ඊස්රායලයේ විරෝධතා හා කම්කරු පන්තිය යලි ඉස්මතු වීම

The Israeli protests and the reemergence of the working class

9 August 2011

සෙනසුරාදා ටෙල් අවීව් නගරයේ වීදිවල පැවති මහජන විරෝධතා වර්ධනය වන ජාත්‍යන්තර තත්ත්වයේ මූලික ලක්ෂනය වන ලෝක දේශපාලනයේ වඩාත් ම වැදගත් බලවේගය ලෙස කම්කරු පන්තිය යලි ඉස්මතු වීම බලගතු ලෙස ප‍්‍රදර්ශනය කරයි. පහල වැටුප් හා ඉහල නගින ජීවන වියදමට එරෙහිව පැවැත්වුනු දෙලක්ෂ පනස් දහසකට අධික වැඩකරන ජනතාවගේ පෙලපාලිය ඊස්රායල් ඉතිහාසයේ විශාලතම සමාජීය විරෝධතාව යි.

එය පැවැත්වුනේ 2008 සැප්තැම්බරයේ හටගත් මූල්‍ය බිඳවැටීමෙන් පසුව ඉස්මතු වූ අවපාතයේ කොන්දේසි කරා ලෝක ආර්ථිකය යලි ගෙනයාමට තර්ජනය කරන කොටස් වෙලඳපොලේ නව ඇදවැටීමක් මධ්‍යයේ ය.

ඊජිප්තු ජනාධිපති හොස්නි මුබාරක්ට ධුරයෙන් ඉල්ලා අස්වීමට බලකල කයිරෝවේ තාරීර් චතුරස‍්‍රයේ මහජන විරෝධතා මගින් පාර්ශ්වීයව උත්තේජනය කරන ලදුව ටෙල් අවීව්හි රොත්ස්චයිල්ඩ් බුල්වාඩ් ප‍්‍රදේශය සති ගනනාවක් තිස්සේ වාඩිලාගත් කූඩාරම්වලින් පිරී ඇත. අඩු අරමුදල් හා දුෂ්කර වැඩ කොන්දේසිවලට විරෝධය පලකිරීමට වෛද්‍යවරු හා රාජ්‍ය අංශ කම්කරුවෝ වැඩවර්ජනවලට එලඹුනාහ. ඊස්රායල් විරෝධතාකරුවෝ හීබ‍්‍රෑ හා අරාබි යන භාෂා දෙකෙන් ම ලියන ලද සටන් පාඨ පුවරු රැගෙන යන අතර ඒවායෙන් සමහරක "ඊජිප්තු වැසියෙක් ලෙස ගමන් කරන්න” යනුවෙන් සඳහන් වෙයි.

ටියුනීසියාවේ හා ඊජිප්තුවේ එක්සත් ජනපද පිටුබලය ලත් ආඥාදායකත්වයන්ට එරෙහිව පුපුරා ගිය මහජන විප්ලවවාදී අරගල ජාත්‍යන්තරව කම්කරු පන්තියේ දේශපාලන විරුද්ධත්වය පන්නර ගන්වා ඇත. දැන් මෙය දීර්ඝ කාලයක් යුදෙව් ජනයාගේ දේශය ලෙස හඳුන්වන ලද ඊස්රායලයට පැතිරී ගොස් තිබේ. එහෙත් විරෝධතා අනාවරනය කරන්නේ ඊස්රායලය යුදෙව් ජනයාට ඉදිරි මාවතක් සම්පාදනය කර නොමැති බව සහ ඒ වෙනුවට ධනේශ්වර ප‍්‍රභූවක අවශ්‍යතාවලට සේවය කරන, යුදෙව් හා අරාබි යන දෙවර්ගයේ ම කම්කරුවන් පීඩනයට ලක්කරන බලකොටුවක් ගොඩනගා ඇති බව යි.

පාලක පන්තිය යුදෙව් කම්කරුවන්ට කියන්නේ ඔවුන්ගේ දේශපාලනික කාර්යභාරය ඊස්රායලය යටත් කරගෙන තිබෙන පලස්තීන භූමිභාගයන්හි ද, ලෙබනනය, සිරියාව, ඉරානය හා තවත් රටවල ද තම පන්ති සහෝදරයන්ට එරෙහිව භාතෘ ඝාතක යුද්ධයකට සූදානම් වීම බව යි. ඊස්රායල අරාබි ජාතිකයන් වනාහි බොහෝ යුදෙව් කම්කරුවන් ද සමග ලාභ ශ‍්‍රමය සඳහා එක පෙලට සූරාකනු ලබන දෙවන ගනයේ පුරවැසියන් ය. මෙම පදනම මත ඊස්රායලය එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ විදේශ ශාඛාවක් ලෙස සේවය කරයි.

වසර ගනනාවක් තිස්සේ රටෙහි සම්පත්වලින් දල වසයෙන් අර්ධයක් පාලනය කරන ප‍්‍රකෝටිපතියන් 16 දෙනා ධනවත් කරන නිදහස් වෙලඳපොල පිලිවෙත් ඊස්රායල පාලක ප‍්‍රභූව විසින් අනුගමනය කර තිබේ. පුද්ගලීකරන, සංගත මත නෛතික සීමා ඉවත් කිරීම් හා ඊස්රායල් මිලිටරි කාර්මික සංකීර්නයෙන් මූල්‍ය සම්පත් ගලායාම තුලින් කම්කරු පන්තිය සුන්බුන් කර ඇත. 2008 පටන් ඉහල යන මිලගනන් කම්කරු පන්තියේ වරප‍්‍රසාදිත ස්ථර පවා විනාශයට ඇදහෙලා ඇත. නිවාස මිලගනන් සියට 55කින්, බදු කුලිය සියයට 27කින් හා මූලික ආහාර ද්‍රව්‍යවල මිල සියයට 40කින් ඉහල නැග තිබේ.

විරෝධතා එක දිගට ජාත්‍යන්තරව පැතිරී යද්දී දේශපාලනික ජීවිතයේ කේන්ද්‍රීය ප‍්‍රශ්නය වන්නේ ආගම, ජාතිකත්වය හෝ වර්ගය නොව පන්ති ප‍්‍රශ්නය බව මහජනයා වඩ වඩා අවබෝධ කරගනිති. ඊස්රායලයේ මෙන් ම එක්සත් ජනපදයේ හා යුරෝපයේ කම්කරු පන්තිය සූරාකෑම ගැඹුරු වීම ජාත්‍යන්තර නිර්ධන පන්තියේ ඒකාබද්ධ විප්ලවවාදී අරගල සඳහා වෛෂයික පදනම් සම්පාදනය කරයි.

පාලක මිලිටරි ජුන්ටාව සමග සාකච්ඡා සඳහා එකඟතාවක් ඇති කරගැනීම හරහා මධ්‍යම පන්තික බලයන් විසින් පීලි පන්නවනු ලැබීමට හා පරාජයේ හෙලීමට උත්සාහ කරමින් සිටින ඊජිප්තු විප්ලවයේ අත්දැකීම ඊස්රායල කම්කරුවන්ට තීරනාත්මක ය. ජුන්ටාවට ආයාචනා කිරීම හරහා ඊජිප්තු කම්කරුවන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩනැගිය නො හැකි පමනට ම අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ අන්ත දක්ෂිනාංශක තන්ත‍්‍රයට බලපෑම් දැමීම මගින් ඊස්රායල් කම්කරුවන්ට තමන් පීඩාවට පත්කරන මූලාශ‍්‍රයන්ට එරෙහිව සටන් වැදිය නො හැක. ඊස්රායල් නිර්ධනීන් නෙතන්යාහු ආන්ඩුව පහකොට සමාජවාදී පිලිවෙත් කි‍්‍රයාවට දැමීම සඳහා සටන් වදින නව ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතුය.

මීට විපරීතව හිස්ටාඩ්රට් වෘත්තීය සමිති සම්මේලනයේ නායක ඔෆර් අයිනි කියා සිටින්නේ තමන් විරෝධතාවලට සහාය දක්වන සංකේත වර්ජන කැඳවන්නේවී නමුත් "ආන්ඩුව බිඳ දැමීමේ” අභිප‍්‍රායක් නොමැති බව ය. නෙතන්යාහුගේ මෘදු අනුකම්පාවන් සහ විරෝධතාකරුවන් සමග සාකච්ඡා සඳහා නිර්මානය කරනු ලබන ඇමතිවරුන් 16කගේ "සාකච්ඡා කන්ඩායම” කෙරෙහි විශ්වාසය තබන ලෙස අයිනි වැඩකරන ජනතාව උසිගන්වමින් සිටී.

කොතරම් නම් වංචාවක් ද? මැද පෙරදිග පුරා වෘත්තීය සමිති නිලධරයන් හා ඔවුන්ගේ ව්‍යාජ-වාම සහකරුවන් සමග එකපෙලට සිටිමින් අයිනි අනාවරනය කරමින් සිටින්නේ තමා කම්කරු පන්තියේ අරගල සීමාකොට පීලිපැන්නවීමේ කටයුත්ත පැවරුනු, මූල්‍ය ප‍්‍රභූතන්ත‍්‍රයේ නියෝජිතයෙක් බවයි.

විකිලීක්ස් හා හාරෙට්ස් විසින් ප‍්‍රසිද්ධ කරන ලද එක්සත් ජනපද රහස් කේබල් පනිවුඩ අනුව අයිනි නෙතන්යාහුගේ පිලිවෙත්වලට සහයෝගය දෙයි. ඊස්රායල් අයවැය හා ආර්ථික පිලිවෙත නෙසට්හි -ඊස්රායල් පාර්ලිමේන්තුවේ- අනුමත වීම සහතික කිරීමට අවශ්‍ය "නීත්‍යානුකූල මුද්‍රාව” වන්නේ තමන්ගේ අනුමැතිය ලැබීම යයි එක්සත් ජනපද රාජ්‍යතාන්ති‍්‍රකයන් සමග 2009 මැයි මාසයේ පැවති හමුවක දී අයිනි කීවේ ය. ඊස්රායල් ජනයා මත දක්ෂිනාංශික වැඩසටහන් පැටවීම ගැන සාකච්ඡා කිරීමේ දී අයිනි "මූලික බල තැරැව්කාරයෙක්” බව එක්සත් ජනපද රාජ්‍යතාන්ති‍්‍රකයෝ නිගමනය කලහ.

ආන්ඩුව සොලවාලමින් හා යුදෙව් හා අරාබි කම්කරුවන් ඒකාබද්ධ කිරීමේ හැකියාව ප‍්‍රදර්ශනය කරමින් මහජන විරෝධතා ඊස්රායලය තුල පුපුරා යාම ලෝකය පුරා කම්කරුවන්ට අරගලයේ මාවත ගැනීමටත් ආගමික, වාර්ගික හෝ ජාතික රේඛා ඔස්සේ ඔවුන් බෙදාලීමට දරන සියලු ප‍්‍රයත්න පරාජය කිරීමටත් දිරිය සපයයි.

වැඩකරන ජනයා මුහුන දෙන කේන්ද්‍රීය ප‍්‍රශ්නය වන්නේ මෙම සහජාසීය මනෝගතිය තම අවශ්‍යතා ආරක්ෂා කරගැනීමට දේශපාලනිකව සවිඥානික හා සැලසුම් සහගත මූලෝපායක් බවට පරිවර්තනය කරන්නේ කෙසේ ද යන්න යි. මේ සඳහා පදනම සපයන එකම ඉදිරි දර්ශනය වන්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විසින් පමනක් ඉදිරිපත් කරන ලෝක සමාජවාදී විප්ලවයේ කි‍්‍රයාමාර්ගය යි.

ඊස්රායලය, ඊජිප්තුව හා අනෙකුත් මැද පෙරදිග රටවල අරගල පැහැදිලි කරන පරිදි ධනවාදයේ ඓතිහාසික අර්බුදය මධ්‍යයේ මැද පෙරදිග නිර්ධනීන්ගේ පොදු අරගලයක් සඳහා කොන්දේසි ඉස්මතු වෙමින් තිබේ. ඔවුන්ගේ අරගල තුල දී මැද පෙරදිග කම්කරුවන් දශක ගනනාවක් පුරා තම රටවල් කොල්ල කා ඇති මූල්‍ය පරපෝෂිතයන් තම ජීවන තත්වයන්ට එල්ල කරන කුරිරු ප‍්‍රහාරවලට මුහුන පා සිටින යුරෝපයේ, ඇමරිකාවේ හා ආසියාවේ කම්කරුවන් සමග සහයෝගී වනු ඇත.

තීරනාත්මක කාරනය වන්නේ කම්කරු පන්තියේ නව විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීම හා පන්ති අරගලයේ නව සංවිධාන ස්ථාපනය කිරීම යි. කම්කරු විරෝධතාවල වැඩෙන ධාරාව හජාජාක ඉදිරිදර්ශනය පිලිබඳ බලගතු සනාථනයකි. ලෝක සමාජවාදය සඳහා කරන අරගලයේ කොටසක් ලෙස මැද පෙරදිග සමාජවාදී සමූහාන්ඩුවක් වෙනුවෙන් කරන අරගලය තුල යුදෙව් හා අරාබි කම්කරුවන් ඒකාබද්ධ කිරීමට හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඊස්රායල් ශාඛාවක් ගොඩනැගිය යුතු ය.

ඇලෙක්ස් ලැන්ටියර්