ලිබියාවේ යුද්ධය හා යුරෝපීය සංගමයේ අර්බුදය

The war in Libya and the crisis of the European Union

By Peter Schwarz,31 May 2011

2011 පාස්කු නිවාඩුවේ දී සමාජවාදී සමානතා පක්ෂයේ ජර්මානු ශාඛාව පැවැත්වූ සම්මන්ත‍්‍රනයක දී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලේකම් පීටර් ෂ්වාස් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් පදනම් කරගෙන මතු දැක්වෙන කොටස් තුනකින් යුත් ලිපි පෙ‍ලේ දෙවැන්නයි. පලමු වන කොටස ඊයේ පලවිය.

2 කොටස

යුරෝපීය සංගමයේ අර්බුදය

ජර්මනිය හා ප‍්‍රන්සය අතර විසංවාදයන් විදේශ ප‍්‍රතිපත්තිය පිලිබඳ කරුනුවලට පමනක් සීමා වී නැත. යුරෝව හා යුරෝපීය සංගමය ම අනතුරට ලක් කෙරෙන ආර්ථික හා මූල්‍යමය කාරනා මුල්කරගත් තියුනු ගැටුම් ද පවත්නේ ය.

යුරෝව හඳුන්වාදීමෙන් යුරෝපය තුල අනර්ග එකමුතුවක් ගොඩනැගෙනු ඇතැයි යන හෙල්මුට් කෝල්, ජොෂ්කා ෆිෂර් හා තවත් අයගේ බලාපොරොත්තු ඉටු නො වී ය. ඒ වෙනුවට සිදුවූයේ ආර්ථික හා සමාජ විසංවාද උග‍්‍ර වීමයි. බොහෝ සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කරන්නේ, ජර්මනිය හා ප‍්‍රන්සය අතර වර්ධනය වන ගැටුම් හා යුරෝපීය සංගමයේ විභේදන කිසිසේත්ම අහම්බයන් නොවන බවයි.

යුරෝව හඳුන්වාදීමෙන් ජර්මානු ආර්ථිකය බොහෝ වාසි අත්කර ගත්තේය. 1990 ජර්මනිය එක්සත් කිරීමේ වසර හා 2008 අතර කාලය තුල ජර්මානු අපනයන තුන් ගුනයකින් පමන එනම්, යුරෝ බිලියන 348 සිට 984 දක්වා වර්ධනය විය. ආනයන ද සැලකිය යුතු තරමින් එනම්, යුරෝ බිලියන 293 සිට 806 දක්වා වර්ධනය විය.

ජර්මානු විදේශ වෙලඳාම (යුරෝ බිලියන වලින්)

විශේෂයෙන් වැදගත් වන්නේ විදේශ වෙලඳ අතිරික්තයේ වැඩිවීමයි. 1990 හා 2008 අතර එය තෙගුන විය. ජර්මනිය එක්සත් කිරීමේ මුල් වසරවල එය පහත වැටුනි. එකල ජර්මානු ආර්ථිකය වැඩි අවධානයක් යොමු කලේ විදේශ වෙලඳාමට වඩා දේශීය වෙලඳාම කෙරෙහිය. එහෙත් 1990 ගන්වල විදේශ වෙලඳ අතිරික්තය දිගින් දිගටම වර්ධනය විය. විශාලතම පිම්ම ගත්තේ එය, සියයට 22න් ඉහල ගිය 2000 හා 2005 අතර කාලයේය. 2007දී එය වටිනාකම අතින් වාර්තාගත යුරෝ බිලියන 200ක් විය.

මූලික වශයෙන් සාධක තුනක් ජර්මනියේ අපනයන හා විදේශ වෙලඳාමේ අතිරික්තය ඉහල යාමට දායක විය. යුරෝව හඳුන්වාදීම, යුරෝපීය සංගමය නැගෙනහිර යුරෝපය තුලට ප‍්‍රසාරනය වීම හා 2010 ප‍්‍රතිසංස්කරන න්‍යාය පත‍්‍රය විසින් නිර්මානය කල අඩු වැටුප් ක්ෂේත‍්‍රයයි.

යුරෝව, යුරෝපය තුල මිල උච්චාවචනයන්ගෙන් ජර්මනිය ආරක්ෂා කල අතර, ජාත්‍යන්තරව එම මුදල සාපේක්ෂව පහත් අගයකින් පවත්වාගෙන යාමට උපකාරී විය. ඒ මගින් ජර්මනියේ නිර්යාත කර්මාන්තය යුරෝපය තුලත් ජාත්‍යන්තරවත් ශක්තිමත් කලේය.

2008දී ජර්මනියේ අපනයන වලින් සියයට 63ක් ඇදී ගියේ යුරෝපීය සංගමයේ රටවලට ය. සියයට 43ක් යුරෝ කලාපයේ සාමාජික රටවලට ය. අපනයන වටිනාකමින් තුනෙන් දෙකකට ගෙවනු ලැබුවේ යුරෝ මුදලින් ය. එබැවින් එයට මුල්‍ය උච්ඡාවචනයන්ට ඔරොත්තු දිය හැකිව තිබුනි.

2008 වසරේ ජර්මානු අපනයන ප‍්‍රතිශතය

එනමුත් යුරෝව ජර්මානු මුදල කෘතීමව පහත අගයකින් පවත්වා ගත්තේය. යුරෝපීය රටවල් සිය මුදල් ජාතික ව්‍යවහාර මුදල් ලෙස පවත්වා ගත්තේ නම්, එවිට ග‍්‍රීසියේ ඩ‍්‍ර‍්‍රැක්මා ඉතාලි ලීරා හා ප‍්‍රන්ස ෆ‍්‍රෑන්ක් මුදල වැනි උද්ධමනකාරී මුදල් වලට සාපේක්ෂව ඩොයිෂ් මාර්ක් මුදල ද තියුනු ලෙස ඉහල නැඟිය හැකිව තිබුනි. එය එක්සත් ජනපදයේ ඩොලරයට හා ජපාන යෙන් මුදලට සාපේක්ෂව ද ඉහල අගයක් ගත හැකිව තිබුනි. යුරෝව හඳුන්වාදීම නිසා, කෙසේ වෙතත් මුදල් සම්බන්ධතා ස්ථාවරව පැවතුනි.

යුරෝව හඳුන්වාදීමෙන් පසුව දුබල යුරෝපීය රටවල නාමික වැටුප් ද භාන්ඩ හා සේවා මිල ගනන් ද ඉහල නගිද්දී ඒවා ජර්මනියේදී වැඩි නොවූ තරම්ය. ප‍්‍රධාන වශයෙන්ම මෙයට හේතු වූයේ දැවැන්ත පහත් වැටුප් හා සැලකිය යුතු අඩු වැටුප් ක්ෂේත‍්‍රයක් නිර්මානය කල වෘත්තීය සමිති වල ද සහාය ඇතිව ක‍්‍රියාවට නැඟූ ෂ්රඩර් ආන්ඩුවේ 2010 න්‍යාය පත‍්‍රයයි.

ඒ අනුව වසර 2000 හා 2010 කාලයේ, ජර්මනියේ ඒකක ශ‍්‍රම පිරිවැය ඉහල ගියේ අවශේෂ යුරෝපයට වඩා අඩුවෙන් ය. ජර්මනියේ එහි වැඩිවීම වාර්ෂිකව සියයට 0.7ක් වූ අතර යුරෝපීය සාමාන්‍යය සියයට 2.1 විය ග‍්‍රීසියේදී එය සියයට 3ක් ද පෘතුගාලයේ 2.7ක් ද ස්පාඤ්ඤයේ 2.6ක් ද විය ප‍්‍රන්සයේ එය ජර්මනියට වඩා දෙගුනයකටත් වැඩි වේගයකින් එනම් සියයට 1.9ක වාර්ෂික අනුපාතයකින් ඉහල නැගුනි.

2000-2010 වාර්ෂික ඒකක ශ‍්‍රම පිරිවැයේ වර්ධනය

එහි ප‍්‍රතිපලය වූයේ යුරෝපයේ ආර්ථික අසමතුලිතතාවන් නාටකාකාර ලෙස ඉහල නැගීමයි. ජර්මනිය විදේශ වෙලඳාමෙහි අතිරික්තයක් වාර්තා කරද්දී ප‍්‍රන්සයේ හා මහා බි‍්‍රතාන්‍යයේ හිඟයන් වර්ධනය විය. එරට දදේනි අනුව 2008 ජර්මනියේ විදේශ වෙලඳ අතිරික්තය සියයට 7.1 විය. ප‍්‍රන්සය සියයට 3.5ක හිඟයක් ද මහා බි‍්‍රතාන්‍යය 6.6 හා පෝලන්තය 6.8ක හිඟ ද වාර්තා කලේය.

2008 වසරේ වෙලඳ ශේෂය (දදේනි ප‍්‍රතිශතයක් වශයෙන්)

යුරෝපීය සංගමය නැගෙනහිරට ප‍්‍රසාරනය වීමෙන් ද ජර්මනියට වාසි සැලසුනි. සම්ප‍්‍රදායික යුරෝපීය සංගමයේ රටවලට එය කල අපනයන වටිනාකම සැලකිය යුතු පරිදි පහත වැටෙද්දී, නව සාමාජික රටවල ජර්මානු අපනයන දෙගුන විය. මෙම රටවල් ජර්මනිය සඳහා පුලුල් කල නිෂ්පාදන පේලි ක‍්‍රමයක් ද විය. විදේශ වෙලඳාමේ සංඛ්‍යා ලේඛන වලට මෝටර් රථ හා යන්ත්‍රෝපකරන වැනි නිමාකල නිෂ්පාදිත අපනයන පමනක් නොව, ඊනියා "ආයතන අතර වෙලඳාම” ද අන්තර්ගත විය. නිෂ්පාදන ක‍්‍රියාවලියේ දී භාන්ඩ කිහිප වතාවක් දේශසීමා හරහා ගමන්කොට තිබුනේ නම්, මෙම "ගෝලීයකරන බලපෑම” සංඛ්‍යා දත්ත වල සටහන් වූ අතර කෘතීම ලෙස වටිනාකම් පුම්බාලීය.

2008 වසරේ ජර්මානු අපනයන ප‍්‍රතිශත (අඳුරු පැහැයෙන්) හා 1995 ලා පැහැයෙන්

පසුගිය විසි වසර තුල, ජාත්‍යන්තර වෙලඳාමේ කොන්දේසි යුරෝපයේදී පමනක් නොව, ගෝලීයව ද සැලකිය යුතු පරිදි මාරුවී ඇත. අපනයනයේ අර්ථයෙන් ජර්මනිය, එක්සත් ජනපදය පසුකර ගිය අතර ජපානය තියුනු ලෙස පසු පසට තල්ලු විය. කෙසේ වෙතත් ඉදිරියෙන්ම සිටින්නේ චීනය යි. එහි අපනයන 1990 දී ඩොලර් බිලියන 62 සිට 2008 වන විට ටි‍්‍රලියන 1.4ක් දක්වා විසි දෙගුනයකින් ඉහලට පිනුවේය.

ලෝකයේ ලොකුම අපනයන ජාතීන්-අපනයන එජ ඩොලර් බිලියන වලිනි

ජාත්‍යන්තර ආර්ථික සම්බන්ධතාවන්ගේ තවත් වැදත් උපමානයක් වන්නේ සෘජු විදේශ ආයෝජනයි. (එෆ්ඩීඅයි) ඕඊසීඩී (ආර්ථික සංවර්ධනය හා සහයෝගිතාවය පිලිබඳ සංවිධානය) එය මෙසේ නිර්වචනය කර ඇත: "එෆ්ඩීඅයි නිර්වචනය කෙරෙන්නේ එක් ආර්ථිකයක වැසියෙක් දිගු කාලයක් පොලී ආදායම් ලැබීමේ අරමුන සහිතව තවත් ආර්ථිකයක ව්‍යවසායක වැසියෙකු ලෙස කටයුතු කිරීමයි.”

වෙනත් වචන වලින් කිවහොත් එහි අරමුන ප‍්‍රාග්ධන අපනයන යාන්ත‍්‍රනය හරහා විදේශ රටවල කම්කරුවන් සූරාකෑමයි. ලෙනින් ප‍්‍රාග්ධන අපනයනය අධිරාජ්‍යවාදයේ වැදගත් අංඟයක් ලෙස ඒ වන විටත් හඳුනාගෙන තිබුනි. ඔහු මෙසේ ලිවීය: "නොබෙදුනු බරක් දරන ලද නිදහස් තරගය පැවති අවධියේ පැරනි ධනවාදයට ආවේනික වූයේ භාන්ඩ නිර්යාතයයි. ඒකාධිකාරයන් පාලනය කරන ධනවාදයේ අති නූතන අවධියෙහි එයට ආවේනික වන්නේ ප‍්‍රාග්ධන අපනයනයයි.”

පසුගිය දශක දෙකක කාලය තුල, මෙම ක්ෂේත‍්‍රයේ ද සැලකිය යුතු වෙනස්කම් ඇතිව තිබේ. එහි ඉහල අපනයන අතිරික්තයේ පදනම මත ජර්මනිය වැදගත් ප‍්‍රාග්ධන අපනයන කරුවෙක් බවට පත්ව තිබේ. 1990 සිට විදේශ රටවල ජර්මානු ප‍්‍රාග්ධන ආයෝජන හය ගුනයකින් වැඩිවී ඇති අතර, ජර්මනිය තුල කෙරුනු විදේශ ප‍්‍රාග්ධන ආයෝජන සිව් ගුනයකින් වැඩිවී ඇත.

කෙසේ වෙතත් දදේනි ප‍්‍රතිශතයක් වශයෙන් මෙන්ම, සැබෑ සංඛ්‍යාවන්ට අනුව මහා බි‍්‍රතාන්‍ය හා ප‍්‍රන්සය වැනි පැරනි යුරෝපීය යටත් විජිත බලවතුන් එෆ්ඩීඅයි ක්ෂේත‍්‍රයේ දී ජර්මනිය පරදවා ඉදිරියට යමින් සිටියි.

2008 වසරේදී මහා බි‍්‍රතාන්‍යයේ විදේශ සෘජු ආයෝජන එහි දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 57ක් විය. ප‍්‍රන්සය සියයට 50ක් හා ජර්මනිය සියයට හතලිහක් විය. සැබෑ සංඛ්‍යාවන්ට අනුව බි‍්‍රතාන්‍ය එෆ්ඩීඅයි අගය යුරෝ ටි‍්‍රලියන 1.8ක් ද ප‍්‍රන්සයේ 1.3ක් හා ජර්මනියේ 1.2ක් විය. ප‍්‍රථම ස්ථානය හිමිකර ගත්තේ යුරෝ ටි‍්‍රලියන 3.5ක් වූ එක්සත් ජනපදයයි.

සෘජු විදේශ ආයෝජනයේ එකතුව

ජර්මානු එෆ්ඩීඅයි ප‍්‍රධාන වශයෙන්ම සංකේන්ද්‍රනය වූයේ යුරෝපය හා එක්සත් ජනපදය තුලය. 2004 වසරේදී සියයට 50ක් යුරෝපීය සංගමයේ පැරනි රාජ්‍යයන්හිත්, සියයට 30ක් එක්සත් ජනපදයේත් ආයෝජනය කෙරුනි. සියයට 6ක් පමන නව යුරෝපීය සංගමයේ රටවල හා සියයට එකක් පමනක් චීනයේ ආයෝජනය කෙරුනි.

මතු සම්බන්ධයි