‍සෞදි පාලන තන්ත්‍රයේ ම්ලේච්ඡත්වය ‍හෙලි කරන වාර්තාවක්

Report exposes brutality of Saudi Arabian regime

By Niall Green, 5 December 2011

ප්‍රමුඛ ජාත්‍යන්තර මානව හිමිකම් පිලිබඳ සංවිධානයක් විසින් කරන ලද මූලික අධ්‍යයනයක්, පර්සියානු ගල්ෆ් කලාප‍ෙයහි එක්සත් ජනපදයේ ප්‍රධාන මිතුරා වන ‍සෞදි අරාබි රාජධානිය බරපතල ‍ලෙස විවේචනයට ලක් කරනු ලැබ ඇත.

සෞදි ආන්ඩුව, ‍පොලිස් හා අධිකරන මර්දන ක්‍රියා මගින් එහි විවේචකයන් නිශ්ශබ්ද කිරීමට ක්‍රමානුකූල ව්‍යාපාරයක් ‍ගෙන ‍ගොස් ඇති බව කතුවරු නිශ්චය කරති. සෑම ආකාරයක ම විරෝධතා හා දේශපාලන පක්ෂ තහනම් ‍කෙ‍රෙන නීති නොතකා සෞදි රාජකීය පවු‍ලේ ඒකාධිපති පාලනයට විරුද්ධව ‍ පෙබරවාරියේ සිට රට පුරා පෙලපාලි දුසිමක් පමන පැවත් වී ඇත.

බියගැන්වීම් හා සීමිත මහජන වියදම් වැඩිකිරීම් සංයෝගයකින් අබ්දුල්ලා රජුගේ පාලනය, මෙම විරුද්ධත්වයට හා අසල්වැසි රටවල “අරාබි වසන්ත” නැගිටීම්වලට ප්‍රතිචාර දක්වා ඇත.

සෞදි අරාබිය: ආරක්ෂාවේ නාමයෙන් මර්දනය නම් ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ වාර්තාව‚ පෙලපාලිවලට සහභාගිවීම හෝ හුදෙක් තන්ත්‍රය විවේචනය කිරීම පිලිබඳ සැකය මත පුද්ගලයින් දහස් ගනනක් අත්අඩංගුවට ගෙන ඇති බවත්, බොහෝ දෙනා අත්අඩංගුවේ සිටිය දී අපහාසයට හා වදහිංසාවලට මුහුන දෙමින් සිටින බවත්, ප්‍රකාශ කර යි.

එහි බිහිසුනු සොයා ගැනීම්, ප්‍රධාන එක්සත් ජනපද පුවත්පත්, ගුවන්විදුලිය හා රූපවාහිනී නාලිකාවන්හි පල නොවූ තරමි. බටහිර මාධ්‍ය තුල වාර්තාවට ලැබී ඇත්තේ ඉතා සුලු ආවරනයක් වන අතර ගැඹුරු විශ්ලේෂනයක් ඇත්තේ ම නැත.

රටවල් 150ක දේශපාලන සිරකරුවන් වෙනුවෙන් උද්ඝෝෂනයේ යෙදී සිටින මිලියන 3කට වඩා සමාජිකයින්ගෙන් සමන්විත එක්සත් රාජධානිය පදනම් කරගත් ක්ෂමා ආයතනය, සෞදි අරාබියේ තත්වය පිලිබඳව නව මාසයක් විමර්ෂන කර ඇත. වසර ගනනාවක් ආපස්සට යන දරුනු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වාර්තා කලත් වාර්තාව‚ සිය අවධානය යොමුකර ඇත්තේ, මෙම වර්ෂය ආරම්භයේ දී කලාපය පුරා විප්ලවවාදී නැගිටීම්වල පිපිරීමත් සමග සෞදියේ සිදුවූ මර්දනය පිලිබඳව ය.

මෙම කන්ඩායම අත්අඩංගුවට ගැනීම්‚ බිය වැද්දීම් හා ව්‍යාජ නඩු ඇතුලු සවුදි අරාබිය තුල නිරන්තරව සිදුවන මානව හිමිකම් උල්ලංඝනය පිලිබඳ සාක්ෂි අනාවරනය කලේ ය. ජාත්‍යන්තර ක්ෂමා ආයතනයේ මැද පෙරදිග හා උතුරු අප්‍රිකානු අධ්‍යක්ෂ පිලිප් ලූතර් මෙසේ කීවේ ය: “ කලාපය පුරා දෝංකාරය දී ඇති ප්‍රතිසංස්කරන සඳහා හඬ නැගීම් තලා දැමීමේ උත්සාහය තුල සාමකාමී විරෝධතා කරුවෝ හා දේශපාලන ප්‍රතිසංස්කරන සඳහා සහයෝගය දෙන්නෝ සිර භාරයට ගැනීම ඉලක්ක කෙරී ඇත.”

ක්ෂමා ආයතනය සාමකාමී විරෝධතාවන්හි දී පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම් හා “නීතිය කඩ කිරීමේ” චෝදනා එල්ල කල සිද්ධීන් සිය ගනනක් වාර්තා කලේ ය. අත්අඩංගුවට ගත් බොහෝ දෙනාට යලි විරෝධතා නොදැක්වීමේ පොරොන්දුවලට අත්සන් කිරීමට බල කෙරුනු අතර සංචාරය තහනම් නියෝග නිකුත් කෙරුනි. වි‍රෝධය මැඩීමට “අවශ්‍ය සෑම පියවරයක් ම ගැනීමට” සෞදි ‍පොලීසියට හා විනිශ්චයකරුවන්ට උප‍දෙස් දී ඇති තත්වයක් යට‍තේ අ‍නෙකුත් අය අපරාධ ‍චෝදනාවලට හා නඩු පැවරීමට මුහුන දී ඇතැ යි වාර්තාව ‍පෙන්වා ‍දෙයි.

මාර්තු 11වැනිදා‚ රියාද් අග නුවර “කෝප‍යේ දව‍ස” තුල රටේ මාධ්‍ය වාරනයට එරෙහිව වි‍රෝධය දැක් වූ අවුරුදු 40ක පුද්ගල‍යෙකු වන කාලිඩ් අල් ‍ජෝහානි‍ගේ නඩුව ලියවිල්ලෙන් ගෙනහැර දක්වයි. වි‍රෝධය අතරතුර දී ‍පොලීසිය ඔහු අත්අඩංගුවට ගත් අතර “වි‍දේශීය මාධ්‍යය සමග අදහස් හුවමාරු කිරීම” පිලිබඳව ‍ ‍ඔහුට එරෙහිව චෝදනා නැඟීය.

වාර්තා‍වේ සඳහන් අ‍නෙකුත් හිමිකම් කඩකිරීම් :

*සෞදි අරාබියේ පලමුවන දේශපාලන පක්ෂය වශයෙන් ඉස්ලාමීය උම්මා පක්ෂය ලියාපදිංචි කරන ලෙස ඉල්ලා සිටි පුද්ගලයින් සත් දෙනාගෙන් කෙනෙකු වන අබ්දුල් අසීස් අල් වහාබි පෙබරවාරි 16දා අත්අඩංගුවට ගන්නා ලදී. ක්ෂමා ආයතනයට අනුව‚ ඔහුට නීතිඥ‍යෙකු ලබා ගැනීමට ඉඩ නොදුන් අතර වි‍ශේෂිත අපරාධ උසාවිය “පාලකායට අකීකරුවීම” හා “බලහත්කාර‍යෙන් බලය අල්ලා ගැනීම” යන චෝදනාවලට වසර හතක හිර දඬුවමක් නියම කිරිමට ‍පෙර හුදකලා කුටියක රඳවා තබන ලදී.

* පෙබරවාරි හා මාර්තු මාසවල අල්-ඛාටිෆ්‚ අල්-ආහ්සා හා අවාමියා යන නැ‍ගෙනහිර ප්‍රදේශයේ නගරවල සාමකාමී වි‍රෝධතාවලට සහභාගිවීම නිසා, ප්‍රධාන කොටම ෂියයිට් මුස්ලිම්වරුන්300ක් පමන පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය. බහුතරය ‍චෝදනා රහිතව මුදා හැරුනු නමුත්, එතැන් පටන් ‍ පෙලපාලිවලට සහභාගීවීම ‍හේතු‍වෙන් බො‍හෝ දෙනා ‍රැකියාවලින් ‍දොට්ට දමා ඇත.

* අප්‍රේල් මාසයේ දී‚ “අපගාමී කන්ඩායමක්” (අල් කයිඩා යයි විශ්වාස කරන) හා සම්බන්ධ යයි චෝදනා ලද පුද්ගලයන් 5831 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබ ඇතැ යි අභ්‍යන්තර අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසී ය. දේශපාලන විරුද්ධවාදීන් අත්අඩංගුවට ගැනීමට හා අතුරුදහන් කිරීමට සෞදි ආරක්ෂක හමුදාවන්ට සම්පූර්න නිදහස දීම සඳහා ත්‍රස්තවාදය පිලිබඳ චෝදනා ප්‍රයෝජනයට ගැනේ.

* එම මාසයේ දී ම‚ සෞදි අරාබියේ වැඩ කරන අතරතුර යම් අයිතියක් ඇත්නම් එහි අවමය භුක්ති විඳින‚ තුට්ටු දෙකේ වැටුපට ප්‍රධාන වශයෙන් දකුනු හා ගිනිකොන දිග ආසියාවෙන් පැමිනි කම්කරුවන් වන 1300ට වැඩි විදේශීකයින් සංඛ්‍යාවක් සෘජුවම හෝ වක්‍ර ලෙස “ත්‍රස්ත කුමන්ත්‍රන හෝ ත්‍රස්ත කන්ඩායම්වල කටයුතුවලට සහභාගීවීමට කුමන්ත්‍රනය” කිරිම පිලිබඳ පරීක්ෂනයට ලක් කෙරුනි.

* 2007 වසරේ පටන් අත්අඩංගුවේ පසුවන‚ ආචාර්ය සයිඩ් බින් සුහාඉර්ගේ නඩුව ඔක්තෝබරයේ දී ආරම්භ විය. පූජකයෙකු හා සෞදි ආන්ඩුවේ විවේචකයෙකු වන 62 වියති බින් සුහාඉර් ත්‍රස්තවාදීන්ට සහාය දැක්වීමට අරමුදල් එකතු කිරීම සම්බන්ධයෙන් චෝදනාවට ලක් කෙරුනි. සුහාඉර් අරාබි භාෂාවෙන් පල කෙරෙන අල්ජසීරා මාධ්‍ය සමග පාලන තන්ත්‍රය විවේචනය කරන සාකච්ඡාවකට සම්බන්ධ වීමට නියමිතව තුබුනු අතර එහි මාධ්‍යවේදීන් සමග සම්බන්ධකම් පැවත්වීම ඔහු අත් අඩංගුවට ගැනීමේ හේතුව විය හැකි යයි ක්ෂමා ආයතනය ප්‍රකාශ කර යි.

නොවැම්බරයේ දී‚ අල් කාටිෆ්වල වි‍‍‍රෝධතාවල යෙදී සිටිය දී‍ ආරක්ෂක හමුදා විසින් පුද්ගලයන් ‍දෙ‍දෙනෙකු මරා දැමූ අතර හය‍දෙ‍නෙකුට තුවාල සිදු කලේය. දවසකට පෙර පොලිස් මුර කපොල්ලක් අසල දී සිදු වූ 19 හැවිරිදි තරුනයෙකුගේ මරනය සැමරීමට පැවත් වූ පෙලපාලියට කැරලි මර්දන පොලීසිය විසින් ජීව උන්ඩ ප්‍රහාරයක් එල්ල කරන ලදී.

ඉහල පැතිකඩක් සහිතව ක්ෂමා ආයතනය වාර්තා කල මෑතම සිද්ධීන් අතරින් එකක් නම්‚ කලු සල්ලි යොදාගෙන ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මගින් බලය අල්ලා ගැනීමට උත්සාහ කිරීමේ අරුම පුදුම චෝදනා මත ප්‍රමුඛ ප්‍රතිසංස්කරනවාදීන් නව දෙනෙකු ඇතුලු 16දෙනෙකු විශේෂ අපරාධ උසාවිය විසින් පසුගිය මාසයේ දී වසර 30ක් දක්වා හිර දඬුවම්වලට ලක් කිරීම යි. ක්ෂමා ආයතනයට අනුව විරුද්ධවාදීන් මත පාලන තන්ත්‍රයේ මර්දනය දියත් කිරීමට විශේෂයෙන් ඇටවූ උසාවියක් ඉදිරියේ ඇසූ නඬුව “මුලුමනින් ම අසාධාරනය”.

“ සාමකාමී දේශපාලන වෙනසකට හා මානව අයිතීන්ට ගරු කිරීම ගැන කථා කිරීම නිසා පමනක්ම මිනිසුන් අත්අඩංගුවට ගත් බව පෙනේ” යයි වාර්තාවේ කතුවරු සටහන් කරති. දැනටමත් එක්සත් ජාතීන්ගේ මන්ඬලයක් ඔවුන් සිර භාරයේ තැබීම නීති විරෝධී බව ප්‍රකාශ කර තිබේ.

නඩුවේ එක් සැසියක දී දෑස් බැඳ මංචු දමා චූදිතයන් උසාවිය ඉදිරියට ගෙන ආ අතර, ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින්ට පලමු නඩු වාර තුනේදී ම උසාවි ශලාවට ප්‍රවේශ වීමට ඉඩ නොදෙන ලද බව ක්ෂමා ආයතනය කිය යි. මෙම පුද්ගල‍යන් මාස ගනනක් හුදකලා සිරමැදිරිවල රඳවා තබා වද ‍දුන් බවට චෝදනා එල්ල වූ අතර, ව්‍යාජ පා‍පොච්චාරනවලට අත්සන් කිරීමට බලකරන ලදී. නීතිඥයින් හමුවීමට ඉඩ ‍නොදී ඔවුන්ගෙන් නොනවත්වා ප්‍රශ්න කරන ලදී.

ආන්ඩු‍වේ මර්දනය වැඩි ‍කොට ම ‍යොමුව ඇත්තේ, ර‍ටෙහි ෂියයිට් සුලුතරය ‍වෙ‍සෙන නැ‍ගෙනහිර පලාත ‍වෙත ය. සුන්නි ඉස්ලාම්වාද‍යේ රලු අර්ථකතනයන් පිලිගන්නා ‍සෞදි රජ පවුල, දීර්ග කාලයක් ‍මෙම ෂියයිට් ප්‍රදේශය ‍වෛරී සහගතව නිරීක්ෂනය කර ඇති අතර ප්‍රා‍දේශීය ජනතාවට එ‍රෙහි වෙනස්කම් කලහ.

සෞදි අරාබි‍යේ ‍තෙල් නිෂ්පාදන‍යෙන් වැඩි ‍කොටසක් ගලා එන්නේ නැ‍ගෙනහිර පලාතෙනි. ‍‍සෞදි රජ පවුල එයින් තම විශ්මිත ධන සම්පත් හම්බකර ගන්නා අතර බොහෝ කම්කරු පන්තික පවුල් රැකියා හා නිවාස හිඟයෙන් පෙලෙයි.

ප්‍රතිසංස්කරනවලට පක්ෂව ප්‍රකාශ කිරීම වෙනු‍වෙන් අත්අඩංඟුවට ගැනුනු හා “මහජන මතය ඇවිස්වීම” ගැන ‍චෝදනාවන්ට ලක් කෙරුනු ෂේයික් තව්පික් ජා‍‍බෙර් ඊබ්‍රාහිම් නම් ප්‍රදේශ‍යේ ෂියයිට් පූජකවරයාගේ උදාහරනය ක්ෂමා වාර්තාවසටහන් කර යි.

පාලක පවුල, සුන්නි පූජකයින්, ෂියයිට් පූජකයින්, පල්ලි හා සංස්කෘතික ආයතන දෙස ද සැක‍යෙන් හා ‍ වෛරී සහගතව බලන නමුත් සෞදි මර්දනයේ මුලු බරටම කර ගැසුවේ විශේෂ‍යෙන් ම නැ‍ගෙනහිර පලා‍තේ කම්කරු පන්තිය යි. ‍ ක්ෂමා ආයතනය තම ‍සොයාගැනීම් නිකුත් කිරීමට යම්තම් සතියකට ‍පෙර‚ හමුදාව ‍වෙඩි තබා මරා දැමූ පුද්ගලයන් ‍දෙ‍දෙ‍නෙකු‍ගේ අවමගුලට සහභාගීවෙමින් සිටිය දී‚ ‍පොලීසිය අවුරුදු 26ක් වන ඛාටිෆ් අබ්දුල්ලා ඉක්‍රීරිස් හා 21 වියති මුනිබ් ඔත්මන් අල්-අද්නාන් යන ෂියයිට් තරුනයින් ‍දෙ‍දෙ‍නෙකු ඝාතනය ක‍ලේ ය.

ජත්‍යන්තර ක්ෂමා ආයතන‍යේ විමර්ශනය‚ විරුද්ධ මත ප්‍රකාශ කිරීම සරලව ම “ත්‍රස්තවාදී අපරාධයක්” බවට පත් කරන හා චූදිතයන්ට දැනට ලබා දී ඇති නෛතික අයිතීන් ස්වල්පය ද අ‍හෝසි ‍කරන, ආන්ඩු‍ව දැනට කෙටුම්පත් කර තිබෙන නීතිය ද වි‍වේචනයට ලක්කර යි. නව නීතිය යට‍තේ ත්‍රස්තවාදය පිලිබඳ නිර්වචනය‚ “ජාතික එක්සත්කම” අනතු‍රේ දැමීම‚ “ආන්ඩු‍වේ කීර්තිනාමයට ‍‍හෝ එහි තත්වයට හානි කිරීම” හා රජු‍ගේ “අවංක භාවය” ප්‍රශ්න කිරිම ද ඇතුලත් වන ‍සේ පලල් කෙරේ.

කෙටුම්පත් යෝජනාව සෞදි අරාබියේ “කුරිරු හා නින්දා සහගත” පද්ධතිය ශක්තිමත් කරනු ඇති අතර විරුද්ධවාදීන් නිශ්ශබ්ද කිරීමට බලධාරීන් නීතිය යොදාගැනීම පිලිබඳ “තවත් පැහදිලි සංඥාවක් ” යයි එම කන්ඩායම අවධාරනය කර යි.

එහි ‍සොයා ගැනීම් අලුත් දේ නොවන බැවින් ක්ෂමා ආයතනයේ වාර්තාව එක්සත් ජනපද ආන්ඩුවට පුදුමයක් ‍නොවනු ඇත. 2010 එක්සත් ජනපද වාර්තාවක්‚ ක්‍රමානුකූල “වදහිංසා හා අපචාර”‚ “සාධරන නඩුවිභාග නො පිලිගැනීම, ආගමික නිදහස මත දැඩි සීමාවන්” හා “දූෂනය හා ආන්ඩුවේ විනිවිද භාවයක් නැතිකම” ඇතුලත් “බරපතල මානව හිමිකම් ගැටලු” වාර්තා කලේ ය.

නිල එක්සත් ජනපද වාර්තාව ‍මෙසේ කිය යි: “කාන්තාවන්ට එරෙහි ප්‍රචන්ඩත්වය හා කාන්තාවන්ට සමාන අයිතීන් නොමැතිකම‚ ලමුන්ගේ අයිතීන් උල්ලංඝනය‚ මිනිස් ජාවාරම් සහ ලිංග‚ ආගම‚ නිකාය හා වාර්ගිකත්වය මත අසාධාරන කම් සාමාන්‍ය දෙයකි. කම්කරු අයිතීන් නොමැතිකම බරපතල ප්‍රශ්නයක් ව පවතී.”

වොෂින්ටනය දශක ගනනාවක් ‍මෙම තන්‍ත්‍රය සමග කිට්ටු සම්බන්ධතාවක් පවත්වා‍ගෙන ගොස් ඇත. මක්නිසා ද යත් සෞදි රාජාන්ඩුව, එක්සත් ජනපද ‍පොලිස්කාරයා ‍ලෙස හා ර‍ටේ අතිවිශාල ‍තෙල් සංචිත (ආසන්න වශ‍යෙන් බැරල් බිලියන 300ක් යැයි ඇස්ත‍මේන්තු ‍කෙරෙන අතර ඕනෑ ම ජාතියක් සතු විශාලත ම සංචිතය යි) කරා පිවිසීමට බටහිර රටවලට අවකාශ සලසන්නා ද වන බැවිනි.

“අරාබි වසන්තය” සඳහා සහයෝගය පිලිබඳ දිව්රුම් දීම ද ලිබියා‍වේ හා සිරියා‍වේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන කිඹුල් කඳුලු ‍හෙලීම ද නොතකා, එක්සත් ජනපද හා යු‍රෝපීය බලවතුන්ගේ ආන්ඩු, සෞදි වි‍රෝධතාකරුවන් ම්ලේච්ඡ ලෙස මර්දනය කිරීම හා රාජධානිය තුල ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහෝසි කර තිබීම නොදුටුවාක් ‍සේ සිටිති.

ඊට විපරීතව අධිරාජ්‍යවාදී බල‍යන්, අසල්වැසි රටවල කම්කරු පන්ති නැගිටීම්වලට පහර දීමේ දී‚ මිත්‍ර ඒකාධිපතිත්වයන්ට මුක්කු ගැසීමේ දී හා අරාබි ජනතාව‍ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අ‍පේක්ෂාවන්ට එරෙහි ප්‍රතිගාමී ඉස්ලාම්වාදීන්ට සහාය දැක්වීමේ දී, සෞදි තන්‍ත්‍රය මත විශ්වාසය තබා ඇත.

බහරේන්හි විශාල හමුදා කඳවුරක් පවත්වාගෙන යන වොෂින්ටනයේ ආශීර්වාදය යටතේ පමනක් ගත හැකිව තිබුන පියවරක දී සෞදි තන්‍ත්‍රය, මාර්තුවේ දී මැනමා අගනුවර ආන්ඩු විරෝධී පෙලපාලි මැඩීමට යුද ටැංකි සහිතව 1,200ට වඩා හමුදා භට පිරිස් යැවී ය. සෞදි අරාබියේ පර්සියානු බොක්ක වෙරලින් යන්තම් වෙන්ව පිහිටි කුඩා දිවයිනක් වන බහරේන්හි කතිපයාධිකාරය, සෞදි අරාබියානු පාලක පවුලට කිට්ටුවෙන් සම්බන්ධ අතර රියාද් හා වොෂින්ටනය, ඉරානයට එරෙහි ආරක්ෂක පවුරක් ලෙස එරට දැක ගනිති.

බහරේන් ජාතිකයන් දුසිමක් මරා දැමුනු හා සියයට වැඩි ගනනක් තුවාල ලැබූ හෝ අත්අඩංගුවට ගනු ලැබුනු මෙම මර්දන ක්‍රියාව සඳහා සෞදි අරාබියට, බටහිර බලවතුන් අලුත් වටයකින් සහයෝගය පුදකොට ඇත. ජූලියේ දී ජර්මානු පාර්ලිමේන්තුව, යුරෝ බිලියන 1.7ක් වටිනා ගනදෙනුවක දී සෞදි අරාබියට, ලෙෆඩ් යුද ටැංකි 200ක් විකිනීම අනුමත කලේ ය. ඊට නොදෙවෙනි ලෙස එක්සත් ජනපදය ද දැන් රියාද් සමග ඩොලර් බිලියන 60ක් වටිනා ආයුධ ගනදෙනුවක් සපුරාලමින් සිටී. පසුගිය වසරේ දී අත්සන් කෙරුනු ඇමරිකානු ඉතිහාසයේ විශාලත ම ආයුධ සැපයීම් කොන්ත්‍රාත්තුව මෙය යි.

වොෂින්ටනය හා සෞදි අරාබිය අතර කිට්ටු සම්බන්ධය ප්‍රකාශ කරමින් ඔක්තෝබරයේ දී ජනාධිපති බරක් ඔබාමා, 87 වියේ රෝගීව සිටින අබ්දුල්ලා රජුගේ සිහසුනට, යුව රජු හා ඔටුන්න හිමි කුමාරයා වන 78 හැවිරිදි නායිෆ්, පත් කිරීම උනුසුම් ව පිලිගත්තේ ය. “එක්සත් ජනපදයේ අපි ත්‍රස්තවාදය සමග සටනට සහ කලාපීය සාමය හා ආරක්ෂාවට සහයෝගය දැක්වීම සඳහා ඔහුගේ (ඔටුන්න හිමි නායිප් කුමරු) කැපවීම දනිමු‚ එයට ගෞරව කරමු” යි ඔබාමා‍ ප්‍රකාශ කලේ ය.

ඔක්තෝබරයේ ඔහු‍ගේ උසස්වීම ‍දක්වා නායිප් කුමරු, ජාත්‍යන්තර ක්ෂමා ආයතනය විසින් සංක්ෂේප‍යෙන් දක්වන ලද මෘග ‍පොලිස් රාජ්‍ය පියවරයන් සඳහා සෞදි අරාබියේ අභ්‍යන්තර අමාත්‍යංශ‍යේ ප්‍රධානත්වය දරමින් අවුරුදු ගනනාවක් ම දායක විය.

Share this article: