යුරෝපා ආර්ථික අර්බුදය පාලනයෙන් පිට පනියි

Europe’s economic crisis spins out of control

20 August 2011

ලෝක කොටස් හා මූල්‍ය වෙලඳ පොලවල අර්බුදය එන්ට එන්ටම පාලනයෙන් පිටතට ගමන් කරයි. ආන්ඩු දුවවනු ලබන්නේ, ඒවාට බලපෑම් කල නොහැකි වර්ධනයන් මගිනි.

ලොව හතර වන හා හය වන විශාලතම ආර්ථිකයන්හි නායකයන් වන ඇන්ජෙලා මර්කල් සහ නිකොලායි සර්කොසි, අඟහරුවාදා හදිසි සමුලුවක දී මුන ගැසුනේ වෙලඳ පොලවල් සංසුන් කිරීමේ අරමුන ඇතිව ය. දෙදිනකට පසුව තෙවසරක් තුල ඇතිවූ විශාලතම කඩා වැටීම ඒ කෙරෙහි කොටස් වෙලඳ පොලවල ප‍්‍රතිචාරය විය.

බ‍්‍රහස්පතින්දා, ජර්මානු ඩැක්ස් දර්ශකය සියයට 6කට ආසන්නව ද ප‍්‍රන්ස කැක් 40 දර්ශකය සියයට 5.5කින් ද බි‍්‍රතාන්‍යයේ ෆුට්සි දර්ශකය සියයට 4.5කින් ද කඩා වැටුනි. එක්සත් ජනපද ඩව් ජෝන්ස් දර්ශකයේ කාර්මික සාමාන්‍යය සියයට 3.7කින් වැටින. පහලට ලුහුටා යාම සිකුරාදා ද අඛන්ඩව සිදු වීය. මාසය ආරම්භයේ සිට මේ දක්වා ඩැක්ස් දර්ශකය සියයට 20කින් වැටී ඇත. මේ සා පරිමාන පහත වැටීම් 1930 ගනන්වල මහා අවපාතය පිලිබඳ මතකයන් අලුත් කරයි.

කොටස් වෙලඳ පොලවල සන්ත‍්‍රාසයෙන් පෙන්නුම් කෙරෙන්නේ, ගනුදෙනු කරුවන් බරපතල පසුබෑමක් අපේක්ෂා කරන බව යි. වර්ධනය එක තැන පල් වීමෙන් සහ විරැකියා අනුපාතයන් ඉහල යාමෙන්, දැනට මත් එම පසුබෑමේ පෙර ලකුනු පහල වී ඇත. සංගත මීට ප‍්‍රතිචාර දක්වනු ඇත්තේ දොට්ට දැමීම්වල අලුත් වටයකිනි. ආන්ඩු තව තවත් අයවැය කපනු ඇත.

1930 ගනන්වල කටුක අත්දැකීම් ආර්ථිකව පමනක් නො ව දේශපාලනිකව ද යලි කරලියට ඒමට තර්ජනය කරයි. ලෝක ආර්ථික පරිහානිය සිදු වන්නේ, යුරෝපා සංගමයේ පැවැත්මට තර්ජනය කරමින් ජාතික ආතතීන් වැඩීම සමග ද ඇෆ්ඝනිස්ථානයේ, ඉරාකයේ හා ලිබියාවේ එන්ට එන්ට ම කුරිරු වන අධිරාජ්‍යවාදී යුද්ධ සමග ද අත්වැල් බැඳ ගෙන ය.

වත්මන් අර්බුදය, වසර අසූවකට පෙර අර්බුදයටත් වඩා මූලික යයි කිව හැකි ය. එවක, යුරෝපය ෆැසිස්ට්වාදය සහ යුද්ධය කරා රූටා යද්දී, ඇමරිකානු ධනේශ්වරය ප‍්‍රතිචාර දැක්වූයේ සමාජ ප‍්‍රතිසංස්කරන වැඩ සටහනක් -එනම්, ජනාධිපති ෆ‍්‍රෑන්ක්ලින් ඩෙලානෝ රූස්වෙල්ට්ගේ නිව් ඩීල් ප‍්‍රතිපත්තිය- සමගින් ය. දෙවන ලෝක යුද්ධයෙන් පසුව එක්සත් ජනපදය මතු වී ආවේ ආධිපත්‍යධාරී ආර්ථික බලවතා හැටියට ය. අද දින, එක්සත් ජනපදය අර්බුදයේ කේන්ද්‍රයක් බවට පත්ව ඇත. එමෙන් ම, කිසි ම රටකට හෝ සන්ධානයකට, ලෝක ධනවාදී ආර්ථිකයේ ආරක්ෂකයා ලෙස එක්සත් ජනපදය ඉටු කල කාර්ය භාරය භාර ගත නොහැකි ය.

යුද්ධයෙන් පසුව බටහිර යුරෝපයේ ධනවාදය යලි ගොඩ නැගුවේ, මහා අවපාතයෙන් උගත් පාඩම් එනම් සමාජ ප‍්‍රතිපත්ති තුලින් වෙලඳ පොල ආර්ථිකයේ රුදුරු බව අඩු කිරීමේ අවශ්‍යතාව පදනම් කර ගනිමිනි. ස්ටැලින්වාදී තන්ත‍්‍රයේ වැඩ කටයුතුවල ප‍්‍රතිඵලයක් ලෙස 1991 දී සෝවියට් සංගමය බිඳී විසිරී ගොස් එහි අවසානය ඔප්පු කලේ සමාජවාදයේ අසාර්ථකත්වය සහ ධනවාදී වෙලඳ පොලේ නිර්බාධිත විජයග‍්‍රහනය යැයි නිවේදනය කරනු ලැබින.

ගෙවී ගිය තෙවසර මේ ප‍්‍රකාශ සිඳ බිඳ දමා ඇත. වෙලඳ පොලවල්, විශේෂයෙන් ම මූල්‍ය වෙලඳ පොලවල්, සිය විනාශකාරී බලය විදහා පා ඇත. සමපේක්ෂකයෝ ආන්ඩු මෙහෙය වමින් සමාජය විනාශයෙහි ගිල්වන ප‍්‍රතිපත්ති අන කරති, ජනගහනයේ පුලුල් ස්තරවල ජීවනෝපායන් වනසති.

අධ්‍යාපනය, සෞඛ්‍යය සහ වැඩිහිටි රැකවරනය විනාශ කෙරෙන, තරුනයන් ඉදිරි දර්ශනයකින් තොරව වීදීවලට ඇද දැමෙන අතරතුර, බැංකු ද ධනවතුන්ගේ වත්කම් ද බේරා ගනු පිනිස ජනතාවගේ සාක්කු හිස්කර ඇත. ආර්ථික පසුබෑම උග‍්‍ර කරමින් ද ඒ අනුව රාජ්‍ය අංශයෙහි නව බිඳ වැටීම් ඇති කරමින් සහ ගැලවුම් මගක් නැති විෂම චක‍්‍රයක් නිර්මානය කරමින් ද, එක් කප්පාදු පිලිවෙතකින් පසුව තවෙකක් එයි.

එක ද ධනේශ්වර ආන්ඩුවකට හෝ පක්ෂයකට මූල්‍ය වෙලඳ පොලවල අතෘප්තිකර අවශ්‍යතා සැපිරිය නොහැකි ය. ලං ලංව එන අවපාතය පාලනයකට ගැනීමට නම්, රජයේ සංවර්ධන වැඩසටහනකට සම්බන්ධ යුරෝ බිලියන ගනනක දැවැන්ත ව්‍යාපෘතියක් දියත් කිරීම ද සමපේක්ෂන ලාභවලින් හා ඉහල ආදායම්වලින් බදු අය කිරීම හෝ ඒවා රාජ්‍යය සතු කිරීමත් අවශ්‍ය වේ. එහෙත් එවන් වැඩ පිලිවෙලවල් ක‍්‍රියාත්මක කරනු තබා සාකච්ඡා කෙරෙන්නේ වත් නැත.

මූල්‍ය ප‍්‍රභූ පැලැන්තියේ බලය අනුල්ලංඝනීය වන්නේය. "වාමාංශික” වේවා දක්ෂිනාංශික වේවා සියලු නිල පක්ෂ, ඒ අබියස දොහොත් මුදුන් දී ගෙන වැතිර සිටී. මෑත දී ඇති වුනු කැරලිවල දී අත් අඩංගුවට ගෙන සුලු වැරදිවලට ඉතා දරුනු සිර දඬුවම් ලබා දෙමින් බි‍්‍රතාන්‍ය තරුනයන්ට සැලකූ ආකාරය ද කල අපරාධවලට කිසිදු ආකාරයකින් වගකීමට නොබැඳෙන සමස්ත ජාතික ආර්ථිකයන් ම අර්බුදයට හෙලූ කොටස් වෙලඳ පොල සූදුකාරයන්ට සහ සමපේක්ෂකයන්ට සැලකූ ආකාරය ද අතර වෙනසින් තරම් අන් කිසිවකින්, වත්මන් සමාජයේ පන්ති ස්වභාවය පැහැදිලි කෙරෙන්නේ නැත.

යුරෝපයේ ආන්ඩු හා පක්ෂ වාද කරමින් සිටින්නේ, ඊනියා යුරෝ බැඳුම්කර නිර්මානය කිරීමෙන් මූල්‍ය වෙලඳ පොලවල අතෘප්තිකර ලාභ පිපාසාව සංසිඳවිය හැකි ද, නැත් නම් යුරෝව අත හැර දමා බෙහෙවින්ම නයගැති රටවල් ඒවායේම ඉරනමට අත හැර දැමිය යුතු ද යන්න ගැන යි.

නය ආපසු ගෙවීමේ දුෂ්කරතාවන්ට මුහුනදී සිටින රටවල ආන්ඩු මෙන්ම ජර්මානු හා ප‍්‍රන්ස සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් ද හරිතයින් ද පලමු විකල්පයට සහාය දෙයි. යුරෝ බැඳුම්කර නිර්මානය කිරීම ද වියදම් පහත දැමීමේ දැඩි පිලිවෙත් ද එකට සම්බන්ධ කරන ඔවුහු, ඒ ඒ රටවල අයවැය ප‍්‍රතිපත්ති, යෝජිත යුරෝපා සංගම් මන්ඩලවල අනසකට යටත් කරති. යුරෝ බැඳුම්කර හඳුන්වා දීමෙන් කුරිරු කප්පාදු පිලිවෙත් තවත් පුලුල් වනු ඇත; ග‍්‍රීසිය, අයර්ලන්තය සහ පෘතුගාලය වැනි රටවලට මෙන්ම අවශේෂ යුරෝපයට ද ඊට යටත් වීමට සිදු වනු ඇත.

ජර්මනියේ නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය (එෆ්ඩීපී) වැනි දක්ෂිනාංශික ජනතාවාදීහු හා ධනේශ්වර සංස්ථාපිතයේ කොටස් දෙවන විකල්පයට අනුග‍්‍රහය දක්වති. සියල්ලට ම වඩා ප‍්‍රධාන වන්නේ ජාතික අවශ්‍යතාව යැයි සලකන ඔවුහු, යුරෝව අත හැර යුරෝපා සංගමය බිඳ දමා, ජාතික පසතුරුකම්වල, ගැටුම්වල හා යුද්ධයන්ගේ මාවත ඔස්සේ යාමට සූදානම්ව සිටිති. හිටපු මධ්‍යම පන්තික වම්මුන් අතරෙන් මෙහි ප‍්‍රකාශනයක් සොයා ගත හැකි ය. ඔවුහු යුරෝපා සංගමයට විකල්පයක් යැයි ජාතික හෝ කලාපීය ස්වාධීනත්වය වෙනුවෙන් හඬ නඟති.

කම්කරුවන් මෙම කඳවුරු දෙක ම ප‍්‍රතික්ෂේප කල යුතු ය. යුරෝපයෙහි ගැටුම ඇත්තේ ජාතීන් අතර නො ව පන්තීන් අතර ය. බලගතු යුරෝපා සංගමයකට පක්ෂව හඬ නගන්නන් ද වඩාත් වේගයෙන් අන්තවාදීන් බවට පත් වෙමින් සිටින ඔවුන්ගේ ජාතිකවාදී විරුද්ධවාදීන් ද එක්ව ආරක්ෂා කරන මූල්‍ය ප‍්‍රභූ පැලැන්තියේ ආධිපත්‍යය බිඳ දැමිය හැක්කේ, සියලු යුරෝපා කම්කරුවන් ඒකාබද්ධව කරන අරගලයකට පමනි.

සමාජ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීම සඳහා පූර්වාවශ්‍යතාව වන්නේ සමාජවාදී ක‍්‍රියා මාර්ගයකි. ටි‍්‍රලියන ගනනක වත්කම් මත පාලනය පුද්ගලයන් අත පවතින තාක් හා සමස්ත ජාතික ආර්ථිකයන්හි ම ඉරනම කොටස් වෙලඳ පොලවල සූදුකාරයන් විසින් තීන්දු කෙරෙන තාක්, එක ද සමාජ ගැටලුවක් වත් විසඳිය නොහැකි ය. මූල්‍ය ආයතන සහ විශාල සංගත අත්පත් කර ගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයකට යටත් කල යුතු ය. ආර්ථික ජීවිතය සැලසුම් කල යුත්තේ, වෙලඳ පොලේ අරාජකත්වය සහ ප‍්‍රාග්ධන හිමිකාරයන්ගේ ලාභ අවශ්‍යතා අනුව නො ව සමාජයේ අවශ්‍යතා අනුව ය.

වෘත්තීය සමිති හා සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ, කිසි විටෙකත් එවන් ක‍්‍රියා මාර්ගයකට එකඟ නොවනු ඇත. ආන්ඩුවල හා අධ්‍යක්ෂ මන්ඩලවල ලගිමින් ද ගනන් නැති වරප‍්‍රසාද භුක්ති විඳිමින් ද ඔවුන් දහසක් හුය පටවලින් පාලක ප‍්‍රභූ පැලැන්තිය හා ගැට ගැසී ඇත. ඔවුන් උත්සාහ කරන්නේ කම්කරු පන්තියේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට නො ව, පහලින් නැග එන සියලු විරුද්ධත්වයන් භේද භින්න කිරීමට, බෙලහීන කිරීමට සහ මර්දනය කිරීමට ය.

පවත්නා රාජ්‍ය ආයතනවලට පීඩනය යෙදීමෙන් සමාජවාදී ක‍්‍රියා මාර්ගයක් මුදුන් පමුනුවා ගත නොහැකි ය. කම්කරුවන්ගේ ආන්ඩුවක් ද යුරෝපා එක්සත් සමාජවාදී සමූහාන්ඩුවක් ද පිහිටුවීම සඳහා, දසලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් ස්වාධීනව බලමුලු ගැන්වීම අත්‍යවශ්‍ය ය. මින් මතු කෙරෙන්නේ, විප්ලවවාදී පක්ෂය හෙවත් හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ ලොව වටා එහි ශාඛාවන් ගොඩ නැගීමේ අවශ්‍යතාව යි.

පීටර් ෂ්වාර්ස්