ඇෆ්ගනිස්ථානය තුල ඔබාමාගේ ලේ වැකි කී‍්‍රඩාවේ අවසන් අදියර

Obama’s bloody “endgame” in Afghanistan

18 August 2011

ජනාධිපති බරක් ඔබාමා ඇෆ්ගනිස්ථානයෙන් ඇමරිකානු හමුදාව සීමිත ලෙස ඉවත් කර ගැනීමක් ප‍්‍රකාශයට පත් කිරීමෙන් ආසන්න වශයෙන් දෙමාසයකට පසු, ආසන්න වශයෙන් අවුරුදු 10ක් වයසැති යුද්ධය තුල එක්සත් ජනපද මූලෝපායේ දිග හැරීම ලේ වැගිරීමේ තියුනු වේගවත්වීමක් දෙසට එල්ල වේ.

ඔබාමා ඔහු ගේ අනින් 2009 දී ඇෆ්ගනිස්ථානයට යැවූ 33,000ක හමුදා "රැල්ල” පමනක් ඉවත් කර ගැනීමේ නියෝගය නිවේදනය කල අවස්ථාවේ දී "සුරක්ෂිත සාමයේ ආලෝකය ඈතින් දැකිය හැක” යයි ජනාධිපතිවරයා ප‍්‍රකාශ කලේ ය. මෙම ඊනියා "සුරක්ෂිත සාමය” විසින් පිටතට විහිදුවමින් පවතින එක ම ආලෝකය නම් දින නියමයක් නොමැතිව ඉදිරියට යෑමට සූදානම් කල යුද්ධය තුල හෙල්ෆයර් මිසයිල හා ඇමරිකානු බෝම්බ පිපිරීමෙන් නිකුත් වන ආලෝකය පමනි.

තලේබාන් සංවිධානයත් සමග සාකච්ඡා කර ගනුදෙනුවකට පැමිනීමේ බලාපොරොත්තු පිලිබඳ සැලකිය යුතු සාකච්ඡාවක් වොෂින්ටනයේ නිල කවයන් තුල පවතී. 2001 ඔක්තෝබරයේ ඇමරිකානු ආක‍්‍රමනය විසින් තලේබාන් ආන්ඩුව පෙරලා දමන ලදී. ඇෆ්ගනිස්ථානය ගැන ඉදිරියේ දී ජර්මනියෙහි පැවත්වීමට නියමිත ජාත්‍යන්තර සම්මේලනයකට තලිබාන් සහභාගිත්වය මුලින් බැහැර කර තිබුන ද කාබුලයේ එක්සත් ජනපද තානාපති රයන් ක්‍රොකර් ඔවුන්ගේ සහභාගිත්වය ඇෆ්ගන් ආන්ඩුව හා ඇෆ්ගන් ඉහල සාම කවුන්සිලය විසින් තීරනය කල යුතු කාරනයක් යැයි මෑත දී යෝජනා කලේ ය.

මේ අතර රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මධ්‍යම මට්ටමේ හා සීඅයිඒ නිලධාරීන් ජනවාරියේ සිට අඩු තරමින් තුන් වතාවක් ජර්මනියේ හා කටාර්හි දී තලේබාන් නියෝජිතයන් මුන ගැසී ඇත. ඔවුන්ගේ පැත්තෙන් තලේබාන් සංවිධානය, සියලු ම විදේශීය හමුදා රටින් පිටවන තුරු ඇෆ්ගන් ගැටුමට විසඳුමක් පිලිබඳ සාකච්ඡාවක් තිබිය නොහැකි බව දැඩිව ප‍්‍රකාශ කලේ ය.

මෙම කි‍්‍රයාදාමයට සම්බන්ධ විශේෂ හෙලිදරව්ව නම් "ඇෆ්ගන් සාම කතා: ප‍්‍රාරම්භයක්,” නම් රැන්ඩ් කෝපරේෂන් විසින් මෑත දී නිකුත් කල අධ්‍යයන වාර්තාවයි. පෙන්ටගනයේ සහාය ලබන බුද්ධි මන්ඩලයක් වන මෙම ආයතනය සෝවියට් සංගමය සමග න්‍යෂ්ටික ගැටුමක අද්දර සිට වියට්නාම් යුද්ධය හරහා "ත‍්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධය” දක්වා එක්සත් ජනපදයේ යුද මූලෝපාය තුල ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇත.

මෙම වාර්තාවේ කතුවරුන් නම්, හමීඩ් කර්සායිගේ රූකඩ ඇෆ්ගන් ආන්ඩුව පූට්ටු කල 2001 බොන් ගිවිසුමේ නායක එක්සත් ජනපද සාකච්ඡාකරු වූ ජේම්ස් ඩොබින්ස් හා කලින් ආසියාවේ ආරක්ෂාව පිලිබඳ සහකාර ලේකම් හා බුෂ් පරිපාලනයේ ඇෆ්ගන් මූලෝපාය සමාලෝචන වාර්තාවේ කතුවරයෙකු වන ජේම්ස් ෂින් ය.

"සාම කි‍්‍රයාවලියක” ප‍්‍රතිඵලයක් ලෙස පකිස්තානය, ඉන්දියාව, ඉරානය හා රුසියාව ඇතුලු අසල්වැසි බලවතුන් සමග සහයෝගිතාව ආරක්ෂා කර ගනිමින් තලේබාන් සංවිධානය සමග සාකච්ඡා කර එකඟත්වයකට පැමිනීම මාර්ගයෙන් පමනක් අවසාන වශයෙන් ඇෆ්ගනිස්තානය තුල එක්සත් ජනපද අවශ්‍යතාවයන් රැක ගත හැකි වෙතැයි අධ්‍යයනය පවස යි. "බොහෝ ජාතීන්ට මූලෝපායිකව වැදගත් ස්ථානයක් වන බැවින් අවුරදු සිය ගනනක් තුල ඇෆ්ගනිස්තානයේ යුද්ධ කෙරී ඇත. අප‍්‍රමාන වෙනස්වන වුවමනාවන් හා අරමුනු සමග සාම ගිවිසුමක් ඇති කර ගැනීම සමහර විට දුෂ්කර බව තහවුරු වනු ඇත” කතුවරු අනතුරු අඟවති.

කතුවරු මෙසේ එකතු කලහ, "මෙම සන්තතියට වසර ගනනාවක සාකච්ඡා අවශ්‍යවනු ඇත. මෙම කාලය තුල සමහර විට සටන් කිරීම අඛන්ඩව පවතිනු ඇති අතර වඩාත් තීව‍්‍ර ද විය හැක.”

ස්ථිරසාර ලෙස සාකච්ඡා අරඹා ඇති බවට සාක්ෂි නොමැති අතර (ඇමරිකානු නිලධාරීන් සමග වන එහි එක ම සම්බන්ධය හිරකරුවන් හුවමාරු කරගැනීමට යොමුව ඇතැ යි තලේබාන් සංවිධානය ප‍්‍රකාශ කරයි) සටන් කිරීම තීව‍්‍ර විය හැකි ය යන අනාවැකිය ඉස්මතු වී ඇත.

2009දී ජනරාල් ස්ටැන්ලි මැක්කි‍්‍රස්ටල් විසින් කැරලි පිටු දැකීමේ මූලෝපාය යටතේ පලමු වරට හඳුන්වා දුන් ගුවන් ප‍්‍රහාර ඇෆ්ගන් ජනතාව තුල කුපිත කල වෛරය නිසා තියුනු ලෙස අඩුකිරීමට සිදු වූවද එම ප‍්‍රහාර දැන් වාර්තා ගත මට්ටමකින් සිදු කෙරේ. පෙන්ටගනය නිකුත් කල සංඛ්‍යා ලේඛන අනුව ජූලි මාසයේ දී එක්සත් ජනපද යුද ගුවන් යානා ගුවන් ප‍්‍රහාර 652ක් එල්ල කොට ඇත, එනම් දවසකට 20කට වැඩි ප‍්‍රහාර සංඛ්‍යාවකි. මෙය දල වශයෙන් පසුගිය වසරේ මෙම කාලයේ දී ගෙන ගිය ප‍්‍රහාරයන් දෙගුනයකින් වැඩි කිරීමකි.

මේ අතර පෙන්ටගන් නිලධාරීන්ට අනුව 2009 සිට විශේෂ මෙහෙයුම් බලකායන් විසින් කොමාන්ඩෝ ගුවන් ප‍්‍රහාරයන් තුන් ගුනයකින් වැඩි කර ඇත. මෙම අවුරුද්දේ ආරම්භයේ සිට අගෝස්තු ආරම්භය දක්වා හමුදාව සඳහන් කරන "දඩයක්කාර මරුවා” බලකාය මෙහෙයුම් 1879 ගෙන ගොස් ඇත. එනම්, දල වශයෙන් මසකට 30 බැගිනි. මෙය සැසඳිය යුත්තේ 2009 දී යන්තම් 675ක් හා මුලු පසු ගිය වසරට ම 1780ක් සමග ය.

එක්සත් ජනපද මිලිටරි ප‍්‍රකාශකයෙක් මෙම රාත‍්‍රී මෙහෙයුම්වල ඵලදායිත්වය ගැන බ්ලූම්බර්ග් ප‍්‍රවෘත්ති සේවයට මෙසේ කයිවාරු ගැසී ය, "මෙම මෙහෙයුම්වල දී මූලිකව ඉලක්ක වූවන් ඝාතනය කෙරී හෝ හිර භාරයට ගැනී නැති වුනත් ඒවායින් සියයට 35දී පමන ඉලක්කයට ඍජුව සම්බන්ධ ඊලඟ කිට්ටු සහකරු හෝ වෙනත් පුද්ගලයෙක් මරා දැමුනි, නැතහොත් අල්ලා ගැනුනි.”

නිශ්චිතව ම විශේෂ බලකායන්ගේ රාත‍්‍රී මෙහෙයුම්වල මෙම ලක්ෂනය යි ඇෆ්ගන් ජනතාව අතර එතරම් වෛරයක් නංවා ඇත්තේ. මේවායේ ප‍්‍රතිඵලය නම් කෲර වද හිංසාවලට ලක් කරමින් ද රාත‍්‍රියේ දී ඔවුන්ගේ නිවෙස්වලින් පිටතට ඇදගෙන යාමෙන් ද ඇෆ්ගන් පවුල් නින්දාවට භාජනය කරමින් අහිංසක පිරිමින්, ගැහනුන් හා ලමුන් ඝාතනය කිරීම ය.

ප‍්‍රභූ නේවි සීල් ඒකකයේ සාමාජිකයින් 22කු ඇතුලුව 30කු මරා දමමින් අගෝස්තු 6වැනි දා චිනූක් හෙලිකොප්ටරයක් වෙඩි තබා බිම දැමීම මගින් විශේෂ මෙහෙයුම් බලකාය මත වැඩුනු විශ්වාසය යටපත් කර දැමුනි.

2011 මේ වන විටත් එක්සත් ජනපද හා අනෙකුත් විදේශීය වාඩිලාගැනීමේ හමුදාවල 400ක් මරා දැමී ඇත. ඒ අයුරින් මෙම වසර දශකයකට පෙර යුද්ධය පටන් ගැන්මේ සිට ලේවැකි ම වසර වීමේ ඉඩ ඇත.

විදේශීය වාඩිලාගැනීමට විරුද්ධ වන ඇෆ්ගන්වරුන්ට එරෙහි යුද්ධය වේගවත් කිරීම පකිස්තාන් දේශ සීමාව හරහා නියමුවන් රහිත දුරස්ථ පාලක "ඩ්‍රෝන්” ගුවන් ප‍්‍රහාර වැඩි කිරීමත් සමග සම්බන්ධ කෙරී ඇත. ඔබාමාගේ නව ආරක්ෂක ලේකම් (හා මුලින් සීඅයිඒ අධ්‍යක්ෂ) ලියොන් පැනෙටා අඟහරුවාදා වොෂින්ටනයේ සංසදයක කතා කරමින්, මාරක ප‍්‍රහාරයන් නවතන ලෙසට පකිස්තානය තුලින් නැග එන ඉල්ලීමට එරෙහිව මෙම ප‍්‍රහාරයන් ආරක්ෂා කලේය. "අපි අපේ ජාතික ආරක්ෂාව රැක ගනිමු” යි පැනෙටා ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ශ‍්‍රාවකයන්ට කීවේ ය. "අපි අපේ රට ආරක්ෂා කරමින් සිටිමු.”

මෙදින ම, මෑත ම ඩ්‍රෝන් ප‍්‍රහාරයක් උතුරු වසිරිස්තාන්වල කාන්තාවන් දෙදෙනෙකු හා ලමයෙකු ඇතුලුව සිව්දෙනෙකු මැරූ අතර හෙල්පයර් මිසයිලයක් නිවසක් කඩා දමා තවත් දෙදෙනෙකුට තුවාල කරන ලදී. ප‍්‍රදේශයේ ජනයා බිය වද්දමින් ඩ්‍රෝන් යානා ප‍්‍රදේශයට ඉහලින් නොනවත්වා පියාසර කලෙන් මෘත ශරීර සොයා ගැනීමෙත් තුවාල කරුවන් ගලවා ගැනීමෙත් උත්සාහයන්ට බාධා කෙරුනි.

එක්සත් ජනපදය "ජාතිය ගොඩනැගීමේ” හෝ ඇප්ගන් මහජනයාගේ "හදවත් හා සිත්” දිනා ගැනීමෙහි නියැලී සිටින්නේ ය යන මාවාපෑම යථා ලෙස අතහැර ඇත. ඒ වෙනුවට, ඔබාමාගේ යුද්ධයෙහි අවසන් අදියර නම් ඇෆ්ගනිස්තානුවන්ගේ ප‍්‍රතිරෝධය ලේ වැකි ලෙස යටත් කොට එය පටන් ගැන්මේ සිට ම යුද්ධයට තල්ලූ කෙරුනු අධිරජ්‍යවාදීන්ගේ අරමුනු ඉටුකෙරෙන ගිවිසුමක් සුරක්ෂිත කර ගැනීම යි.

මෙම අරමුනු බැඳී තිබෙනුයේ ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය මත නොව නමුත් භූ-මූලෝපායාත්මක අවශ්‍යතාවයන් හා සංගත ලාභ මත ය. ඒවාට ඇෆ්ගනිස්තානය තුල ස්ථිර හමුදා කඳවුරු ස්ථාපනය ද ඇතුලත් ය, මේ මත වොෂින්ටනය හා කර්සායි අතර "මූලෝපායාත්මක සහකාරිත්ව” සාකච්ඡා දැන් පැවැත්වෙමින් තිබේ. එවැනි කඳවුරුවල අරමුන වනවා ඇත්තේ කැස්පියන් මුහුදුබඩ ප‍්‍රදේශයේ බලශක්ති සංචිත හා ඒවා බටහිරට පොම්ප කෙරෙන ප‍්‍රධාන නල මාර්ග මත එක්සත් ජනපද පාලනය තහවුරු කිරීමට හා එමෙන් ම චීනය, රුසියාව හා ඉරානයට තර්ජනය කිරීමට ය.

ඇෆ්ගනිස්තානය හා පකිස්තානය යන දෙරටෙහි දිලිඳුභාවයට පත් මහජනතාව මත බියකරු පීඩාවන් පැටවීම සහිත දස අවුරුදු යුද්ධය ගෙන ගොස් ඇත්තේ ද ඇමරිකානු කම්කරු පන්තියේ වියදමිනි. ඝාතනයට හා අංගවිකලත්වයට ලක්වුනු දහස් ගනනක් භටයන් අතරින් අතිමහත් බහුතරය ඇද ගැනුනේ මෙ තුලිනි. ඇප්ගනිස්තානය හා ඉරාකය තුල යුද්ධ සඳහා ඩොලර් ටි‍්‍රලියන ගනන් වක්කරන අතර ම ඩිමොක‍්‍රටිකයෝ හා රිපබ්ලිකානුවෝ එක් වන්ව රැකියා හා අත්‍යාවශ්‍ය සමාජ සේවාවන් සඳහා "මුදල් නැත”යි අවධාරනය කරති.

යුද්ධයට එරෙහි මහජන විරෝධය සැබවින් ම අතුරුදහන් ව ඇත. සැප පහසු මධ්‍යම පන්තික ස්ථරයන් විසින් අධිකාරිත්වය දැරුනු නිල "යුද විරෝධී” ව්‍යාපාරය එය විසින් ම ඩිමොක‍්‍රැටික් පක්ෂයට ඒකාබද්ධ කර ඇති අතර ඔබාමා යටතේ මිලිටරිවාදයට ක්ෂමාලාපයන් සැපයීමේ කාර්ය බහුලව ඇත.

එහෙත් කම්කරු පන්තිය තුල යුද්ධයට ඇති වෛරය සමාජ තත්වයන්, රැකියා ජීවන මට්ටම් මත කෙරෙන ප‍්‍රහාරයනට එරෙහි කෝපය සමග එක පෙලට වර්ධනය වෙමින් පවතී. යුද්ධයට එරෙහි මෙම මහජන වෛරය ඔබාමා පරිපාලනයට සහ මිලිටරිවාදයේ හා යුද්ධයේ උල්පත වන ධනේශ්වර ලාභ පද්ධතියට එරෙහිව කම්කරු පන්තිය ස්වාධීනව දේශපාලන බලමුලු ගැන්වීම හරහා මුදාහල හැකි ය, මුදාහල යුතු ය.

බිල් වෑන් ඕකන්