"මහා වීර දිනය” -- දෙමල ජාතිකවාදයේ අධිරාජ්‍ය-ගැති දේශපාලනය

By K. Nesan, 12 December 2011

බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයේ ඉතිරි පහදු වූ කන්ඩායම් පසුගිය නොවැම්බර් 27 දා බටහිර නගර ගනනාවක දී "මහා වීර දිනය” සැමරීය. ඊට සති කිහිපයකට පෙරාතුව ප‍්‍රතිවාදී කන්ඩායම් දෙකක් එම දිනය සැමරීමට තමතමන්ට ඇති තනි අයිතිය වෙනුවෙන් තරගකාරී ප‍්‍රචාරක ව්‍යාපාරයන්හි යෙදුනහ. සැමරුම් උත්සවය සඳහා යන සූදානම් කටයුතු ප‍්‍රචන්ඩ ලෙස කඩාකප්පල් කිරීම්වලින් ඇරඹි මෙම පොරය අවසන් වූයේ පැරිසියේ දී කන්ඩායම් දෙක අතර ශාරීරික ගැටුමකිනි. කන්ඩායම් අතර ගැටුම් අවසන් කොට තනි ඒකාබද්ධ රැස්වීමක් පවත්වන ලෙස ඉල්ලමින් ලන්ඩනයේ දී උපවාස ද පැවැත්වුනි.

එල්ටීටීඊය මිලිටරිමය ලෙස පරාජය කරමින් එයට එරෙහි කොලඹ ආන්ඩුවේ වර්ගවාදී යුද්ධය අවසන් වී වසර දෙකහමාරක් ගත වී ඇති මේ අවස්ථාවේ, එම සංවිධානයේ ඉතිරිව සිටින කාර්යධරයෝ කන්ඩායම් ගනනාවකට බෙදී සිටිති. ඔවුන්ගේ ප‍්‍රධාන දේශපාලන පදනම ලෙස තවමත් පවතින්නේ බටහිර රටවල් ය. මෙම ගැටුම් මගින් අවධාරනය කෙරෙන්නේ, මෙම කන්ඩායම් එල්ටීටීඊයේ පරාජයෙන් කිසිදු පාඩමක් උකහා ගෙන නැති බව, ඔවුන්ගේ තච දුර දකුනට පැදීම සහ දෙමල ජාතිකවාදයේ දේශපාලන ඉදිරිදර්ශනයේ අවෘත අන්තය යි.

මෙම කන්ඩායම්, ශී‍්‍ර ලංකාවේ මිලිටරියට එරෙහි යුද්ධයේ දී ඝාතනයට ලක් වුනු සටන්කරුවන්ගේ කැප කිරීම්, දෙමල ඩයස්පෝරාව තුල සිය දේශපාලන පදනම් ශක්තිමත් කරගනු සඳහා යොදා ගනිති. ශී‍්‍ර ලංකාවේ උතුරු හා නැගෙනහිර පලාත්වල වෙනම ධනපති රාජ්‍ය කැබැලිත්තක් ඇටවීම සිය දේශපාලන අරමුන බව මොවුන් සියල්ලෝම ප‍්‍රකාශ කරති. ඔවුන් අතර මතභේදය පවතින්නේ, එම ඉලක්කය සාක්ෂාත් කරගැනීමෙහි ලා තමන් ආයාචනය කරන්නේ කුමන ගෝලීය බලවතාට ද යන්න මත ය. ඉන්දියානු විරෝධී හා බටහිර-ගැති යොමුව වටා ගැටුම කේන්ද්‍ර වී ඇත. දැන් ශී‍්‍ර ලංකා ආන්ඩුවේ ඒජන්තයකු බවට පත්ව සිටින, එල්ටීටීඊයේ හිටපු ඉහල පෙලේ නායකයකු වූ, පද්මනාදන්ගේ හෙවත් කේපීගේ ආධාරකරුවන් කන්ඩායමක්, ඔහුගේ එම "තාවකාලික” සන්ධානයට පවා සහයෝගය දෙයි.

සිය සටන්කරුවන් ලෙස එල්ටීටීඊය විසින් බලමුලු ගන්වන ලද තරුනයන්ගෙන් බහුතරය පැමිනියේ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ පවුල්වලිනි. එම පවුල්වලින් බොහොමයකට යුද්ධයේ දී අඩු ගනනේ එක තරුන සාමාජිකයකු වත් අහිමි වී තිබේ.

"මහා වීර දිනය” මුලින්ම හඳුන්වා දෙන ලද්දේ 1989 නොවැම්බරයේ දී ය. ඉන්දියානු වාඩිලාගැනීමේ හමුදාවන්ට එරෙහි යුද්ධයේ පලමු අදියරේ දී මරුමුවට පත් වූ සිය සටන්කරුවන් පිලිබඳ මතකයට ගෞරව දක්වනු වස් එල්ටීටීඊ නායක වී. ප‍්‍රභාකරන් කල හැඟීම්බර කතාවක් මෙම චාරිත‍්‍රයේ ආරම්භය විය. 1987 ඉන්දු-ශී‍්‍ර ලංකා ගිවිසුමේ කොටසක් ලෙස එල්ටීටීඊය නිරායුධ කරනු පිනිස දිවයිනේ උතුරු හා නැගෙනහිර පලාත්වලට ගොඩබස්වන ලද ඉන්දියානු හමුදා 1990 මැද දී ඉවත් කර ගැනුනි. "මහා වීර දින” සැමරීම එකල එල්ටීටීඊයේ පාලනයට නතුව තිබූ ප‍්‍රදේශ තුල සතියක කාලයක් පුරා පැතිරුනු ප‍්‍රසිද්ධ උත්සව මාලාවක් විය. බොහෝ ස්ථානවල තනි විශාල සොහොන් බිමක සිය ගනන් මිය ගිය සටන්කරුවන්ගේ සොහොන් කොත් තනන ලදි. මෙම මනාව ඉඳි කෙරුනු දර්ශනීය සොහොන් බිම්වල මහජනයාට රැස්වනු පිනිස ශාලා ද තනා තිබුනි.

සිය සටන්කරුවන් වාර්ගිකව ආශ්වාදයට ලක් කිරීම, නව සටන්කරුවන් බඳවා ගැනීම සහ මහජනයා මත සිය ග‍්‍රහනය ශක්තිමත් කර ගැනීම පිනිස එල්ටීටීඊය වගාදිගා කල මෙම විරුවන් වන්දනාව, සොහොන් කොත් පිදීමේ මධ්‍ය කාලීන ද්‍රවිඩ සංස්කෘතියට නෑකම් කියයි. සෑම වසරක ම මෙම දින එල්ටීටීඊය ප‍්‍රසිද්ධ උත්සව සංවිධානය කලේ ය. මියගිය සටන්කරුවන්ගේ ඥාතීන්ට, මෙම උත්සවවල දී ලැබුනු විශේෂ ගෞරවයන්ට අමතරව, සමාජයේ විශේෂ තත්වයක් ද මූල්‍ය ආධාර ද ලබා දුනි. දේශපාලන විරුද්ධවාදීන්, තමන් සමග තරග වදින ප‍්‍රතිවාදී සංවිධාන සහ සිය සාමාජිකයන් ද ත‍්‍රස්ත කොට නිහඬ කිරීම පිනිස දිවි පිදූ විරුවන් පිලිබඳ සංකල්පය යොදා ගැනුනි. දේශපාලන තලයේ දී සංවිධානයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය නිවේදනය කිරීම පිනිස එදින යොදා ගන්නා ලදි.

මෙම වසරේ ලෝකයේ ප‍්‍රධාන නගර ගනනාවක ප‍්‍රතිවාදී කන්ඩායම් විසින් සංවිධානය කරන ලද උත්සවවලට දහස් ගනනක් සහභාගි විය. තිස් වසරක යුද්ධයේ දී මියගිය පරම්පරා ගනනක තරුනයන් පිලිබඳ මතකය සැමරීමේ ශෝකජනක එකමුතුවක් ලෙස ඔවුන් එම අවස්ථාවන් සැලකූ අතර ඒවා සංවිධානය කල අයට තමන්ගේ ම න්‍යාය පත‍්‍ර තිබුනි.

තමිල්නාඩුවේ ප‍්‍රතිගාමි ද්‍රවිඩ ව්‍යාපාරයේ නායකයෙක් ස්විට්සර්ලන්තයේ පැවති රැස්වීමක් ඇමතීය. ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක් ලන්ඩනයේ දී කතා කලේ ය. මරුමාලච්චි ද්‍රවිඩ මුන්නේත‍්‍ර කලහම් සහ දෙමල ජාතික ව්‍යාපාරය යන තමිල්නාඩුවේ වර්ගවාදී පක්ෂ දෙකේ නායකයන් වන වයිකෝගේ හා පී. නැඩුමරන්ගේ පනිවිඩවල වීඩියෝ පට ලන්ඩන් රැස්වීමේ දී විකාශනය කෙරුනි. වාමාංශික මෙන්ම දක්ෂිනාංශික දේශපාලන පක්ෂවල නියෝජිතයෝ සෙසු රැස්වීම් ගනනාවක කතා කලහ. තමන්ට හැකි ඕනෑම කොටසක සහයෝගය ගොනු කරගනු වස් එල්ටීටීඊ කන්ඩායම් දරන මංමුලා සහගත උත්සාහය මෙයින් පෙන්නුම් කෙරුනි.

මෙම කන්ඩායම් විසින් නිකුත් කරන ලද නිවේදන වෙනම රාජ්‍යයක් සඳහා සහයෝගය පතා කෙරුනු ආයාචනාවන් ය.

නිදසුනක් ලෙස, "මූලස්ථානය” ලෙස තමන්ම හඳුන්වා ගන්නා කන්ඩායමක් නිකුත් කල නිවේදනයක් මෙසේ සටහන් කලේය: "පසුගිය දෙවසර තිස්සේ මුලු ලෝකයම ශී‍්‍ර ලංකා ආන්ඩුව මත පීඩනය යෙදූ බව දෙමල ජනයා හොඳින් දනී. . .” එය තව දුරටත් මෙසේ පැවසීය: "ඒ කෙසේවෙතත්, අපගේ ජනතාවට එරෙහි මෙම ජනඝාතනය අවසන් කල යුතුව ඇත, ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂනයක් සිදු කල යුතු ය. . . . අපට යුක්තිය ඉටු කල යුතු ය, අපගේ ප‍්‍රමුඛතාව වන්නේ අපගේ ස්වයං-නිර්න අයිතිය පිලිගන්නා විසඳුමක් දෙසට ගමන් කිරීම යි.”

"ජාත්‍යන්තර ලේකම් මන්ඩලය” නම් වූ තවත් කන්ඩායමක් මෙසේ සඳහන් කරයි: "ලෝකයේ රටවල් දෙමල ඊලම් ජනතාවගේ වාර්ගික ගැටලුව ද ඔවුන්ගේ විමුක්ති අරගලය පිටුපස පවතින යුක්තියුක්ත භාවය ද අවබෝධ කරගත යුතු ය, අපගේ ජනතාවට සාධාරන දේශපාලන විසඳුමක් ලබා ගැනීමට උදව් කල යුතුය. . . .”

එම නිවේදනය තව දුරටත් මෙසේ පැවසීය: "ඉන්දියාව ඇතුලු ලෝකයේ රටවලින් අප ඉල්ලා සිටින්නේ, ජනඝාතන සිදු කරන සිංහල පාලකයන්ගේ බොරු ප‍්‍රචාරවලට නොරැවටෙන ලෙසයි, දෙමල ඊලම් ජනයාගේ ස්වයං-නිර්න අයිතිය පිලිගන්නා ලෙසයි.”

"ජාත්‍යන්තර ප‍්‍රජාව” පිලිබඳ ඔවුන්ගේ ප‍්‍රකාශ මගින්, එල්ටීටීඊයේ ඉතිරි පහදු කොටස්, දිගටම ආයාචනා කරන්නේ, ශී‍්‍ර ලංකාවේ මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ වර්ගවාදී යුද්ධයට රාජ්‍යතාන්ති‍්‍රක හා මිලිටරි සහයෝගය අනවරතයෙන් ලබා දුන් එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍යය හා ඉන්දියාව බඳු ගෝලීය හා කලාපීය බලවතුන්ට ය. යුද්ධයේ අවසන් අදියරයන්හි දී දෙමල ජනඝාතනයට විරෝධය පල කරනු වස් ලක්ෂ සංඛ්‍යාත ජනයා ලන්ඩන්, පැරිස් හා ටොරොන්ටෝ නගරවල වීදිවලට බටහ. බි‍්‍රතාන්‍ය, ඇමරිකානු, ප‍්‍රන්ස හා ජර්මානු නායකයන්ගේ ඡායාරූප සහිත ධජ රැගත් එල්ටීටීඊ ආධාරකරුවන් යුද්ධය නතර කරවන ලෙස එම නායකයන්ට කල සානුකම්පිත ඉල්ලීම්, දහස් ගනන් සිවිල් ජනයා ඝාතනයට ලක් වීමෙන් ගලවා ගැනීමට අසමත් විය.

දැන් මෙම කන්ඩායම් රාජපක්ෂ ආන්ඩුවේ යුද අපරාධ පිලිබඳ පරීක්ෂනයක් අරඹන ලෙස මෙම බලවතුන්ට ම ආයාචනා කරති. මෙම බලවත්තු රාජපක්ෂගේ යුද අපරාධ පිලිබඳ වගකීමට හවුල් අතර එම අපරාධ සම්බන්ධයෙන් වගවීම හා දඬුවම් දීම පිලිබඳ කිසිදාක අව්‍යාජ සැලැකිල්ලක් දැක්වූයේ නැත. ඔවුන්ට නම්, යුද අපරාධ වනාහි, දිවයින මත සිය ආනුභාවය වර්ධනය කරගන්නා චීනය වෙතින් කොලඹ පාලනය දුරස්ථ කරනු පිනිස පීඩනය යෙදීමේ සිය විකල්පවලින් එකකි. එය තමන් කියන ආකාරයේ පිලිවෙතක් අනුගමනය කල හොත් මානව හිමිකම් පිලිබඳ තුරුම්පුව ඉවත දැමීමට තමන් සූදානම් බව වොෂිංටනය රාජපක්ෂ ආන්ඩුවට දැනටමත් ඇඟවුම් කර තිබේ.

එල්ටීටීඊ "මූලස්ථානය” සිය නිවේදනයේ මෙසේ සඳහන් කරයි: "ඔවුන්ගේ ආර්ථික, දේශපාලනික හා ආරක්ෂක අවශ්‍යතා රැකගැනීමෙහිලා රටවල්වල හා කලාපවල භූ-දේශපාලනික ඉදිරිදර්ශන පිලිබඳව දෙමල ජනයා හොඳින් දනී. මෙම ජාත්‍යන්තර දේශපාලන මාවත වර්ජනය කිරීමේ හෝ එවන් අවශ්‍යතා සමග සහයෝගී වීමකින් තොරව අපගේ ම පිලිවෙතක් අනුගමනය කිරීමේ හෝ කිසිදු අභිප‍්‍රායක් අපට නැත.” මෙය එල්ටීටීඊයේ ඉදිරිදර්ශනයෙන් ගලා ආ ප‍්‍රතිගාමී පිලිවෙතකි. මෙය වනාහි, වෙනම දෙමල රාජ්‍යයක් ගොඩනැගීමට තමන්ට උදව් කල හොත් මෙම කන්ඩායම් මහ බලවතුන්ගේ අවශ්‍යතාවන්ට සේවය කිරීමට සූදානම් බවට ඔවුන් වෙත සහතික වීමකි.

යුද්ධය "එල්ටීටීඊ ත‍්‍රස්තවාදයට” එරෙහිව ගෙන යන ප‍්‍රයත්නයක් බවට නම් කරමින්, ශී‍්‍ර ලංකා ආන්ඩුව දකුනේ කම්කරු පන්තියට එරෙහිව තියුනු සමාජ ප‍්‍රහාර මාලාවක් ගෙන ගියේ ය. යුද්ධය අවසන් වීම නොතකා එම ප‍්‍රහාර ඉදිරියට ගෙන යනු ලැබේ. එය ජනගහනයෙන් බහුතරයක් තුල ආන්ඩුවට එරෙහි දැවැන්ත වෛරයක් නිර්මානය කර තිබේ. එල්ටීටීඊ කන්ඩායම්වල ප‍්‍රකාශ මෙම වර්ධනයන් සම්බන්ධයෙන් මුලුමනින්ම අන්ධ ය.

එල්ටීටීඊයේ සමස්ත ඉතිහාසයම එලිදරව් කරන්නේ, දෙමල ජනයාට එරෙහි වෙනස්කම් කිරීමට විරුද්ධව සහයෝගය පතා සිංහල වැඩ කරන ජනයාට ආයාචනා කිරීම ප‍්‍රතික්ෂේප කිරීම යි. "සිංහල රාජ්‍යය” යන පදය සාමාන්‍යකරනය සහ අහිංසක සිංහල සිවිල් වැසියන් ඝාතනය ඇතුලු එල්ටීටීඊයේ දක්ෂිනාංශික වර්ගවාදී පිලිවෙත්, දකුනේ දී දෙමල විරෝධී උද්ඝෝෂනය තීව‍්‍ර කරනු වස් කොලඹ ආන්ඩුවට හා ස්වෝත්තමවාදී කන්ඩායම්වලට උදව් දුනි.

සිංහල කතා කරන කම්කරු පන්තියේ සහයෝගය පතා ආයාචනා කිරීමෙහි ලා එල්ටීටීඊය දැක්වූ ඓන්ද්‍රීය නොහැකියාව ගලා ආවේ එහි ධනපති පන්ති ස්වභාවයෙනි. එහි ඉදිරිදර්ශනය වූයේ දෙමල කම්කරුවන් සූරාකනු පිනිස වෙනම දෙමල රාජ්‍ය කැබැලිත්තක් ඇටවීමයි. එල්ටීටීඊයට ද ඒ සම්බන්ධයෙන් ගත හොත් සියලූ දෙමල පක්ෂවලට ද පීඩිත දෙමල ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් පිලිබඳ උත්සුකතාවක් පැවතියේ නැත. එම පන්ති ස්වභාවය හේතු කොට ගෙන ම, එල්ටීටීඊය ආයාචනා කලේ එක්සත් ජනපදය හා ඉන්දියාව ඇතුලු මහ බලවතුන්ගේ සහයෝගය ඉල්ලමිනි. සහයෝගය පතා ජාත්‍යන්තර කම්කරු පන්තියට ආයාචනා කිරීම එයට කල නොහැකි විය, ඔවුන් එසේ කලේ ද නැත.

දෙමල ඩයස්පෝරාව අතර එල්ටීටීඊය වර්ධනය වීම සම්බන්ධයෙන් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්, ස්ටැලින්වාදීන් සහ ලේබර් පක්ෂය ඇතුලූ යුරෝපීය "වම” වගකිව යුතු ය. ඔවුන්ගේ සෘජු පාලනය යටතේ පවතින ආන්ඩු හෝ ඔවුන් සම්බන්ධිත සභාග ආන්ඩු සරනගතයන් හා දේශපාලන රැකවරන පතන්නන් අනවශ්‍ය හා දෙවන ගනයේ පුරවැසියන් බවට පත් කල පනත් කි‍්‍රයාවට දැමීය. ඔවුහු එම රටවලින් පිටමං කිරීමට හා වැඩෙන දක්ෂිනාංශික ෆැසිස්ට් ප‍්‍රහාරවලට ලක් කෙරුනි. උසස් අධ්‍යාපනය, රැකියා අවස්ථාවන් හා තාක්ෂනික පුහුනුව ඔවුන්ට අහිමි කෙරුනි. කම්කරු පන්තියේ ජීවන තත්වයන්ට හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහි ප‍්‍රහාරයන්ගේ කොටසක් වූ මෙම ප‍්‍රහාර දෙමල කම්කරුවන් එම රටවල සමාජ හා සංස්කෘතික ජීවිතයෙන් හුදකලා කොට දෙමල ජාතිකවාදයේ උගුලට තල්ලු කලේ ය.

අනුප‍්‍රාප්තික ශී‍්‍ර ලංකාවේ ආන්ඩුවල වර්ගවාදී දේශපාලනයේ ප‍්‍රතිවිපාක ලෙස දියුනු ධනපති රටවල දේශපාලන රැකවරන පැතීමට සිදු වූ දෙමල ජනයා ඔවුන් ජීවත් වන එම රටවල කම්කරු පන්තියේ කොටසකි. කම්කරු පන්තිය මුහුන දෙන විරැකියාව හා සමාජ ප‍්‍රතිලාභ කප්පාදුව ඔවුන්ට ද බලපායි. සත්තකින් ම, ඔවුහු ධනවාදයේ වාර්ගික අගතීන්ගේ බලපෑම්වලට වඩාත් ලක් වෙති. ඔවුන්්ගේ දෙවන පරම්පරාව ඔවුන් ඉපදුනු රටවල තරුනයන් මෙන්ම අවිනිශ්චික අනාගතයකට මුහුන දී සිටී. එල්ටීටීඊයේ පරාජයෙන් පාඩම් උකහාගෙන සමාජවාදී දේශපාලනය දෙසට හැරෙන ලෙස දෙමල කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් හා බුද්ධිමතුන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

දැවැන්ත සමාජ ව්‍යසනයක් දෙසට ලෝක ආර්ථික අර්බුදය වේගයෙන් ගලා යයි. කම්කරු පන්තියේ කර මත ආර්ථික අර්බුදයේ බර පැටවීම සඳහා පාලක පන්තිය දැඩි ලෙස අධිෂ්ඨානශීලීව සිටී. මෙම ප‍්‍රහාරයන්ට එරෙහි කම්කරු පන්තියේ හා තරුනයන්ගේ අරගල ජාත්‍යන්තර පරිමානව වර්ධනය වෙමින් පවතී.

තිස් වසරක මුබාරක් පාලනය පෙරලා දැමූ ඊජිප්තු විප්ලවය ඇමරිකානු ගැති මිලිටරි ජුන්ටාවට විරුද්ධව නව අදියරකට වර්ධනය වෙමින් ඇත. මුබාරක්ගේ ඇද වැටීම ආරම්භය පමනක් බවත් ඊජිප්තු කම්කරු පන්තිය ඊලඟ අදියර කරා විප්ලවය ගෙන යා යුතු බවත් අවධාරනය කරමින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙසේ අදහස් දැක්වීය: "මෙම අත්‍යසමාන සිද්ධීන් ඊජිප්තුව සඳහා පමනක් නොව සමස්ත ලෝකය සඳහා ම හැරුම් ලක්ෂ්‍යයකි. ඒවා කම්කරු පන්තියේ දැවැන්ත සමාජ බලය ප‍්‍රදර්ශනය කර ඇත්තේ, සෝවියට් සංගමයේ බිඳ වැටීම "ඉතිහාසයේ අවසානය” -- එනම්, මානව කටයුතුවල සාධකයක් ලෙස පන්ති අරගලයේ අවසානය -- සනිටුහන් කරන බවට පැවති කියාපෑම් අනභියෝගී ලෙස නිෂ්ප‍්‍රභා කරමිනි. වධ බන්ධන, අත් අඩංගුවට ගැනීම් හා මර්දනය හමුවේ ඊජිප්තු ජනතාව පෙන්නුම් කර ඇති ජයග‍්‍රාහී වීරත්වය ලොව වටා කම්කරුවන්ට හා තරුනයන්ට ආශ්වාදයකි.”

ඊජිප්තු විප්ලවය ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායේ නිරවද්‍යතාව පිලිබඳ අලුත්ම දර්ශකයකි. ඌන සංවර්ධිත පීඩිත රටවල ධනේශ්වරය අධිරාජ්‍යවාදී ආධිපත්‍යයට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා අරගලයකට නායකත්වය දීමෙහිලා අපොහොසත් ය. දෙමල ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍ර ඉල්ලීම් කම්කරු පන්තියේ එකමුතුව සඳහා වන ජාත්‍යන්තර අරගලය සමග සෘජුවම බැඳී පවතී.

දෙමල ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් තහවුරු කරගත හැක්කේ, ශී‍්‍ර ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් ගොඩනගනු පිනිස දෙමල හා සිංහල කතා කරන කම්කරුවන් ජාත්‍යන්තර පරිමානව සිය පන්ති සහෝදරයන් සමග එකමුතුව ගෙන යන ඒකාබද්ධ අරගලයේ අතුරු ඵලයක් ලෙස පමනි.

අධිරාජ්‍යවාදී රටවල දෙමල ජනයාගේ එකම අව්‍යාජ සගයා කම්කරු පන්තිය යි. ඩයස්පෝරාවේ දෙමල කම්කරුවන් හා තරුනයන් කුඩා රාජ්‍යයක් ඇටවීමේ අධිරාජ්‍ය-ගැති ව්‍යාපෘතිය ප‍්‍රතික්ෂේප කල යුතු ය. තමන් ජීවත් වෙන රට තුල කම්කරු රාජ්‍යයක් සඳහා අරගලය තුල කම්කරු පන්තිය සමග ඒකාබද්ධ වනු පිනිස ඔවුහු ඉදිරියට ආ යුතුය.

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා මෙම ඉදිරිදර්ශනය සඳහා සටන් වදී. එහි ශී‍්‍ර ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයට දෙමල හා සිංහල කම්කරුවන් ඒකාබද්ධ කිරීමේ සිය අරගලය තුල දෙමල ජනයාගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීමේ දීර්ඝ ඉතිහාසයක් පවතී.

Share this article: