එක්සත් ජනපදය, ඊජිප්තුව සහ සමාජවාදී විප්ලවය සඳහා අරගලය

The United States, Egypt and the fight for socialist revolution

29 January 2011

සිකුරාදා ඊජිප්තුව පුරා හටගත් කම්කරුවන්ගේ හා තරුනයන්ගේ දැවැන්ත විරෝධතා පෙලපාලි එක්සත් ජනපද පිටුබලය ලබන ආඥාදායක හොස්නි මුබාරක්ගේ තන්ත‍්‍රය සොලවාලීය. ලක්ෂ සංඛ්‍යාත ජනයා, මහජන විරැකියාව හා දරිද්‍රතාව හෙලාදකිමින්, පොලීසිය සමග ගැටෙමින් හා පාලක ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ මූලස්ථානය ගිනිබත් කරමින්, ජනාධිපති ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටීම පිනිස වීදි බටහ.

මෙම විරෝධතා ඇවිලී ගියේ, එවන් පෙලපාලි තවත් එක්සත් ජනපද පිටුබලය ලබන ආඥාදායකයකු වූ ටියුනීසියාවේ සයින් එල් අබිදීන් බෙන් අලිට රටින් පලායාමට බල කොට යන්තම් සති දෙකක් ඉක්ම යන විටය. යේමනය, ජෝර්දානය හා ඇල්ජීරියාව ඇතුලු, කලාපයේ සෙසු රටවල ද සැලකිය යුතු විරෝධතා පෙලපාලි පැතිර ගොස් තිබේ.

සෑම විප්ලවවාදී නැගිටීමක් මෙන් ම, ඊජිප්තුවේ වර්ධනයෝ ද, ලොව වටා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා සහයෝගය දෙන බවට ඇමරිකානු පාලක ප‍්‍රභූව කරන මවාපෑම් ඇතුලු, පරන මිථ්‍යා කතා හා බොරු බේගල් අතුගා දැමීමට ඉවහල් වෙති. මැද පෙරදිග හා උතුරු අපි‍්‍රකාව පුරා ප‍්‍රතිගාමිත්වයේ කඩ ඇනය ලෙස එක්සත් ජනපද ආන්ඩුව ඉටු කරන කි‍්‍රයාකලාපය මෙම සිද්ධීන් මගින් එලිදරව් කෙරේ.

මෙම උද්ඝෝෂන ව්‍යාපාරයේ ආරම්භයේ පටන් ම, ඔබාමා පාලනාධිකාරය, එක්සත් ජනපදයේ තීරනාත්මක සගයකු වන මුබාරක් සහ ඊජිප්තු තන්ත‍්‍රය කෙරෙහි සිය සහයෝගය පැහැදිලි කර තිබේ.

ජනාධිපති ඔබාමා සිකුරාදා හැන්දෑවේ කල ප‍්‍රකාශය කැපකලේ දැවැන්ත මහජන කැරැල්ලක් හමුවේ මුබාරක් ආරක්ෂා කරනු පිනිසය. මුබාරක්ගේ පොලීසිය අඩු ගනනේ මිනිසුන් දුසිමක් ඝාතනය කල, තවත් සිය ගනනකට තුවාල සිදු කල සහ විරෝධතා දැක්වූවන් අප‍්‍රකාශිත සංඛ්‍යාවක් අත් අඩංගුවට ගත් දිනයකම, ඔබාමා නරුම ලෙස ප‍්‍රකාශ කලේ, එක්සත් ජනපදය "සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව මොන යම් හෝ ප‍්‍රචන්ඩත්වයක් යොදාගැනීමෙන් වලකින ලෙස ඊජිප්තු බලධාරින්ගෙන් ඉල්ලා සිටින” බවයි.

ඔබාමා කතා කලේ අහිංසක නිරීක්ෂකයකු මෙනි. එහෙත්, මහජනතාව මර්දනය කරනු පිනිස ඊජිප්තු ආන්ඩුව යොදාගන්නා බැටන් පොලු, තුවක්කු, කඳුලු ගෑස් කොපු, ජල විදිනයන් හා යුද ටැංකි යන සියල්ලම, "ඇමරිකා එක්සත් ජනපදයේ දී නිපදවන ලදි” යන මුද්‍රාව, සමහර අවස්ථාවන්හි දී වචනාර්ථයෙන් ම, දරා සිටී. එක්සත් ජනපදය, ඊජිප්තුවේ මර්දන යාන්ත‍්‍රනය සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත් වෙනුවෙන් වසරකට ඩොලර් බිලියන 1.5ක් එරටට සපයන්නේ, එය ඊස්රායලයෙන් පසුව දෙවන විශාලතම එක්සත් ජනපද ආධාර ලබන රට බවට පත් කරමිනි.

මානව හිමිකම්වලට ගරු කිරීම පිලිබඳව ඔබාමා මුබාරක්ට දේශනා පැවැත්වූයේ, මුබාරක් සිය දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව වධබන්ධන හා ඝාතන යොදා ගත් බව ඔබාමාගේ පාලනාධිකාරය දැන සිටි බවත් ඒවාට සහාය වූ බවත් පෙන්වන එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු කේබල් පනිවිඩ විකිලීක්ස් වෙබ් අඩවිය විසින් පල කරනු ලැබූ දිනයේ දී ම ය.

"වීදිවල විරෝධතා දක්වන අයට තමන්ව සාමකාමී ලෙස ප‍්‍රකාශයට පත් කර ගැනීමෙහි වගකීමක් ඇත” යනුවෙන් සෙසු එක්සත් ජනපද නිලධාරින් ප‍්‍රකාශ කල ආස්ථානය ම ඔබාමා පුනරුච්චාරනය කලේ, මුබාරක් විසින් මුදා හරින ලද රාජ්‍ය ප‍්‍රචන්ඩත්වය සහ තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කම්කරුවන් හා තරුනයන් ගන්නා ප‍්‍රයත්නයන් අතර මොන යම් හෝ සැසඳීමක් කල හැකිවාක් මෙනි.

ඔබාමාගේ ප‍්‍රකාශයේ ප‍්‍රධාන එල්ලය වූයේ, සිය පාලනාධිකාරයේ පිටුබලය මුබාරක්ට දිගටම ලැබෙන බව පැහැදිලි කිරීමයි. ඔබාමා මෙම ප‍්‍රකාශය කලේ, ඊජිප්තු ජනාධිපති රූපවාහිනියේ පෙනී සිට තමන් ඉල්ලා අස් නොවන බව පවසා "අවුල්වියවුල්වලට” එරෙහිව "ආරක්ෂාව” පැනවීමට තමන් කි‍්‍රයා කරන බවට අනතුරු ඇඟවීමෙන් මඳ වේලාවකට පසුවය. නව ඇමති මන්ඩලයක් පත් කරන බවට මුබාරක් කල නිවේදනය ද ප‍්‍රජාතන්ත‍්‍ර ප‍්‍රතිසංස්කරන සිදු කරන බවට හා ආර්ථික අවස්ථා පුලුල් කරන බවට ඔහු දුන් හිස් පොරොන්දු ද මහජන කෝපය තව දුරටත් නැංවීමට තුඩු දුන්නේ, මිලිටරිය විසින් පනවන ලද ඇඳිරි නීතිය නොතකා තවතවත් ජනයා වීදිවලට ඇදී ඒමට දිරිගන්වමිනි.

ඊජිප්තුවේ සිද්ධීන් පිලිබඳව එක්සත් ජනපදය දරන සෑබෑ ආකල්පය ඔබාමාගේ ප‍්‍රකාශය තුල එලිදරව් විය: "එක්සත් ජනපදයට ඊජිප්තුව සමග සමීප හවුල්කාරිත්වයක් පවතී. අපි බොහෝ කාරනා සම්බන්ධයෙන් එකිනෙකා සමග සහයෝගීව වැඩ කර තිබේ.”

වෙනත් වචනවලින් කියතොත්, සිය ජනතාවගේ අවඥාවට ලක්ව ඇති ඊජිප්තු ආන්ඩුව, එක්සත් ජනපදය දකින්නේ ප‍්‍රධාන මූලෝපායික සගයකු ලෙසය. අන්තර්ජාල සේවාවන් වසා දැමීමටත් විශේෂ මෙහෙයුම් බලකායන් යෙදවීමටත් මුබාරක් කි‍්‍රයාත්මක වන තතු යටතේ, ජනාධිපති "කලාපය තුල (එක්සත් ජනපද) භූ-දේශපාලනික අවශ්‍යතාවන්ට සම්බන්ධිතව . . . බෙහෙවින් වගකිව ආකාරයෙන් කි‍්‍රයාකර ඇත” යනුවෙන් බ‍්‍රහස්පතින්දා උප ජනාධිපති ජෝශප් බි‍ඩන් පැවසූ අදහස් ඉහත ප‍්‍රකාශ මගින් ප‍්‍රතිරාවය කෙරේ.

"භූ-දේශපාලනික අවශ්‍යතා” යන්නෙන් පාලනාධිකාරය අදහස් කරන්නේ, කලාපයේ අති මහත් තෙල් හා ගෑස් සංචිත ඇතුලු, මැද පෙරදිග හා උතුරු අපි‍්‍රකාව මත්තෙහි සිය ආධිපත්‍යය පවත්වාගෙන යාමෙහි එක්සත් ජනපදයට ඇති අධිෂ්ඨානයයි. මිලිටරි ආධාර හා පුහුනුව සැපයීම මගින්, එක්සත් ජනපදය, ඊජිප්තුවේ සිට සවුදි අරාබියේ හා සෙසු තෙල් නිපදවන ගල්ෆ් රාජ්‍යයන්හි මුස්ලිම් පාලන තන්ත‍්‍රයන් දක්වා දූෂිත හා ආඥාදායක තන්ත‍්‍රයන්ට මුක්කු බලය සපයා ඇත.

සිය අවශ්‍යතාවන්ට විභව අභියෝගයක් මතු කරන ඕනෑම ආන්ඩුවකට වල කැපීමට, අවෘත හා විවෘත මිලිටරි මෙහෙයුම් හරහා, එක්සත් ජනපදය ක‍්‍රමානුකූලව වැඩ කර තිබේ. පසුගිය දස වසර තුල පමනක්, එක්සත් ජනපදය ඇෆ්ඝනිස්ථානයේ හා ඉරාකයේ ලේවැකි විජිතවාදී යුද්ධ දියත් කර ඇත.

ඊජිප්තුව එක්සත් ජනපද ආධිපත්‍යය පවත්වාගෙන යාමෙහි ලා තීරනාත්මක කි‍්‍රයාකලාපයක් -- විශේෂයෙන් ම මුබාරක්ගේ පුර්වප‍්‍රාප්තිකයා වූ අන්වර් සදාත්, 1978 දී ඊස්රායලය සමග කෑම්ප් ඩේවිඩ් ගිවිසුම් අත්සන් කල අවස්ථාවේ පටන් -- ඉෂ්ඨ කර තිබේ. 1979 දී, ඉරානයේ ෂා තන්ත‍්‍රයේ ඇද වැටීමත් සමග, එක්සත් ජනපදයට කලාපයේ ප‍්‍රධාන සගයකු අහිමි විය. එවක පටන්, ඊජිප්තු මිලිටරි හා රහස් ඔත්තු සේවා යාන්ත‍්‍රනය, කලාපය පුරා මහජනතාවන් මැඩීමෙහි ලා එක්සත් ජනපදය හා ඊස්රායලය යන දෙරට සමගම සමීපව වැඩ කර තිබේ.

ඊජිප්තුවේ සිද්ධීන් සම්බන්ධයෙන් ඇමරිකානු ආන්ඩුව දක්වන සමස්ත ප‍්‍රවිෂ්ටය ම මෙහෙයවෙන්නේ, කලාපයේ පන්ති අරගලයේ පුනර්ජීවනය සිය භූ-මූලෝපායික අවශ්‍යතාවන්ට මූලික පහරක් එල්ල කරනු ඇති බවට එයට පවත්නා දැවැන්ත භීතිය මගිනි.

මිලිටරිය මගින් නැතහොත් ඒ හෝ මේ "විරුද්ධ පාර්ශ්වික” නායකයකු මගින් ඔහුව සෘජුවම විස්ථාපනය කිරීමෙන්, මුබාරක් නොමැතිව තමන්ට කටයුතු කල හැකි ද යන්න ඔබාමා පාලනාධිකාරය සැලකිල්ලට භාජනය කිරීමට ඉඩ ඇති අතර ම, ටියුනීසියාවේ බෙන් අලිගේ පලා යාමට පසුව පැමිනෙන, මුබාරක්ගේ ඇද වැටීමක් සමස්ත කලාපය පුරා පැතිර යා හැකි මහජන කැරලි රැල්ලක් අවුලුවාලීමේ තර්ජනය මතු කරන බව ද එය දනී.

මැද පෙරදිග හා මාග්‍රෙබ් කලාපයේ කම්කරුවන් අතිමහත් ධෛර්යයක් හා වීරත්වයක් පෙන්නුම් කර ඇත. කෙසේවෙතත්, අරගලය තවමත් පවතින්නේ එහි ප‍්‍රාරම්භක අවධියේය. කම්කරු පන්තිය මුහුන දෙන තීරනාත්මක ප‍්‍රශ්නය නව විප්ලවවාදී නායකත්වයක් හා කි‍්‍රයාමාර්ගයක් වර්ධනය කරගැනීමයි. එය නැති කල, කලාපයේ පාලක ප‍්‍රභූව, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමග සන්ධානගතව, එක්කෝ පවතින ආඥාදායක තන්ත‍්‍රයන් පවත්වා ගෙන යාමට නැතිනම් පවත්නා දේශපාලන පර්යාය ආරක්ෂා කිරීමට ඊට සමානව ම කැප වන නව ආන්ඩු පැටවීම පිනිස යලි රැලි වනු ඇත.

අරගලය ඉදිරියට ගෙන යනු පිනිස, සමහර මූලික කාරනා පැහැදිලි කරගත යුතුය. පලමු වැන්න නම්, මුස්ලිම් සහෝදරත්වය සහ විරෝධතා පාලනය කරගත නොහැකි මට්ටමට පත්වීම වලකාගැනීමේ අභිප‍්‍රාය ප‍්‍රකාශ කරමින් ඊජිප්තුවට මෑත දී පෙරලා පැමිනි මොහොමඩ් එල්බරාඩෙයි ඇතුලු, විපාර්ශ්වික කන්ඩායම් කිසිවක් පිලිබඳ මොන යම් හෝ විශ්වාසයක් තැබිය නොහැකිය යන්නයි. රාජ්‍යය විසින් පාලනය කෙරෙන කුනු වුනු වෘත්තීය සමිති මෙන්ම, මෙම බලවේග සියල්ලම, ඊජිප්තු ධනවාදයත් අධිරාජ්‍යවාදය සමග එයට පවතින සබඳතාවත් ආරක්ෂා කිරීමට මුලුමනින්ම කැප වී සිටිති.

දෙවන කාරනාව නම්, අරගලය පුලුල් කිරීම, කලාපයේ සියලු පීඩිත මහජනතාව තමන් පිටුපස මෙහෙයවාගනිමින්, සමස්ත කම්කරු පන්තිය ස්වාධීනව බලමුලුගැන්වීමක් ඉල්ලා සිටී. ආරම්භක නැගිටීම්වල රූපාකාරය දැනටමත් පෙන්නුම් කර ඇත්තේ, සෑම රටකම අතිමූලික සමාජමය බෙදීම වන්නේ, ආගම, ජාතිකත්වය, වර්ගය හෝ ජනවාර්ගිකත්වය නොව පන්තිය බවයි.

සංයමය නිර්දේශ කරන සහ පවත්නා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී සමාජ හා දේශපාලන ව්‍යුහය තුල යම් සම්මුතියක් සඳහා උත්සාහ කරන අය ද එක්සත් ජනපද හා ලෝක අධිරාජ්‍යවාදයට ආයාචනා කරන අය ද යන සියල්ලන් ම ප‍්‍රතික්ෂේප කිරීම අවශ්‍ය ය. ඉලක්කය විය යුත්තේ, පවත්නා රාජ්‍යය, මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නව ආයතන මගින් පාලනය වන, කම්කරුවන්ගේ ආන්ඩුවකින් විස්ථාපනය කිරීමයි. එවන් ආන්ඩුවක්, සියලු ප‍්‍රධාන සංගත හා බැංකු ජනසතු කිරීම ඇතුලු, සමාජවාදී පියවර කි‍්‍රයාවට දැමීම සඳහා පදනම වනු ඇත.

අවසාන වසයෙන්, ඊජිප්තු කම්කරුවන්ගේ අරගලය කලාපය පුරා හා ජාත්‍යන්තරව කම්කරුවන්ගේ අරගල සමග දැනුවත්ව බද්ධ කල යුතුය. සිය නොනවතින විප්ලව න්‍යාය තුල ට්‍රොට්ස්කි පැහැදිලි කල පරිදි, ජාතික රාජ්‍ය පද්ධතියේ රාමුව හා ජාතික ධනේශ්වරයේ පාලනය තුල, ආඥාදායකත්වය අවසන් කිරීම ඇතුලු, අතිමූලික ප‍්‍රජාතන්ත‍්‍ර ඉල්ලීම්වලට පවා විසඳුමක් සොයා ගත නොහැකිය. පසුගිය සියවස තුල ඊජිප්තුව ඇතුලු මැද පෙරදිග පුරා බොහෝ මහජන ව්‍යාපාරවල කඩාවැටීමට හේතුව, බොහෝ සෙයින් ස්ටැලින්වාදී සංවිධානවල පාවාදීම හරහා, ඒවා ජාතික ධනේශ්වරයට යටත් කිරීමයි.

මෙම විරෝධතා ව්‍යාපාර පැනනැගීමට තුඩු දුන් සමාජ කොන්දේසි විශ්වව්‍යාපී ය: එනම්, මහජන විරැකියාව හා දරිද්‍රතාව අරබයා පවතින සමුච්චිත වෛරය, පටු පාලක ප‍්‍රභූවක දූෂනය හා අශික්කිත ලෙස ධනය පොදි ගසා ගැනීම පිලිබඳ පිලිකුල සහ සමස්තයක් ලෙස ජනතාවගේ මූලික අවශ්‍යතාවන්ට ප‍්‍රතිචාර නොදක්වන මර්දනකාරී දේශපාලන පද්ධතියකට එරෙහිව කැකෑරෙන වෛරය යනාදියයි. මෙම කොන්දේසි මැද පෙරදිග හා පැරනි විජිත රටවල පමනක් නොව ප‍්‍රධාන ධනපති රටවල ද දක්නට ලැබේ.

සෑම රටකම ධනේශ්වරය -- ප‍්‍රථමවත් ප‍්‍රමුඛවත් එක්සත් ජනපදයේ ධනේශ්වරය -- ධනවාදයේ ගෝලීය කඩාවැටීමට ප‍්‍රතිචාර දක්වන්නේ "ස්වකීය” කම්කරු පන්තියට ක්ෂමාවිරහිත ලෙස ප‍්‍රහාර එල්ල කිරීම මගිනි. මෙයින් අදහස් කෙරෙන්නේ, පැරනි විජිත රටවලට කම්කරුවන් හා පීඩිත ජනතාව අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානවල ඔවුන්ගේ පන්ති සහෝදරයන් සමග ඒකාබද්ධ කරනු පිනිස පෙර නොවූ විරූ වෛෂයික කොන්දේසි පවතින බවයි.

මුබාරක් ආන්ඩුවට රුකුල් දීමෙහිලා එක්සත් ජනපදයේ කි‍්‍රයාකලාපය අවධාරනය කරන්නේ, ඊජිප්තු ජනතාවගේ අරගලවල යම් සාර්ථක සමාප්තියක් අධිරාජ්‍යවාදය ම පරාජය කිරීමෙන් තොරව සාක්ෂාත් කරගත නොහැකිය යන සත්‍යයයි. මෙම කර්තව්‍යයේ දී ඊජිප්තු ජනතාවගේ ශ්‍රේෂ්ඨතම සගයා වන්නේ ඇමරිකානු කම්කරු පන්තියයි.

දශක ගනනාවක් තිස්සේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආධාරක කුලුනුවල ශක්‍යතාව ප‍්‍රශ්නයට බඳුන් කරමින්, මහජන කැරලි වර්ධනය වී ඇති වේගය, ලොව පුරා සමාජ හා පන්ති ආතතීන්හි පවතින පුපුරන සුලු මට්ටම පිලිබඳ සාක්ෂි දරයි. 2008 දී පැන නැගි ලෝක ධනවාදයේ අර්බුදය තව දුරටත් ගැඹුරු වන අතර 2011 විප්ලවවාදී නැගිටීම්වල නව කාල පරිච්ඡේදයක් ගෙන එනු ඇති බව දැනටමත් පැහැදිලිය.

මෙම අරගල ඉදිරියට ගෙන යනු පිනිස, විසිවන සියවසේ පාඩම් සහ ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනය, එනම් හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින්ම පමනක් අද දින ආරක්ෂා කරනු ලබන ඉදිරිදර්ශනය, තුල දැනුවත්ව මුල්බැස ගත් නව නායකත්වයක් ගොඩනැගිය යුතුය. ඊජිප්තුවේ, ටියුනීසියාවේ හා කලාපය පුරා ආඥාදායක්තවය, විරැකියාව හා සූරාකෑම අවසන් කිරීමට බලාපොරොත්තු වන සියල්ලන්ගෙන් අප ඉල්ලා සිටින්නේ, අද හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවන් ගොඩනැගීමේ අරගලය සියතට ගන්නා ලෙසයි.

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්තෘ මන්ඩලය