"මරනය හා අයවැය” පිලිබඳව නිව් යෝර්ක් ටයිම්ස්හි ඩේවිඩ් බෲක්ස්

පාලක පන්තියේ හඬ

NY Times’ David Brooks on “Death and Budgets”
The voice of the ruling class

18 July 2011

සෞඛ්‍ය සේවයේ වියදම් සම්බන්ධයෙන් ඇමරිකානු මූල්‍ය ප‍්‍රභූ කොටස්වල සැබෑ චින්තනය හෙලිදරව් කරන නිව් යෝර්ක් ටයිම්ස් තීරු රචක ඩේවිඩ් බෲක්ස්ගේ ලිපියක් 15දා පල විය. ලේ සීතල කරන වචන වලින් ඔහු සාමාන්‍ය ජනතාව ජීවත් කරවීම පිනිස සම්පත් නාස්ති කිරීම පිලිබඳව මූල්‍ය ප‍්‍රභූවේ නොසතුට හා එය අවසානයකට ගෙන ඒම සඳහා ඔවුන්ගේ අධිෂ්ඨානය වෙත එබී බැලිය හැකි සිදුරක් විවර කර තිබේ.

සුවසේවා - සුවාධාර සුරැකීම හා සමාජ රක්ෂනය ඇතුලත් මහලු හා දුගී ජනතාව සඳහා වන සෞඛ්‍ය හා විශ‍්‍රාම වැඩ සටහන් වලින් ඩොලර් ටි‍්‍රලියන ගනනක් කපාහැරීමේ ද්වි පාර්ශවීය සැලසුමක් මත ධවල මන්දිරය ද කොන්ග‍්‍රසයේ ඩිමොක‍්‍රටිකයින් හා රිපබ්ලිකානුවන් අතර ද සාකච්ඡා පැවැත්වෙන අතර වාරයේ මෙම ලිපිය පලවිය. නය සීමාව නැංවීමේ කුමන හෝ පියවරක් දැවැන්ත කප්පාදුවකට සම්බන්ධ කල යුතු බව අවධාරනය කරන 1930 ගනන් වලින් මෙපිට මූලික සමාජ ප‍්‍රතිසංස්කරන වලට එල්ල කෙරෙන පෙර නොවූ විරූ මෙම ප‍්‍රහාරයේ පෙරමුන ගෙන ඇත්තේ ඔබාමා පරිපාලනයයි.

බෲක්ස්ගේ තීරුවෙහි සාරය "මරනය හා අයවැය” යන එහි සිරස් තලයෙන් කැටිකර දැක්වෙයි. ඔහු තර්ක කරන්නේ අයවැය හිඟය පියවීමට නම් මිනිසුන් කල්තියා මරනයට පත්විය යුතු බවයි.

"මූල්‍ය අර්බුදය බොහෝ දේ ඇතුලත් කර ගනියි. එහෙත් ඉන් එකක් වන්නේ තවත් දුර්භාග්‍ය සම්පන්න මාස කිහිපයක් සඳහා අපගේ ජාතිය බංකොලොත් භාවයේ ගිල්වා තැබීම කෙරෙහි අප දක්වන නොකැමැත්ත, එනම්, මරනයට මුහුන පෑම සඳහා අපට ඇති නොහැකියාවයි”. එහි සාරය වන්නේ දිගු කලයක් ජීවත්වීම සඳහා ඇමරිකානු ජනතාවට ඇති ආත්මාර්ථකාමී හා මුග්ධ ආශාව මිස රට බංකොලොත් භාවයට ඇද දමන ඉව බව නැති කෑදරකම හා පාලක පැලැන්තියේ අසීමිත ධනවත්කම හෝ යුද්ධයවත් බැංකු වලට ඇප දීම සඳහා ටි‍්‍රලියන ගනන් වියදම් කිරීමවත් නොවේ යයි ඔහු තර්ක කරයි.

විදග්ධයෙකුගේ නියම ස්වරූපයෙන් පෙනී සිටීමට උත්සාහ දරන බෲක්ස්, මෙම කාරනය ඉදිරිපත් කරන්නේ ප‍්‍රතිකාර කල නොහැකි රෝගයකින් දරුනු ලෙස බෙලහීනත්වයට පත් එක් රෝගියෙකුගේ තත්වය මිලියන ගනනක් වෙනත් රෝගීන්ට ප‍්‍රතිකාර නොකිරීම පිනිස යොදාගන්නා තර්කයක් ලෙසය.

ඒඑල්එස් නොහොත් ලූ ගේරිග්ගේ ව්‍යාධිය නම් (මහලු වියේ වැලඳෙන) රෝගී තත්වයක සිටි පසුව තවදුර ප‍්‍රතිකාර ලැබීම සඳහා යොමුවීම ප‍්‍රතික්ෂේප කල හිටපු ටයිම්ස් කතුවැකි රචක ඩඩ්ලි ක්ලෙන්ඩිනන් ගැන බෲක්ස් සඳහන් කරයි. ඒඑල්එස් රෝගීන් යයි විනිශ්චය කල අයගේ තත්වය පිලිබඳව කථා කරමින් බෲක්ස් මෙසේ පවසයි. "ජීවිතය නිකම්ම හුස්ම ගනිමින් පවතින ස්වයං ආවෘත හම් මල්ලක් නොවේ.” වචනයෙන් පවසන ආකාරයෙන්ම මෙහි තානය ද විසකුරු ය. බෲක්ස් හා එවැනි තවත් අය "ස්වයං ආවෘත හම් මලු” ගනයේ ලා සලකන රෝගී හා වයස්ගතවූවන් කෙතරම් සංඛ්‍යාවක් අද ජීවත් වන්නේ ද?

ෆැසිස්ට්වාදයේ දුර්ගන්ධයට වැඩි යමක් මෙහි ඇත. ශාරීරිකව හෝ මානසිකව ආබාධිත මිනිසුන් පිලිබඳ "ගැටලුවට” සමූහ ඝාතනයේ ෆැසිස්ට්වාදී විසඳුම බෲක්ස් යෝජනා නොකරන නමුදු එවන් භීෂනයන් සැලසුම්කලවුන් තමන්ගේ ගොදුරු අර්ථ දැක්වීමේදී ඒ හා සමාන වූ භාෂාවක් යොදාගත් බව යමෙකුට පහසුවෙන් අමතක කල නොහේ.

බෲක්ස් හඳුන්වා දෙන මිනිස් ජීවිතය පිලිබඳ "පිරිවැයේ වාසි පිලිබඳ විශ්ලේෂනය” එහි තර්කාන්විත අන්තයට ගෙන ගිය කල 1930 ගනන්වල අනායාස මරනයේ නාසි ප‍්‍රචාරක පෝස්ටරයක් ප‍්‍රකාශ කල පරිදි "ප‍්‍රවේනිගත ආබාධයන්ගෙන් පෙලෙන පුද්ගලයින්ගේ සමාජයීය වියදම රීච් මාර්ක් 60,000කි. සහෝදර ජර්මානුවනි ඒ ඔබගේ ද මුදල්ය” වැන්නට සමානය.

ඒ අනුව බෲක්ස් යෝජනා කරන්නේ ඒඑල්එස් රෝගයෙන් පෙලෙන බවට විනිශ්චය කල ඕනෑම කෙනෙක් ඔහුගේ හෝ ඇයගේ ජීවිතය කල්තියා අවසන් කිරීමට එකඟවිය යුතු බවටය. මානව හැඟීම් පිලිබඳ ද්වේෂ සහගත වන ඔහු බරපතල ලෙස රෝගාතුර වූ මිනිසුන්ට පවා කල හැකි සමාජ ප‍්‍රතිපදාන නොතකා හරියි. ආයු කාලය දීර්ග කරන නූතන වෛද්‍ය විද්‍යාවේ වර්ධනයට පින්සිදු වන්නට නැඟී සිටින විශිෂ්ට බුද්ධිමතෙක් වන විද්‍යාඥ ස්ටෙෆන් හෝකින් පිලිබඳ කාරනය මතකයට නඟාගන්නේ නම් ඔහු සිය ඉතා වැදගත් ප‍්‍රතිපදානයන් සමහරක් කර ඇත්තේ ඒඑල්එස් මඟින් දරුනු ලෙස ආබාධිතව සිටිය දී ය.

බෲක්ස් ක්ලෙන්ඩිනන් පිලිබඳ කාරනය ගෙනහැර දක්වන්නේ සෞඛ්‍ය සේවය කප්පාදු කිරීම සඳහා තර්ක ගොඩනැඟීමටය. "සෞඛ්‍ය සේවයට එතරම් වියදමක් දැරීමෙන් අප අපගේ ජීවිතවල රැඩිකල් ගුනාත්මක වර්ධනයක් අත්කරගෙන ඇතැයි යන මිත්‍යාව අපට ඇත” ඔහු පවසයි. එය "මිත්‍යාවක්” වන්නේ මන්දැයි ඔහු පවසන්නේ නැත. කෙසේ වෙතත් එය වයස්ගතවූවන් සඳහා වන ආන්ඩුවේ සෞඛ්‍ය රක්ෂන වැඩසටහන (සෞඛ්‍ය ආරක්ෂනය) 1965 හඳුන්වාදීමේ තැන් පටන් ඇමරිකාවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අතර දුප්පත්කම පහත වැටී ජීවිත අපේක්ෂාව තියුනු ලෙස ඉහල නැඟී ඇතැයි යන්න සත්‍යයකි.

ඇමරිකාවේ මුදල්මය වශයෙන් පොහොසත් පැලැන්තිය අතර ඇති පොදු එකඟත්වය නිරූපනය කරන බෲක්ස් සැබවින්ම කියන්නේ මෙම ප‍්‍රවනතා සාධනීය අනර්ථයන් වන අතර ආපසු හැරවිය යුතු බවය.

අප පිලිකා "සුවකිරීමේ තැනින් බොහෝ දුරස්තව” සිටින බව හා "හෘද රෝග සුවකිරීම පෙනෙනතෙක් මානයේ වත්” නැති බව ඔහු වියුක්ත ලෙස ප‍්‍රකාශ කරයි. පෙනහලු, පයෝධර හා පුරස්ථි ග‍්‍රන්ථි පිලිකාවන් ද ඇතුලු පුලුල් පරාසයක පිලිකා ප‍්‍රතිකර්ම හා හෘද රෝග යන දෙ අංශයේම නාටකාකාර වර්ධනයන්හි වැදගත්කම ඔහු හුදෙක්ම නොතකා හරියි.

රෝග මර්දනය හා වැලැක්වීමට අදාල මධ්‍යස්ථානයන්ට අනුව "පිලිකා ජයගත් අය” ලෙස විස්තර කරන පුද්ගලයින් සංඛ්‍යාව 1971 වසරේ දශ ලක්ෂ 3 සිට 2007දී දශ ලක්ෂ 11.7 දක්වා සියයට 290න් ඉහල ගොස් ඇත. කල්තියා හඳුනාගැනීම හා දැඩි සත්කාර මෙම නාටකාකාර වර්ධනයට දායකවී ඇත.

එසේම අභ්‍යන්තර සෞඛ්‍ය ලේඛනාගාර වාර්තාකොට තිබෙන අධ්‍යයනයන්ට අනුව හෘද රෝගයකින් පසුව රෝහල් ගතවූ රෝගීන්ගේ මරන අනුපාතිකය බොහෝකොටම නව ඖෂධ හා ශල්‍යකර්ම ප‍්‍රතිකාර හේතුකොටගෙන වේගයෙන් පහත වැටී ඇත. 1994 හා 2006 අතරතුර මේ වර්ගයේ මරන අනුපාතිකය වයස අවුරුදු 55ට අඩු කාන්තාවන් අතර සියයට 55න් හා පිරිමින් අතර සියයට 33.3න් පහත බැස තිබේ.

සමහරවිට බෲක්ස්ගේ තීරුවෙහි වඩාත්ම දුෂ්ට වන්නේ අල්ෂයිමර් රෝගය (අකාලයේ මානසික හා ශාරීරික පරිහානියට ගොදුරුවන) හා එම රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සමග සම්බන්ධ කොටස ය. "අපගේ සෞඛ්‍ය රක්ෂන පිරිවැයේ විශාල කොටසක් වැය කෙරෙන්නේ ජීවිතයේ අවසන් භාගය ගතකරන රෝගීන් සඳහා ය. මෙම වර්ගයේ වියදම් වේගයෙන් වැඩිවෙමින් තිබේ” යයි බෲක්ස් මැසිවිලි නඟයි.

වාර්තාව සඳහා බෲක්ස් මෙසේ පවසයි: "පැහැදිලිව ම අප කිසි විටෙකත් අල්ෂයිමර් රෝගීන් නොතකා හැර ඔවුන් අනාථ කිරීමට යන්නේ නැත. අප කිසි විටෙකත් වයස්ගතවූවන් හා රෝගීන් බලහත්කාරයෙන් නොතකා හරින්නේ නැත.” මෙම මැත දෙඩුම්වල ගත යුත්තක් නැත. එය හිතා මතාම සිදුකර ඇතැයි යමෙකුට හැඟෙනු ඇත.

"බලහත්කාරයෙන්” යන්නෙහි අර්ථය කුමක් විය හැකි ද? බෲක්ස්ගේ කඳවුරෙහි බොහෝ දෙනෙක් යෝජනා කරන පරිදි සෞඛ්‍ය රක්ෂනයේ යෙදී සිටින සමාගම් බෙහෙවින් මිල අධික ඖෂධ පරීක්ෂන හා වෙනත් කටයුතු ආවරනය කිරීම නතර කල යුතු නම්, තමන්ගේ පැවැත්ම රඳා පවත්නා ඖෂධ හා ප‍්‍රතිකර්ම තවදුරටත් ලබාගත නොහැකි යයි හදිසියේ ම දශ ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ට දැනෙන්නට පටන්ගනු ඇත. එය "බලහත්කාරය” නොවන්නේ ද? අවසානයේ දී ඔවුන්ට වැඩිපුර නොකෑම හෝ තම කුලී ගෙවීම නතරකර දැමීම පිලිබඳව තීරනය කල හැකිය. ඔවුන් පොහොසත් නම් මුදලින් ගත හැකි හොඳම වෛද්‍ය ප‍්‍රතිකාර දිගටම ඔවුන්ට ලැබිය හැකිය.

"මිනිසුන් හා ඔවුන්ගේ පවුල් මරනයට හා ඔවුන්ගේ ජීවිත ප‍්‍රශ්න වලට මුහුන දීමේදී ස්ව කැමැත්තෙන්ම ක්ලෙන්ඩිනන් කල පරිදි කිරීමට අකමැතිවනතාක් දුරට සෞඛ්‍ය සේවයේ උද්ධමනය බැරෑරුම් ලෙස පහත හෙලිය හැකි බවක් අපට පෙනෙන්නේ නැත.” බෘක්ස්ගේ නිගමනය එයයි.

සිය අනුමැතිය ඇතිව බෲක්ස් සිය ලිපියෙන් දිගටම අවධානය යොමු කරන්නේ නව සමූහාන්ඩුවක් දෙසට ඩිමොක‍්‍රටිකයින්ගේ නැඹුරුව පෙන්වන මෑත ලිපියක් කෙරෙහිය. එහි කතුවරුන් වන ඩැනියෙල් කැලහන් හා ෂර්වින් නියුලෑන්ඩ් සම්බන්ධයෙන් මෙය වඩාත් සුවිශේෂය. ඔවුන් සඳහන් කරන එක් අධ්‍යයනයකට අනුව "ජීවිතයේ අතිරේක වසරක් වෙනුවෙන් දරන වියදම” ඩොලර් 145,000ක් තෙක් වැඩිවී ඇත. "වයසගතවූවන්ගේ මෙම ප‍්‍රවනතාවය දිගටම පැවතුනහොත් වෛද්‍ය පහසුකම්වල වියදම් කාර්යක්ෂමතාව වයස දීර්ග වීමත් සමග එක දිගට පහත වැටෙනු ඇත.” කතුවරු එසේ නිගමනය කරති.

මෙම ප‍්‍රවනතාවය ආපසු හැරවුවහොත් අතිවිය හැකි සතුටුදායක තත්වය වන්නේ "සමහර මිනිසුන් දැනට වඩා කලින් මරනයට පත්වන බව හා ඔවුන් සමාදානයේ මරනයට පත්වන බවත්” යයි ඔවුහු ලියා දක්වති. "සිය අපේක්ෂාවන් පහත හෙලීමට ජනතාව ඒත්තු ගැන්විය යුතුය. සෞඛ්‍ය රක්ෂනය පිලිබඳව ගතහොත් එහි කොටසක් ලෙස පූර්ව ගෙවීම් හා කපාගත හැකි මුදල් සීමාව වේදනාකාරී මට්ටමට එනම් මිනිසුන් ජීවිත කාලය දිගුකර ගැනීමට උත්සාහ කරන රක්ෂනාවරන ඔවුන් අධෛර්යමත් කිරීමට සෑහෙන පරිදි ඉහල දැමිය යුතුය.”

දේශපාලන සංස්ථාපිතයේ සියලු කොටස් සෞඛ්‍ය ආරක්ෂන වැඩසටහන් දරුනු ලෙස කැපිය යුතු බව කියා සිටිති. කෙසේ වෙතත් විශේෂයෙන් සැලකිය යුත්තේ ප‍්‍රහාරයේ පෙරමුන ගෙන සිටින ලිබරල් සංස්ථාපිතය හා ඩිමොක‍්‍රටික් පක්ෂය ඉටුකරන ක‍්‍රියාකලාපයයි.

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත සෞඛ්‍ය ආරක්ෂනය උඩු යටිකුරු කිරීමේ ඔබාමා පාලනාධිකාරයේ පිලිවෙත වෙනුවෙන් උද්ඝෝෂනයේදී ප‍්‍රමුඛ ක‍්‍රියා කලාපයක් ඉටු කරයි. ටයිම්ස්හි නිමක් නැති ලිපි මාලාවන් හා අදහස් දැක්වීම් තුල පිලිකා සම්බන්ධ අත්‍යවශ්‍ය විවිධ පර්යේෂන හා ප‍්‍රතිකාර වලට එරෙහිව පෙනී සිටියි. සාමාන්‍ය ඇමරිකානුවන්ගේ ආයුකාලය දීර්ග කිරීමේ කිසිදු සැබෑ වටිනාකමක් ඇත්දැයි ප‍්‍රශ්න කිරීම මගින් බෲක්ස්ගේ තීරුව සෞඛ්‍ය රක්ෂන කපාහැරීම සඳහා එවන් සියලු තර්ක ගොඩනැඟීමේ නිසග ප‍්‍රතිඥාවේ සුවිශේෂය බවට සරලව ම පත්ව ඇත.

2009 වසරේ ඔබාමාගේ සෞඛ්‍ය රක්ෂන උඩුයටි කිරීමේ විවාදය පැවැත්වෙද්දී, එය, "සාර්වත‍්‍රික” සෞඛ්‍ය රක්ෂන ක‍්‍රමයක් සම්පාදනය කිරීමේ අභිලාෂය මගින් අභිපේ‍්‍රරනය වන බවට කෙරුනු ප‍්‍රකාශ මධ්‍යයේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය අවධාරනය කලේ එය කිසිසේත්ම ප‍්‍රගතිශීලී ප‍්‍රතිසංස්කරනයක් නොව. "1965 සෞඛ්‍ය ආරක්ෂනය පිලිබඳ පනත සමග බැඳුනු සියලු සමාජ සහන අතුගා දැමීමේ උත්සාහයක කොටසක් ලෙස වැඩකරන ජනතාවගේ සෞඛ්‍ය සේවාවන්ට එල්ල කෙරෙන පෙර නොවූ විරූ ප‍්‍රහාරයක් වන” බවය. මෙම තක්සේරුව පසුගිය දෙවසර තුල මුලුමනින්ම සනාථ වී තිබේ. බෲක්ස්ගේ තීරුව වැන්නක් ප‍්‍රධාන පුවත්පතක පලකිරීමට හැකිවීමෙන් පෙනී යන්නේ ඇමරිකානු ව්‍යාපාරික හා මූල්‍ය ප‍්‍රභූව විසින් දියත්කර තිබෙන ප‍්‍රහාරයේ විසකුරු ස්වභාවයයි.

කේට් රැන්ඩෝල්