටුම් පිලිබඳ හැකියාව ඉස්මතු කරන” බව කියා සිටිමිනි. ලියු සිරගත කිරීම පුද්ගලිකව ඔහුට එරෙහිව සිදු කල ක‍්‍රියාවක් නොව, කම්කරු පන්තියේ පුලුල් දේශපාලනික විරුද්ධත්වයක වාන් දොරටු වසා තැබීම ඉලක්ක කරගත්තකි.

මේ සියල්ල පැහැදිලි කරන්නේ, චීනය වනාහි හුදෙක් මධ්‍යම පන්තික විරුද්ධවාදීන්ගේ පමනක් නොව මිලියන සිය ගනනක් වන වැඩකරන ජනතාවගේ මූලික ප‍්‍රජාතාන්ති‍්‍රක අයිතිවාසිකම් තලාදමන පොලිස් රාජ්‍යයක් ලෙස තවදුරටත් පවතින බවයි. එහෙත් ලියු ක්ෂියා ඕබෝ සාපේක්ෂ හුදකලාවෙන් එලියට ඇදගැනීමට ගත් තීරනය, චීනය තුල ප‍්‍රජාතන්ත‍්‍රවාදය අභිවර්ධනය කිරීම ඉලක්ක කරගත්තක් නොව, නැගීඑන ආර්ථික ප‍්‍රතිමල්ලවයෙකුට එරෙහිව යුරෝපීය බලවතුන්ගේ හා එක්සත් ජනපදයේ අවශ්‍යතා දිගදුර ගෙනයාම ඉලක්ක කරගත්තකි.

යමෙක් කලයුතු වන්නේ, 1989 තියනාන්මෙන් චතුරස‍්‍රයේ සමූලඝාතනයට බටහිර බලවතුන් දැක්වූ ප‍්‍රතිචාරය මතකයට නඟා ගැනීම පමනි. කම්කරුවන් තමන්ගේ ම පන්ති ඉල්ලීම් හඬනැගීමට පටන් ගත් පසුව, සොල්දාදුවන් සහ යුද ටැංකි යොදා මඩිනු ලැබූ ශිෂ්‍ය විරෝධතා ආරම්භ කල ලිබරල් බුද්ධිමතුන්ගෙන් එක් අයෙක් ලියු ය. දහස් ගනනක් නො වේ නම් සිය ගනනක් මරා දැමුනු අතර, චීනයේ බීජිං සහ අනෙකුත් නගරවල දී තවත් ශිෂ්‍යයන් සහ කම්කරුවන් අත්අඩංගුවට ගනු ලැබින. ඝාතනයට ලක්වූවන් වෙනුවෙන් කිඹුල් කඳුලු හෙලූ එක්සත් ජනපදය සහ යුරෝපීය බලවත්තු, චීනය මත සංකේතාත්මක අවි තහනමක් පැනවූහ. පසුව, ''මානව හිමිකම්” අරභයා බීජිංහි මුහුනට රාජ්‍ය තාන්ති‍්‍රක අතුල් පහරක් එල්ල කරමින් නොබෙල් සාම ත්‍යාග කමිටුව, 1989 වසරේ ත්‍යාගය දලයි ලාමාට ප‍්‍රදානය කලේ ය.

එසේ වුවත්, බටහිර ආන්ඩු සහ මහා ව්‍යාපාර එයින් උකහා ගත් සැබෑ නිගමනය ප‍්‍රකාශ වූයේ, චීනය තුලට ගලා ආ ඩොලර් බිලියන සිය ගනනක විදේශ ආයෝජන මගිනි. ප‍්‍රජාතාන්ති‍්‍රක අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිලිබඳව තැවුලට පත්වනවා වෙනුවට ආයෝජකයෝ, සංහාරයෙන් උකහාගත්තේ තම දේපොල හා ලාභවලට වේගයෙන් ප‍්‍රසාරනය වන කම්කරු පන්තියෙන් එල්ල වන ඕනෑම තර්ජනයක් මර්දනය කිරීම සඳහා බීජිං තන්ත‍්‍රය සියලු උපක‍්‍රම යොදනු ඇතැයි යන්නට එය සහතිකයක් වන්නේය යන්න යි.

”ලෝකයේ ලාභශ‍්‍රම වැඩපොල” බවට පත්වීම මගින් පසුගිය දශක දෙක තිස්සේ යෝධ ආර්ථීක ප‍්‍රසාරනයක් අත්දැක ඇති චීනය, 1989 වසරේ ලොව දසවන විශාලතම ආර්ථිකයේ සිට මේ වසරේ දෙවන විශාලතම ආර්ථීකය බවට පත්වී තිබේ. එක්සත් ජනපදයේ සාපේක්ෂ පරිහානිය ඉස්මතු කොට දක්වන ලද 2008 වසරේ ගෝලීය මූල්‍ය අර්බුදය, චීන අභියෝගයට මුහුන දෙන්නේ කෙසේ ද යන්න පිලිබඳ වොෂින්ටන් විවාදය තීව‍්‍ර කලේ ය.

ලියු වෙත නොබෙල් සාම ත්‍යාගය ප‍්‍රදානය කිරීම, විශේෂයෙන් ම යුආන් මුදල යලි අගය කිරීම ඇතුලු බීජිං වෙතින් අපේක්ෂා කෙරෙන ආර්ථික සහන ඉල්ලා සිටීමටත්, ආසියාවේ සහ ජාත්‍යන්තරව වැඩෙන චීන බලපෑම හීන කිරීමටත්, ඔබාමා පරිපාලනය ගෙනයන ආක‍්‍රමනශීලී ව්‍යාපාරයේ දෘෂ්ටිවාදාත්මක සංරචකයට තල්ලුවක් ලබා දේ. චීනය තුල ''මානව හිමිකම්” නොමැති වීම ලෝක මට්ටමේ දී චීනය විසින්, බුරුමය සහ සුඩානය වැනි පීඩක තන්ත‍්‍රයන්ට දෙන සහයෝගය අවධාරනය කිරීම සඳහා ගසා කනු ලබයි. එක්සත් ජනපදය නායකත්වය දෙන මිලිටරිමය වශයෙන් ඉරාකය සහ ඇෆ්ගනිස්ථානය යටත් කර ගැනීමේ යුද්ධය මත රාජ්‍ය තාන්ති‍්‍රක නිශ්ශබ්දතාව පවත්වා ගැනීමට එය උපයෝගී කරගනියි.

නොබෙල් සාම ත්‍යාග පිලිබඳ නිවේදනය පැමිනියේ, පහත අගයකින් තබාගෙන සිටින චීන යුආන් මුදල අරබයා නැගෙන ''මූල්‍ය යුද්ධයක” අන්තරාය මධ්‍යයේ ය. එක්සත් ජනපද නියෝජිත මන්ත‍්‍රී මන්ඩලය මෑතක දී චීනය සිය මුදල අවභාවිතය කරන්නේය යන චෝදනාව මත, එරටට එරෙහිව බදු පැනවීමට අවසර දෙන පනතක් සම්මත කලේ ය. පසුගිය සති අන්තයේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රැස්වීමේ දී එක්සත් ජනපද භාන්ඩාගාර ලේකම් තිමති ගේත්නර් ''සිය මුදල පහත අගයකින් පවත්වා ගන්නා රටවල්” එනම් චීනය, දේශීය පරිභෝජනය දිරිගැන්වීමටත් ගෝලීය වර්ධනය යලි තුලනය කිරීමටත් පියවර ගත යුතු යයි යලි අවධාරනය කලේ ය.

ආසියාවේ සිය මූලෝපායික අවශ්‍යතා මුල්කරගෙන පසුගිය වසර පුරා ඔබාමා පරිපාලනය, ආක‍්‍රමනකාරී පිලිවෙතක් දියත්කර ඇත. බීජිංහි තියුනු විරෝධතා මධ්‍යයේ මේ වසර මුල දී දලයි ලාමා හමුවූ ඔබාමා, බීජිං සහ වොෂින්ටනය අතර ඉහල පෙලේ මිලිටරි සාකච්ඡා චීනය විසින් අවසන් කිරීමට ප‍්‍රතිචාර වශයෙන්, තායිවානයට නවීන අවි අලෙවි කලේය. ජූලි මාසයේ පැවති අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ (ආසියාන්) රැස්වීමක දී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, දකුනු චීන මුහුදේ චීනය සමග භූමි භාගයන් පිලිබඳ අර්බුදවල පැටලී සිටින ආසියාන් සාමාජික රටවලට සහයෝගය පලකලා ය. වඩාත් මෑත දී නැගෙනහිර චීන මුහුදේ අර්බුදයට ලක්ව ඇති දූපත් අරබයා ජපානය සමග පුපුරා ගිය රාජ්‍ය තාන්ති‍්‍රක කෝලාහලයේ දී එක්සත් ජනපදය වක‍්‍රව ජපානයට සහයෝගය දැක්වීය.

ඔබාමා පරිපාලනය, ලියුගේ නොබෙල් ත්‍යාගය මෙම පුලුල් ආර්ථික සහ මූලෝපායික කරුනු සමග සම්බන්ධ කොට නැතත්, ඇමරිකානු මාධ්‍ය එතරම් ම නිහඬ වූයේ නැත. ලියු රඳවා තබාගැනීම පිලිබඳව චීනය ''ලජ්ජා” විය යුතු යයි පසුගිය සිකුරාදා කතුවැකියක් පලකල නිව් යෝක් ටයිම්ස් පුවත්පත, පහත දැක්වෙන ඉල්ලීම කලේ ය: ''මුදල, වෙලඳාම, දකුනු චීන මුහුද සහ අනෙක් බොහෝ කරුනු අරබයා මේ දිනවල බීජිනය සිය අවධානය යොමුකර ඇත. බොහෝ ආන්ඩු සහ සමාගම් පසුබැසීමට අකමැති වෙති. සමහරවිට චීන නායකත්වයේ සමහරු බියවැද්දීමේ උපාය, නැගී එන ලෝක බලවතෙකුට සුදුසු මූලෝපායක් නො වන බව දැන් අවබෝධ කරගන්නවා වන්නට පුලූවන.”

ආසියාවේත් ජාත්‍යන්තරවත් එක්සත් ජනපදය යෙදීමට බලාපොරොත්තු වන තමන්ගේම අවධාරනය වටා සහයෝගය රැලි කරගන්නා තැනක් බවට ''චීන තෙරපීම” දැන් පත්වෙමින් තිබේ. මෙම දෘෂ්ටිමය උද්ඝෝෂනය තුලට ඇතුල් වීම මගින් නොබෙල් කමිටුව කරන්නේ, ''සාමය” ඉදිරියට ගෙනඒම නොව, අවසානයේ යුද්ධයම හටගන්වන, මූල්‍ය හා වෙලඳ යුද්ධ කරා වන ධාවනයට තෙල් දැමීමට උදවු වීමයි.

ජෝන් චැන්