බිඩෙන්ගේ චීන සංචාරය ඇමරිකාවේ කඩා වැටීම පිලිබිඹු කරයි

Biden’s visit to China underscores America’s decline

24 August 2011

පසුගිය සතියේ එක්සත් ජනපද උප-ජනාධිපති ජෝ බිඩෙන්ගේ සිව් දින චීන සංචාරයේ මූලික අරමුන වූයේ ඇමරිකාවේ ලොකුම නය හිමියාට යලි සහතික කිරීම ය. බ්ලූම්බර්ග්.කොම්හි වචනවලින් කියතොත්, "ඔබගේ මුදල් සුරක්ෂිත”ය. එක්සත් ජනපද භාන්ඩාගාර බිල්පත්වලින් ඩොලර් ටි‍්‍රලියන 1.16කට හිමිකම් කියන බෙයිජිනය ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් විසින් ඇමෙරිකාවේ නය රේට්ටුව නොසිතූ ආකාරයෙන් පහල දැමීමෙන් නිසැකවම සලිත විය.

පසුගිය ඉරිදා දින සිචුවාන් විශ්වවිද්‍යාලයේ දී පැවත්වූ ඔහුගේ ප‍්‍රධාන දේශනයේදී බිඩෙන් අවධාරනය කලේ, එක්සත් ජනපද නයමත කර ඇති චීන ආයෝජන සුරක්ෂිත කිරීමෙහිලා වොෂින්ටනය "අතිශයින්ම සැලකිලිමත්” වූ බවයි. "එක්සත් ජනපදය කිසිදිනෙක නය ගෙවීම පැහැර හැර නැති අතර අනාගතයේ ද එසේ නොවනු ඇත,” බිඩෙන් ඔහුගේ පේ‍්‍රක්ෂකයන්ට කීවේය.

ඇමරිකානු උප-ජනාධිපතිවරයෙකුට එවැනි ප‍්‍රකාශයක් කිරීමට සිදුවීම ම එක්සත් ජනපද මූල්‍යමය පද්ධතිය පිලිබඳ චීනයේත් ජාත්‍යන්තරවත් සිදුව ඇති කලබගෑනිය සහ දැන් ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය වන චීනය හා එක්සත් ජනපදය අතර වෙනස්වන සබඳතා පිලිබඳව වෙලුම් ගනනක් කතා කරයි. දශක ගනනාවක් තිස්සේ, ඇමරිකානු ඩොලරය, රත්තරන් තරමටම වටිනාකමින් යුතු බව අඟවමින් චීන භාෂාවෙන් නම්කර තිබුනේ "මෙයිජින්”යනුවෙනි.

ඒ සා මතභේදාත්මක කාරනය වන්නේ, එක්සත් ජනපදය නය ගෙවීම පැහැර හරී ද නැද්ද යන්න නොව, චීනයේ ඩොලර් ආයෝජනවල වටිනාකම ඛාදනය වන අයුරින් වොෂිංටනය ඩොලරය අවප‍්‍රමාන කරමින් සිටීම ය. "ප්‍රමානාත්මක ලිහිල්කිරීම" එක්සත් ජනපද පිලිවෙතින් ප‍්‍රබල ලෙස අදහස් කරන්නේ බිලියන ගනන් ඩොලර් අච්චු ගැසීමය. බිඩෙන් අනෙකුත් එක්සත් ජනපද නිලධාරීන් මෙන්ම එහි මුදල අධිප‍්‍රමාන කරන්නැයි චීනයෙන් ඉල්ලා සිටියේය. එහෙත් එය හුදු නාම මාත‍්‍ර ප‍්‍රකාශයක් පමනි. "ප‍්‍රමානාත්මක ලිහිල්කිරීම” හරහා එක්සත් ජනපදය යුවාන් මුදල අධිප‍්‍රමානය කිරීමේ තමන්ගේම ක‍්‍රමයක් පවත්වා ගෙන යමින් තිබේ.

බිඩෙන් ඔහුගේ චීන ප‍්‍රතිරූපකයා වන උප ජනාධිපති ෂී ජින්පින්ග් මුන ගැසුනේ, චීනයේ ප‍්‍රධාන අපනයන වෙලඳපොලවල් වන යුරෝපය හා ඇමරිකාවේ ගාටන ආර්ථිකයන් හා යුරෝපයේ නය අර්බුදය පිලිබඳව ගැඹුරුතර උත්සුකතා මගින් පසුගිය සතියේදී ඉස්මත්තට පැමින වූ කොටස් වෙලඳපොලවල කඩා වැටීම මධ්‍යයේය. පුද්ගලයින් දෙදෙනාම වෙනස්වීමක් නැතිව පවතින අස්ථාවර වෙලඳපොලවල් ඉලක්ක කොට ඇල්මැරුනු යලිසහතික කිරීම් කලෝය.

"එක්සත් ජනපදය පැත්තෙන් ගත් කල චීනය සමග ගොඩ නඟා ගතයුතු සමීප සබඳතාවකට වඩා වැඩියෙන් වටිනා වෙනත් සබඳතාවක් නැතයි මම යෝජනා කරමි,”යි ෂී ට කීවේය. "සෑම රටක් කෙරෙහිම බලපාන ලෝක ආර්ථික ස්ථාවරත්වය, එක්සත් ජනපදය හා චීනය අතර සබඳතාව” මත රැඳී පවතින බව ඔහු කීවේය. එක්සත් ජනපද ආර්ථිකය "අනුවර්තනය වීමට හා පුනස්ථාපනය වීමට” ඇති ශක්‍යතාව පිලිබඳව ෂී ඔහුගේ විස්වාසය පල කල අතර එහි "ප‍්‍රකෘතිමත්වීම” පිලිබඳව වගවර්නනා කලේය.

මෙම හිස් ප‍්‍රකාශයන් ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙකෙහි බිඳ වැටීම වඩාත් ඉස්මතු කොට පෙන්වනවා පමනි. එක්සත් ජනපදය දැන් ලෝකයේ ලොකුම නය කරුවා වන අතර අවපාතය දෙසට ගමන් කරමින් සිටී. එහි ප‍්‍රමානාත්මක ලිහිල්කිරීමේ ප‍්‍රතිපත්තියේ අරමුන වන්නේ, රටේ නයබර ලිහිල් කිරීමත් සිය නයහිමියන් හා ප‍්‍රතිවාදීන්ගේ වියදමින් අපනයන ඉහල දමා ගැනීමත් ය. ගෝලීය මූල්‍යමය වෙලඳ පොලවල් වෙතට එක්සත් ජනපද ඩොලර් පොම්ප කිරීම, චීනය වැනි රටවල්වල ආර්ථිකයන්ට හා සමාජ ස්ථාවරත්වයට තර්ජනය කරමින් උද්ධමනකාරී පීඩනයන් ජනනය කිරීමට දායක වෙමින් තිබේ.

අනෙක් අතට, බෙයිජිනය තමන්ගේ ඇමරිකානු නය කන්දෙහි වටිනාකම කඩා වැටීම දෙස වෙව්ලුම් සහගතව බලා සිටී. නය අඩු කිරීමට එක්සත් ජනපදයට දැඩි කප්පාදු පියවරයන් කි‍්‍රයාවට දමන ලෙස චීන නිලධාරීන් ආයාචනා කල ද තව තවත් එක්සත් ජනපද බැඳුම්කර මිලට ගැනීම මිස අන් විකල්පයක් බෙයිජිනයට නැත. එක්සත් ජනපදයට කරන අපනයනවලින් උපයන ඩොලර් ප‍්‍රතිආයෝජනය කිරීමෙන් චීනය විසින් යුවාන් මුදලේ වටිනාකම වඩා වේගයෙන් ඉහලයාමෙන් වලක්වා ගන්නා අතර අපනයනවල තරගකාරීත්වය පවත්වා ගනී. සියල්ලටමත් වඩා බෙයිජිනය බියට පත්ව ඇත්තේ 2008-09 වසරවල ආර්ථික අවපාතයේ තීරනාත්මක අවස්ථාවේ දී සිදුවූවාක් මෙන් කර්මාන්ත ශාලා වැසීමේ හා රැකියා අහිමිවීම්වල නව වටයක ආරම්භය සහ ඒ සමග එලඹිය හැකි කම්කරු පන්තියේ නොසන්සුන්බව පිලිබඳව ය.

චීනයේ සමාජ කලබගෑනිය ඇමරිකානු ධනවාදය සම්බන්ධයෙන් ගත් කල වඩා දුරදිග යන්නා වූ ඇඟවීම්වලින් යුත් එකක් වනු ඇත. එක්සත් ජනපද හා චීන ව්‍යාපාරික බලවතුන් සමග පැවැති බිඩෙන් හා ෂීගේ ප‍්‍රධාන හමුව චීනය තුල යෝධ ඇමරිකානු සංගතවල උත්සුකතාවන් විදහා දැක්වීය. රැස්වීම පැවති දිනයේදී ම කොකා කෝලා සමාගම වසර 2012 සිට චීනය තුල තවත් ඩොලර් බිලියන 4ක ආයෝජන නිවේදනය කලේය. ලෝකයේ විශාලතම බර යන්ත‍්‍ර සූත‍්‍ර නිෂ්පාදකයා වන කැටපිලර් සමාගම දැනට පවත්නා කම්හල් 16ට අමතරව චීනය තුල "ආක‍්‍රමනශීලි” අයුරින් ප‍්‍රසාරනය වීමට සැලසුම් කරයි. වෙලඳපොල ප‍්‍රාග්ධනකරනයෙන් එක්සොන් මොබිල් පරයා ලෝකයේ විශාලතම සමාගම වූ ඇපල් සමාගම තම අයිෆෝන් හා අයිපෑඩ් නිෂ්පාදනය කිරීමේ දී චීනයේ ෆොක්ස්කොන්හි මහා පරිමාන ලාභ ශ‍්‍රම කම්හල් මත වාරු තබා සිටී.

දෙරට අතර ආතතීන් තුනී වීම වෙනුවට ඔවුන්ගේ ආර්ථික අන්තර් රඳා පැවැත්ම සෑම ක්ෂේත‍්‍රයකදීම ඔවුන්ගේ පසමිතුරුතාව ඉහල නංවනවා පමනි. බලයට පත් වූ තැන් පටන් ම ඔබාමා පාලන තන්ත‍්‍රය බෙයිජිනයේ වැඩෙමින් පවත්නා බලපෑම යටපත් කිරීමේ අරමුනින් ආසියාව තුල වඩාත් ප‍්‍රචන්ඩ අයුරින් මැදිහත් වී තිබේ. චීනයට සාපේක්ෂව ඇමරිකාවේ ආර්ථික බලය කඩා වැටෙද්දී තම මූලෝපායාත්මක අධිකාරය තහවුරු කරගැනීමට වොෂිංටනය තමන්ගේ තවමත් බලගතු මිලිටරි ශක්තිය යොදා ගැනීමට පසුබට වී නැත.

සිචුවාන් විශ්ව විද්‍යාලයේදී පැවත්වූ තම කතාව තුලදී බිඩෙන් පැහැදිලිව මෙසේ සඳහන් කලේය: "එක්සත් ජනපදය පැසිෆික් බලවතෙකි. මෙය අවස්ථානුකූලව ඇතැම් පසුබැසීම්වලට හේතුවන බව මම දනිමි. එහෙත් එක්සත් ජනපදය පැසිෆික් බලවතෙක් වන අතර අපි සුවිශේෂ බලවතෙක්, පැසිෆික් බලවතෙක් ලෙස ඉදිරියටත් පවතින්නෙමු.” වසර 60ක් තිස්සේ පැසිෆික් කලාපය තුල එක්සත් ජනපද අධිපතිවාදී භූමිකාව පිලිබඳව සටහන් කරමින් ඔහු තවදුරටත් මෙසේ කීවේය: " චීනයට දේශීය සංවර්ධනය කෙරෙහි යොමු වීමට සහ වර්ධනය වන වෙලඳපොලකින් ප‍්‍රතිලාභ ලබා ගැනීමට ඉඩ සැලසීම චීනයට යහපතක් වී ඇති බව මම ගෞරවයෙන් සඳහන් කරමි.”

බෙයිජිනය මැනවින් දැන සිටින පරිදි, එක්සත් ජනපදය තම ආසියානු ප‍්‍රතිවාදියාගේ ආරක්ෂාව පිලිබඳව කරන උදාරම් සහතික පිදීම පිලිබඳ බිඩෙන්ගේ උපකල්පනය සත්‍යයෙන් බෙහෙවින් දුරස්ත ය. ඔබාමා පාලනාධිකාරිය ලිබියාවේදී බෙයිජිනයට තිත්ත පාඩමක් උගන්වා තිබේ. ඒ, කාර්යක්ෂම ලෙස චීනය ලිබියන් තෙල් වෙලඳපොලෙන් ඉවතට තල්ලු කරමින් ද ඩොලර් බිලියන ගනනක චීන ආයෝජන අවලංගු කරමින් ද තමන්ට කීකරු පාලන තන්ත‍්‍රයක් එහි ඇටවීමට එක්සත් ජනපදය හා එහි යුරෝපියානු සගයන් විසින් මිලිටරි උපායන් යොදා ගැනීම මගිනි.

පැසිෆික් කලාපයේදී, දෙවන ලෝක යුද්ධාවසානයේ පටන් ම ඇමරිකානු නාවික මූලෝපායන් සංකේන්ද්‍රනය කලේ මලක්කා සමුද්‍ර සන්ධිය වැනි ප‍්‍රධාන මූලෝපායාත්මක ඇවුරුම් මධ්‍යස්ථානවල පාලනය පවත්වා ගැනීමටත් එනයින් භාන්ඩ, විශේෂයෙන්ම තෙල් ප‍්‍රවාහනය පාලනය කිරීමට ශක්‍යතාව තහවුරු කර ගැනීමටත් ය. චීනයේ දැවැන්ත කර්මාන්ත ව්‍යාප්තය බෙහෙවින්ම රඳා ඇත්තේ විශේෂයෙන්ම මැද පෙරදිග හා අප‍්‍රිකාවෙන් බල ශක්තිය හා අමු ද්‍රව්‍ය අපනයනය කිරීම මතය. එක්සත් ජනපදයේ පාලනය යටතේ පවතින එහි ප‍්‍රධාන සැපයුම් මාර්ග අත්හැරීමටත් එක්සත් ජනපදයේ පීඩනයට යටත්වීමටත් බෙයිජිනය අකැමැති අතර ඒවා ආරක්ෂා කරගැනීමට තමන්ගේම සමුද්‍ර ආරක්ෂන නාවික හමුදාවක් ගොඩ නගමින් සිටී.

මෙහි ප‍්‍රතිපලයක් ලෙස, ප‍්‍රධාන චීන භූමිභාගයට සමීප මුහුදු ප‍්‍රදේශයන් වන දකුනු චීන මුහුද හා නැගෙනහිර චීන මුහුද අලලා ගනිමින් පසුගිය වසරේදී එක්සත් ජනපද-චීන ආතතීන් ඇවිලී ගියේය. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්ගේ වචනවලින් කියතොත් එක්සත් ජනපදය "ගිනිකොන දිග ආසියාවට” පෙරලා පැමිනියේය. වොෂිංටනයේ පිටුබලය ලැබූ වියට්නාමය හා පිලිපීනය දකුනු චීන මුහුදේදී චීනය සමග සිය ප‍්‍රතිවාදී දේශසීමා අයිතිවාසිකම් කියාපෑමෙහිලා වඩාත් දැඩි ස්ථාවරත්වයක් ගෙන තිබේ.

වියට්නාමය එයට එක් හොඳ උදාහරනයකි. බිඩෙන්ගේ සංචාරයට පෙරාතුව එක්සත් ජනපදය හැනෝයි සමග වියට්නාම් යුද්ධාවසනයේ සිට සිය පලමු මිලිටරි ගිවිසුම අත්සන් කලේය. වෛද්‍ය සහයෝගය මත සැලසුම වැඩිමනක්ම සංකේතාත්මක පමනක් වන අතර, චීනයේ වියදමින් වියට්නාමය සමග එක්සත් ජනපදයේ සමීප සබඳතාවන් ගැන පැහැදිලිව ම එය පෙන්නුම් කරයි. රට තුල ප‍්‍රදර්ශනයට ඉඩ ලබා දෙනු වස්, පරමානුක බලශක්තියෙන් යුත් ගුවන් යානා ප‍්‍රවාහනය කරන යූඑස්එස් ජෝර්ජ් වොෂිංටන් නැව වෙත ප‍්‍රධාන පෙලේ වියට්නාම් නිලධාරීන්ට අගෝස්තු 14 වෙනිදින ඇරයුම් කර තිබින. චීනය, අගෝස්තු මස මුලදී වියට්නාමය සමග වන දේශ සීමාවේදී ප‍්‍රධාන ගනයේ මිලිටරි අභ්‍යාසයක නිරත වෙමින් නව එක්සත් ජනපද-වියට්නාම් සබඳතාවක සංඥාවලට කිසියම් ආකාරයකින් ප‍්‍රතිචාර දැක්වීය.

බිඩෙන් චීනයේදී කල ප‍්‍රසිද්ධ ප‍්‍රකාශය සාමකාමී සහයෝගය පිලිබඳව රාජ්‍ය තාන්ත‍්‍රික භාෂාවෙන් ඉදිරිපත් කල බව සැබෑය. එසේවෙතත්, දෙපාර්ශවයම මැනවින් දැන සිටින පරිදි වඩාත් නරක අතට හැරෙමින් පවතින ගෝලීය මූල්‍යමය අර්බුදය විසින් තව තවත් උත්සන්න කර තිබෙන ආර්ථික ආතතීන් හා පසමිතුරුතාව ගට්ටනයක් කරා ද මුලිමනින්ම පොරයකට හා යුද්ධයක් කරා ද මෙහෙයවමින් පවතී. එවැනි ව්‍යසනයකට එරෙහි එකම ප‍්‍රගතිශීලී විකල්පය වන්නේ, පීඩනයේ හා යුද්ධයේ මූලාශ‍්‍රය වන ලාභ පද්ධතිය මුලිනුපුටා දැමීමට සමස්ත ජාත්‍යන්තර කම්කරු පන්තිය හා සමග ඒකාබද්ධ වූ ඇමරිකානු හා චීන කම්කරුවන්ගේ විප්ලවවාදී එකමුතුවයි.

ජෝන් චෑන්