වෙරිසොන් වැඩවර්ජනය පාවාදීම

The betrayal of the Verizon strike

22 August 2011

වෙරිසොන් කම්කරුවන් 45,000කගේ වැඩවර්ජනය නිමා කිරීමට ගත් ඇමරිකාවේ සන්නිවේදන කම්කරුවන්ගේ (සීඩබ්ලිව්ඒ) හා විදුලි කම්කරුවන්ගේ ජාත්‍යන්තර සහෝදරත්වයේ (අයිබීඊඩබ්ලිව්) තීරනය පෙන්නුම් කරන්නේ නිල වෘත්තීය සමිතිවල සංවිධානාත්මක ගලග‍්‍රහනයෙන් බිඳී වෙන් නොවන තාක් දුරට කම්කරුවන් ව්‍යාපාරික සංගතවල ප‍්‍රහාරයන්ට එරෙහිව සාර්ථක අරගලයක් ගෙනයාමට අපොහොසත්වන බවයි.

ඒඑෆ්එල්-සීඅයි ඕ කම්කරු සම්මේලනවල කාලකන්නි ප‍්‍රමිතීන් අනුව පවා නව සේවා ගිවිසුමකින් තොරව හා කම්කරුවන් වෙතින් සහන උදුරා ගැනීමේ අරමුනෙන් සමාගම ඉදිරිපත් කල කිසිදු කුරිරු ඉල්ලීමක් ඉවත් කර නොගත් තතු හමුවේ දෙසතියකට පසුව වැඩවර්ජනය අතහැර දැමීම සමිතිවල නරුමත්වය හා ද්‍රෝහිත්වය කියාපාන අවස්ථාවක් සලකුනු කරයි.

අලුතෙන් බඳවාගන්නා අයගේ විශ‍්‍රාම වැටුප් හිමිකම් අහෝසි කිරීම හා දැනට සේවයේ සිටින කම්කරුවන්ගේ විශ‍්‍රාම වැටුප් කැටිකිරීම, කම්කරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් සඳහා අයකරන ගාස්තු විශාල වශයෙන් ඉහල නැංවීම, රැකියා ආරක්ෂාව පිලිබඳ ප‍්‍රතිපාදන අහෝසි කිරීම, අසනීප නිවාඩු දින ගනන අඩුකිරීම හා වැඩ කොටස් පිටතට කොන්ත‍්‍රාත් දීමේ සියලු සීමා ඉවත් කිරීම ඇතුලු ඩොලර් බිලියනයක සහන උදුරා ගැනීම අත්හිටුවා නැති බව වෙරිසොන් සමාගම පැහැදිලිව සඳහන් කර තිබේ.

අහිමිවූ වැඩ දින ගනන හා ඊසානදිග එක්සත් ජනපදයේ කුනාටු වලින් දේපල වලට ඇතිවූ හානි පියවා ගැනීම සඳහා සමාගමට නිර්දය ලෙස කම්කරුවන් වැඩෙහි යෙදවීමට ඉඩ සැලසෙන පරිදි අතිකාල සීමා අහෝසි කිරීමේ එකඟත්වයක් ඇතිව ඔවුන් ආපසු වැඩට දක්කනු ඇත. සමිති වැඩ වර්ජනය අත්හිටවූයේ වැඩවර්ජනයට සම්බන්ධ කටයුතුවල නිරතවීම පිලිබඳව හෝ උද්ඝෝෂනවල යෙදී සිටිය දී අත්අඩංඟුවට ගත් කම්කරුවන්ට නඟා ඇති චෝදනා මත සමාගම සේවය අත්හිටවූ කම්කරුවන් යලි සේවයේ පිහිටුවීම ගැන කිසිදු එකඟත්වයකින් තොරවය.

ආපසු වැඩට යාමේ එකඟතාවයෙහි කොටසක් ලෙස නව සේවා ගිවිසුමක් පිලිබඳ සාකච්ඡා පැවැත්වෙන අතරතුර යලි වැඩවර්ජනයක් පැනනැඟුන විටෙක දී වැඩවර්ජන බිඳීමේ සියලු නියෝග බලපැවැත්වෙන පරිදි පැරනි ගිවිසුම තබා ගැනීමට යටත්ව ඔවුන් සම්මුතියකට පැමින තිබේ.

වැඩවර්ජනය මගින් වෙරිසොන් සමාගමට "බැරෑරුම් කේවෙලයකට” එලඹීම සඳහා බලකෙරී ඇතැයි යන සමිතිවල කියාපෑම අමූලික ප්‍රෝඩාවකි. එහි යම් අර්ථයක් ඇත්නම් ඒ, කම්කරුවන්ට වසරකට ඩොලර් දහස් ගනනක් වැයවන සහන පිරිනැමීමට බලකිරීම සඳහා සහායවීමට හිලව් වශයෙන් තමන්ට හිමිවන වරප‍්‍රසාදයන්හි පංඟුව දිගටම පවත්වාගැනීම පිලිබඳ සමිති නිලධරයේ න්‍යායපත‍්‍රය ගැන සාකච්ඡා කිරීමට පමනක් සමාගම කැමැත්ත පලකර ඇතැයි යන්නයි.

වැඩවර්ජනය නතර කිරීමට තීරනය කල කාල වකවානුව සලකුනු කරන්නේ උපාමාරු දැමීම සඳහා සමිතිවල පවත්නා සූදානමයි. ඔවුන් වැඩවර්ජනය නතර කලේ කම්කරුවන්ට සමිතියෙන් ගෙවන වැඩවර්ජන දීමනා සඳහා හිමිකම් ලැබීමත්, අරගලය සමාගමේ කටයුතු කෙරෙහි දැඩිලෙස බලපෑමට පටන් ගැනීමත් සමග ය. ප‍්‍රතිපලය වූයේ සමිති අධිකාරීන් තම ඉලක්කම් හයේ වැටුපින් සතයක්වත් අහිමිකර නොගත් අතර කම්කරුවන්ට කිසිදු ප‍්‍රතිරෝධයක් නොදක්වා ම සිය දෙසතියක වැටුප් පරිත්‍යාග කිරීමට සිදුවීම ය.

වෙනත් ගනන් බැලීමක් ද තිබුනි. එනම්, කම්කරුවන් පිකට් වැටෙහි රැඳී සිටින කාලය දිගු වුවහොත් වැඩවර්ජනය වෘත්තීය සමිති පාලනයෙන් ගිලිහී සමාගම් වලටත් ආන්ඩුවටත් එරෙහි කම්කරු පන්තියේ වඩා පුලුල් අරගලයක නාභිය බවට පත්වීමේ බරපතල අන්තරායක් පැවති බව සමාගම මෙන්ම ඔබාමා පාලනය ද හොඳින් දැන සිටියේය යන්නයි.

වැඩවර්ජනය පෙරට යද්දී පන්ති පෙල ගැසීම වඩ වඩාත් පැහැදිලි විය. උද්ඝෝෂන දැඩි ලෙස සීමා කරන ප‍්‍රජතන්ත‍්‍ර විරෝධී ආඥා පැනවීම සඳහා සමාගම අධිකරනය හා පොලිසිය ඇතුලු රාජ්‍යයේ සම්පත් යොදාගත්තේය. ඔබාමා පාලනය වැඩවර්ජකයින්ගේ "කඩාකප්පල්කාරී” ක‍්‍රියා පිලිබඳ වෙරිසොන් සමාගමේ තහවුරු නොකල චෝදනා වලට සහාය දක්වමින් එෆ්බීඅයි හෙවත් ෆෙඩරල් පරීක්ෂන බියුරෝව මෙහෙයවූ අතර වෙරිසොන් කම්කරුවන්ට චෝදනා එල්ලවූ එම ක‍්‍රියා සැප්තැම්බර් 11 ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයන්හි එලඹෙමින් තිබෙන දහවෙනි සංවත්සරයට සම්බන්ධ කලේය.

ආන්ඩුවේ හා සමාගමේ හොරිකඩකම් හමුවේ වෙරිසන් කම්කරුවන් අධිෂ්ඨානය හා සහෝදරත්වය ප‍්‍රකට කරද්දී සීඩබ්ලිව්ඒ හා අයිබීඊඩබ්ලිව් යන සමිති ඒවාට එරෙහිව කිසිවක් නොකලේය. දස වසරකට පසුව එක්සත් ජනපදයේ ඇතිවූ ලොකුම වැඩවර්ජනය මුලුමනින්ම පාහේ නොතකා හල ඒඑෆ්එල්-සීඅයි ඕ කම්කරු පන්තියේ පුලූල් සහයෝගය බලමුලු ගැන්වීම ප‍්‍රතික්ෂේප කරමින් අරගලය හුදෙකලා කලේය.

සමිතිවල කටයුතු නීර්නය කලේ ඒවා නියෝජනය කල සමාජ අවශ්‍යතා මගිනි. මෙම සංවිධාන තවදුරටත් "කම්කරු පන්තික” යයි අංඟලක්ෂනය කල නොහැකිය. බොහෝ කලකට පෙරම මෙම සංවිධාන කම්කරුවන්ගේ අවශ්‍යතා ආරක්ෂාකිරීම අතහැර දමා ඇතුවා පමනක් නොව, ඔවුන් කම්කරුවන්ගේ ප‍්‍රජාතන්ත‍්‍ර පාලනයකට යටත් වන්නේ ද නැත. මෙම ඊනියා වෘත්තීය සමිති ක‍්‍රියාත්මක වන්නේ කම්කරු පන්තියෙන් සූරාකනු ලබන ලාභ බෙදාගැනීමේ හා සමාගම් කලමනාකාරිත්වයේ ද රාජ්‍යයේ ද ඛනිෂ්ඨ සහකරුවන් ලෙස සේවය කිරීමේ නිරතව සිටින ධනවත් ඉහල මධ්‍යම පන්තිකයින් විසින් ගෙනයන ව්‍යාපාර-කම්කරු සමායතනයන් ලෙසය.

1981 පැට්කෝ ගුවන් ගමන් පරිපාලකයින්ගේ වැඩවර්ජනය පාවාදුන් තැන් පටන් ගතවූ තිස් වසරක කාලය තුල වෘත්තීය සමිති එකකින් පසුව තවෙකක් වශයෙන් ඇතිවූ පරාජයන් අත්දැක තිබේ. සමාජ අසමානතාවය වැඩී යද්දී ද මූල්‍ය සමපේක්ෂනය කරා මාරුවීම සඳහා පාලක පන්තිය කාර්මික ව්‍යුහයේ විශාල පදාසයන් බිඳ විසුරුවා හරිද්දී ද වෘත්තීය සමිති පන්ති අරගලය මැඬීම පිනිස මුලු හදින්ම කැපවූහ. වෙරිසොන් වැඩවර්ජනය පසුගිය දශකයේ පැනනැඟි වැදගත් අරගල අතලොස්සෙන් එකක් හා 2008 මූල්‍ය බිඳවැටීමෙන් පසු ඇතිවූ පලමුවැන්න වීමේ කාරනය ම ඒඑෆ්එල්-සීඅයි ඕ වෙත එල්ල වන චෝදනාවකි.

පෞද්ගලික අංශයේ සාමාජිකත්වය පසුගිය සියවසේ මුල් දශකයෙන් පසුව දක්නට ලැබෙන පහලම මට්ටම් කරා පැමින තිබෙන අතර වෘත්තීය සමිතිවල බිඳවැටීම හා ඒවා සමාගම්වල ද රාජ්‍යයේ ද සෘජු ඒජන්සි බවට පත්කරමින් සිදුව ඇති පරිවර්තනය වනාහි ධනවාදය හා ජාතිකවාදය ආරක්ෂා කිරීම මත පදනම්වූ කම්කරු ව්‍යාපාරයක අදාලත්වය පිලිබඳ ඉතිහාසයේ තීන්දුවයි.

1930 ගනන්වල අවපාතය අවධියේ ඇමරිකානු කම්කරුවන්ගේ පුපුරන සුලූ වාඩිලාගැනීමේ වැඩවර්ජන හා මහා අරගල තුලින් නැඟී ආ කාර්මික වෘත්තීය සමිති වන සීඅයි ඕ නම් කාර්මික සංවිධානයන්හි කොන්ග‍්‍රසය විසින් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන සංවිධානයක් ගොඩනැඟීම හා නිෂ්පාදන මාධ්‍යයන්ගේ ධනේශ්වර හිමිකාරත්වයට කිසිදු අභියෝගයක් එල්ල කිරීම ප‍්‍රතික්ෂේප කිරීම මගින් වෘත්තීය සමිතිවල බිඳවැටීම සඳහා පසුබිම සකස් කලේය. එක්සත් ජනපද මහා ව්‍යාපාරිකයේ ප‍්‍රමුඛ පක්ෂ දෙකෙන් එකක් වන ඩිමොක‍්‍රටික් පක්ෂය සමග සමිති ඇතිකරගත් සන්ධානය තුල ප‍්‍රකාශනය අත්කරගත් මෙම ප‍්‍රතිගාමී දේශපාලන පදනම දෙවන ලෝක යුද්ධයෙන් පසුව සමාජවාදී හා වාමාංශික කොටස් සමිතිවලින් විරේක කිරීම මගින් ශක්තිමත් විය. සමාජවාදය කෙරෙහි විරුද්ධත්වය හා ඇමරිකානු ධනවාදය රැකීමේ සුවිශේෂ පදනම මත සීඅයි ඕව පැරනි ඇමරිකානු කම්කරු සම්මේලනය (ඒඑෆ්එල්) සමග 1955දී ඒකාබද්ධ කිරීම මෙහි පරිසමාප්තිය විය.

යුද්ධයෙන් පසුව ඇමරිකානු ධනවාදයේ ගෝලීය ආධිපත්‍යය හා පශ්චාත් යුද්ධ උත්පාතයේ කොන්දේසි යටතේ කම්කරුවන්ට නිල වෘත්තීය සමිති ආකෘතිය තුල ආර්ථික දියුනුවක් අත්කරගත හැකි විය. එහෙත් 1960 ගනන් අග හා 1970 ගනන්වල ඇමරිකානු ධනවාදය දිග් ගැස්සුනු පරිහානියේ අවධියකට ඇතුල්වී තිබුනි. ඉන් පසුව එලඹි දශකය තුල ඇමරිකානු පාලක පන්තිය කම්කරු පන්තියට එරෙහිව ප‍්‍රහාරයක් දියත් කල අතර එතැන් පටන් එය අතොරක් නැතිව අඛන්ඩව පැවතීගෙන විත් තිබේ.

පසුගිය 30 වසර තුල ඇතිවූ ආර්ථික ගෝලීයකරනයේ දැවැන්ත වර්ධනය ජාතික රාජ්‍යය හා ජාතික ආර්ථිකය මත පදනම්වීගත් සමිතිවලට හා පැරනි කම්කරු නිලධාරි තන්ත‍්‍රයන්ට තවදුරටත් වල කැපීය.

1937දී ට්‍රොට්ස්කි සටහන් කලේ වෘත්තීය සමිතිවල ස්වභාවය තීරනය කරනුයේ "ජාතික ආදායම බෙදීයාම කෙරෙහි ඒවායේ සම්බන්ධතාව” අනුව බවය. සමිති නිලධරය "කම්කරු පන්තිය පැත්තෙන් එයට එල්ල කෙරෙන ප‍්‍රහාරයන්හි දී ධනේශ්වරයේ ආදායම ආරක්ෂා කරන්නේ ද, ඔවුන් වැඩවර්ජන වලට, වැටුප් වැඩිකිරීම් වලට, රැකියා නැති අයට ආධාර කිරීමට එරෙහි අරගලයක් ගෙනයන්නේ ද, එසේනම් අපට ඇත්තේ වෘත්තීය සමිතියක් නොව හොරිකඩයින්ගේ සංවිධානයකි.”

වෙරිසොන් වැඩවර්ජනය යලි වතාවක් පෙන්නුම් කරන්නේ, සැබවින්ම නිල වෘත්තීය සමිතිවල අද දිනයේ කර්තව්‍යය මෙය බවයි. මෙම සංවිධාන වැදගැම්මකට නැත්තේ කම්කරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීම පිලිබඳ ආස්ථානයෙන් පමනක් නොවේ; එවන් ඕනෑම සටනකට ඇති අධිෂ්ඨානවත් බාධකය ද ඒවා ම ය.

වෙරිසොන් වැඩවර්ජනය අවසන් කරනු ලැබුවේ කම්කරු පන්තියට එරෙහි පාලක පන්තියේ ප‍්‍රහාර උත්සන්න කෙරී ඇති වාතාවරනයක ය. ඔබාමා පාලනය දැනටමත් ඩොලර් ටි‍්‍රලියන 2.4ක සමාජ වැඩසටහන් කප්පාදුවකට රිපබ්ලිකානුවන් සමග සම්මුතියකට එලඹ සිටියි. මෙය සෞඛ්‍ය පහසුකම් හා විශ‍්‍රාමික වැඩසටහන් බිඳ දැමීමේ ආන්ඩුවේ උද්ඝෝෂනයෙහි ආරම්භක පියවර පමනි. සීඩබ්ලිව්ඒ හා අයිබීඊඩබ්ලිව් ද ඇතුලු ඒඑෆ්එල්-සීඅයි ඕ සංවිධාන තව තවත් විශාල කප්පාදු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති වන ඔබාමා යලි තෝරා පත්කර ගැනීමේ උද්ඝෝෂනයට පවා එක පයින් සූදානම් වෙති.

නව රැකියා නිර්මානය කිරීමේ හෝ රැකියා නැති අයට සහන සැලසීමේ කුමන හෝ බැරෑරුම් පියවරක් ඔබාමා විසින් ප‍්‍රතික්ෂේප කරන අතරතුර වෙරිසොන් වැනි සමාගම් සහන අහෝසි කිරීමට, වැටුප් පහත හෙලීමට හා කම්කරුවන් සූරාකෑම උත්සන්න කිරීම සඳහා ලීවරයක් ලෙස විරැකියා අර්බුදය ගසාකනු ලබයි.

කම්කරුවන් මෙම ප‍්‍රහාරයට විරුද්ධ වනු ඇති නමුත් අරගලයේ නව මාවතක් සොයාගත යුතුය.

දෙසතියක වැඩවර්ජනයේ කාලය තුල සමාජවාදී සමානතා පක්ෂය හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය වෙරිසොන් කම්කරුවන් අතර ආක‍්‍රමනශීලී උද්ඝෝෂනයක් ගෙනයන ලදී. අප අවධාරනයෙන් කියා සිටියේ වැඩවර්ජනය සාර්ථක වීමට නම් වෘත්තීය සමිතිවලින් ස්වාධීනව හා ඒවාට විරුද්ධව කම්කරුවන්ගේ ක‍්‍රියාකාරී කමිටු ගොඩනැඟිය යුතු බවයි. ව්‍යාපාරික හා මූල්‍ය ප‍්‍රභූ පැලැන්තියේ නිර්දේශයන්ට එරෙහිව අරගලය මහජන ව්‍යාපාරයක් බවට පරිවර්තනය කරමින් සමස්ත කම්කරු පන්තියම බලමුලු ගැන්වීම අවශ්‍ය විය. මෙම ඉදිරිදර්ශනය වෙරිසොන් කම්කරුවන් අතර වඩ වඩාත් අනුකූලතාව දිනාගැනීමට සමත් විය.

එලඹෙන සතිවල දී සසප කම්කරු පන්තියේ ස්වාධීන කාර්මික හා දේශපාලන බලමුලු ගැන්වීමක් සඳහා සිය අරගලය තීව්ර කරනු ඇත. ක‍්‍රියාත්මක කිරීමට සමිති විසින් සුදානම් කරමින් සිටින කුනුවූ ගිවිසුම ප‍්‍රතික්ෂේප කරන ලෙසට වෙරිසොන් කම්කරුවන් ඒත්තු ගැන්වීමට අපි සටන් වදින්නෙමු.

නිල සමිති වෙරිසොන් ස්ට‍්‍රයිකය නතර කිරීමට සමත් වූවා විය හැකිය. එහෙත් එසේ කිරීමේ දී ඔවුන් තමන්ව ම අපකීර්තියට පත්කර ගනිමින් කම්කරුවන්ට ඔවුන්ගේ ගලග‍්‍රහනයෙන් මිදී සමාජවාදය සඳහා වන ධනේශ්වර පද්ධතියට එරෙහි දේශපාලන අරගලය ගෙනයාමට මග විවෘත කලා පමනි.

සියල්ලටත් වඩා අවශ්‍ය කෙරෙන්නේ ජනගහනයෙන් ඉමහත් බහුතරයක් දුගී බවේ ගිල්ලීමට අධිෂ්ඨාන කරගෙන සිටින පාලක පන්තියක් විසින් සෑම ආර්ථික හා දේශපාලන ආයතනයක්ම පාලනය කරන ධනේශ්වර පද්ධතිය ප‍්‍රතික්ෂේප කිරීම මත පදනම් වන නව දේශපාලන නායකත්වයක් ගොඩනැඟීමයි. එවන් සටනක අවශ්‍යතාවය හඳුනාගන්නා සියලු කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් අපගේ ක‍්‍රියාමාර්ගය කියවා සමාජවාදී සමානතා පක්ෂයට බැඳීමට තීන්දු ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු.

ජෝසෆ් කිෂෝර්