යුරෝපයේ අර්බුදය

Europe’s crisis

23 July 2011

පනස්හතර වසරකට පෙර රෝම ගිවිසුම සම්මත කර ගත් තැනින් මෙපිට දී යුරෝපා සංගමයත් එහි පූර්වගාමීනුත් පසු ගිය සතියෙහි තරම් සමීපව අගාධයට ලංවී සිටියේ නැත. 21දා පැවැත්වුනු හදිසි සමුලුවේ දී නය අර්බුදයට විසඳුමක් සොයා ගැනීමට යුරෝ කලාපයේ ආන්ඩුවල ප‍්‍රධානීන් අසමත් වුව හොත්, එය යුරෝවේ සහ යුරෝපා සංගමයේ අවසානය වනු ඇති බවට විශේෂඥයන් ඒකමතික විය.

එවන් අසමත් වීමක ප‍්‍රතිවිපාක ආර්ථික ක්ෂේත‍්‍රයට පමනක් සීමා නොවනු ඇත. 17 වන සියවසේ හට ගත් තිස් අවුරුදු යුද්ධයේ පටන් ගත වුනු කාලය තුල යුරෝපය යලි යලිත් යුද්ධවලින් වැනසී ගියේ ය. 1914 සහ 1939 හට ගත් ලෝක යුද්ධ දෙක මෙම විනාශයේ කූට ප‍්‍රාප්තිය විය. එවක් පටන්, යුරෝපා සංගමයත් ඊට පෙර පැවති සංවිධානත්, යුරෝපීය බලවතුන් අතර නව සන්නද්ධ ගැටුම් ඇති වීම වලක්වනු වස් වඩාත් ම වැදගත් යාන්ත‍්‍රනය පිහිටුවා ගෙන ඇත. එම නිසා, සමුලුවට පෙර එලිපිට කතා කල බොහෝ දේශපාලනඥයන්ට, යුරෝපය යනු-ස්පීගල් ඔන්ලයින් පුවත්පත සඳහන් කල පරිදි- "යුරෝව සහ ශත පිලිබඳ ප‍්‍රශ්නයක් නො ව-තව මත් යුද්ධය සහ සාමය පිලිබඳ ප‍්‍රශ්නයක් වීම” අහම්බයක් නො වී ය. බ‍්‍රසල්ස්හි පැවැත්වෙන හදිසි සමුලුව අසාර්ථක වීමට තිබෙන අවස්ථාවන්ට එරෙහිව ඔවුහු තදින් අනතුරු අඟවා තිබුනි.

සමුලුව අර්බුදය විසඳා නැත, එය කල් දමා ඇතිවා පමනකි. එය සැබෑ ගැටලු වඩාත් නරක අතට ද හරවා ඇත.

සමුලුවට සහභාගි වූවෝ, ග‍්‍රීසිය උදෙසා දිගු කලක් තිස්සේ සැලසුම් කල යුරෝ බිලියන 109කට වැඩි වටිනාකමින් යුතු දෙවන නය පැකේජය අනුමත කලහ. පලමු පැකේජය මෙන් ම මෙය ද උග‍්‍ර කප්පාදු වැඩ පිලිවෙලවලකට ගැට ගසා ඇත. ආපසු ගෙවීමට පහසුකම් සපයනු පිනිස ග‍්‍රීක ආන්ඩුවේ නය වෙනුවෙන් ගෙවිය යුතු පොලී අනුපාතිකය සියයට 4.5 සිට 3.5 දක්වා පහත හෙලමින් තිබේ. නය ආපසු ගෙවිය යුතු කාලය වසර හතහමාරෙහි සිට වසර 15-30 දක්වා දීර්ඝ කර ඇත.

යුරෝපය ගලවා ගැනීමේ අරමුදලේ (ඊඑෆ්එස්එෆ්) බලතල පුලුල් කෙරෙමින් පවතී. අනාගතයේ දී එය වෙලඳ පොලෙන් බැඳුම්කර මිලට ගෙන පීඩාවට පත් විය හැකි රටවලට ආධාර කිරීමට නියමිත ය. කෙසේ වුව ද, එහි මුලු පරිමාවෙහි වැඩි වීමක් සිදු නොවනු ඇත.

ග‍්‍රීසියේ නය ප‍්‍රශ්නයට පෞද්ගලික නය හිමියන් සම්බන්ධ වීම පිලිබඳව සමලුවට සහභාගි වූවෝ ඉමහත් ලෙස කලබලයට පත්ව සිටියහ. 2014 වන විට ඔවුන්ගේ මෙම සම්බන්ධය යුරෝ බිලියන 50ක් වනු ඇති බවට ගනන් බැලේ. එහෙත් වඩා සමීප පිරික්සුමකින් හෙලිදරව් වන්නේ මෙය මුසාවක් වීමට නියමිත බව යි. බැංකුවලට, රක්ෂන සමාගම්වලට සහ වෙනත් නය හිමියන්ට, සාමාන්‍යයෙන් සියයට 20ක සුලු පාඩුවක් විඳ තම ග‍්‍රීක බැඳුම්කර නිදහස් කර ගත හැකි ය, නැත්නම් ආපසු ගෙවන බවට යුරෝපා සංගමයේ සහතිකය ලත් නව, දිගු කාලීන බැඳුම්කරයන්ට ඒවා හුවමාරු කර ගත හැකි ය. මේ අයුරින්, වත්මන් වෙලඳ පොල මිලට වඩා බෙහෙවින් වැඩි මිලකට ඔවුන්ට තම ග‍්‍රීක බැඳුම්කර අලෙවි කර ගත හැකි ය. සියලු අනාගත අවදානම් මහජනයා මත පැටවෙමින් තිබේ.

බ‍්‍රසල්ස්හි දී අනුමත කර ගත් පියවරයන් පිලිබඳව තව මත් බොහෝ සැක සාංකා හා අවිනිශ්චිතතා පවතී. ඒවායෙහි ප‍්‍රතිඵලයක් ලෙස ග‍්‍රීක ආන්ඩුවේ යුරෝ බිලියන 350ක නයෙන් අඩු වනු ඇත්තේ යුරෝ බිලියන 26ක් පමනි. මෙය සාගරයෙන් දිය බිඳක් හා සමාන ය.

ගලවා ගැනීමේ අරමුදලින් සැපයෙන පහල පොලී අනුපාතිකවලින්, බෙහෙවින් නයගැති අයර්ලන්තය සහ පෘතුගාලය ද ප‍්‍රතිලාභ ලබනු ඇත. එහෙත් බැංකුවල සහභාගිත්වය පැහැදිලිව ම ගී‍්‍රසියට පමනක් සීමා විය. පසු ගිය සතියේ දී ස්පාඤ්ඤ සහ ඉතාලි බැඳුම්කර පොලී අනුපාතික වේගයෙන් ඉහල ගිය ද, දෙරටේ නය යුරෝ අර්බුදයේ ප‍්‍රධාන කොටසක් ලෙස සැලකෙන නමුදු ඒ සඳහා කිසිදු පහසුකමක් නොසැපයිනි.

එම නිසා, යුරෝව මත පවතින පීඩනය වැඩි වීම කාලය පිලිබඳ ප‍්‍රශ්නයකි. ආන්ඩු ප‍්‍රධානීන්ට නැවතත් හදිසි සමුලුවක දී හමු වන්නට සිදු වනු ඇත.

විසඳුම් සැපයීම කෙසේ වෙතත්, සමුලුවේ දී නය අර්බුදයේ සැබෑ හේතු පිලිබඳව වත් සැලකිල්ල නොදැක්විනි. දේශපාලනඥයන් සහ මාධ්‍යය පිලිකුලෙන් යුතුව යලි යලිත් කියා සිටියේ, අර්බුදය සැක මුසු මූල්‍ය කලමනාකාරිත්වයේ ප‍්‍රතිවිපාකයක් බව යි, බලපෑමට ලක් වුනු රටවල් "අතමිට ඇතිවාට වැඩියෙන් ජීවත් වෙමින්” සිටි රටවල් බව යි.

සැබවින් ම, නය අර්බුදය රාජ්‍ය පෙට්ටගම් ක‍්‍රමානුකූල ලෙස කොල්ල කෑමේ සහ වැඩ කරන ජනයාගේ වියදමින් ඉහල පැලැන්තිය ධනවත් වීමේ ප‍්‍රතිඵලය යි. දශක තුනක් තිස්සේ, සංගත මත ද ඉහල ආදායම් මත ද ධනය මත ද පැනවෙන බදු එන්ට එන්ට ම අඩු කර ඇත. 2008 මූල්‍ය අර්බුදයෙන් පසුව බැංකුවල යුරෝ බිලියන ගනනක සමපේක්ෂන පාඩු මුලුමනින් ම රාජ්‍ය මූල්‍යය මඟින් පියවනු ලැබින.

එහෙත් යුරෝපය තුල නය පියවීම සඳහා යොදා ගත හැකි අරමුදල්වල හිඟයක් නැත. පෞද්ගලික ධනසම්පත් වේගවත් ලෙස ඉහල යාමෙන් ද අර්බුදය තිබිය දී ම අඩුවක් නැතිව නොකඩවා වැඩෙන දශ ලක්ෂපතියන්ගේ සංඛ්‍යවෙන් ද පෙන්නුම් කෙරෙන්නේ මෙය යි. මෙරිල් ලින්ච් නමැති එක්සත් ජනපද ආයෝජන බැංකුව සම්පාදනය කරන ලෝක ධනසම්පත් වාර්තාවට අනුව, 2007 දී යුරෝපය තුල දශ ලක්ෂපතියෝ මිලියන 3.1ක් පමන වාසය කලහ. ඔවුන් සාමූහිකව හිමි කර ගෙන සිටි මුලු වත්කම එ.ජ.ඩො. ටි‍්‍රලියන 10.6ක් (යුරෝ ටි‍්‍රලියන 7.5ක්) විය. මෙම ධනය මත පැනවෙන සියයට 4.7ක හදිසි බද්දකට පමනක් වුව, එක පැහැර ග‍්‍රීක රාජ්‍ය නය මුලුමනින් ම අහෝසි කල හැකි ය.

මූල්‍ය අර්බුදය මැද පවා මෙම ධනසම්පත් වේගයෙන් ඉහල යමින් පවතී. ජර්මානු මහ බැංකුවට (බුන්ඩෙස්බෑන්ක්) අනුව, පසු ගිය කාර්තු පහ තුල දී ජර්මනියෙහි පමනක් පෞද්ගලික ධනසම්පත්වල ඓක්‍යය සමස්තයක් ලෙස යුරෝ බිලියන 350කින් ඉහල ගොස් ඇත. එනම්, ග‍්‍රීසියේ මුලු නය ප‍්‍රමානයට හරියට ම සමානව ය. එමෙන් ම මෙය සිදු වී තිබෙන්නේ, වසර දහයක් තිස්සේ මධ්‍යම ආදායම් මට්ටම් එක තැන පල් වෙමින් සහ පහල ආදායම් මට්ටම් පිරිහෙමින් පවතිද්දී ය. ධනසම්පත් මුලුමනින් ම පාහේ සංකේන්ද්‍රනය වන්නේ මුලු ධනසම්පත්වලින් සියයට 60ක් භුක්ති විඳින සමාජයේ ඉහල ම සියයට දහය අත ය.

එහෙත් යුරෝ කලාපයේ ආන්ඩුවලට මෙම වත්කම්වලට අත ගැසිය නොහැකි ය. ජනාධිපති සාර්කොසි උපායාත්මක හේතු මත ඉල්ලා සිටි බැංකු අය බද්ධ පවා බ‍්‍රසල්ස්හි දී මුලුමනින් ම ප‍්‍රතික්ෂේප කෙරින. රැස් වුනු නායකයෝ, සාමාජීය ධනය යලි බෙදා හැරීම වේගවත් කිරීම සඳහා පවා අර්බුදය යොදා ගත්හ. බ‍්‍රසල්ස්හි පැවති හදිසි සමුලුව, විශේෂයෙන් ම ස්පාඤ්ඤයෙහි සහ ඉතාලියෙහි කප්පාදු වැඩ පිලිවෙලවල් සාදරයෙන් පිලිගත්තේ ය. එමෙන් ම, සියලු යුරෝ රටවල්වල අයවැය හිඟය 2013 වන විට සියයට 3ට වඩා පහත වැටිය යුතු බව එය අවධාරනය කලේ ය. මින් හැඟෙන්නේ සාමාජීය වියදම් වඩා උග‍්‍ර ලෙස කප්පාදු කෙරෙන බව යි.

වැඩ කරන ජනතාවට එරෙහිව තව දුර ප‍්‍රහාරයන් එල්ල කල යුතු බව අවධාරනය කරමින් සිටින්නේ, සියල්ලන්ට මත් වඩා "වාම” ධනේශ්වර පක්ෂයන් ය. එනම්, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්, හරිතයන් සහ හිටපු ස්ටැලින්වාදීන් ය. ඔවුන් ඉදිරිපත් කරන "යුරෝපය ගලවා ගැනීම” පිලිබඳ සංකල්පය නිමක් නැති කප්පාදු වලට සමාන වුව ද, යුරෝපා එකමුතුවේ ගැලවුම්කාරයන් තමන් යැයි ඔවුහු තමන්ව හුවා දක්වති.

ග‍්‍රීසියේ දී සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැසොක් පක්ෂය ලද ජයග‍්‍රහනය, 2015 වන විට කම්කරුවන්ගේ සහ විශ‍්‍රාමිකයන්ගේ ජීවන තත්ත්වයන් සියයට 40කින් පහත හෙලන කප්පාදු වැඩ සටහනක් පැටවීම සඳහා පූර්වාවශ්‍යතාවක් විය. ඉතාලියේ දී 86 වියැති ජනාධිපති ජියෝජියෝ නැපොලිටානෝ-මොහු ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂයේ පැරනි ක‍්‍රියාකාරිකයෙකි-මධ්‍ය-වාම විරුද්ධ පාර්ශ්වය බර්ලුස්කෝනි ආන්ඩුවේ මෑත කාලීන කප්පාදු වැඩ සටහනට ආධාර කරන බවට දැන් සහතික වෙමින් සිටී. මෙම වැඩ සටහන, මුලුමනින් ම පාහේ මධ්‍යම හා පහල ආදායම්ලාභීන් ඉලක්ක කර ගත්තකි.

ජර්මනියේ දී සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය (එස්පීඩී), යුරෝ අර්බුදයට විසඳුමක් ලෙස අපකීර්තිමත් වැඩ පිලිවෙලවල් සම්මත කරනු පිනිස මර්කල් ආන්ඩුවට සහාය පුදා ඇත. හරිත පක්ෂ නායක කෙම් ඕස්ඩෙමිර්, මහජන විරෝධයට මුහුන දෙමින් සිය කප්පාදු වැඩ සටහන් හඳුන්වා දීම සම්බන්ධයෙන් ස්පීගල් ඔන්ලයින් පුවත්පත තුලින් ග‍්‍රීක අගමැති පැපැන්ද්‍රියෝ වර්නනා කර ඇත.

යුරෝපා ධනේශ්වරය සිය මහජනයාගේ අවශ්‍යතා සැපිරෙන පරිදි යුරෝපය එකමුතු කිරීමට අසමත් බව 1920 ගනන්වල දී ලියොන් ට්‍රොට්ස්කි අවධාරනය කලේ ය. පෞද්ගලික දේපොල, සූරා කෑම, පෞද්ගලික ලාභ ප‍්‍රයෝජන සහ ජාතික අවශ්‍යතා මත පදනම් වන ධනපති ක‍්‍රමය, යුරෝපා මහජනතාවන්ගේ සුසංවාදී සහජීවනය සහ සහයෝගිතාව සහතික කිරීමට නොසමත් විය. අද දින මෙම තක්සේරුව නාටකාකාර ලෙස තහවුරු වෙමින් තිබේ.

අර්බුදයෙන් ගැලවීමේ මගක් සොයා ගැනීම සම්බන්ධයෙන් දක්ෂිනාංශික හා "වාම” ධනේශ්වරය අතර පවතින විවාදය, එක් අතකින්, නිර්ලජ්ජිත ජාතිකවාදයත්, අනෙක් අතින්, තම මහජනතාව නට්ටම් කිරීම තුලින් "යුරෝපය ගලවා ගැනීමත්” අතර දෝලනය වෙයි. 1930 ගනන්වල දී මෙන් ම, මාවත් දෙක ම යොමු වන්නේ සමාජ පරිහානිය, ආඥාදායකත්වය සහ යුද්ධය කරා ය.

කම්කරු පන්තියට මෙම කඳවුරු දෙකෙන් එකකට වත් යටත් විය නොහැකි ය; එය අර්බුදයට තමන්ගේ ම විසඳුමක් උදෙසා සටන් වැදිය යුතු ය. එනම්, සමාජවාදී පදනමක් මත යුරෝපය යලි සංවිධානය කිරීම යි. විශාල මූල්‍ය සංගත අත්පත් කර ගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය යටතට පත් කල යුතු ය; මහ ධනවතුන්ගේ වත්කම් මත දැඩි බදු පැනවිය යුතු ය, නැත් නම් ඒවා අත්පත්කරගත යුතු ය. මෙම පදනම මත, වත්මන් අර්බුදය විසඳිය හැකි වනු ඇත, යුරෝපය තුල පවතින සාමාජීය බෙදීම ජය ගත හැකි වනු ඇත, යුරෝපය සතු අතිමහත් සම්පත් සමස්ත සමාජයේ අවශ්‍යතා උදෙසා ප‍්‍රයෝජනයට ගත හැකි වනු ඇත.

එකිනෙකට සතුරු ජාතික රාජ්‍යයන් ලෙස යුරෝපය කැබලි කිරීමටත් මූල්‍ය ප‍්‍රාග්ධනයේ සහ බ‍්‍රසල්ස්හි පිහිටි එහි ආයතනවල ආඥාදායකත්වයටත් පවත්නා විකල්පය නම් යුරෝපා එක්සත් සමාජවාදී සමූහාන්ඩුවයි.

පීටර් ෂ්වාර්ස්