නිව් ඕර්ලියන්ස් ගින්න සහ ඇමරිකාවෙහි තරුනයන්ගේ තත්ත්වය

The New Orleans fire and the conditions of youth in America

30 December 2010

අධික ශීතලෙන් මිදීම සඳහා ගිනි ගොඩක් ගැසීමෙන් පසුව අඟහරුවාදා පාන්දර නිව් ඕර්ලියන්ස්හි අත හැර දැමූ බඩු ගබඩාවක් තුල හට ගත් ගින්නකින් තරුනයන් පස් දෙනෙක් ද තරුනියන් තිදෙනෙක් ද ජීවිතක්ෂයට පත් වූහ. ගිනි දැල් ගොඩනැගිල්ල ගිල ගත්තේ ය. ගිනි නිවන භටයන් ගිනි ජාලාව නිවා දමන්නට කලින් ඔවුහු සියලු දෙනා ම මරුමුවට පත් වූහ, ඔවුන්ගේ සිරුරු හඳුනා ගත නොහැකි තරමට පිලිස්සින.

"ඒ හැමෝම විස්මය දනවන, සොඳුරු, කුසලතාවලින් පිරුනු අය,” 19 වියැති ඕඩ්රි බීන් ටයිම්ස්-පිකායුන් නම් ප‍්‍රාදේශීය පුවත්පතට පැවසුවා ය. ඇයගේ මිතුරියක වන ග්වෙන්ඩොලින් ෆේ කියා සිටියේ කන්ඩායම පහසුකම්වලින් තොර බඩු ගබඩාව ඇඳන් සහ ඉවුම් පිහුම් උපකරන සහිත නිවසකට හරවා ගෙන තිබූ බව යි. මිය ගිය අය කලාකරුවන්, පිරිද්දුම් ශිල්පීන්, සංගීතඥයන් බව යි; සමහරුන් පාපැදි එකතුවක් විවෘත කිරීමේ සැලසුම් ඇතිව සිටි බව 27 වියැති රේචල් පාක් ප‍්‍රකාශ කලේය.

මෙම මාරක ගිනි ජාලාව-මෙය දශක හතරකට ආසන්න කාලය තුල නිව් ඕර්ලියන්ස්හි හට ගත් නපුරු ම ගින්න යි-එදා රාත‍්‍රියෙහි නාගරිකය තුල හට ගත් එවන් ගිනි හයෙන් එකක් විය. වඩාත් නරක අතට හැරෙමින් පවතින නිවාස නැතියවුන්ගේ තත්ත්වය ද විශේෂයෙන් ම තරුන ජනයා මුහුන දෙන අතිදුෂ්කර තත්ත්වයන් ද පිලිබඳ ක‍්‍රෑර හෙලිදරව්වකි මෙය.

රටේ ආර්ථික වශයෙන් සහ සංස්කෘතික වශයෙන් වඩාත් ම වැදගත් පුරවරයන්ගෙන් එකක් වන නිව් ඕර්ලියන්ස් ජනපදය වූකලි ඇමරිකානු දේශපාලන සහ සමාජ ක‍්‍රමය පිලිබඳව නැගෙන අතිමහත් දෝෂාරෝපනයකි. කැත්‍රිනා චන්ඩ මාරුතයේ ප‍්‍රතිඵලයක් ලෙස 2005 දී පුරවරය ගංවතුරින් යට වීම-මෙය පුරවරයේ වේලි ඇතුලු මූලික යටිතල පහසුකම් ක‍්‍රමානුකූලව නො සලකා හැරීමේ විපාකයක් විය-2,000කට ආසන්න ජනයාට මරනය උරුම කලේ ය, සියදහස් ගනනක් ජනයා සිය නිවාසවලින් පලවා හැරියේ ය.

ඉන් පස් වසරකට පසුව, නිව් ඕර්ලියන්ස්හි නිවාස නැතිකම දෙගුනයක් වී ඇත, තක්සේරුවලට අනුව පුද්ගල සංඛ්‍යාව 12,000ක් පමන වේ. නිවාස නැතියවුන් වෙනුවෙන් හඬ නගන්නන් පවසන පරිදි, ඕනෑ ම රාත‍්‍රියක දී නිදා ගැනීමට කිසි යම් තැනක් සොයා ගත නොහැකි පුද්ගලයන් 3,000කට ආසන්න ප‍්‍රමානයට එහි පවතින්නේ ඇඳන් 800ක් පමනකි. විශේෂයෙන් ම ගංවතුරින් වඩාත් ම පහර වැදුනු ප‍්‍රදේශවලින් එකක් වන 9 වන කොට්ඨාසයෙහි නිවාස 55,000ක් පමන හානි වුනු තතු යටතේ අසල්වැසි ප‍්‍රදේශවලට දිගින් දිගට ම බාධා පැමිනේ.

අඟහරුවාදා පාන්දර මරනයට පත් වුනු තරුනයන්ගෙන් අඩු ගනනේ සමහරෙකු වත් නිව් ඕර්ලියන්ස් වෙත චාරිකා කොට තිබුනේ එහි ඉතිහාසයෙන්, සංගීතයෙන් සහ සංස්කෘතියෙන් ආකර්ෂනය වී ගෙන ය. කෙසේ වුව ද, චන්ඩ මාරුත ව්‍යසනයෙන් පසුව ගෙවී ගිය වසරවල දී පුරවරය යලි ගොඩ නැගීමක් සිදු වී නැත-අඩු ගනනේ එහි කම්කරු පන්තික ජනගහනය වෙනුවෙන් වත් එවැන්නක් සිදු වී නැත. වඩා වත්පොහොසත්කම් ඇති ප‍්‍රදේශ සහ ෆ්‍රෙන්ච් ක්වාටර් ප‍්‍රදේශයේයේ වාසිදායක ව්‍යාපාර යලි පන ගැන්වී තිබුන ද විරැකියාව, දරිද්‍රතාව සහ නිවාස නැතිකම වඩාත් උග‍්‍ර වී ඇත.

සමස්ත ලුසියානා ජනපදය තුල ළමයි 300,000ක් තරම් අතිවිශාල සංඛ්‍යාවක් දරිද්‍රතාවෙහි ගැලී දිවි ගෙවති. නිවාස නැති පවුල් පිලිබඳ ජාතික මධ්‍යස්ථානයට අනුව මෙම දිලිඳු දරුවන්ගෙන් 204,000කට වැඩි සංඛ්‍යාවක් සෑම වසරක ම නිවාස නැතිකම අත්විඳිති. සමස්ත එක්සත් ජනපදය ම නිවාස නැති පවුල්වල විස්මිත නැගීමක් අත්විඳිති; එක්සත් ජනපද නගරාධිපතිවරුන්ගේ සම්මේලනය පසු ගිය වසරෙහි එක්සත් ජනපදය තුල නිවාස නැති පවුල් සංඛ්‍යාවෙහි සියයට 9ක සමස්ත නැගීමක් වාර්තා කරයි.

බැරෑරුම් අතට හැරෙමින් පවතින ආර්ථික පසුබැසීම පිලිබිඹු කරමින් නිවාස නැතිකමේ පෙනුම වෙනස් වෙයි. සංගතයෝ වැටුප් පහතට තල්ලු කිරීම සඳහාත් ප‍්‍රතිලාභ මුලිනුපුටා දැමීම සඳහාත් මහා විරැකියාව ගසා කති-මෙහි අර්ථය නම් රැකියාවක් සහිත බොහෝ අයට තව මත් නිවසක් සපයා ගත නොහැකි බව යි. වැඩ කරන දුප්පත් පවුල් ව්‍යාපෘතිය සොයා ගත් පරිදි 2009 දී ලමයින් මිලියන 2ක් ද ඇතුලු මිලියන 45ක් පමන ජනයා ජීවත් වූයේ අඩු ආදායම්ලාභී වැඩ කරන පවුල්වල ය.

ගැටවර වියෙහි සහ වයස 20 ගනන්වල පසු වන තරුන ජනයා යනු නිවාස නැති ජනගහනය අතර වේගයෙන් ම වැඩෙන කොටස් අතරින් එකකි. නිව් ඕර්ලියන්ස්, සැන් ෆ‍්‍රැන්සිස්කෝ, සියැටල් සහ පෝර්ට්ලන්ඞ්, ඔරිගන් වැනි පුරවරයෝ සේවාවන් සපයා ගත නොහැකිව දඟලති. සියැටල්හි පිහිටි ඇඳන් 27කින් සමන්විත රූට්ස් නම් යෞවන වාසස්ථානය මෙම වසරේ දී 2,000 වතාවකට වඩා තරුනයන් හරවා යැවීමට සිදු වනු ඇතැයි අපේක්ෂා කරයි. මෙය පස් වසරකට කලින් පැවති තත්ත්වයට වඩා 10 ගුනයක්‍ වැඩි වීමකි. පෝර්ට්ලන්ඞ් පුරවරය පසු ගිය වසරේ දී නිවාස නැතියවුන්ගේ යෞවන කොටස සියයට 25කින් ඉහල යනු අත්දුටුවේ ය. මෙය සියලු වයස් කන්ඩායම්වලට අදාලව සිදු වුනු සමස්ත වැඩි වීම මෙන් දෙගුනයකටත් වඩා වැඩි ය.

නිවාස නැති ජනගහනයේ තවත් වේගයෙන් වර්ධනය වන කොටසක් නම් 18 වන වියෙහි පසු වන හදා වඩා ගැනීමේ වයස් සීමාව ඉක්ම යමින් සිටින ලමයින් ය. පිව් පුන්‍යාධාර භාරය සැපයූ වාර්තාවකට අනුව 1998 සිට 2005 දක්වා කාලය අතරතුර දී ජනපදයේ රැකවරනයෙහි වයස 18 පසු කරමින් සිටි ලමයින්ගේ සංඛ්‍යාව සියයට 41කින් වැඩි විය. සෑම වසරක දී ම තරුනයෝ 20,000ක් පමන හදා වඩා ගැනීමේ වයස් සීමාව ඉක්ම යති. එනම්, වසර දෙකකින් පසුව පස් දෙනෙකුගෙන් එක් අයෙකු නිවාස නැති තත්ත්වයට පත් වනු ඇත.

යම් සමාජයක් එහි තරුනයන්ගේ තත්ත්වයෙන් මිනිය හැකි නම්, තරුන ජනයා මුහුන පා සිටින තත්ත්වය පෙන්නුම් කරන්නේ ඇමරිකානු ධනවාදයේ අත්‍යන්ත ජරපත් වීම යි. නිව් ඕර්ලියන්සය වනාහි සමස්ත ජාතියේ ම සංක්ෂේපයකි. ජනගහනයේ කුඩා ස්තරයක් අතිශය අසාමාන්‍ය ධනයක් රාශිභූත කර ගෙන ඇති තත්ත්වය තුල ජනගහනයේ අතිමහත් බහුතරය අබිමුව පවතින තතු විස්මය දනවන අනුපාතිකයකින් පිරිහෙමින් පවතී.

එක්සත් ජනපදයේ නූතන ඉතිහාසයෙහි පලමු වතාවට අද දවසේ තරුන පරම්පරාව ඔවුන්ගේ දෙමාපියන්ට වඩා දිලිඳු භාවයට පත්ව සිටිති. තරුන ජනයාට බලාපොරොත්තු වන්නට සිදුව තිබෙන්නේ කුමක් ද? ඔවුන් මුහුන පා සිටින්නේ විරැකියාවෙන් හෝ දරිද්‍රතා මට්ටමේ වැටුප්වලින් සමන්විත අගාධයට ඇද වැටුනු රැකියා තත්ත්වයකට ය. නිවාස හිමිකම යන දෙය ද අත්පත් කර ගත නොහැකි තරම් දුරක තිබෙන්නකි. විද්‍යාලයකින් හෝ විශ්ව විද්‍යාලයකින් උපාධි ලබන්නන් තමන්ට කිසි කලෙක ආපසු ගෙවිය නොහැකි ඩොලර් දහස් ගනනක සිසු නයක් කර පින්නා ගත්තවුන් බවට පත් වන්නට බෙහෙවින් ම ඉඩකඩ ඇත.

රට්ගර්ස් විශ්ව විද්‍යාලය මෑතක දී කල අධ්‍යයනයක් පෙන්වා දෙන්නේ, එන්න එන්න ම වැඩි වන ඇමරිකානුවන් සංඛ්‍යාවක් තමන් ලැබූ අත්දැකීම් පදනම් කර ගෙන මෙම රට තුල ජීවත් වන අතිමහත් බහුතර ජනතාවට "ඇමරිකානු සිහිනය”-මෙය එක්සත් ජනපද ධනවාදය උදෙසා පැවතුනු එක් ප‍්‍රධාන දෘෂ්ටිවාදාත්මක යුක්තිකරනයකි-කරා ලඟා විය නොහැකි බව විශ්වාස කිරීමට යොමු වී ඇති බව යි. "සිඳී බිඳී ගිය ඇමරිකානු සිහිනය: විරැකි කම්කරුවන්ට තම අනාගතය සම්බන්ධ පදනම, බලාපොරොත්තුව සහ විශ්වාසය අහිමි වේ” නම් අධ්‍යයනයේ දී සමීක්ෂනයට ලක් කෙරුනු ජනයාගෙන් සියයට 57ක් විශ්වාස කරන්නේ "වෙහෙස මහන්සි වී වැඩ කිරීම සාර්ථකත්වය සහතික නොකරන” බව යි.

අධ්‍යයනය 2008 සැප්තැම්බර් සහ 2009 අගෝස්තු අතරතුර කාලයේ දී යම් අවස්ථාවක විරැකිව සිටි පුද්ගලයන් 1,202 දෙනෙකු සම්මුඛ සාකච්ඡාවට ලක් කලේ ය. ආර්ථික පසුබැසීමට කලින් පැවති තත්ත්වයට තමන් මූල්‍යමය වශයෙන් යලි පත් වනු ඇතැයි විශ්වාස කරන්නේ සමීක්ෂනයට ලක් කෙරුනවුන්ගෙන් තුනෙක් එකක් පමනකි; සියයට 61ක් දෙනා "තමන් කලින් සිටි ජීවන තත්ත්වයට” ආපසු යා හැකි වෙතැයි අපේක්ෂා නො කලහ. අඩක් පමන ම කියා සිටියේ තමන් සිටින්නේ "වේගයෙන් දුප්පත් වන මූල්‍යමය තත්ත්වයක” බව යි.

වයස අවුරුදු 18-34 අතර සිටින්නන්ගෙන් සියයට 51ක් පැවසුවේ ආර්ථික පසුබැසීම තම පවුල කෙරෙහි මහත් බලපෑමක් ඇති කර තිබෙන බව යි; සියයට 41ක් තමන් දුප්පත් මූල්‍යමය තත්ත්වයක පසු වන බව පැවසුවේය.

2010 නොවැම්බරයෙහි කල රට්ගර්ස් සමීක්ෂනයේ දී සිදු වුනු වඩාත් ම මෑත සම්මුඛ සාකච්ඡා සමූහයේ දී "ගැටලු විසඳීමට ආන්ඩුව මීට වැඩි යමක් කල යුතු යැ”යි සියයට 61කට හැඟී යාම සැලකිය යුතු කරුනකි. තරුන සහ වැඩිහිටි සාමාන්‍ය ඇමරිකානුවන් අතර පොදුවේ පැතිර පවතින මෙම හැඟීම කම්කරු පන්තියට කිසිදු සහනයක් නොපිරිනමන්නා වූත් කිසිදු ආන්ඩුවේ රැකියා වැඩ සටහනක් ලබා දීම ප‍්‍රතික්ෂේප කර ඇත්තා වූත් ඔබාමා පාලනාධිකාරය නායකත්වය දෙන දේශපාලන සංස්ථාපිතයේ සමස්ත ගමන් මගට මුලුමනින් ම ප‍්‍රතිවිරුද්ධව පිහිටා සිටින්නකි.

බැංකුවලට ඇප දී බේරා ගැනීමෙන් සහ ධනවත් ම ඇමරිකානුවන් සඳහා බදු කැපීම් සලසා ගැනීමෙන් පසුව ආන්ඩුව දැන් පටි තද කිරීම කරා වඩා තීරනාත්මක ලෙස මාරු වෙමින් සිටී. ෆෙඩරල් සමාජ වැඩ සටහන්වලට දිගට හරහට පහර දෙනු ලැබේ. නිදහස් අධ්‍යාපනය ප‍්‍රහාරයට ලක් වේ. ජනපද මට්ටමේ දී, දැවැන්ත අයවැය හිඟයෝ මූලික සේවාවන්හි පෙර නුවූ විරූ කැපීම්වලට හේතු වෙමින් පවතිත්. තත්ත්වයන් වඩා උග‍්‍ර වෙමින් පවතිනවා පමනකි.

ඇමරිකාවේ තරුනයන් අතර මතු නො ව සියලු සමාජ කොටස් අතර සාමාජීය පිපිරීමක් විනා අන් යමක් ඉපදවීමට මෙම තත්ත්වයට නොහැකි ය.

කේට් රැන්ඩෝල්

the WSWS | Contact Us | Privacy Statement | Top of page