ස්ට‍්‍රාවුස් ඛාන් පලහිලව්වේ දේශපාලන පාඩම්

Political lessons of the Strauss-Kahn affair

By Patrick Martin, 4 July 2011

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) හිටපු කලමනාකරන අධ්‍යක්ෂ ඩොමිනික් ස්ට‍්‍රාවුස් ඛාන් පිලිබඳ දූෂන චෝදනාවලිය එක රැයකින් අපකීර්තියට පත්වීම වනාහි හදිසියේම හා අනපේක්ෂිත ලෙස දේශපාලන ජීවිතයේ ස්වභාවය නිරාවරනය කල සිදුවීමකි. සමකාලීන දේශපාලන ක‍්‍රියාවලිය ද මහජන මතය හැඩ ගැස්වීම පිනිස යොදාගන්නා මාධ්‍ය උප්පරවැට්ටි හා ප‍්‍රකෝපකරනය ද, විශේෂයෙන්ම එක්සත් ජනපදය තුල දී ඒවා යොදාගන්නා ආකාරය පිලිබඳව බොහෝ දේ, ඉන් කියැවෙයි.

මෑන්හැටන්හි සොෆිටෙල් හෝටලයේ සිය කාමරය තුලදී ස්ට‍්‍රාවුස් ඛාන් හෝටල් සේවිකාවකට අතවර කලේය යන චෝදනාව කවදා හෝ ජූරි සභාවක් ඉදිරියේ තබනවා ද යන්න දැන් විවෘත ප‍්‍රශ්නයක් බවට පත්ව තිබේ. පැමිනිලිකාර සාක්ෂිකාරියට සිදුවී යැයි කියන අතවරය අලලාගත් සිදුවීම් පිලිබඳව ඇය ගරු ජූරි සභාවට බොරුකල බවත් අතීතයේ තවත් දූෂන චෝදනාවක් පිලිබඳව බොරු කියා ඇති බව හා මත්ද්‍රව්‍ය වාහකයෙක් වූ දැනට සිරගතව සිටින ඇගේ පෙම්වතා සමග මෙම සිද්ධියෙන් ලැබිය හැකි මූල්‍ය වාසි පිලිබඳව සාකච්ඡා කල බවත් පැමිනිලි පාර්ශවය ප‍්‍රසිද්ධියේ පිලිගැනීමෙන් පසුව ඇගේ විශ්වාසනීයත්වය මුලුමනින්ම කෙලෙසී ඇත.

ස්ට‍්‍රාවුස් ඛාන් අත්අඩංගුවට ගත් තැන් පටන් නිව් යෝර්ක් නගරය තුල සිදුවෙමින් පැවති ක‍්‍රියාවලිය ම ප‍්‍රශ්නයට බඳුන්වීමට හේතු තිබුනි. අත්අඩංගුවට ගැනීමත් සමග අත්වැල් බැඳගෙන ස්ට‍්‍රාවුස් ඛාන් වරදකරු බව ප‍්‍රකාශ කරන උන්මාදනීය මාධ්‍ය උද්ඝෝෂනයේ පෙරමුන ගනිමින් නිව් යෝර්ක් ටයිම්ස් පත‍්‍රය අත්අඩංගුවට ගත් පුද්ගලයා "පිස්සු, කාමුක, හම රැලි වැටුනු සල්ලාලයෙක්” ලෙස විස්තර කල මොරීන් ඩාවුඩ් නම් අයගේ තීරු ලිපියක් එහි පල කලාය. සාක්ෂි පිලිබඳ කිසිදු බැරෑරුම් පරීක්ෂනයක් නොපවත්වා ම නිව් යෝර්ක් දිස්ත‍්‍රික් නීතිපති කාර්යාලය චෝදනා පත‍්‍රයක් ලබාගැනීමට තදියම් විය.

ජාමූඅ විධායක අධ්‍යක්ෂ ලෙස ලෝක ධනවාදයේ අතිශයින්ම තීරනාත්මක තනතුරක් දැරූ ස්ට‍්‍රාවුස් ඛාන් එම තත්වය නිසා ම එක්සත් ජනපදයේ ආර්ථික ප‍්‍රතිපත්ති සමග ගැටුමකට පැටලැවුනි. වසර අග වන විට ඔහු ප‍්‍රන්ස සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස පත්වනු ඇතැයි අපේක්ෂා කල අතර බලයේ සිටින දක්ෂිනාංශික ජනාධිපති නිකොලායි සාකෝසි පරාජය කිරීමට සුදුසුම පුද්ගලයා වශයෙන් සැලකුනි. අත්අඩංගුවට ගැනීමෙන් දින පහක් ගතවීමටත් මත්තෙන් එක්සත් ජනපදයේ දැඩි පීඩනය හමුවේ ඔහුට ජාමූඅරමුදලෙන් ඉල්ලා අස්වීමට සිදුවූ අතර එම තනතුර ඔහුගේ ඇමරිකානු නියෝජ්‍ය අධ්‍යක්ෂ විසින් පුරවනු ලැබුනි.

මෑත වසරවල දී ඉහල තැනක වැජඹුනු තැනැත්තෙක් හදිසියේම භයංකර ලිංගික සෝලියක හරි මැදට පැමිනි ප‍්‍රථම අවස්ථාව මෙය නොවේ. ඇමරිකානු හා ලෝක දේශපාලන ගමන් මාවතේදී පොදුවේ දක්ෂිනාංශික ස්වභාවයකින් යුත් ගනුදෙනු බේරාගැනීමේ හෝ නිශ්චිත ප‍්‍රගාමකයක් සැපයීමේ දේශපාලන අරමුනු සඳහා එවන් චෝදනා නැවත නැවතත් යොදාගෙන තිබෙන අවස්ථා විරල නොවේ.

ජනාධිපති බිල් ක්ලින්ටන් දෝෂාභියෝගයට ලක් කිරීමේ දී අන්ත දක්ෂිනාංශික බලවේග ජනාධිපති මැතිවරන දෙකක ප‍්‍රතිපල නිෂ්ප‍්‍රභා කිරීමේ අරමුනෙන් මාධ්‍ය විසින් දිවවූ ලිංගික සෝලියක් අවුස්සා අපයෝජනය කරන ලදී. 2008 මාර්තුවේ දී නිව් යෝර්ක් ආන්ඩුකාර එලියට් ස්පිට්සර්ට තනතුරෙන් ඉල්ලා අස්වීමට බලකෙරුනේ මූල්‍ය මගඩි හේතුකොටගෙන වෝල් විදියේ අර්බුදයක් ආරම්භ වූ මුල් අවස්ථාවේ දී ම ඔහු ඒ පිලිබඳව පරීක්ෂා කිරීමට උත්සාහ කල විටය. වඩාත් මෑතකදී විකිලීක්ස් නිර්මාපක ජුලියන් අසාන්ජ් ඉරාකයේ හා ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපද යුද අපරාධ පිලිබඳ ඔහුගේ හෙලිදරව් කිරීම් වලට විරුද්ධවූ අය විසින් ගොතන ලද ලිංගික අතවර සම්බන්ධ සාහසික චෝදනා මත සිරගත කර පිටුවහල් කිරීමේ තර්ජන එල්ල කරන ලදී. ඊට අඩු මට්ටමේ නිදසුන් තොගයක්ම ඇත.

මැයි 14දා ස්ට‍්‍රාවුස් ඛාන් අත්අඩංගුවට ගත් කල ලෝක සමාජවාදී වෙබ් අඩවිය මාධ්‍ය ප‍්‍රචාරනය පිලිබඳව විවේචනාත්මක ආකල්පයක් ගනිමින් තවමත් සිද්ධිය පිලිබඳ යථා සාධක දැනගැනීමට නොහැකිවී ඇති අතර මූලධර්ම පිලිබඳ වැදගත් ප‍්‍රශ්න පරදුවට තැබී ඇතැයි පෙන්වා දුන්නේය.

අපි මෙසේ ලිව්වෙමු: "ඔහුගේ පන්ති තත්වයත් වරප‍්‍රසාද හා සමාජ දැක්මත් අනුව ස්ට‍්‍රාවුස් ඛාන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය විරුද්ධ වන සෑම දෙයක් වෙනුවෙන්ම පෙනී සිටියි. එහෙත් ඔහු ද මනුෂ්‍යයෙකු වන අතර වරදකරු යයි ඔප්පු කෙරෙන තෙක් අහිංසක යයි සැලකීම හා විධිමත් නීතිමය ක‍්‍රියාවලියක් ද ඇතුලු ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට හිමිකම් කියයි. ඔහු අත්අඩංගුවට ගත් තැන් පටන් ස්ට‍්‍රාවුස් ඛාන්ට ලැබුනු සැලකිලි හා ඇමරිකානු මාධ්‍ය එම සිදුවීම ආවරනය කරන ආකාරය විනිශ්චය කිරීමේදී ඉහත කී සැලකීම තවදුරටත් නොපවතින බව පැහැදිලිය.”

එක්සත් ජනපදයේ නේෂන් සඟරාව හා ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය වැනි වාම ලිබරල් හා ව්‍යාජ සමාජවාදී ප‍්‍රවනතා නාටකාකාර ලෙස ප‍්‍රති විරුද්ධ ආස්ථානයකට පැන ගත්හ. කිසිදු අව්‍යාජ සාක්ෂියකින් තොරව ඔහුගේ වරද සාධකයක් වන්නේ යයි කියා සිටිමින් හා අතවරයට ලක්වූ අයගේ පෙරකදෝරුවන් ලෙස ඝෝෂාකාරී ලෙස තර්ක කරමින් ඔවුහු ස්ට‍්‍රාවුස් ඛාන්ට එරෙහි මාධ්‍ය දඩයමට එක්වූහ.

ඔවුන්ගේ දේශපාලන විනිශ්චයන් තුලදී තීරනාත්මක සාධක වන්නේ බටහිර අප‍්‍රිකාවෙන් සංක‍්‍රමනයවූ එක්දරු මවක් වන අතවරයට පාත‍්‍රවූ අයගේ අනන්‍යතාවය හා එම අපරාධයේ ලිංඟික ස්වභාවය මිස සාක්ෂි නොවේ. ස්ට‍්‍රාවුස් ඛාන්ට එරෙහි නඩුව ප‍්‍රතිගාමී දේශපාලන අරමුනු සඳහා යොදාගැනීමට ගොතනු ලැබීමේ හැකියාව ඔවුහු එක එල්ලේ ප‍්‍රතික්ෂේප කරති.

එවන් චෝදනාවන්ගේ දේශපාලන සන්දර්භය සැලකිල්ලට නොගෙන කිසිවෙකුටත් බැරෑරුම් ආකාරයකින් ඒවාට ප‍්‍රවිෂ්ට විය නොහැකිය. නිදසුනක් ලෙස ක්ලින්ටන්ට එරෙහි දෝෂාභියෝගයට අදාල කාරනයේදී මෙන් ඉලක්ක කල දේශපාලඥයා කොටුකිරීම පිනිස උපක‍්‍රමශීලීව සකස්කල ලිංඟික සෝලිය දේශපාලන උගුලක් වීමේ සැබෑම හැකියාවක් ද මීට අඩංගු වෙයි. ස්ට‍්‍රාවුස් ඛාන් පිලිබඳ පලහිලව්වේ දී ලෝසවෙඅ මෙය පෙන්වා දෙමින් අසා සිටියේ "ස්ට‍්‍රාවුස් ඛාන්ට ඔහු තුරන්කර දැමීමේ හෝ අවම වශයෙන් සිද්ධියෙන් උදාවූ අවස්ථාව උපයෝගී කර ගනිමින් ඔහු දේශපාලනිකව නැතිකර දැමීමේ අරමුනු සහිත බලගතු සතුරන් සිටි බව විශ්වාස කිරීම පිස්සුවක් වන්නේ මන් ද? එම හැකියාව බැහැර කිරීම දේශපාලන විකාරයක් පමනක් නොව පරීක්ෂනයේ තීරනාත්මක ක්ෂේත‍්‍රයක් එක එල්ලේ වසා දැමීමක් ද වෙයි. ඔහු තුරන්කර දැමීමට උනන්දු වූ හා ඊට හැකියාව තිබූ මිනිසුන් සිටියේ දැයි පරීක්ෂක වරුන් ස්ට‍්‍රාවුස් ඛාන්ගෙන් නොඅසාවි යයි කෙනෙකුට සිතිය හැකි ද? නොඑසේ නම් පරීක්ෂකයින් ඔහුගේ චෝදකයාගේ ඇසුර පිලිබඳව ප‍්‍රශ්න නොකරාවි යයි සිතිය හැකි ද?” යනුවෙනි.

මත්ද්‍රව්‍ය ගනුදෙනුකාර "පෙම්වතෙක්” හා ප‍්‍රාන්ත හතරක දී කාන්තාවගේ බැංකු ගිනුමට ඩොලර් 100,000ක් තැන්පත් කල නම් නොකල "මිතුරන්” ද සමග "ඔහුගේ චෝදකයාගේ ඇසුර පිලිබඳව” අපි දැන් දනිමු. පරීක්ෂනය දිගහැරෙන විට, විශේෂයෙන්ම එක්සත් ජනපදයේ මෙන්ම ප‍්‍රන්සයේ ද ආන්ඩුවලට සම්බන්ධ ආයතන හා මෙම "ඇසුරුකරන්නන්” අතර බැඳීම් පිලිබඳව බොහෝ සාක්ෂි එලිමහනට පැමිනෙනු ඇත.

අතවරයට ලක්වුන බව කියන අය අපකීර්තියට පත්වීමෙන් පසුව පවා ස්ට‍්‍රාවුස් ඛාන්ගේ හිස ඉල්ලා බෙරිහන් දෙන ලිබරලුන් හා එවන් මතධාරීන් එමට ය. මොරීන් ඩාවුඩ් 03දා සිය නිව් යෝර්ක් ටයිම්ස් තීරුවේ ලියමින් ස්ට‍්‍රාවුස් ඛාන් විලෝපියෙකු ලෙස හංවඩු ගසන අතර කාන්තා ගෘහ සේවිකාව "පුරුද්දට බොරු කියන්නියක්” වීමේ කාරනය වසං කරයි. ඇය නිගමනය කරන්නේ එවන් සිද්ධියක දී "තක්කඩියාට නිතරම ගැලවී යා හැකිය” යනුවෙනි.

සැබවින්ම ප‍්‍රතිගාමී වූ තීරු ලිපියක් බි‍්‍රතාන්‍යයේ ලිබරල් පුවත්පතක් වන ගාඩියන් හි ද පලවිය. එහිදී ස්ට‍්‍රාවුස් ඛාන්ට එරෙහි නඩුව අතහැර දැමීමේ කුමන හෝ අදහසක් කැතරින් ඇක්සෙල්සන් හෙලා දකියි. අතවරයට ලක්වී යයි කියන අය යලි යලිත් බොරු කියා ඇතැයි හෙලි වීම කෙරෙහි ඇයගේ ප‍්‍රතිචාරය "ඉතින් මොක ද?” යන්නයි ඇය මෙසේ ලියයි. "එහෙත් කාන්තාවගේ විශ්වාසනීයත්වය චුදිතයා සම්බන්ධයෙන් එසේ නොවන කල අදාල වන්නේ මන් ද? එහි තේරුම දූෂන චෝදනාව ඉවත දැමිය හැකි බව ද?”

ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් සම්බන්ධයෙන් මෙම ආස්ථානයේ ඇඟවීම විශ්මය ජනකය. ඇක්සෙල්සන් ලියන්නේ එක්සත් ජනපද ව්‍යවස්ථාවේ සිව්වැනි, පස්වැනි, හයවැනි, හත්වැනි හා අටවැනි සංශෝධන නොපවතින ආකාරයෙනි. රාජ්‍ය විසින් අසාධාරන හා අධිචෝදනා ගොනුකිරීමෙන් පුද්ගලයින් ආරක්ෂා කිරීම පිනිස ගෙන ගිය දිගු හා කටුක අරගලය ඇයට වැදගැම්මකට නැත.

ඇක්සෙල්සන්ගේ උනන්දුව පවතින්නේ කොතෙක් දුරට ද යත් ස්ත‍්‍රී දූෂනයකට චෝදනා ලත් ඕනෑම අයෙකුට ඔහුට විරුද්ධව එල්ල වී ඇති පාපෝච්චාරනයේ විශ්වාසනීය භාවය අභියෝගයට ලක් කිරීමට ඉඩ නොතැබිය යුතුය. අහිංසක භාවය පිලිබඳ කිසිදු අනුමානයකට ඉඩක් ඇත්තේ නැත. ඇක්සෙල්සන් මෙනෙවිය නොදන්නා බව හා සැබවින්ම තැකීමක් නැති බව පෙනී යන්නේ අපරාධ නඩුවක දී විත්තිකාරයා වරදකරු බව කිසිදු සැකයකට ඉඩක් නොතබා ඔප්පු කිරීම පැමිනිල්ලේ වගකීම වන බවය. ඇක්සෙල්සන්ට හා ඇගේ සමානයන්ට දූෂන චෝදනාව සියලු විවේචන වලට ඉහලින් ඇති ස්වයං අදාලත්වයකි.

ලේඛිකාවක් වශයෙන් ඇක්සෙල්සන් සැලකිය යුතු නොවේ. එහෙත් තමන්ගේ ගරුකටයුතු හා ප‍්‍රතිගාමී පන්ති අවශ්‍යතා වසං කිරීමට කඩතුරාවක් ලෙස ලිංගිකත්වය, වාර්ගිකත්වය හෝ වර්ගය මත පිහිටාගත් විවිධ රූපාකාරයන්ගෙන් යුත් අනන්‍යතා දේශපාලනය නමැති මඩගොහොරුවේ බැසගත් ඉහල මධ්‍යම පන්තියේ වඩා පොහොසත් කොටස් වලින් සැදුම් ලත් කැපී පෙනෙන සමාජ වටපිටාවක් ඇය නියෝජනය කරයි.

බොහෝ කාලයකට පෙර සිටම තමන්ගේ ඕනෑ එපාකම් සඳහා මෙම ඉහල මධ්‍යම පන්තික ස්ථරයන්ගේ පටු සමාජ අවශ්‍යතා වගා දිගා කරන්නේ හා ගසාකන්නේ කෙසේදැයි පාලක පන්තිය දන්නේය. එය මූල්‍ය ප‍්‍රභූවරුන්ට වැදගත් වන ආර්ථික හා දේශපාලන ආරම්භකත්වයන් පිටුපස ඔවුන් පෙලගස්වා ගැනීම පිනිස පුද්ගල "අනන්‍යතාවට” සම්බන්ධ නිශ්චිත උනු උනු ප‍්‍රශ්න උලුප්පා දැමීම පිලිබඳ කාරනයක් පමනි.

පැටි‍්‍රක් මාටින්