ලෝක ආර්ථිකය ගැඹුරුවන අර්බුදයකට මුහුන දෙයි

World economy faces deepening turmoil

8 January 2011

නව වසර ආරම්භ වුනේ "‍ලේමන් බ්‍රදර්ස් බැංකුව ඇද වැටීමෙන් දෑවුරුද්දකට පසු ගෝලීය ආර්ථිකය හා මුල්‍ය පද්ධතිය ප්‍රකෘතිමත් වීම කෙසේවෙතත්, ආර්ථික හා දේශපාලන අර්බුදයකට ඇද වැටීම ගැන උත්සුකයන් ප්‍රකාශයට පත් වීමෙනි. කෙටියෙන් කියතොත්, මුල්‍ය අර්බුදය වූ කලි ඉන් පසු පැමිනෙන ඉහල යාමක් සහිත වාරික පහත වැටීමක් නො ව, ආර්ථික බිඳ වැටීමේ නව යුගයක ආරම්භයක් ය යන අවබෝධය වැඩෙමින් තිබේ.

පසුගිය මාසයෙහි පල කෙරුනු විමර්ශනයක ක්ලින්ටන් පරිපාලනයේ හිටපු වානිජ්‍ය උපලේකම් හා දැන් යේල් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර වෙලඳාම හා මුල්‍යය පිලිබඳ මහාචාර්ය ජෙෆ්රි ගාර්ටන් මෙසේ ලිවී ය. "පසුගිය සියවසේ දෙවැනි භාගයේ අඛන්ඩ වර්ධනය දුරස්ථ මතකයක් බවට පත් කරමින්, 21 වැනි සියවසේ පලමු දශකය සමාප්ත වෙද්දී, ගෝලීය ආර්ථිකයෙහි අනාගතය කෙබඳු වේ ද? ඉදිරි අවුරුදු ගනනාවක් සඳහා අප දැන සිටි ගෝලීය ආර්ථික පර්යායේ හායන සමය ව්‍යාකූලව ද විනාශකාරී ව ද සමාප්ත වීමේදී අපට, සුවිශේෂී කැලඹීමක් අපේක්ෂා කල හැකි ය."

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යාඥ සයිමන් ජොන්සන් විසින් දෙසැම්බර් 30 වැනිදා නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රයෙහි පල කෙරුනු විමර්ශනයකට අනුව, "යුරෝ කලාපය පිලිබඳ වඩාත් අත්දැකීම් ඇති නිරීක්ෂකයෝ එහි දුර්වල ආන්ඩුවල අරමුදල් අවශ්‍යතා සමග ගැටගැසුනු තවත් බැරෑරුම් අර්බුදයක් 2011 මුල් භාගයෙහි අපේක්ෂා කරමින් සිටිති" යි ප්‍රකාශ කෙරුනු යුරෝපය වෙත ක්ෂනික අවධානය යොමු වන්නේ ය.

එහෙත් ජොන්සන් අනතුරු ඇඟවූ පරිදි, ව්‍යසනය අත්ලන්තික් සාගරයෙන් නවතිනු නැත. "මුල්‍ය වෙලඳපොලවල් යුරෝපය සමග ගනුදෙනුව හමාර කල පසු එක්සත් ජනපදයේ රාජ්‍ය මුල්‍ය සංචිතය උරගා බැලීමට පැමිනෙනු ඇත. ඩොලර් නිකුත් කරන්නේ අපි නිසා යුරෝපයට වඩා අප වෙනස් වන බැවින් විශේෂ වරප්‍රසාද අපට ඇතැ" යි පවසන ඇමෙරිකානු ප්‍රභූවේ විශ්වාසය තිබිය දීම, ඇමෙරිකානු ආධිපත්‍යය අවසන් ව ඇතැයි ඔහු අවධාරනය කලේ ය.

ඉදිරි මාස කිහිපය තුල යුරෝපීය මුල්‍ය අර්බුදය පැතිර යාමට ඇති ඉඩකඩ ෆයිනැන්ෂල් ටයිම්ස් පත්‍රය පෙන්වා දුනි. "පසුගිය වසර යුරෝපයට නය අර්බුදය ගෙන ආවේ ය, ග්‍රීසියට හා අයර්ලන්තයට ඇප දීමට සිදු වූ අතර පෘතුගාලය හා ස්පාඤ්ඤයට ඉහලින් ද විශාල ප්‍රශ්නාර්ථ ලකුනක් රැඳී පවතී. එහෙත් දැන් අවධානය තවත් පුලුල් වීමට ඉඩ ඇත. 2001 සඳහා ප්‍රශ්නය වන්නේ බටහිර ලෝකයෙන් කොපමන කොටසක් ඊට හසු වනු ඇති ද යන්න යි." එය ජනවාරි 3 වැනි දා සඳහන් කලේ ය.

ෆයිනෑන්ෂල් ටයිම්ස් විමර්ශනය ප්‍රධාන එක්සත් ජනපද ආයෝජන බැංකුවක් විසින් සිය විශාලතම ආයතනික ආයෝජකයින් පිලිබඳව පවත්වනු ලැබූ සමීක්ෂනයක් උපුටා දක්වන අතර, ඔවුන්ගෙන් යුරෝපයේ නය අර්බුදය එක්සත් ජනපදය වෙත ලඟා වනු ඇත්තේ කවදාදැයි අසනු ලැබීය. කිසි දාක නැත, යනුවෙන් පිලිතුරු දුන්නේ සියයට 10 ටත් අඩු සංඛ්‍යාවකි.

යුරෝපය හා එක්සත් ජනපදය තුල ආර්ථික හා මුල්‍ය ගැටලු ගැඹුරු වෙද්දී තව මත් වැඩෙමින් පවතින චීන ආර්ථිකය ගෝලීය ආර්ථික ප්‍රසාරනයකට පදනම සැපයීම ‍කෙසේ වෙතත්, තෙමේ ම නව ජාත්‍යන්තර කැලඹීම් රැල්ලක මූලාශ්‍රය බවට පත් විය හැකි ය.

ඉහල යන උද්ධමනය පොලී අනුපාත ඉහල දැමීමට අධිකාරීන් පෙලඹවූ අතර, එම වර්ධනය වේගවත් වැඩි වුවොත් එය පසුගිය වසර දෙක තිස්සේ චීන ආර්ථිකයේ වර්ධනය තුල කේන්ද්‍රීය භූමිකාවක් රඟදැක්වූ ආයෝජන හා නිශ්චල දේපොල බුබුල බිඳ වැටීමකට තුඩුදෙයි ද යන්න ගැන උත්සුකයන් දැල්වෙමින් තිබේ.

බෙයිජිං විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මයිකල් පෙටිස්ට අනුව, "නය මට්ටම් කරදරකාරී ලෙස ඉහල ගොස් ඇති අතර යලි සමබර කිරීමේ ක්‍රියාවලියට බැරෑරුම් බාධකයක් ‍‍‍ලෙස එය ක්‍රියාත්මක වීමට පටන්ගෙන තිබේ. ආන්ඩුවට සම්බන්ධ ව්‍යවසායන්හි විශාල ප්‍රමානයක මුල්‍ය ආපදා ජනනය නොකර පොලී අනුපාතිකය ඉහල නැංවීම චීන මහජන බැංකුවට එන්ට එන්ට ම දුෂ්කර වෙමින් පවතී."

ගෝලීය මුල්‍ය අර්බුදය මගින් වඩාත් උග්‍ර කෙරෙන, චීන ආර්ථිකය තුල ගැඹුරු වෙමින් පවතින ගැටලු" දීර්ඝ කාලීන ක්‍රියාවලීන් තුල මුල්බැසගෙන තිබේ. චයිනා ඩේලි පුවත්පතේ දෙසැම්බර් 23 දා පල වූ චීන මහජන බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්ති කමිටුවේ හිටපු සාමාජික යූ යොංඩිං විසින් කෙරුනු විවරනයකට අනුව, පසුගිය දශක තුන තුල චීනයේ ප්‍රගතිය මත පදනම් වෙමින් සැකසුනු "නැගෙනහිර ආසියානු වර්ධන රටාව" දැන් එහි විභවය අවසන් වූ තරමට පිටාර ගොස් තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් චීනය, තීරනාත්මක සන්ධිස්ථානයකට පැමින ඇති අතර, වේදනාකර ව්‍යුහාත්මක සීරුමාරු කිරීම් නොකෙරුනහොත් එහි වර්ධනයේ ශක්තිය අහිමි වනු ඇත.

එක්සත් ජනපදයේ ක්‍රියාමාර්ග උත්සන්න වෙමින් පවතින ලෝක ආර්ථිකයේ අර්බුදයට ඉන්ධන සපයයි'

පශ්චාත් යුද කාලපරිච්ඡේදයෙන් වැඩි කොටසක දී එක්සත් ජනපදය ලෝක ධනේශ්වර ආර්ථිකයේ නැංගුරම හැටියට ක්‍රියාත්මක විය. අද එය ගොඩගැසෙමින් පවතින සිය ආර්ථික ගැටලු ස්වකීය ප්‍රතිවාදීන්ගේ වියදමින් ජයගැනීමට ප්‍රයත්න දරන කල්හි අස්ථායීකරනයේ ප්‍රධාන මූලාශ්‍රවලින් එකක් බවට පත්ව තිබේ.

බිලියන ගනන් ඩොලර් ගෝලීය ආර්ථික පද්ධතියට පොම්ප කරන -බාල මුල්‍ය උපයෝජ්‍යතාව ඉහල දමමින් එක්සත් ජනපද ඩොලරයේ අගය පහලට තල්ලු කරන - එක්සත් ජනපද මහ බැංකුවේ ඊනියා "ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ" පිලිවෙත ලෝක ආර්ථිකය හරහා කම්පන තරංග නිකුත් කරයි.

මෙහි ආසන්නතම ප්‍රතිඵලයක් ව ඇත්තේ ආහාර හා තෙල් වැනි වෙනත් මූලික පාරිභෝගික භාන්ඩ පිලිබඳව ඇතිවී තිබෙන අලුත් සමපේක්ෂනයයි. මේ සතිය තුල එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ආහාර මිල ගනන් දැන් 2007-2008 මිල ඉහල යාමේ මට්ටම් පසු කරමින්නැගී ඇති බවට අනතුරු ඇඟවීය.

ප්‍රමානාත්මක ලිහිල් කරනය මගින් අවුලුවාලනු ලැබූ දහනශීලී මුදල් ගලා ඒමට මුහුන දෙන රටවල් ගනනාවක්" නව මුල්‍ය පාලනයන් ක්‍රියාත්මක කිරීම කරා යොමු ව තිබේ. බ්‍රසීලය මුල්‍ය ගලා ඒම පාලනය කිරීම සඳහා නව බැංකු රෙගුලාසි නිවේදනය කර ඇති අතර චිලී අධිකාරීන් පෙසෝ අගය පාලනයේ තබාගැනීම සඳහා මුදල් වෙලඳපොලට මැදිහත් ව සිටී.

ලෝක ආර්ථිකයේ ගැඹුරු වන බෙදීම් පෙන්වා දෙමින් නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥ ජෝසෆ් ස්ටිග්ලිස්ට් සඳහන් කලේ: "2009 ආර්ථික අර්බුදයට ප්‍රධාන බලවතුන් විසින් දක්වනු ලැබූ සම්බන්ධීකෘත ප්‍රතිපත්තිමය ප්‍රතිචාරය දැන් වියැකුනු මතකයක් පමනක්" වන බවයි.

"නරකම" තත්වය වන්නේ "ඇමෙරිකානු ප්‍රමානාත්මක ලිහිල් කිරීම දැන් මහා අවපාතය සලකුනු කෙරුනු පිලිවෙත් යාවත් කිරීමක් ලෙස දැකගැනීම" බව ඔහු වැඩිදුරටත් සඳහන් කලේය. "ආනයන අධෛර්යමත් කරමින්අපනයන දිරිමත් කිරීමේ, අනෙකාගේ වියදමින් තමන් නැගී සිටින, අසල්වැසියා හිඟමනට දමන ප්‍රතිපත්ති තුල 1930 ගනන්වල අසාර්ථක විය.මක්නිසාද යත්,ඒ පිලිවෙත හැමෝම අනුගමනය කිරීමට පටන් ගැනීම නිසාය. අද දිනයේ ද එසේම සිදු වනු ඇත.

ප්‍රතිවාදී ආර්ථික කඳවුරු මාලාවක් තුලට ලෝකය බෙදනු ලැබූ 1930 ගනන් වල තීරු බදු තාප්ප, දශකයේ අවසන් භාගයෙහි යුද්ධ පුපුරා යාමට තුඩු දුන්නේ ය.ඒ ආකාරයටම දැන් ලෝක වෙලඳපොල කැබලි කිරීමට තර්ජනය කරන මූල්‍ය යුද්ධ හට ගනිමින් තිබේ.

ප්‍රධාන බලවතුන් අතර වර්ධනය වන ආතතීන් කම්කරු පන්තියේ සමාජ තත්වය මතට එල්ල කරන එන්ට එන්ටම රුදුරු වන ප්‍රහාරයක් සමග බැඳීතිබේ. බ්‍රිතාන්‍යය, ග්‍රීසිය, ස්පාඤ්ඤය හා ප්‍රන්සයේ ආන්ඩු ශිෂ්‍යයින්, තරුනයින්, හා කම්කරුවන්ට එරෙහි ව රාජ්‍ය ප්‍රචන්ඩත්වය මුදා හැරීම වනාහි ලාභ පද්ධතියේ ඓතිහාසික බංකොලොත්කම වෙනුවෙන් කම්කරු පන්තිය ලවා වන්දි ගෙවීමට සලස්වනු වස් සෑම තැනක ම පාලක පන්තිය ප්‍රයත්න දරන කල්හි එලඹෙන තත්වයේ පෙරනිමිත්තක් පමනි.

ධනේශ්වර පර්යායේ බිඳ වැටීම දේශ සීමා හා මහාද්වීප හරහා පෙරට යද්දී, කම්කරු පන්තිය ද ඊට තමන්ගේ ම ගෝලීය ප්‍රතිචාරය වර්ධනය කරගත යුතු වෙයි. ඉදිරියට පවතින කර්තව්‍යය වන්නේ දේශපාලන බලය අතට ගෙන කම්කරු ආන්ඩු පිහිටුවමින් ප්‍රධාන ආර්ථික හා මුල්‍ය ප්‍රභවයන් මහජන පාලනය තුල පවත්වාගනිමින් සමාජ අවශ්‍යතා ඉටු කිරීම සඳහා ආර්ථිකය ප්‍රතිසංවිධානය කරන්නා වූ ජාත්‍යන්තර කම්කරු පන්තික ව්‍යාපාරය ගොඩනැංවීමයි' එය හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ඉදිරිදර්ශනයයි.

නික් බීම්ස්

the WSWS | Contact Us | Privacy Statement | Top of page