එස් ඇන්ඩ් පී නය අනතුරු ඇඟවීම: වෝල් වීදියේ මංකොල්ලකරුවන් දරුනු කප්පාදු ඉල්ලා සිටී

The S&P debt warning: Wall Street extortionists demand savage cuts

20 April 2011

විමර්ශන පිලිබඳ එක්සත් ජනපද සෙනෙට් නිත්‍ය උපකමිටුව විසින් 2008 වෝල් වීදියේ මූල්‍ය බිඳවැටීමත් ගෝලීය අවපාතයත් තීව‍්‍ර කල බැංකු සහ නය වර්ගීකරන සමාගම්වල සාපරාධී ක‍්‍රියාකාරීත්වයන් පිිලිබඳ වෙලුම් ගනනක වාර්තාවක් නිකුත් කිරීමෙන් දින පහකට පසු නම්දරාපු තක්කඩි ආයතන වලින් එකක් වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ක්‍රෙඩිට් රේටින් ආයතනය, 2012 මැතිවරනවලට කලියෙන් දරුනු පටිතදකිරීම් පිලිබඳ එකඟතාවකට ඒමට ධවල මන්දිරයෙන් හා කොන්ග‍්‍රසයෙන් ඉල්ලීමක් කරමින් අවසන් නිවේදනයක් නිකුත් කලේය.

එක්සත් ජනපද භාන්ඩාගාර බිල්පත්වල සුපිරි AAA වර්ගීකරන අගය "ස්ථාවර” මට්ටමේ සිට "සෘන” මට්ටම දක්වා තම ඇස්තමේන්තු පිරිහෙලීමෙන් එස් ඇන්ඩ් පී ආයතනය සඳුදා (18) වෝල් වීදිය මත බලකඳවුර පිහිටුවාගෙන ඇති සමස්ත මූල්‍ය මාෆියාව වෙනුවෙන් කතා කලේය. එලැඹෙන දශකයේදී ආන්ඩුවේ අයවැය පරතරය අවම වසයෙන් ඩොලර් ටි‍්‍රලියන 4කින් අඩු කරගැනීමට ඉදිරි මාසවලදී එකඟතාවකට ඒමට අසමත් වීම "වර්ගීකරනය පිරිහෙලීම කරා අප මෙහෙයවනු ඇතැයි” පුවත්පත් නිවේදනයකින් වර්ගීකරන ආයතනය ප‍්‍රකාශ කලේය.

මෙය එක්සත් ජනපදය හා ගෝලීය ආර්ථිකය ගැටුමකට ගෙන ඒමට තර්ජනය කරන අතර ගෝලීය සංචිත විනිමයක් ලෙස ඩොලරයේ තත්වය පිරිහෙලයි. මෙම පියවර ඇමෙරිකානු කම්කරු පන්තියේ ජීවන තත්වයන් වෙත දරුනු ප‍්‍රහාරයන් එල්ල කිරීමට අනුබල දෙමින් ප‍්‍රධාන බැංකු සහ සමපේක්ෂකයන් විසින් ජාත්‍යන්තරව සැලසුම් කෙරුනු වැඩපිලිවෙලක කොටසකි.

මේවා එක්සත් ජනපදයට යොදාගනිමින් තිබෙන්නේ පූර්වයෙන් ග‍්‍රීසිය, අයර්ලන්තය, පෘතුගාලය හා ස්පාඤ්ඤය ඇතුලු යුරෝපීය රටවල් ගනනාවක රාජ්‍ය නය මත කඩාපාත් කෙරුනු සමපේක්ෂන ප‍්‍රහාරයන් ප‍්‍රයෝජනයට ගනිමිනි. එස් ඇන්ඩ් පී හා එහි ප‍්‍රමුඛ ප‍්‍රතිවාදීන් වන මූඩිස් හා ෆිච් වර්ගීකරන ආයතන මූලෝපායාත්මකව කල් යල් බලා අර්බුදකාරී වාතාවරනයක් මවාපෑමට නය පිලිබඳ අනතුරු ඇඟවීම් හා රේට්ටු පහත දැමීම් ක‍්‍රියාවට දමා ඇත. එවිට ආන්ඩු, මහජන විරෝධය යටපත් කිරීමටත් තොගපිටින් රැකියාවලින් දොට්ට දැමීම, වැටුප්වලට කෙටීම් හා සමාජ සුභ සාධන කප්පාදු කිරීමට එම තත්වය යොදා ගනී.

වෝල් ස්ටී‍්‍රට් ජර්නලයේ වාර්තාවකට අනුව, එස් ඇන්ඩ් පී ආයතනයේ රාජ්‍ය නය වර්ගීකරන කමිටුවේ සභාපති ජෝන් චැම්බර්ස් මෙම කරුන මුලුමනින්ම වාගේ සනාථ කලේය. "එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍ය-ආකාරයේ ගිවිසුමකට එලැඹෙන්නේ නම්, එස් ඇන්ඩ් පී විසින් එක්සත් ජනපදයේ නය තත්වය ස්ථාවර කරනු ඇතයි චැම්බර්ස් මහතා ප‍්‍රකාශ කරයි” ජර්නලය ලියුවේය.

2009 මැයි මාසයේදී, එස් ඇන්ඩ් පී බි‍්‍රතාන්‍යයේ නය තත්වය පහත දැමුවේය. මාස 17කට අනතුරුව එය තම ස්ථාවරය ආපසු පූර්ව තත්වයට ගෙනාවේ, අභිනවයෙන් බලයට පත් කොන්සර්වේටිව් - ලිබරල් ඩිමොක‍්‍රටික් සන්ධාන ආන්ඩුව රටේ සමාජ රක්ෂන ජාලය කීතු කිරීමේ ගොරතර කප්පාදු වැඩපිලිවෙලක් නිවේදනය කිරීමෙන් අනතුරුවය.

එවැනි අවසන් නිවේදනයන් නිකුත් කරන විට එස් ඇන්ඩ් පී ආයතනයේ තත්වය පිලිබඳ පාඨකයාට තමන්ගේ ම විනිශ්චයන් වලට එලැඹිය හැක. බැංකු විසින් අලෙවි කල වටිනාකමින් තොර සුරැකුම්පත් මත AAA වර්ගීකරන අගයන් එස් ඇන්ඩ් පී විසින් සාමාන්‍ය ලෙස කපා දැමීමේ දූෂිත ක‍්‍රියාදාමය වෝල්වීදියේ අර්බුදය පිලිබඳ සෙනෙට් වාර්තාව පහත පරිදි විස්තර කරයි: "තමන්ව වර්ගීකරනය කර ගැනීමට උත්සාහ කල සහ ඔවුන්ගේ මූල්‍ය නිෂ්පාදන වර්ගීකරනය මගින් ලාබ ලැබූ වෝල් වීදියේ මූල්‍ය ආයතන විසින් නය වර්ගීකරනය කිරීමේ ආයතන වලට ගෙවනු ලැබීය. ව්‍යාපාර හා විශාලතම වෙලඳපොල කොටස් දිනා ගැනීමට වඩාත් හිතකර නය වර්ගීකරන ලබා ගැනීමට එකිනෙකා තරග කරනවිට වර්ගීකරන ආයතන ඔවුන්ගේ තත්වයන් දුර්වල කලේය. ප‍්‍රතිපලය වූයේ පහලම අයට තරගයකි.”

විමර්ශනයෙන් සොයාගෙන ඇත්තේ "කෑදරකමෙන් ආසක්තතාවය සඳහා ගැටුම්වලින් සහ වැරදි කිරීමෙන් පිරුන සර්ප ගුහාවකි.” යනුවෙන් උපකමිටුවේ සභාපති සෙනෙට් සභික කාර්ල් ලෙවිස් විස්තර කලේය.

සැබවින්ම නම්, මෙම සන්තතිය තුලින් ඩොලර් මිලියන කීපගුනයක් වැටුප් ලෙස සාක්කුවට රුවා ගන්නා හා මෙම වංචාවට නායකත්වය දෙන එස් ඇන්ඩ් පී සුපිරි විධායකයන් සිටිය යුත්තේ හිරගෙදරය. ඒ වෙනුවට කිසිදු ප‍්‍රතිවිපාකයකයට මුහුන නොදී තවමත් තම පුටුවල ම වාඩි වී සිටිනා ඔවුන් තමන් විසින් ම නිර්මානය කල විනාශය, මිලියන ගනනාවක් මිනිසුන් යැපෙන සෞඛ්‍ය ආරක්ෂන, සෞඛ්‍ය සේවා හා සමාජ ආරක්ෂනය වැනි සමාජ සුභසාධන කැපීමට පදනම වසයෙන් යොදා ගනිමින් සිටිති.

රිපබ්ලිකානුවන්ගේ 2012 මූල්‍යමය වසරේ අයවැය සැලස්ම හා ඔබාමා විසින් පසුගිය වසරේ ඉදිරිපත් කරන ලද සැලස්ම යන දෙකම රාජ්‍ය අයවැය ඩොලර් ටි‍්‍රලියන 4කින් කපා දැමීම සඳහා පදනමක් වසයෙන් එස් ඇන්ඩ් පී විසින් සඳුදා දින නිකුත් කල නිවේදනයෙන් විස්තරය කලේය. කෙසේවෙතත්, පාර්ශව දෙකම 2012 වසරේ ජාතික මැතිවරනයට කලියෙන් ගිවිසුමකට එලැඹ තිබිය යුතු බව සමාගම අවධාරනය කලේය.

මෙම ඉල්ලීම, ඊනියා අයවැය විවාදයේ ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධීබව මොනවට විදහා දක්වයි. එය බැංකුවල ආඥාදායකත්වය පිටුපස සිටගත් සූක්ෂම ප්‍රෝඩාවකි. 20 වන ශතවර්ෂයේ සමාජ ප‍්‍රතිසංස්කරනවලින් ඉතුරු පහදු වී ඇති දෙයත් මැතිවරනවලට කලියෙන් නැතිභංග කිරීමට එලැඹ ඇති ගිවිසුමේ අර්ථය නම්, එලැඹෙන්නා වූ මැතිවරනය පටි තද කිරීම් ගැන ජනමත විචාරනයක් වීම වැලක්වීමටත් ඡන්ද දායකයාට එම කාරනයෙහි ලා කිසිවක්ම කියන්නට දෙයක් නැති කිරීම සහතික කර ගැනීමත් ය.

පක්ෂ ද්වය විසින් ම යෝජනා කර තිබෙන පියවරවලට පවතින මහජන විරෝධය පිලිබඳ වෝල් වීදිය සහ වොෂිංටනයේ එහි දේශපාලන අතවැසියන් හොඳින්ම දැනුවත් ය. එස් ඇන්ඩ් පී නිවේදනය නිකුත් කල එම දිනයේ දී ම මැක්ක්ලැති-මේරිස්ට්හි මත විමසුමක ප‍්‍රතිඵල ද නිකුත් කලේය. මත විමසුමට අනුව, ඡන්ද ප‍්‍රකාශ කල අයගෙන් 2ට 1ක් වසයෙන්, ඩොලර් 250,000කට ඉහල වැටුප් ලබන්නවුන් මත බදු වැඩි කිරීමට සහය පල කලේය. සියයට 64ක් පක්ෂ වූ අතර සියයට 33ක් විරුද්ධ වූහ. සෞඛ්‍ය ආරක්ෂන හා සෞඛ්‍ය සේවා සියයට 80-18 ප‍්‍රතිශතයකින් කපා දැමීමට ඔවුන් විරුද්ධය.

බැංකුවලට අනපැනවීමෙහි ලා එස් ඇන්ඩ් පී මැදිහත් වූයේ ව්‍යාජ අයවැය විවාදය තවදුරටත් දකුනට මාරු කිරීමටත් දැනට යෝජනා කර ඇතිවාටත් වඩා දරුනු කප්පාදු සඳහා කොන්දේසි නිර්මානය කිරීමටත් ය. සඳුදා දින බ්ලූම්බර්ග් ටෙලිවිෂනයේ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් එහි ජාතික නය වර්ගීකරනයේ එස් ඇන්ඩ් පී ආයතනයේ ගෝලීය ප‍්‍රධානී, ඩේවිඩ් බියර්ස් සඳහන් කලේ, ඩොලර් ටි‍්‍රලියන 4ක අයවැය හිඟ කප්පාදු ඉලක්කය, "එක්සත් ජනපද නයෙහි වැඩෙන පරාවක‍්‍රය මුලුමනින්ම නැවත්වීමට ප‍්‍රමානවත් නොවූ” බවයි. එය හුදෙක් "ප‍්‍රයෝජනවත් ආරම්භක ලක්ෂ්‍යයක්” වූවා පමනියි ඔහු කීවේය.

එයින් නිකුත් කල පනිවිඩය තමන් වටහා ගත් බව සංස්ථාපිත මාධ්‍ය ක්ෂනිකව ම සංඥා කලේය. "මෙම ආරම්භක අනතුරු ඇඟවීම නොතකා සිටීමට කොන්ග‍්‍රසයට හා ධවල මන්දිරයට නොහැක”යයි ලොස් ඇන්ජලීස් ටයිම්ස් සිය කතුවැකියේ ලියුවේය. ලංඩනයේ ෆයිනෑන්සියල් ටයිම්ස් සිය කතුවැකියෙහි සඳහන් කලේ, "එස් ඇන්ඩ් පී අනතුරු ඇඟවීම ඇමෙරිකන් නායකයින් හිරිවැට්ටවිය යුතුය,” යනුවෙනි.

ඩිමොක‍්‍රටික් නායකයින් තමන් වැඩේට බැහැගෙන ඇතිබව වෝල්වීදියට යලි-තහවුරු කිරීම පිනිස ලහිලහියේ ඉදිරියට ආහ. "මෙය කිරීමට ඩිමොක‍්‍රටිකයන්ට හා රිපබ්ලිකානුන්ට එකට ඉදිරියට ආහැකි බව මම විස්වාස කරමි,”යි ඔබාමා, අඟහරුවාදා වර්ජිනියාහි රජයේ විද්‍යාලයක දී කතා කරමින් ප‍්‍රකාශ කලේය.

"අඟහරුවාදා යලි පහත දැමූ නය තක්සේරුව පෙන්නුම් කරන්නේ, අයවැය හිඟයන් පහත දැමීම පිනිස අපගේ ජාතිය බැරෑරුම් මාවතකට ප‍්‍රවිෂ්ට කරවීමට හදිසි, ඒකාබද්ධ ක‍්‍රියාවලියක් අවශ්‍යව ඇති බව,” යැයි නියෝජිත මංත‍්‍රී මන්ඩලයේ ප‍්‍රධාන දෙවෙනි ඩිමොක‍්‍රටික සභිකයා වන ස්ටෙනි හොයර් සුඳුදා කීවේය.

බිල් ක්ලින්ටන් වෙනුවෙන් ධවල මන්දිර කාර්ය මන්ඩලයේ හිටපු ප‍්‍රධානියෙකු වන හා පසුගිය වසරේ ද්විපාර්ශවීය මූල්‍යමය කොමිෂමේ සම-සභාපති වන අර්ස්කයින් බොව්ල්ස් ඊටත් වඩා බරපතල ලෙස අවධාරනය කලේය. එස් ඇන්ඩ් පී එක්සත් ජනපද නය මත එහි තක්සේරුව පහත දැමීමෙහිලා "මුලුමනින්ම නිවැරැදිව” ක‍්‍රියාකර ඇතැයි ෆයිනෑන්සියල් පුවත්පතට හෙතෙම සඳහන් කලේය. "මොනයම්ම හෝ අයුරින් ප‍්‍රශ්නයේ තරම ඔවුන් අවම කරති”යි ඔහු කීවේය.

මෙම සාපරාධී කුමන්ත‍්‍රනය පරාජය කල හැක්කේ කම්කරු පන්තියේ සම්මුති විරහිත ස්වාධීන මහජන ව්‍යාපාරයකින් පමනි. ඊනියා අයවැය විවාදයේ සමස්ත වැඩපිලිවෙල ම ප‍්‍රතික්ෂේප කරන ලෙස කම්කරුවන් හා තරුන ජනයාගෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවියත් සමාජවාදී සමානතා පක්ෂයත් ඉල්ලා සිටී. රැකියා, වැටුප් හෝ සමාජ වැඩපිලිවෙලවල් හා සේවාවන්ගේ මොනයම් හෝ කප්පාදුවකට එරෙහි කොන්දේසි විරහිත විරුද්ධත්වයක් දැක්විය යුතුය. ධනවාදී පද්ධතියේ අර්බුදය සඳහා කම්කරු පන්තිය වගකීම බාරගත යුතු නොවේ.

අපි විකල්ප වැඩපිලිවෙලක් යෝජනා කරන්නෙමු. මූල්‍ය ප‍්‍රභූව විසින් මංකොල්ල කා ඇති ධනය ආපසු අත්කර ගැනීමට අඩු ගෙවීමක් වසයෙන්, ඩොලර් මිලියන 5කට වැඩියෙන් ධනය හිමි සියලු ම නිවැසියන්ගෙන් සියයට 50ක අතිරේක බද්දක් අයකරගැනීමට අපි යෝජනා කරන්නෙමු.

මෙයට අතිරේකව වසරකට ඩොලර් 500,000කට වැඩියෙන් උපයන නිවෙස් හිමියන් මත සියයට 90 දක්වා ආදායම් බදු වැඩි කල යුතුය.

මෙම පියවරයන් රැකියා, පාසැල්, සේවා ආරක්ෂන, නිවාස හා විශ‍්‍රාම වැටුප් යනාදිය සඳහා ඩොලර් බිලියන සිය ගනනක් සම්පාදනය කර දෙනු ඇතිවා පමනක් නොව, ඒවා සම්පත් නාස්තිකාර ලෙස ආන්තික පරිභෝජනයට පහර එල්ල කරනු ඇති අතර සදාචාරයට හා සමාජයේ ආර්ථික සෞඛ්‍යයට යෝධ ලෙස දායක වනවා ද ඇත.

මෙකී ආරම්භක පියවරයන් බැංකු හා මහා සංගත ජනසතු කිරීමටත් ඒවා වැඩකරන ජනයාගේ ප‍්‍රජාතාන්ත‍්‍රික පාලනය යටතේ මහජන උපයෝගයන් බවට පත් කිරීමත් කරා ස්ථිරසාර ලෙස මෙහෙයවයි. මෙය සමාජවාදී වැඩපිලිවෙලකි. එය කම්කරු පන්තියට මහ ව්‍යාපාරිකයින්ගේ පක්ෂ දෙකෙන් දේශපාලනිකව කැඩී වෙන් වන ලෙසත් කම්කරුවන්ගේ ආන්ඩුවක් සඳහා සටන් කිරීමට මහජන ව්‍යාපාරයක් ගොඩ නැගීමටත් ඉල්ලා සිටී.

බැරී ගේ‍්‍ර