චීන කොමියුනිස්ට් පක්ෂය ආරම්භ වී අනූ වසරක්

Ninety years since the founding of the Chinese Communist Party

5 July 2011

චිත‍්‍රපට, ප‍්‍රදර්ශන හා ගනන් නැති අනෙකුත් සිද්ධීන් ද සහිත විශාල ජයඝෝෂා සමගින් පසුගිය සිකුරාදා චීන කොමියුනිස්ට් පක්ෂය (සීසීපී) සිය 90වන සංවත්සරය සැමරීය. එහෙත් උත්සවවල ස්වභාවය ම පෙන්නුම් කලේ වර්තමාන පක්ෂයට කොමියුනිස්ට්වාදය, කම්කරු පන්තිය හෝ සීසීපීය ම 1921 බිහිකල විට පැවති තත්වය සමග මොන ම හෝ සම්බන්ධයක් නැති බව ය.

කේන්ද්‍රීය තේමාව වූයේ සමාජවාදී ජාත්‍යන්තරවාදය මත පදනම් වූ කම්කරු පන්තියේ සටන්කාමී සංවිධානයක් ලෙස පක්ෂයේ සමාරම්භයන් වලලා දැමීම සඳහා පිලිකුල් දනවන ලෙස චීන ජාතිකවාදය හා දේශානුරාගය සමැරීම යි. චීන ධනවාදයේ යෝධ ප‍්‍රසාරනයක් අධීක්ෂනය කොට ඇති වර්තමාන සීසීපී තන්ත‍්‍රයට පක්ෂයේ පූර්ව ඉතිහාසයෙන් කම්කරුවන් කිසිදු පාඩම් උකහාගැනීමක් අවශ්‍ය නො කලේ ය.

1930 ගනන්වල මා ඕ සේතුංගේ ගොවි හමුදාවේ මූලස්ථානය පිහිටි යනාන් නගරයට "රතු සංචාර” සීසීපී විසින් දිරිමත් කරන ලද්දේ වුවත් 1920 ගනන්වල කම්කරු පන්තියේ විප්ලවවාදී නැගිටීම් සිදුවූ ප‍්‍රදේශවලට එසේ නො කරන ලදී. 1921 දී සීසීපීය එහි ආරම්භක සමුලුව පැවැත්වූ කාර්මික ෂැංහයි නගරයේ දුඹුරු ගඩොල් මන්දිරයේ ඉරනම කැපී පෙනේ. එය දැන් පවතින්නේ පොහොසත් චීන මධ්‍යම පන්ති සඳහා හොංකොං දේපොල ධනකුවේරයන් විසින් වර්ධනය කරන ලද නැගී එන ආහාර හා විනෝදාස්වාදය සපයන දිස්ති‍්‍රක්කයක ය.

60කට අඩු සාමාජිකත්වයක් නියෝජනය කරමින් පුද්ගලයන් 13ක් පමනක් හා කොමියුනිස්ට් ජාත්‍යන්තරය වෙනුවෙන් (හෙන්රික් ස්නීව්ලියේ) මෙයරිං පමනක් ආරම්භක සම්මේලනයට සහභාගි වූහ. පීකිං සරසවියේ පීඨාධිපති හා නිව් යූත් කර්තෘ චෙන් ඩියුක්සියු නායකත්වයට තෝරා පත්කර ගන්නා ලදී. 1917 රුසියානු විප්ලවයට දක්වන ලද බලගතු ජාත්‍යන්තර ප‍්‍රතිචාරයේ කොටසක් ආරම්භ කරන ලද පක්ෂය මුල දී කුඩා වුවත් ක්ෂනිකව එය විප්ලවයේ දිය සුලිය තුලට හා දේශපාලන බලයගැනීමේ අභියෝගයට තල්ලු කර දමන ලදී.

ඛේදවාචී ලෙස ජාත්‍යන්තර හුදකලාවේ හා අභ්‍යන්තර පසුගාමීත්වයේ කොන්දේසි මත ජෝසෆ් ස්ටැලින් යටතේ සෝවියට් සංගමයේ නිලධාරිවාදී පිරිහීම පසුව 1925-27 සමයේ චීන විප්ලවයට ප‍්‍රධානතම බාධකය බවට පත්විය. රුසියානු විප්ලවයේ පාඩම් ප‍්‍රතික්ෂේප කරමින් මෙන්ෂෙවික් "අවධි දෙකේ” න්‍යායට යලි පනදුන් ස්ටැලින් පසුගාමී චීනය තුල කම්කරු පන්තියේ සමාජවාදී විප්ලවයක් ඈත අනාගතයට කල්දමා ධනපති පන්තිය පලමුව ධනේශ්වර විප්ලවයට නායකත්වය දී බලය ගතයුතු බව කියමින් සීසීපීය ධනේශ්වර ක්වෝමිංටෑනයට (කේඑම්ටී) යටත් කලේ ය.

ප‍්‍රතිඵලය ව්‍යසනකාරී විය. සීසීපීයේ හා සෝවියට් සංගමයේ කීර්තිය ගසා කෑ චියැං කායි-ෂෙක් යටතේ වූ කේඑම්ටීය 1927 අපේ‍්‍රල් මාසයේ දී පක්ෂය (සීසීපී) දෙසට හැරුනේ ෂැංහයිහි දී දහස් ගනනක සාමාජිකයන් හා කම්කරුවන් මරා දමමිනි. මාස තුනකට පසුව විනාශය යලි හටගත්තේ ස්ටැලින් සීසීපීය "වාම” කේඑම්ටීයට යටත් කල විටයි. 1923 දී ලියොන් ට්‍රොට්ස්කි විසින් ගොඩනගන ලද වාම විපාර්ශවය මෙම විනාශකාරී පිලිවෙත් පිලිබඳව කල විවේචනවලට විරුද්ධව සුනුවිසුනු වී ගිය සීසීපීයට කැන්ටන්හි සන්නද්ධ නැගිටීමක් සඳහා 1927 පසුභාගයේ දී ස්ටැලින් අනකල අතර එය ව්‍යසනකාරී ලෙස අවසන් විය.

සීසීපීයට කුදුමහත් විකල්ප දෙකක් ඉදිරිපත් කෙරුනි. චෙන් ඩියුක්සුයි තෝරාගත් පලමුවැන්න වූයේ ස්ටැලින්ගේ පාවාදීම්වලින් අවශ්‍ය පාඩම් උකහාගෙන චීන වාම විපාර්ශවය ගොඩනැගීම යි. මා ඕ සේතුං අනුගමනය කල දෙවැන්න වූයේ කම්කරු පන්තිය විප්ලවයකට නායකත්වය දීමට අසමර්ථ යයි නිගමනය කොට ගොවියන් දෙසට හැරීම යි. සීසීපීය ගොවි ගරිල්ලා ව්‍යාපාරයක් තුලට ගිල්වා දැමීම මගින් පක්ෂය එහි නිර්ධන පන්තික අක්ෂයෙන් පිටපැන්නවූ මා ඕ එය ග‍්‍රාමීය සුලු ධනේශ්වරයේ රැඩිකල් ව්‍යාපාරයක් බවට පරිවර්තනය කලේ ප‍්‍රගාඪ ඇඟවුම් සහිත පරිවර්තනයක් කරමිනි.

1932 දී චීන ආධාරකරුවන් වෙත දුරදක්නා සුලු ලිපියක් ලියමින් ට්‍රොට්ස්කි මා ඕගේ ගොවි හමුදා වෙතින් කම්කරු පන්තිය වෙත එල්ල වන අන්තරායන් පිලිබඳව අනතුරු ඇඟවීය: "විශාල ඉඩම් හිමියන්, මිලිටරිවාදීන්, වැඩවසම්වාදීන් හා පහරන්නන්ට එරෙහිව එල්ල වන තාක් දුරට ගොවි ව්‍යාපාරය යෝධ විප්ලවකාරී සාධකයකි. එහෙත් ගොවි ව්‍යාපාරය ඒ හැටියට ම ගත්කල එය තුල බලගතු දේපොල හිමි හා ප‍්‍රතිගාමී ප‍්‍රවනතා තිබෙන අතර එය එක් නිශ්චිත මොහොතක දී එය කම්කරුවන්ට හතුරු වියහැකි අතර දැනට ම ආයුධවලින් සන්නද්ධව එම හතුරුකම දරා සිටී” යයි ඔහු විස්තර කලේ ය.

මෙම අනතුරු ඇඟවීම් 1949 දී තහවුරු විය. ප‍්‍රථමයෙන් කේඑම්ටීය සමග සභාගයක් සඳහා උත්සාහ දරා තිබූ මා ඕට චියැං කායි-ෂෙක් සීසීපීය මිලිටරිමය වසයෙන් තලාදැමීමට උත්සාහ කලවිට ප‍්‍රතිචාර දැක්වීමට බලකෙරුනි. සීසීපීයේ ජයග‍්‍රහනය මා ඕගේ මිලිටරි සුධීමත් භාවයේ ප‍්‍රතිඵලයක් නොව අත්‍යන්තයෙන් දූෂිත කේඑම්ටී තන්ත‍්‍රයේ දේශපාලනික හා ආර්ථික පුපුරායාමේ ප‍්‍රකාශනයක් විය. බලය අල්ලාගත් සීසීපීය කම්කරු පන්තියේ ඕනෑම ස්වාධීන කි‍්‍රයාකාරීත්වයක් මැඩ චීන ට්‍රොට්ස්කිවාදීන්ව සිරගත කලේ තායිවානයට හා හොංකොං වෙත පලා නො ගිය මහා ව්‍යාපාරිකයන් හා 1927 දී කොමියුනිස්ට්වරුන් සමූල ඝාතනය කල අය ද ඇතුලත් පැරනි කේඑම්ටී පෙනරාල්වරුන් සමග සංධානයක් තනමින් අවධි දෙකේ න්‍යායේ මා ඕ සංස්කරනය කි‍්‍රයාවට දැමීය.

ධනවාදයේ විශාලතම දහඩිය කම්හල ලෙස චීනයේ පසුකාලීන පරිනාමය 1949 ඔක්තෝබරයේ තන්ත‍්‍රයේ පදනම්වලින් ම ඓන්ද්‍රීයව ගලා ආවේ ය. සීසීපී තන්ත‍්‍රයේ ආරම්භක ව්‍යවස්ථාවේ තුන්වන වගන්තිය ධනේශ්වර දේපොල සබඳතා ඍජු ලෙස ආරක්ෂා කිරීමක් අඩංගු කරගත්තේ ය. සීසීපීය ජනසතු කිරීම් කලේ කොතෙක් දුරට ද යත් එහි ඉලක්කය වූයේ සමාජවාදය නොව ඉන්දියාව වැනි පශ්චාත් යුදකාලීන ධනේශ්වර රටවල් වර්න ගන්වා කි‍්‍රයාවට දැමූ පියවරවලට සමාන ජාතික-පාලිත ආර්ථිකයක් ය. ලෙනින් විස්තර කල පරිදි ඉඩම් ජනසතු කිරීම සමාජවාදී පියවරක් නොව අවසානයේ ධනවාදයේ සම්පූර්න ඵලදැරීමට පදනම් නිර්මානය කල රැඩිකල් ධනේශ්වර පිලිවෙතකි.

විවිධ අභ්‍යන්තර බෙදීම් තිබුන ද සීසීපී තන්ත‍්‍රය ප‍්‍රතිගාමී ස්ටැලින්වාදී "තනිරටේ සමාජවාදයේ” මනෝරාජ්‍යය මත පදනම් විය. ලෝක ආර්ථිකයෙන් හුදකලා කරනු ලැබූ චීනය එකකට පසු තවෙකක් වසයෙන් අර්බුදයන්ට ලුහුටා ගියේ ය. ග‍්‍රාමීය සමාජවාදය පිලිබඳ මා ඕගේ පරීක්ෂන ආර්ථික විනාශය හා 1950 ගනන් පසුභාගයේ දස මිලියන ගනනක් මරාදැමූ ව්‍යසනීය සාගතය නිර්මානය කලේ ය.

මා ඕගේ ගොවි රැඩිකල්වාදයේ අවසාන හුස්ම ඇල්ලීම වූයේ 1966 දී "ශ්‍රේෂ්ට නිර්ධන පන්තික සංස්කෘතික විප්ලවය” යයි වරදවා නම් කරන ලද දෙය දියත් කරමින් තම කන්ඩායමික ප‍්‍රතිමල්ලවයින් තලා දැමීමට ඔහු දැරූ උත්සාහය යි. කන්ඩායමික අරගලය අනපේක්ෂිත ලෙස කම්කරු පන්තියේ සටන්කාමී අරගල මුදා හැරියේ ව්‍යාපාරය මර්දනය කිරීම සඳහා හමුදාව යැවීමට සීසීපීයට බලකරමිනි. ආර්ථික ආවෘත අන්තරයකට ලඟාවී තිබූ මා ඕ 1972 දී එක්සත් ජනපදය සමග සබඳතා ඇති කරගනිමින් සීසීපීය අධිරාජ්‍යවාදය වැලඳගැනීම සංඥා කලේ ය. ඉන්පසු ඔහු විදේශ සංගත සමග සබඳතා සඳහා දොර විවෘත කිරීම ඇරඹීය.

වර්තමාන සංවත්සර සැමරුම් මධ්‍යයේ නිල ෂින්හුවා ප‍්‍රවෘත්ති ඒජන්සිය මෙසේ උදම් ඇනීය: "ඉතිහාසය තහවුරු කොට ඇත්තේ චීනය ආරක්ෂා කල හැක්කේ චීන කොමියුනිස්ට් පක්ෂයට පමනක් බව යි.” 1978 දී ඩෙන් ෂියා ඕ පිං වෙලඳපොල හිතවාදී ප‍්‍රතිසංස්කරන නිල වසයෙන් දියත් කල තැන් පටන් ගත වූ දශක තුන තුල ධනේශ්වර සූරාකෑම මත බාධක අවසන් කිරීම, නිසැකව ම මතු වෙමින් සිටින චීන ධනපතියන්ට මෙන් ම නව ලාභ ශ‍්‍රමය සොයා සාහසික ලෙස පීරන ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයට නිශ්චිතව ම ආශීර්වාදයක් බව සාධනය වී ඇත.

1949 පටන් සීසීපී පොලිස් රාජ්‍යය කේඑම්ටීය ලඟාවීමට අසමත් බව මුලුමනින් ම තහවුරු කල රට ඒකාග‍්‍ර කිරීම, ඉඩම් ජනසතු කිරීම, අධ්‍යාපන අවස්ථා පුලුල් කිරීම හා යටිතල පහසුකම් ගොඩනැගීම වැනි ධනේශ්වර පිලිවෙත් කි‍්‍රයාවට දමා ඇත. සීසීපීයේ සියලු හැරීම් හා ඇඹරීම් හරහා දිවෙන මාර්ගෝපදේශක හුයපටක් වන්නේ විරෝධතා තුල කම්කරු ජනකායන් තමන්ගේ ම පන්ති ඉල්ලීම් වෙනුවෙන් හඬනැගීම ඇරඹූ විට 1989 දී තියනාන්මෙන් චතුරස‍්‍රයේ දී කල කෲර මර්දනයේ දී වඩාත් ප‍්‍රදර්ශනීය ලෙස පෙන්නුම් කල කම්කරු පන්තිය කෙරෙහි පවත්නා තීව‍්‍ර අවිශ්වාසය හා හතුරුකම යි.

එහෙත් තන්ත‍්‍රයේ වර්තමාන දේශානුරාගී උදම් ඇනීම්වලට චීන ධනවාදයේ යෝධ පරස්පරවිරෝධයන් සැඟවිය නො හැක. සියල්ලට ම ඉහලින් පොහොසතුන් හා දුප්පතුන් අතර යෝධ අගාධය ඇතුලත් ආර්ථික හා සමාජීය කාල බෝම්බයක් මත තමන් ලැග සිටින බව සීසීපී නායකත්වය හොඳීන් දනී. දැන් චීන බිලියනපතියන් සමහරක් ද අයත් මිලියන 80ක පක්ෂයේ ප‍්‍රධාන ලේකම් හියු ජින්ටා ඕ විසින් අනාරක්ෂිත භාවය හා හුදකලාව පිලිබඳව සඳහන් කරනු ලැබී ය. මෑතක දී ඔහු අනතුරු ඇඟවූයේ "පක්ෂයට මහජන සහයෝගය දිනාගැනීම හෝ නැති කරගැනීම හා පක්ෂයේ ජීවිතයට හෝ මරනයට” මූලික දෙය වන්නේ පක්ෂයේ ආවේනික දූෂනය අවසන් කිරීම බව යි.

පක්ෂයේ අවසාන හුරේ දැමීම් මෙම සාංවත්සරික සැමරුම් විය හැක. ඒවාට පමනට වඩා කරන වියදම් තිබිය දී තන්ත‍්‍රය වනාහි තමන් විසින් ම නිර්මිත මිනීවල හාරන්නා -එනම් 1949 දී මිලියන 8ක්ව සිට දැනට මිලියන 500ක් දක්වා යෝධ ලෙස ප‍්‍රසාරනය වී ඇති නිර්ධන පන්තිය- දෙස බියෙන් බලන 90 හැවිරිදි මහල්ලෙක් බඳු ය. බීජිංහි පොලිස් රාජ්‍යය පෙරලා දැමීමේ එකම පදනම වන්නේ පීඩිත ජනයා බලය කරා මෙහෙයවා ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස සමාජවාදී ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට දැමීම ආරම්භ කිරීමේ දී කම්කරු පන්තියේ කේන්ද්‍රී කි‍්‍රයාකලාපය අවධාරනය කරන ට්‍රොට්ස්කිගේ නො නවතින විප්ලව න්‍යාය යි.

සූදානම්වීම් වස් චීනයේ කම්කරුවෝ හා බුද්ධිමත්තු විශේෂයෙන් ම ස්ටැලින්වාදය හා මා ඕවාදය විසින් කරන ලද පාවාදීම් ඇතුලු විසිවන ශතවර්ෂය තුල චීනයේ ද ජාත්‍යන්තරව ද කම්කරු පන්තියේ මූලෝපායික අත්දැකීම්වල ඛේදනීය පාඩම් උගත යුතු ය. ස්ටැලින්වාදයට එරෙහිව ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය කල දිග් ගැස්සුනු දේශපාලන අරගලයේ පාඩම් මත පදනම් වන නව අව්‍යාජ මාක්ස්වාදී පක්ෂයක් අවශ්‍ය ය. එහි අර්ථය වන්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ චීන ශාඛාවක් ගොඩනැගීම යි.

ජෝන් චැන්