වෙරිසොන් වැඩ වර්ජනයේ දේශපාලන ප‍්‍රශ්න

The political issues in the Verizon strike

16 August 2011

එක්සත් ජනපදයේ වෙරිසොන් කම්කරුවන් 45,000කගේ වැඩ වර්ජනය එහි දෙවැනි සතියට එලඹෙද්දී සමාගමේ දුරදිග යන කප්පාදු ඉල්ලීම් කෙරෙහි කම්කරුවන්ගේ විරුද්ධත්වයේ ගෙල හිරකිරීම සඳහා සමාගම වෙනුවෙන් ආන්ඩුව ආක‍්‍රමනශීලීව මැදිහත්ව සිටී.

ඒඑෆ්එල්-සීඅයි ඕව ද ඇමරිකානු සන්නිවේදන කම්කරුවන්ගේ සමිතිය (සීඩබ්ලිව්ඒ) හා විදුලි කම්කරුවන්ගේ ජාත්‍යන්තර සහෝදරත්වය (අයිබීඊඩබ්ලිව්) යන වර්ජනයට ඍජුව සම්බන්ධ වෘත්තීය සමිතිවල නායකත්වය ආන්ඩුවේ පිටුබලය ලත් වෙරිසොන් සමාගමේ හොරිකඩ කි‍්‍රයාන්විතයට විරුද්ධ වීම සහ කම්කරු පන්තිය තුල පුලුල් සහයෝගය බලමුලුගැන්වීම ප‍්‍රතික්ෂේප කිරීම කම්කරුවන්ගේ අරගලය දරුනු අන්තරායකට හෙලයි.

විශේෂ "ත‍්‍රස්ත-විරෝධී” ඒකක ද ඇතුලු නිව් යෝක් නාගරික පොලීසිය පිකට් වැටවල් හරහා හොරිකඩයන් එහා මෙහා ගෙනයමින් හා වර්ජකයන් පිලිබඳව ඔත්තු බලමින් සිටී. ඔබාමාගේ අධිකරන දෙපාර්තමේන්තුවේ ඒජන්සියක් වන එෆ්බීඅයි කාර්යාංශය කම්කරුවන්ට එරෙහිව සමාගමෙන් එල්ල කරන තහවුරු නො කල "කඩාකප්පල් කිරීමේ” චෝදනා පිලිබඳ විමර්ශනයක් දියත් කොට ඇත්තේ වර්ජකයන්ට චෝදනා නඟා ඇති ප‍්‍රචන්ඩත්වය ඉදිරියේ එන සැප්තැම්බර් 11 ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයේ දසවන සංවත්සරයට සම්බන්ධ කරමිනි.

ප‍්‍රාන්ත කිහිපයක, පිකට් කිරීම සීමා කරමින් පොලීසිය වෙරිසොන් සමාගමෙන් ලබාගන්නා ලද උසාවි තහනම් නියෝග ආක‍්‍රමනශීලී ලෙස කි‍්‍රයාවේ යොදවමින් සිටී. හොරිකඩයන් ආරක්ෂා කිරීමට හා පිකට් කිරීම් බෙලහීන විරෝධතාවන්ට ලඝු කිරීම පිනිස කම්කරුවන් ගොඩනැගිලිවලට ඇතුලුවන ස්ථානවලින් එපිට වැටවල්වලින් වෙන් කල ප‍්‍රදේශවලට සීමා කරනු ලැබ තිබේ. දැනටමත් කම්කරුවන් අට දෙනෙක් අත්අඩංඟුවට ගෙන ඇත.

වැඩ වර්ජනය කිරීමට කම්කරුවන්ට ඇති අයිතිය මත එල්ල කරන මෙම ප‍්‍රහාරය ලෝකය පුරා ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සටන් කරන්නේ යයි එක්සත් ජනපද ආන්ඩුව කරන කියාපෑම ව්‍යාජයක් බවට පත් කරයි. ලෝකය පුරා එක්සත් ජනපද මිලිටරි ආක‍්‍රමන සඳහා තල්ලුව සපයන, එක්සත් ජනපද සංගත හා බැංකුවල අවශ්‍යතාවලට නො වැලැක්විය හැකි ලෙස බැඳී ඇති අධිරාජ්‍යවාදී යුද්ධයේ අරමුනු වසං කිරීම සඳහා යොදාගන්නා සුවපහසු සටන් පාඨයකි "ප‍්‍රජාතන්ත‍්‍රවාදය”. සංගතවලට විරුද්ධත්වය දක්වන කම්කරුවන්ගේ අයිතිවාසිකම් ප‍්‍රතික්ෂේප කිරීම මගින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් කෙරෙහි ඔබාමා පරිපාලනයේ හා මහ ව්‍යාපාරික පක්ෂ දෙකේ සැබෑ ආකල්පය හෙලිදරවු කෙරේ.

සමාගම්-හිතවාදී මාධ්‍ය ප‍්‍රචාරය හා ආන්ඩුවේ පිටුබලය මගින් දිරිගන්වන ලද වෙරිසොන් සමාගම මූලිකත්වය ගනිමින් සිටී. නීතිය උල්ලංඝනය කර ඇතැයි සමාගම චෝදනා නඟන කම්කරුවන් වෙත සේවය අවසන් කිරීමේ නිවේදන යැවීම සඳුදා ඇරඹීය. ඒ අතර සමාගම සැබෑ ප‍්‍රචන්ඩත්වය මුදාහරිමින් සිටී. සංගත කලමනාකාරීත්වය විසින් පිකට් වැටවල් තුලට ධාවනය කරන ලද වාහන මගින් කම්කරුවන් දුසිම් ගනනකට තුවාල සිදුකර ඇති අතර එම කරුන මාධ්‍ය තුල වාර්තා නොවීය. ආන්ඩුව ද එම කරුනු ප‍්‍රතික්ෂේප කර ඇත.

මෙම කි‍්‍රයාවන් අවශ්‍යයෙන්ම සංගත හා මූල්‍ය ප‍්‍රභුවේ උපකරනයක් වන රාජ්‍යයේ පන්ති ස්වභාවය හෙලිදරවු කරයි. වසර තුනකට ආසන්න කාලයකට පෙර පුපුරා ගිය මූල්‍ය අර්බුදය හා එයින් ජනනය කල මහා විරැකියාව පන්ති සම්බන්ධතා පුලුල් පරිමානයෙන් ප‍්‍රතිව්‍යුහගත කිරීම සඳහා උපයෝගීකර ගනියි. දැන් නව හා වඩා තියුනු ආර්ථික පල්ලම් බැසීමක සලකුනු හමුවේ ෆෙඩරල්, ප‍්‍රාන්ත හා ප‍්‍රාදේශීය මට්ටමෙන් යෝධ අයවැය කප්පාදු හා වෙරිසොන් වැනි සංගතවල කටයුතු තුලින් පාලක පන්තිය සිය ප‍්‍රහාරය තීව‍්‍ර කරමින් සිටී. විශ‍්‍රාම වැටුප්, සෞඛ්‍ය ආරක්ෂනය හා රැකියා සුරක්ෂිත භාවය විනාශ කිරීමට වෙරිසොන් සමාගම දරන ප‍්‍රයත්නය සාර්ථක වුවහොත් එය අනෙක් කර්මාන්තවල කම්කරුවන්ට ද එරෙහි නව ප‍්‍රමිති ලාංඡනයක් බවට පත්වනු ඇත.

පාලක පන්තියේ ශක්තිය රැඳී තිබෙන්නේ එය සතුව පැහැදිලි මූලෝපායක් හා එය කි‍්‍රයාවට දැමීමට අවශ්‍ය දේශපාලන ආයතන තිබීම යන කරුන තුල යි. පාලක පන්තියේ සමාජ අපරාධ වහංගු කිරීමට හා ජනතාවට වැරදි තොරතුරු දී ඔවුන් අවමංගත කිරීමට සංගත විසින් හසුරුවන මාධ්‍ය වෙහෙස නො තකා වැඩ කරයි.

වෙරිසොන් කම්කරුවන් යලි වතාවක් ප‍්‍රදර්ශනය කරමින් සිටින ආකාරයට කම්කරු පන්තිය සටන් කිරීම සඳහා අධිෂ්ඨානවත් ය. එහෙත් එය සතුව තමන්ගේ ම සටන් සංවිධාන හා දේශපාලන පක්ෂයක් නොමැති වීම හේතුවෙන් එය බෙලහීනව සිටී.

සමාගමේ හොරිකඩකම් වලට විරුද්ධව සීඩබ්ලිව්ඒ හා අයිබීඊඩබ්ලිව් සමිති කිසිවක් කර නැත. සීඩබ්ලිව්ඒ කම්කරුවන්ට සියලු වර්ජන-විරෝධී නියෝගවලට කීකරුවන ලෙස නියෝග කර ඇත. සමාගම ඉල්ලා සිටින කිසිදු සහනයක් ඉවත් කරගැනීම හෝ කිසිදු නව සේවා කොන්ත‍්‍රාත්තුවක් අත්සන් නොකර තිබිය දී පවා වර්ජනය නතර කිරීමට තමන් මනාප බව සීඩබ්ලිව්ඒ අවධාරනය කර ඇත. එය සමාගමෙන් ඉල්ලා සිටින්නේ "කේවෙලය සාධාරනව ගෙනයන” ලෙස පමනි. සමිති නායකත්වයේ ප‍්‍රධාන කනස්සල්ල වන්නේ විශේෂයෙන් ම වෙරිසොන් විදුලි කම්කරුවන් අතර තම ආදායම් පදනම ප‍්‍රසාරනය කරගැනීම වන අතර එය ඒටීඇන්ඩ්ටී සමාගමේ දී කල පරිදි එවැනි ගනුදෙනුවකට හිලවු වශයෙන් එහි වර්තමාන සාමාජිකයින්ගේ වැටුප් හා ප‍්‍රතිලාභ පරදුවට තැබීමට සූදානම්ව සිටියි.

ඒඑෆ්එල්-සීඅයි ඕව වර්ජනය නොතකා හැර ඇත. සහයෝගිතා කි‍්‍රයාවන් සඳහා කැඳවීමක් කර නොමැත. පුලුල් සහයෝගය බලමුලුගැන්වීමට කිසිවක් කර නැත. කම්කරු පන්තියේ ජීවන තත්වයන්ගේ පෙර නුවූ විරූ කඩාවැටීම ද බැංකුවලට ඇප තැබීම, සමාජ අසමානතාවේ යෝධ වර්ධනය ද නිරීක්ෂනය කර ඇති ඔබාමා පාලනයට හා ඩිමොක‍්‍රටික් පක්ෂයට කම්කරු පන්තිය යටත් කිරීමේ අවශ්‍යතාව වෙනුවෙන් වර්ජනය පාවාදෙනු ලැබේ. වෘත්තීය සමිතිවලට ජයග‍්‍රහනය අවශ්‍ය වන අවසාන දෙයයි. ජයග‍්‍රහනයට අවශ්‍ය පියවර ගැනීම පිලිබඳව ඔවුන් දක්වන්නේ මුලුමනින්ම සතුරු ආකල්පයකි.

වෘත්තීය සමිතිවල ද්‍රෝහී භූමිකාව දීර්ඝ ඓතිහාසික වර්ධනයක ප‍්‍රතිඵලයකි. 1981 අගෝස්තුවේ රීගන් පැට්කෝ ගුවන් ගමන් පාලකයන් දොට්ට දැමූ තැන් පටන් ගත වූ වසර 30 තුල සමිති එක දිගට සිදුවුනු පරාජයන් මාලාවක් අත්දැක තිබේ. 1955 දී ඒඑෆ්එල්-සීඅයි ඕ ඒකාබද්ධ කිරීම ම ධනවාදය හා එහි දේශපාලන නියෝජිතයන් අතර ගිවිසුමක් මත පාදක කෙරුනේ සමිතිවලින් සමාජවාදීන් විරේක කිරීම මගින් එයට මුද්‍රා තබමිනි.

පසුගිය දශක කිහිපය තුල පාලක පන්තිය ප‍්‍රහාරාත්මකව ඉදිරියට එද්දී නිශ්චිත සමාජ කන්ඩායමක් ලෙස කම්කරු පන්තිය පවතී ය යන්න පවා ප‍්‍රතික්ෂේප කිරීමට වෘත්තීය සමිති ක‍්‍රම සොයා ගෙන ඇත. එම කි‍්‍රයාදාමය තුල පන්ති අරගලයේ උපකරනයක් ලෙස වැඩවර්ජන සැබවින්ම අතුරුදහන්ව තිබේ.

පැහැදිලි අනතුරු ඇඟවීමක් කල යුතු ය: වර්ජනය එහි වර්තමාන මාවතේ දිගට ම ගියහොත් එය පරාජයට පත්වනු ඇත. රාජ්‍ය පිටුබලය හා සමිතිවල සහාය ලබන වෙරිසොන් සමාගම කම්කරුවන් හුදෙකලාවේ හෙලා මංමුලා කොට සොච්චම් වර්ජන වැටුපකට ඔවුන් සීමා කරනු ඇත. එය සමාගමේ සෑම කප්පාදු ඉල්ලීමකට ම යටත්වීමට හා එකඟවීමට සමිති වලට මාවත සකසා දෙනු ඇත.

සාර්ථක අරගලයක් සමස්ත කම්කරු පන්තියේ ස්වාධීන කාර්මික හා දේශපාලනික බලමුලුගැන්වීම මත රඳා පවතී.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) මෙම සටනේ මූලිකත්වය ගනියි. වෘත්තීය සමිතිවලින් ස්වාධීනව කි‍්‍රයාකාරී කමිටු ගොඩනැගීමට ආරම්භකත්වය ගන්නා ලෙස කැඳවුම් කරන අපි සමගාමේ හොරිකඩ කි‍්‍රයාවලට ගැඹුරු විරුද්ධත්වයක් සංවිධානය කරන ලෙස ඉල්ලා සිටිමු. කම්හල්වල වැඩ නතර කිරීම සඳහා කරන මහා පිකට් කිරීම් හා සියලු වෙරිසොන් කම්කරුවන් මෙන් ම සේවා ගිවිසුම් පිලිබඳ සාකච්ඡාවල දී නව කප්පාදු පියවරවලට මුහුන දී සිටින සියලු මෝටර් රථ කම්කරුවන්, සිය ශ‍්‍රම බලකායෙන් තුනෙන් එකක් දොට්ට දැමීමට මුහුන පාන තැපැල් කම්කරුවන් මෙන් ම කම්කරු පන්තියේ අනෙක් සෑම කොටසකට ම කරන ක්ෂනික ආයාචනයක් මෙහි අඩංගු විය යුතු ය. අත්අඩංගුවට ගැනීම් හෝ දොට්ට දැමීම් තුලින් කම්කරුවන් දඩයම් කිරීමට දරන සෑම උත්සාහයකට ම එරෙහිව ද පිකට් වැටවල දී කම්කරුවන්ට තුවාල කිරීමට වැරදි කරුවන් වන සියල්ලන්ට ම එරෙහි චෝදනා නැගීම ඉල්ලා සිටීමට ද උද්ඝෝෂනයක් දියත් කල යුතු ය.

සසප කම්කරු පන්තියේ පුලුල් ම බලමුලුගැන්වීම සඳහා උද්ඝෝෂනයේ යෙදේ. අයවැය කප්පාදුවලට එරෙහි අරගලය, නිදහස් අධ්‍යාපනයට එරෙහි ප‍්‍රහාරවලට විරුද්ධව ගුරුවරුන් හා ශිෂ්‍යයන් කරන අරගලවලට හා මහා විරැකියාවට හා සමාජ අසමානතාවට එරෙහිව කම්කරු පන්තියේ සෑම කොටසක් ම ගෙනයන අරගලවලට වෙරිසොන් කම්කරු සටන බද්ධ කල යුතු ය.

මෙම වසරේ පෙන්නුම් කොට ඇත්තේ වෙරිසොන් කම්කරුවන් මුහුන දෙන්නේ ජාත්‍යන්තර ප‍්‍රශ්න වලට බව ය. ඊජිප්තුවේ හා මැද පෙරදිග සමාජ කැලඹිලි, යුරෝපයේ කප්පාදු කෙරෙහි මහජන විරුද්ධත්වය, විස්කොන්සින් හා අනෙකුත් එක්සත් ජනපද ප‍්‍රාන්තවල අයවැය කප්පාදුවලට විරුද්ධ සටන හා බි‍්‍රතාන්‍යයේ තරුන කැරලි යන මේ සියල්ල ලෝක පරිමානව පන්ති අරගලයේ වර්ධනය වෙනස් රූපාකාරවලින් ප‍්‍රකාශයට පත් කරයි.

සෑම තැනකදීම මූලික කාරනාව එක ම ය. ආර්ථික බලයේ මූලික ප‍්‍රතිසංවිධානයක් හා ධනය යලි බෙදාහැරීමකින් තොරව කම්කරු පන්තියේ අයිතිවාසිකම් හා අවශ්‍යතා ආරක්ෂා කල නොහැකිය. සමාජවාදී සමානතා පක්ෂයේ (සසප)කි‍්‍රයාමාර්ගය තුල විස්තර කරන ලද පරිදි: "පරම්පරා ගනනාවක කම්කරුවන්ගේ ශ‍්‍රමය විසින් නිර්මිත යෝධ ධන සම්භාරයන් වරප‍්‍රසාදිත අතලොස්සකගේ ග‍්‍රහනයෙන් මුදාගෙන සමස්තයක් ලෙස ජනතාවගේ පාලනය යටතේ තැබිය යුතු ය. ධනේශ්වර පන්තියේ ආර්ථික හා සමාජ බලය සමග එවැනි ඍජු ගැටුමක් වැලැක්වීමට ක‍්‍රම සෙවුවහොත් කම්කරුවෝ කිසිදෙයක් කරා ලඟා නො වනු ඇත.”

මෙහි අර්ථය වන්නේ පෞද්ගලික ලාභය වෙනුවට සමාජීය අවශ්‍යතා ඉටුකර ගැනීමට සමස්තයක් ලෙස ආර්ථිකය සමාජවාදී ලෙස ප‍්‍රතිසංවිධානය කිරීමට ප‍්‍රධාන බැංකු හා සංගත ජනසතු කිරීම යි.

මෙම කි‍්‍රයාමාර්ගය සඳහා කම්කරු පන්තියේ සියලු අරගල ඒකාබද්ධ කිරීමට හා කම්කරුවන් සූරාකනු ලැබීමේ මූලික හේතුව වන ධනේශ්වර පද්ධතියට එරෙහිව මෙහෙය වීමට සටන් වදින නව පක්ෂයක් ගොඩනැගිය යුතු ය. මෙම ඉදිරිදර්ශනය සමග එකඟ වන සියලු දෙනාගෙන් සසපට බැඳී එය ගොඩනැගීමට එක්වන ලෙස අපි ඉල්ලා සිටිමු.

ජෝසෆ් කිෂෝර්