ලිබියාවට අධිරාජ්‍යවාදී අත නොතබනු!

Imperialist hands off Libya!

1 March 2011

එක්සත් ජනපදය හා යුරෝපීය බලවත්හු ලිබියාව තුල ඍජු මිලිටරි මැදිහත් වීමකට අර අඳිමින් සිටිති. ඔවුහු, මුවම්මර් ගඩාෆිගේ 41 වසරක පාලනයට එරෙහි සාධාරන මහජන නැගිටීමක් ගසාකමින් වඩා රැඩිකල් තන්ත‍්‍රයක් ඇතිවීමේ හැකියාවක් වලක්වා අපකීර්තිමත් ආඥාදායකත්වය වෙනුවට යටත් විජිත පන්නයේ රූකඩයක් පාලනයට පත්කිරීමේ ක‍්‍රම සොයමින් සිටිති.

විශේෂයෙන් ම ඇමරිකානු පිලිවෙතේ වෙනස් වීමේ වේගය අසාමාන්‍ය ය. වොෂින්ටනය ගඩාෆිට එරෙහි ව්‍යාපාරය කෙරෙහි නිශ්ශබ්දතාවයේ සිට පිටස්තර මැදිහත් වීමක අවශ්‍යතාව වෙනුවෙන් හඬනැගීම දක්වා චලනය වී ඇත.

කලාපය තුල සෑම එක්සත් ජනපද කි‍්‍රයාකාරීත්වයක් මෙන් ම මෙහි දී ද ධාවක බලයන් දෙආකාර වේ. එනම් ප‍්‍රධාන තෙල් නිපදවන රටවලින් එකක සම්පත් ඩැහැගැනීම හා මැද පෙරදිග හා උතුරු අපි‍්‍රකාව තුල ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මූලෝපායික අවශ්‍යතා ලුහු බැඳීම යි. ලිබියා භූමිය මත අධිරාජ්‍යවාදී මිලිටරි හමුදා සිටීම දැනට කැලඹිලිකාරී ඊජිප්තුවේ, ටියුනීසියාවේ, ඇල්ජීරියාවේ හා මොරොක්කෝවේ මෙන් ම සුඩානය, චැඩ්, නයිජර් හා නයිජීරියාව ඇතුලත් සහරා කලාපය පුරා අනාගත සිදුවීම්වල ගමන් මාවතට බලපෑම් කිරීමට හැකි තත්වයක පසුවනු ඇත.

ලිබියානු ජනතාව මෙන් ම වෙනත් කිසිවෙකු හෝ ඇමරිකානු, බි‍්‍රතාන්‍ය, ප‍්‍රන්ස, ජර්මානු, ඉතාලි හා අනෙකුත් මිලිටරි බලයන්ගේ මැදිහත් වීම සාධාරනීකරනය කිරීමට ඉදිරියට දමනු ලැබෙන මානුෂීය කියාපෑම් පිලිබඳව විශ්වාසය නො තැබිය යුතු ය. රැකියා, ප‍්‍රජාතාන්ති‍්‍රක අයිතීන් හා දූෂිත පාලක ප‍්‍රභූවක මං පැහැරගැනීම් අවසන් කිරීම සඳහා උද්ඝෝෂනයේ යෙදුනවුන්ට එරෙහිව සයින් එල් අබිදින් බෙන් අලි හා හොස්නි මුබාරක් යන ටියුනීසියානු හා ඊජිප්තු ආඥාදායකයින් සංහාරයන් දියත් කරන විට මෙම බලයන් ම මැදිහත් නො වී සිටියහ. මෙම රූකඩ තන්ත‍්‍රවලට මුක්කු තැබීම සඳහා ඔවුහු දේශපාලන, රාජ්‍යතාන්ත‍්‍රික හා සමහර අවස්ථාවල ඍජු ආරක්ෂක සහයෝගය සම්පාදනය කලහ.

ගඩාෆිගේ ආරක්ෂක හමුදා විරුද්ධවාදී උද්ඝෝෂකයන්ට වෙඩිතැබූ එම සති දෙකේ ම ඕමානයේ හා බහරේනයේ එක්සත් ජනපද සහචරයන් මෙන් ම ඉරාකයේ එක්සත් ජනපද රූකඩ තන්ත‍්‍රය ඒ හා සමාන අපරාධ සිදුකොට ඇත්තේ මිලිටරි මැදිහත් වීමක් සඳහා ජාත්‍යන්තර උද්ඝෝෂනයක් සංවිධානය කිරීම පසෙක තැබුවත් වොෂින්ටනය වෙතින් කිසිදු ප‍්‍රසිද්ධ දෝෂාරෝපනයක් හෝ නො ලබා ය.

1990 ගනන්වල බොස්නියාව හා කොසෝවෝව තුල එක්සත් ජනපද හා නැටෝ මැදිහත් වීමට මගපෑදූ උද්ඝෝෂනයේ ආකාරය ගනිමින් ලිබියානු ජනතාව "රැකගැනීමට” අධිරාජ්‍යවාදී බලයන්ගේ ඒකාබද්ධ මැදිහත් වීමක් අවශ්‍ය යයි තර්ක කිරීමට ගඩාෆි තන්ත‍්‍රය විසින් සිදු කරන ලද අපරාධ හුවා දැක්වීමේ පූර්න පරිමාන ප‍්‍රචාරක ප‍්‍රහාරයක් දියත් කෙරෙමින් පවතී. ගඩාෆිගේ "මැරයන්” හා "කුලීහේවායන්” හෙලාදකිමින් හා "ලිබියානු ආන්ඩුව ලිබියානුවන්ව තර්ජනයට ලක් කරන හා මරාදමන තාක් කල් කිසිදු විකල්පයක් බැහැර නො වේ” යයි ප‍්‍රකාශ කරමින් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් සඳුදා මෙයට තානය සැපයීය. නියෝජිත සභාව හමුවේ ලිබියාව තුල "මිලිටරි සම්පත් භාවිතා කිරීම අපි කිසි ලෙසකින් නො තකා හරින්නේ නැහැ” යයි ප‍්‍රකාශ කල බි‍්‍රතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ක්ලින්ටන් සමග සුසංවාදී විය.

වොෂින්ටනය, ලන්ඩනය හා අනෙකුත් අධිරාජ්‍යවාදී අගනුවරවලින් සිය සංඥාව ලබාගන්නා ජාත්‍යන්තර මාධ්‍ය නැගෙනහිර ලිබියාවේ හා ටි‍්‍රපොලි අගනුවර කැරලිකරුවන්ට එරෙහිව ගඩාෆිගේ හමුදා ගුවන් බලය පාවිච්චි කිරීම ගැන විශාල අවධානයක් දී ඇත. ගඩාෆිගේ ගුවන් නියමුවන්ගෙන් බොහෝ දෙනෙක් රටහැර ගොස් ඇති නිසා සත්‍ය වසයෙන් වාර්තා වන ප‍්‍රහාර අතලොස්සකට සීමා වී තිබේ.

ක්ලින්ටන් සමග පැවති හමුවකින් පසුව ඕස්ටේ‍්‍රලියානු විදේශ ඇමති කෙවින් රඩ් වහා ම පියාසර තහනම් කලාපයක් ප‍්‍රකාශයට පත්කල යුතු යයි කීමට ඉස්මතු විය. ස්පාඤ්ඤ සිවිල් යුද්ධය තුල නාසි යුද යානා මගින් කරන ලද සංහාරය ගැන සඳහන් කරමින් "සිවිල් ජනයා මත ප‍්‍රහාර එල්ල කිරීම ගැන ගුවෙර්නිකාව ලෝකය පුරා ප‍්‍රකට ය” යයි ඔහු පැවසීය: "අපි ලිබියාව තුල එවැන්නක සාක්ෂි දැක තිබෙනවා. එවැනි අපරාධ යලි සිදුවන විට අපි අලස ලෙස බලා නො සිටිය යුතු යි.” අලස ලෙස බලා සිටීම වෙනුවට වඩා විශාල සංහාර නිපදවා ඇති ඉරාක හා ඇෆ්ගනිස්ථාන යන ඇමරිකානු ආක‍්‍රමනකාරී යුද්ධ දෙකට ම ඕස්ටේ‍්‍රලියාව පූර්න හවුල්කරුවෙකු ලෙස සහභාගි වී තිබේ.

මානුෂීය කෝපය පිලිබඳ එක්සත් ජනපද-යුරෝපා පෙනී සිටීමට විශ්වාසනීයත්වයක් නැත. සති දෙකකට පෙර කාලය දක්වා ම මෙම බලවත්හු ලිබියාවේ තෙල් හා ගෑස් සම්පත් සූරාකෑම සඳහා ලාභදායී කොන්ත‍්‍රාත්තු අපේක්ෂාවෙන් ගඩාෆිට සෙනෙහස පුදමින් සිටියහ. කොන්ඩොලීසා රයිස්, බි‍්‍රතාන්‍යයේ ටෝනි බ්ලෙයාර්, ප‍්‍රන්සයේ චිරැක්, ඉතාලියේ බර්ලුස්කෝනි, ස්පාඤ්ඤයේ සැපටෙරෝ යන බටහිර ව්‍යාපාරික වැලක් තෙල් සුවඳ පසුපස ටි‍්‍රපොලි කරා ඇදී ගියහ. එහි දී ඔවුහු ගඩාෆිගේ පොලිස් රාජ්‍යයට හෝ ඔහුගේ වධක කඳවුරුවලින් නිකුත් වන වේදනා හඬට ඇහුම්කන් නො දුන් හ.

2003න් පසුව ගඩාෆි වොෂින්ටනය හා එක්සත් ජනපද විදෙස් පිලිවෙත සමග ක්ෂනිකව සුහද සබඳතා යලි පිහිටුවා ගැනීම ප‍්‍රධාන මූලෝපායික වාසියක් ලෙස සැලකු එක්සත් ජනපදය ඔහු සමග මිත‍්‍ර සබඳතා වගාදිගා කර ගැනීමට ප‍්‍රධාන දේශපාලන හා මූල්‍ය ආයෝජනයක් කලේ ය. මෑතක දී වොෂින්ටනයේ සිටින ගඩාෆිගේ පුත‍්‍රයන්ගෙන් එක් අයෙකුට ගෞරව දැක්වූ හිලරි ක්ලින්ටන් ජාත්‍යන්තර බලශක්ති කටයුතු පිලිබඳ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සම්බන්ධීකාරක ලෙස කටයුතු කිරීම සඳහා ඔහුව එක්සත් ජනපද-ලිබියා ව්‍යාපාරික සංගමයේ ආරම්භක සභාපති ලෙස පත් කලා ය.

රටෙහි බොහෝ ප‍්‍රදේශවල බලය අල්ලාගෙන ඇති විරුද්ධ බලයන්ගේ උපකල්පිත අනුග‍්‍රාහකයන් ලෙස මෙම බලයන් දැන් ලිබියාවට ආපසු ඒමට පෙලගැසේ නම් ඔවුන්ව ධාවනය කරනු ලබන්නේ ලාභය හා පැහැරගැනීම ගැන ඉහත සඳහන් කල රුචිය මගින් ම ය. ගඩාෆි නෙරපා හැරීමට ඔවුන්ගේ ප‍්‍රකාශිත සහයෝගය පසෙක තිබිය දී එක්සත් ජනපදයේ හා පැරනි යුරෝපීය විජිත බලයන්ගේ මිලිටරි හමුදා ඇතුල් වීම ආඥාදායකත්වය නෙරපා හැරීමට අවංකව සටන් කරන්නන්ට හිතකර නො වේ.

විදේශ මැදිහත් වීම මහජන විරුද්ධත්වය අවුලුවාලනු ඇත. බෙංගාසි නැගී සිටීම තුල නිරත වන බොහෝ දෙනා දැනටමත් එක්සත් ජනපද හා යුරෝපීය භටයන් ඇතුල් වීමට සිය දැඩි විරුද්ධත්වය පලකොට ඇත. එවන් ඇතුල්වීමක් අධිරාජ්‍ය විරෝධියෙකු ලෙස ගඩාෆිට සිය ව්‍යාජ පෙනී සිටීම අලුත් කොට ඔහුගේ තන්ත‍්‍රයට අලුත් හුස්මක් ගැනීමේ අවකාශය ලබාදෙන්නක් පමනක් වනු ඇත.

පෙබරවාරි 17 දා බෙන්ගාසිහි ගැටුම් ඇවිලුනු තැන් පටන් ලිබියාව හැර යන සිය දහස් ගනනක ඉරනම පිලිබඳ තැකීම ප‍්‍රකාශ කිරීම් ද ඒ හා සමානව නරුම වේ. විවිධාකාර අධිරාජ්‍යවාදී බලයන්ගේ ප‍්‍රකාශකයෝ බොහෝ සෙයින් තාක්ෂන ශිල්පීන් හා තෙල් සමාගම් නිලධරයන් වන තමන්ගේ ම ජාතිකයන් අනතුරට මුහුන පා සිටින නිසා ඔවුන් මුදාගත යුතු යයි කියති. ඒ අතර ම ඉතාලිය, ප‍්‍රන්සය හා ස්පාඤ්ඤය යන මධ්‍යධරනී වෙරලබඩ කලාපයක් සහිත රටවල් දිගහැරෙන සිවිල් යුද්ධයේ සරනාගතයන් ගලා ඒම පිලිබඳව අනතුරු අඟවා ඇත. ඇත්ත වසයෙන් ම මෙම ගැටලු දෙකට ම එකම "විසඳුමක්”ය. එනම්, ලිබියාව හා එහි වෙරල තීරය ඔස්සේ මිලිටරි මැදිහත් වීමක් සිදු කිරීමයි.

ලිබියා විරෝධී උද්ඝෝෂනය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් පැහැරගැනීමේ අභ්‍යාසයකි. මෙහි ප‍්‍රථම ප‍්‍රධාන කි‍්‍රයාව වී ඇත්තේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයේ සම්මත වූ සම්බාධක යෝජනාවකින් පසුව එක්සත් ජනපද මූල්‍ය ආයතනවල පවතින ඩොලර් බිලියන 30ක ලිබියානු වත්කම් හා යුරෝපා ගිනුම්වලින් තවත් බිලියන ගනනක් අත්අඩංගුවට ගැනීම යි. වත්කම් "කැටිකිරීමක්” ලෙස හඬනැගුවත් යථාර්ථයේ දී එය ලිබියානු ජනතාවට අයත් සම්පත් බලයෙන් අත්පත් කරගැනීමකි.

වඩාත් කැපී පෙනෙන්නේ ජර්මනියේ පැවති ව්‍යාපාරික සමුලුවක දී කතා කල තුර්කි අගමැති රෙසෙප් ටැයිප් අර්ඩොගාන්ට විරුද්ධ වීමට බලකල හොරකම යි. "ආන්ඩුවලින් කරන ලද අත්වැරදීම්වලට මහජනයා වන්දි ගෙවිය යුතු නැහැ” යි ඔහු කීවේ ය. "ලිබියාවේ ජනයා හා එරටේ විදේශිකයින් ගැන සලකන කල එරටට මැදිහත් වීමක් හෝ සම්බාධක පැනවීමක් පිලිබඳව කෙරෙන සාකච්ඡා කනස්සලු සහගත යයි අපි හිතනවා.” පිටස්තර බලයන් ලිබියාව කෙරෙහි කටයුතු කල යුත්තේ "මානුෂික පර්යාලෝකයකින් මිස තම තෙල් අවශ්‍යතා පිලිබඳ සැලකිල්ලකින් නො වන” බව ඔහු කියා සිටියේ ය.

මිලිටරි මැදිහත් වීමක් සඳහා වන ගාමකය වේගවත් වෙමින් තිබේ. ලිබියාවේ පැරනි විජිත බලය මෙන් ම එහි විශාලතම තෙල් පාරිභෝගිකයා වන ඉතාලියේ බර්ලුස්කෝනි ආන්ඩුව ගඩාෆි තන්ත‍්‍රය සමග වන තම අනාක‍්‍රමනික ගිවිසුම ඉරිදා ප‍්‍රතික්ෂේප කලේ ය. ලිබියාව තුල ඉතාලියානු මිලිටරි කි‍්‍රයාවක් හා ඉතාලිය තුල තිබෙන ඇවියානෝ හා අනෙකුත් නැටෝ ගුවන් කඳවුරුවල තිබෙන එක්සත් ජනපද යුද යානා දියත් කිරීමටත් අවශ්‍ය නෛතික සූදානම මෙය යි.

තම නාවුක බලකායන් ලිබියාව අයත් කලාපයේ මධ්‍යධරනී මුහුදට කැඳවා ඇතැයි සඳුදා ඔබාමා පරිපාලනය තහවුරු කලේ ය. ඊජිප්තු ජනාධිපති මුබාරක් පහකිරීමෙන් දින හතරකට පසුව පෙබරවාරි 15 දා බලය පෙන්වීමේ ප‍්‍රදර්ශනයක් කරමින් යූඑස්එස් එන්ටර්ප‍්‍රයිස් නමැති ගුවන් යානා වාහකය සූවස් ඇල ඔස්සේ රතු මුහුදට යැවූ පෙන්ටගනය ලිබියාවට කැලඹිල්ල ක්ෂනිකව පැතිරීම මගින් තැති ගන්වනු ලැබීය. වට කරන ලද යේමනයේ එක්සත් ජනපද-හිතවාදී ආඥාදායක සලේට හා පර්සියානු ගල්ෆ් කලාපයේ තෙල් සහිත වැඩවසම් තන්ත‍්‍රයන්ට සහයෝගය පලකරන "කොඩිය සහිතව” යානා ගෙනයන රෙජිමේන්තු කන්ඩායම් අරාබි මුහුද කරා ඇදුනි.

"අප සතුව වැඩ කරන සැලසුම්කරුවන් හා විවිධ අනාගත සැලසුම් තිබෙනවා... ඒවායේ කොටසක් ලෙස තීරන ගනු ලැබූ විට ඒවාට අවශ්‍ය නම්‍යශීලීත්වය සම්පාදනය කලහැකි වන ආකාරයට හමුදා යලි ස්ථානගත කරමින් සිටිනවා” යයි පෙන්ටගන ප‍්‍රකාශකයෙක් සඳුදා නිවේදනය කලේ ය. සූවස් ඇලට යලි මාරු වීමට හෝ ලිබියානු ඉලක්කයන්ට ගුවන් ප‍්‍රහාර දියත් කල හැකි වන පරිදි එන්ටර්ප‍්‍රයිස් හා යූඑස්එස් කියර්සේජ් නම් වූ කුඩා ගුවන් යානා වාහක දැන් රතු මුහුදට ගමන් කොට ඇත. සාකච්ඡාවට භාජනය වී ඇති කි‍්‍රයාන්විතයන් අතරට දැනට මත් බි‍්‍රතාන්‍ය හා ජර්මානු කොමාන්ඩෝ භටකා මගින් දියත් කරනු ලැබ ඇති "මුදා ගැනීමේ” මෙහෙයුම්වල සිට පියාසර තහනම් කලාපයක් ප‍්‍රකාශ කිරීම හා නාවුක යාත‍්‍රා ඍජුව ගොඩබැස්සවීම අයත් වේ.

එක්සත් ජනපදයේ අතිරේක උත්සුකයක් වන්නේ ප‍්‍රථම වරට මධ්‍යධරනී මුහුදේ මිලිටරි කි‍්‍රයාන්විතයන් ගෙඩනංවමින් සිටින චීනයේ භූමිකාව යි. බීජිනය විසින් සෝමාලියාවේ මුහුද කොල්ලකාරයන්ට එරෙහි මුර සංචාරයේ සිට සූවස් ඇල හරහා ලිබියානු වෙරලට ෂුශෝව් නමැති යුද නැව පිටත් කොට ඇත්තේ සටන තුල කොටු වී සිටින බොහෝ දෙනා ගොඩනැගිලි කම්කරුවන් වන චීන ජාතිකයින් 30,000ක් මුදා ගැනීමට සහය වීමට යි. ලිබියා විරෝධී උද්ඝෝෂනය තුල දාමරිකත්වයේ හා අත්‍යන්ත නො සැලකිල්ලේ අංශයක් ගැබ්ව පවතී. එය පුපුරා ගොස් ඇත්තේ එක්සත් ජනපද ආරක්ෂක ලේකම් රොබට් ගේට්ස් මිලිටරි ශ‍්‍රාවකයකට, "මගේ අදහසේ හැටියට ආසියාවට, මැද පෙරදිගට හෝ අපි‍්‍රකාවට විශාල ඇමරිකානු බිම් හමුදාවක් යලි යවන ලෙස ජනාධිපතිට උපදෙස් දෙන ඕනෑම අනාගත ආරක්ෂක ලේකම් කෙනෙක් ජෙනරල් මැක්ආතර් ඉතා සංවේදී ප‍්‍රකාශ කල පරිදි ‘තමන්ගේ ඔලුව පරීක්ෂා කරගෙන තිබිය යුතු ය’” යයි ප‍්‍රකාශ කිරීමෙන් යන්තම් දින ගනනකට පසුව ය.

ගේට්ස් හඬනගමින් සිටියේ දීර්ඝ-කාලීන එක්සත් ජනපද මිලිටරි වාඩිලා ගැනීමට එරෙහි ඇෆ්ගන් ජනයාගේ මෙල්ල කල නො හැකි විරුද්ධත්වය මගින් නිෂ්පන්නිත අසුබවාදය මෙන් ම නො නැවතී වසර දහයක් පුරා විදේශ මෙහෙයුම්වලින් පසු සමස්ත ස්වේච්ඡා හමුදාවක ඛාදනය වන කොන්දේසි පිලිබඳව මිලිටරි නිලධරයට තිබෙන සාංකාව යි.

එහෙත් එවැනි චකිතයන් තිබියේ වුවත් අධිරාජ්‍යවාදයට තර්කනයක් ඇති අතර ඔබාමා පරිපාලනය එම තර්කනය මගින් ධාවනය කරනු ලබයි. නිව් යෝක් ටයිම්ස් පුවත්පත ඉරිදා සඳහන් කල පරිදි එක්සත් ජනපද හා යුරෝපීය මැදිහත් වීමේ අවසාන එල්ලය වන්නේ ලිබියාව අධිරාජ්‍යවාදී බලයන්ගේ කොලනියක් බවට හරවා එරටෙහි "දේශපාලන රික්තය” පිරවීම යි.

ලිබියාව පිලිබඳ එක්සත් ජනපද විශේෂඥයෙක් ඉරිදා නිව්ස්වීක් සඟරාවට ලිපියක් ලියමින් ලිබියාවට කෙරෙන මැදිහත් වීමක් බෝල්කන් කලාපය තුල එක්සත් ජනපදයේ දිගුකාලීන භූමිකාව සමග ඍජුව සන්සන්දනය කලේ ය. ලිබියාව තුල දේශපාලන තත්වය "ලිබියාව තුල රාජ්‍ය ගොඩනැගීමේ දී පුර්වාදර්ශී වියහැකි වන්නේ අසල්වැසි ඊජිප්තුව හෝ ටියුනීසියාව නොව බෝල්කන් කලාපය යයි යෝජනා කර සිටී. බෝල්කන් කලාපය තුල මෙන් මෙහි දී ද විශේෂඥභාවය හා තාවකාලිකව ආරක්ෂක හමුදා සම්පාදනය කිරීම මගින් ජාත්‍යන්තර ප‍්‍රජාවට සුවිසල් හා ධනාත්මක භූමිකාවක් ඉටු කල හැකි වේ” යයි ඔහු ලිවීය.

වෙනත් වචනවලින් කිවහොත් ලිබියාව අර්ධ-විජිතයක් බවට හරවා එය පාලනය කරනු ඇති එක්සත් ජනපදය හා එහි බටහිර යුරෝපා සහකාරයන් දැන් මැද පෙරදිග හා උතුරු අපි‍්‍රකාව පුරා පැතිරෙමින් තිබෙන මහජන නැගිටීම්වලට එරෙහිව එරට තෙල් සම්පත්වල පාලනය අල්ලාගෙන එහි භූමිය මූලෝපායික කි‍්‍රයාන්විතයන්ගේ කඳවුරක් බවට පත්කරනු ඇත.

පැට්රික් මාටින්