ඔබාමාගේ පොරොව වදිනු ඇත්තේ කොතැනට ද

Where Obama’s axe will fall

15 July 2011

ෆෙඩරල් රජයේ නය සීමාව නැංවීම මත කොංග‍්‍රසයේ රිපබ්ලිකානුවන් හා ඔබාමා පරිපාලනය අතර වර්තමානයේ පැනනැගී ඇති ආරවුල අවසන් කිරීම සඳහා රිපබ්ලිකානු සෙනෙට් සභිකයෙකු හා සුලුතරයේ නායකයා ද වන මිට්ච් මැකොනෙල් පරිපාටිමය යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් පසුව 13 දා ධවල මන්දිරය එයට දැක්වූ ප‍්‍රතිකි‍්‍රයාව කැපීපෙනෙයි. සිදුනොවන අපේක්ෂාවක් වුවත් කොංග‍්‍රසය ජනාධිපතිගේ නිෂේධ බලය යටපත් කලොත් මිස මෙම යෝජනාව වියදම් කප්පාදු කිරීමේ පනතකින් තොරව නය සීමාව ඉහල දැමීමට ඔබාමාට අවසරය ලබා දෙනු ඇත.

සමාජ සුබසාධන වැඩ සටහන් මත වැඩි පීඩනයක් යෙදීමට නය සීමා කාලාන්තය පාවිච්චි කිරීමේ තම වර්තමාන උත්සාහය අතහැර දැමීමක් වන නිසා නියෝජිත මන්ත‍්‍රී මන්ඩලයේ රිපබ්ලිකානුවෝ යෝජනාවට විරුද්ධ වූහ. අයවැය හිඟය අඩුකිරීමේ අර්ථවත් සමබර එකඟත්වයකට පැමිනීමේ විශිෂ්ට අවස්ථාව අල්ලා ගැනීමට පරිපාලනය තවමත් සූදානම් බව ප‍්‍රකාශ කරමින් ඔබාමාගේ ප‍්‍රවෘත්ති ලේකම් කාර්නේ මෙම ආස්ථානය ඉඳුරාම පිලි ගත්තේ ය.

නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පතේ සිට නේෂන් සඟරාව දක්වා වන ඔබාමාගේ ලිබරල් දේශපාලන ක්ෂමාලාපකයෝ රිපබ්ලිකානු අයවැය කප්පාදුකරුවන්ගෙන් සමාජ වැඩසටහන් ආරක්ෂා කිරීමට ඔබාමා යෝධ අරගලයක යෙදී සිටී යයි සිතුවම් කරන අතර ඔබාමාගේ ම ප‍්‍රකාශකයෝ දැවන්ත සමාජ වියදම් කප්පාදුව සඳහා වන ඔහුගේ කැපවීම පුනරුච්චාරනය කරති.

උප ජනාධිපති බිඩෙන්ගේ සභාපතිත්වයෙන් මෙහෙයවූ පසුගිය මාසයේ පැවති ද්විපාක්ෂික සාකච්ඡා ඇදහිය නොහැකි පරිමාවක සමාජ සේවා කප්පාදු දැනටමත් හඳුනාගෙන ඇත. මෙම කප්පාදු අවධානය යොමු කර ඇත්තේ අයවැය භාෂාවෙන් ගෘහ අභිමත වියදම් ලෙස හැඳින්වෙන හිමිකම් නොපෑහැකි වැඩ සටහන් වෙත ය. ඒ අනුව අවුරුදු 10ක් තුල ඩොලර් ටි‍්‍රලියන 1.5 සිට 1.7ක කප්පාදුවක් ඇස්තමේන්තු කර ඇත. විශාල කප්පාදුවලට ලක්ව තිබෙන වැඩසටහන් වලට විද්‍යාල සිසුන්ගේ පෙල් නමැති අධ්‍යාපන දීමනාව ආහාර මුද්දර ප‍්‍රවාහන වියදම් සම්පාදනය හා එක්සත් ජනපද රජයේ සේවකයින්ගේ විශ‍්‍රාම වැටුප් ද ඇතුලත් ය.

ඔබාමා නායකත්වය ගන්නා ධවල මන්දිර සාකච්ඡා වෛද්‍ය ආධාර, සෞඛ්‍ය ආරක්ෂන හා සමාජ සුභසාධනය යන සැබවින් ම නිව් ඩීල් වැඩපිලිවෙලින් ස්ථාපිත කල හා 1960 ගනන්වල පුලුල් කල ඉතිරිවී ඇති සමාජ සුබසාධන ව්‍යුහයේ සියලුම දේ වෙත යොමුව ඇත.

සෞඛ්‍ය ආරක්ෂනය: ෆෙඩරල් හා ප‍්‍රාන්ත ආන්ඩුවල ඒකාබද්ධ වැඩ සටහනක් වන මෙය දුප්පත් හා ආබාධිත අයගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා මෙන්ම මහලු දුගී කොටස්වල සාත්තු නිවාස සේවා සඳහා ද ගෙවීම් කරයි.

සමාජ ජරපත්්වීම හා ආර්ථික අවපාතයේ බලපෑමට අඩුවෙන්ම මුහුනපෑමේ හැකියාව ඇත්තේ සෞඛ්‍ය ආරක්ෂන ප‍්‍රතිලාභීන්ය යන්න නිර්නායකයකි. එක්කෝ ඔවුන් අන්ධ ය, නැතිනම් මානසිකව හෝ ශාරීරිකව දුබල ය, ඒත් නැත්නම් රැකියාවේදී හෝ මාර්ග අනතුරකින්, වෙනත් ක‍්‍රමයකින් වැඩ කල නොහැකි තත්වයට පත්ව ඇති බැවින් ඔවුන්ට තමන්ටම කියා මූල්‍ය සම්පත් ඇත්තේ නැත.

ඔබාමා පරිපාලනය ඉදිරි දස වසර තුල සෞඛ්‍ය ආරක්ෂන පිරිවැය ඩොලර් බිලියන 100 කින් කැපීම සඳහා එකඟත්වය පලකොට තිබේ. එය සිදුවන්නේ ලමා සෞඛ්‍ය රක්ෂන වැඩ සටහන කප්පාදු කිරීම ආරෝග්‍යශාලා හා අනෙකුත් සෞඛ්‍ය සේවා සම්පාදකයින් ගෙන් බදු අයකිරීමට රජයට ඇති හැකියාව සීමා කිරීම ද ඇතුලු සෞඛ්‍ය ආරක්ෂනයේ ෆෙඩරල් පිරිවැය කපා හැරීමෙනි.

සෞඛ්‍ය ආරක්ෂනය සඳහා ගෙවීම් කරන්නේ ප‍්‍රාන්ත ආන්ඩුවල පරිපාලනය යටතේ මධ්‍යම ආන්ඩුව විසින් නිසා එම අංශයේ කප්පාදුවක් ප‍්‍රාන්ත අයවැය හැකිලීමට තුඩු දෙන අතර එය දැනටමත් ප‍්‍රාන්ත ආන්ඩු දුසිම් ගනනක පටි තද කිරීම් හා දොට්ට දැමීම් සඳහා දොර විවෘත කර තිබේ. සෞඛ්‍ය ආරක්ෂනයේ කප්පාදුව සමස්තයක් වශයෙන් මිනිසුන් දස ලක්ෂ ගනනකට සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේ හැකියාව ක්ෂනිකව අවහිර කරන අතර ඉන් බොහොමයක් ලමුන් වන තත්වය හමුවේ ඊලඟ වසර දහය තුල ලෙඩ රෝග දිගු කලක් රෝහල් ගතවීම හා මරනය වැලැක්විය නොහැකිය.

මහලු අයගේ සෞඛ්‍ය පහසුකම් සඳහා ගෙවීම හෙවත් මෙඩිකෙයා වැඩ සටහන කප්පාදුවේ ලොකුම ඉලක්කය බවට පත්ව තිබේ. කොන්ග‍්‍රසයේ බහුතර නායක එරික් කැන්ටර්ට අනුව වසර දහයක් තුල මෙඩිකෙයා වැඩසටහනෙන් ඩොලර් බිලියන 353ක් කැපීම පිලිබඳව ඔබාමා පාලනය දැනටමත් සාකච්ඡා පවත්වා ඇත ගෘහ සෞඛ්‍ය ආරක්ෂාව හා විද්‍යාගාර පරීක්ෂන සදහා හවුල් ගෙවීම් සහ මෙඩිගැප් අතිරේක රක්ෂන සැලස්ම යටතේ සැපයිය හැක්කේ මොන සේවා ද යන්න මත සීමා කිරීම් සලකා බැලෙන යෝජනා අතර වේ.

සමහර වෛද්‍ය රැකවරන ප‍්‍රතිලාභ පරීක්ෂනයට ලක් කෙරෙනු ඇත. එනම් ඉහල ආදායම් ප‍්‍රතිලාභින්ට ඉහල අයකිරීම් ය. මේ මගින් වැඩසටහනේ සාර්වත‍්‍රික ස්වභාවය යටපත් කිරීමටත් එය දුප්පතුන්ගේ ”ශුභසාධක” වැඩසටහනක් බවට හැරවීමටත් රිපබ්ලිකානුවන් දීර්ග කාලයක් තිස්සේ බලා සිටි වෙනස ක‍්‍රියාත්මක වෙයි.

රෝග වැලැක්වීම සෞඛ්‍ය අධ්‍යාපනය හා මහජන සෞඛ්‍ය වැඩසටහන් සඳහා වියදම් කපා හැරෙනු ඇත. වියදම් දැරිය නොහැකි දුප්පත් රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම මගින් බොල් නය ගොඩගැසී ඇති රෝහල්වල ප‍්‍රතිපූරන ද කප්පාදුවට අයත්ය.

පසුගිය බදාදා ඔබාමා අනුමත කල බව වාර්තාවූ බරපතල ම ප‍්‍රහාරය නම් යෝග්‍යතා වයස අවුරුදු 65 සිට 67 දක්වා ඉහල දැමීමයි. අවුරුදු 65න් පසුව ජීවිත අපේක්ෂාව තව අවුරුදු 17ක් ලෙස සැලකුවහොත් අවුරුදු දෙකක යෝග්‍යතා කප්පාදුව වෛද්‍ය රක්ෂනය ලබන ඊලඟ පරම්පරාවේ එනම් 1970ට පසු ඉපදුන අයගේ ජීවිත අපේක්ෂාවේ ප්‍රතිලාභවලින් සියයට 12 ක කැපීමකි.

සෞඛ්‍ය ආරක්ෂනයේ කප්පාදුව අතිවිශාල මානව ව්‍යසනයක් වනු ඇත. වැඩිහිටි ජනයාට නැවත වතාවක් කෑම හා බෙහෙත් තුන්ඩුවක් ගැනීම අතරින් හෝ ගෙවල් කුලී ගෙවීම හා වෛද්‍ය බිල් ගෙවීම අතරින් එකක් තෝරා ගැනීමට බල කෙරෙනු ඇත.

සමාජ සුරක්ෂිතතාව: වැඩිහිටියන්ගෙන් තුනෙන් දෙකක් සිය ආදායමේ වැඩි පංඟුවක් ආන්ඩුවේ විශ‍්‍රාම වැටුප් මගින් පියවා ගනී. තුනෙන් එකකගේ ආදායමෙන් සියයට 90ක් හෝ ඊට වැඩි ප‍්‍රමානයක් සමාජ සුරක්ෂිත වැඩසටහනෙන් ආවරනය වේ. 2009දී සමාජ සුරක්ෂිතය මිලියන 14ක ජන සංඛ්‍යාවක් දුගී බවේ රේඛාවෙන් ඉහල තැබී ය. කාන්තා ප‍්‍රතිපත්ති අධ්‍යයන ආයතනයට අනුව සමාජ සුරක්ෂිතතාව නොමති වුවහොත් අවුරුදු 75 හෝ ඊට වැඩි කාන්තාවන්ගෙන් සියයට 58ක් ද පිරිමින් සියයට 48ක් ද දරිද්‍රතාවයට ඇද වැටෙනු ඇත. ඔබාමා සමාජ සුරක්ෂිත වැඩසටහන කප්පාදු කිරීමේ සාකච්ඡාවල මූලිකත්වය ගත්තේ ය. මෙම පියවර 2005දී සමාජ සංරක්ෂනය පුද්ගලීකරනය කිරීමට උත්සාහ කල ජෝර්ජ් බුෂ්ගේ ඇදවැටීම තවමත් මතකයෙහි ඇති නියෝජිත මන්ත‍්‍රී මන්ඩලයේ උග‍්‍ර දකෂිනාංශික කන්ඩායමේ ඉල්ලීම් ද ඉක්මවා ගියේ ය.

සමාජ සුරක්ෂිතය පිලිබඳ මූලික යෝජනාව නම් චේන්ඩ් සීපීඅයි යන ගනිතමය සූත‍්‍රය යොදා ගනිමින් ප‍්‍රතිලාභ ගනනය කිරීමයි. ඉහත කී ක‍්‍රමය වැඩිහිටියන්ගේ වෛද්‍ය ඖෂධ උපකරන හා සේවාවන් සඳහා වන වියදම්වලින් වැඩි කොටස ගනන් නොගන්නා උද්ධමනය පිලිබද ව්‍යාජ ඇසතමේන්තු යොදාගනිමින් අනාගත ප‍්‍රතිලාභ වැඩිකිරීම් තියුනු ලෙස කපාහරින ගිනුම් සූත‍්‍රයකි.

ලොස් ඇන්ජලිස් ටයිම්ස් තීරු රචක මයිකල් හිල්ට්ශික්ට අනුව "අයවැය කප්පාදු කරුවන්ට චේන්ඩ් සීපීඅයි මන්ත‍්‍රයේ වාසිය නම් එය වසරකට සියයට දශම 2ක් 3ක් බැගින් සම්ප‍්‍රදායානුකූල සීපීඅයි ක‍්‍රමයට වඩා පහල අනුපාතයකින් නිරන්තරව ඉහල යෑම යි. චේන්ඩ් සීපීඅයි ක‍්‍රමයට ජීවන වියදම් වැඩිවීම් ගනන් බැලීම වර්තමාන සූත‍්‍රය හා සැසඳු විට ඕනෑ ම අවුරුදු 30ක දී වැඩිහිටියෙකුගේ ප‍්‍රතිලාභ ආසන්න වශයෙන් සියයට 10ට වඩා කැපීමක් යයි සමාජ සුරක්ෂිතයේ විශේෂඥයින්ම ගනන් බලා ඇත.

වෙනස් කරන ලද සීපීඅයි ගනන්බැලීම්වල බලපෑම ප‍්‍රතිග‍්‍රාහකයන්ගේ වයස හා සම්බන්ධ වේ. "දිගු කලක් ප‍්‍රතිලාභ ලබන තාක් දුරට ඔබ සිටිනුයේ සිටිය යුතු තැනට වඩා පසුපසිනි. අවුරුදු 85ක් වයසැති අයෙකුගේ ප්‍රතිලාභ මට්ටම ඩොලර් 1,000 ක කැපීමක් විය හැක. අවුරුදු 95දී කැපීම ඩොලර් 1,400ක් විය හැක ඉදිරි අවරුදු 10දී චේන්ඩ් සීපීඅයි ක‍්‍රමය සමාජ සංරක්ෂන ප‍්‍රතිලාභ ඩොලර් බිලියන 112කින් කප්පාදු කරනු ඇත. මෙම සංඛ්‍යාව ඊලඟ දශකවල දී සීඝ‍්‍රයෙන් වැඩිවෙනු ඇත එම ඉතිරිකිරීම් වලින් තුනෙන් දෙකක් වසරකට ඩොලර් 100,000ට අඩුවෙන් උපයන්නන්ගෙන් වනු ඇතැ යි” ඒකාබද්ධ බදු කමිටුව ඇස්තමේන්තු කරයි.

මෙම කරුනු හා ගනන්හිලව් ඔබාමා පරිපාලනය හඹායන ප‍්‍රතිපත්තියේ පන්ති අක්ෂය විදහා දක්වයි. ධවල මන්දිරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදියෝ ඇමෙරිකානු සමාජයේ ඉතාමත් අනාරක්ෂිත දශ ලක්ෂ සඛ්‍යාවකගේ ජීවිත හා ජීවන තත්වයන් විනාශ කිරිමට වෝල් වීදියේ ආඥාවන් ක‍්‍රියාවට දමති.

මෙය හුදෙක් ඔබාමා රිපබ්ලිකානු දක්ෂිනාංශයේ පීඩනයට යටත්වීම නිසා සිදුවන්නක් නොවේ. සමස්තයක් ලෙස ඩිමොක‍්‍රටික් පක්ෂය ද විශේෂයෙන් ම ඔබාමා ද හිමිකම් වැඩසටහන්වලට පහර දීම මූල්‍ය ප‍්‍රභූවගේ පන්ති අවශ්‍යතාවයන් ආරක්ෂා කිරීමේ හදිසි අවශ්‍යතාවයක් ලෙස දකී. හරියට ම ග‍්‍රීසියේ, පෘතුගාලයේ, අයර්ලන්තයේ හා ලෝකය පුරා ඔවුන්ගේ සගයින් මෙනි.

ඔබාමා පරිපාලනයේ ආධාරකරුවන්ට පවා මෙම දේශපාලන යථාර්ථය පිලිගැනීමට බල කෙරී ඇත. ලිබරල් තීරු රචක හැරල්ඩ් මේයර්සෝන් මේ සතියේ මෙසේ ලීවේ ය. "ජනාධිපති ඔබාමා බොහෝ දුරට දකුනට තල්ලු වී ඇත. රිපබ්ලිකානුවන් විසින් ඉවත දමන ලද බොහෝ පරමාදර්ශයන් ඔහු ඇහිඳ ගෙන ඒවා තමන්ගේ ම දේ ලෙස වැලඳගෙන ඇත. ඔබාමායි දැන් හිඟ හා නය ගසා කන්නා. ඔහු සමාජ සුරක්ෂිතය හා වෛද්‍ය ආධාර කප්පාදු යෝජනා කර ඇත.”

ඩිමොක‍්‍රටික් හා රිපබ්ලිකානු දේශපාලඥයින් හා ව්‍යාපාර පාලිත ජන මාධ්‍ය විසින් ඉදිරිපත් කරන්නක් බැවින් අයවැය විවාදයේ සම්පූර්න රාමුව ම ප‍්‍රතික්ෂේප කරන ලෙස සමාජවාදී සමානතා පක්ෂය වැඩ කරන ජනතාවගෙන් ඉල්ලයි. ඇමෙරිකානු ධනවාදය විසින් ඇති කරන ලද ආර්ථික හා මූල්‍ය අර්බුදය සඳහා ගෙවීමට වෛද්‍ය ආධාර සෞඛ්‍ය රක්ෂන සමාජ සුරක්ෂිතය හෝ අනෙක් ඕනෑ ම වැදගත් සමාජ වැඩසටහන්වලින් හෝ එක ඩොලරයක් එක සතයක් නොකැපිය යුතු යයි අපි කියමු.

වැඩ කරන ජනතාව වැඩිහිටියන්, දුප්පතුන්, ආබාධිතයින් හා ලමුන් මෙම අර්බුදය ඇති කලේ නැත. එබැවින් ඔවුහු එයට ගෙවන්නන් නොකල යුත්තෝ ය. ආන්ඩුවේ හිඟයන් මකා දැමීමට හා අධ්‍යාපනය සෞඛ්‍ය සේවා මහජන ප‍්‍රවාහනය හා සමාජ පොදුකාර්ය ඇතුලත් රජයේ සේවය විශාල ලෙස පලල් කිරීමට හා වැඩිදියුනු කිරීමට අවශ්‍ය සම්පත් - ධනය නැවත බෙදාහැරීම මගින් හා ලාභය සඳහා නොව මානව අවශ්‍යතාවන්ට සේවය කිරීම සඳහා ආර්ථික පැවත් ම ප‍්‍රතිසංවිධානය කිරීම තුලින් ලබා ගත යුතු ය.

පසුගිය තිස් වසර පුරා එක්සත් ජනපද පාලක ප‍්‍රභූව පහල සිට ඉහලට මානව ඉතිහාසයේ දැවන්ත ම ධනය ගලායාම හසුරුවා ඇත. ධනවත් ම සියයට එක ජාතික ආදායමේ ඔවුන්ගේ කොටස තුන්ගුනයකින් වැඩි කර ගනිමින් ජාතික ධනයෙන් සියයට 40කට වඩා පොදිගසාගෙන ඇත. අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා මුදල් නැත යන නිගමනය මත පාදක නිල අයවැය සාකච්ඡා සමාජයේ මෙම සම්පත් බෙදීයාම ස්ථිර හා වෙනස් කල නොහැකි දෙයක් ලෙස සලකයි.

සමාජවාදී සමානතා පක්ෂය කම්කරු පන්තිය මුහුන දෙන අර්බුදය විසඳීම සඳහා හදිසි පියවර මාලාවක් යෝජනා කරයි. අපි ඉරාකයෙන්, ඇෆ්ගනිස්ථානයෙන් හා අනෙකුත් සියලු ම රටවලින් ඇමරිකානු හමුදා ඉවත් කිරීමටත්. මහජනතාවගේ අවශ්‍යතාවන් ඉටුකිරීමට ෆෙඩරල් සම්පත් මිලිටරිය වෙතින් යලි හරවා ගැනීමටත් සටන් කරමු. ඩොලර් 500,000 වඩා වැඩි සියලුම ආදායම් ලාභීන්ගෙන් සියයට 90ක බදු ද කෝටිපතියන්ගේ හා ප‍්‍රකෝටිපතියන්ගේ වත්කම්වලින් ඒ ආකාරයේ ම ධන බද්දක් ද අපි යෝජනා කරමු.

අර්බුදය සඳහා කම්කරු පන්තියට ඇති එක ම විසඳුම වනුයේ ශ‍්‍රමය විසින් නිර්මානය කෙරුනු පාලක ප‍්‍රභූවගේ දේපල අහෝසි කිරීමට සහ ප‍්‍රධාන බැංකු හා ව්‍යාපාර පෞද්ගලික ලාභය නොව, පොදුවේ භාන්ඩ නිෂ්පාදනය කරන මහජන ව්‍යවසායන් බවට පරිවර්තනය කිරීමට ස්වාධීන ජනතා දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම යි. මෙය යි සමාජවාදය සඳහා සටන!

පැට්‍රික් මාටින්

ලෝක සමාජවාදී වෙබ් අඩවිය විමසූ විට ආචාර්ය සංගමයේ ලේකම් නිර්මාල් රංජිත් දේවසිරි ප‍්‍රකාශ කලේ, "අපේ මූලික වැටුප වැඩිවෙලා නැහැ. වැඩිවෙලා තිබෙන්නේ (වැටුපට එකතු වන) ශාස්තී‍්‍රය දීමනාව සහ පර්යේෂන හා සංවර්ධන දීමනාව පමනයි” යනුවෙනි. ආන්ඩුව කථිකාචාර්යවරුන් කොටසකට පමනක් එම දීමනාව දෙගුනයකට ආසන්න ප‍්‍රමානයකින් වැඩි කර ඇත්තේ යමක් ලැබුනු බව සාමාජිකයන් ඉදිරියේ හුවා දක්වා අරගලය නතර කිරීමට සංගමයේ නායකත්වයට ඉඩ සලසාදීමටයි. සහකාර කථිකාචාර්යවරුන්ට කිසිදු දීමනා වැඩිවීමක් හෝ සිදු වී නැත.

මුල දී ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් සඳහා රු. 168,000ක් දක්වා වැටුප් වැඩි කිරීමේ ඉල්ලීමක් ඉදිරිපත් කල සංගමය, ආන්ඩුව එය ප‍්‍රතික්ෂේප කල තතු යටතේ, රු. 132,000කට ද පසුව රු. 126,000කට ද ඉල්ලීම පහලට බැස්සීය. දැන් දීමනා පමනක් වැඩි කිරීමේ ආන්ඩුවේ යෝජනාව පිලිගෙන ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකුගේ සමස්ත වැටුප රු. 115,000 දක්වා වැඩි කිරීමකට එකඟ වී ඇත. එවිට ද වැඩි වී ඇත්තේ, සමස්ත වැටුප ජ්‍යෙෂ්ඨ මහාචාර්වරයකුගේ රු. 15,000කින් ද පරිවාස කථිකාචාර්යවරයකුගේ රු. 1,500කින් ද පමනකියි සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක මහීන් මෙන්ඩිස් පැවසීය. මෙම දීමනා ඉහල දැමීම අර්ථසාධක අරමුදල හෝ විශ‍්‍රාම යාමේ දී පාරිතෝෂිකය වැඩි කිරීමට ද හේතු වන්නේ නැත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වැටුප් වැඩිවීමක් දීම දිගින්දිගටම ප‍්‍රතික්ෂේප කර සිටියේය. ඔහු ජුලි 13 දා භාන්ඩාගාර ලේකම් පී.බී. ජයසුන්දර හා උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් සුනිල් ජයන්ත නවරත්න හා එක්ව ආචාර්ය සංගමය සමග සාකච්ඡා කිරීමේ දී, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය දීමනා වැඩි කිරීම පිලිබඳ යෝජනාව ඉදිරිපත් කරමින් ආචාර්ය සංගමයට අවසන් නිවේදනය නිකුත් කලේය. ජනාධිපතිගෙන් "සාධනීය ප‍්‍රතිචාර” ලැබී ඇතැයි ආචාර්ය සංගමය ප‍්‍රකාශ කලේ මෙම තතු තුලය.

බ‍්‍රහස්පතින්දා රැස්වූ ආචාර්ය සංගමයේ විධායක කමිටුව, විරෝධතාව අත්හැරීමට තීන්දු කලේ, මුලුමනින්ම නොවුනත් බහුතරයකට විසඳුම් ලැබුනු බවට ව්‍යාජව ජනමාධ්‍යවලට ප‍්‍රකාශ කරමිනි.

වැටුප් ඉල්ලීම්වලින් පසුබැස්සේ, දේශපාලන හේතු මත බව දේවසිරි විවෘතවම පිලිගත්තේය. ලෝක සමාජවාදී වෙබ් අඩවිය විමසූ විට ඔහු මෙසේ සඳහන් කලේය: "ආන්ඩුව ගිය සතියේ ඉදිරිපත් කල යෝජනාවට අපි එකඟ වූයේ මීට එහා දෙපාර්ශ්වයටම යාමට නොහැකි තත්වයකයි. ආන්ඩුව දැඩිව කියනවා මීට වඩා වැටුප් වැඩිකරන්න බැරි බව. අපට වෘත්තීය සමිති මට්ටමින් තව ඉදිරියට යන්න බැහැ. ඉදිරියට යනවා නම් ඔබලා (සමාජවාදී සමානතා පක්ෂය) ඉදිරිපත් කරන ආකාරයේ දේශපාලන ඉදිරිදර්ශනයක් සහිතව සටන් කි‍්‍රයාමාර්ගයකට යන්න ඕන. නමුත් එහෙම සටනකට යන්න සුදුසු තත්වයක් නැහැ කියන එකයි අපේ හැඟීම. සාමාජිකත්වය ඒකට එකඟ කරගැනීම ඉතා අසීරුයි.”

දේවසිරි සහ ආචාර්ය සංගමයේ නායකයන් තැත් කරන්නේ, ආන්ඩුව සමග සම්මුති ගසා විරෝධතාව නතර කිරීමේ වගකීම සාමාජිකයන්ගේ කරේ පටවා තමන් සිදු කර ඇති දේශපාලන යටත්වීම වසා ගැනීමටයි. දෙපාර්ශ්වයට මීට එහා යා නොහැකි තත්වයක් උදා වූයේ යයි දේවසිරි ප‍්‍රකාශ කරන විට එහි තේරුම, ආන්ඩුව සමග සම්මුතියකින් කි‍්‍රයා කිරීම තමන්ගේ පිලිවෙත බවයි. ඉතා සීමිත විරෝධතාව පටන් ගැන්මේ සිටම පසක් වූයේ රාජපක්ෂ ආන්ඩුවට එරෙහි දේශපාලන අරගලයකින් තොරව වැටුප් සහ අනෙකුත් ඉල්ලීම් දිනාගත නොහැකි බවය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ඉල්ලීම "දැරිය නොහැකි” එකක් බව ද එය දුන්නොත් විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මන්ඩලය හා අනෙකුත් ආන්ඩුවේ සේවකයන් එවැනිම ඉල්ලීම් ඉදිරිපත් කරනු ඇතැයි ද රාජපක්ෂ කිවේය. ජනමාධ්‍ය කර්තෘ රැස්වීමක දී ආචාර්ය සංගමයේ විරෝධතා ගැන නැගුනු ප‍්‍රශ්නයකට පිලිතුරු දෙමින් රාජපක්ෂ ඇසුවේ "සල්ලි අච්චු ගහලා පඩි වැඩි කරන්න ද කියන්නෙ?” යනුවෙනි. රාජපක්ෂ මේ ප‍්‍රකාශය කලේ, 1996 දී පටන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි නොකල තත්වයකයි, 2006 පටන් ආන්ඩුව රජයේ සේවකයන්ට පඩි වැඩිවීමක් නොදී දීමනා පමනක් ජීවන වියදමට නොසරිලන ලෙස සොච්චමකින් වැඩි කල තත්වයකයි.

දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි යුද්ධය කාලයේ දී කම්කරුවන් වැඩි වැටුප් ඉල්ලූ විට රාජපක්ෂ වෘත්තීය සමිතිවලට රැව්වේ, "මට යුද්ධය නතර කරන්න කියලද තමුසෙලා කියන්නේ” යනුවෙනි. සමිති නායකයෝ එවිට කරබාගෙන කම්කරුවන් මත යුද්ධයේ බර පැටවීමට හවුල් වූහ.

යුද්ධය කෙලවර වන විට කඳු ගැසුනු වියදම් මෙන්ම 2008 එක්සත් ජනපදයේ බැංකුවල කඩාවැටීම්වල බලපෑමෙන් උග‍්‍ර වූ ජාත්‍යන්තර ධනවාදයේ අර්බුදය, කම්කරුවන් හා පීඩිතයන් මත පැටවීමට ආන්ඩුව කි‍්‍රයාකරමින් සිටී. එය කි‍්‍රයාත්මක වන්නේ 2009 ජුලි මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගත් නයවල කොන්දේසි අනුව රාජ්‍ය වියදම් බරපතල ලෙස කැපීම, සුබසාධන වියදම් කප්පාදුව සහ අනෙකුත් ආර්ථික ප‍්‍රතිසංස්කරන කි‍්‍රයාවට දැමීම ලෙසය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනය කිරීමට සහ විදේශ ආයෝජකයන් කැඳවීමට ආන්ඩුව තීන්දු කර ඇත්තේ, අධ්‍යාපන වියදම් කප්පාදුවේ කොටසක් ලෙසය.

ආන්ඩුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ විරෝධතාවට එරෙහිව බුරාපනිමින් ස්වේච්ඡා පරිපාලන තනතුරුවලින් ඉවත් වූ ආචාර්යවරුන්ට එම තනතුරු යලි නොදෙන බවට තර්ජනය කලේය. ආන්ඩුවට ගැති ශිෂ්‍යයන් යොදාගෙන එම විරෝධතාවට එරෙහි උසාවි වාරන නියෝගයක් ද පනවා ගත්තේය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර ශිෂ්‍යයෝ (සසජාශි) සංවිධානය ඉදිරිපත් කල කි‍්‍රයාමාර්ගය වූයේ, ජීවන කොන්දේසි රැකගනීම පිනිස සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පුද්ගලීකරනයට එරෙහිව ආචාර්යවරුන් සහ ශිෂ්‍යයන් කම්කරු පන්තිය වෙත හැරී සමාජවාදී ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් වැදීමේ ජාත්‍යන්තර සමාජවාදී අරගලයට එලඹෙන ලෙසයි. දේවසිරි මෙම කි‍්‍රයාමාර්ගයට විරුද්ධ වූයේ, "අප කි‍්‍රයා කරන්නේ වෘත්තීය සමිතියක් හැටියටයි. දේශපාලන කි‍්‍රයාමාර්ග උඩ වැඩ කිරීම දේශපාලන පක්ෂවල කටයුත්තයි" යනුවෙන් පවසමිනි.

සාමාජිකත්වය දේශපාලන අරගලයකට එකඟ කරවා ගැනීම අසීරු බව දේවසිරි පවසන්නේ, එවැනි අරගලයකට විරුද්ධව සිටිමිනි. ආචාර්යවරුන්ගේ විරෝධතා මාස දෙකකට වැඩි කලක් පැවතියේ, ආචාර්යවරුන් බහුතරයක් එයට සහභාගි වී, පෙර නොවූ විරූ ලෙස පෙලපාලි හා පිකට් කිරීම්වල යෙදෙමින් ආන්ඩුවේ තර්ජන හා ගර්ජන ප‍්‍රතික්ෂේප කරමිනි.

එහෙත් දේවසිරි සහ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශය භාර මහාචාර්ය සුමනසිරි ලියනගේ ආචාර්ය සංගමය මුදුනේ සිටියේ, ධනපති ක‍්‍රමය තුල ප‍්‍රශ්න විසඳා ගත හැකි බව අවධාරනය කරමිනි. ජූනි 20 දා කොලඹ පැවති රැුස්වීමක දී ලියනගේ "වැටුප් අරගලය නිසැකවම ජයගන්නා” බවට පූච්චානම් කීවේ, "පෙර පැවති සමාජ සුබසාධන අදහස්වලට දැන් වෙලඳ පොල ප‍්‍රතිපත්තිවලින් වලකැපී ඇති” බව ද "ආන්ඩුව ආර්ථික පිලිවෙත් ප‍්‍රමුඛතාව අනුව පෙලගස්වන්නේ කෙසේදැයි නොදන්නා” බව ද පවසමින්ය. ඔහු ඉස්මතු වී ඇත්තේ, ධනවාදී පද්ධතිය නිසි පරිදි ප‍්‍රමුඛතාව අනුව කලමනාකරනය කරන්නේ කෙසේ දැයි උපදෙස් දෙන්නෙකු ලෙසය.

ලියනගේ අනුව යමින්, "නව ලිබරල්වාදයට එරෙහිව සමාජ සංවර්ධනය සහ සමාජ සාධාරනත්වය සඳහා අරගලයක් කල යුතු” බව ද කී දේවසිරි ආචාර්යවරුන්ගේ වැටුප් අරගලය "යම් කිසි ආන්ඩුවකට එරෙහි අරගලයක් නොවේ” යයි ද ප‍්‍රකාශ කලේය.

ලියනගේ හා දේවසිරි ආන්ඩුවට බලපෑම් දමා අයිතීන් දිනාගත හැකිය යන මිථ්‍යාව තොරොම්බල් කරන ගමන්ම ධනපති ක‍්‍රමය තුල සමාජ සාධාරනත්වය හා සංවර්ධනය ඇති කරගත හැකිය යන උගුලක ආචාර්යවරුන් පමනක් නොව ශිෂ්‍යයන් හා කම්කරුවන් ද හිර කිරීමේ න්‍යාය සම්පාදනය කරති. එසේ කරන්නේ සමාජවාදී පිලිවෙත් සඳහා අරගලයට කල් එලඹ නැතැයි යනුවෙන් ඒ සඳහා අරගලයට එරෙහිව ඉදිරිපත් වූ චිරකාලීන හම්පඩ අවස්ථාවාදී න්‍යාය ඉදිරිපත් කරමිනි.

ලියනගේ හා දේවසිරි හිටපු රැඩිකලුන් ලෙස අතීතයේ "සමාජවාදය” ගැන විටින්විට බොල් කතා දොඩවමින් සිට අද ඉදිරිපත්ව ඇත්තේ, ආන්ඩුවේ ප‍්‍රහාර පරාජය කිරීමේ අරගලයට විරුද්ධවය. ශිෂ්‍යයන් හා කම්කරුවන් ඇතුලු බහුතර ජනයාගේ සහයෝගය ආචාර්යවරුන්ගේ විරෝධතාවට ලැබුනි. ආචාර්ය සංගමය ඔවුන්ගේ ආධාරය විවෘතව ඉල්ලා නොසිටියේ, එම කොටස් වහා සහායට ඒමේ කොන්දේසි පැවති නිසාම ය. ඒ වෙනුවට ආන්ඩුව සමග සම්මුතියක් බලාපොරොත්තුවෙන් ඔවුන් හැරුනේ, විරුද්ධ පක්ෂයේ යූඇන්පිය ද ආන්ඩුවේ කොටස්කාරයන් වන ලංකා සමසමාජ පක්ෂය (ලසසප), ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය හා ජාතිවාදී මහජන එක්සත් පෙරමුන වෙතය.

නව සමසමාජ පක්ෂයේ (නසසප) නායක වික‍්‍රමබාහු කරුනාරත්න ආචාර්ය සංගමයේ පාවාදීමට පිටුබලය දෙන්නා ලෙස ඉදිරිපත් විය. ආචාර්ය සංගමය ඉහත සඳහන් පක්ෂවල නියෝජිතයන් සමග ජූනි 26 දා පැවති රැස්වීමට කරුනාරත්න ද විලිලැජ්ජා නැතිව සහභාගි විය.

යූඇන්පිය ආන්ඩුවට එරෙහි විරෝධතා තමන්ගේ දක්ෂිනාංශික න්‍යාය පත‍්‍රය සඳහා ගසාකන පක්ෂයකි. අනෙක් පක්ෂ ආන්ඩුවේ කොටස්කාරයන් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදුවලට විවෘතව සහාය දෙන්නෝය. එම රැස්වීමේ දී කරුනාරත්න මෙසේ යෝජනා කලේය: "මම යෝජනා කලා මේ අදහස (විශ්වවිද්‍යාල සටන නිවැරැදියි යන අදහස) එන විධියට පොඩි පෙත්සමක් අත්සන් කරමු කියලා. හැමෝටම ඕන වුනේ පොදුවේ බලපෑමක් සමාජය වෙතට ගෙනයාමටයි.” කරුනාරත්න මෙම රැස්වීමට මැදිහත් වූයේ "සමාජය වෙතින්” බලපෑම් දැමීමේ මහා ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමකින් ආන්ඩුව නම්මා ගත හැකිය යන මිථ්‍යාව තහවුරු කිරීමටයි.

ධනේශ්වර විපක්ෂ සහ ආන්ඩුවේ පක්ෂ සමග එක්වී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා කම්කරුවන් ඉදිරියේ මතුව ඇති දේශපාලන ප‍්‍රශ්න යටගැසීමට නසසප නායකයා ආචාර්ය සංගමයට කවරයක් සැපයූවේ එලෙස ය.

සරසවි ආචාර්ය විරෝධතාව තුල සනාථ වී ඇත්තේ විකල්ප දේශපාලන කි‍්‍රයාමාර්ගය සපයන එකම පක්ෂය සසප බවයි. ධනේශ්වර පක්ෂවලින් ද වෘත්තීය සමිති විලංගුවලින් ද බිඳෙමින් සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමට සසප ද එහි තරුන සංවිධානය වන සසජාශි සමග ද එක් වන ලෙස අපි ඉල්ලමු.