ඔස්ලෝ ඝාතන

The slaughter in Oslo

25 July 2011

22දා බොහොමයක් තරුනයන් වු පුද්ගලයින් 92කට මරු කැඳවමින් ඔස්ලෝහි සිදුවූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාර එවැනිම දක්ෂිනාංශික පසුබිමක් සහිත 1995 ඔක්ලහෝමා නගරයේ බෝම්බ සිද්ධියට සමාන කරනු ලැබේ. ඔස්ලෝ ප‍්‍රචන්ඩ ක‍්‍රියා කොලරාඩෝහි කොලොම්බියානු උසස් පාසැලේ හා අර්ෆර්ට්හි හා ජර්මනියේ විනෙන්ඩන් පාසැල්වල වෙඩිතැබීම් සමග ද සසඳනු ලැබේ.

එහෙත් ඔස්ලෝ ඝාතනයන්හි නව ගුනයක් දක්නට ලැබේ. අන්ත දක්ෂිනාංශික ප‍්‍රචන්ඩත්වය දැන් දේශපාලන පක්ෂයක් වෙත ඉලක්ක කර ඇත්තේ එහි නියම දේශපාලනය නොසලකා අපරාධකරු "සංස්කෘතික මාක්ස්වාදය” ජාත්‍යන්තරවාදය හා පොදුවේ වාමාංශික දෘෂ්ටීන් සමග එය අනන්‍ය කර ගැනීම නිසාය.

සිද්ධිය වූ ස්ථානයේදී අත්අඩංගුවට ගත් ඇන්ඩර්ස් බේරිං බී‍්‍රවික් ඔහුගේ බෝම්බ ප‍්‍රහාරයට තෝරාගෙන තිබුනේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර අගමැති ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග්ගේ කාර්යාල සංකීර්නයයි. ඉන් පසුව නෝර්විජියානු කම්කරු පක්ෂය දශක ගනනාවක් තිස්සේ තම තරුන කඳවුර පවත්වනු ලබන ඉයෝටා දිවයිනට ගිය ඔහු කඳවුරට සහභාගී වූවන් අමු අමුවේ මරා දැමීය. එය වනාහි සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර පක්ෂයට එරෙහිව හොඳින් ගනන් බලා එල්ල කල දේශපාලන අභිපේ‍්‍රරනයක් සහිත ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයකි.

අපරාධකරු දැන සිටි සියල්ල ඇඟවුම් කරන්නේ එය වනාහි සැලසුම් කල දේශපාලන ප‍්‍රහාරයක් මිස මදාවිකාර උන්මත්තක ක‍්‍රියාවක් නොවන බවයි. බී‍්‍රවික් දෙවසරක් තිස්සේ එයට සූදානම් වූ අතර නිර්භයව එය සිදුකරනු ලැබුවේ නිවැරදි ඉලක්කයක් ඇතිවය. හිස් ලූලූ අත දිවූ බෙහෝ දෙනෙක් මෙන් නොව ඔහු සිය දිවි නසා නොගෙන පොලිසියට භාර විය.

බී‍්‍රවික් ක‍්‍රියා කලේ තනිවම ද නැතහොත් වෙනත් අපරාධකරුවන් සමග ද යන්න තහවුරු කර නැතත් එදින සංහාරයට සම්බන්ධ බවට සැක පිට තවත් පුද්ගලයින් සය දෙනෙක් අත්අඩංඟුවට ගෙන ඇති බවට වාර්තා පලවෙයි.

සිය විශාල තෙල් සංචිතවල ලාභ නිසා කුඩා නමුත් ධනවත් රටක් වන නොර්වේහි මෙම ප‍්‍රහාරය සිදුවීම විශේෂ දේශපාලන වැදගත්කමක් දරයි. දරුනු සමාජ කප්පාදු ක‍්‍රියාවට නඟා ඇති අනෙකුත් යුරෝපීය රටවල් සමඟ සසඳන කල තවමත් එහි පවතින සමාජ සහන ඉහල මට්ටමක පවතින බැවින් සමහරු සිතන්නේ එය ධනවාදය යටතේ සාමය හා සෞභාග්‍යය උදාකර ගැනීමේ හැකියාව ඇති බව සනාථ කරන යම් වර්ගයක ස්කැන්ඩිනේවියානු මනෝරාජ්‍යයක් ලෙසය. ඔස්ලෝවේ ඛේදවාචකය මෙම මිත්‍යාව කුඩු පට්ටම් කලේය.

බී‍්‍රවික්ගේ දේශපාලන දර්ශන පථය පෙන්නුම් කරන්නේ යුරෝපයේ ධනේශ්වර දේශපාලනයේ බලගතු හා පුලුල් ප‍්‍රවාහයන් තුලින් ඒවා පෝෂනය වී තිබෙන බවය. ඔහු දක්ෂිනාංශික විද්‍යුත් මාධ්‍ය තුල සටහන් වැලක්ම තබාගොස් ඇත. ප‍්‍රහාරයට මඳකට කලින් ඔහු පිටු 1,500ක ලේඛනයක් විද්‍යුත් තැපෑලෙන් යවා ඇති අතර එය ඔහුගේ චින්තනය තුලට එබී බැලීම සඳහා යම් අභිනිවේෂයක් සම්පාදනය කරයි. එය පදනම් වන්නේ ෆැසිස්ට්වාදී කල්ලි වලින් පමනක් නොව සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් ද ඇතුලු ස්ථාපිත ධනේශ්වර දේශපාලන පක්ෂ තුලින් ද දිනාගන්නා සහාය මතය.

යොමුව මුස්ලිම් වරුන් කෙරෙහි වෛරයයි. නාසීන් වෙනුවෙන් යුදෙව් විරෝධය ඉටුකල සේවය හා සමාන යමක් අද දිනයේ ෆැසිස්ට්වාදීන් සඳහා මුස්ලිම් විරෝධී වර්ගවාදය විසින් ඉටුකරනු ලබයි.

ඉස්ලාමීය සංක‍්‍රමනිකයින් යුරෝපයේ ජාතික සංස්කෘතීන් විනාශ කරන්නේය යන අනතුරු ඇඟවීම් බී‍්‍රවික්ගේ ලිඛිත ප‍්‍රකාශ තුලින් දිවේ. ඔහුගේ විද්‍යුත් තැපෑල විමර්ෂනය කල වෙල්ට් ඔන්ලයින් මාධ්‍යයට අනුව "ඉස්ලාම්වාදයට හා බහු සංස්කෘතික සමාජයකට එරෙහිව පැහැදිලි ආලෝක කදම්බයක්’’ යැවීමේ අදහසින් ජන ඝාතන වෙනුවෙන් ඔහු කැපවී සිටියේය.

"සංස්කෘතික මාක්ස්වාදය- බහු සංස්කෘතිකවාදය- දේශපාලන නිරවද්‍යතාව” යන වාමාංශය ඔහු සලකන ලද්දේ ජාතික සංස්කෘතිය ආරක්ෂා කිරීමේ බාධක ලෙසයි. ලේබර් පක්ෂය පසෙකින් ඔහු "ජාතික මාධ්‍ය සමාගම් වලින් සියයට සියයක් - නෝර්වීජියානු මාධ්‍යවේදීන්ගෙන් සියයට 98ක්” මේ ප‍්‍රවර්ගයන්ට අඩංඟු කලේය.

1997 සිට 2007 දක්වා බී‍්‍රවික් නෝර්වීජියානු ප‍්‍රගතිශීලී හා එහි තරුන සංගමයේ සාමාජිකයෙකුව සිටියේය. 2005 හා 2009 පාර්ලිමේන්තු මැතිවරන වලින් ප‍්‍රගතිශීලී පක්ෂය සියයට 20ක් පමන ඡන්ද ලබාගත්තේය. මුලින් පිහිටුවන ලද්දේ බදු කපාහැරීම වෙනුවෙන් පෙනී සිටින පක්ෂයක් ලෙස වුවත් දැන් එය ඉස්ලාම් භීතිකාව හා සංක‍්‍රමනික විරෝධය සමඟ කවලම් කල සමාජ වාචාලත්වයේ හා නිදහස් වෙලඳපොල ආර්ථික පිලිවෙත් ඉදිරිපත් කරයි.

පසුගිය වසර තරම් මෑතකදී ප‍්‍රගතිශීලී පක්ෂයේ ප‍්‍රමුඛ සාමාජිකයින් දෙදෙනෙක් නෝර්වීජියානු සංස්කෘතියට "පිටුපසින් සිට පිහියෙන් අනින” බවට ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්හට චෝදනා නැඟූහ. ඇෆ්ටන්පොස්ටන් පුවත්පතෙහි ඔවුහු මෙසේ ලිවූහ. "සෑම වසරකම විවිධ සංස්කෘතික හා අසංස්කෘතික නව නෝර්වීජියානුන් දහස් ගනනක් අප මත පටවන්නේ කම්කරු පක්ෂයයි. මෙය බී‍්‍රවික්ගේ දෘෂ්ටියෙහි මඟ සලකුනු කරයි.

සිය ඝාතන රැල්ලට මඳකට පෙර බී‍්‍රවික් විද්‍යුත් තැපෑල ගතකල පිටු 1,500න් යුත් "2083 - නිදහසේ යුරෝපීය ප‍්‍රකාශනය” යන හිසින් යුත් ඔහුගේ ප‍්‍රකාශය ස්පීගල් ඔන් ලයින් සඳහන් කල පරිදි "බහු සංස්කෘතික වෛරක්කාරයින් හා ඉස්ලාම්වාදයේ සතුරන්” යන යුරෝපීය වාතාවරනයෙන් උපුටාගත් උධ‍්‍රැත පාඨවල සුරුවමක් විය.

දේශපාලනිකව සදොස් අයුරින් ජර්මානු වෙබ් අඩවියක් "බී‍්‍රවික් ලියන බොහෝ දේ මෙම සංසදය තුලින් සොයාගත හැකිය.” ඔහු යොදාගත් උධ‍්‍රැතයන් සියල්ලක්ම පාහේ ගෙන ඇත්තේ අන්තර් ජාලය තුල පුලුල්ව බෙදාහැරෙන ෆෝර්ඩ්මන් නමැත්තාගේ විද්‍යුත් තැපෑලෙනි යනුවෙන් සඳහන් කර තිබේ.

ස්පීගල් ඔන්ලයින්හි යුරෝපීය වාතාවරනය යනු බොහෝ දෙනෙක් අතුරින් ඇමරිකානු ටී පාටි ව්‍යාපාරය ඔස්ටි‍්‍රයන් නිදහස් පක්ෂය හා ඉංග‍්‍රීසි ආරක්ෂක ලීගය සමග සම්බන්ධකම් පවත්වන වෙබ් අඩවි හා විද්‍යුත් තැපෑලේ ජාලයකි. සම්ප‍්‍රධායික නව නාසිවාදීන් මෙන් නොව මෙම ජාලය සුවිශේෂිතව ම ඇමරිකානු හා ඊස්රායල් ගැතිකම් සහිතය. එය සමහර විට යුදෙව් ආරක්ෂක ලීගය සමග ද වැඩ කරයි.

මුස්ලිම් හා අනෙකුත් සංස්කෘතීන්ට එරෙහි දඩයම මෙම දක්ෂිනාංශික කවයන්ට පමනක් සීමාවී නැත. බොහෝ යුරෝපීය ආන්ඩු ද තම රටවල් තුල නැගෙන සමාජ ආතතීන් කෙරෙන් අවධානය ඉවතට හැරවීම පිනිස ඉස්ලාම් විරෝධී මනෝගතීන් අවුස්සති. නිදසුනක් ලෙස ප‍්‍රන්සය හා බෙල්ජියම සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගේ හා සුලු ධනපති "වාම” පක්ෂ වල ද සහාය ඇතිව බුර්කා හිස් පලඳනාව ඇඳීම තහනම්කොට තිබේ.

ජර්මනියේදී චාන්සලර් ඇන්ජිලා මර්කෙල් ප‍්‍රකාශ කලේ "බහු සංස්කෘතිකවාදය” අසාර්ථකවී ඇති බවයි. බර්ලින් ප‍්‍රාන්ත ආන්ඩුවේ හිටපු මුදල් ඇමති තිලෝ සරසින්ගේ (ඔහු තවමත් සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර පක්ෂයේ සාමාජිකයෙකි) ඉස්ලාම් විරෝධී න්‍යායන් හේතුකොටගෙන ඔහු ෆෝර්ඩ්මාන්ගේ පැසසුමට ලක්වෙයි.

ඉරාකයේ ඇෆ්ගනිස්ථානයේ හා ලිබියාවේ අධිරාජ්‍යවාදී යුද්ධ යුක්තිසහගත කිරීමේ "ත‍්‍රස්තයට එරෙහි යුද්ධයේ” කොටසක් ලෙස ද ඉස්ලාම් විරෝධය උසිගන්වනු ලබයි. එබැවින් ඔස්ලෝ ඝාතනයන්ට ප‍්‍රතිචාර දක්වමින් ජනාධිපති ඔබාමා "ත‍්‍රස්තයට එරෙහි යුද්ධය” සවිමත් කල යුතුයයි කියා සිටීම නරුමත්වයට වැඩි දෙයකි. සත්තකින්ම ඔස්ලෝ ඛේදවාචකය සඳහා එම "යුද්ධ” කෙලින්ම දායක වී තිබේ.

ෆැසිස්ට් බලවේගයන් වර්ධනය වීමේ වගකීම සමස්ත ධනේශ්වරයේම ප‍්‍රතිපත්ති සමග බද්ධව ඇත. කෙසේ වෙතත් මේ තුල අවසානයේදී ෆැසිස්ට්වාදීන්ගේ ඉලක්කය බවට පත්වූ සමජ ප‍්‍රජාතන්ත‍්‍රයේ හා සුලූධනේශ්වර පැරනි වාම පක්ෂ වල ක‍්‍රියාකලාපය සුවිශේෂිතව ම විසකුරුය. සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීහු ශුභ සාධන රාජ්‍ය බිඳ විසුරුවීමේදී ද වැටුප් කැපීමේ හා රැකියා වෙලඳපොල විසුරුවා හරින විට සුලු ධනපති හිටපු වම්මු හා වෘත්තීය සමිති නිලධරය කම්කරු පන්තියෙන් පලවුනු සියලු විරෝධතා මඬිනු ලැබූහ. එහි ප‍්‍රතිපලය වූයේ විරෝධතා පුරාජේරුව අන්ත දක්ෂිනාංශය අතට පත්වීමයි.

මේ කාරනයේදී නෝර්වේ රට වෙනස් වන්නේ නැත 2000-2001 අතර සිය කෙටි පාලන කාලය තුල ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් බි‍්‍රතාන්‍යයේ අගමැති ටෝනි බ්ලෙයාර්ගේ නව කම්කරු පිලිවෙතට නැඹුරු වෙමින් ශුභ සාධන රාජ්‍යයේ කප්පාදුව හා අත්‍යවශ්‍ය මහජන සේවා පුද්ගලීකරනය ක‍්‍රියාවට නැඟීය. 2005දී ඔහු ඔබාමාගෙන් සිය ආවේශය ලබාගත් අතර යලි බලයට පත්වූයේ ”ජෙන්ස් අපට පුලුවනි” යන සටන් පාඨය යටතේය. එතැන් පටන් ඔහු සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර-හරිත සභාගයක් තුලින් සමාජවාදී වාම පක්ෂය හා දක්ෂිනාංශික ගොවි පක්ෂයේ සහාය ද ඇතිව පාලනය ගෙන ගියේ ය.

මෙම ආන්ඩුව සිතා මතාම විදේශිකයින් නොරිස්සීමේ මනෝගතීන් ඇවිස්සීය. නිදසුනක් ලෙස මේ වසරේ ජනවාරියෙහි රුසියාවේ උපත ලත් ලේඛිකාවක් වන මාරියා ඇමිලී ප‍්‍රසිද්ධියේම පිටුවහල් කලේ ඇය නොර්වේහි නව වසරක් ජීවත්ව සිටීමේ හා ඇගේ ආරක්ෂාව වෙනුවෙන් පුලුල් ව්‍යාපාරයක් ගොඩනැගෙමින් තිබීමේ කාරනය නොතකාය. රටතුල සැලකියයුතු විරෝධයක් පැවතියේ වුවත් ඇෆ්ගනිස්ථාන යුද්ධයටත් ලිබියාවට බෝම්බ හෙලීමේ යුද ව්‍යායාමයටත් නෝර්වේ රජය සහභාගී විය.

ඔස්ලෝහි මෙම සිදුවීම් යුරෝපය පුරා කම්කරු පන්තියට කෙරෙන අනතුරු ඇඟවීමකි. අධිරාජ්‍යවාදී යුද්ධයෙන් ද ඉස්ලාම් විරෝධයෙන් ද වසකවා ඇති මෙම දේශපාලන බිම සිය පලමු වස සහිත ඵලය දැන් බිහිකර ඇත. විශාල අනතුරක් ද මිනීමරු ෆැසිස්ට් ව්‍යාපාරයක් නැඟීඒම සඳහා රසකාරක ද පැසෙමින් තිබේ.

කෙසේ වෙතත් අන්ත දක්ෂිනාංශික බලවේග තවමත් කුඩාය. ප‍්‍රධාන අන්තරාය මතුවන්නේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රයට ද වෘත්තීය සමිති හා හිටපු වම්මුන් අතර ඒවායේ ආරක්ෂකයින්ට ද කම්කරු පන්තිය යටත්කර තැබීමෙන්ය. එහි ප‍්‍රතිපල වශයෙන් ඇතිව තිබෙන කම්කරු පන්තියේ පක්ෂාඝාතය ෆැසිස්ට් වාදීන්ගේ දේශපාලන අනුහස වැඩීම සඳහා කොන්දේසි නිර්මානය කරයි.

ඔස්ලෝහි සමූලඝාතනයේ පාඩම් උකහා ගැනීමට නම් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගෙන් වෘත්තීය සමිති වලින් හා ඒවායේ ආරක්ෂකයින් වන ව්‍යාජ වම්මුන්ගෙන් බිඳී වෙන්ව කම්කරු පන්ති අරගලයේ ජනතා හා ප‍්‍රජාතන්ත‍්‍ර සංවිධාන හා නව විප්ලවවාදී නායකත්වයක් ගොඩනැඟීම අවශ්‍ය කෙරෙයි. කම්කරුවන් සමාජවාදී ක‍්‍රියාමාර්ගයක පදනමේ ශුභසාධන කප්පාදුවට, විරැකියාවට හා වැටුප් කැපීමට එරෙහි අරගලයට පිවිසෙමින් දක්ෂිනාංශික වාචාලයින්ගේ දෙපා යටින් ඔවුන්ගේ පදනම කපා දැමිය යුතුය.

පීටර් ෂ්වාස්